දුම්රිය සේවකයෝ අත්‍යවශ්‍ය සේවා නියෝග නොතකා වර්ජනය කිරීමට සූදානම් වෙති

ඩබ්ලිව්. ඒ. සුනිල් විසිනි, 2019 ජුනි 27

ආන්ඩුව පැනවීමට යන අත්‍යාවශ්‍ය සේවා නියෝග නොතකා බ්‍රහස්පතින්දා මධ්‍යම රාත්‍රියේ සිට එක් දින වර්ජනයක යෙදෙන බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානය නිවේදනය කර තිබේ. වර්ජනයට දුම්රිය එන්ජින් රියදුරු, ස්තානාධිපති, නියාමක, අධීක්ෂක නිලධාරී, පාලක ඇතුලු ශ්‍රේනිවල 3000 ක් පමන සේවකයන් සම්බන්ධ වීමට නියමිතය. වර්ජනය සිදුකරන බවට වෘත්තීය සමිති නිවේදනය කර ඇත්තේ ආන්ඩුවේ මර්දන පිලිවෙතට එරෙහිව දුම්රිය සේවකයන්ගේ බරපතල විරෝධය මධ්‍යයේ ය.

අදාල අතිවිශේෂ ගැසට් පත්‍රය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ අත්සනින් බ්‍රහස්පතින්දා නිකුත් කර ඇත.

“‍හදිසි නීතිය යටතේ දුම්රිය සේවය අත්‍යාවශ්‍ය සේවයක් බවට පත්කල පසු වෘත්තීය සමිති වලට වර්ජනය කරන්න බැහැ”‍ යයි ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය ඇමති අශෝක් අබේසිංහ මාධ්‍යට ප්‍රකාශ කර තිබේ. ඉන් පසුව වැඩ වර්ජනවල යෙදෙන අයට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ඔහු පැවසුවේය. රාජ්‍ය ඇමතිගේ ප්‍රකාශය අත්‍යාවශ්‍ය සේවා නියෝග නොතකා වර්ජනයේ යෙදෙන දුම්රිය සේවකයන් දඬු ගැසීමට ආන්ඩුව ක්‍රියා කරන බවට කල තර්ජනයකි. වර්ජනය කඩාකප්පල් කිරීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස විශ්‍රාමික රියදුරන්, නියාමකයන්, සංඥා පාලකයන් හා මාර්ග ආරක්ෂකයන් සේවයට කැඳවීමට ද ප්‍රවාහන ඇමති තීන්දු කර ඇත.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝග (ජාමුඅ) යටතේ ක්‍රියාවට දමන කප්පාදු පිලිවෙත් වලට කම්කරු පන්තිය තුල පැතිර ඇත්තේ බරපතල විරුද්ධත්වයකි. එහෙයින් කම්කරු පන්තියේ කවර හෝ කොටසක අරගලයක් පුලු‍ල් පන්ති සටන් රැලිකරන අක්ෂයක් බවට පත් වනු ඇතැයි ආර්ථික සහ දේශපාලන අර්බුදයක ගිලී සිටින සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව ද පාලක පන්තියද තැති ගෙන ඇත. අත්‍යාවශ්‍ය නියෝග පැනවීමෙන් හා විශ්‍රාමිකයන් සේවයට කැඳවීමෙන් දුම්රිය සේවක අරගලය මර්දනය කිරීමට ආන්ඩුව සුදානම් වන්නේ එම තතු තුල ය.

ආන්ඩුවේ රුදුරු මර්දන පියවරයන්ගෙන් වර්ජකයින් ආරක්ෂා කිරීමට දුම්රියේ අවශේෂ කම්කරුවන් ද සමස්ත කම්කරු පන්තිය ද ක්‍රියාකාරීව ඉදිරිපත් වියයුතුයයි සමාජවාදී සමානතා පක්ෂය (සසප) ඉල්ලා සිටි. අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරය සිදුවීමට ඉඩහැර එය ඩැහගෙන හදිසි නීති හා ත්‍රස්ත විරෝධී නීති පනවා පොලිස් රාජ්‍ය පියවර ගැනීමට ආන්ඩුව ක්‍රියාකරමින් සිටින්නේ, ජාත්‍යන්තර පන්ති අරගලයේ කොටසක් ලෙස ලංකාවේ නැගෙමින් පවතින පන්ති සටන් මැඩීමට බව සසප කියා සිටියේ ය.

දුම්රිය සේවක ඉල්ලීම් අසාධාරන බව පසුගිය ඉරිදා චෝදනා කල ප්‍රවාහන ඇමති අර්ජුන රනතුංග සේවක ඉල්ලීම් දීමට ආන්ඩුව නුසුදානම් බව අවධාරනය කලේ ය. ”‍සමිති කිහිපයක් අසාධාරන ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන වැඩ වර්ජන කරනවා. එම අසාධාරන ඉල්ලීම් දුන්නොත් රාජ්‍ය සේවයේ ලක්ෂ පහ හමාරකට අසාධාරනයක් සිදුවෙනවා”‍.

සෙසු රාජ්‍ය සේවකයන් ගැන කිසිදු කැක්කුමක් ඇමති රනතුංගට හෝ පාලක පන්තියේ කිසිවෙකුට නැත. එම ප්‍රකාශයෙන් ඔහු උත්සාහ කර ඇත්තේ දුම්රිය සේවකයන් හා සෙසු රාජ්‍ය සේවකයන් කෙටවීමටය.

“වර්ජන වලින් පීඩා විඳින්නේ මහජනතාව” යයි කිඹුල් කඳුලු හෙලු‍ රනතුංග ”‍ජනතාව මෙම වර්ජනයන්ට උත්තර දෙන්න පටන් ගනීවි. ජනතාව වර්ජනයන් මෙල්ල කරන ක්‍රමවේදය අතට ගනීවි. එය අනිවාර්යෙන් ම ඉදිරියේ දී සිද්ධවේවි”‍ යයි සඳහන් කලේ ය රනතුංග ගේ එම ප්‍රකාශය දුම්රිය සේවකයන්ට විරුද්ධව ආන්ඩුවේ පිටුබලය සහිතව මැරයන් උසිගන්වන බවට කෙරුන තර්ජනයකි.

දුම්රිය සේවය තුල පවතින වැටුප් විෂමතාවය ඉවත් කිරීම වර්ජනයට සහභාගිවන සේවකයන්ගේ මූලික ඉල්ලීම ය. දුම්රිය සහායක ශ්‍රේනිවල හා තම ශ්‍රේනිවල ආරම්භක මූලික වැටුප රුපියල් 16,500 ක් ලෙස සම තත්වයේ තැබීමෙන් තමන්ට අසාධාරනයක් වී ඇති බව ඔව්හු කියති. එහෙයින් තම ආරම්භක වැටුප ද්විතීය තලයේ එනම් රුපියල් 16,800 ක් කරන ලෙස ඔව්හු ඉල්ලති.

දුම්රිය ඇතුලු රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා පිලිබඳ වර්තමාන ගැටලු‍ව ආරම්භ වූයේ මහින්ද රාජපක්ෂ ආන්ඩුව විසින් 2006 ජුනි 1 නිකුත් කල රාජ්‍ය සේවක වැටුප් පිලිබඳ චක්‍රලේඛයෙනි. එය වැටුප් වැඩිකරන ලෙස ඉල්ලා රාජ්‍ය අංශයේ කම්කරුවන් 300,000 ක ගේ දැවැන්ත අරගලයට රාජපක්ෂ ආන්ඩුව දැක්වූ ප්‍රතිචාරයයි. එම චක්‍රලේඛය රාජ්‍ය අංශයේ වැටුප් විෂමතාව පුලුල් කර රාජ්‍ය සේවකයන් අතර භේදයක් නිර්මානය කිරීමේ රාජපක්ෂ ආන්ඩුවේ දැනුවත් උගුලක් වේ. එය කෙරුනේ රාජ්‍ය අංශයේ සියලු‍ වෘත්තීය සමිතිවල සහයෝගය ඇතිවය.

එදා මෙදා තුර වෘත්තීය සමිති ක්‍රියාකරන්නේ කම්කරුවන් යලියලිත් එම උගුලේ කොටු කර තැබීමට සහ ඔවුන් අතර ශ්‍රේනිවාදී බෙදීම් ඇවිලවීමට ය. පසුගිය වසර 13 තුල වැටුප් විෂමතාවය ඉවත් කරන ලෙස ඉල්ලා විරෝධතා උද්ඝෝෂන දුසිම් ගනනක් දුම්රිය වෘත්තීය සමිති සංධානය විසින් පමනක් කැඳවා ඇත. ඒවා කිසිවිටෙකත් සමස්ත දුම්රිය සේවකයන්ගේ ඒකාබද්ධ අරගල ලෙස සංවිධානය නොකල අතර හුදෙක් ම ආන්ඩුවට බලපෑම් දැමීමේ නිස්සාර උද්ඝෝෂන වූ අතර හැම විටම ඒවා අවසන් කෙරුනේ ආන්ඩුවේ ව්‍යාජ පොරොන්දු වලට දුම්රිය සේවකයන් යටත් කර පාවාදීමෙනි.

වෘත්තීය සමිති වල ප්‍රයත්නය දුම්රිය සේවකයන්ගේ අයිතීන් සඳහා අව්‍යාජ අරගලයක් සංවිධානය කිරීම නොව තම වැටුප් හා සේවා කොන්දේසි පිලිබඳ ගැටලු වලට විසඳුමක් නොලැබීම කෙරෙහි නොසන්සුන්ව සිටින දුම්රිය සේවකයන්ගේ විරෝධය යටපත් කර දැමීමට ය. පසුගිය සතියේ වර්ජනය පැය 48කට සීමා කල සමිති දැන් සති පතා කරන පැය 24 වර්ජනයකට අරගලය සීමා කර ඇත.

ගිය අවුරුද්දේ අගෝස්තු මස දුම්රිය සේවකයින් අඛන්ඩ වර්ජනයකට පැමිනි විට ආන්ඩුව අත්‍යවශ්‍ය සේවා නියෝගය දැමු වහාම දින දහයකින් වර්ජනය නතර කිරීමට සමිති පියවර ගත්තේය. පුච්චානම් දොඩවන සමිති නිලධරය ලද පලමු අවස්ථාවේදීම අත්‍යවශ්‍ය සේවා නියෝග පිලිගනිමින් අරගලය නතර කිරීමට මෙවර ද ක්‍රියා කරනු ඇති බවට අපි අනතුරු අඟවමු. ඊට හේතුව ධනාපති රාජ්‍යයට ගැටගැසී ඇති සමිති කම්කරුවන්ගේ අරගලය ආන්ඩුව සමග ගැටෙන දේශපාලන සටනක් බවට පරිවර්තනය වීමට විරුද්ධ වීමයි.

එහෙත්, කම්කරුවන්ට තම රැකියා, වැටුප්, ජීවන හා සේවාකොන්දේසි සහ සමාජ අයිතීන් රැක ගැනීම අවශ්‍ය ය. ශ්‍රේනි භේද නොතකා ආන්ඩුවේ මර්දනය පරාජය කිරීමට සියලු‍ කම්කරුවන් එක්සත් විය යුතුය. එක කන්ඩායමකට පහර සියලු‍ දෙනාටම පහරකි.

සසප යලිත් අවධාරනය කරන්නේ කම්කරුවන්ගේ ඉල්ලීම් ජයගැනීමට කරන සටනට බරපතලම බාධකය වෘත්තීය සමිතිවල මග ඇවිරීම් බවයි. ඔවුහු වෘත්තීය සමිතිවලින් හා නිලධරයෙන් ස්වාධීනව කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනගමින් ආන්ඩුවේ මර්දනයට එරෙහිව ඒකාබද්ධ අරගලයකට සටන් කල යුතු ය.

ධනපති පන්ති පාලනය යටතේ කම්කරුවන්ට තම අයිතීන් රැකගැනීමට හා ආරක්ෂාකර ගැනීමට නොහැකිය. ආන්ඩුව හා පාලක පන්තිය බරපතල අර්බුදයක් මධ්‍යයේ සූදානම් වන්නේ පොලිස් පාලනයකින් කම්කරුවන් හා දුගීන් තලා දැමීමටයි. කම්කරුවන් දුගීන් තමන් වටා රැලිකරගෙන, ජාත්‍යන්තර කම්කරු පන්තිය සමග එකමුතු වෙමින්, සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාවට දමන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒමට ක්‍රියාකාරී කමිටුවල අරගලය වර්ධනය කල යුත්තේ මේ නිසා ය.

Share this article: