ගින්නෙන් උපන් සීතල: ව්‍යාජ චරිතාපදානයක්

පානි විජේසිරිවර්ධන විසිනි, 2019 මාර්තු 11

ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) නිර්මාතෘ රෝහන විජේවීරගේ ජීවන චරිතය අලලා, අනුරුද්ධ ජයසිංහ විසින් නිර්මානය කරන ලද, ගින්නෙන් උපන් සීතල නම් වූ චරිතාපදාන චිත්‍රපටය මේ දිනවල ලංකාවේ සිනමාහල්වල ප්‍රදර්ශනය කෙරේ.

1977 දී දේශපාලන සිර දඬුවමෙන් නිදහස් වීමේ සිට 1989 දී රාජ්‍ය හමුදා විසින් යලි අත් අඩංගුවට ගැනීම දක්වා වූ කාල පරාසය තුල විජේවීර ගේ ජීවිතය චිත්‍රපටයට විෂය වී අතර ඔහුගේ චරිතය රඟපානු ලබන්නේ කමල් අද්දරආරච්චි විසිනි. නදීක ගුරුගේ විසින් පසුබිම් සංගීතය සපයා ඇති චිත්‍රපටයට ධනුෂ්ක ගූනතිලක කැමරාවෙන් ද, රවීන්ද්‍ර ගුරුගේ සංස්කරනයෙන් ද දායක වී ඇත.

ගින්නෙන් උපන් සීතල නම් වූ චරිතාපදාන චිත්‍රපටයේ රූප රාමුවක්

චරිතාපදාන කලා කෘතියක් නිර්මානය කිරීමේදී කලාකරුවෙකු මුහුන දෙන අභියෝගයන් රැසකි. ප්‍රබන්ධමය කලා කෘතිවලදී මෙන්ම චරිතාපදාන කලා කෘතිවල දී එහි එන චරිත කලාත්මකව සත්‍ය වන පරිදි ගොඩ නැංවීම ඒ අතරින් ප්‍රධානතම වෙයි. නමුත් ප්‍රබන්ධමය කෘතියකදී මෙන් නොව චරිතාපදාන කෘතියකදී ප්‍රතිනිර්මානය කිරීමට සිදු වන්නේ සැබැවින්ම ජීවත්වූ පුද්ගලයන්ගේ චරිතයන් ය.

මෙහිලා, තම කෘතියෙහි එන චරිතයන්ගේ රූපකායන්, කතා විලාශයන්, ගමන් රටාවන් සහ ඇඳුම් පැලැඳුම් සැබැවින්ම ජීවත්ව සිටි පුද්ගලයන් ට සමාන වන අයුරින් ඉදිරිපත් කිරීමට කලාකරුවාට සිදුවෙයි. ගින්නෙන් උපන් සීතල අධ්‍යක්ෂවරයා මේ සම්බන්ධයෙන් යම් ප්‍රයත්නයක් දරා ඇත.

එනමුදු භාරධූරම කාර්තව්‍යය වනුයේ තමා නිර්මානය කරන චරිතයන්ගේ පුද්ගල පෞරුෂයයන්, ඔවුන් මුහුන දුන් සමාජ, ආර්ථික සහ දේශපාලන කොන්දේසි සහ එම යුගය පිලිබඳව සංයුක්ත චිත්‍රයක් නිර්මානය කිරීමයි. විශේෂයෙන්ම විජේවීර වැනි පුද්ගලයෙකු සම්බන්ධයෙන් ගත් කල ඔහු නායකත්වය දුන් දේශපාලන ව්‍යාපාරයේ පන්තිමය ස්වභාවය ඔහුගේ චරිතය තුලින් ප්‍රකාශයට පත්විය යුතු ය.

මෙම කාර්යයෙහි ලා ගින්නෙන් උපන් සීතල නිර්මානකරු මුලුමනින්ම අසමත් වෙයි. අධ්‍යක්ෂවරයාගේ දේශපාලනික අඥානභාවය සහ තම කෘතිය නිර්මානය කිරීමේ දී ඔහු ගෙන ඇති ආත්මීය ප්‍රවිෂ්ටය මෙම අසාර්ථකත්වයේ මූලික පදනමයි.

ජවිපෙ හි නිල මාධ්‍ය වන ලංකා පුවත්පත සමග කල සම්මුඛ සාකච්ඡාවකදී ජයසිංහ මෙසේ පවසයි: “එතකොට මට ඕනෑ උනා මේ කතන්දරය මානව වංශයේ වෙන විදියකට ලියන්න. ඒ නිසා මම කැරලිකරුවන්ගේ පැත්තේ ඉඳගෙන තමයි මේ කතාව දිග හරින්නෙ. මම කැරලිකරුවන්ට විරුද්ධ පාර්ශ්වයේ අදහස් මෙම කතාව ඇතුලට ගේන්නේ නෑ.”

මෙවන් ප්‍රවිෂ්ටයක් කලාවේ ස්වභාවයට සාකල්‍යයෙන්ම එරෙහි ය. කලාව යනු වෛෂයික සත්‍යය ඥානනය කරන මාධ්‍යයක් බැවින්, කලා නිර්මානකරනයේදී කලාකරුවා තම ආත්මීය හිතපක්ෂපාතකම් වලින් මිදී වෛෂයිකව විෂයට සමීපස්ථ විය යුතුවෙයි. එසේ නොවේනම් එය කලාව නොවනු ඇත.

වෙනත් අයුරකින් කිවහොත්, කැරලිකරුවන්ගේ පාර්ශ්වයේ හෝ ඔවුන් මර්දනය කල පාලකයන්ගේ පාර්ශ්වයේ සිට අව්‍යාජ “කතන්දරය” ලිවිිය නොහැක. සත්‍ය ඉතිහාසය නැතහොත් අව්‍යාජ “කතන්දරය” මතුකරගත හැක්කේ එම දෙපාර්ශ්වයම අන්තර්ගත කර ගත් වෛෂයික ප්‍රවිෂ්ටයකින් පමනකි.

මෙම වෛෂයික ප්‍රවිෂ්ටය පිලිබඳව ඉතා වැදගත් සටහනක් ලියොන් ට්‍රොට්ස්කි විසින් My Life( මගේ ජීවිතය) නම් වූ සිය ස්වයං-චරිතාපදානයේ පෙරවදනෙහි තබා ඇත:

“වෛෂයිකත්වය යනු මිතුරන් සහ සතුරන් ගැන කතා කිරීමේදී ඍජු ලෙස ප්‍රකාශ කිරීමට අපහසු ලෙස තමා දකින දෑ පාඨකයාට වක්‍ර ලෙස සඟවන්නාවූ දැනුවත් කුහකත්වයේ මවාගත් මධ්‍යස්ථභාවය නොවේ. මේ වර්ගයේ වෛෂයිකත්වය සාම්ප්‍රදායික ප්‍රයෝගය කි.”

විජේවීර ප්‍රපංචය පිලිබඳව සැබෑ වෛෂයික ප්‍රවිෂ්ටයක් ගනු ලබන කවරෙකුට වේවා ජවිපෙ හි සම්භවය, විකාශනය සහ පරිවර්තනය පිලිබඳ නිරවද්‍ය ඓතිහාසික සහ දේශපාලනික තක්සේරුවක අවශ්‍යතාව අභිමුඛ කෙරෙයි.

කෙසේ නමුදු, ජයසිංහ යෙදී ඇත්තේ එයට මුලුමනින්ම විපරීත වූ ප්‍රවිෂ්ටයක යි. සිද්ධීන් “නිරවද්‍යව” ගෙනහැර දැක්වීම සඳහා වසර “එකහමාරක” පර්යේෂනයක යෙදුනු බවත්, කරුනු නිවරැදි කර ගැනීම සහ තහවුරු කර ගැනීම සඳහා විවිධ පුද්ගලයන් හමුවූ බවත් ජයසිංහ පවසයි. එහෙත් මෙම නිරවද්‍යකරනය සඳහා හමුව ඇත්තේ කැරලිකරුවන්ගේ පාර්ශ්වයේ පුද්ගලයන් ම බව තම ප්‍රවිෂ්ටය පිලිබඳව ඔහු තබන සටහනෙන් පමනක් නොව ඔහුගේ නිර්මානයෙන් ද ප්‍රකට වෙයි.

ජයසිංහ තම චිත්‍රපටය ආරම්භ කරන්නේමත්, 1977 දී ජවිපෙ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම පිලිබඳව විජේවීර ප්‍රමුඛ ජවිපෙ විසින් වපුරන ලද මතයක් මත පදනම්වයි.

අපරාධ යුක්ති විිනිශ්චය කොමිෂන් සභාව යටතේ නඩු අසා වරදකරුවන් වූවන් අතර සිටි, තහා වැනි මහා පරිමාන ව්‍යාපාරිකයන් නිදහස් කර ගැනීමේ අරමුනෙන් එම කොමිෂන් සභාව අහෝසි කිරීමට ජයවර්ධන ආන්ඩුව ගත් තීරනයේ අතුරු ඵලයක් ලෙස තමා ඇතුලු දේශපාලන සිරකරුවන්ට නිදහස ලැබුනු බව චිත්‍රපටයේ එන සංවාදයකදී විජේවීර තම සගයන්ට කියා සිටී. විජේවීරගේ සගයෝ එය අවිවාදිතව පිලිගනිති.

චිත්‍රපටයෙන්ද ප්‍රේක්ෂකයාට ඒත්තු ගැන්වීමට යත්න දරන මෙම තර්කය මුලුමනින්ම ව්‍යාජය, තකතීරු ය. ධනපති ආන්ඩු විසින් කිසියම් දේශපාලන සංවිධානයක් මර්දනය කරනු ලබන්නේ හෝ ප්‍රවර්ධනය කරනු ලබන්නේ පන්තිමය ගනන් බැලීම් මතය.

ඊනියා විවෘත ආර්ථික පිලිවෙත නමින්, ජාත්‍යන්තර ආයෝජකයන් ගේ ලාභ ශ්‍රම තටාකයක් බවට ලංකාව පත් කරීීම සඳහා සැලසුම් කර තිබූ වැඩපිලිවෙලට එරෙහිව කම්කරු පන්තියෙන් මතුවිය හැකි ප්‍රතිරෝධයන් මැඩීමේ දේශපාලන මුගුරක් ලෙස ජවිපෙ යොදාගත හැකිබව ජේ.ආර්.ජයවර්ධන ගනන් බැලුවේය. ජවිපෙ නිදහස යටින් පැවති අති මූලික හේතුව එයයි.

අගමැති සිරිමා බන්ඩාරනායකගේ ආන්ඩුවට එරෙහිව පැනනැගි කම්කරු පන්තික අරගලයන්හි දී, “ජවිපෙ දේශපාලන සිරකරුවන් නිදහස් කරනු” යන්න ප්‍රධාන ඉල්ලීමක් විය. සමාජවාදී සමානතා පක්ෂයේ පූර්වගාමී විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය (විකොස) ඉහත ඉල්ලීම පෙරට දමමින් ගෙනගිය මූලධර්මාත්මක අරගලය මෙහිලා මූලික ක්‍රියා කලාපයක් ඉටු කලේය. ප්‍රජාතන්තීය අයිතීන් වෙනුවෙන් ගෙන ගිය මෙම අරගලයන් අනෙකුත් කම්කරුවන් සහ පීඩිතයන් තුලට පැතිර යාම වැලැක්වීම ද ජවිපෙ සිරකරුවන් නිදහස් කිරීම පිටුපසින් පැවති තවත් අරමුනකි.

ජයවර්ධනගේ මෙම ගනන් බැලීම්වල නිරවද්‍යභාවය වසර තුනක් වැනි කෙටි කාලයකදී සනාථ විය. “විවෘත ආර්ථික පිලිවෙතට” කම්කරු පන්තියේ ප්‍රතිචාරයක් ලෙස පැන නැගි 1980 මහ වැඩ වර්ජනයට ජවිපෙ විවෘතවම හොරිකඩකම් කලේය. වැඩ වර්ජනයට සහභාගි නොවන ලෙස, තමා යටතේ එවකට පැවති එකම වෘත්තීය සමිති සංවිධානය වන ලංකා ගුරු සංගමයට (ලංගුස) ජවිපෙ නියෝග කලේය. කෙසේ නමුදු තම සාමාජිකත්වයෙන් එල්ල වූ බලගතු පීඩනය හමුවේ ලංගුස නායකත්වයට වර්ජනයට සහභාගිවීමේ තීන්දුව ගැනීමට සිදු විය. අවසානයේදී ලංගුස, ජවිපෙන් නෙරපා දැමුනි.

එපමනක් නොව දෙමල පීඩිත ජනතාවගේ අයිතීන් තවදුරටත් පාගා දැමීම සඳහා ජයවර්ධන ආන්ඩුව විසින් ගෙන ආ ප්‍රතිගාමී දිස්ත්‍රික් සංවර්ධන සභා ක්‍රමයට සියලුම කම්කරු පන්තික සංවිධාන විරුද්ධ වද්දී ජවිපෙ එම මැතිවරනයට සහභාගි වෙමින් ජයවර්ධනට සහාය විය.

මේ සියල්ල පරයා යන ප්‍රතිගාමී කර්තව්‍යය වනුයේ, සිංහල සහ දෙමල කම්කරුවන් බෙදා වෙන් කිරීම සඳහා ලංකාවේ ධනපති පාලකයන් ආරම්භයේ සිටම ගෙනගිය දෙමල විරෝධී වර්ගවාදය නව තලයකට ගෙන යමින් ආරම්භ කල වර්ගවාදී යුද්ධයට විජේවීර ඇතුලු ජවිපෙ දුන් පූර්න සහයෝගයයි.

සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) පූර්වගාමී ව්‍යාපාරය වන විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ (විකොස) ප්‍රධාන ලේකම්ව සිටි කීර්ති බාලසූරිය විසින් 1970 ගනන් වල මුල් භාගයේ රචිත “ජනතා විමුක්ති පෙරමුනේ දේශපාලනය සහ පන්ති ස්වභාවය” නමැති කෘතිය තුල ජවිපෙ පිලිබඳව මෙසේ සඳහන් කෙරුනි:

“ජනතා විමුක්ති පෙරමුනේ වතු කම්කරු විරෝධය, අද නිකම්ම සිංහල ජාතිවාදය ලෙස හැඳින්වීම වැරැදිය. මන්ද? බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් හා ලාංකික ධනේශ්වරය තම පන්ති උවමනාකම් මත සිට වතු කම්කරුවන් වැනසීමට යත්න දරන කාලයක, ඉස්මතුවන සුලු ධනේශ්වර වතු කම්කරු විරෝධය ඒකාධිකාරී ධනවාදයේ නග්න උපකරනයන් බවට කෙලින්ම පරිවර්තනය වන බැවිනි. මේ ජාතිවාදය ෆැසිස්ට්වාදයට තුඩුදෙන එකක් වන අතර, ජනතා විමුක්ති පෙරමුන ලංකාව තුල බිහි කරන්නේ අනාගත ෆැසිස්ට් ව්‍යාපාරයකට හොඳින් උපයෝගී කර ගත හැකි කම්කරු විරෝධී බලවේගයකි.”

1960 ගනන් වල අගභාගයේ ජවිපෙ සම්භවය වූයේ, සිහල ස්වෝත්තමවාදය, මාඕවාදය සහ කැස්ත්‍රෝවාදය මිශ්‍රකොටගත් සුලු ධනේශ්වර ජාතිකවාදී ව්‍යාපාරයක් ලෙසයි. බාලසූරිය පෙරදුටු පරිදි, 1980 ගනන් අගභාගයේ ජවිපෙ ෆැසිස්ට් ප්‍රහාර එල්ල කරන ව්‍යාපාරයක් ලෙස ක්‍රියාත්මක වූයේ ජයවර්ධනගේ අරමුනුවලට සේවය කරමිනි.

1980 ගනන්වල ආරම්භවූ නිශ්පාදනයේ භූගෝලීයකරන සන්තතියත් සමග ලෝක ආර්ථිකය වඩාත් ඒකාග්‍රවී ජාතික ආර්ථිකයන් අභාවයට යත්ම, ජාතිකවාදී සුලු ධනේශ්වර ව්‍යාපාර තම අධධිරාජ්‍ය-විරෝධී වාගාලාප මුලුමනින්ම අත්හැරදමා ක්‍රමයෙන් ඒ ඒ රටවල ධනේශ්වර සංස්ථාපිතයන් ට ඒකාග්‍ර වී අධිරාජ්‍යවාදය සමග විවෘතවම අත්වැල් බැඳ ගත්හ. නිකරගුවාවේ සැන්ඩිනිස්ටා ඇතුලු එවන් ජාත්‍යන්තර සංවිධානයන් අනුයමින් ජවිපෙ ද ධනේශ්වර දේශපාලන සංස්ථාපිතයේම පක්ෂයක් බවට පරිවර්තනය විය.

චිත්‍රපටය තුලින් විජේවීරගේ සහ ජවිපෙ හි “විප්ලවවාදී” ස්වභාවය අකාමකා දමා ඇතැයි හඬ තලන පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇතුලු ව්‍යාජ වම්මු විසින් “විප්ලවවාදී” ලෙස ගුනාංගීකරනය කෙරෙන “එවකට පැවති ජවිපෙ” හි සහ විජේවීර ගේ යථා ඉතිහාසය එසේය.

ධනේශ්වර ක්‍රමය ලෝක පරිමානව පෙරලා දැමීම එල්ල කර ගත්, කම්කරු පන්තිය මත පදනම් වූ, ජාත්‍යන්තර සමාජවාදී ව්‍යාපාරයක් ලෙස හැර වත්මන් යුගයේ විප්ලවවාදී ව්‍යාපාරයක් පැවතිය නොහැක. ජවිපෙ ආම්භයේ සිටම එවන් ව්‍යාපාරයක් නොවනවා පමනක් නොව එවැන්නකට මුලුමනින්ම සතුරු ය. එවකට ලොවපුරා මධ්‍යම පන්තීන් විසින් ඒ ඒ රටවල ගොඩනගාගත් ව්‍යාපාරයන්ට සමාන්තරව ලංකාවේ සිංහල සුලු ධනේශ්වර පංතිය ගොඩනගා ගත් ව්‍යාපාරය ජනතා විමුක්ති පෙරමුනයි. බාලසූරියය ඉහත කෘතියේ පෙන්වා දෙන පරිදි එහි අරමුන වූයේ “කම්කරු පන්තිය බලයට ගෙනයාම නොවේ. සිංහල කම්කරුවන්, සිංහල ගොවියන්, සිංහල පීඩිතයන්, සිංහල ශිෂ්‍යයන් පමනක් නොව ජාතික ධනේශ්වර පන්තියේ කොටස් ද ‘දේශප්‍රේමිත්වයේ’ පදනම මත එක්කර ‘දේශප්‍රේමී රාජ්‍ය යන්ත්‍රයක්’ තැනීමයි.”

කම්කරු පන්තියෙන් වියෝවූ සහ තම තුවක්කු බලයෙන් කම්කරු පන්තිය ඊනියා දේශප්‍රේමී විරෝධතාවයන්ට දක්කන ලද, එම අනට අවනත නොවූ කම්කරුවන් සහ ඔවුනගේ නායකයන් අමු අමුවේ මරා දමන ලද සංවිධානයක ම්ලේච්ඡත්වය චිත්‍රපටය තුල වසන් කෙරී ඇත. මෙය ට්‍රොට්ස්කි පවසන ආකාරයේ “දැනුවත් වංචාවකි”.

ජයවර්ධන ආන්ඩුවේ දැඩි මර්දනය හමුවේ “ආරක්ෂාව” සඳහා ආයුධ අතට ගැනීමට සිදුවූ බවට ජවිපෙ ගෙනයන ව්‍යාජ තර්කනය චිත්‍රපටයෙන් අවධාරනය කෙරෙයි. කම්කරු පන්තියෙන් වියෝවූ හුදෙකලා සුලු ධනේශ්වර ව්‍යාපාරයක දේශපාලන ක්‍රියාමාර්ගයේ ඓතිහාසික බංකොලොත්භාවය හේතුවෙන් ම එම මංමුලා සහගත ක්‍රියාමාර්ගයන්ට එලැඹීමට සිදුවූ බව අනාවරනය කිරීමට ජයසිංහගේ ආත්මීයත්වය සහ දේශපාලනික අඳබාලකම ඉඩ නොදෙයි.

තමාට එරෙහි රාජ්‍ය මර්දනය වැලැක්වීම සඳහා මැදිහත්වන ලෙස ජවිපෙ ආයාචනය කරනුයේ එක්සත් ජනපදය ඇතුලු අධිරාජ්‍යවාදීන් ට සහ ඔවුනගේම හස්තයන් වන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමිසම වැනි ආයතන වලට බව චිත්‍රපටය තුලින් ප්‍රකාශයට පත්වෙයි.

එනමුදු, අනෙකුත් සෑම අයිතියක් මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කලහැකි ශක්තිමත්ම සමාජ බලවේගය වන ජාත්‍යන්තර කම්කරු පන්තිය වෙතට හැරී දේශපාලන සටනක් ගෙනයනු වෙනුවට, හුදෙක් අධිරාජ්‍යවාදීන් සහ ඔවුන් අධිකාරිත්වය දරන ආයතන තුලට බඩගෑම යටින් පවත්නා සුලු ධනේශ්වර පන්ති පදනම සහ ක්‍රියා මාර්ගික බංකොලොත්බව අනාවරනය කිරීමට අධ්‍යක්ෂවරයා මුලුමනින්ම අපොහොසත් වෙයි.

1971 ජවිිපෙ කැරලිකරුවන් සිරගතකල අවස්ථාවේ සිට, ඔවුන් නිදහස් කර ගැනීම සඳහා කම්කරු පන්තිය තුල මූලධර්මාත්මක අරගලයක් කල සංවිධානය වන විකොස හි සාමාජිකයන් තිදෙනෙකු ජවිපෙ විසින් ඝාතනය කිරීම දක්වාම විජේවීර සහ ජවිපෙ 88-89 කාල පරිච්ඡේදයන්හි ගමන් කලේය.

විජේවීරගේ චරිතාපදානය නිර්මානය කිරීමේදී බැරෑරුම් ආකල්පයක් ගන්නා කවර හෝ කලාකරුවෙකුට ඔහුගේ සහ ඔහු නිර්මානය කල ව්‍යාපාරයෙහි මෙම අර්ථභාරී පරිවර්තනයන් නොතකා සිටිය නොහැක. කෙසේ නමුදු, ජයසිංහගේ සිනමා කැමරාව මෙම වැදගත් ප්‍රශ්න සම්බන්ධයෙන් නාභිගත නොවෙයි.

තමාට අවශ්‍යවූයේ, විජේවීර ගේ චරිතය “වීරයෙකු” ලෙස නිරූපනය කිරීමට බව ජයසිංහ පවසයි. එනමදු, මාක්ස්, එංගල්ස්, ලෙනින් සහ ට්‍රොට්ස්කි වැනි ශ්‍රේෂ්ඨ විප්ලවවාදීන්ගේ චරිත ලක්ෂනයන් වන න්‍යායික සුධීමත්භාවය, මූලධර්මාත්මක අඛන්ඩතාවය සහ කම්කරු පන්තියේ ඓතිහාසික ශක්‍යතාව පිලිබඳ නොසැලෙන විශ්වාසය වැනි උත්කෘෂ්ට ගුනාංගයන් විජේවීර ගේ චරිතයට ආරෝපනය කිරීම කල නොහැක්කකි.

විජේවීරගේ පුද්ගල පෞරුෂය අව්‍යාජව නිරූපනය කරන්නේ නම් ඔහුගේ දේශපාලන ප්‍රතිගාමිත්වය සමග අත්‍යන්තයෙන් බැඳුනු කුරිරුබව, කම්කරු පන්තිය කෙරෙහි නරුම විරුද්ධත්වය සහ අධිරාජ්‍යවාදය ඉදිරියේ නිවටභාවය එය තුල නිරූපනය විය යුතුය. ඒ වෙනුවට ව්‍යාජ ශ්‍රේෂ්ඨත්වයක් සහ “වීරත්වයක්” ඔහුගේ චරිතයට ආරෝපනය කිරීමට දරන ලද ප්‍රයත්නය තුල ජයසිංහ අතින් නිර්මානය වී ඇත්තේ කවර වීරත්වයක් හෝ ශ්‍රේෂ්ඨත්වයක් ප්‍රකට නොකෙරෙන සීතල චරිතයකි.

මෙම ව්‍යාජභාවය හේතුවෙන් එම චරිතය නිරූපනය කිරීමට ආවශ්‍යක රංගනමය ගතිකය අහමිිව ගොස් දක්ෂ නලුවෙකු වන අද්දරආරච්චි පරඬැලක් බවට පත්ව ඇත. අද්විතීය රංගධරයෙකුට පවා, ෆැසිස්ට් අංග ලක්ෂන නොමැති හිට්ලර් කෙනෙකුගේ හෝ විප්ලවවාදී අංග ලක්ෂන නොමැති ලෙනින් කෙනෙකු ගේ චරිතයක් ප්‍රබල ලෙස නිරූපනය කල නොහැක.

ව්‍යාජ අන්තර්ගතයකට අව්‍යාජ ආකෘතියක් පැවතිය නොහැකි බැවින් ජයසිංහගේ කෘතියේ ආකෘතිය සම්බන්ධයෙන් කතා කිරීම නිශ්ඵල වෙයි.

මේ අ්ර්ථයෙන් ගත්කල අනුරුද්ධ ජයසිංහගේ ගින්නෙන් උපන් සීතල කෘතිය චරිතාපදානයක් නිර්මානය නොකලයුතු වන්නේ කෙසේද යන්න පිලිබඳ මනා උදාහරනයකි.

Share this article: