කොමියුනිස්ට් ජාත්‍යන්තරය පිහිටුවීමේ සිට සිය වසරක්

One hundred years since the formation of the Communist International

පීටර් ෂ්වාර්ට්ස් විසිනි, 2019 මාර්තු 20

තුන්වැනි, කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ සමාරම්භක සම්මේලනය, මෙයට වර්ෂ සියයකට පෙර, 1919 මාර්තු 2 දා සිට මාර්තු 6 දා දක්වා මොස්කව්හි දී මුලු දුන්නේය.

තුන්වැනි, කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ සමාරම්භක සම්මේලනය, මෙයට වර්ෂ සියයකට පෙර, 1919 මාර්තු 2 දා සිට මාර්තු 6 දා දක්වා මොස්කව්හි දී මුලු දුන්නේය. බුරබුරා ඇවිල යමින් පැවැති සිවිල් යුද්ධය සහ අධිරාජ්‍යවාදී වැටලීම නිසා එහි පැමිනීම කෙතෙක් දුෂ්කර ව පැවතියේ වී වුව, නියෝජිතයෝ 51 දෙනෙක් සමුලුවට සහභාගී වූහ. සංවිධාන 17 ක් නියෝජනය කරමින් සහභාගී වූ පූර්න ඡන්ද බලය හිමි නියෝජිතයන් 35 දෙනෙක් ද, තවත් සංවිධාන 16 ක් නියෝජනය කරමින් සහභාගී වූ උපදේශක ඡන්ද හිමි නියෝජිතයන් 16 දෙනෙක් ද ඊට ඇතුලත් වූහ. ඉනික්බිතිව එලැඹි වසරවලදී විප්ලවවාදයට ලැදි කම්කරුවෝ දශ ලක්ෂ ගනනින් කොමියුනිස්ට් ජාත්‍යන්තරයට බැඳීමට නියමිත වූහ.

දෙවැනි ජාත්‍යන්තරය බිඳ වැටීම

තුන්වැනි ජාත්‍යන්තරය පිහිටුවීම පලමුවන ලෝක යුද්ධයේ ආරම්භයේදී දෙවැනි ජාත්‍යන්තරය බිඳ වැටීමට දැක්වුනු ප්‍රතිචාරය විය. 1914 අගෝස්තු 4 වන දින එහි වඩාත් බලගතු ශාඛාව වූ ජර්මානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (එස්පීඩීය) රේෂ්ටාගය (ජර්මන් පාර්ලිමේන්තුව) තුල දී යුද වියදම්වලට පක්ෂව ඡන්දය දෙමින්, එමඟින් ජර්මන් අධිරාජ්‍යවාදී යුද අරමුනුවලට සිය සහාය පල කලේය. රුසියානු හා සර්බියානු ශාඛා හැර සෙසු සියලු ශාඛා එස්පීඩීයේ ආදර්ශය අනුව යමින් අධිරාජ්‍යවාදී රුධිර ස්නානයට සහයෝගය දුන්හ.

යුද වියදම්වලට සහාය දැක්වීම මඟින් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී නායකයෝ සමාජවාදී ජාත්‍යන්තරවාදයේ ප්‍රධාන මූලධර්ම පාවා දුන්හ. ඊට යන්තම් සති කිහිපයකට ඉහතදී ඔවුහු යුද්ධය හෙලා දැකීමට ද, චාරිත්‍රානුකූල දේශනවලදී ඊට එරෙහිව කම්කරු පන්තිය බලමුලු ගැන්වීමට ද ප්‍රතිඥා දී තුබුනාහ. ඉනික්බිති අධිරාජ්‍යවාදී කඳවුරට එක් වෙමින් ඔවුහු කම්කරුවන් තමන්ගේම ධනපති පන්තිය සමඟ තාවකාලික සමාදානයකට ගෙන යාමේ සම්මුති අටවමින්, පන්ති අරගලය මැඩ ලා, උනුන් මරා ගැනීම සඳහා සිය සාමාජිකයන් යුද අගල් කරා දැක්කූහ.

ඒ සා ඓතිහාසික පරිමානයක දේශපාලන පාවාදීමක් ආත්මීය අභිප්‍රායයන් මඟින් පහදා දිය හැකි නොවේ. ඒ සඳහා ගැඹුරට මුල් බැසගත් වෛෂයික හේතු පැවතින. විවිධ ජාත්‍යන්තරයෝ හුදු අහඹු ලෙස පැන නොනඟින්නාහ. ඒවායේ පැන නැඟීම, දේශපාලනය, හා ක්‍රියාත්මකවීමේ විධික්‍රම සමාජ වර්ධනයේ නිශ්චිත අවධීන් සමඟ සමීපව බැඳී පවතී.

1864 වර්ෂයේ ලන්ඩනයේදී ජාත්‍යන්තර කම්කරු සංගමය පිහිටුවා ගැනීම (මාක්ස් කථිකයාට වම් පසින් වාඩි වී)

1864 දී මාක්ස් හා එංගල්ස්ගේ ක්‍රියාකාරී සහභාගීත්වයෙන් යුතුව පිහිටුවන ලද පලමුවැනි ජාත්‍යන්තරය ප්‍රාරම්භක ස්වභාවයේ එකක් විය. එය අනාගත වර්ධනයන් පිලිබඳව පූර්වාපේක්ෂාවෙන් පසුවෙමින්, එම වර්ධනයන් දේශපාලනිකව හා න්‍යායිකව සූදානම් කලේය. කම්කරු පන්තිය විසින් බලය අල්ලා ගැනීමට දරන ලද ප්‍රථම වීරෝදාර ප්‍රයත්නය වූ පැරිස් කොමියුනය මර්දනය කිරීමෙන් අනතුරුව, 1870 ගනන්වලදී එය විසුරුවා හරිනු ලැබීය.

1889 දී දෙවැනි ජාත්‍යන්තරය පිහිටුවන ලද අතර එය වෙනස් කාල වකවානුවකට අනුරූප වූවක් විය. වේගවත් ආර්ථික ප්‍රසාරනයක කොන්දේසි යටතේ බලගතු කම්කරු සංවිධාන වර්ධනය වෙමින් තහවුරු විය. ඒවා ජාත්‍යන්තරවාදයට තම සහයෝගය ප්‍රකාශ කර සිටි නමුදු, වෛෂයික කොන්දේසි විසින් ඒවායේ දේශපාලන දැක්ම හා ප්‍රායෝගික වැඩ කටයුතු මත පටවනු ලැබ තුබුනේ ජාතිකමය ස්වභාවයකි. ඔවුන්ගේ එදිනෙදා ප්‍රායෝගික කටයුතුවල අවධානය යොමු කෙරුනේ ප්‍රජාතන්ත්‍රවාදය හා සමාජ ප්‍රතිසංස්කරන සඳහා අරගලය කෙරේ සහ පක්ෂයත් වෘත්තීය සමිතිත් සංවිධානාත්මකව ශක්තිමත් කිරීම කෙරේය.

ඒ වූ කලී, සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂවලට රාජ්‍ය බලයට එරෙහිව විප්ලවවාදී අරගලයක් කිරීමේ අවකාශයක් ලබා නොදුන්, ක්‍රමානුකූල, ඓන්ද්‍රීය වර්ධනයේ කාල පරිච්ඡේදයක් විය. "සමාජවාදී පක්ෂය යනු විප්ලවවාදී පක්ෂයක් විනා විප්ලව ඇතිකරන පක්ෂයක් නොවේ"ය යනුවෙන් කාල් කෞට්ස්කි 1893 දී Die Neue Zeit න්‍යායික සඟරාවේ පල කල ප්‍රසිද්ධ කියමනෙන් නිසැකවම පිලිබිඹු කෙරුනේ එම වකවානුවේ ආත්මීය හා වෛෂයික සාධක අතර පැවැති සම්බන්ධතාවයයි.

විප්ලවවාදී ඉදිරි දර්ශනය හා ප්‍රතිසංස්කරනවාදී භාවිතය අතර වූ ආතතිය විප්ලවවාදී ඉදිරි දර්ශනයට එරෙහි අවස්ථාවාදී ප්‍රවනතාවයන් වැඩී ඒම සඳහා සරු පසක් විය. වරප්‍රසාදිත පක්ෂ ක්‍රියාකාරීන්ගේ ද, වෘත්තීය සමිති නිලධාරීන්ගේ ද, කම්කරුවන් අතර වඩාත් වැඩි ආදායම් ලද කොටස්වල ද සහාය ඔවුන්ට හිමි විය. ලෙනින් පැහැදිලි කල පරිදි, සාපේක්ෂව සාමකාමී ප්‍රසාරනයේ කාල පරිච්ඡේදයක් ගෙවමින් සිටි ධනපතීහු මෙකී කොටස්වලට "ජාතික ප්‍රාග්ධනයේ ලාභයෙන් සොච්චමක්" ලබා දුන් අතර, එමඟින් ඔවුන් "විනාශපත් මහජනයාගේ අලාමුලාවන්, දුක් පීඩාවන් හා විප්ලවවාදී මනෝගතීන් කෙරෙන් උදුරා ඉවතට ඇද ගන්නා ලදී."

රෝසා ලක්සම්බර්ග් ස්ටුවර්ට්හි පැවැත්වූ දෙවැනි ජාත්‍යන්තරයේ 1907 සම්මේලනය අමතමින්

මෙම "කම්කරු ප්‍රභූ තන්ත්‍රය" සාමකාමී කාල පරිච්ඡේදය තුල දී මෙන්ම යුද්ධයේ දී ද, "තමන්ගේම" අධිරාජ්‍යවාදය සමඟ තම උත්සුකයන් වඩවඩාත් අනන්‍ය කර ගනිමින් සිටියේය. එස්පීඩී සම්මේලනය තුල දී ඔවුහු තම ප්‍රමුඛතම ප්‍රකාශකයා වූ එඩුවාර්ඩ් බර්න්ස්ටයින් සමඟ සුලුතරය තුල ගොනු වී සිටියෝය. කෙසේවෙතත් එස්පීඩීයේ සුජාතක කොටසක් ලෙස පැවතීමට ඔවුන්ට ඉඩ හරින ලද අතර පක්ෂ යාන්ත්‍රනය හා වෘත්තීය සමිති තුල වඩාත් වැඩි බලපෑමක් දිනා ගැනීමට ඔවුහු සමත් වූහ.

1914 ගිම්හානයේ පලමු ලෝක යුද්ධය පැතිර යාම, ධනේශ්වර වර්ධනයේ නව අවධියක - එනම්, අධිරාජ්‍යවාදී යුගයේ, යුද්ධ හා විප්ලවයන්හි යුගයේ - ආරම්භය සනිටුහන් කලේය. ලෝක දේශපාලනය ජාතික දේශපාලනය මත ආධිපත්‍යය පතුරා ලීය; ජාතික රාජ්‍යයේ රාමුව තුල විප්ලවවාදී පෙලගැස්මක් පවත්වා ගෙන යාම තවදුරටත් නොකල හැක්කක් බවට පත් විය. දෙවැනි ජාත්‍යන්තරය බිඳ වැටීමේ හේතුව වූයේ එයයි. යුද්ධය සමඟ මුහුනට මුහුන දී සිටි අවස්ථාවාදය, දැන් තම සැබෑ මුහුන නිරාවරනය කොට, ප්‍රතිසංස්කරනවාදයට හා පන්ති සහයෝගීතාවයට පක්ෂපාතව පෙනී සිටිමින්, ජාත්‍යෝන්මාදවාදය හා යුද උන්මාදය වැලඳ ගත් අතර, සියලු අවිනිශ්චිත හා දෙගිඩියා සහගත කොටස් ස්වකීය ග්‍රහනයට නතු කොට ගත්තේය.

යුද්ධය පැතිරී ගොස් සති ගනනාවකට පසු එහි වැදගත්කම සම්පින්ඩනය කරමින් ට්‍රොට්ස්කි, "යුද්ධයේ සැබෑ වෛෂයික වැදගත්කම වනුයේ වත්මන් ජාතික ආර්ථික මධ්‍යස්ථාන බිඳ දැමීම හා ඒ වෙනුවට එහි තැන ගැනීමට ලෝක ආර්ථිකයක් ආදේශ කිරීමයැ"යි ලිවීය. "දැන් නිමාවට පත් යුගයේ පැවැති සමාජවාදී පක්ෂ ජාතික පක්ෂ වූහ. ඒවා තම සංවිධානවල විවිධාකාර සියලු ශාඛාවන් ද තම සකලවිධ ක්‍රියාකාරිත්වය හා මනෝවේදය ද සමඟ, ජාතික රාජ්‍යය තුල ගැඹුරින් මුල් බැස තුබුනාහ. ජාතික පසෙහි වැඩී ලොකු මහත් වූ අධිරාජ්‍යවාදය යල් පැන ගිය ජාතික සම්බාධක බිඳ දැමීමට පටන් ගත් කල්හි, සිය සම්මේලන වලදී ප්‍රකාශිත බරපතල ප්‍රකාශ හමුවේ ඔවුහු, ගතානුගතික රාජ්‍යයේ ආරක්ෂාව සඳහා නැඟී සිටියෝය. දැන් ජාතික රාජ්‍යය සිය ඓතිහාසික බිඳ වැටීම තු,ල ජාතික සමාජවාදී පක්ෂ ද තමන් සමඟ විනාශය කරා ඇද ගෙන ගොස් ඇත."

තුන්වැනි ජාත්‍යන්තරයේ කර්තව්‍යයෝ

එබැවින්, ඒ වූ කලී, දෙවැනි ජාත්‍යන්තරයේ බිඳ වැටීමෙන් අනතුරුව ඊට ප්‍රතිජීවනය දීම සම්බන්ධ ප්‍රශ්නයක් නොවන බව ලෙනින් හා ට්‍රොට්ස්කි ඒත්තු ගත්හ. හදිසිතම දේශපාලන කර්තව්‍යය වූයේ තම කර්තව්‍යයන් හා විධික්‍රම ස්වකීය පූර්වගාමියාගෙන් මූලිකවම වෙනස් වන්නා වූ තුන්වැනි ජාත්‍යන්තරයක් ගොඩ නැඟීමයි. පලමුව, අවස්ථාවාදීන් සමඟ තවදුරටත් එකම සංවිධානය තුල කටයුතු කිරීම කල හැක්කක් නොවීය. දෙවැනි ජාත්‍යන්තරය තුල සිටි මාක්ස්වාදීන් අවුරුදු ගනන් අවස්ථාවාදීන්ට එරෙහිව සටන් කොට තුබූ නමුදු, ප්‍රතිසංස්කරනවාදය සමාජ ප්‍රජාතන්ත්‍රයේ "සුජාත කොටසක් ලෙස කොයිහැටිවෙතත් සලකනු ලැබීය." මෙම තතු දිගටම පවත්වා ගෙන යා නොහැකි බවට අවධාරනය කරමින් ලෙනින් මෙසේ ලිවීය: "අවස්ථාවාදීන් සමඟ සමගිය යන්නෙන් අද දවසේ ඇත්තෙන්ම අදහස් කෙරෙන්නේ කම්කරු පන්තිය "තමන්ගේ" ජාතික ධනේශ්වරයට යටත් කිරීම සහ, අනෙකුත් ජාතීන් පෑගීමේ හා මහ-බලවතුන්ගේ වරප්‍රසාද සඳහා සටන් කිරීමේ අරමුනින් එය සමඟ සන්ධානගත වීමයි; එහි අර්ථය වන්නේ සියලු රටවල විප්ලවවාදී නිර්ධන පන්තිය භේද භින්න කිරීමයි."

දෙවනුව, වෛෂයික හා ආත්මීය සාධක අතර සම්බන්ධතාවය අත්‍යන්ත ලෙස වෙනස් වී තිබින. දෙවැනි ජාත්‍යන්තරය බලය අල්ලා ගැනීමේ ප්‍රශ්නය න්‍යායිකව ඉදිරිපත් කල අතර, තුන්වැනි ජාත්‍යන්තරයට සමාජවාදී විප්ලවය යනු ඈත අනාගතය සඳහා වූ පොදු ඉලක්කයක් නොව ප්‍රායෝගික කර්තව්‍යයක් විය. සමාජ ප්‍රජාතන්ත්‍රය යනු "විප්ලව ඇති කරන පක්ෂයක් නොවේ"ය හා "විප්ලවයක් උසි ගැන්වීම හෝ, එවැන්නකට මඟ සකස් කිරීම අපේ කාර්යයන්හි කොටසක් නොවේ"ය යන 1890 ගනන්වල දී නිශ්චිත සාධාරනීකරනයක් පැවැති කෞට්ස්කිගේ ප්‍රකාශ දැන්, විප්ලවයට එරෙහි බාධාවන් බවට ද, (පැවැති තත්වය පිලිබඳ) පරිපූර්නව ම සාවද්‍ය තක්සේරුවක් බවට ද පත් වී තිබින.

1919 කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ සමාරම්භක සම්මේලනය

තුන්වැනි ජාත්‍යන්තරය පෙනී සිටියේ විප්ලවවාදී නායකත්වය පිලිබඳ වෙනස් සංකල්පයක් වෙනුවෙනි. එහි කර්තව්‍යයන් සමන්විත වූයේ විප්ලවයේ නොවැලැක්විය හැකි බව පිලිබඳ පෙරදැකීමෙන් පමනක්ම නොවීය; එය සූදානම් කිරීම හා ඊට නායකත්වය සම්පාදනය කිරීම ද එහි කර්තව්‍යයන්ට ඇතුලත් විය. මෙය මතු වී ආවේ සමාජවාදී විප්ලවය සඳහා ආර්ථික පූර්වාවශ්‍යතා සියල්ල මෝරා තුබූ අධිරාජ්‍යවාදී අවධියේ ස්වභාවයෙනි. පෞද්ගලික දේපල හා සමාජකෘත නිෂ්පාදනය අතර ද, ලෝක ආර්ථිකය හා ජාතික රාජ්‍යය අතර ද ගැටුම තියුනු සමාජ ආතතීන් නිර්මානය කලේය. එහෙත් ඒවායේ නොවැලැක්විය හැකි පුපුරා යාම සමාජවාදී විප්ලවයකට පරිවර්තනය විය හැකිව තිබුනේ හුදෙක් විප්ලවවාදී මාක්ස්වාදී පක්ෂයක දැනුවත් මැදිහත් වීමෙන් පමනෙකි.

ට්‍රොට්ස්කි විසින් කර්තෘත්වය දරන ලද තුන්වැනි ජාත්‍යන්තරයේ සමාරම්භක සම්මේලනයේ ප්‍රකාශනය මෙය නිවේදනය කලේ මෙසේය: "පලමුවැනි ජාත්‍යන්තරය අනාගත වර්ධනයේ අනුක්‍රමයෙහි පූර්ව ලක්ෂන දක්වා එහි මාවත් පෙන්වා දුන් සංවිධානය නම්, දෙවැනි ජාත්‍යන්තරය දශ ලක්ෂ සංඛ්‍යාත කම්කරුවන් ඒකරාශී කොට සංවිධානය කල ජාත්‍යන්තරය නම්, තුන්වැනි ජාත්‍යන්තරය විවෘත බහුජන ක්‍රියාමාර්ගයන්හි ජාත්‍යන්තරයයි; විප්ලවවාදී සාක්ෂාත්කරනයේ ජාත්‍යන්තරයයි; ක්‍රියාකාරීත්වයේ ජාත්‍යන්තරයයි."

තවද තුන්වැනි ව, තුන්වැනි ජාත්‍යන්තරය වූ කලී ජාතික ශාඛාවන්හි සමවායක් නොව, ගෝලීය මූලෝපායයක් අනුයන ලෝක පක්ෂයක් විය. සියලු රටවල එකම කොන්දේසි පැවැති බවක් හෝ විප්ලවය සෑම තැනකම එක විට සිදුවන බවක් හෝ කිසියම් නිශ්චිත රටක් සඳහා සුවිශේෂී උපායයන් අනවශ්‍ය බවක් මෙයින් අදහස් නොකෙරින. එයින් අදහස් කෙරුනේ නිවැරදි ජාතික ප්‍රතිපත්තියක් වර්ධනය කල හැක්කේ ගෝලීය විශ්ලේෂනයක පදනම මත පමනක් බවයි, සෑම ශාඛාවක්ම "ලෝක ආර්ථිකයේ තතු හා ප්‍රවනතා පිලිබඳ හා, සමස්තයක් ලෙස ගත් ලෝක දේශපාලන පර්යාය පිලිබඳ විශ්ලේෂනයකින් ඍජුවම මෙහෙයවී ගත යුතු බවයි. ට්‍රොට්ස්කි 1928 දී මෙය ලියා දක්වා ඇත්තේ, "අතීතයේ පැවැති තතු වලට වඩා බොහෝසෙයින් වැඩි පරිමානයකින් වත්මන් යුගයේදී, නිර්ධන පන්තියේ ජාතික දිශානතිය ගලා ආ යුත්තේ හා ගලා ආ හැක්කේ ලෝක දිශානතියකින් පමනක් විනා ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට නොවේ. කොමියුනිස්ට්වාදී ජාත්‍යන්තරවාදය හා ජාතික සමාජවාදයේ සියලු ප්‍රභේද අතර පවත්නා මූලික හා ප්‍රමුඛ වෙනස පවතින්නේ මෙහිය," වශයෙනි.

තුන්වැනි ජාත්‍යන්තරයේ පැවැත්මෙහි මුල් වසරවලදී එහි කටයුතුවල පැවැති විශ්මිත දේශපාලන හා න්‍යායික පොහොසත්කම රැඳී ඇත්තේ මෙහිය. එය ලොව පුරා වූ කොමියුනිස්ට් පක්ෂවල ගැටලු හා කර්තව්‍යයන් කෙරේ අවධානය කේන්ද්‍රගත කල ජාත්‍යන්තර මූලෝපායයේ පාසලක් විය. කම්කරු පන්තියට එතුලින් සමස්තයක් ලෙස ජාත්‍යන්තර කම්කරු ව්‍යාපාරයේ න්‍යාය හා භාවිතය අනුයාමට ද, එහි සංකීර්න දේශපාලන ගැටලු සමඟ පොර බැදීමට ද, ඒවායින් ඉගෙනගැනීමට ද අවකාශ සැලසුනි. වෙලුම් ගනනාවක් පුරා ඇති එහි මුල් සම්මේලන හතරේ යෝජනා හා මූලලේඛ, විප්ලවවාදී මූලෝපායය හා උපක්‍රම පිලිබඳ විපුල මඟ පෙන්වීමක් සම්පාදනය කරයි.

1917 ඔක්තෝබර් විප්ලවය

1914 පාවාදීමෙන් ලෙනින් උකහා ගත් වඩාත්ම වැදගත් නිගමනය වූයේ තුන්වැනි ජාත්‍යන්තරය ගොඩ නැඟිය යුතුය යන්නයි. එය වියුක්ත, ශාස්ත්‍රීය ගැටලුවක් නොවීය. 1917 විප්ලවකාරී වර්ෂයේ බෝල්ෂෙවික් පක්ෂයේ ඉදිරි දර්ශනය හා වැඩ පිලිවෙල නිර්නය වූයේ එමඟිනි. ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලව න්‍යාය ද සමඟ එය ඔක්තෝබර් විප්ලවයේ විජයග්‍රහනයට පදනම දැමීය.

යුද්ධය පැතිර ගිය තැන් පටන්ම ලෙනින්, අවස්ථාවාදීන්ගෙන් මුලුමනින්ම බිඳීයාම වෙනුවෙන් පෙනී සිටිමින්, යුද්ධය සිවිල් යුද්ධයක් බවට; එනම්, සමාජවාදී විප්ලවයක් බවට; පරිවර්තනය කිරීමට කැඳවුම් කලේය. එහෙත් 1915 සැප්තැම්බරයේ ස්විට්සර්ලන්තයේ සිමර්වෝල්ඩ් ග්‍රාමයේ මුලු දුන් ප්‍රථම ජාත්‍යන්තර යුද-විරෝධී සමුලුවේ පවා මෙම ආස්ථානය දරමින් ඔහු සිටියේ සුලුතරය තුලය. යුද-විරෝධී සමාජවාදීන්ගේ බහුතරය ඉල්ලා සිටියේ ඈඳා ගැනීම්වලින් තොර සාමයකි; එනම්, යුද්ධයට පෙර පැවැති යථා තතු කරා ආපසු යාමකි. එහෙත් ලෙනින්ගේ ඉදිරි දර්ශනය යන්තම් දෙවසරක ඇවෑමෙන් අතිශය නාටකාකාරයෙන් තහවුරුවීමට නියමිතව තිබින.

1917 පෙබරවාරියේ රුසියාවේ සාර්වාදී තන්ත්‍රයට එරෙහි විප්ලවවාදී මහජන නැඟිටීමකින් ඉක්බිති බලයට පත් මෙන්ශේවිකයන් හා සමාජ විප්ලවවාදීන් මහජනයාගේ විප්ලවවාදී ඉල්ලීම් එකක් හෝ සපුරා ලීම ප්‍රතික්ෂේප කලේ, ධනේශ්වර පදනමක් මත යුද්ධයෙන් මිදීමේ කවර හෝ මාවතක් නොමැති බව එමඟින් ඔප්පු කරමිනි. අධිරාජ්‍යවාදී යුද්ධය දිගටම පවත්වා ගෙන යමින් හා ඉඩම් ප්‍රතිසංස්කරනයට එරෙහි වෙමින් ඔවුහු විප්ලවවාදී කම්කරුවන්ට එරෙහි නිර්දය මර්දනයක් ක්‍රියාත්මක කලෝය. වමට ගමන් කල කම්කරු පන්තිය බෝල්ෂෙවික් පක්ෂය වෙත හැරී ගති. 1917 ඔක්තෝබරයේදී ලෙනින්ගේ හා ට්‍රොට්ස්කිගේ නායකත්වය යටතේ බලය අල්ලා ගත් ඔවුහු ඉතිහාසයේ ප්‍රථම කම්කරු රාජ්‍යය ගොඩ නැංවූහ.

කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ දෙවැනි සමුලුව (ට්‍රොට්ස්කි වමේ සිට පෝල් ලෙවි හා සිනොවියොව් ලඟට තෙවැන්නා ලෙස)

ආර්ථික වශයෙන් පසුගාමී වූ රුසියාවේ කම්කරු බලය දීර්ඝ කාල පරිච්ඡේදයක් පුරා තහවුරු කර ගත හැක්කේ එය ලෝක සමාජවාදී විප්ලවයේ පූර්විකාව ලෙස ක්‍රියා කරන්නේ නම් පමනකැයි ලෙනින් හා ට්‍රොට්ස්කි තරයේ විශ්වාස කලහ. එම ඉදිරි දර්ශනය යථා නිරූපිත එකක් විය. ඉනික්බිතිව එලැඹි අවුරුදුවල ආධිපත්‍යය දැරුනේ යුරෝපය පුරා බහුජන කම්කරු අරගල හා චීනයේ, ඉන්දියාවේ හා සෙසු රටවල ඇවිල ගිය යටත් විජිත විරෝධී අරගල විසිනි. මෙම ව්‍යාපාර විජයග්‍රාහී විප්ලව නිර්මානය කිරීමට අසමත් වූයේ, අත්දැකීම් සහිත විප්ලවවාදී නායකත්වයක් නොපැවතීමේ, හෝ එහි මහජන සම්බන්ධතාවයේ අප්‍රමානවත්භාවයේ හේතුව මත පමනෙකි.

1918 නොවැම්බරයේ ජර්මානු විප්ලවය, කෛසර් අධිරාජයාට රාජ්‍යය අත්හැර දැමීමට බලකෙරෙමින් හා සෑම තැනකම කම්කරුවන්ගේ හා සෙබලුන්ගේ සභා ගොඩනැඟීමට මඟ පාදමින් මුලු රට මුලුල්ලේ ලැව් ගින්නක් සේ පැතිර ගියේය. සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් බලයට පත් වූ අතර, හමුදාවේ ඉහල විධායකය හා සන්ධානගත වෙමින් ද, රෝසා ලක්සම්බර්ග් හා කාල් ලිබ්නෙක්ට් යන විප්ලවවාදීන් ඝාතනය කරමින් ද ඔවුහු විප්ලවය මැඬලූහ. බැවේරියාවේ දින ගනනාවක් පුරා ද, හංගේරියාවේ මාස ගනනාවක් පුරා ද සෝවියට් සමූහාන්ඩු පැවැති නමුදු, ඒ දෙකම ප්‍රතිවිප්ලවවාදී හමුදා විසින් කෲර ලෙස මැඬ පවත්වන ලදී. මේ අතරතුර තිරය පසුපස කොමියුනිස්ට් ජාත්‍යන්තරය ලෝක විප්ලවයේ මධ්‍යස්ථානය ලෙස ශීඝ්‍රයෙන් ඉස්මතුවන්නට විය.

ස්ටැලින්වාදී පරිහානිය

අධිරාජ්‍යවාදී අවධිය තුල ආත්මීය සාධකයේ කේන්ද්‍රීය කාර්යභාරය, තුන්වැනි ජාත්‍යන්තරය විසින් විසඳිය යුතුව තුබූ ප්‍රධානතම ගැටලුව ද විය. දේශපාලන තතුවල පරිනතභාවය හා විප්ලවවාදී නායකත්වයේ අපරිනතභාවය අතර වූ මහා අඝාධය හරහා වූ පාලමක් ලෙස ක්‍රියා කිරීමට ඊට සිදු වී තිබින. ඉහත සිදු වූ වර්ධනයන් විසින් උරුම කොට දෙනු ලැබූ මේ ප්‍රශ්නය කාලයාගේ ඇවෑමෙන් පරදවා ලිය හැකිව තිබින. කෙසේවෙතත්, රුසියානු කොමියුනිස්ට් පක්ෂය තුල දේශපාලන පරිහානියේ ක්‍රියාවලියක් එවැනි ප්‍රයත්නයන්ට වඩවඩාත් බාධාකාරී ලෙස ක්‍රියාත්මක වන්නට විය.

කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ සිව්වන සම්මේලනය 1922 නොවැම්බරයේ මුලු දුන් දින එලැඹෙන විට ද, ලෙනින් ආඝාතයේ ප්‍රථම ප්‍රහාරයේ පීඩාවට ලක් වී අවසානය. ඉන් කෙටි කලකට පසු 1923 මාර්තුවේ තවත් ආඝාතයක් විසින් ඔහු තව දුරටත් දේශපාලන කටයුතුවල යෙදීමෙන් මුලුමනින් වලකා ලනු ලැබීය. ලෝක සමාජවාදී විප්ලවයේ නායක න්‍යායාචාර්යවරයා වූ ට්‍රොට්ස්කිට ස්ටැලින්ගේ නායකත්වයේ පැවැති ජාතික දිශානතියකින් යුතු වූ පක්ෂයකින් හා රාජ්‍ය නිලධරයකින් පීඩනය එල්ල විය.

1924 දී ස්ටැලින්, ලෝක ආර්ථිකයෙන් ස්වායත්තව සහ සෝවියට් සංගමයේ ජාතික රාමුව ඇතුලත සමාජවාදය ගොඩනැඟිය හැකියැයි කියා සිටි, "තනි රටේ සමාජවාදය" පිලිබඳ න්‍යාය ප්‍රකාශයට පත් කලේය. එය ස්ටැලින්වාදී තන්ත්‍රයේ රාජ්‍ය නිල මතය බවට පත්විය. න්‍යායිකව මෙහි අර්ථය වූයේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ දක්ෂිනාංශික කන්ඩායමේ ජාතික සමාජවාදය කරා පෙරලා යාමක් සහ සෝවියට් නිලධරයේ ජාතික උත්සුකයන්ට කොමියුනිස්ට් ජාත්‍යන්තරය දේශපාලනිකව යටත් කිරීමයි.

ට්‍රොට්ස්කි හා වාම විපාර්ශ්වය මෙම පරිහානියට එරෙහිව වසර ගනනක දීර්ඝ අරගලයක් දියත් කලෝය. 1928 දී, ඊට වසරකට ඉහත දී කොමියුනිස්ට් ජාත්‍යන්තරයෙන් නෙරපනු ලැබ සිටි ට්‍රොට්ස්කි, එහි කෙටුම්පත් වැඩ පිලිවෙලට එරෙහිව ලියැවුනු අතිශය ප්‍රබල විවේචනයක කර්තෘත්වය දැරීය. "තනි රටේ සමාජවාදය" පිලිබඳ න්‍යාය විසින්, සෝවියට් සංගමයේ ආර්ථික පිලිවෙත කෙරේ බිහිසුනු ගම්‍යමානයන් ඇති කෙරෙන බැව් ඔහු පෙන්වා දුන්නේය. නිර්ධන පන්තිය බලය අල්ලා ගැනීම මඟින් "ජාත්‍යන්තර ශ්‍රම විභජනයේ පර්යායයෙන් සෝවියට් ජනරජය බැහැර කිරීමක් කිසිසේත් සිදු කෙරී නැතැ"යි ට්‍රොට්ස්කි ලිවීය. එමෙන්ම ජාත්‍යන්තර කම්කරු පන්තිය අත්දුටු, 1927 දී චීන කොමියුනිස්ට් පක්ෂයේ විනාශයෙන් කුලු ගැන්වුනු, ව්‍යසනකාරී පරාජයන්ට හේතු වූයේ "තනි රටේ සමාජවාදයේ න්‍යාය" බවට ඔහු අවධාරනය කලේය.

ට්‍රොට්ස්කි හා ලෝක සමාජවාදී විප්ලවයේ ඉදිරි දර්ශනය ආරක්ෂා කල සෙසු සෑම අයෙකුමත් පලමුව කොමියුනිස්ට් පක්ෂවලින් නෙරපන ලදහ, ඉන්පසු සිරගත කරනු හා පිටුවාහල් කරනු ලැබූහ, අවසානයේ 1937-38 මහා භීෂනය සමයේ දසදහස් ගනනින් ඝාතනයට ලක් කරන ලදහ. 1940 අගෝස්තුවේදී ට්‍රොට්ස්කි ද ස්ටැලින්වාදී රහස් පොලිසියේ ඒජන්තයෙකු විසින් ඝාතනය කරනු ලැබීය.

හතරවැනි ජාත්‍යන්තරය

1933 දක්වා ට්‍රොට්ස්කි හා ජාත්‍යන්තර වාම විපක්ෂය යත්න දැරුවේ කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ පිලිවෙත් නිවැරදි කිරීමටය. එහෙත් ස්ටැලින්ගේ බලපෑම යටතේ ජර්මානු කොමියුනිස්ට් පක්ෂය නාසීන්ට එරෙහිව සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් සමඟ එක්සත් පෙරමුනක් ගොඩ නැඟීම ප්‍රතික්ෂේප කිරීමෙන් හා එමඟින් හිට්ලර්ට කිසිදු සටනකින් තොරව බලය ගැනීමට මඟ පෑදීමෙන් පසුව ද, ඊට එරෙහිව කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ කිසිදු ශාඛාවක් විරුද්ධත්වය පල නොවීමෙන් පසුව ද, ට්‍රොට්ස්කි හතරවැනි ජාත්‍යන්තරය ගොඩ නැඟීම සඳහා කැඳවුම් කලේය.

හතරවැනි ජාත්‍යන්තරය තමා පදනම් කලේ තුන්වැනි ජාත්‍යන්තරයේ මුල් සම්මේලන හතර මතය. ලෝකය ම්ලේච්ඡත්වයේ, ෆැසිස්ට්වාදයේ හා යුද්ධයේ කරවටක් ගිලී සිටි කාල පරිච්ඡේදයක හතරවැනි ජාත්‍යන්තරය මාක්ස්වාදයේ අඛන්ඩතාවය පවත්වා ගනිමින් විප්ලවවාදී අරගලයන්හි නව අවධියක් සූදානම් කලේය. එහෙත් එය හුදෙක්, එහි පූර්වගාමියාගේ කටයුතු පවත්වා ගෙන ගියා පමනක් නොවීය. එක් අතෙකින් තුන්වැනි ජාත්‍යන්තරය ආරම්භ කල දිනවලින් අනතුරුව සමාජ ප්‍රතිවිරෝධයන් වඩාත් තියුනු වී තිබින. ලෝකය දෙවන ලෝක යුද්ධයේ අද්දරට පත්ව තිබින. ට්‍රොට්ස්කි "ධනවාදයේ මරලතෝනිය" පිලිබඳව කථා කලේය. අනෙක් අතට නිර්ධන පන්තියේ නායකත්ව අර්බුදය පිලිබඳ අධියෝජනාව ස්ටැලින්වාදයේ නැඟීම මඟින් සංකීර්නත්වයට පත් කෙරී තිබින.

ජර්මනියේ ව්‍යසනයෙන් පසු කොමියුනිස්ට් ජාත්‍යන්තරය විවෘත ප්‍රතිවිප්ලවවාදී බලවේගයක් ලෙස ඉස්මතු විය. "මහජන පෙරමුනේ" නාමයෙන් ධනපති පක්ෂ සමඟ සන්ධාන ගොඩ නඟා ගත් එය ධනේශ්වර පාලනයට අභියෝග කිරීමට කම්කරු පන්තිය දැරූ සෑම විප්ලවවාදී පරිශ්‍රමයක්ම මැඩලීය. ප්‍රංශයේදී මහජන පෙරමුන 1936 මහා වැඩ වර්ජනය මර්දනය කරමින්, ඉන් වසර හතරකට පසු නාසීන්ට පක්ෂපාතී ඒකාධිපතිවාදී තන්ත්‍රයක් තහවුරු කල මාෂල් පෙටේන්ට මඟ පාදා දුන්නේය. ස්පාඤ්ඤයේ දී ෆැසිස්ට්වාදී ෆ්‍රැන්කෝගේ ජයග්‍රහනයට ඉඩ ලැබෙන පරිදි සෝවියට් රහස් පොලිසිය සිවිල් යුද්ධයේ පෙරමුනු සීමාවන්ට පසුපසින් සිට විප්ලවවාදී සටන්කරුවන් ඝාතනය කලේය. සෝවියට් සංගමය තුලදී ස්ටැලින්වාදී තන්ත්‍රය මොස්කව් නඩුවල රාමුව තුල ඔක්තෝබර් විප්ලවයේ සමස්ත නායකත්වයම කායිකවම මූලෝත්පාටනය කර දැමීය. අවසානයේ 1943 දී ස්ටැලින් කොමියුනිස්ට් ජාත්‍යන්තරය විසුරුවා හැරියේ, එය ඇමරිකානු හා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් සමඟ ඔහුගේ වූ සන්ධානයට අවහිරයක් බවට පත්ව තුබූ නිසාය.

ලියොන් ට්‍රොට්ස්කි මෙක්සිකෝවේ දී

1939 සිටම, යුද්ධයේ හා ෆැසිස්ට්වාදයේ පීඩනය යටතේ "ප්‍රජාතන්ත්‍රවාදී අධිරාජ්‍යවාදයට" හෝ ස්ටැලින්වාදී කඳවුරුවලට අනුවර්තනය වූ තමන්ගේම සාමාජිකත්වය ඇතුලත අවස්ථාවාදී ප්‍රවනතාවයන් සමඟ සටන් වැදීමට හතරවැනි ජාත්‍යන්තරයට සිදුවිය. දෙවැනි ලෝක යුද්ධයෙන් ඉක්බිති, ස්ටැලින්වාදයේ ප්‍රතිවිප්ලවවාදී කාර්යභාරය හා ඇමරිකානු අධිරාජ්‍යවාදයේ දැවැන්ත ආර්ථික බලය විසින් ධනේශ්වර ක්‍රමයට පන නල රැක ගැනීමේ අවකාශය ලබා දීමෙන් පසු, මෙම පීඩනය වඩාත් තීව්‍ර විය.

හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජජාකය) 1953 දී පිහිටුවන ලද්දේ, මයිකල් පැබ්ලෝ හා අර්නස්ට් මැන්ඩේල් නායකත්වය දුන් සංශෝධනවාදී ප්‍රවනතාවක් විසින් හතරවැනි ජාත්‍යන්තරය ස්ටැලින්වාදී නිලධරය තුලට හා විවිධාකාර ධනපති ජාතිකවාදී විමුක්ති ව්‍යාපාර තුලට දිය කර හරිනු ලැබීම වලක්වනු පිනිසය. එතැන් පටන් මේ දක්වාම එය, පශ්චාත්-යුද කාලීන කාල පරිච්ඡේදය තුල අත්‍යන්ත ලෙස දුෂ්කර වූ කොන්දේසි යටතේ, තමන් ට්‍රොට්ස්කිවාදීන් ලෙස කියා පෑමෙහි ලා වංක ලෙස යත්න දැරූ විවිධාකාර අවස්ථාවාදී ප්‍රවනතාවයන්ට එරෙහිව, ලෝක විප්ලවයේ ඉදිරි දර්ශනය නිර්දය ලෙස දරා සිට ඇත.

1985 දී මෙම අරගලය එහි ඉහලම මුදුනත කරා නැඟුනේය. බ්‍රිතාන්‍ය කම්කරු විප්ලවවාදී පක්ෂයේ ද්‍රෝහී පලායන්නන් සමඟ භේදය තුලදී හජාජාකය, හතරවැනි ජාත්‍යන්තරයේත්, ස්ටැලින්වාදයට, ධනපති ජාතිකවාදයට හා සුලු ධනපති අවස්ථාවාදයට එරෙහි අරගලයේත් සමස්ත ඉතිහාසය සමඟ තමාගේ අඛන්ඩතාවය තහවුරු කලේය.

එහි ඉතිහාසයේ වැදගත්කම සාරාංශ කොට දැක්වූ 1988 ඉදිරි දර්ශන ලේඛනයක් තුල ජාත්‍යන්තර කමිටුව නිෂ්පාදනයේ ගෝලීයකරනය, අන්තර්ජාතික සමාගම් බිහිවීම, සහ සමාජවාදී විප්ලවයට එහි බලපෑම කවරාකාර වේද යන කරුනු කෙරේ අවධානය යොමු කලේය. පන්ති අරගලයේ ඊලඟ අදියර ලක්ෂනනය වනු ඇත්තේ පෙර නොදුටුවිරූ ආකාරයේ ජාත්‍යන්තරකරනයකින් බවටත්, පන්ති අරගලය හුදෙක් එහි අන්තර්ගතයෙන් පමනක් නොව ආකෘතියෙන් ද ජාත්‍යන්තර වනු ඇති බවටත් එය අනාවැකි පල කලේය. මෙම තක්සේරුව මත පදනම්ව හජාජාකය සිය ශාඛා සමාජවාදී සමානතා පක්ෂ ලෙස සංස්ථාපනය කල අතර, භාෂා 20 කින් පල කෙරෙන, ලොව පුරා පාඨකයන් සිටින, හා දෛනික පදනමකින් කම්කරුවන්ට දේශපාලන දිශානුයෝජනය සම්පාදනය කරන ජාත්‍යන්තර ප්‍රකාශන අවයවයක් වන ලෝක සමාජවාදී වෙබ් අඩවිය වර්ධනය කලේය. අපමන ව්‍යාජ - වාම ප්‍රවනතා සියල්ල නිලධරයන් හා රාජ්‍ය යන්ත්‍ර තුලට තමන් සමෝධානය වෙමින් ද, ධනපති ආන්ඩුවලට සහාය පුදමින් ද, අධිරාජ්‍යවාදී යුද්ධවලට පිටුබලය ලබා දෙමින් ද කටයුතු කොට ඇති අතර, තුන්වැනි ජාත්‍යන්තරයේ මුල් සම්මේලන හතරේ සහ හතරවැනි ජාත්‍යන්තරයේ සම්ප්‍රදායයන් මත පදනම් වූ සමාජවාදී හා ජාත්‍යන්තරවාදී වැඩ පිලිවෙලක් වෙනුවෙන් අද දවසේ පෙනී සිටින එකම ප්‍රවනතාවය හජාජාකයයි.

තුන්වැනි ජාත්‍යන්තරය පිහිටුවා වසර සියයක් ගත වී ඇති වර්තමානය වන විට, 20 වන සියවස මිනිස් ඉතිහාසයේ වඩාත්ම ප්‍රචන්ඩ සියවස බවට පත් කල එකී ප්‍රතිවිරෝධයන් එකකුදු විසඳා නැත. බරපතල සමාජ අසමානතාවය, තියුනු ගෝලීය ආර්ථික අර්බුද, රටවල් එහැමපිටින් අධිරාජ්‍යවාදී බලවතුන් යටතට පත්වීම, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ බිඳවැටීම, ෆැසිස්ට් ව්‍යාපාර නැඟී ඒම, ප්‍රමුඛ බලවතුන් අතර කර්කශ ගැටුම්, සහ අත ලඟට පැමින ඇති ලෝක යුද්ධයක අනතුර ද මනුෂ්‍ය වර්ගයාට යලිත් තර්ජනය කරයි.

නිලධර සංවිධාන විසින් පන්ති අරගලය යටපත් කර තුබූ දශක ගනනාවකට පසු කම්කරු පන්තිය යලිත් වරක් අරගලයට එලැඹෙමින් හා තමාගේම ස්වාධීන ඉල්ලීම් මතු කරමින් සිටී. ප්‍රංශයේ, ඇල්ජීරියාවේ, එක්සත් ජනපදයේ හා තවත් රටවල් ගනනාවක මහජන සමාජ අරගල පැන නැඟීම නව විප්ලවවාදී කාල පරිච්ඡේදයක ආරම්භය සනිටුහන් කරයි.

තුන්වැනි ජාත්‍යන්තරය විසඳීමට යත්න දැරූ ධනපති ක්‍රමය පෙරලා දැමීම, ජාතික රාජ්‍යය අභිබවා යාම, සහ ලෝක ආර්ථිකයේ අතිමහත් සම්පත් ඉසුරුමත් සුලු පිරිසකගේ ලාභාපේක්ෂාවන්ට නොව, සමස්තයක් ලෙස සමාජයේ උත්සුකයන්ට අනුකූල වන පරිදි ප්‍රතිසංවිධානය කිරීම යන එම කර්තව්‍යයන්ටම කම්කරු පන්තිය අදත් මුහුන දී සිටී. මෙම කර්තව්‍යයන් ඉටුකිරීම සඳහා වන වෛෂයික පූර්වාවශ්‍යතා සපිරී ඇත. මීට ශතවර්ෂයකට පෙර පැවැති තතු හා සසඳා බැලීමේදී කම්කරු පන්තිය සංඛ්‍යාත්මකව කිහිප ගුනයකින් විශාල වී ඇත; ලෝක ආර්ථිකය අතිශය ඉහල මට්ටමකින් සමෝධානය වී ඇත; තාක්ෂනික සම්පත් අතිශයින් වර්ධනය වී ඇත.

දැන් සියල්ල රඳා පවතිනුයේ මෙකී කර්තව්‍යයන් ජයග්‍රාහීව ඉටු කිරීමෙහි සමත් විප්ලවවාදී නායකත්වය ගොඩනැඟීම මතය. තම ඉතිහාසය, සම්ප්‍රදායයන් හා වැඩපිලිවෙලට අනුව මේ නායකත්වය බවට පත්විය හැක්කේ හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවට හා එහි ශාඛා වන සමාජවාදී සමානතා පක්ෂවලට පමනෙකි.

Share this article: