කප්පාදු-විරෝධී විරෝධතාවන්ට එරෙහි ව මැක්රොන් ප්‍රන්ස හමුදා දිගේලි කරයි

Macron sends the French army against anti-austerity protests

2019 මාර්තු 22

කප්පාදුවට හා අසමානතාවට එරෙහි ව මේ සති අන්තයේ පැවැත්වෙන “කහ කබා” විරෝධතා සමය තුල දී ජනාධිපති එම්මානුවෙල් මැක්රොන් හමුදා ඒකක යොදවනු ඇති බව, මාර්තු 20දා ප්‍රන්ස ආන්ඩුවේ ප්‍රකාශක බෙන්ජමින් ග්‍රිවෝක්ස් නිවේදනය කලේ ය.

වසර 60කට පෙර 1954-1962 සමයේ ප්‍රන්සයෙන් නිදහස් වීම සඳහා වූ ඇල්ජීරියානු යුද්ධයේ දී ප්‍රන්ස මිලිටරිය සිදු කල මහා පරිමාන වධ බන්ධන හා ඝාතනවලින් මෙපිට විරෝධතාවන්ට එරෙහි ව ප්‍රථම වතාවට සිදු කරන ප්‍රන්ස හමුදා දිගේලි කිරීම, ඓතිහාසික සන්ධිස්ථානයක් හා ජාත්‍යන්තර පරිමාන ව කම්කරුවන්ට අනතුරු ඇඟවීමක් සලකුනු කරයි. වඩ වඩා සටන්කාමී වන විරෝධයකට මුහුන දෙන මූල්‍ය වංශාධිපතිත්වය, මිලිටරි-පොලිස් පාලනයක් දෙසට ක්ෂනික ව ලුහුටා යමින් සිටී.

මෙම දිගේලි කිරීමට ජනාධිපති එම්මානුවෙල් මැක්රොන් ඉදිරිපත් කරන නිල ව්‍යාජ හේතුව පොලිස් ප්‍රකෝපකාරීත්වයක සැක කටයුතු දුගඳින් යුතු වේ. මාර්තු 16දා පැරිස්හි පැවති “කහ කබා” විරෝධතා තුල දී චෑම්පස්-එලිසී වීදියේ ගබඩාවන් කොල්ලකෑමෙන් පසුව, ගොඩනැගිලි ආරක්ෂා කොට ප්‍රචන්ඩ “කහ කබා” විරෝධතාකරුවන් මත කඩා පැනීමට කැරලි මර්දන පොලීසිය නිදහස් කල හැකි භටයන් සංඛ්‍යාවක් සිටින්නේ මුරභට මෙහෙයුමේ යෙදෙන ත්‍රස්ත-විරෝධී බලකායට පමනක් බව ආන්ඩුව කියා සිටී.

මාර්තු 16දා පැරීසියේ සිදු වූයේ කුමක් ද යන්න මුලුමනින් ම පැහැදිලි නැත. සිය ගනනක් වන කොල්ලකරුවන් චෑම්ප්ස්-එලිසී මාලිගයට පහර දුන්නේ යයි විවිධ නිලධාරීන් විසින් චෝදනා කරන අතර, ඔවුන් අති-වාමාංශික, “කලු කන්ඩායමක්” හෝ නව-ෆැසිස්ට්වාදී යයි පවා විවිධාකාර ලෙස නිලධාරීන් විසින් හඳුනාගෙන ඇත. ප්‍රහාරයට වගකිව යුතු සංවිධාන හඳුනාගනු ලැබ නැති අතර, මාර්තු 16දා අත්අඩංගුවට ගත් විරෝධතාකරුවන් 250 දෙනා අතර කොල්ලකරුවන් සිට නැත. ල එක්ස්ප්‍රස් පුවත්පත වාර්තා කල පරිදි, ආරක්ෂක හමුදාවන් දන්නේ ඔවුන්ගෙන් තිදෙනෙක් පමනක් වන අතර, බොහෝ දෙනා “කිසිදු ප්‍රචන්ඩ ක්‍රියාවක් සිදු නො කර පෙර පැවති විරෝධතාවන්ට සහභාගි වී ඇත.”

පැරීසියේ සාන්ත ජර්මේන් පාපන්දු සමාජයේ වෙලඳ භාන්ඩ සොරාගත්, ගබඩාවක් කොල්ලකන ලදැයි සත්‍ය වසයෙන් ම හඳුනාගත් කිහිප දෙනා අතරට, පොලීසිය විසින් පහර දුන් ජනමාධ්‍යවේදියෙකු විසින් කැමරාවට හසු කරගත් කැරලි මර්දන පොලිස් භටයෙකු අයත් විය.

මෙම මුලුමනින් ම දෙබිඩි සිද්ධීන් මත පදනම් ව, මාර්තු 23දා පැවැත්වෙන “කහ කබා” විරෝධතාවට එරෙහි ව ලේ රත්වන තර්ජන නිකුත් කරන මැක්රොන් ආන්ඩුව හමුදාව කැඳවමින් සිටී. ප්‍රන්ස ජනයාගෙන් සියයට 70ක් වන “කහ කබා” විරෝධතාවන්ට සහභාගි වන හෝ ඒවාට සහයෝගය දෙන අය මාර්තු 16 ප්‍රචන්ඩත්වයට “පැටලී ඇතැ” යි මැක්රොන් විසින් හෙලා දැක ඇත. “සමහරුන් අවසානයේ පක්ෂඝාත කරනු ඇති” වුවත්, “ආරක්ෂක හමුදාවන් විසින් ජනයාට තුවාල කිරීම හෝ ඊටත් වඩා දරුනු යමක් කිරීම පිලිබඳ ව සිතීමට සෑම දෙනා ම පුරුදු විය” යුතු බව ල පැරිසියන් වෙත අදහස් දැක්වූ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශ මූලාශ්‍රයක් සඳහන් කලේ ය.

එවැනි ප්‍රකාශ ෆැසිස්ට් ආඥාදායක ෆිලිප් පෙටේන් හා ජොර්ජස් ක්ලෙමන්සෝ කෙරෙහි මැක්රොන්ගේ ප්‍රකාශිත ආකර්ශනය සිහිගන්වයි. රුසියාවේ 1917 ඔක්තෝබර් විප්ලවයත් සමග අවසන් කරනු ලැබූ ප්‍රන්සය තුල හමුදා දිගේලි කිරීම සිදු කල අවසාන අභ්‍යන්තර කටයුතු ඇමතිවරුන්ගෙන් එක් අයෙක් වන ක්ලෙමන්සෝ, වැඩ වර්ජනවල දී හා මැයි දින රැලිවල දී හමුදාව නිරන්තරයෙන් කම්කරුවන්ට වෙඩි තබා ඝාතනය කල සමයේ හමුදාව විසින් 18 දෙනෙකු මරා දැමීම අධීක්ෂනය කලේ ය.

ප්‍රන්සයේ “පොහොසතුන්ගේ ජනාධිපතිවරයා” කෙරෙහි පවතින විරෝධය හා ඇල්ජීරියානු මිලිටරි තන්ත්‍රයට එරෙහි ව පසුගිය මාසයේ මහජන විරෝධතා පුපුරා යාම මගින් තැති ගැන්වී සිටින ආන්ඩුව, මහජනයා බියවැද්දීමටත්, අවශ්‍ය නම් විරෝධතාවන් ලෙයෙහි ගිල්වීමට උත්සාහ කල හැකි කොන්දේසි කරා ආපසු යාමටත් උත්සාහ දරයි. එහෙත්, සුවිශේෂී ප්‍රන්ස ප්‍රපංචයක් නො වන මෙය, වැඩෙන මහජන විරෝධයට එරෙහි ව මූල්‍ය වංශාධිපතිත්වය විසින් මිලිටරියට හැරීම හා අධිපතිවාදය දිරිමත් කිරීමේ වැඩෙන ජාත්‍යන්තර උත්සාහයක සංකේන්ද්‍රිත ප්‍රකාශනය යි.

මැක්රොන් ප්‍රන්සය තුල හමුදාව දිගේලි කරද්දී, ට්‍රම්ප් පරිපාලනය එක්සත් ජනපදය තුල හදිසි තත්ත්වයක් ප්‍රකාශ කර ඇත්තේ එක්සත් ජනපද-මෙක්සිකෝ දේශසීමාවට භටයන් යවමිනි. යුරෝපය පුරා ඒ හා සමාන ක්‍රියාවලීන් සිදු වේ. ජර්මනිය තුල දක්ෂිනාංශික මහාචාර්යවරු හිට්ලර්ගේ අපරාධවලට සුදු හුනු ගාද්දී හා ස්පාඤ්ඤය තුල මාක්ස්වාදය තහනම් කල යුතු යැයි ෆැසිස්ට්තාලයේ වොක්ස් පක්ෂය කැඳවුම් කරද්දී, එක්සත් රාජධානියේ නිලධාරීහු බ්‍රෙක්සිට් සමයේ බි්‍රතාන්‍යය ඇතුලත හමුදාව දිගේලි කිරීම සූදානම් කරමින් සිටිති.

පන්ති අරගලයේ වැඩෙන ජාත්‍යන්තර පුනර්ජීවනයකට ප්‍රතිචාර ලෙස අන්ත-දක්ෂිනාංශික පාලන රූප කරා මූල්‍ය වංශාධිපතිත්වයේ ධාවනය වේගවත් කර ඇත. මාස හතරකට පෙර සමාජ මාධ්‍ය යොදාගනිමින් හා ප්‍රන්සයේ රාජ්‍යයෙන් අරමුදල් සපයන වෘත්තීය සමිති නිලධරයන්ගෙන් පිටස්තර ව, ප්‍රතිගාමී ඉන්ධන බදු, ධනවතුන් සඳහා බදු කැපීම, පහල වැටුප්, මිලිටරි වියදම් හා කප්පාදුවට විරුද්ධ ව ලක්ෂ ගනන් ජනයා “කහ කබා” විරෝධතා දියත් කල හ. එම කාල පරිච්ඡේදය පුරා ම, වෘත්තීය සමිතිවලින් ස්වාධීන වැඩ වර්ජන එක්සත් ජනපදයේ ගුරුවරුන්ගේ සිට පෘතුගාලයේ හෙද හෙදියන්, මෙක්සිකෝවේ මෝටර් රථ කම්කරුවන් හා ශ්‍රී ලංකාවේ වතු කම්කරුවන් දක්වා සංවිධානය විය.

1991 දී ස්ටැලින්වාදීන් විසින් සෝවියට් සංගමය බිඳ විසුරුවීමෙන් පසුව පන්ති අරගලය මර්දනය කර තිබුනු දශක ගනනකින් ඉක්බිති ව, භූගෝලය පුරා එය යලි ඉස්මතු වෙමින් තිබෙන්නේ ධනවාදය කෙරෙහි වැඩෙන දේශපාලන විරුද්ධත්වය මධ්‍යයේ ය. ල මොන්ඬේ ඩිප්ලොමැටිකේ ලියූ පරිදි මූල්‍ය වංශාධිපතිත්වය දැන් බියපත් ව සිටින්නේ “මැතිවරනයක් පරාජය වීම, ‘ප්‍රතිසංස්කරන’ සඳහා අසමත් වීම හෝ කොටස් වෙලඳපොල පාඩු ආදිය පිලිබඳ ව නො ව, සන්නද්ධ නැගිටීම, කැරලිකාරීත්වය, දුගී භාවය කෙරෙහි ය.” එහෙත් 2008 මූල්‍ය අර්බුදයේ පටන් එයට ලැබී ඇති මහජන අරමුදල්වලින් ගෙවූ ඇප තැබීම්, යුරෝ ට්‍රිලියන ගනන්වල බදු කප්පාදු ආදී කම්කරුවන්ගේ ලෙයින් හා ඩාදියෙන් ගෙවන ලද දේවලින් වෙන්වීමට එය තවමත් අපේක්ෂා නො කරයි.

“කහ කබා” ව්‍යාපාරයට එරෙහි ව මැක්රොන් විසින් හමුදාව දිගේලි කිරීමත් සමග පන්ති අරගලයේ පුනර්ජීවනයෙහි ආරම්භක අවධියක් අවසානයට එමින් සිටී. මාස ගනනක් තිස්සේ විරෝධතාකරුවන් බලාපොරොත්තු වූයේ ස්විස් පන්නයේ පුරවැසි-ආරම්භක ජනමත විචාරනයන් (ආර්අයිසී) වැනි උපායක් හරහා ජාතික, ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරනයේ පදනම මත පවතින ආයතන හරහා තමන් සමග එකඟතාවකට ඒමට මැක්රොන් මත පීඩනය යෙදීමට අවසර ඇති බව යි. හමුදාව යැවීමට මැක්රොන් ගත් තීරනය ජාත්‍යන්තර ව කම්කරුවන්ට අනතුරු ඇඟවීමකි. ඔවුන් මුහුන දෙන විකල්පයන් වන්නේ ප්‍රතිසංස්කරනය ද විප්ලවය ද යන්න නො ව, විප්ලවය ද ප්‍රතිවිප්ලවය ද යන්න යි.

මිලිටරි-පොලිස් ආඥාදායකත්වය පිලිබඳ තර්ජනය විසින් ඉස්මතු කරන තීරනාත්මක ප්‍රශ්න වන්නේ ජාත්‍යන්තර කම්කරු පන්තිය දෙසට හැරීම සහ එය තුල සමාජවාදී ක්‍රියාමාර්ගයක පදනම මත සංවිධානය වූ ද වෘත්තීය සමිති හා සන්ධාන ගත ධනපති-හිතවාදී පක්ෂවලින් ස්වාධීන වූ ද ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම යි.

වෘත්තීය හමුදා හා කැරලි මර්දන පොලිස් ඒකක විසින් ඉදිරිපත් කරන තර්ජනය කම්කරුවන්ට යථා හා අතිශයින් තීරනාත්මකය. එහෙත් ඉතිහාසය පුරා ප්‍රතිගාමී තන්ත්‍රයන් අපේක්ෂා කර ඇත්තේ නග්න මර්දනය හා බියවැද්දීම වෙත හැරීම ඔවුන්ගේ විසඳුම් නැති සංකීර්න සමාජ ගැටලු අභිබවා ඇති බව යි. මෙය මාරක ලෙස වැරදි ගනන් බැලීමක් බව යලි යලිත් සනාථ කෙරී ඇත.

ප්‍රන්සයේ ද අන් තැන්වල ද හමුදාවට හා කැරලි මර්දන පොලීසියට තිබෙන යෝධ ආයුධ නො තකා, ඔවුන් තවමත් මූල්‍ය වංශාධිපතිත්වයේ හා ආන්ඩුවේ හුදකලා භාවයට හා අපකීර්තියට මුහුන දෙයි. තර්ජනවලටත් රාජ්‍ය මර්දනයේ ක්‍රියාකාරකම්වලටත් එරෙහි ව කම්කරුවන් හා තරුනයන් අතර පවතින විරෝධය බලමුලුගැන්වීමට හා සම්බන්ධීකරනය කිරීමට ස්වාධීන ක්‍රියාකාරී කමිටු සඳහා වන අරගලය, මැක්රොන්ගේ පොලිස්-රාජ්‍ය පියවරයන්ට එරෙහි අරගලයේ දී තීරනාත්මක ක්‍රියාකලාපයක් ඉටු කරනු ඇත.

කප්පාදු-විරෝධී විරෝධතාකරුවන්ට එරෙහි ව හමුදාව යැවීමට මැක්රොන් ගත් පියවර සමහර මූලික යථාර්ථයන් පැහැදිලි කරයි. ප්‍රන්සයේ ද ලෝකය පුරා ද කම්කරුවෝ පාලක ප්‍රභූවට එරෙහි දේශපාලන අරගලයක නිමග්න ව සිටිති; එහි “සන්නද්ධ මිනිසුන්” ද සහිත රාජ්‍යය තම රාජකාරිය ඉටු කරමින් ධනේශ්වර පද්ධතියේ පරමාධිකාරය ආරක්ෂා කරයි.

මැක්රොන්ගේ කප්පාදු පියවරයන්ට එරෙහි අරගලය, කම්කරුවන් සමාජවාදී ක්‍රියාමාර්ගයක් සඳහා සටන් වැදීමත් හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ප්‍රන්ස ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂය (සසප) ගොඩනැගීමත් අවශ්‍ය කරවයි.

ඇලෙක්ස් ලැන්ටියර්

Share this article: