ජෙනරල් මෝටර්ස් ලෝඞ්ස්ටවුන් කම්හල වසා දැමීම

The shutdown of GM’s Lordstown plant

2019 මාර්තු 7

මාර්තු 5 වන දින, ඔහායෝහි ක්ලේව්ලන්ඞ් සහ පෙනිසිල්වේනියාවෙ පිට්ස්බර්ග් අතර පිහිටි, වර්ග අඩි මිලියන 6.2ක් පමන වන යෝධ ජෙනරල් මෝටර්ස් ලෝඞ්ස්ටවුන් කර්මාන්තශාලාවේ අවසාන නිෂ්පාදන දිනය විය. අඩ සිය වසකට වැඩි කාලයක් පුරා වාහන මිලියන 16 කට වඩා නිපදවමින් වැඩමුර තුනක සේවකයන් දහතුන් දහසක් යොදා ගත් මෙම කම්හලේ අවසන් සේවකයන් 1400 දෙනා අඟහරුවාදා එයින් නික්ම ගියහ.

2018 වසරේ ඩොලර් බිලියන 11.8ක ලාභයක් ඉපයූ ජෙනරල් මෝටර්ස් සමාගම, (ජීඑම්) තම ධනවත් කොටස් හිමියන්ගේ ලාභ තරකර දීම සඳහා වන ගෝලීය ප්‍රතිව්‍යූහගත කිරීමේ සැලැස්මක කොටසක් ලෙස රැකියා 14,000 විනාශ කරමින්, එක්සත් ජනපදයේ සහ කැනඩාවේ කම්හල් 5 ක් වසා දැමීමට සැරසෙයි. මීට ඩෙට්රොයිට්, බැල්ටිමෝර් සහ ඔෂාවාහි කම්හල් ද ඇතුලත් වේ. වෝල් වීදියේ නියෝග මත ක්‍රියාත්මක වන මෙම සමාගම්, කම්කරුවන් මත කෲර ප්‍රහාරයක් එල්ල කරමින් සිටියි.

මෙලෙස කම්හල් වසා දැමීම සහ එමගින් සැපයුම්කරුවන්ට සහ ප්‍රදේශයේ ව්‍යාපාර වලට එල්ල වන බලපෑම නිසා දැනටමත් දශක ගනනාවක සිට සිදුවන අවකාර්මීකරනය, පාසල් වැසීයාම සහ උග්‍ර වන ඔපොයිඞ් (මත් ද්‍රව්‍ය) අර්බුදය ආදි විනාශයන්ගේ පෙලෙන මෙම පලාත වඩ වඩාත් සමාජ ව්‍යසනයකට ගොදුරු වනු ඇත.

ලෝඞ්ස්ටවුන් කම්හල වසා දැමීම, යුනයිටඞ් ඔටෝ වර්කර්ස් (යූඒඩබ්ලිව්) ඇතුලු ජාතිකවාදී සහ ධනපති ක්‍රමයේ ආරක්ෂකයන් ලෙස ක්‍රියා කරන සියලු වෘත්තීය සමිති වල පිලිවෙත් සම්බන්ධව ඓතිහාසික තීන්දුවකි. මෙය වනාහි යූඒඩබ්ලිව් හි දශක ගනනාවක පාවාදීමේ සහ කම්කරුවන් සූරාකෑමේදී සහ පන්ති අරගලය යටපත් කිරීමේ දී මෝටර් රථ සමාගම් වල කනිෂ්ඨ හවුල් කරුවෙක් බවට පරිවර්තනය වීමේ ප්‍රතිපලයයි.

මෙම කම්හල වසා දැමීමට එරෙහිව යූඒඩබ්ලිව් කිසිදු විරෝධයක් නොදැක්වූ අතර, කම්හල් වසා දැමීමේ තීරනය දැනුම් දීමෙන් පසු ගතවූ මාස හතර, රාත්‍රී යාච්ඤා මුර පවත්වමින්ද, වැඩකට නැති නඩු පවරමින්ද, ට්‍රම්ප් සහ ඔහායෝ ඩිමොක්‍රටිකයන් අනුයමින් කම්හල් වසා දැමීම සම්බන්ධයෙන් මෙක්සිකානු සහ චීන කම්කරුවන්ට දෝෂාරෝපනය එල්ල කරමින්ද, ගත කලහ. පසුගිය දශක හතර පුරාම ක්‍රියාකල පරිදි, කම්හල් “බේරාගැනීම” වෙනුවෙන් ජෙනරල් මෝටර්ස් විසින් ඉල්ලා සිටින ඕනෑම සහනයක් කම්කරුවන් මත බලෙන් පැටවීමට සූදානම් බව යූඒඩබ්ලිව් සංඥා කොට ඇත.

වානේ නිෂ්පාදනය සඳහා ප්‍රසිද්ධ ඔහියෝ හි යංග්ස්ටවුන් නගරයට යාබදව 1966 වසරේදි ආරම්භ කරන ලද ලෝඞ්ස්ටවුන් කර්මාන්ත ශාලාව ඇමරිකාවේ කම්කරු පන්ති ඉතිහාසය තුල ඉමහත් වැදගත්කමක් උසුලයි. 1970 දශකයේ මුල් භාගයේදී මෙම කර්මාන්තශාලාව තුල සටන්කාමී අරගල රැල්ලක් පැන නැගුනු අතර එය වනාහි 1968 සහ 1977 කාල පරිච්ඡේදය තුල සෑම කර්මාන්තයක් පුරාම විහිදී ගිය ඇමරිකානු කම්කරුවන් මිලියන 16.6 ක් සම්බන්ධවූ 3619 ක් පමන සිදුවූ මහා වර්ජන මාලාවේ කොටසකි. එක්සත් ජනපදයේ පැන නැගුනු මෙම වර්ජන රැල්ල වනාහි, 1974දී ටෝරී ආන්ඩුව බිඳ හෙලූ බි්‍රතාන්‍යයේ මහා පතල් කම්කරු වර්ජනද ඇතුලු ධනවාදයේ අර්බුදය කම්කරුවන් මත පැටවීමට එරෙහිව ජාත්‍යන්තරව පැන නැගුනු ප්‍රතිරෝධයේ උත්සන්න වීමක කොටසකි.

ජපන් තරගකරුවන්ට මුහුනදීම සඳහා රොබෝ වෑල්ඩින් යන්ත්‍රද සහිතව නවතම තාක්ෂනය යොදා ගනිමින්, ලෝඞ්ස්ටවුන් හි ෂෙව්රලේ වේගා නව මෝටර් රථයේ නිෂ්පාදනය ප්‍රබල ලෙස ඉහල දමා ගැනීමට ජෙනරල් මෝටර්ස් උත්සාහ කලේය. 1970 මුල් වසර වල කම්කරුවන් 300 ක් දොට්ට දැමීමෙන් අනතුරුව, ලෝඞ්ස්ටවුන් කර්මාන්තශාලාව, කම්කරුවන්ට තමාගේ කාර්ය නිම කිරීම සදහා සම්මත තත්පර 60, තත්පර 36 ට අඩුකර ලොව වේගවත්ම ශීඝ්‍රතාව අත් කර ගනිමින්, නිෂ්පාදන පේලියේ වේගය පැයට වාහන 60 සිට 101 දක්වා වැඩි කලේය.

වයසේ සාමාන්‍යය 24 ක් වූද, බොහෝ දෙනෙකු වියට්නාම යුද්ධයේ භයංකාරය සමඟ රැඩිකලීකරනයට බඳුන්වූ හිටපු යුද සෙබලුන්වූද, ශ්‍රම බලකාය කැරලි ගැසීය. 1972 මාර්තුවේදී වැඩ වර්ජනයක් කැඳවීමට යූඒඩබ්ලිව්ට බල කෙරුනි. දින 22 ක වැඩවර්ජනය හුදකලා කිරීමට කටයුතු කිරීමෙන් පසුව, වැඩ වේගවත් කිරීම පිලිබද කේන්ද්‍රීය කාරනය ආමන්ත්‍රනය නොකල ගනුදෙනුවකට යූඒඩබ්ලිව් අත්සන් තැබීය.

සමිති නොකැදවූ හදිසි වර්ජනයන්හිද, කලමනාකරුවන් කෙරේ විවෘත අකීකරුවීම් සහ හිතාමතා වාහන කඩාකප්පල් කිරීම් ඇතුලු විරෝධය දිගටම ක්‍රියාත්මක විය. කම්කරුවන් කෙතෙක් කැරලිකාරී වීද යත් බිස්නස් වීක් සඟරාව, සූරාකෑමට එරෙහිව සටන් කිරීමට අදිටන් කරගත් කාර්මික කම්කරුවන් පරම්පරාවක සටන්කාමිත්වය නිර්වචනය කිරීම සදහා “ලෝඞ්ස්ටවුන් සින්ඞ්රෝමය”හෙවත් “ලෝඞ්ස්ටවුන් සහලක්ෂනය” යන පදය නිර්මානය කලේය.

සමාජවාදී සමානතා පක්ෂයේ පුරෝගාමී වර්කර්ස් ලීගය, ලෝඞ්ස්ටවුන් අරගලයට මෙන්ම මෙම කාලයේ වෙනත් බොහෝ මෝටර් රථ කම්කරු අරගල වලටද සක්‍රියව මැදිහත්විය. වර්කර්ස් ලීගය 1973 පලකල “වාඩිලා ගැනීමේ සිට ලෝඞ්ස්ටවුන් දක්වා” නම්වූ පත්‍රිකාවේ වාහන කම්කරුවන් හා ජීඑම් අතර “සිවිල් යුද්ධ වැනි තත්ත්වය” පෙන්වා දෙමින්, “යූඒඩබ්ලිව්හි වඩාත්ම සංචල සහ සටන්කාමී කොටස් නියෝජනය කරන්නාවූ වඩාත්ම තරුන කම්කරුවන්”, “වර්ජනයක් කැඳවීමට, ඒ සඳහා පසුබානා යූඒඩබ්ලිව් නායකත්වයට බලකල” බව සටහන් තැබීය.

1973 නොවැම්බර මස පක්ෂයේ පුවත්පත ද බුලටින් හි, ජෙනරල් මෝටර්ස් සහ දේශීය බලධරයන්ගේ මැදිහත්වීමෙන් බොරු චෝදනා මත කොටුකර සිරගත කරන ලද “ලෝඞ්ස්ටවුන් හතරදෙනා” ආරක්ෂා කිරීමේ ව්‍යාපාරයක් දියත් කලේය.

මෙම කාල පරිච්ඡේදය තුල කම්කරුවන් වෘත්තීය සමිති නායකත්වය සමඟ ඔවුනගේ දූෂනය සහ ජෙනරල් මෝටර්ස්හි ලොක්කන් සමඟවූ සහයෝගීතාවය යන සාධක මත ගැටුනද, කම්කරුවෝ තවමත් වෘත්තීය සමිති තමන්ගේ සංවිධාන ලෙස දැකගත්හ. මෙම කාල පරිච්ඡේදයේ පැවති සාපේක්ෂ ආර්ථික සමෘද්ධිය සහ ඇමෙරිකානු කාර්මික ආධිපත්‍යය, වෘත්තිය සමිති නිලධාරීකෘතව තිබියදීත් තවමත් කම්කරුවන්ට ප්‍රතිලාභ ලබා ගැනීමේ හැකියාව ලබා දුනි.

ධනවාදයට සහ අධිරාජ්‍යවාදයට කම්කරු පන්තිය යටත් කර තැබීම සඳහා යූඒඩබ්ලිව් සහ ඒඑෆ්එල්-සීඅයිඕ හි මූලිකම දේශපාලන යාන්ත්‍රනය වූයේ, ඩිමොක්‍රටික් පක්ෂය සමග වූ වෘත්තීය සමිතිවල සන්ධානය සහ කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයකට ඔවුන් දැක්වූ විරුද්ධත්වයයි.

වෘත්තීය සමිති තුල නව විප්ලවවාදී නායකත්වයක් ගොඩ නැගීම සඳහාවූ තම අරගලය තුල, වෘත්තීය සමිති ඩිමොක්‍රටික් පක්ෂයෙන් බිඳී සමාජවාදී ප්‍රතිපත්ති මත පදනම් වූ කම්කරු පක්ෂයක් ස්ථාපනය කල යුතු යයි යන ඉල්ලීම එම නිලධරයට එරෙහි තම අරගලයේ හරි මැද වර්කර්ස් ලීගය තැබුවේ එම නිසාය.

වෘත්තීය සමිති, සංගතයන්හි හා රාජ්‍යයේ පන්ති අරගලය යටපත් කිරීමේ සෘජු අත් ලෙස පරිනාමය වීමත් සමග මෙම උපක්‍රමයේ ජිව්‍යතාවය අහෝසි විනි.

1970 ගනන් අග වන විට ඇමෙරිකානු පාලක පන්තිය ඔවුනගේ ගෝලීය ආර්ථික ආධිපත්‍යය වැඩි වැඩියෙන් අහිමිවීමට ප්‍රතිචාර දැක්වූයේ, සාපේක්ෂ පන්ති සමථය සඳහා වූ ඔවුන්ගේ ප්‍රතිපත්තිය අවසන් කරමින් සහ කම්කරුවන් දශක ගනනාවක් තිස්සේ දිනාගත් ප්‍රතිලාභ සියල්ල නැවත උදුරා ගැනීම සඳහා සකලාංග සම්පූර්න යුද්ධයක් මුදාහැරීම මගිනි. දුරකථන සන්නිවේදන හා ගමනාගමන ක්ෂේත්‍රවල ප්‍රගතියේ වාසිය ලබා ගනිමින් එක්සත් ජනපද සංගත අවම වැටුප් සහිත රටවලට නිෂ්පාදනය විතැන් කල අතර, කම්හල් වසා දැමීම් හා මහා පරිමාන දොට්ට දැමීම්, එක්සත් ජනපද කම්කරුවන්ගේ වැටුප් හා ප්‍රතිලාභ විශාල ලෙස කප්පාදු කිරීමට යොදා ගත්හ. 1979-80 ක්‍රයිස්ලර් සමාගම ගොඩ දැමීමේන් පසුව, 1981 රේගන් විසින් පැට්කො ගුවන් පථ පාලකවරුන්ගේ වැඩවර්ජනය කුඩුපට්ටම් කිරීම හා දශකයක් පුරා ප්‍රචන්ඩ ලෙස වැඩවර්ජන කඩා බිඳ දැමීම හා වෘත්තීය සමිති කඩා දැමීම සිදු කෙරින.

ධනවාදී නිශ්පාදනයේ ගෝලීයකරනය සහ අන්තර්ජාතික නිශ්පාදන වර්ධනය ජාතික ශ්‍රම වෙලඳපොල ආරක්ෂා කිරීම මත පදනම්වූ වෘත්තීය සමිතිවලට සම්පූර්නයෙන් වල කපන ලදී. එසේ වුවත් ඇමරිකානු කම්කරුවන්ට සහ ලොව පුරා ඔවුන්ගේ සහකරුවන්ට අත්වූ විනාශය ආර්ථික ක්‍රියාවලින්හි අනිවාර්ය ප්‍රතිඵලය නොවීය.

තම රැකියා සහ ජීවන තත්වයන්ට එරෙහිව සිදුකරන ප්‍රහාරවලට වාහන කම්කරුවන් සහ අනිකුත් කම්කරුවන් අනෙකුත් ක්ෂේත්‍ර වල කම්කරුවන් ප්‍රතිරෝධය දැක්වූ සෑම අවස්ථාවකදීම යූඒඩබ්ලිව් සහ අනෙකුත් වෘත්තීය සමිති ඒවා කඩාකප්පල් වීමට කටයුතු කලේ එම සටහන් හුදකලා කර පරාජය කිරීමට කටයුතු කරමින් සහ කම්හල් වැසීම සඳහා ද, මහා පරිමාන දොට්ට දැමීම් පැටවීමට සහ සටන්කාමී කම්කරුවන් චෝදනා නගා කොටුකර දඩයම් කිරීමට. හාම්පුතුන් සමග සහයෝගී වීමෙනි.

1980 මුල් කාලයේ යූඒඩබ්ලිව් නිල වශයෙන් කෝපරෙට්වාදී “කම්කරු-කලමනාකරන හවුල්කාරීත්ව” ප්‍රතිපත්තියක් එහි නියාමන මූලධර්මය වශයෙන් වැලඳ ගති. පන්ති අරගලය යල්පිනූ යයි ප්‍රතික්ෂේප කරමින් තම ආසියානු හා යුරෝපීය ප්‍රතිවාදීන්ට එරෙහිව ඇමරිකානු වාහන නිෂ්පාදකයින් ගේ තරගකාරිත්වය වැඩි කිරීම සඳහා යයි වාහන නිෂ්පාදකයින්ට එරෙහි සියලුම ප්‍රතිරෝධයන් තලා දැමීමට කටයුතු කලේය. මෙම තත්වය වර්ගවාදය හා ජාතික ස්වෝත්තමවාදය පෝෂනය කිරීම සමග අතිනත ගෙන ගමන් ගත් අතර එම තත්ත්වය ක්‍රයිස්ලර් වැඩ මූලිකයෙකු සහ ඔහුගේ රැකියාව අහිමි කරන ලද සුලු පුතා විසින් 1982 චීන ඇමරිකානු ජාතික වින්සන්ට් චින් ඝාතනය කිරීමට මග පෑදුවේය.

කම්කරු කලමනාකාරිත්ව හවුල්කාරිත්වය සඳහා යූඒඩබ්ලිව් ලෝකල් 1112 ආදර්ශ මොඩලය බවට පත් විය. “කලෙක අභියෝගාත්මක වූ යූඒඩබ්ලිව් ව දැන් ජීඑම් හි සාර්ථකත්වය එල්ල කරගනී” යන මැයෙන් වූ 2010 ජනවාරි මස නිව්යෝක් ටයිම්ස් ලිපියෙහි ප්‍රශංසාත්මකව සඳහන් කල පරිදි, “ගෝලීය ආර්ථිකයක තුල පැවතීමට ඇති එකම අවස්ථාව හාම්පුතුන්ට එරෙහිව නොව ඔවුන් හා එක්ව වැඩ කිරීම බව, කලෙක කලමනාකාරීත්වය සමග අරගල සාමාන්‍ය සංසිද්ධියක් වූ ඩිට්‍රොයිට් සහ වෙනත් නගරවල යූඒඩබ්ලිව් නායකත්වයන් දැන් තීරනය කොට ඇත.”

“සැවොම තේරුම් ගෙන ඇත්තේ කලමනාකාරිත්වය හතුරා නොවන බවයි, වෘත්තීය සමිති සතුරා නොවන බවයි” පැවසූ ලෝකල් 1112 සභාපති ජිම් ග්‍රැහැම් තවදුරටත් ද ටයිම්ස් ට කියා සිටියේ,“සතුරා පිටරට තරගකාරිත්වයයි”

කම්කරුවන් මත පැනවූ සහන එකදු රැකියාවක්වත් සුරැකියේ නැත. 1979 සිට, ජෙනරල් මෝටර්ස්, ෆෝඞ් සහ ක්‍රයිස්ලර් විසින් සේවා නියුක්ත කරන ලද යූඒඩබ්ලිව් සාමාජිකයන් සංඛ්‍යාව 750,000 සිට 150,000 දක්වා අඩුවිය. නමුත් යූඒඩබ්ලිව්වට කම්කරුවන් පාවාදීමෙන් හාම්පුතුන්ගෙන් බිලියන ගනන් ලැබුනි. හවුල් පුහුනු මධ්‍යස්ථාන හරහා මුදල් හරවා යැවුනු අතර යූඒඩබ්ලිව් විසින් පාලිත විශ්‍රාමික සෞඛ්‍ය ආරක්ෂන අරමුදල ඩොලර් බිලියන හතරක් වටිනා ජීඑම් කොටස් මිලියන සියයක් පාලනය කරයි.

නව කම්කරුවන්ගේ වැටුප් අඩකින් කප්පාදුවට, පැය 8 වැඩදිනය අවලංගු කිරීමට සහ කිසිදු අයිතිවාසිකම් නොමැති වත් යූඒඩබ්ලිව්ට ගාස්තු ගෙවිය යුතු තාවකාලික අර්ධකාලීන රැකියාවන්හි කම්කරුවන් සංඛ්‍යාව විශාල ලෙස ප්‍රසාරනය කිරීම සඳහා ෆියැට් ක්‍රයිස්ලර් විධායක නිලධාරීන් විසින් මිලියන ගනනින් නීති විරෝධී අල්ලස් පසුගිය දශකය තුල යූඒඩබ්ලිව් ගනුදෙනු කරන නිලධාරීන්ට ලබා දෙන ලදී.

ලෝඞ්ස්ටවුන් කර්මාන්තශාලාව වසා දැමීම අර්ධ ශතකයකට ආසන්න අනවරත පාවාදීම් වල ඛේදජනක ප්‍රතිඵලයකි. වෘත්තීය සමිති කම්කරු පන්තියේ සංවිධානවීම බොහෝ කලකට ඉහත දී නතර වී ද, ඒවා කම්කරු පන්තිය සූරාකෑමේ සහ දරිද්‍රතාවට ඇද දැමීමේ උනන්දුමත් සහභාගීකරුවන්වී ද ඇත.

කම්කරුවන් කර්මාන්ත ශාලා වසා දැමීම් වලට එරෙහි වීම සහ මෙම ගිම්හානයේ කොන්ත්‍රාත් සඳහා සටන් වැනි අනාගත සටන් සඳහා සූදානම් වෙද්දී, මෙම ඉතිහාසය මැනවින් අධ්‍යයනය කොට සුදුසු නිගමනයන්ට බැසගත යුතුය. අරගලය මෙහෙයවීම දූෂිත දක්ෂිනාංශික වෘත්තීය සමිති අතින් නිදහස් කරගත යුතුය. කර්මාන්තශාලා තුල අරගලය සඳහා නව සංවිධාන, සාමාජික කමිටු, වෙනස්ම ඉදිරි දර්ශනයක් සහ උපාය මාර්ගයන් මත පදනම්ව යූඒඩබ්ලිව් වලින් ස්වාධීනව ගොඩ නඟා ගත යුතුය.

රැකියා හා ජීවන තත්වයන් කෙරේ, අන්තර්ජාතික වාහන නිෂ්පාදකයන් හා ඔවුන්ගේ වෝල්වීදි ආයෝජකයන් ගෝලීයව එල්ල කරන ප්‍රහාර සඳහා එකම පිලිතුර ලොවපුරා වාහන කම්කරුවන් ගේ එකමුතුව ගොඩනැගීම සහ සංගත හා වෘත්තීය සමිති ප්‍රවර්ධනය කරන පතුල කරා වන තරගය ප්‍රතික්ෂේප කිරීමයි. වෘත්තීය සමිති විසින් බලාත්මක කරන වහල්-ශ්‍රමික වැටුප් හා වහල් සේවා කොන්දේසි වලට එරෙහිව නැගී සිටි මෙක්සිකෝවේ මැටෙමාරොස් හි මැකිලඩෝරා කම්කරුවන් පෙන්නුම් කර ඇත්තේ මෙක්සිකෝවේ චීනයේ සහ අනෙකුත් රටවල කම්කරුවන් එක්සත් ජනපද කම්කරුවන්ගේ සතුරා නොව අරගලයේ සගයන් හා සොහොයුරන් බවයි.

වැඩවර්ජන, කම්හල් වාඩි ලා ගැනීම්, මහා විරෝධතාවන් ඇතුලු වාහන කම්කරුවන්ගේ පුලුල්තම කාර්මික බලමුලුගැන්වීම සමග එක්සත් ජනපදයේ හා ජාත්‍යන්තරව සියලුම කම්කරුවන් එකමුතු කිරීමේ අරගලයට නව සමාජවාදී දේශපාලන උපාය මාර්ගයක් ඒකාබද්ධ කල යුතුය.

කම්හල් වසා දමා කම්කරුවන්ගේ ජීවිත හා ප්‍රජාවන් විනාශ කිරීමට ධනවාදී සූරාකන්නන්ගේ “අයිතිය” කම්කරු පන්තිය විසින් ප්‍රතික්ෂේප කල යුතුය. සංගත ලාභය සඳහා නොව මානව අවශ්‍යතා සඳහා ලෝක ආර්ථිකය ප්‍රතිසංවිධානය කිරීමේ කොටසක් ලෙස ජීඑම් වැනි යෝධ සංගත සාමූහිකව හිමිකම දරන ප්‍රජාතන්ත්‍රීයව පාලනය කෙරෙන මහජන ව්‍යවසාය බවට පරිවර්තනය කල යුතුය.

ජෙරී වයිට්

Share this article: