න්‍යෂ්ටික ව සන්නද්ධ ඉන්දියාව හා පකිස්තානය මහා යුද්ධයක් අද්දර

Nuclear-armed India, Pakistan on brink of all-out war

කේ. රත්නායක විසිනි, 2019 පෙබරවාරි 28

අඟහරුවාදා පකිස්තානය ඇතුලත ඉලක්කයන් වෙත ඉන්දීය ගුවන් හමුදාව විසින් බෝම්බ හෙලීමෙන් පසු ඊයේ වන විට ආසියාව තුල පූර්න පරිමාන යුද්ධයක් පැනනැගීමේ අනතුර වර්ධනයවෙමින් පැවතුනි. ඊයේ සටන් සිදුවෙද්දී තමන් ඉන්දියාව තුල ඉලක්කයන් වෙත පහරදුන් බව පකිස්තානය නිවේදනය කලේ ය.

පාකිස්තානය හා ඉන්දියාව විසින් බෙදා පාලනය කරන කාෂ්මීරයේ පාලන රේඛාව (එල්ඕසී) හරහා ෂෙල් වෙඩි හුවමාරුව මධ්‍යයේ ම රටවල් දෙකෙහි ගුවන් හමුදා සටන් වැදී ප්‍රහාරක යානා කිහිපයක් අහිමි කරගත් හ. පකිස්තාන ගුවන් අවකාශ සීමාවේ සිට ඉන්දියාවේ “මිලිටරි නො වන ඉලක්කයන්” වෙත තම යානා විසින් පහර දුන් බව සඳහන් ප්‍රකාශයක් පකිස්තාන විදේශ අමාත්‍යාංශය විසින් නිකුත් කලේ ය. පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් තමන් පෙරලා පහර දෙන බවත්, වැඩිදුර ප්‍රහාර සඳහා “සම්පූර්නයෙන් සූදානම්” බවත් සපථ කර තිබුන ද විදේශ අමාත්‍යාංශ ප්‍රකාශය කියා සිටියේ තම ප්‍රහාරය ඉන්දීය ප්‍රහාරයට “පෙරලා පහර දීමක් නො වූ” බව ය.

ඉන්දීය මිග්-21 ප්‍රහාරක යානා දෙකක් “පකිස්තාන දේශසීමාවට ඇතුලු වීමෙන් පසු වෙඩි තබා බිම හෙලූ” බවත් නියමුවන් දෙදෙනා අල්ලා ගත් බවත් පකිස්තාන මිලිටරි ප්‍රකාශක මේජර් ජෙනරාල් අසිෆ් ගෆූර් කියා සිටියේ ය. එක් ගුවන් භටයෙකු විං කමාන්ඩර් අභිනන්දන් වරදමන් බවට හඳුනාගෙන ඇති අතර පාකිස්තාන බලධාරීහු ඔහු අත්අඩංගුවේ පසුවන ඡායාරූපයක් නිකුත් කල හ.

කාෂ්මීරයේ ඉන්දියාව පාලනය කරන පැත්තේ මිලිටරි ස්ථාපනයන්ට පකිස්තාන ගුවන් ප්‍රහාර විසින් ඉලක්ක කොට පහර දීමෙන් පසු පාකිස්තාන ගුවන් හමුදාවට (පීඒඑෆ්) අයත් එෆ්-16 ජෙට් යානයක් ඉන්දියාව විසින් බිම හෙලූ බව එරට විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක රවීෂ් කුමාර් කියා සිටියේ ය.

ගුවන් අවකාශය වසාදැමීම හා වානිජ ගුවන් ගමන් අත්හිටුවීම රටවල් දෙක ම විසින් නිවේදනය කලේ ගැටුම අඛන්ඩ ව තීව්‍ර වීමක් දෙරට ම අපේක්ෂා කරන බවට ඉඟිකරමිනි. පකිස්තානය එහි ගුවන් අවකාශය මුලුමනින් ම වසා දැමූ බවත්, ඉන්දීය දේශසීමාව අද්දර එහි ගුවන් තොටුපොලවල් තුන අවිනිශ්චිත කාලයකට වසා දැමූ බවත් වාර්තා වේ. කරච්චි, පේෂාවර් හා ලාහෝර් ඇතුලු ප්‍රධාන ගුවන් තොටුපොලවල් සියල්ල දින නියමයක් නැතිව වසා දමා තිබේ. ඉන්දියාව නැවත දැනුම් දෙන තුරු කාෂ්මීරයේ හා පන්ජාබ් ප්‍රාන්තයේ ගුවන් තොටුපොලවලින් ඇරඹෙන ගුවන් ගමන් අත්හිටුවා ඇත.

ඉන්දියාව චීනයට එරෙහි රාජ්‍යතාන්ත්‍රික හා මිලිටරි සහකරුවෙකු ලෙස වර්ධනය කරගැනීමට දශකයක් පුරා ක්‍රියාකර ඇති වොෂින්ටනය ඉන්දීය ප්‍රහාරයට වක්‍ර ව සහයෝගය දෙමින් ගින්නට තෙල් දමමින් සිටී. මෙය මානව වර්ගයාට යෝධ අන්තරායන් මුනගස්වයි. මෙම ගැටුම ඉන්දියාව හා පාකිස්තානය අතර න්‍යෂ්ටික ගැටුමක් බවට තියුනු වුවහොත්, කෝටි ගනනක් මිය යනු ඇති අතර, එවැනි ගැටුමක් දෙරටෙහි ප්‍රධාන සහකරුවන් වන එක්සත් ජනපදය හා චීනය අතර ගෝලීය වහ්නි ජාලයක් බවට පහසුවෙන් ම ඇදී යනු ඇත.

පැහැදිලි ව ම ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් වූ අඟහරුවාදා බෝම්බ හෙලීම සුජාතකරනය කරමින් ඊයේ එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ප්‍රකාශයක් නිකුත් කලේ ය. පොම්පියෝ ඉන්දීය ප්‍රහාරය විවේචනය කලේ නැත. ඒ වෙනුවට ඔහු කීවේ, “පෙබරවාරි 26 දින ත්‍රස්තවාද-විරෝධී ඉන්දීය ක්‍රියාවන්ගෙන් පසුව, කලාපය තුල සාමය හා ආරක්ෂාව පවත්වාගෙන යාමේ සමීප සහකාරකත්වය හා පොදු අරමුන අවධාරනය කිරීම” සඳහා තමන් ඉන්දීය විදේශ ඇමතිනී සුෂ්මා ස්වරාජ්ට කතා කල බව යි.

අනෙක් අතට පොම්පියෝ පකිස්තාන විදේශ ඇමති ෂා මහමුද් කුරේෂිට අවධාරනය කලේ “මිලිටරි ක්‍රියාවක් වැලැක්වීම මගින් වත්මන් තත්ත්වය පුපුරා යා නො දීමට ප්‍රමුඛත්වය දීමේ හා පාකිස්තානය තුල සිටින ත්‍රස්තවාදී කන්ඩායම්වලට එරෙහි අර්ථවත් පියවර ගැනීමේ හදිසි අවශ්‍යතාව” යි.

සෑම ආන්ඩුවක් ම පිපිරීමකට විරුද්ධ හිස් ප්‍රකාශයන් කරන අතරතුරම වොෂින්ටනය, නව දිල්ලිය හා ඉස්ලාමාබාදය ගැටුම තීව්‍ර කරමින් සිටිති. “ඕනෑම වියදමක් දරා ගැටුම පුපුරා යාම වැලැක්වීමට ඉන්දියාව හා පාකිස්තානය සංවර වීම අප විසින් දිරිගන්වන බව ඇමතිවරුන් දෙදෙනාට ම” තමන් පැවසූ බව පොම්පියෝ කීවේ ය.

චීනයේ වූෂෙන්හි දී චීන හා රුසියානු නිලධාරීන් මුන ගැසුනු ඉන්දීය විදේශ ඇමතිනී සුෂ්මා ස්වරාජ් “තත්ත්වය වැඩිදුර තීව්‍ර වීම” වැලැක්වීම ඉන්දියාවට අවශ්‍ය බව කීවා ය. එහෙත්, ඉන්දීය නිලධාරීන්ගේ ඉල්ලීම්වලට හිස නැමූ බීජිනය හා මොස්කෝව, කාෂ්මීරයේ පුල්වාමාහි දී පෙබරවාරි 14දා ඉන්දීය භටයන් 40කට මරුකැඳවූ බෝම්බ තැබීමක් ගැන පාකිස්තානයට දොස් පැවරීමට ඉන්දියාව විසින් ගසා කෑ ව්‍යාජ නිමිත්ත වන “ත්‍රස්තවාදය බෝ වන ස්ථාන මුලිනුපුටා දැමීම” පිනිස වන පියවරයන් අනුමත කල හ.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක ලූ කෑං මෙසේ කීවේ ය: “චීනයේ ආස්ථානය පැහැදිලි ය. රටවල් දෙකට සංවර විය හැකි බව අපේක්ෂා කරන අපි, එම දෙරට සාකච්ඡා කොට කලාපය තුල සාමය හා ස්ථාවරත්වය තහවුරු කිරීමට පියවර ගනු ඇතැයි බලාපොරොත්තු වෙමු.”

වඩාත් සෘජු අනතුරු ඇඟවීම කලේ ජාතිය අමතමින් වැරදි ගනන් බැලීමක හා ලෝක යුද්ධයක අන්තරාය පිලිබඳ ව අනතුරු ඇඟවූ පාකිස්තාන අගමැතිවරයා ය. “සියලු යුද්ධ වැරදි ගනන් බැලීමක් නිසා හටගත් ඒවා, ඒවා කවර දිශාවකට ගමන් ගනීදැයි කිසිවෙක් දන්නේ නැහැ. පලමු ලෝක යුද්ධය සති කිහිපයක් තුල අවසන් වනු ඇතැයි සිතුවත් එය වසර හයක් තිස්සේ සිදු වුනා (එසේ මැයි) ... ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය අවුරුදු 17ක් පවතිනු ඇතැයි එක්සත් ජනපදය කිසිදා අපේක්ෂා කලේ නැහැ.” රටවල් දෙකෙහි ම සන්නද්ධ හමුදා සතුව තිබෙන න්‍යෂ්ටික අවි පිලිබඳ ව ව්‍යංගාර්ථයෙන් කතා කරමින් ඛාන් කීවේ, “මෙය පුපුරා ගියහොත්, දේවල් තවදුරටත් මගේ හෝ මෝදිගේ පාලනය යටතේ නො තිබෙනු ඇති” යනුවෙනි.

න්‍යෂ්ටික යුද්ධයේ අන්තරාය පිලිබඳ වක්‍රව සඳහන් කරමින් ම එක්සත් ජනපද හා ඉන්දියානු ආන්ඩු ද ඛාන් ම ද ගැටුම අඛන්ඩ ව තීව්‍ර කරමින් සිටිති.

මෙම තත්ත්වය යටතේ පවතින යෝධ අන්තරාය වන්නේ, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ හා දකුනු ආසියාවේ ධනේශ්වරයන්ගේ පිලිවෙත් මගින් අවුලුවාලනු ලබන න්‍යෂ්ටික හොලෝකෝස්ටයක ආසන්න අන්තරාය පිලිබඳ ව ආසියාවේ, එක්සත් ජනපදයේ හා ලොව පුරා වැඩකරන ජනයා මුලුමනින් ම නො දැන සිටීම යි. දැන් චීනය ඉලක්ක කරගනිමින් යුරේසියාව මත ආධිපත්‍යය දැරීම සඳහා එක්සත් ජනපදය දශක ගනනක් තිස්සේ කරගෙන යන යුද ධාවනය, ඉන්දු උප මහාද්වීපයේ ධනපති පන්තීන්ගේ ඓතිහාසික බංකොලොත් භාවය සමග සම්බන්ධ ය.

හින්දු බහුතර ඉන්දියාව හා මුස්ලිම් බහුතර පාකිස්තානය වසයෙන් ඉන්දියානු ජාතික කොංග්‍රසයේ හා මුස්ලිම් ලීගයේ සහයෝගය සහිත ව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය විසින් 1947 ඉන්දු උප මහාද්වීපය වාර්ගික ව බෙදීම තුල මුල් බැස තිබෙන්නා වූ පාකිස්තානය සමග වන විනාශකාරී යුද්ධයක් කරා ඉන්දියාව ලුහුටා යමින් සිටී. ඉන්දියාව බෙදීම සේවය කලේ, බ්‍රිතාන්‍ය විජිතවාදයට එරෙහි විප්ලවය ලෙයෙහි ගිල්වා, කම්කරුවන් ජාතික රේඛා ඔස්සේ බෙදා, ධනපති පාලනය ආරක්ෂා කිරීමට ය. ජීවිත මිලියන ගනනක් බිලිගනිමින් තුන් වරක් ඉන්දු-පාකිස්තාන යුද්ධ බවට පිපිරී ගිය මෙම ගැටුම්, 70 වසරකට පසු ලෝක යුද්ධයක් බවට පුපුරා යාමට තර්ජනය කරයි.

ඉන්දියානු හා පකිස්තාන යන තන්ත්‍රයන් දෙක ම කම්කරුවන් හා ගම්බද දුගීන් අතර ගැඹුරින් ම අපකීර්තිමත් ය. විශේෂයෙන් ම 2019 අප්‍රේල්-මැයි ඉන්දියානු මහ මැතිවරනය අද්දර මහජනයා යුද්ධය සඳහා තමන් පිටුපස ගාල් කරගැනීමට ඔවුහු යුද උන්මාදය පතුරුවමින් සිටිති.

බදාදා පාකිස්තාන ප්‍රහාරයන්ගෙන් පසු ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ආරක්ෂක නිලධාරීන් සමග හදිසි රැස්වීමක් පැවැත්වී ය. ඔවුන් සාකච්ඡා කල දේවල් ගැන වාර්තා නැත. පීටීඅයි සේවයට අනුව, ත්‍රස්තවාදී කඳවුරක් පවතී යයි සැක කරන බලාකොට් වෙත පහර දීමේ ඉන්දීය ගුවන් හමුදා මෙහෙයුම අධීක්ෂනය කරමින් අඟහරුවාදා රැය පහන් කල මෝදි විවේක ගත්තේ බෝම්බ ප්‍රහාරය අවසන් වීමෙන් පසු ය. ඉන්පසු “ඊලඟ දවසේ න්‍යාය පත්‍රය සකසමින් ඔහු කාර්ය බහුල ව” සිටියේ, ඉදිරි පියවරයන් සැලසුම් කිරීමට ආරක්ෂක නිලධාරීන් හා ඇමතිවරුන් හමුවෙමිනි.

අඟහරුවාදා පාකිස්තානයට ප්‍රහාර එල්ල කල තැන් පටන් මෝදිගේ පාලක භාරතීය ජනතා පක්ෂය (බීජේපී) හා එහි හින්දු අන්තවාදී සහකරුවෝ රටපුරා රැස්වීම් සංවිධානය කර ඇත.

“දේශසීමාන්තර ත්‍රස්තවාදයට එරෙහි ව ස්වයං-ආරක්ෂාව සලසාගැනීමට ඉන්දියාවට ඇති අයිතිය” වොෂින්ටනය පිලිගන්නා බව කියමින් එක්සත් ජනපද ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් නිකුත් කල ප්‍රකාශය විසින් ඔවුන් ව දිරිමත් කෙරෙන බවට සැකයක් නැත.

පාකිස්තානය තුල ද යුද උන පැතිර යමින් පවතී. ඉන්දියානු ප්‍රහාරක යානා බිම හෙලීමෙන් පසු “පාකිස්තානය පුරා ප්‍රවෘත්ති මධ්‍යස්ථාන හා අන්තර්ජාලය හරහා යුදකාමී ජයග්‍රහනයක මනෝභාවයක්” පැතිර ගිය බව පාකිස්තානයේ ඩෝන් පුවත්පත ඊයේ වාර්තා කලේ ය.

මෙම යෝධ යුද අන්තරාය, “සමාජවාදය සහ යුද්ධයට එරෙහි සටන” යන ප්‍රකාශය තුල හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) ඉදිරිපත් කල ඉදිරිදර්ශනය මුලුමනින්ම සනාථ කරයි. එකම මාවත වන්නේ, යුද්ධයට එරෙහි ව කම්කරු පන්තියේ ජාත්‍යන්තර සමාජවාදී ව්‍යාපාරයක් ගොඩනැගීමත්, දකුනු ආසියාවේත් ලෝකය පුරාත් හජාජාක ගොඩනැගීමත් වේ.

ඉන්දියාව හා පාකිස්තානය යන දෙරටේ ම දේශපාලන සංස්ථාපිතයන් මුලුමනින් ම මෙම ගැටුම තුල පටලැවී සිටී. පාකිස්තානයේ දේශපාලන පක්ෂ කාන් හා හමුදාව වටා රැලි වන අතරතුර, ස්ටැලින්වාදී පක්ෂ දෙක ද ඇතුලු ඉන්දියාවේ විරුද්ධ පක්ෂ 21ක කන්ඩායමක් යුද ධාවනයට සහයෝගය දෙමින් ප්‍රකාශයක් නිකුත් කලේ ය.

හමුදාවේ “එඩිතර කම හා නීර්භීත භාවය” උත්කර්ෂයට නංවමින් ඊයේ ප්‍රකාශයක් නිකුත් කල ඔවුහු, “අපේ ප්‍රජාතන්ත්‍රවාදයේ ස්ථාපිත ක්‍රියාමාර්ගයට අනුව” සර්ව-පාක්ෂික රැස්වීමක් නො කැඳවීම ගැන මෝදි ව ඉලක්ක කරගත් හ. යුද්ධය “දේශපාලනීකරනය කිරීම” ගැන මෝදිට කනිපින්දම් කියූ ඔවුහු, යුද උන ඇවිලවීමට තමන් ද අන්තර්ගත කරගන්නා ලෙස ඔහුගෙන් ඉල්ලූ හ. “ඉන්දියාවේ ස්වෛරීත්වය, ඒකීය භාවය හා අඛන්ඩතාව ආරක්ෂා කිරීම සඳහා ජාතියට විශ්වාසය ලබා දෙන සියලු පියවර ගන්නා ලෙස ආන්ඩුවෙන්” ඉල්ලූ ඔවුහු, “පකිස්තානයේ මදාවිය හෙලාදකිමින් අපේ අතුරුදන් වූ නියමුවාගේ ආරක්ෂාව පිලිබඳ ගැඹුරු උත්සුකතාව” පලකල හ.

කම්කරුවන් සඳහා පවතින එකම ඉදිරි මාවතවන්නේ ධනපති පාලක ප්‍රභූන්ගේ සියලු කන්ඩායම්වලින් බිඳී ලොව පුරා කම්කරුවන්ගේ සහයෝගය රැලි කරගනිමින්, වැඩකරන ජනතාවන්ගේ නායකයා ලෙස දකුනු ආසියාවේ සමාජවාදී සමූහාන්ඩු සංගමයක් සඳහා තමන්ගේ ම ස්වාධීන දේශපාලන අරගලයක් වර්ධනය කිරීම යි. හජාජාක පමනක් ම මෙම ක්‍රියාමාර්ගයට සටන් වදින අතර, එය කම්කරුවන් හා තරුනයන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම අරගලය දෙසට හැරී ඉන්දියාවේ, පාකිස්තානයේ හා ලෝකය පුරා හජාජාක ශාඛාවන් ගොඩනැගීමට සටන් වදින ලෙස යි.

Share this article: