මුස්ලිම්-විරෝධී ප්‍රචන්ඩත්වය උග්‍ර කිරීමේ තර්ජන මධ්‍යයේ ශ්‍රී ලංකාවේ මුස්ලිම් ඇමතිවරු ඉල්ලා අස්වෙති

Sri Lankan Muslim ministers resign amid growing threats of anti-Muslim violence

කේ. රත්නායක විසිනි, 2019 ජුනි 6

ෆැසිස්ට්වාදී බෞද්ධ භික්ෂූන්, සිංහල වර්ගවාදීන් හා අනෙකුත් ප්‍රතිගාමී කන්ඩායම් විසින් රටෙහි සුලුතර මුස්ලිම් ජනයාට එරෙහි ව ප්‍රචන්ඩ ප්‍රහාර දියත් කරන බවට කරන යලිත් තර්ජන එල්ල කරද්දී, ජුනි 3දා ශ්‍රී ලංකාවේ ආන්ඩුවේ මුස්ලිම් ඇමතිවරු නව දෙනෙක් ඉල්ලා අස් වූ හ.

ඉල්ලා අස්වීම් සිදුවූයේ, බෞද්ධ භික්ෂුවක් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන අතුරලියේ රතන විසින් ජුනි 1දා ඇරඹූ ප්‍රකෝපකාරී “මාරාන්තික උපවාසයකින්” පසුව ය. කැබිනට් ඇමති රිෂාඞ් බදියුදීන් සහ බස්නාහිර හා නැගෙනහිර පලාත් ආන්ඩුකාරවරුන් වන අසාද් සාලි හා එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා ඉවත් කරන ලෙස රතන ඉල්ලා සිටි අතර ඔවුන් සියලු දෙනා මුස්ලිම් ජාතිකයන් ය.

අප්‍රේල් 21දා ශ්‍රී ලංකාවේ ක්‍රිස්තියානි දේවස්ථාන හා සුඛෝපභෝගී හෝටල් ඉලක්ක කරගෙන ත්‍රස්තවාදී ප්‍රහාර එල්ල කල නැෂනල් තවුහීත් ජමාත් (එන්ටීජේ) නමැති ඉස්ලාමීය අන්තවාදී කන්ඩායමට සහයෝගය දුන් බවට මෙම පුද්ගලයන්ට රතන විසින් තහවුරු නො කල චෝදනා එල්ල කර ඇත. ඔහුගේ විරෝධතාව ශ්‍රී ලංකාවේ පාලක ප්‍රභූව විසින් මුස්ලිම්-විරෝධී මනෝගතියක් අවුලුවාලීමට දරන ප්‍රයත්නයන් සමග එක පෙලට පිහිටයි. රතන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ උපදේශකයෙකි.

සිරිසේන නායකත්වය දෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ (ශ්‍රීලනිප) කන්ඩායමේ නියෝජිතයන් උපවාසයේ යෙදෙමින් සිටි භික්ෂුව ජුනි 1දා හමු වී ඔහුගේ ඉල්ලීම්වලට සහයෝගය පලකලේය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නායකත්වය දෙන ශ්‍රීලනිප කන්ඩායම ද සිය නියෝජිතයන් යවා භික්ෂුවට සහාය දුන්නේය. ස්වෝත්තමවාදී කන්ඩායම්වලට මුස්ලිම්-විරෝධී උද්ඝෝෂනය උත්සන්න කිරීමට උඩගෙඩි දෙමින්, රාජපක්ෂ නායකත්වය දෙන කන්ඩායම පාර්ලිමේන්තුව තුල බදියුදීන්ට එරෙහි ව විශ්වාස භංග යෝජනාවක් ද ඉදිරිපත් කර ඇත.

ජුනි 2දා රතන හමු වූ ෆැසිස්ට්වාදී බොදු බල සේනා (බොබසේ) සංවිධානයේ නායක ගලගොඩ අත්තේ ඥානසාර, දහවල් වන විට රතනගේ ඉල්ලීම් ඉටු නො කලහොත් ඊ ලඟ දිනයේ ජාතික පරිමාන විරෝධතා පැවැත්වෙනු ඇති බව ප්‍රකාශ කලේ ය. ප්‍රචන්ඩත්වයට සූදානම් වෙමින් භික්ෂූන් ජුනි 3දා මහනුවර, කොලඹ හා තවත් නගර කිහිපයක වර්ගවාදී මැරයන් සංවිධානය කලේ ය.

අප්‍රේල් 21 ත්‍රස්තවාදී ප්‍රහාරවලින් ඉක්බිති ව දසදහස් ගනනක් භටයන් හා පොලීසිය, මුස්ලිම් ප්‍රදේශවල සෝදිසි මෙහෙයුම් සඳහා දිගේලි කරනු ලැබ ඇති නමුත් ප්‍රචන්ඩත්වය සඳහා තර්ජනය කරන වර්ගවාදී මැරයන් නැවැත්වීමට කිසිවක් කලේ නැත.

සිංහල වර්ගවාදී කන්ඩායම් මැයි 12 හා 13දා, වයඹ පලාතේ ස්ථාන කිහිපයක හා බස්නාහිර පලාතේ මිනුවන්ගොඩ මුස්ලිම් වැසියන්ට පහර දී දේපොල විනාශ කර, එක් පුද්ගලයෙකු ඝාතනය කරමින් තවත් බොහෝ දෙනෙකුට තුවාල සිදු කලේ ය. පොලීසිය හා මිලිටරිය මුස්ලිම්-විරෝධී ප්‍රචන්ඩත්වයට ඉඩදී සිටියහ.

ජුනි 3දා අසාද් සාලි හා එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා සිය අස්වීම් ලිපි සිරිසේනට යවන ලද අතර ඉක්බිතිව ඔහු ප්‍රකෝපකාරී විරෝධතාව අවසන් කරන ලෙස රතනට ආයාචනා කලේ ය. රතන එයට ක්ෂනික ව කීකරු විය. පසුව එදින ම කැබිනට් ඇමති බදියුදීන් ඔහුගේ ඉල්ලා අස්වීම බාර දුන්නේ ය.

මාධ්‍ය හමුවක් ඇමතූ ප්‍රධාන කැබිනට් ඇමතියෙකු වන රවුෆ් හකීම් අනෙකුත් මුස්ලිම් ඇමතිවරුන් සමග පෙනී සිටිමින් උත්සන්න කෙරෙන තර්ජන නිසා “භීතියට” පත් ව ඇති මුස්ලිම් ප්‍රජාව ආරක්ෂා කිරීම සඳහා ඇමතිවරු නව දෙනා ම ඉල්ලා අස්වීමට තීරනයකල බව පැවසීය. මුස්ලිම් නායකයන්ට එරෙහි සියලු චෝදනා කඩිනමින් විභාග කිරීමට ආන්ඩුව කටයුතු කිරීම ඇමතිවරුන්ට අවශ්‍ය බව ඔහු කීවේ ය. “අප අතරින් කවුරු හරි වැරදි බව ඔප්පු වුවහොත්, අපට දඬුවම් කල යුතු” යි ඔහු ප්‍රකාශ කලේ ය.

විමර්ශනය අවසන් වනතුරු තේරී පත්වූ මන්ත්‍රීන් ලෙස මුස්ලිම් ඇමතිවරු ආන්ඩුවට දිගට ම සහයෝගය දෙන බව හකීම් කීවේ ය. කොලඹ සංස්ථාපිතයේ කොටසක් හා ආන්ඩුවේ මර්දනීය පියවරයන්ට සහාය දී ඇති මුස්ලිම් දේශපාලන නායකත්වයේ තීරනය, සිංහල වර්ගවාදී හා බෞද්ධ අන්තවාදී කන්ඩායම් දිරිමත් කරනු ඇත.

මුස්ලිම්වරුන්ට එරෙහි ව අඛන්ඩ ව වර්ධනය වන තර්ජන ශ්‍රී ලංකාවේ සමස්ත කම්කරු පන්තියට අනතුරු ඇඟවීමකි. ආඥාදායක පාලන රූප සඳහා සූදානම්වීම්වල කොටසක් ලෙස කම්කරු පන්තිය වාර්ගික හා ආගමික රේඛා ඔස්සේ බෙදීමට පාලක ප්‍රභූවේ සෑම කන්ඩායමක් ම ක්‍රමානුකූල ව ඉස්ලාම් භීතිකාව යොදාගනිමින් සිටී.

කම්කරු පන්තිය බෙදා ධනපති පාලනය ආරක්ෂා කරගැනීමට දෙමල සුලුතරයට එරෙහි සිංහල ස්වෝත්තමවාදය යොදාගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පාලක පන්තිය කුප්‍රකට ය. එහි දෙමල-විරෝධී වෙනස්කම් හා විලෝපන දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහි 30-අවුරුදු යුද්ධය තුල කූටප්‍රාප්තියට පත් විය. එවකට එක්සත් ජාතික පක්ෂ (එජාප) ආන්ඩුව විසින් 1983 දී එය අවුලුවාලූයේ, කම්කරු පන්තිය බෙදීමට හා කොලඹ ආන්ඩුවේ “විවෘත වෙලඳපොල” ප්‍රතිව්‍යූහකරනය කෙරෙහි එහි විරෝධය බිඳීම සඳහා ය.

ශ්‍රී ලංකාවේ පාලක ප්‍රභූව හා මාධ්‍ය මුස්ලිම්-විරෝධී උන්මාදය දිගට ම අවුලුවද්දී, අප්‍රේල් 21දාට ත්‍රස්තවාදී ප්‍රහාරයක් සැලසුම් කොට තිබූ බව ඉන්දීය ඔත්තු සේවා විසින් ආරක්ෂක සංස්ථාපිතයට අනතුරු අඟවා තිබූ බව සත්‍ය කරුනකි. ආන්ඩුවේ නායකත්වයේ කොටසක් ද එය පිලිබඳ ව දැන සිටි නමුත් එයට සිදුවීමට ඉඩ හල බවට දැන් සාක්ෂි දිගහැරෙමින් තිබේ.

ඔවුන් ක්‍රියාමාර්ගයක් නො ගැනීම ගැන කිසිදු කරුනු පැහැදිලි කිරීමක් කර නැති ශ්‍රී ලංකාවේ ආන්ඩුව හා ආරක්ෂක බලධාරීන්, විෂඝෝර හදිසි තත්ත්වයක් පැනවීම ට ත්, දුරදිග යන බලතල ලබා දී රට පුරා සන්නද්ධ හමුදා දිගේලි කිරීමට ත් ප්‍රහාරය යොදාගෙන තිබේ. “ත්‍රස්තවාදීන්” පිලිබඳ ව තොරතුරු ලබා දෙන ලෙස මුස්ලිම්වරුන්ට නියෝග කර ඇති අතර, බුර්කාව හා නිකාබය ඇතුලු මුස්ලිම් කාන්තාවන්ගේ සාම්ප්‍රදායික ඇඳුම් තහනම් කරනු ලැබ ඇත.

මෙම මර්දන පියවරයන්ට සම්පූර්න සහයෝගය දෙන කොලඹ මාධ්‍ය, පොලිස් හා මිලිටරි සෝදිසි කිරීම් හා ප්‍රචන්ඩ අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් පිලිබඳ ප්‍රකෝපකාරී හා උද්වේගකර ලිපි පලකරමින් විෂකුරු මුස්ලිම්-විරෝධී උද්ඝෝෂනයක් ගෙන යයි.

මේ සියලු මර්දනීය පියවරවල සැබෑ ඉලක්කය වන්නේ කම්කරු පන්තිය යි. පසුගිය මාස හය පුරා වැඩුනු කම්කරුවන්ගේ වැඩ වර්ජන හා විරෝධතා රැල්ල, ආන්ඩුවේ ඊනියා ත්‍රස්ත-විරෝධී උද්ඝෝෂනය මගින් යටපත් කොට තිබෙන්නේ, වෘත්තීය සමිති හා ව්‍යාජ-වමේ පිටුබලය ඇතිව ය. මෙය තාවකාලික තත්ත්වයක් පමනි.

දෙසැම්බරයේ, සිය මූලික දෛනික වැටුප දෙගුන කරන ලෙස ඉල්ලා 100,000 ට අධික වතු කම්කරුවෝ දින නවයක ජාතික වර්ජනයක නිරත වූ හ. මාර්තුවේ එක් දින වර්ජනයක නිරත වූ ගුරුවරුන් 200,000ක් මැයි මාසයේ දෙදින වර්ජනයක් සඳහා සූදානම් වෙමින් සිටිය හ. ගම්බද කැලඹිල්ල වර්ධනය වෙමින් පවතින අතර, ශිෂ්‍යයෝ අධ්‍යාපනය පුද්ගලීකරනයට එරෙහි ව විරෝධතාවල නියැලී සිටිති.

ආන්ඩුවේ කප්පාදු පියවරයන්ට එරෙහි මෙම විරුද්ධත්වයෙන් භීතියට පත් ජනාධිපති සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ හා විපක්ෂ නායක රාජපක්ෂ යන සියලු දෙනා, ආඥාදායක පාලන ක්‍රම සූදානම් කරමින් සිටිති. පොලිස්-රාජ්‍ය පියවරයන්ට සහයෝගය දීම සඳහා, පාලක ප්‍රභූවේ සියලු කන්ඩායම් “ජාත්‍යන්තර ත්‍රස්තවාදය පැරදවීමේ” ව්‍යාජ උද්ඝෝෂනය යොදා ගනු ලබයි.

ඉස්ලාම්-විරෝධී කන්ඩායම් ක්‍රමානුකූල ව දිරිමත් කරමින් සිටින සිරිසේන, මැයි 23දා බොබසේ ප්‍රධාන ලේකම් ඥානසාරට ජනාධිපති සමාවක් ලබා දුන්නේ ය. අධිකරනයට අපහාස කිරීම හේතුවෙන් ඥානසාර වසර හයක සිර දඬුවමක් ගෙවමින් සිටියේ ය. මුස්ලිම්වරුන්ට හා ක්‍රිස්තියානීන්ට එරෙහි ප්‍රකෝපකාරීත්වයන් සම්බන්ධයෙන් බොබසේ කුප්‍රකට ය; අලුත්ගම හා ආසන්න කුඩා නගරවල 2014 මාර්තු මාසයේ මුස්ලිම්වරුන්ට එරෙහි ප්‍රචන්ඩ ක්‍රියාවන් ඇවිලවූයේ ඥානසාර ය. මෙම මර ප්‍රහාරවලදී දේපොල විනාශ කරන ලද අතර,මුස්ලිම් ජාතිකයන් හතරක් මිය ගොස් තවත් බොහෝ දෙනෙකුට තුවාල සිදු විය.

පසුගිය සතියේ යාපනයේ දී රැස්වීමක් ඇමතූ අගමැති වික්‍රමසිංහ, ඔහුගේ ආන්ඩුව “දේශපාලන උවමනාකම් ඉටු කරගැනීම සඳහා වාර්ගික අසමගියේ බීජ වපුරන්නන්ට අනුකම්පා” නො කරන බව කීවේ ය. ප්‍රචන්ඩත්වය නිර්මානය කිරීමේ උත්සාහයන් හා අදාල පුද්ගලයන් පිලිබඳ ව ඔත්තු සේවා තොරතුරු තිබෙන බව ද ඔහු සඳහන් කලේ ය.

වික්‍රමසිංහගේ රඟපෑම ව්‍යාජ ය. එජාපය නායකත්වය දෙන ආන්ඩුව හා එහි දේශපාලන ආධාරකරුවන් මුස්ලිම්-විරෝධී උන්මාදයට සහයෝගය දෙන අතර, මිලිටරි හා රාජ්‍ය යාන්ත්‍රනය ශක්තිමත් කරන නීති ගනනාවක් ම සම්මත කර ඇත.

මිලිටරිය හා එහි ඔත්තු සේවා අංශය “දුර්වල කිරීම” ගැන ආන්ඩුව හෙලා දකිමින් ද ත්‍රස්තවාදී ප්‍රහාරවලට මග පෑදුවේ එය බව පවසමින් ද රාජපක්ෂ නායකත්වය දෙන කන්ඩායම ඒ හා සමාන ව මුස්ලිම්-විරෝධී උද්ඝෝෂනය ගෙන යමින් සිටී.

මිලිටරියේ කන්ඩායමක සහයෝගය සහිත ව ආන්ඩු බලය අල්ලා ගැනීමට රාජපක්ෂගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුන (ශ්‍රීලපොපෙ) අපේක්ෂා කරයි. තමන්ගේ ඊ ලඟ ජනාධිපති අපේක්ෂකයා වන්නේ, හිටපු ආරක්ෂක ලේකම් හා හිටපු ජනාධිපතිගේ සොහොයුරු ගෝඨාභය රාජපක්ෂ බව ශ්‍රීලපොපෙ නිවේදනය කර ඇත. බෙදුම්වාදී එල්ටීටීඊයට එරෙහි යුද්ධයේ අවසන් ලේවැකි අවධිය මෙන් ම කම්කරුවන් හා දුගීන්ගේ අරගල මර්දනය කිරීමට මිලිටරිය හා පොලීසිය අනුකම්පා විරහිත ව දිගේලි කිරීම සම්බන්ධයෙන් ද ඔහු වගකිව යුතු ය.

මැර ප්‍රචන්ඩ ක්‍රියාවල අන්තරායන් කෙරෙහි උත්සුකතා පලකරමින් ලංකා වානිජ මන්ඩලයේ ලේකම් ධාරා විජේතිලක ජුනි 3දා ආරක්ෂක ලේකම්ට හා යුද හමුදාපතිට ලියුවේ ය. “නීතිය හා සාමය පවත්වාගෙන යාමේ වගකීම දරන ඉහල ම නිලධාරියා වසයෙන්, සාමය, නීතිය හා පර්යාය පවත්වාගෙන යාමට ඔබ පියවර ගනු ඇතැයි අපි අපේක්ෂා කරමු” යි ලිපිය ප්‍රකාශ කලේ ය.

විජේතිලකගේ “නීතිය හා සාමය” ලිපිය වනාහි, ආන්ඩුව හා සංගතයන් සමග ගැටුමට එන කම්කරු පන්තියට එරෙහි ව මිලිටරිය යොදාගන්නා ලෙස ඉල්ලා සිටීමට ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ප්‍රධානීන් පැකිලෙන්නේ නැති බවට වන තවත් ඉඟියකි.

ශ්‍රී ලංකාවේ කම්කරුවන් තත්ත්වය පිලිබඳ ව ගැඹුරින් සලකා බැලිය යුතු ය. පාලක ප්‍රභූවේ මුස්ලිම්-විරෝධී උද්ඝෝෂනයට හා එහි සියලු හදිසි නීති පියවරයන්ට එකහෙලා විරුද්ධ විය යුතු කම්කරු පන්තිය, වාර්ගික හා ජාතික බෙදුම් රේඛා කපාගෙන කම්කරුවන්ගේ එකමුතුව සඳහා සටන් වැදිය යුතු ය. වැඩපොලවල, විශාල වතුවල හා නිවහන් ප්‍රදේශවල ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමට ආරම්භකත්වය ගනිමින් කම්කරුවන්, තරුනයන්, ශිෂ්‍යයන් හා දුගීන්ගේ සහයෝගය ඒ සඳහා කැඳවුම් කල යුතු ය.

ආඥාදායක පාලනය සඳහා ධාවනය පරාජය කල හැක්කේ, ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස සමාජවාදී පිලිවෙත් ක්‍රියාවට දමන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා කම්කරු පන්තිය ස්වාධීන ව බලමුලුගැන්වීම හරහා පමනි. සමාජවාදී සමානතා පක්ෂය සටන් වදින ක්‍රියාමාර්ගය මෙය යි.

Share this article: