ඇමරිකා සෙනේට් සභාව ට්‍රම්ප්ගේ හදිසි නීති නියෝග පෙරලා දමයි

US Senate votes to overturn Trump emergency decree

පැට්‍රික් මාටින් විසිනි, 2019 මාර්තු 15

දේශපාලන සංස්ථාපිතය තුල නැඟී එන අර්බුදය සලකුනු කරමින් සෙනේට් සභාව, පෙබරවාරි 15දා ජනාධිපති ට්‍රම්ප් විසින් නිකුත් කරන ලද ජාතික හදිසි අවස්ථා ප්‍රකාශය පෙරලා දැමීමට, 14දා සවස 59-41 ලෙස ඡන්දය දුන්නේය. නියෝගය තුලින් ට්‍රම්ප්, ඇමරිකා-මෙක්සිකෝ දේශසීමාව දිගේ ඉදිකරන තාප්පය සඳහා මිලිටරියේ සම්පත් යොදාගැනීමට අපේක්ෂා කලේය.

නියෝජිත මන්ත්‍රී මන්ඬලය විසින් පෙබරවාරි 26දා සම්මත කල යෝජනාව අනුමත කරමින් ට්‍රම්ප්ගෙන් බිඳී ගිය රිපබ්ලිකානු සෙනේට් සභිකයින් 12 දෙනෙක් ඩිමොක්‍රටිකයින් 47 දෙනාට එක් වූහ. 1976 ජාතික හදිසි අවස්ථා පනතේ රෙගුලාසි වලට අනුව, ජනාධිපති විසින් ප්‍රකාශයට පත්කරනු ලබන හදිසි අවස්ථා ප්‍රකාශයක් කොන්ග්‍රසයේ මන්ඬල දෙකෙන් එකක් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවහොත්, අනෙක් මන්ඬලය දින 18ක් ඉක්ම යාමට මත්තෙන් ඒ පිලිබඳව ඡන්දය විමසිය යුතුය. දිග කථා පවත්වමින් ක්‍රියාවලිය ප්‍රමාද කිරීමට ඉඩක් නැත. ඡන්දය සාමාන්‍ය බහුතරයකින් සම්මත වීම ප්‍රමානවත්ය.

මේසයට අත්සන සඳහා පැමිනි වහාම ට්‍රම්ප් තම නිෂේධ බලය පාවිච්චි කිරීමට බලාපොරොත්තු වේ. සෙනේට් සභාවේ ඡන්දයෙන් මිනිත්තු කිහිපයක් ගතවෙද්දී ට්‍රම්ප් “නිෂේධබලය” යන වචනය ට්වීටර් සටහනක ලිවීය. ඔහුගේ ට්වීටර් සටහන ඩිමොක්‍රටිකයින්ට හා මන්ඬලයේ කථානායක නැන්සි පෙලෝසිට එරෙහි චෝදනා වලින් පිරී තිබුනි. එසේම ඔහු ධවල මන්ඳිරයට පිටුපාන ඕනෑම රිපබ්ලිකානු සෙනේට් සභිකයෙකුට එරෙහිව දේශපාලන පලිගැනීම් පිලිබඳව ද තර්ජනය කලේය.

රිපබ්ලිකානුවන් 12 දෙනා එවන් තර්ජන ගනන් නොගැනීම වැදගත්ය. ඊට කලින් දිනයේ රිපබ්ලිකානුවන් 7 දෙනෙක් යෝජනාවට පක්ෂව ඡන්දය දීම පිනිස ධවල මන්ඳිරයට පිටුපෑහ. ඔවුහු යේමනයේ සිවිල් යුද්ධයට සව්දි අරාබිය විසින් කරනු ලබන මිලිටරි මැදිහත්වීම් සඳහා ඇමරිකාව සහාය දැක්වීම හෙලාදුටුවෝය. දැන් යෝජනාව 54-46න් සම්මත වීමට නියමිත විය.

කෙසේ වුව ද මෙම කයිවාරු වලට වඩා වැදගත් වන්නේ, හදිසි අවස්ථා නියෝග වලට පක්ෂව සෙනේට් සභාවේ රිපබ්ලිකානුවන් 41 දෙනෙක් ධවල මන්ඳිරයට සහයෝගය දී තිබීමයි. මේ අනුව රිපබ්ලිකානු මන්ත්‍රීන් විශාල බහුතරයක්, ඇමරිකානු ව්‍යවස්ථාවෙන් ගෙනහැර දැක්වෙන බලය බෙදීමේ වගන්ති අමු අමුවේ උල්ලංඝනය කල ජනාධිපතිගේ පියවරයන්ට සහයෝගය දෙති.

ඔවුන් තමන්ගේම ඉතා වැදගත් බලතල ප්‍රතික්ෂේප කරයි. එනම්, අරමුදල් උපයෝගී කිරීමේ ඉතා වැදගත් බලතල මඟින් ෆෙඩරල් ආන්ඩුවේ කටයුතු පවත්වා ගැනීමට සම්පත් සැපයීමය.

විපක්ෂව ඡන්දය දුන් රිපබ්ලිකානුවන් පැහැදිලිවම පෙන්නුම් කර තිබෙන්නේ, දේශසීමා තාප්පයක් ඉදිකිරීම ද ඇතුලු සංක්‍රමනිකයන් රුදුරු ලෙස මැඬීමේ ට්‍රම්ප්ගේ ප්‍රතිපත්තියට සැබවින්ම සහාය දක්වන බවයි. ඔවුන්ගේ පිලිකෙව් කිරීම මඟින් ව්‍යවස්ථා විරෝධී විධික්‍රම යොදාගැනීම අනුමත කරයි. විශේෂයෙන් සැතපුම් 55කට වඩා නව තාප්පය ඉදිකිරීම තහනම් කරමින්, ඩොලර් බිලියන 1.375කට වඩා “දේශසීමා ආරක්ෂාව” සඳහා වැය කිරීම කොන්ග්‍රසය මඟින් ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව හදිසි අවස්ථා නියෝගයක් පැනවීමට පක්ෂ වීමයි.

අතින් ලිවූ ප්‍රකාශයකින් කැන්සාස් කොන්සවේටිව් රිපබ්ලිකානු සෙනේට් සභික ජෙරී මෝගන් පැවසුවේ, “මේ තුතු තුල හදිසි අවස්ථා බලතල පාවිච්චි කිරීම ව්‍යවස්ථා විරෝධී බව මම විශ්වාස කරමි” යනුවෙනි. “මෙ මඟින් අපේ රට, ව්‍යවස්ථාව බියකරු යයි ලිවූ අයගේ පූර්න බලතල ඇති විධායක ක්‍රමයක මාවතේ ගමන් කරයි.”

“ව්‍යවස්ථාමය අර්බුදයක්” අවුලුවන්නේ යයි කලින් චෝදනා නැඟූ, ටෙනසිහි සෙනේට් සභික ලැමා ඇලෙක්සැන්ඩර් මෙසේ පවසා තිබුනි. “මීට පෙර ජනාධිපතිවරයෙක්, කොන්ග්‍රසයෙන් ප්‍රතික්ෂේප කල අරමුදලක් ඉල්ලා නැත. දැන් ජනාධිපති කෙසේ හෝ මුදල් වියදම් කිරීමට 1976 ජාතික හදිසි අවස්ථා පනත යොදාගනියි.”

ඌටාහි සෙනේට් සභික, 2012 රිපබ්ලිකානු ජනාධිපති අපේක්ෂකයා වූ මිට් රොම්නි, යෝජනාව හඳුන්වා තිබුනේ, “ව්‍යවස්ථාවට දෙන ඡන්දයක් ලෙසය. එසේම එහි අරටුවේම ඇති බල තුලනය සඳහා වන ඡන්දයකි. මම බැරෑරුම්ව සලකන්නේ, විධායක අංශයේ හපන්කම් පෑමට යෑම නිසා වැඩ වරද්දා ගැනීම, තව තවත් බලතල පවරාගැනීමකටත්, අනාගත ජනාධිපති වරුන්ට බලය අයුතු ලෙස යොදාගැනීමට අවස්ථාව සැලසීමක් ද වන” බවයි.

සෙනේට් සභිකයෝ මෙම තර්කය වැලඳ ගත්හ: ට්‍රම්ප් අනාගත ඩිමොක්‍රටික් ප්‍රධාන විධායකයාට පූර්වාදර්ශයක් සපයයි. ඔහු දේශගුනික විපර්යාස නැත්නම් තුවක්කු ප්‍රචන්ඩත්වය, “ජාතික හදිසි තත්වයක්” ලෙස ප්‍රකාශකර කොන්ග්‍රසයේ සම්බාධක නොතකා හිතූ මතයට කටයුතු කරනු ඇත.

කොන්සවේටිව් දේශපාලන ක්‍රියාකාරී කමිටුව හමුවේ මේ මාසය මුල, මෙයට දැක්වූ ට්‍රම්ප්ගේ ප්‍රතිචාරය සැලකිල්ලට ගැනීම වටින්නේය. ඔහු මෙසේ පවසා තිබුනි. ඩිමොක්‍රටික් ජනාධිපති වරයෙක් එසේ කිරීම වැලැක්විය හැකි හොඳම ක්‍රමය 2020 මැතිවරනය අපිම දිනා ගැනීමයි, 2020 පමනක් නොවේ: ඔහුගේ ප්‍රකාශයෙන් එලි දකින්නේ, අඩු හෝ වැඩි අනියමිත කාලයකට ධවල මන්ඳිරයේ අන්ත දක්ෂිනාංශික ග්‍රහනය පවත්වාගෙන යාම පිලිබඳ ඉදිරිදර්ශනයකි.

ද්විපාර්ශවික අයවැය ගිවිසුමකට එලඹීම ප්‍රතික්ෂේප කර, දෙසැම්බර් අග හරියේ ෆෙඩරල් ආන්ඩුව පාර්ශවීය ලෙස වසා දැමීමට බල කරමින් ට්‍රතම්ප් විසින් අවුලුවන ලද, ධවල මන්ඳිරය හා කොන්ග්‍රසයේ ඩිමොක්‍රටිකයන් අතර මාස තුනක් පමන තිස්සේ සිදුවෙමින් ඇති ගැටුම තුල, ට්‍රම්ප් කටයුතු කරමින් සිටින්නේ, ඇමරිකානු ධනපති දේශපාලනයේ සාමාන්‍ය නීතියට පිටු පාමිනි.

සෙනේට් සභා බහුතරයකගේ නායක මිච් මැක්කොනල් විසින්, අයවැය පිලිබඳ ද්විපාර්ශවීය එකඟත්වයක් සඳහා දිග කාලයක් සාකච්ඡා කිරීමේ අවශ්‍යතාව පෙන්වමින් ඉදිරිපත් කල යෝජනාව, දෙසැම්බරයේදී ට්‍රම්ප් විසින් ඉවත දමනු ලැබින.

ආන්ඩුව වසා දැමීම දින තිස් පහක් තිස්සේ දිග්ගැස්සීමට ඔහු ඉඩ හැරියේය. එය අවසන් වුනේ පඩි නැතිව වැඩකිරීමට සිදුවූ රජයේ සේවකයින් තොග පිටින් වැඩ නතර කිරීමේ තර්ජනයට මුහුනදුන් විටය.

කෙටි කාලීනව යෝජනාව පිලිගැනීමෙන් පසුව හා දෙසැම්බරයේ ද යෝජනා වී තිබුන, සීමිත දේශසීමා ආරක්ෂක අරමුදලක් වූ ඩොලර් බිලියන 1.375 පිලිබඳව එකඟවීමෙන් පසුව ට්‍රම්ප්, ව්‍යවස්ථාදායකයේ තීන්දුව සෘජුවම උල්ලංඝනය කරමින්, විවිධ පෙන්ටගන් වැය ශිර්ෂ සඳහා වෙන්කල මුදල් දේශීය ආරක්ෂක දෙපාර්තමේන්තුවට මාරු කිරීමට හැකි වන පරිදි ජාතික හදිසි තත්වයක් නිවේදනය කලේය.

සෙනේට් සභා ඡන්ද විමසුමට කලින්, ව්‍යවස්ථාමය ගැටුම වටා ව්‍යවස්ථාදායකය තුලින් විසඳුමක් ලබා ගැනීමට සෙනේට් සභාවේ රිපබ්ලිකානුවන් දරන ලද උත්සාහය දෙවරක්ම ට්‍රම්ප් විසින් වලක්වනු ලැබින.

ජාතික හදිසි තත්වය පිලිබඳ ට්‍රම්ප්ගේ නියෝගය ප්‍රතික්ෂේප කරන ලද, කොන්ග්‍රස් මන්ඩල දෙකේම පෙර නොවූ විරූ පියවරකට මුහුනපා සිටින ට්‍රම්ප්, යෝජනාවට එරෙහිව නිෂේධ බලය යොදවනු ඇති අතර, එය ආරක්ෂා කිරීමට, නියෝජිත මන්ත්‍රී මන්ඩලයේ අන්ත දක්ෂිනාංශික සුලුතරය යොදාගනු ඇත.

වර්ගවාදයට හා සංක්‍රමන විරෝධී කොටස් වලට ආයාචනා කරමින් ද සමාජවාදයට එරෙහි ෆැසිස්ට්වාදී ප්‍රහාරයන් ද හරහා ට්‍රම්ප්, සිය අන්ත දක්ෂිනාංශික සමාජ පදනම අවුලුවා ගැනීමට මේ කාලය පුරාම උත්සාහ දරා ඇත. ඔහු සිය ඇමරිකානු තත්ව වාර්තාව ඉදිරිපත් කරමින්, තමන් කිසිවිටෙකත් ඇමරිකාව සමාජවාදී රටක් වීමට ඉඩ නොතබන්නේ යන අපකීර්තිමත් කථාව කලේය.

ඩිමොක්‍රටික් පක්ෂ නායකත්වය හා ඔවුන්ගේ ව්‍යාපාරික මාධ්‍ය ජාලා, සෙනේට් සභා ඡන්දය ට්‍රම්ප්ට එරෙහි බරපතල ප්‍රහාරයක් හා ඇමරිකානු දේශපාලනයේ හැරීම් ලක්ෂ්‍යයක් පවා වන බවට ප්‍රීති ඝෝෂා නඟති. සෙනේට් සභාවේ ඩිමොක්‍රටික් සුලුතරයේ නායක චක් ෂූමර් පැවසුවේ “මම රිපබ්ලිකානුවන් ගත් නිවැරදි පියවර ගැන ඔවුන්ට ස්තුතිවන්ත වෙමි” යනුවෙනි. “මේ සතියේ ලැබුන ඡන්දය ජීවමාන මුල් වේ යයි බලාපොරොත්තු වෙමු. ජනාධිපති ඕනෑවට වඩා දුර යන විට ඔහු පාලනය කිරීමට රිපබ්ලිකානුවන්ට ධෛර්ය, මූලධර්මාත්මක බව හා දැඩි කෝපයක් පවා තිබුනි.”

කෙසේ වෙතත් සෙනේට් සභා ඡන්දයට වඩා නියෝජිත මන්ත්‍රී මන්ඩලයේ ඩිමොක්‍රටික් කථා නයක නැන්සි පෙලෝසි 10දා කල ප්‍රකාශය එනම්, ට්‍රම්ප්ට දෝශාභියෝගයක් ගෙන ඒම තම දේශපාලන න්‍යාය පත්‍රයට ඇතුලත් නොවන්නේය යන්න වැදගත් වේ.

ට්‍රම්ප් ජාතික හදිසි අවස්ථාවක් ප්‍රකාශ කිරීමට විරුද්ධව ඡන්දය දුන් එම සෙනේට් රිපබ්ලිකානුවෝ, එය ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බව අවධාරනය කරති. පෙලෝසිමත් පසුගිය මාසයේ මන්ත්‍රීමන්ඩල සාමාජිකයින්ට යැවූ ලිපියකින් කියා තිබුනේ, “ජනාධිපතිගේ තීරනය නීතියට උඩින් යාමකි. ඒ, ඔහුට ව්‍යවස්ථාවේ ව්‍යවස්ථාදායක ක්‍රියාවලියෙන් අත්කර ගැනීමට අසමත් වුන දෙය ලබා ගැනීමටය. ඒ අනුව ඔහු ව්‍යවස්ථාව උල්ලංඝනය කර තිබෙන අතර එය අවසන් කල යුතුය” යනුවෙනි.

එහෙත් පෙලෝසි, ක්‍රමානුකූලව ව්‍යවස්ථාව උල්ලංඝනය කල ජනාධිපති ඉවත් කිරීමට ව්‍යවස්ථාමය යාන්ත්‍රනය යොදාගැනීම ප්‍රතික්ෂේප කරයි. සැබවින්ම පෙලෝසි හෝ, දෝෂාභියෝගයකට සහාය දක්වන බව කියන අන් කිසිම ඩිමොක්‍රටික් මන්ත්‍රීවරයෙක්, හදිසි අවස්ථාව ප්‍රකාශ කරමින් ට්‍රම්ප් අමු අමුවේ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම, ඔහු බලයෙන් පහකිරීමට හේතුවක් වන බව කියා නැත.

ට්‍රම්ප්ගේ ක්‍රියාවට විරුද්ධව මහජන විරෝධතා හෝ පෙලපාලි පවත්වන ලෙස කිසිදු ඩිමොක්‍රටික් මන්ත්‍රීවරයෙක් ඉල්ලා නැත. ඊට සපුරා වෙනස් ලෙස පෙලෝසි හා සමාගමේ ප්‍රමුඛ උත්සුකය වන්නේ, ගුරුවරුන්, කාර්මික හා සේවා කම්කරුවන්ගේ වැඩවර්ජන තුලින් ප්‍රකාශ වන පරිදි, ව්‍යාපාර ගැති පක්ෂ දෙකටම විරුද්ධව නැඟී එන සටන්කාමී කම්කරු පන්ති ව්‍යාපාරයේ කොන්දේසි හමුවේ පාලක ප්‍රභූවේ ගැටුම්, ධනපති රාජ්‍යයේ බලය දුර්වල කරනු ඇත යන්නයි.

Share this article: