ලුබ්කේ ඝාතනය සහ ජර්මනියේ “නාසි ප්‍රශ්නය” පුනරාගමනය

The Lübcke murder and the return of the “Nazi problem” in Germany

2019 ජුනි 25

හිට්ලර්ගේ තුන්වන රීචය බිඳ වැටීමෙන් වසර 75 කට ආසන්න කාලයකට පසු, දක්ෂිනාංශික ත්‍රස්තවාදියෙකු විසින් ජුනි 2 වන දින ජර්මානු දේශපාලකයකු වන වෝල්ටර් ලූබ්කේ (ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී සංගමය, සීඩීයූ) ඝාතනය කිරීම ජර්මනියට යලිත් වරක් සැබෑ ලෙසින් ම නාසි ගැටලුවක් ඇති බවට දිගු කලක් තිස්සේ සඟවා ගෙන සිටි කැත සත්‍යය හෙලිදරව් කර තිබේ.

සති කීපයක් තිස්සේ, ලුබ්කේගේ ඝාතනය ජනමාධ්‍ය විසින් සුලු කර දක්වන ලද අතර දේශපාලන ප්‍රභූව විසින් මුලුමනින්ම පාහේ නොසලකා හරින ලදි. එහෙත් මහජන කෝපය ඇවිස්සීම සහ ඊටත් වඩා දක්ෂිනාංශික ත්‍රස්තවාදීන් විසින් ඔවුන් ව ඉලක්ක කර ගනු ඇතැයි දේශපාලනකයින්ට ඇති බිය නව නාසි ක්‍රියාකාරකම් දැන් ජර්මනියේ විශාල දේශපාලන අනතුරක් බව ඉහලින්ම පිලිගැනීමට තුඩු දී තිබේ.

වෝල්ටර් ලූබ්කේ

ජර්මනියේ විශාල ලෙස විකිනෙන සතිපතා පුවත් සඟරාව වන ඩර් ස්පීගල් කවරයේ ඝාතකයා වන ස්ටෙෆාන් අර්නස්ට්ගේ ඡායාරූපයක් “දුඹුරු කමීස සැඟව සිටින්නන්: පියා, අසල්වැසියා, ඝාතකයා? දක්ෂිනාංශයේ නව අන්තරාය. ” යන ශීර්ෂයෙන් පල කලේය.

චාන්සලර් ඇන්ජෙලා මර්කල් (සීඩීයූ) සෙනසුරාදා ඩොට්මන්ඞ් හි දී ප්‍රකාශ කලේ ලූබ්කේ ඝාතනය “දක්ෂිනාංශික අන්තවාදී ප්‍රවනතා සහ ජාලයන් පිලිබඳ සංඥා තිබෙන සියලු ක්ෂේත්‍ර නොපමාව පරීක්ෂා කිරීම සඳහා හදිසි ඉල්ලා සිටීමක්” බවයි. “විශ්වසනීයත්වය මුලුමනින් ම නැතිවීම” පිලිබඳ අනතුරු ඇඟවූ මර්කෙල් කියා සිටියේ, “සෑම මට්ටමකින් ම ක්‍රියා කිරීමට රජයට කැඳවුම් කර ඇති අතර, ජර්මානු රජය මෙම වගකීම ඉමහත් බැරෑරුම් කමකින් භාර ගනී” යනුවෙනි.

ලූබ්කේ ඝාතනයට දක්ෂිනාංශික අන්තවාදී ත්‍රස්ත කන්ඩායම් සම්බන්ධ බවට කිසිදු සාක්ෂියක් නොමැති බව දින කිහිපයකට පෙර ප්‍රකාශ කළ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය හෝස්ට් ශෝෆර් (ක්‍රිස්ටියන් සෝෂල් යුනියන් - සීඑස්යූ) දක්ෂිනාංශික අන්තවාදය “බරපතල අනතුරක්” බවට පත්ව ඇති බව පිලිගත්තේය. එබැවින් ශෝෆර් බලාපොරොත්තු වන්නේ “ව්‍යවස්ථාමය රාජ්‍යයට වඩාත් බලතල දීම” සහ “ආරක්ෂාව වැඩි කිරීමට සියලු උත්සාහයන් දැරීම” ය.

විශාල ලෙස අලෙවි වන බිල්ඞ් පුවත්පත සඳහා අදහස් දක්වමින් විදේශ ඇමති හයිකෝ මාස්, “ජර්මනියට ත්‍රස්තවාදී ගැටලුවක් තිබේ. අපේ රටේ ප්‍රචන්ඩ ක්‍රියා සිදුකිරීමට කැපවී සිටින දක්ෂිනාංශික අන්තවාදීහු 12,000 කට වැඩි සංඛ්‍යාවක් සිටිති. අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු කලක සිට නිකුත් කර ඇතත් 450 දෙනෙකුට රහසිගතව සැඟවී සිටීමට හැකි වී තිබේ. ඔහු “සෑම දිනකම සහ සෑම තැනකම පටන් ගත් තැන සිට සටන් කිරීමට” කැඳවුම් කරමින් කතාව අවසන් කලේය.

ප්‍රමාදවී කරන කම්පනය සහ උත්සුකය පිලිබඳ මෙම සියලු ප්‍රකාශ කුහකකමේ සහ රැවටිල්ලේ ගන්දස්කාරයකි. දක්ෂිනාංශික ත්‍රස්ත ජාලය යනු පොලීසිය සහ බුද්ධි අංශ විසින් ගෙන එන ලද ෆ්‍රැන්කන්ස්ටයින රාක්ෂයෙකි. එය ප්‍රධාන දේශපාලන පක්ෂ විසින් දිරි ගන්වමින් ආරක්ෂා කරනු ලැබේ. ජනමාධ්‍ය හා අන්ත දක්ෂිනාංශික ශාස්ත්‍රඥයින්ගේ ප්‍රබල තට්ටුවක් සමඟ එක්ව ඔවුන් ෆැසිස්ට්වාදයේ පුනර්ජීවනයට අනුමැතිය හා දිරිගැන්වීම සපයන දේශපාලන හා බුද්ධිමය පරිසරයක් නිර්මානය කර තිබේ.

මෑතක දී නාසි කුරිරු කම් “කුරුලු වසුරු” ලෙස සුලු කොට තකමින් ඉන් වසර දහස් ගනනක “තේජාන්විත” ජර්මානු ඉතිහාසය අපගමනය නොවිය යුතුයැයි එහි ප්‍රධාන නායකයා පැවසූ වර්ගවාදී ජර්මානු විකල්පය කන්ඩායම (එෆ්ඩී) ඔවුන් විසින් ප්‍රවර්ධනය කරනු ලැබ ඇත. මාධ්‍ය වාර්තා වලට අනුව, ලූබ්කේ ඝාතනයේ චූදිත අර්නස්ට් 2016 දී එෆ්ඩී වෙත යූරෝ 150 ක් පරිත්‍යාග කොට ඇත. ඔහු එම මුදල් යවා ඇත්තේ “මැතිවරන ප්‍රචාරක පරිත්‍යාගය 2016: ඔබට දෙවියන් වහන්සේගේ ආශීර්වාදය ලැබේවා” යන පනිවිඩය සමගිනි.

එෆ්ඩී හි දේශපාලන අධිකාරිය ගොඩනැගීමේ දී මහා සන්ධානය ප්‍රධාන කාර්යභාරයක් ඉටු කර ඇත. සීඩීයූ / සීඑස්යූ සහ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (එස්පීඩී), 2017 දී අවසන් වරට පැවති ජාතික මැතිවරනයෙන් පසුව, ඔවුන්ගේ අපකීර්තිමත් සභාග ආන්ඩුව ඉදිරියට ගෙන යාමට ගත් තීරනය සමග එෆ්ඩීයට ලැබුනේ 12.6 ඡන්ද ප්‍රතිශතයක් වුව ද, පාර්ලිමේන්තු නිල විපක්ෂයේ නායකත්වය හිමි කර ගත්තේ ය.

සීඩීයූ සහ එස්පීඩී විසින් එෆ්ඩී සමඟ ගිවිසුම් ඇති කර ගෙන ඇති අතර එය රාජ්‍ය යාන්ත්‍රනය, ආරක්ෂක හමුදා සහ ෆෙඩරල් සහ ප්‍රාන්ත පාර්ලිමේන්තු තුල වෙන කවරදාටත් වඩා වැඩි බලපෑමක් ඇති කරයි. ඒ අතරම, දෙපාර්ශ්වය ම බොහෝ දුරට එෆ්ඩී ප්‍රතිපත්ති අනුගමනය කර ඇත.

ශෝෆර් සහ මාස් විසින් සන්ධානය නව ෆැසිස්ට් මූලද්‍රව්‍යයන් වගා කිරීම පිලිබඳ නිදර්ශනය සපයයි. පසුගිය ගිම්හානයේ චෙම්නිට්ස් හි පැවති ෆැසිස්ට්තාලයේ සංක්‍රමන-විරෝධී විරෝධතාවලින් ඉක්බිතිව, ශෝෆර් ප්‍රකාශ කලේ තමා රජයේ ඇමතිවරයෙකු නොවන්නේ නම් පාගමනට එක්වන බවයි. ඔහු කියා සිටියේ “සංක්‍රමනික ගැටලුව මේ රටේ සියලු ගැටලුවල මව” බවයි.

මිලිටරි බලයේ පිටුබලය ඇති ආක්‍රමනශීලී විදේශ ප්‍රතිපත්තියක් දිගින් දිගට ම ඉල්ලා සිටින සමාජ ප්‍රජාතන්ත්‍රවාදියෙකු වන මාස්, ජර්මානු ජනගහනයේ පලල් කොටස්වල, විශේෂයෙන් ශිෂ්‍ය හා කම්කරු පන්තියේ තරුනයින්ගේ පුලුල් වාමාංශික හා යුද විරෝධී ක්‍රියාවන්ට එරෙහිව සිය දැඩි කෝපය එල්ල කර තිබේ.

මෙම අශෝභන දේශපාලන ක්‍රියාවලියේ හරි මැද වූයේ හිට්ලර්ගේ ප්‍රතිපත්ති අවබෝධ කර ගත හැකි, සමහර විට පමන ඉක්මවා ගියත්, බොල්ශෙවික්වාදයේ විශාල නපුරට ප්‍රතිචාර දැක්වීම යැයි කියමින් තුන්වන රීචයේ අපරාධ සාපේක්ෂගත හා නීත්‍යානුකූල කිරීම සඳහා ප්‍රවේශමෙන් සැලසුම් කල ව්‍යාපාරයකි. ජර්මානු රජය සහ මාධ්‍ය විසින් ඉටු කරන ලද ප්‍රතිගාමී භූමිකාව විශේෂයෙන් පැහැදිලි වන්නේ බර්ලිනයේ කීර්තිමත් හුම්බෝල්ට් විශ්ව විද්‍යාලයේ දේශපාලනිකව සම්බන්ධිත නැගෙනහිර යුරෝපීය අධ්‍යයන දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා වන ප්‍රමුඛ හිට්ලර් ක්ෂමාලාපකයෙකු වන මහාචාර්ය ජෝර්ග් බාබෙරොව්ස්කි සම්බන්ධයෙන් ය.

සංක්‍රමනිකයින්ට එරෙහි කුරිරු දෝශ දර්ශන සහ නාසි අපරාධ පිලිබඳ නරුම ලෙස සුලු කොට සැලකීම නිසා බාබෙරොව්ස්කි සිසුන් විසින් හෙලා දැකේ. 2014 දී ඩර් ස්පීගල්ට ඔහු පැවසුවේ “හිට්ලර් කුරිරු නොවූ බව” හා “යුදෙව්වන් සමූල ඝාතනය කිරීම ගැන කතා ඔහුගේ මේසයේ දී අසන්නට ඔහු කැමති වූයේ නැත” යනුවෙනි. එසේ තිබියදීත්, එසේත් නැතිනම් එසේ වීම නිසා, බාබෙරොව්ස්කි මාධ්‍ය තුල සිංහයකු බවට පත්ව ඇති අතර රාජ්‍ය යන්ත්‍රයේ ඔහුගේ බොහෝ මිතුරන් විසින් ආරක්ෂා කරනු ලැබීමට පාත්‍රව ඇත. ලූබ්කේගේ ඝාතනයට දින කිහිපයකට පෙර ජර්මානු රජය දක්ෂිනාංශික අන්තවාදී මහාචාර්යවරයාට පිටු බලය දෙන නිල ප්‍රකාශයක් කරමින් බාබෙරොව්ස්කි පිලිබඳ ඕනෑම විවේචනයක් “නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී සමාජ පර්යායට” පහරදීමක් බව ප්‍රකාශ කලේය.

දැන් බාබෙරොව්ස්කිගේ ෆෙස්බුක් මිතුරිය වන එරිකා ස්ටයින්බැක්, ලූබ්කේ ඝාතනය පිලිබඳ අධ්‍යාත්මික සැලසුම්කාරියක ලෙස ප්‍රසිද්ධියේ හෙලා දැකීමට ලක්ව තිබේ. මේ වසර මුල දී, ස්ටයින්බැක් විසින් 2015 ඔක්තෝබර් මාසයේ දී සරනාගතයින් බාර ගැනීම වෙනුවෙන් පෙනී සිටීම නිසා ලුබ්කේට පහරදීම් මාලාවක් එල්ල කරන ලදී. බාබෙරොව්ස්කිගේ මිතුරිය ඇගේ පිටුවේ ප්‍රතිචාර තීරුවේ පල කර ඇති ලුබ්කේට එරෙහි මරන තර්ජන මකා දැමීම ප්‍රතික්ෂේප කලාය.

ලූබ්කේගේ ඝාතනය, සොසාලිස්ටිස් ග්ලීචයිට්ස්පාර්ටෙයි (එස්ජීපී) සහ ලෝක සමාජවාදී වෙබ් අඩවිය විසින් කරන ලද ෆැසිස්ට් පුනර්ජීවනයක් පිලිබඳ අනතුරු ඇඟවීම් සම්පූර්නයෙන් ම සනාථ කර තිබේ. බාබෙරොව්ස්කි හිට්ලර්ගේ අපරාධ නීත්‍යානුකූල කිරීම සහ ඉන් පසුව ජනාධිපති ජෝකිම් ගෝක් විසින් 2014 මියුනිච් ආරක්ෂක සමුලුවේ දී “මිලිටරි සීමා මායිම් අවසානය” පිලිබඳ නිවේදනය යන දෙකෙහි ම දේශපාලන ඇඟවුම් අපි පැහැදිලි කලෙමු.

එස්.ජී.පී. අනතුරු ඇඟවූයේ, “ජර්මනිය නාසීන්ගේ දරුනු අපරාධවලින් ඉගෙන ගෙන, බටහිරට එලඹ, සාමකාමී විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කර, ස්ථාවර ප්‍රජාතන්ත්‍රවාදයක් දක්වා වර්ධනය වී ඇති බව කියා පෑම බොරුවක් ලෙස නිරාවරනය වූ ජර්මානු අධිරාජ්‍යවාදය එය ඓතිහාසිකව මතුවෙද්දී යලිත් වරක් සිය රටේ සහ විදේශයන්හි සකලවිධ ප්‍රචන්ඩත්වයන් පාමින් එහි සැබෑ ස්වරූපය පෙන්වයි” යනුවෙනි.

ෆැසිස්ට් පුනර්ජීවනය නිසා ඇති වන අන්තරාය සැබෑ ය. එහෙත් 1930 ගනන්වල සහ අද පැවති දේශපාලන තත්වය අතර ගැඹුරු වෙනස්කම් තිබේ. හිට්ලර්ට සිය ධජය යටතේ මිලියන ගනනක් වූ අවමංගතවූ වූ හා විනාශ වූ කුඩා ව්‍යාපාරිකයන් හා දරිද්‍රතාවයෙන් පෙලෙන ගොවීන් බලමුලු ගැන්වීමට හැකි වූ නමුත් අද ෆැසිස්ට්වාදය මහජන ව්‍යාපාරයක් නොවේ. එය අතිමහත් බහුතරය විසින් හෙලා දකිනු ලැබේ. ජර්මානු අධිරාජ්‍යවාදයේ ඓතිහාසික අපරාධ වලට සුදු හුනු ගෑමට ජර්මානු පාලක පන්තිය කොතරම් උත්සාහ කලත්, ජනගහනයේ පුලුල් ජනතාව 1930 හා 1940 ගනන්වල භීෂනය අමතක කර නැත. මෑත මත විමසුමකට අනුව ජර්මානු ජනගහනයෙන් සියයට 70 ක් ඇෆ්ඩී කිසිදු ලෙසක රාජ්‍ය පාලන සහභාගීත්වයකට විරුද්ධ ය. එෆ්ඩී ඇතුලු වන සභාග රජයකට සහාය දක්වන්නේ සියයට 9 ක් පමනි.

එෆ්ඩී සහ ඒ වටා කක්ෂගත වන ෆැසිස්ට් ඝාතකයින්ගේ ශක්තිය බොහෝ දුරට රඳා පවතින්නේ රාජ්‍ය යාන්ත්‍රනයේ, විශේෂයෙන් පොලීසිය හා බුද්ධි අංශවලින් ලැබෙන සහයෝගය මත ය. තවද, එය ට සීඩීයූ / සීඑස්යූ සහ එස්පීඩී හි සහයෝගය සහ ක්‍රියාකාරී දිරිගැන්වීම මත විශ්වාසය තැබිය හැකිය. සියලුම ස්ථාපිත පක්ෂවල සහාය ලබන ගෝක්, ලුබ්කේ ගේ ඝාතනයෙන් පසු මෑතක දී ප්‍රකාශයට පත් කරන ලද ස්පීගල් සම්මුඛ සාකච්ඡාවක දී “දක්ශිනාංශය පිලිබදව වැඩි ඉවසා දැරීමක්” ඉල්ලා සිටියේ ය.

සැක්සනි-අන්හාල්ට් ප්‍රාන්තයේ වර්තමාන සීඩීයූ සාකච්ඡා පත්‍රිකාවක් විවෘත දක්ෂිනාංශික අන්තවාදී වැඩපිලිවෙලක් මත පදනම්ව එෆ්ඩී සමඟ සන්ධාන රජයක් පිහිටුවීමට විවෘතව ඉල්ලා සිටී. පත්‍රිකාව තර්ක කරනුයේ “නැවත වරක් සමාජය ජාතිය සමග එක් කිරීම අවශ්‍ය බවයි. සාපරාධීත්වයෙන් ආරක්ෂාව සමග සමාජ පරිහානියෙන් ආරක්ෂාව. නිවසක් සහ ජාතික අනන්‍යතාවයක් සඳහා ඇති ආශාව වාමාංශික පක්ෂ හා කන්ඩායම්වල බහු සංස්කෘතිකවාදයේ සියලු කෑලි වලට පැහැදිලිව ම විරුද්ධ විය යුතුය. ”

1920 ගනන්වල වයිමර් ජනරජයේ සිදු වූවාක් මෙන්, දක්ෂිනාංශික අන්තවාදීන් විසින් මධ්‍ය පක්ෂ දේශපාලක මතියස් අර්ස්බර්ගර් සහ ලිබරල් විදේශ ඇමති වෝල්තර් රතෙනෝව ඝාතනය කිරීමෙන් පසුව, අන්ත දක්ෂිනාංශිකයින් රිංගා ගෙන ඇති රාජ්‍ය යාන්ත්‍රනය වමට එරෙහි මර්දනය තීව්‍ර කිරීම සඳහා යොදා ගැනෙනු ඇත.

මහා සන්ධානයේ ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීම සඳහා වූ අමාත්‍යාංශයේ -වර්ෆසුන්ග්ස්චුට්ස්- නවතම වාර්තාව සනාථ කරන්නේ ධනේශ්වරයට නම් “ප්‍රජාතන්ත්‍රවාදයේ සතුරන්” සොයා ගත යුත්තේ දකුනෙන් නොව දේශපාලන වමෙන් බවයි. එෆ්ඩී සහ එහි දක්ෂිනාංශික අන්තවාදී ආධාරකරුවන් හඳුන්වනු ලබන්නේ “වාමාංශික අන්තවාදය” කියා කියනු ලබන දෙයට ගොදුරු වූවන් ලෙස ය. එහෙත් ධනවාදය, ජාතිකවාදය, මිලිටරිවාදය සහ අධිරාජ්‍යවාදයට එරෙහි විරෝධය “වාමාංශික අන්තවාදී” සහ “ව්‍යවස්ථා විරෝධී” ලෙස හෙලා දකී.

එස්.ජී.පී. ය බියපත් නොවන අතර මෙම දේශපාලන තර්ජනයෙන් ගෙන් එය සටන අත් නොහරී. එස්.ජී.පී. වර්ෆසුන්ග්ස්චුට්ස් ට එරෙහිව නීතිමය පියවර ගනිමින් සිටී. එය දක්ෂිනාංශික දේශපාලන කුමන්ත්‍රනය පරාජය කල හැකි එකම සමාජ බලවේගය වන ජර්මානු, යුරෝපීය සහ ජාත්‍යන්තර කම්කරු පන්තියට ආයාචනා කර සිටී.

ජොහැන්නස් ස්ටර්න්

Share this article: