රත්මලාන දුම්රිය කම්කරුවන් වතු කම්කරු සමුලුවට සහයෝගය පල කරයි

අපේ වාර්තාකරුවන් විසිනි, 2019 මාර්තු 6

“වතු කම්කරු වැටුප් අරගලය හා එහි ඉදිරි මාවත” යන ශීර්ෂය යටතේ ඇබෝස්ට්ලී කම්කරු ක්‍රියාකාරී කමිටුව සහ සමාජවාදී සමානතා පක්ෂය (සසප) එක්ව මාර්තු 17 දිනට කැඳවා ඇති වතු කම්කරු සමුලුව ගොඩනැගීමට ගෙනයන උද්ඝෝෂනයේ කොටසක් ලෙස, සසප සාමාජිකයන් පිරිසක්, මාර්තු 03 වන දා, රත්මලාන දුම්රිය කම්කරුවන් හමුවූහ.

මෙහිදී, වතු කම්කරු වැටුප් අරගලයට පූර්න සහයෝගය මෙන්ම වතු කම්කරු සමුලුවට සහභාගී වීමේ උනන්දුවද දුම්රිය කම්කරුවන් කෙරෙන් ප්‍රකට විය.

සසප කන්ඩායම සමග අදහස් දැක්වූ සෑම දුම්රිය කම්කරුවෙකුම පාහේ වතු කම්කරුවන්ගේ ජීවන තත්වය වර්ධනය කිරීමේ අවශ්‍යතාවය පිලිබඳව උනන්දු වූ අතර වෘත්තීය සමිතිවල ගොරතර පාවාදීම පිලිබඳව සිය වෛරය ප්‍රකාශ කලහ. දැනට වතු හාම්පුතුන් පොරොන්දු වී ඇති රුපියල් 20 ක වැඩිවීම හා ආන්ඩුව දෙනවා යැයි කියන රුපියල් 50 ක වැඩිවීම පිලිබඳව අවඥාවෙන් කතා කල කම්කරුවන් ඇසුවේ මෙවන් සොච්චමකින් කුමක් කල හැකිද යන්නයි.

වතුකරයේ වෘත්තීය සමිති වල ක්‍රියාකාරිත්වය සමග තම ක්ෂේත්‍රයේ වෘත්තීය සමිතිවල වැඩ කටයුතු සන්සන්දනය කරමින් කතා කල කම්කරුවෝ දුම්රිය දෙපාර්තමේන්තුවේ තිබෙන සියයකට අධික වෘත්තීය සමිති කිසිම කම්කරු අවශ්‍යතාවයක් සඳහා සටන් නොවදින බවත් කම්කරුවන් භේද කරමින් ආන්ඩුවල ඒජන්තයින් ලෙස ක්‍රියා කරන ආකාරය කෝපයෙන් යුතුව පෙන්වා දුන්හ.

දුම්රිය වැඩහලේ කරමින් තිබෙන මැදිරි අලුත්වැඩියාව පුද්ගලික අංශයට දීම, ආන්ඩුවේ චක්‍රලේඛන වල නියම කෙරී ඇති සීමාවන්ට වඩා වැඩි පැය ගනනක් වැඩහල තුල සේවයේ යෙදීමට සිදුවීම ආදී ප්‍රශ්න පිලිබඳව සියලුම සමිති මුනිවත රකින බව කම්කරුවෝ පැවසූහ. වැඩ පැය ගනන සම්බන්ධයෙන් පසුගිය වසරේ කෙරුනු කම්කරු අරගලයේදී කම්කරුවන් අතර භේද ඇති කිරීමට සමිති ක්‍රියාකල ආකාරය කම්කරුවෝ කියා සිටියහ.

සමහර කම්කරුවන් සමිති වලින් සම්පූර්නයෙන්ම ඉවත්ව සිටින බව පැවසූ අතර අනෙකුත් කම්කරුවන් නාමිකව පමනක් තමන් සමිති තුල සිටින බව කියා සිටියහ. සමිති “ඔක්කොම එපා වී” ඇති බවත් “දේශපාලනය තිත්ත වී” ඇති බවත් බොහොමයක් කම්කරුවෝ කියා සිටියහ.

ධනපති පාලකයන් සමග එක්වී වෘත්තීය සමිති විසින් ඉටු කරන ක්‍රියා කලාපය අතිශයින්ම ප්‍රතිගාමී වුවත් කම්කරු පන්තිය ස්වාධීනව සංවිධානය නොවී පසෙකට වී බලා සිටීමෙන් ප්‍රහාරයන් තව තවත් උග්‍ර කිරීමට පාලකයන්ට ඉඩ ලැබෙන බවත් සසප උද්ඝෝෂකයෝ පෙන්වා දුන්හ.

තම අවශ්‍යතාවයන් සඳහා සටන් කිරීමට වෘත්තීය සමිති වලින් ස්වාධීන වූ නව සංවිධාන ගොඩ නගා ගැනීම තීරනාත්මක බව වතු කම්කරු අරගලයේ අත්දැකීම්ද උපයෝගී කර ගනිමින් සසප සාමාජිකයින් කල පැහැදිලි කිරීම් මගින් ඒ පිලිබඳ සාකච්ඡාවන් පැන නැගිනි.

තමන්ට රැකියාව ලබාදුන් ඇමතිවරයාගේ පක්ෂයේ වෘත්තිය සමිතිය තුල සිටීම සදාචාර සම්පන්න යැයි හිතන බව එක් කම්කරුවෙක් පැවසීය. රැකියාවක් ලබා ගැනීම ඕනෑම පුද්ගලයෙකු සතු සමාජ අයිතියක් බැවින් ආන්ඩු බලයේ සිටින පක්ෂයක් විසින් රැකියාවක් ලබා දීම නිසා ඊට නයගැති වීමක් සිදු නොවන බව උද්ඝෝෂකයෝ පෙන්වා දුන්හ. එබැවින් තම වැටුප් හා ජීවන මට්ටම් ඉහල දමා ගැනීමේ සටන අතට ගැනීමට එය බාධාවක් කර නොගත යුතු යැයි කල පැහැදිලි කිරීමට ඔහු ඇතුලු අනෙකුත් කම්කරුවන්ගෙන් එකඟත්වය ප්‍රකාශ විය.

ඇබොට්ස්ලි වත්තේ වතු කම්කරුවන් ගොඩ නගා ගෙන ඇති ක්‍රියාකාරී කමිටුව පිලිබඳව පැහැදිලි කරමින් දුම්රිය වැඩපල තුලද සමිති වලින් පරිබාහිරව ස්වාධීන කම්කරු ක්‍රියාකාරී කමිටුවක් තනා ගනිමින් පුද්ගලීකරනයට හා අනෙකුත් කම්කරු ඉල්ලීම් පිලිබඳව සටන සංවිධානය කල යුතු යැයි කල යෝජනාවට කම්කරුවන්ගෙන් සාධනීය ප්‍රතිචාරයක් ලැබුනි.

එවන් කමිටුවක් ක්‍රියාත්මක වීමේදී සමිති හා පාලකයන්ගෙන් කුමන ආකාරයේ බාධා එල්ල වේද යන්න පිලිබඳව සමහර කම්කරුවෝ සිය අවධානය යොමු කලහ.

ඇබොට්ස්ලි වත්තේ ගොඩ නගා ඇති ක්‍රියාකාරී කමිටුවේ සභාපති වරයාට හා එහි ක්‍රියාකාරිකයන්ට විවිධ ප්‍රශ්න ඇති කිරීමට සමිති නායකයන් හාම්පුතුන් සමග එක්ව උත්සාහ කලත් කම්කරුවන් ඊට එරෙහිව නැගී සිටීම හරහා ඒ ප්‍රශ්න ජය ගැනීමට මාවතක් ඇති බව සසප සාමාජිකයෝ පෙන්වා දුන්හ.

දුම්රිය කම්කරුවන් ඉන්දු-පකිස්තාන යුද තත්වය පිලිබඳව අවධානය යොමු කර සිටි අතර එමගින් ඉන්දු උපමහාද්වීපීය කම්කරු පීඩිත ජනයාට අත්විය හැකි අන්තරාය පිලිබඳව කතා කලහ.

සුනිල් හේවගේ නම් රත්මලාන දුම්රිය වැඩපලේ කම්කරුවා සඳහන් කලේ ඇමරිකාව විසින් ඉන්දියාවට පිටුබලය දීම චීනයට විරුද්ධ ප්‍රකෝපකරනයක් බවත් ලංකාවේ පැවති “රාජපක්ෂ ආන්ඩුව වෙනස් කිරීමට ඇමරිකාව මැදිහත් වුනේ එය චීනය සමඟ පැවැත්වූ සබඳතා” නිසා බව පැහැදිලි වන බවයි.

ඉන්දු පකිස්තාන ගැටුම න්‍යෂ්ටික යුද්ධයක මට්ටමට වර්ධනය වීමේ අන්තරාය හා ඒ බව වසන් කරමින් නරේන්ද්‍ර මෝදිගේ ඉන්දියානු ආන්ඩුව හා ඉම්රාන් ඛාන් ගේ පකිස්තාන ආන්ඩුව වර්ගෝත්තමවාදය අවුලුවන ආකාරය සසප උද්ඝෝෂකයින් කල පැහැදිලි කිරීම සමග එකඟ වූ ඔහු යුද්ධය දකුනු ආසියාවේ මුව විටටම ගෙනැවිත් ඇති බව පැහැදිලි යැයි කියා සිටියේය.

අනෙක් අතට ධනපති ආන්ඩු සූරා කෑම උග්‍ර කරමින් පුද්ගලීකරන වැඩ පිලිවෙල ක්‍රියාත්මක කරන ආකාරය දුම්රිය දෙපාර්තමේන්තුව තුලින් ඉස්මතු වී ඇති ආකාරය ඔහු පැහැදිලි කලේය.

දුම්රිය මැදිරි අලුත්වැඩියා කිරීම සඳහා පුද්ගලික සමාගමකට ලබා දෙමින් දුම්රිය වැඩ පලේ කටයුතු පුද්ගලික අංශය ලවා කර ගැනීම දැන් දියත් කර ඇති ආකාරය ඔහු සසප උද්ඝෝෂකයින්ට විස්තර කලේය: “ රත්මලාන දුම්රිය වැඩ පලෙන් කොටස් සපයමින් සාමාන්‍ය හොඳ තත්වයේ තිබෙන දුම්රිය මැදිරි අලුත්වැඩියා කරන්න පුද්ගලික සමාගමකට දීල තියෙනවා. එක මැදිරියකට රුපියල් කෝටි 2ක් ගෙවනවා. අපේ වැඩපලට එන්නේ සම්පූර්නයෙන්ම අබලන් මැදිරි. ඒව අලුත්වැඩියා කරන්න යන වියදම රුපියල් ලක්ෂ 35ක් හැටියටයි සඳහන් වෙන්නේ” යැයි ඔහු පැවසීය.

“මේ පිලිබඳ සමිති නිශ්ශබ්දයි. මෙහෙ සමිතිත් වතුකරයේ සමිති වලට වඩා වැඩි වෙනසක් නැහැ”යි පැවසූ ඔහු වතු කම්කරු සමුලුවට සහභාගී වීම සඳහා උනන්දුව පල කලේය.

දුම්රිය වැඩ හලේ වැඩිමහලු කම්කරුවෙකු වූ එම්. ඩී. පෙරේරා කියා සිටියේ තමන්ගේ ගම්පලාත් මස්කෙලියට ආසන්න බැවින් වතුකරය තුල දෙමල හා සිංහල කම්කරුවන් එක ලෙස සූරාකන ආකාරය තමන් හොඳින්ම දන්නා බවයි.

වතු කම්කරු වැටුප් වැඩි කර ගැනීමේ වුවමනාව පිලිබඳව කතා කරමින් ඔහු කියා සිටියේ “ලැබෙන වැටුපේ හැටියට මේ කම්කරුවන්ට පාන් පිටි වලින් තොර ලෝකයක් නැහැ. යන්තම් රොටියක් කාල තමයි වැඩ කරන්නේ. දෙමල හා සිංහල කම්කරුවන්ට එකම වැටුප තමයි ලැබෙන්නේ. මේ වැටුප් සටන කල යුතුම එකක්” යනුවෙනි.

ඉන්දියාව හා පකිස්තානය අතර පැන නැගී ඇති යුද්ධ තත්වය පිලිබඳව ඔහු සමග ද සාකච්ඡා කෙරුනි. ඉන්දියාවේ හා පකිස්තානයේ ආන්ඩු වර්ගෝත්තමවාදය අවුලවමින් එම රටවල වැඩ කරන ජනයාගේ සටන් මැඩීම සඳහා මෙම භයානක යුද උත්සන්නිය යොදාගෙන ඇති බවත් මීට එරෙහිව සමාජවාදී ක්‍රියාමාර්ගයෙන් කම්කරු පන්තිය බලමුලු ගැන්විය යුතු බවත් සසප උද්ඝෝෂකයෝ පෙන්වා දුන්හ.

දුම්රිය දෙපාර්තමේනතුව තුල සමිති හා වමේ කියා ගන්නා පක්ෂ ක්‍රියා කරන ආකාරය පිලිබඳව සිය කෝපය ප්‍රකාශ කල ඔහු “අපෙන් පසු පරම්පරාවන් හෝ මෙම තත්වයෙන් ගලවා ගත යුතු යැ”යි කියා සිටිමින් වතු කම්කරු සමුලුවට පැමිනීමට ඇති ඉඩ කඩ සලකා බලන බව කියා සිටියේය.

ආර්. පී. චමිල

අවිස්සාවේල්ලේ මුල් පදිංචිය සහිත ආර්. පී. චමිල නමැති දුම්රිය කම්කරුවා සමහර වතු අයිතිකරුවන් වතු කෑලි කඩා විකුනා දැවැන්ත ලාබ ලබමින් වතු වල රැකියා විනාශ කරන බව පෙන්වා දුන්නේය. මීට නිදසුන් ලෙස සාලාව වතු සමාගමට අයත් පුස්සැල්ලාව වත්ත ඔහු ගෙන හැර පෑවේය.

දුම්රිය කම්කරුවෙකුගේ සහෝදරයෙකු හා ගොඩනැගිලි කම්කරුවෙකු වන නාමල් පෙරේරා සඳහන් කලේ තම ගම් පලාත වන දකුනේ කටුවන ප්‍රදේශයේ අක්කර 2 සිට 5 දක්වා පමන වූ කුඩා තේ වතු වල හා ෆැක්ටරි වල ගැහැනු කම්කරුවන් දිනකට රුපියල් 600 - 800 වැටුපකට සූරාකැවෙන බවයි. “ඔබගේ අරගලය අතිශයින් උනන්දු ජනක” යැයි පැවසීය.

නාමල්

ගොඩනැගිලි ක්ෂේත්‍රයට ඉන්දියාවෙන් හා චීනයෙන් පැමිනෙන කම්කරුවන් පිලිබඳව සඳහන් කල ඔහු මෙම සංක්‍රමනික කම්කරුවන් පැය 10 - 12 දක්වා වැඩෙහි යොදවන බව කියා සිටියේය. සංක්‍රමනික කම්කරුවන් එලෙස සූරා කෑමට අප විරුද්ධ නමුත් සංක්‍රමනික කම්කරුවන්ට මෙරටට පැමින වැඩ කිරීමට ඇති අයිතිය අප ආරක්ෂා කරන බව සසප උද්ඝෝෂකයන් සඳහන් කල විට ඔහු එය අනුමත කලේය. හැටන් නගරයේ පැවැත්වෙන වතු කම්කරු සමුලුවට සහභාගී වීමට උත්සාහ දරන බව ඔහු පැවසීය.

දුම්රිය දෙපාර්තමේන්තුවේ රත්මලාන කාර්යාල සේවිකාවක් සඳහන් කලේ තමන් ඒකාබද්ධ සේවයට අයත් බවත් කවුරු බලයට ආවත් තමන් අතිශය අඩු වැටුපකට සූරා කැවෙන බවයි. වතු කම්කරුවන්ගේ වැටුප් ඉහල දමා ගැනීමේ සටන අපේම සටනක් ලෙස සලකන බව ඇය කියා සිටියාය.

Share this article: