මෑත වාර්තා එක්සත් ජනපදය තුල රඳවා ගැනුනු ලමා ආගමනිකයන්ට එරෙහි ලිංගික අපයෝජන ලේඛනගත කර යි

Reports document sexual abuse of immigrant children detained in US

2019 පෙබරවාරි 28

අලුතින්ම නිකුත්වූ එජ සෞඛ්‍ය සහ මානව සේවා දෙපාර්තමේන්තුවේ (HHS) ලේඛන, රඳවාගෙන සිටින ආගමනික දරුවන් ලිංගික අඩත්තේට්ටකම්වලට ලක් කරනු ලැබීම් පිලිබඳ පැමිනිලි 4,556 ක්, 2014 ඔක්තෝබර් සිට 2018 ජූලි දක්වා ඇති බව අනාවරනය කලේය.

යුද්ධයේ, ආඥාදායකත්වයේ සහ සංගත සූරාකෑමේ දශක ගනනාවක් තුලින් ඔවුන්ගේ මධ්‍යම ඇමරිකානු මව් රටවල් විනාශ කිරීමෙන් අනතුරුව, ඔවුන්ගේ කම්කරු පන්තික පවුල්වල දෑත්වලින් දහස් ගනන් දරුවන් බලහත්කාරයෙන් උදුරා ගත් ඇමෙරිකානු අධිරාජ්‍යවාදයේ සාපරාධීත්වය මෙම ලේඛන ඉස්මතු කොට දක්වයි.

ඔබාමා සහ ට්‍රම්ප් යන දෙපලගේම පරිපාලන කාල තුල අපයෝජන පිලිබඳ පුද්ගල වාර්තා, රඳවාගෙන ඇති බොහෝ දරුවන් අත්විඳි අත්දැකීම් පිලිබඳ භියකරු චිත්‍රයක් මවාපායි. ගොදුරු බවට පත්වූවන්ට, “භාරකාරිත්වය රහිත විදේශීය දරුවා (unaccompanied alien child)” යන්න සඳහා “UAC” යන අමානුෂකාරී වචනය යොදා ගනිමින් ටෙක්සාස්හි ෂිලෝ ප්‍රතිකාර කේන්ද්‍රය විසින් පල කරන ලද එක් වාර්තාවක් මෙසේ පවසයි:

UAC වාර්තා කරන පරිදි, එකම කාර්යමන්ඩල සාමාජිකයා ඔහුව දෙවතාවක් අපයෝජනයට ලක් කර ඇත. පලමු අවස්ථාවේදී, කී පරිදි, කාර්යමන්ඩල සාමාජිකයා ඉඳගෙන සිටිද්දී තමාගේ අත තදින් ග්‍රහනය කර ඔහුගේ යටිබඩ දෙසට අත ඇද්දේය.UAC ඉවතට යෑමට උත්සාහ කරද්දී අත මිරිකා ගන තප්පර 40ක් පමන තම ලිංග ප්‍රදේශය මත අත තද කරගෙන සිටියේ ය. ඉක්බිති ඔහු UACගේ හිස පසු පැත්තට අත්ලෙන් පහරක් ගැසීය. දින කිහිපයකට පසුව UAC නිදාගෙන සිටි විට මෙම කාර්යමන්ඩල සාමාජිකයා UAC ගේ ඇඳුමට උඩින් ලිංග ප්‍රදේශය මිරිකුවේ ය. ඔහු කිසිදු පැමිනිල්ලක් නොකල යුතු බවට කාර්යමන්ඩල තර්ජනය කලේ ය.

මෙම සිද්ධිය ගැන පරීක්ෂා කලද “ප්‍රතිඵල එලිදරව් නොකල” බවත්, කාර්යමන්ඩල සාමාජිකයා දිගටම සේවයේ නිරතව සිටි බවත් මෙම වාර්තාව සඳහන් කරයි.

අනෙකුත් වාර්තාද මෙවැනිම කතා පවසයි.

වර්ජිනියා ප්‍රාන්තයේ ශෙනන්ඩෝ මිටියාවතේ බාලයින් පිලිබඳ කේන්ද්‍රයේ “ලමයෙක් කීවේ කාර්යමන්ඩල සාමාජිකයා තම ලිංග ප්‍රදේශයෙන් හදිසියෙන් අල්ලා ගෙන, තමාව හිර කොට අල්ලා ගන සිටිද්දී, ලිංග ප්‍රදේශය අතින් මිරිකූ බවය.” වාර්තාව, “මෙම සිද්ධිය විභාග කොට නැත” කියා අවසන් කෙරේ.

ඇරිසෝනා ෆීනික්ස්හි නිරිතදිග කී කැම්බල්හි දරුවකු පැවසුවේ, කාර්යමන්ඩල සාමාජිකයා “තම නිදන කාමරයට ඇතුලු වී තමන් නිදාගෙන සිටිද්දී තමන්ව ස්පර්ෂ කල” බවත් සහ “නීති ක්‍රියාත්මක කරන්නෝ කාර්යමන්ඩල සාමාජිකයාගෙන් ප්‍රශ්න කල නමුත් වාර්තාවක් පමනක් ලබා ගත් අතර පරීක්ෂන පැවැත්වූයේ නැත” යනුවෙනි.

ආන්ඩුවේ කොන්ත්‍රාත් ලත් කාර්්‍යමන්ඩලයේ උදාසීනත්වය සහ නොතකා හැරීම හේතුවෙන් වඩා බාල රැඳවියන්ට එරෙහිව වඩා වැඩිමහල් රැඳවියන්ගේ ක්‍රියාවන් අපයෝජන පිලිබඳ අනෙකුත් නිදසුන් වලට ඇතුලත් වෙයි.

2018 අවසානයේදී ඕනෑම නිශ්චිත මොහොතක රැඳවියන් ලෙස දල වශයෙන් දරුවන් 15,000 ක් සිටියහ. 2018 නොවැම්බර් මස ලෝක සමාජවාදී වෙබ් අඩවිය විසින් පල කරන ලද වාර්තාවක් විසින් රඳවාගෙන සිටින ආගමනික දරුවන්ට එරෙහි මෘග සැලකීම් සහ කුරිරු දඬුවම් එලිදරව් කෙරින.

රඳවාගෙන සිටින ආගමනික දරුවන්ට එරෙහිව පැතිර පවතින ලිංගික අපයෝජන පිලිබඳ මෑතම අනාවරනවලට සංගත මාධ්‍ය තුල කිසිදු විවේචනයක් නැති තරම්ය. අඟහරුවාදා හවස මෙම කතාව එලිදරව්වීමේ පටන් මෙම විෂය පිලිබඳව නිව් යෝර්ක් ටයිම්ස් වත් වොෂින්ටන් පෝස්ට්වත් තීරු ලිපියක්වත්, මෙය මුද්‍රනයට යන තෙක් පල කලේ නැත.

මාධ්‍යය පුලුල් වශයෙන් මෙම ප්‍රශ්නය පසු පිටුවල සඟවා ඇති අතර, ඒ වෙනුවට, ප්‍රධාන ප්‍රවෘත්ති හොරනෑ, වෙනිසියුලාවට එරෙහිව රාජතාන්ත්‍රික සහ හමුදා පීඩනය දැඩි කිරීමේ “මානවවාදී” කාරනාව පිලිබඳව ද, විවිධ ප්‍රසිද්ධ පුද්ගලයින්ට එරෙහිව මෑතම # මීටූ ව්‍යාපාරයේ චෝදනා පිලිබඳව ද අවධානය යොමු කර ඇත.

එජය විසින් මෙහෙයවෙන වෙනිසියුලා ජනාධිපති නිකොලස් මදුරෝට එරෙහි කුමන්ත්‍රන මෙහෙයුම (මදුරෝගේ) ආන්ඩුවේ කෲරත්වය සහ “ප්‍රජාතන්ත්‍රවාදය” පුනර්ජීවනය කිරීමේ අවශ්‍යතාවය මගින් යුක්තියුක්ත වෙයි යන ට්‍රම්ප් පරිපාලනයේත් ඩිමොක්‍රටික් පක්ෂ දේශපාලකයින්ගේත් චෝදනාවේ කුහක ස්වරූපය HHS ලේඛන මගින් අනාවරනය වේ. වෙනිසියුලාවේ රූකඩ ආන්ඩුවක් ඇටවීමේ වොෂින්ටනයේ ප්‍රයත්නවල “ප්‍රජාතන්ත්‍රවාදී” කඩතුරාවන්වලට පිටුබලය දෙන බර්නි සෑන්ඩර්ස් වැනි පුද්ගලයින්ගේ ප්‍රකාශන වනාහි සංක්‍රමනය වීමේ “අපරාධය” නිසා තම පවුල්වලින් උදුරා ගනු ලබන අනාරක්ෂිත දරුවන් අපයෝජනවලට ලක් කිරීමේත් සහ ක්‍රමානුකූලව පීඩාවට පත් කිරීමේත් යෙදී සිටින ආන්ඩුවකින් ගලා එන බේගල්ය.

තමන් අවි අමෝරාගන ඇති ආන්ඩු (සිරියාව රුසියාව චීනය හෝ වෙනිසියුලාව වැනි) විසින් දරුවන් 15,000 ක් අත් අඩංගුවට ගනුලැබ, ආරක්ෂකයින්ගේ සහ කාර්යමන්ඩල සාමාජිකයන්ගේ අපයෝජන ආවරනය කරන ලද වාර්තා එජට ලැබුනි නම්, සියලුම රූපවාහිනි නාලිකාවල දොඩවන ඔලු ගෙඩි සහ නිව්යෝර්ක් ටයිම්ස් තීරු ලිපිකරුවෝ කිඹුල් කඳුලු සලමින්ද, තම කෝපයේ වහ්නිජාලාව ප්‍රකාශ කරමින් ද එම රටවල් කුඩු පට්ටම් වනසේ බෝම්බ දැමීමට ඇති “සදාචාරාත්මක විධානය” ගැන දේශන පවත්වමින්ද හෙම්බත් වනු ඇත.

දක්ෂිනාංශික #මීටූ ව්‍යාපාරයේ ප්‍රමූක පෙලේ නායකයෝ HHS ලේඛනවලට පිලිතුරු සැපයූවේ, රඳවාගෙන සිටින ආගමනික දරුවන්ට එරෙහිව ලිංගික අපයෝජන ගැන කලින් පලවූ වාර්තා ගැන සේමය- එනම් ඒ පිලිබඳව මුනිවත රැකීමෙනි.

මෑත සතිවලදී සංගත මාධ්‍යය සහ ඩිමොක්‍රටික් පක්ෂය, ගායකයකු/ගීත රචකයකු වන රයන් ඇඩම්ස්, වර්ජිනියා ලුතිනන් ආන්ඩුකාර (Lt' Governor) ජස්ටින් ෆෙයාෆැක්ස් සහ සජීවීකරු (animator) ජෝන් ලසෙටර් ට එරෙහිව ද ඇතුලුව ඉහලින්ම කැපී පෙනෙන ලිංගික අපයෝජන චෝදනා මාලාවක් ප්‍රවර්ධනය කර ඇත. මේ සෑම අවස්ථාවකදීම #මීටූ ව්‍යාපාරයේ උද්ඝෝෂකයෝ සනාථ නොකරන ලද චෝදනාවල පදනම මත මෙම ප්‍රසිද්ධ පුද්ගලයින්ට ඉල්ලා අස්වීමට හෝ නෙරපා හැරීමටත් සහ ඔවුන්ව සමාජීයව විනාශ කිරීමටත් කැඳවුම් කර ඇත. ලසෙටර්, නිදසුනක් ලෙස, “ ඉල්ලීමකින් තොරව වැලඳගැනීම්” සිදුකර ඇති බවට චෝදනා ලැබ ඇත.

මෙයට මුලුමනින්ම විලක්ෂිතව, HHS ලේඛන එජ ආන්ඩුව විසින් වසර ගනනාවක් පුරා කරගෙන ගිය මහා පරිමානයේ සැබෑ ලිංගික අපයෝජන පෙන්වා දෙයි. බොහෝ විට, අපයෝජන කැමරාවලට හසු කෙරී ඇත. අපයෝජනවලට අවසර දී ඇත්තේ නැතිනම් සිදුකර ඇත්තේ, ආන්ඩුවේ කොන්ත්‍රාත්කරුවන් ලෙස ක්‍රියාකරන වැඩිහිටි ජේලර්වරුන්ය. මොවුන්ට, බොහෝ අවස්ථාවලදී, නීතියේ දුර්විපාක නොලබා සිටීමට රජයෙන් රැකවරනය ලැබෙයි.

HHS ලේඛන පිලිබදව අද වන තෙක් ට්වීටයක් වත් නිකුත් නොකරපු අය අතර : #මීටූ ව්‍යාපාරයේ නිර්මාතෘ තරානා බර්ක්; තමන්ට අතවර කලාය යනුවෙන් හාර්වි වයින්ස්ටයින්ට චෝදනා එල්ල කල රෝස් මැක්ගොවන් සහ ඒසියා ආර්ජෙන්ටෝ; රියන් ඇඩම්ස්ට එරෙහිව ව්‍යාජ චෝදනා වාර්තා කල නිව්යෝර්ක් ටයිම්ස් හි ලේඛකයින් ජෝ කොස්කැරෙල්ලි සහ මෙලෙනා රයිසික්; ඇති පමන ශබ්දාගාර වලට කාලය නොදීම මගින් ඇයව අපයෝජනය කලේ යයි ඇඩම්ස්ට චෝදනා එල්ල කල ඔහුගේ පෙර බිරිය වූ මැන්ඩි මුවර්; ඩිමොක්‍රටික ජනාධිපති අපේක්ෂක සහ #මීටූ ව්‍යාපාරයේ නායක කර්ස්ටන් ජිලිබ්‍රෑන්ඞ්; වුඩි ඇලන් “රාක්ෂයකු” ලෙස ගිය සතියේ නම් කල නිව්යෝර්ක් ටයිම්ස්හි තීරුලිපිකරු මොරීන් ඩවුඞ් සහ 2017 දී වයින්ස්ටයින්ට එරෙහිව චෝදනාවන් ආරම්භ කල ද නිව්යෝකර්ස් හි රොනන් ෆැරෝ, වෙත්.

“බේරුනවුන්” සහ “ගොදුරුවූවන්” කෙරෙහි උත්සුකය පිලිබඳ ඔවුන්ගේ කුහක බක තපස් ප්‍රකාශන තිබියේවා, මෙම ඉසුරුමත් බඩගෝස්තරවාදීන්ට ක්‍රමානුකූලව සිදු කෙරෙන ආගමනිකයන්ට එරෙහි ලිංගික අපයෝජන ගැන කැක්කුමක් නැති සරල හේතුව වන්නේ, මෙම දරුවන්ගේ පීඩාවලින් තමන්ට මුදල් උපයා ගැන්මට හෝ වෘත්තීන්හි ප්‍රගතියක් ලබාගත නොහැකි වීමයි.

එහි අරටුවෙන්ම, #මීටූ උද්ඝෝෂනය වනාහි ජනගහනයේ ඉහල සියයට 10 තුල ස්ථානගත කාන්තාවන්ට සම්පත් සහ වරප්‍රසාදිත තානාන්තර යලි බෙදීමේ දක්ෂිනාංශික ආරම්භකත්වයකි. මෙය ඔජවඩවන්නවුන් ඔසවා තබන්නේ නියමිත ක්‍රියාවලිය හා අහිංසකත්වය පිලිබඳ පූර්වානුමිතිය ඉවත් කල යුතු බවත් චෝදකයින් “විශ්වාස කල යුතු” බවත් යන ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී තර්කය යි.

නියමිත ක්‍රියාවලියට එරෙහි මෙම උද්ඝෝෂනය මුලුමනින්ම ආගමනිකයන්ට එරෙහිව ට්‍රම්ප්ගේ ෆැසිස්ටික ප්‍රහාර සමග අනුරූප වෙමින් ඒවාට ඉන්ධනද සපයයි. 2018 දී ආගමනිකයන් සඳහා නියමිත ක්‍රියාවලිය අහෝසි කරන මෙන් ට්‍රම්ප් පැහැදිලිවම ට්වීට් පනිවිඩයකින් කැඳවුම් කලේ: “යමෙකු මෙහි පැමිනෙන විට, විනිසුරුවරුන් හෝ උසාවි නඩු නැතිව ඔවූහු පැමිනි ස්ථානයට යලි පිටත් කල යැවිය යුතුය. හොඳ ආගමනික ප්‍රතිපත්තියක් සහ නීතිය සහ විනය සම්බන්දව බැලූ කල, අපගේ පද්ධතිය විහිළුවකි.”

“ආගමනික” සඳහා “ලිංගික අඩත්තේට්ටකම්” යන පදය හුවමාරු කල විට ට්‍රම්ප්ගේ ට්වීට් පනිවිඩය #මීටූ උද්ඝෝෂනයේ කියාපෑම් වලින් වෙන් කොට හඳුනාගත නොහැක.

ආගමනිකයන් “කාන්තා දූෂකයින්” සහ “අපරාධකරුවන්” බව ට්‍රම්ප් සහ ඔහුගේ නව නාසි උපදේශක ස්ටීවන් මිලර් චෝදනා නගති. පාසැල්වලත් පල්ලිවලත් වැඩ පොලවල්වලත් සහ විනිශ්චය ශාලාවලත් ගාල් කරමින්, ලක්ෂ ගනන් ජනයා රඳවා ගැනීමට මෙම වර්ගවාදී අපවාද ඔවූහු භාවිතා කර ඇත.

ආගමනිකයන්ට එරෙහි මෙම ජන සංහාරයන්හි පුලුල් ප්‍රජාතන්ත්‍ර විරෝධී ඇඟවීම්, ජාතික හදිසි අවස්ථාවක් ප්‍රකාශ කිරීම හරහා අර්ධ-ආඥාදායක බලයන් සඳහා ට්‍රම්ප්ගේ හිමිකම් කීම මගින් සහ සමාජවාදයට එරෙහි තම ෆැසිස්ටික ප්‍රහාර මගින් දැනටමත් දෘශ්‍යමාන වෙයි. නියමිත ක්‍රියාවලිය සඳහා පවතින මහජන සහයට වල කැපීම මගින් #මීටූ උද්ඝෝෂනය මාවත එලි පෙහෙලි කරන්නේ කම්කරු පන්තියේත් පීඩිතයින්ගේත් ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්වලට තව දුරටත් කෙටීමටයි.

ට්‍රම්ප් පරිපාලනයේ ෆැසිස්ටික ප්‍රහාරවලට එරෙහිව ව්‍යාපාරයක් ගොඩ නැගීම සදහා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සහ නියමිත ක්‍රියාවලිය අහෝසි කිරීම සඳහා කෙරෙන සියලුම කැඳවුම්වලට එරෙහි වීම අවශ්‍ය කෙරේ. එවැනි ව්‍යාපාරයක් සමාජ ඉනිමගේ ඉහල නැගීමට වලිකන ඉහල සියයට 10 යේ ආත්මාර්ථකාමීන් මත නොව සමාජ සමානතාවය සඳහා විප්ලවවාදී සටන තුලින් ජාත්‍යන්තර කම්කරු පන්තිය මත පදනම් කෙරෙනු ඇත.

එරික් ලන්ඩන්

Share this article: