නවසීලන්ත ත්‍රස්ත ප්‍රහාරය හා ෆැසිස්ට්වාදයේ ජාත්‍යන්තර අනතුර

The New Zealand terrorist attack and the international danger of fascism

2019 මාර්තු 18

නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් නගරයේ මුස්ලිම් පල්ලි දෙකකට පසු ගිය සිකුරාදා එල්ල කෙරුනු ත්‍රස්ත ප්‍රහාරයේ මරන සංඛ්‍යාව සති අන්තය වන විට 50 දක්වා ඉහල ගියේ ය. ඝාතනය කෙරුනු ලාබාල ම පුද්ගලයා වසර තුනක් වයසැති පිරිමි ලමයෙකු විය. ඉරිදා වන විට පුද්ගලයන් 43දෙනෙකු රෝහලේ සිටි අතර, බරපතල ලෙස තුවාල ලැබූ අවුරුදු හතරක ගැහනු ලමයෙකු ඇතුලුව, 12දෙනෙක් බරපතල තත්වයේ පසු වූහ.

ඔවුන් යාඥා කරමින් සිටින අතර අහිංසක මුස්ලිම් පිරිමි, ගැහැනු හා ලමුන් ඉලක්ක කර අමුඅමුවේ කෙරුනු ත්‍රස්ත සංහාරයෙන් ලෝකය පුරා මහජනයා බිය ගැනුනි. විපතට පත්වූවන් හා ඔවුන්ගේ පවුල් සමග එකමුතුව පෙන්වීමට ද මුස්ලිම් සංක්‍රමනිකයන් හා සරනාගතයන් ආරක්ෂා කිරීමට ද දස දහස් ගනන් ජනයා රාත්‍රී නිසල විරෝධතාවලට එක් වූහ.

නවසීලන්ත පොලීසිය දැන් පවසන්නේ ඕස්ට්‍රේලියාවේ උපන්, 28හැවිරිදි බ්‍රෙන්ටන් ටැරන්ට් පමනක් එක ම තුවක්කුකරු වූ අතර අනෙක් අයගේ සහාය ලැබ නො තිබූ බව යි. මරන චෝදනා මත ඔහු උසාවියේ පෙනී සිට ඇත. නවසීලන්තය හා ඕස්ට්‍රේලියාව යන දෙරටේ ම අධිකාරීන් ප්‍රකාශ කරන්නේ ඔහු කිසි කලක ඔත්තුසේවා ඒජන්සිවල හෝ පොලීසියේ අවධානයට ලක් නො වූ අතර, ඒ නිසා මොනම ආකාරයක වත් අධීක්ෂනයක් යටතේ නො සිටි බවයි.

ටැරන්ට් කරදරයට පත් “තනි වෘකයෙකු” ලෙස පින්තාරු කිරීමේ මෙම උත්සාහය හා විශේෂයෙන් ම ඔහු “රේඩාවන්ට පිටින්” වී යැයි ප්‍රකාශ කිරීම පැහැදිලිව ම විශ්වසනීය නො වේ. ටැරන්ට් විසින් නිකුත් කෙරුනු පිටු 74ක ප්‍රකාශනය පැහදිලි කරන්නේ ෆැසිස්ට්වාදී හා සුදු ස්වෝත්තමවාදී ජාත්‍යන්තර ජාලයක් වෙනුවෙන් ඔහු මෙම විනාසයන් සුදානම් කර ක්‍රියාත්මක කල බව යි.

ටැරන්ට්ගේ ප්‍රකාශනය අද දින මේන් කෑම්ප්ෆ් (හිට්ලර් විසින් රචිත මගේ අරගලය - පරිවර්තක) එකකි. එය යුරෝපය, එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව හා නවසීලන්තයෙන් පිටවීමට යුරෝපී නො වන “ආක්‍රමනිකයන්ට” (මුස්ලිම්, යුදෙව්, අප්‍රිකානු හා රොමා පසුබිමක් ඇති පුද්ගලයන් ඇතුලුව) බල කිරීමට ජනඝාතක ප්‍රචන්ඩකම් හා සිවිල් යුද්ධ සඳහා වන ඉල්ලීම්, සමාජවාදය පිලිබඳ ව්‍යාධික වෛරය සමග ඒකාබද්ධ කර යි. එය අන්තර්ගතවන්නේ 1920 ගනන් හා 1930 ගනන්වල නාසිවාදය හා අනෙකුත් ෆැසිස්ට්වාදී ව්‍යාපාර පන ගැන් වූ “රුධිරය සහ භූමියේ” සුදු වාර්ගික හා අන්ත ජාතිකවාදී අසාර්ථක ක්‍රියාමාර්ග තුල ය.

තමා “බොහෝ ජාතිකවාදී කන්ඩායම්වලට මුදල් ආධාර කර...තවත් බොහෝ අය සමග ඍජුව සම්බන්ධ වී” සිටි බව තුවක්කුකරු සඳහන් කලේ ය. 2012 සිට ඔහු බල්ගේරියාව, හන්ගේරියාව, සර්බියාව, ක්‍රොඒෂියාව, බොස්නියාව, ප්‍රන්සය, එක්සත් රාජධානිය, ස්පාඤ්ඤය, තුර්කිය, පකිස්තානය හා උතුරු කොරියාවට පවා ගොස් ඇති අතර ආපසු ඕස්ට්‍රේලියාවට පැමින නවසීලන්තයේ සංචාරය කර ඇත.

තමන් ත්‍රස්තවාදය දෙසට හැරීමට තීරනය කලේ, 2017 යුරෝපයේ මාස දෙකක සංචාරය අතරතුර හා ප්‍රන්ස මැතිවරනයේ දී අන්ත දක්ෂිනාංශික ජාතික පෙරමුනේ පරාජයෙන් පසු යැයි ඔහු පැවසී ය. චෝදනා කෙරෙන පරිදි නෝර්වීජියානු ෆැසිස්ට් සමූහ ඝාතක ඇන්ඩර්ස් බ්‍රේයිවික්ට සම්බන්ධ ඊනියා නයිට්ස් ටෙම්ප්ලර් සංවිධානය සමග ටැරන්ට් සම්බන්ධතා ඇති කර ගත් අතර, තමා ක්‍රයිස්ට්චර්ච් ප්‍රහාරය සඳහා එහි “ආශීර්වාද” ලබා ගත් බව තහවුරු කර යි. ඔහු අන්ත දක්ෂිනාංශික සාමජ මාධ්‍ය හා බ්ලොග් අඩවි සමග ක්‍රියාකාරී වූ අතර නවසීලන්තයට පැමිනීමෙන් පසු වැඩි කල් යාමට මත්තෙන් තුවක්කුකරුවන්ගේ සමාජයකට එකතු විය. තම ප්‍රහාරය ක්‍රියාත්මක කිරීමේ රට ලෙස නවසීලන්තය තෝරා ගත්තේ “සුදු ජාතිකයින් නොවන්නන්” සඳහා “ලෝකයේ කිසි තැනක ආරක්ෂාවක්” නැති බව පෙන්වීමට යැයි ඔහු ප්‍රකාශ කලේ ය.

මේ සියල්ල ලෝකය වටා ආරක්ෂක ඒජන්සිවල “රේඩාර් යටින්” ගියේ නම්, ටැරන්ට්ගේ ප්‍රකාශනය එය කෙසේ දැ යි යන්නට එක් පැහදිලි කිරීමක් සපය යි. ෆැසිස්ට් කන්ඩායම් රාජ්‍ය සංවිධාන, මිලිටරි හා පොලිසියට තදබල ලෙස ඒකාබද්ධ යැයි ඔහු කයිවාරු ගැසී ය. “මෙම සංවිධානවල පුද්ගලයන්ගේ සම්පූර්න සංඛ්‍යාව මිලියන ගනනකි... නමුත් අසමානුපාතික ලෙස මිලිටරි සේවා හා නීති සවිබල ගැනීමේ රැකියාවල නියුතු ය. විශ්මයකින් තොරව වාර්ගික ජාතිකවාදීහු මෙන් ම ජාතිකවාදීහූ තම ජාතියට හා ප්‍රජාවට සේවය කරන ක්ෂේත්‍රවල රැකියා බලාපොරොත්තු වෙති.”(අවධාරනය ඈඳුනි) යුරෝපීය සොල්දාදුවන් හා පොලීසියේ “සිය දහස් ගනනක්” අයිති වන්නේ “ජාතිකවාදී කන්ඩායම්වලට” බව ටැරන්ට් ඇස්තමේන්තු කලේ ය.

ජාත්‍යන්තර කම්කරු පන්තිය හා මධ්‍යම පන්තියේ විප්ලවවාදී කන්ඩායම් විසින් ක්‍රයිස්ට්චර්ච් ප්‍රහාරය (හා එය පෙලඹ වූ සංකල්ප) ගත යුත්තේ මාරාන්තික අනතුරු ඇඟවීමක් ලෙස ය. එය රටකින් රටකට පසු ධනේශ්වර රාජ්‍යයේ ඉහල ම මට්ටමේ දී, ඉතාමත් අන්ත දක්ෂිනාංශික ජාතිවාදය හිතාමතා වගාදිගා කිරීමේ නිර්මිතයකි. පෙර නො වූ විරූ සමාජ අසමානතාව හා යුද්ධයේ අනතුරට එරෙහි ව කම්කරු පන්තියේ දැවන්ත යලි පිබිදීම තුල කම්කරු පන්තිය ජාත්‍යන්තර වශයෙන් පෙරට පැමිනීමත් සමග, පාලක පන්තිය තමන් 1920ගනන් හා 1930ගනන්වල කල පරිදි, ධනවාදයේ බංකොලොත්කම හා ජාතික රාජ්‍ය පද්ධතියට වන විරුද්ධත්වය බෙදීමට, බිය ගැන්වීමට හා මර්දනය කිරීමට ෆැසිස්ට් බලවේග යොදා ගැනීමට උත්සාහ ගනිමින් සිටී.

බ්‍රෙන්ටන් ටැරන්ට්ගේ ඒවාට වඩා දුරස්ථ නො වන දෘෂ්ටීන් සරන කොට ගනිමින් සිටින දේශපාලන පක්ෂ හා පුද්ගලයන් සෑම යුරෝපීය රටක ම, කැනඩාව, ඕස්ට්‍රේලියාව හා නවසීලන්තය තුල මෙන් ම එක්සත් ජනපද කොංග්‍රසය හා ධවල මන්දිරය තුල සොයා ගත හැක.

ජර්මනිය තුල, මර්කෙල්ගේ සභාග ආන්ඩුව, ජර්මානු පාර්ලිමේන්තුවේ විරුද්ධපාර්ශ්වයේ බංකුවල වාඩිවෙන, ෆැසිස්ට්වාදී ජර්මනිය සඳහා විකල්පයේ ප්‍රතිපත්ති පිලිගෙන ඇත. අභ්‍යන්තර ඇමති හොර්ස්ට් සීහෝෆර් පසු ගිය සැප්තම්බරයේ චෙම්නිස්ට් නව-නාසි පෙලපාලිය පිටුපස පෙල ගැසුනේ, තමන් ඇමතිවරයෙකු ව නො සිටියේ නම් ෆැසිස්ට්වාදීන් පසෙකින් තමන් ද පා ගමනේ යාමට ඉඩ තිබූ බව පවසමිනි. ඊට පසු, ජර්මානු රහස් ඔත්තු සේවයේ සභාපති, හෑන්ස්-ජෝර්ග් මාසෙන්, ඒ ආකාරයනේ ම චෙම්නිස්ට් රැල ආරක්ෂා කල අතර, එහි පැහදිලි සංක්‍රමන විරෝධී ෆැසිස්ට් ස්වභාවය ප්‍රතික්ෂේප කලේ ය.

ජර්මානු සන්නද්ධ හමුදා තුල, සමාජිකයින් සිය ගනනකින් යුත්, රහස් දක්ෂිනාංශික ත්‍රස්තවාදී ජාලයක් අනාවරනය කෙරී ඇත. අධිකරන පද්ධතිය විසින් එහි සාමාජිකයින් ආරක්ෂා කෙරී ඇති, මෙම ජාලයට ආන්ඩුවේ ප්‍රමුඛ පුද්ගලයන් මරා දැමීම හා යුදෙව් හා මුස්ලිම් සංවිධානවලට පහර දීමට විස්තරාත්මක සැලසුම් තිබුනි.

එක්සත් ජනපදය තුල, ඩිමොක්‍රටිකයන් හා රිපබ්ලිකානුවන් යන දෙගොල්ලම ඇමරිකාවේ සමාජ අර්බුදය වෙනුවෙන් සංක්‍රමනිකයන් බිල්ලට දීමට උත්සාහ කර ඇත. දෙගොල්ලම කම්කරු පන්තිය බෙදීමේ උත්සාහයේ දී වාර්ගික දේශපාලනය යොදා ගනිති.

ටැරන්ට් විසින් “සුදු අනන්‍යතාවයේ නවීකෘත සංකේතය” ලෙස විස්තර කෙරුනු, ජනාධිපති ට්‍රම්ප්, ෆැසිස්ට්වාදී අනුග්‍රාහයකයින් කන්ඩාමක් ඇති දැඩි කිරීමට උත්සාහ කර ඇත. තම ෆැසිස්ට් පදනමට යැවූ සහයෝගිත්වයේ පනිවිඩයක, ක්‍රයිස්ට්චර්ච් ප්‍රහාරයෙන් පසු, ට්‍රම්ප් වාර්තාකරුවන්ට පැවසුවේ තමා “සුදු ජාතිකවාදය” තර්ජනයක් ලෙස නො දකින බව යි. නවසීලන්ත සංහාරයට දින දෙකකට පෙර, ඔහු පැහදිලි කලේ විරුද්ධවාදීන්ට එරෙහි ව මිලිටරිය, පොලීසිය හා “ට්‍රම්ප් සඳහා යතුරුපැදිකරුවෝ” වැනි මැරවර කන්ඩායම් තුල තම ආධාරකරුවන් බලමුලු ගැන්වීමට තර්ජනය කලේ, ඔවුන් “වම්මුන්ට” වඩා “දාමරික” බව බ්රෙයිබාට් නිව්ස් හට පවසමිනි.

මෙය සිදු වුයේ ප්‍රමුඛ අප්‍රිකානු - ඇමරිකානු හා යුදෙව් ජාතික පුද්ගලයින් හා ඇමරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදීන්ගේ සාමාජිකයින් මරා දැමීමට සැලැසුම් කල, ෆැසිස්ට්වාදී එක්සත් ජනපද වෙරලාරක්ෂක නිලධාරියෙකු මෙන් ම ට්‍රම්ප්ගේ ආධරකරුවෙකු වූ ක්‍රිස්ටෝපර් පෝල් හැසොන් අත්අඩංගුවට ගැනීමෙන් පසුව යි.

ක්‍රයිස්ට්චර්ච් ප්‍රහාරය දක්වා ගෙවුනු සතිවල දී, පලස්තීනුවන් මත ඊස්රායල් ආන්ඩුවේ ම්ලේච්ඡ සැලකීම පිලිබඳ වාමාංශික විවේචකයන්ට එරෙහිව මඩ ගැසීමේ ව්‍යාපාරයක් මුදා හැරුනි. ඩිමොක්‍රටික් නියෝජිත මුස්ලිම් ජාතික ඉල්හාන් ඔමාර්, පක්ෂ දෙක මත ම සියොන්වාදී ගැති පෙලඹවීම මගින් හසුරුවන බලපෑම පෙන්වා දීම හේතුවෙන්, “යුදෙව් විරෝධියෙකු” ලෙස හංවඩු ගැසුවේ ය. මෙම උද්ඝෝෂනය දෝංකාර නංවන්නේ එක්සත් රාජධානියේ ලේබර් පක්ෂ නායක ජෙරමි කෝබියන් හා ලේබර් සාමාජිකයින් සිය ගනනක් “යුදෙව් විරෝධී” යැයි චෝදනා කරන දඩයම යි. මෙහි අරමුන වන්නේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයට එරෙහි වාමාංශික විරුද්ධත්වය නීතිවිරෝධී කිරීම හා විරේක කිරීම යි.

වර්ගවාදය හා ප්‍රචන්ඩත්වය හෙලා දකිමින් දේශපාලකයන් විසින් කුහක ප්‍රකාශන නිකුත් කරන ඕස්ට්‍රේලියාවේ හා නවසීලන්තයේ, සංස්ථාපිතය 2001 සිට, මුස්ලිම් සරනාගතයින් තර්ජනයක් හා විභව ත්‍රස්තවාදී පස්වැනි තීරුවක් යැයි යාක්ෂාවේෂ ගන්වා ඇති අතර, සෑම සමාජ ගැටලුවක් වෙනුවෙන් ම සංක්‍රමනිකයන්ට දෝෂාරෝපනය කර ඇත.

ලේබර් පක්ෂය නායකත්වය දෙන සභාග ආන්ඩුවේ ආරක්ෂක හා විදේශ කටයුතු පිලිබඳ අමාත්‍යංශ ධුර පාලනය කරන, “නවසීලන්තය පලමුව” (නිව්සීලන්ඞ් ෆස්ට්) නම් පක්ෂය, මුස්ලිම් හා ආසියාතික රටවලින් එන “සමූහ සංක්‍රමන” නතර කිරීමට නැවත නැවතත් ඉල්ලා ඇත්තේ, ටැරන්ට් හා අනෙකුත් දක්ෂිනාංශික අන්තවාදීන් විසින් පාවිච්චි කෙරෙන භාෂාවට බොහෝ සේ වෙනස් නො වන භාෂාවක් ප්‍රයෝජනයට ගනිමිනි.

ක්‍රයිස්ට්චර්ච් නගරයේ ම්ලේච්ඡ ප්‍රහාරය අවධාරනය කරන්නේ, 2019 ජනවාරි 3වැනිදා තම ජාත්‍යන්තර පන්ති අරගලයේ මූලෝපාය හා 2019 ධනේශ්වර ප්‍රතිගාමිත්වයට එරෙහි දේශපාලන සටන නම් ප්‍රකාශනය තුල හතරවැනි ජාතයන්රයේ ජාතයන්තර කමිටුව විසින් කරන ලද අනතුරු ඇඟවීම යි: “ෆැසිස්ට්වාදය තවමත් මහජන ව්‍යාපාරයක් නොවන අතර, එය පාලක පන්තිය, ආන්ඩුව හා සංස්ථාපිත පක්ෂවල කන්ඩායම්වල සහාය ලබමින් සිටී.”

අන්ත දක්ෂිනාංශික සංවිධානවලට, “මහජනයාගේ පලල් සමූහයන් විසින් විඳින අසන්තෘප්තිය හා කෝපය කයිවාරු සහගත ලෙස කොල්ල කෑමට” ඉඩ දී ඇත යි ප්‍රකාශනය සඳහන් කලේ ය. එය මෙසේ අවධානය කලේ ය: “ සියලු ඓතිහාසික අත්දැකීම්, විශේෂයෙන් 1930 ගනන්වල සිද්ධීන්, පැහැදිලි කරන්නේ ෆැසිස්ට්වාදයට එරෙහි සටන වර්ධනය කල හැක්කේ ධනවාදයට විරුද්ධව කම්කරු පන්තියේ ස්වාධීන බලමුලු ගැන්වීමක පදනම යටතේ පමනක් බවයි.”

ජර්මනිය තුල, යුරෝප මුලුල්ලේ හා ජාත්‍යන්තර ව ෆැසිස්ට් කන්ඩායම් ප්‍රචාරය කිරීමට එරෙහි අරගලයේ වගකීම දැරීමට ඉතිහාසයේ තීරනාත්මක පාඩම් ගෙන ඒමේ අරගලයට ජාත්‍යන්තර කමිටුව නායකත්වය දී ඇත.

මෙම සටන තම යුරෝපී ශාඛාවන්ගේ මැතිවරන උද්ඝෝෂනයේ ද “ෆැසිස්ට්වාදයේ තර්ජනය හා එයට එරෙහිව සටන් කරන්නේ කෙසේ ද” නමින් යුත් එක්සත් ජනපදය සිසාරා පැවැත්වෙන ප්‍රසිද්ධ රැස්වීම් මාලාවක ද හරි මැද තිබේ. රැස්වීම් අමතනු ලබන්නේ ජර්මානු සමාජවාදී සමානතා පක්ෂයේ ප්‍රමුඛ සාමාජිකයෙකු මෙන් ම, Why Are They Back? Historical Falsification, Political Conspiracy and the Return of Fascism in Germany (ඔවුන් ආපසු පැමිනෙන්නේ ඇයි? ඓතිහාසික මුසාකරනය, දේශපාලනික කුමන්ත්‍රනය හා ජර්මානු ෆැසිස්ට්වාදයේ පුනරාගමනය) යන පොතේ කතුවරයා ද වන ක්‍රිස්ටෝපර් වෑන්ඩ්‍රියර් විසිනි.

1920 ගනන්, 30ස් ගනන් හා 40ස් ගනන්වලට වඩා විශාල පරිමානයකින් පවා සමාජය ග්‍රහනයට ගැනීමේ ෆැසිස්ට්වාදී භීතිය වැලක්වීමට සමත් එක්සත්, ජාත්‍යන්තර හා සමාජවාදී කම්කරු පන්තික ව්‍යාපාරයක නායකත්වය ලෙස ජාත්‍යන්තර කමිටුව ගොඩනැගිය යුතු ය.

ටොම් පීටර්ස්

Share this article: