සෑන්ඩර්ස් වාචාල ඝෝෂාවක් සමග තම උද්ඝෝෂනය දියත් කරයි

Sanders launches his campaign with a blast of demagogy

2019 මාර්තු 4

වර්මොන්ට් ප්‍රාන්ත සෙනෙට් සභික බර්නී සෑන්ඩර්ස් ඩෙමොක්‍රටික ජනාධිපතිවරන නාම යෝජනා සඳහා වන තම උද්ඝෝෂනය ආරම්භ කලේ සෙනසුරාදා නිව් යෝර්ක් හි බෘක්ලින්, හා ඉරිදා රාත්‍රියේ චිකාගෝවේ පැවති ජනහමු සමගිනි. මෙම ජනහමු දෙකේ දී ම, ඔහු තම කතාව පැවත්වූයේ වසර 80ට පෙර ෆ්‍රෑන්ක්ලීන් රූස්වෙල්ට්ගේ නව ගිවිසුමෙන් පසු ඇමරිකානු සමාජය ප්‍රතිසංස්කරනය කිරීමේ වඩාත් ම උන්නතිකාමී උත්සාහය ලෙස සෑන්ඩර්ස් ජනාධිපති පාලනයක් හුවා දක්වමිනි.

සෑන්ඩර්ස්ගේ කතාව දේශපාලන වාචාලකම්වල ව්‍යයාමයක් වූයේ, ඔහු දේශනා කරන සීමිත ප්‍රතිසංස්කරන අතර පවා සම්බන්ධයක් හෝ ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා කිසියම් සැබෑ මූලෝපයක් හෝ නො පවතින බැවිනි.

“හුදෙක් සියයට 1 වෙනුවෙන් නො ව අවසානයේ දී අප සියලුදෙනා වෙනුවෙන් වැඩ කරන ආන්ඩුවක් හා ආර්ථිකයක් නිර්මානය කිරීමට” ඔහු පොරොන්දු වූවේ ය. පැහදිලිව ම ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ජනාධිපතිකමට සඳහමින් ඔහු තව දුරටත් පැවසුවේ, “අපගේ ආන්ඩුව යටතේ පවතින ප්‍රතිපත්ති වනු ඇත්තේ කෑදරකම, වෛරය හෝ බොරු නො වේ... එය බිලියනපතියන් සඳහා බදු විරාමයක්, මෙන් ම දැනට ඇති සෞඛ්‍ය රැකවරනයෙන් මිලියන ගනනාවක් අත්හැර දැමීමේ උත්සාහයක් නො වනු ඇත. මෙම උද්ඝෝෂනය ඒ සියල්ල අවසන් කරන එකක් වනු ඇති” බව යි.

තම පාලනාධිකාරිය යටතේ, “අපි තව දුරටත් සංගත ඇමරිකාවේ කෑදරකම නො ඉවසන්නෙමු... කෑදරකමේ ප්‍රතිඵලය වී ඇත්තේ මහපොලව මත අනෙකුත් ඕනෑ ම ප්‍රධාන රටකට වඩා බොහෝ අදායම් හා ධනයේ අසමානතාව මේ රටේ තිබීමයැ”යි සෑන්ඩර්ස් කියා සිටියේය.

තනි ගෙවන්නෙකුගේ සැලසුම යටතේ සියල්ලන් සඳහා සහතික කෙරුනු සෞඛ්‍ය රැකවරන; පැයකට ඩොලර් 15ක අවම වැටුපක්; එක්සත් ජනපද පොදුකාර්ය පහසුකම් යලි ඉදි කිරීමේ වැඩසටහන මගින් යහපත් වැටුප් ගෙවන රැකියා මිලියන 13ක් ඇති කිරීම; ගුනාත්මක, දැරිය හැකි ලමා රැකවරනය; නිදහස් අමතර ඉගැන්වීම් සහිත රජයේ පාසල් හා විශ්වවිද්‍යාල සහ ශිෂ්‍ය නය අඩු කිරීමක්; සමාජ ආරක්ෂන ප්‍රතිලාභ වැඩි කිරීමක්; හා දේශගුනික වෙනස්කම්වලට එරෙහිව සටන් කිරීමේ කොටසක් ලෙස ෆොසිල ඉන්ධනවලින් පිටත බලශක්ති පද්ධතිය පරිවර්තනය කිරීම ඇතුලු ආර්ථික ප්‍රතිසංස්කරන මාලාවක් අපේක්ෂකයා විසින් සාරාංශ කර ඉදිරිපත් කරන ලදී.

ඩෙමොක්‍රටික් පක්ෂ මූලික වටය හා දේශපාලන මන්ඩලවල දී ඔහු ඡන්ද මිලියන 13ක් දිනූ, 2016 උද්ඝෝෂනයේ දී සෑන්ඩර්ස් කල ආකාරයට ම, මෙම යෝජනා ද කිසි සැකයකින් තොර ව සැලකිය යුතු මහජන සහයෝගයක් ආකර්ෂනය කර ගනු ඇත.

“සමාජවාදය,” “පෞද්ගලික දේපල,” “ලාභ පද්ධතිය,” “අධිරාජ්‍යවාදය,” හා කුප්‍රකට “එස් - වචනය,” එනම් සමාජවාදය යන වචන ඔහුගේ කතාවේ දක්නට නොමැත.

සෑන්ඩර්ස් දේශනා කරන්නේ “දේශපාලන විප්ලවයකි”. නමුත් මෙම “විප්ලවය” පෙනෙන පරිදි අත්පත් කර ගනු ඇත්තේ, පැරනි ම නූතන ධනේශ්වර පක්ෂය වන, ඩොමක්‍රෙටික් පක්ෂ නායකත්වය යටතේ වන අතර ධනපති අසමානතාවේ මූලාධාරය වන පෞද්ගලික දේපල ආයතනවලට අත නො තබනු ඇත.

විප්ලව අතිමූලික වශයෙන් සම්බන්ධ වන්නේ එක් පන්තියකින් වෙනත් පන්තියකට දේශපාලන බලය මාරු කිරීමටයි. කෙසේ නමුත්, සෑන්ඩර්ස් ධනවාදීන්ව විප්ලවවාදී ලෙස පෙරලා දැමීම ඉල්ලා නො සිටී. ඒ වෙනුවට, හැත්තෑ ගනන් වයසක අය කතා පවත්වනු ඇති අතර පාලක ප්‍රභූවේ බලකොටු අනුමාන වශයෙන් ජෙරිකෝවේ තාප්ප (අතීතයේ පලස්තීන භූමි භාගයේ බටහිර ඉවුරේ නගරය වටා වූ-පරිවර්තක) මෙන් ඇද හැලෙනු ඇත.

ලෝක ප්‍රතිගාමිත්වයේ හදවත වන ඇමරිකාව තුල, ලෝකයේ ඉතාමත් කුරිරු ධනේශ්වර කතිපයාධිකාරිය මෙම “දේශපාලන විප්ලවයට” නිකම්ම මග පාදා දෙන අතර, එකදු වෙඩිල්ලක් හෝ පත්තු නො කර,කම්කරු පන්තියේ සමාජ ප්‍රතිලාභවලට ඩොලර් ටි්‍රලියන ගනන් වීසි කරනු ඇත යි සෑන්ඩර්ස් ඇත්තට ම විශ්වාස කරන්නේ ද?

නැත, ඔහු එසේ නො කරයි. එමෙන් ම එහි තිබෙන්නේ ඔහුගේ වංකභාවය යි. නිව් යෝර්ක් හි දී, සෑන්ඩර්ස් තමන්ගේ පදයේ තාලය පැහැදිලි කලේය; “මම දන්නවා මම කව්ද කියලා.” සාධාරන ලෙස නම් ඉන්පසුව ඔහු කිව යුතුව තිබුනේ, “කයිවාරුවල විශේෂඥයා මෙන් ම මිත්‍යා වපුරන්නා” තමා බවයි.

සෑන්ඩර්ස් ආයාචනා කරන්නේ මිලියන ගනනාවක කම්කරුවන් හා තරුනයන්ගේ ගැඹුරින්ම දැනෙන මනෝගතීන්ට යි. ඔහු වැඩ කරන්නේ තමා පොරොන්දු වන කිසි දෙයක් අත්පත් කර ගත නො හැකි දේශපාලන වැඩසටහනකට මෙම මනෝගතීන් හරවා යැවීමට යි.

2016දී, ඔහු විසින් නැවත නැවතත් වෝල් වීදියේ රූකඩයෙකු ලෙස හෙලිදරව් කර තිබූ හිලරි ක්ලින්ටන්ට අනුමැතිය දුන්නේ, තම ආධාරකරුවන්ගේ අපේක්ෂාවන් පවාදෙමින් හා ෆැසිස්ට්වාදී ඩොනල්ඞ් ට්‍රම්ප්ට ජනාධිපති වීමට වේදිකාව සකසා දෙමිනි.

නැවත වතාවක්, 2020දී, සෑන්ඩර්ස් ඩෙමොක්‍රටික් පක්ෂයේ ආවෘත අන්තයට සියලු දේශපාලන විරුද්ධත්වයන් හරවා යැවීමට උත්සාහ කරමින් සිටින්නේ, මෙම පක්ෂයමත් ඔහුට විරුද්ධ වන අතර ඔහු යෝජනා කරන කිසිවක් ක්‍රියාත්මක කිරීමේ අභිප්‍රායක් ඊට නැති ව තිබිය දී ය.

සෑන්ඩර්ස්ගේ කතා විශාල ලෙස පදනම් වී ඇත්තේ 1944 තම වාර්ෂික සාමූහික දේශනය අතරතුර ජනාධිපති ෆ්‍රෑන්ක්ලින් ඩී. රූස්වෙල්ට් යෝජනා කල “දෙවැනි අයිතිවාසිතම් පනත” මත ය. නමුත්, දෙවැනි ලෝක යුද්ධයේ අවසානයේ, එක්සත් ජනපද බලයේ උච්ඡ අවස්ථාවේ දී පවා, මෙම යෝජනා වතුරේ මැකී ගියේ ය.

නිවාස, සෙඛ්‍ය රැකවරන, හා අධ්‍යාපන අයිතීන් වෙනුවට, ඇමරිකානු ජනතාව ලැබුවේ සීතල යුද්ධය, මැකාතියානු කොමියුනිස්ට් විරෝධය, වියට්නාමයේ යුද්ධය හා ඊට පසු දශක ගනනාවක කප්පාදු, නිර්කාර්මිකකරනය, ඉහල යන අසමානතාව, “ත්‍රස්තවාදය මත යුද්ධය,” හා 2008 මූල්‍ය දිය වීම හා වඩ වඩා අසමානතාවයි.

සෑන්ඩර්ස් මේ කිසිවක් සිදු වූයේ කෙසේ දැ යි යන්න ගැන කිසිම පැහදිලි කිරීමක් නො කරයි. ඔහු හෙලා දකිමින් සිටින ප්‍රතිපත්ති පසු ගිය පනස් වසර තිස්සේ ඩෙමොක්‍රටික් හා රිපබ්ලිකානු පක්ෂවල වෙලඳ බඩු තොගයේ තිබී ඇත. එමෙන් ම කම්කරු පන්තිය මත කුරිරු ප්‍රහාරයන්ගේ කාලයක දී, මෙම ප්‍රතිපත්ති, තිබී ඇත්තේ ද, තිබෙන්නේ ද ලෝකය පුරා ධනවාදයේ ආවේනික ලක්ෂනය ලෙස යි.

මේ කිසිවක් ගැන සෑන්ඩර්ස්ට කිසිම පැහදිලි කිරීමක් නැත්තේ, පවතින්නේ එක ම එක විසඳුමක් පමනක් වන නිසා ය: එනම් කාල් මාර්ක්ස් හා ෆ්‍රෙඩ්‍රික් එංගල්ස් කොමියුනිස්ට් ප්‍රකශනය තුල පැහදිලි කල දෙයයි; ධනවාදය ධනපතීන්ගේ පොහොසත්කම වෙනුවෙන් මහජනයා දිලින්දන් කර යි. යුද්ධය, අසමානතාව හා සෑන්ඩර්ස් විරුද්ධ වන්නේ යැයි කියන සෑම සමාජ නපුරක ම හේතුව ධනවාදය යි.

එහෙත් සෑන්ඩර්ස් ධනවාදය අවසන් කිරීමට සහාය නො දෙයි. ඔහු තම අධාරකරුවන්ගේ අපේක්ෂාවන්ට අයාචනය කරන්නේ ඒවා පාවාදීමට පමනි.

සමාජවාදය අත්පත් කර ගත හැක්කේ ජාත්‍යන්තර කම්කරු පන්තිය සමග එකමුතුව රාජ්‍ය බලය ගැනීමට සහ ධනේශ්වර පන්තිය අස්වාමික කිරීම හා නිෂ්පාදන බලවේගයන්ගේ මහජන අයිතිය ක්‍රියාත්මක කිරීමටත් කම්කරු පන්තිය දැවන්ත ලෙස බලමුලු ගැන්වීම ඔස්සේ පමනි. සමාජවාදී සමානාතා පක්ෂය සටන් කරන්නේ මෙම ඉදිරිදර්ශනය වෙනුවෙනි.

පැට්‍රික් මාටින්

Share this article: