කම්කරුවන්ගේ වැටුප් හා කොන්දේසි මත ප්‍රහාර එල්ල කරන ලංකාවේ වතු සමාගම් දැවැන්ත ලාබ මඩිගසාගනී

Sri Lankan plantation companies reap huge profits while attacking workers’ wages and conditions

සමන් ගුනදාස විසිනි,2019 පෙබරවාරි 27

රුපියල් 1,000ක දෛනික මූලික වැටුපක් ඉල්ලා පසුගිය දෙසැම්බර් මාසයේ දී වතු කම්කරුවන් 100,000කට අධික පිරිසක් වැඩවැරූ විට, ශ්‍රී ලංකාවේ වතු සමාගම්වල නියෝජිත ආයතනය වන ශ්‍රී ලංකා වැවිලිකරුවන්ගේ සංගමය එම ඉල්ලීම දැරිය නො හැකි බව කියමින් ඉවත දැමී ය.

වතු සමාගම් මෙලෙස කියාපෑවේ, නවතම වාර්ෂික වාර්තාවන්ට අනුව ඒවා වැඩි ගනනක ලාබ පිම්මේ ඉහල යන අතරතුර ය. ඒ අතර ම, ජාතික තේ තැරැව්කාර සමාගම් මෙන් ම අවසානයේ ලෝක වෙලඳපොලවල හසුරුවන යෝධ ගෝලීය තේ සමාගම්වලද ලාබ ඉහල යමින් තිබේ.

කම්කරුවන්ගේ දෛනික දල වැටුප යන්තම් රුපියල් 750 දක්වා රුපියල් 20ක සොච්චමකින් පමනක් තේ සමාගම් විසින් ඉහල දමා ඇත්තේ ඵලදායීතාව හා පැමිනීම වෙනුවෙන් කරන දීමනා කපාහරින අතරතුර ය.

රට තුල ප්‍රාදේශීය වැවිලි සමාගම් (ආර්පීසී) 24ක් තිබේ. පහත දැක්වෙන්නේ 2017-2018 මූල්‍ය වර්ෂය සඳහා එම සමාගම්වලින් හතක් අලුතින් ම වාර්තා කර ඇති වාර්ෂික ශුද්ධ ලාබයන් ය.

* කොටගල වතු සමාගම: රුපියල් මිලියන 225 (එක්සත් ජනපද ඩොලර් 1, 417, 769)

* මස්කෙලිය වතු සමාගම: රුපියල් මිලියන 251

*බොගවන්තලාව වතු සමාගම: රුපියල් මිලියන 163

* කැලනිවැලි වතු සමාගම: රුපියල් මිලියන 160

* හොරන වතු සමාගම: රුපියල් මිලියන 84

* වටවල වතු සමාගම හා හැටන් වතු සමාගම (සන්ෂයින් හෝල්ඩිංග්ස්): රුපියල් මිලියන 1,200

* ඇල්පිටිය වතු සමාගම: රුපියල් මිලියන 335

ලංකාවේ තේ තැරැව්කාර සමාගම් අටක් තිබේ. 2017-2018 වර්ෂය සඳහා ඒවායින් දෙකක වාර්තා වූ වාර්ෂික ශුද්ධ ලාබ පහත දැක්වේ.

* සිලෝන් ටී බ්‍රෝකර්ස්: රුපියල් මිලියන 100 (එක්සත් ජනපද ඩොලර් 556,000)

* ආසියා සියාකා කොමොඩිටීස්: රුපියල් මිලියන 97

සංගත හා තනිපුද්ගල කොටස් හිමියන් ප්‍රතිලාභ ලබද්දී, වතු සමාගම් අධ්‍යක්ෂවරු යෝධ ධනස්කන්ධයන් උකහා ගනිති. කැලනිවැලි වතු සමාගමේ විධායක අධ්‍යක්ෂකයින් තිදෙනාගේ වාර්ෂික වේතනය රුපියල් මිලියන 35ක් විය. මෙහි අර්ථය වන්නේ, සෑම අධ්‍යක්ෂවරයෙකුගේ ම මාසික ආදායම රුපියල් මිලියනයකට ආසන්න බව යි.

මෙය, කම්කරුවන්ගේ යෝජිත වැටුප් වැඩිවීමෙන් ඉක්බිති ව කම්කරුවෙක් මසකට දින 26ක් වැඩකරන්නේ යයි උපකල්පනය කරමින් කම්කරුවකුගේ මාසික වැටුප සමග සන්සන්දනය කලහොත් එම වැටුප රුපියල් 19,500ක් පමනි. වෙනත් වචනවලින් කියතොත්, විධායක අධ්‍යක්ෂවරයෙක් ඔහුගේ හෝ ඇයගේ සේවකයෙකුගේ වැටුප මෙන් 50 ගුනයකටත් වැඩි වැටුපක් ලබයි.

විශාලතම ගෝලීය තේ කතිපයාධිකාරිය වන එක්සත් රාජධානියේ පදනම් වී ඇති යුනිලීවර් සමාගම ලිප්ටන් සන්නාමය යටතේ ලොව පුරා තේ අලෙවි කරයි. යුනිලීවර් විසින් තේ අලෙවිය වාර්තා කරන්නේ අයිස් ක්‍රීම් ද සමග එහි “ලුහුබොජුන්” අංශය යටතේ ය. 2017 එහි ශුද්ධ ලාබය පවුම් මිලියන 6, 486ක් වූයේ සියයට 11.3ක ලාබ ඉපැයීමක් වාර්තා කරමිනි. ඊට පෙර අවුරුද්දේ ලාබය පවුම් මිලියන 5,547ක් වූයේ සියයට 9.3ක ලාබ ඉපැයීමක් සමඟිනි. ඤපවුමක වත්මන් අගය රුපියල් ...කි%.

ලෝකයේ දෙවන විශාලතම තේ සන්නාමය වන ටෙට්ලි සමාගම ඉන්දියාවේ ටාටා ග්ලෝබල් බෙවරේජස් සමාගමට අයත් ය. ගෝලීය පරිමානයෙන් තේ අලෙවි කරන මෙම අන්තර්ජාතික සංගතය 2017-2018 මූල්‍ය වර්ෂය සඳහා ඉන්දියානු රුපියල් මිලියන 5,670ක (ඇඩො මිලියන 80ක) ශුද්ධ ලාබයක් වාර්තා කල අතර, ඊට පෙර වර්ෂයේ එහි ලාබය මිලියන 4,640ක් විය.

ශ්‍රී ලංකාව, කෙන්යාව, වියට්නාමය, දකුනු අප්‍රිකාව, ඉන්දියාව හා චීනය වැනි රටවල වතු කම්කරුවන් රුදුරු ලෙස සූරාකෑම හරහා මෙම යෝධ ප්‍රතිලාභ උපයා ගන්නා මෙම ජාත්‍යන්තර සංගත, තම සේවකයන්ගේ තියුනු සමාජ ගැටලු විසඳන බව ව්‍යාජ ව මවාපායි.

“මූලෝපායික මානව හිමිකම් ප්‍රශ්නවලට ආමන්ත්‍රනය කරමින් සහ ගෝලීය වටිනාකම් ජාලයේ ස්ථානීය විෂමාචාර නිරාකරනය කිරීමට හා වැලැක්විමට ව්‍යාපාරයන්ට උදවු කරමින්, ව්‍යාපාර වර්ධනයට සමගාමී ව ධනාත්මක සමාජීය බලපෑමක් ඇති කිරීමට එය උත්සාහ කරයි” යැයි යුනිලීවර් 2017-2018 වාර්ෂික වාර්තාව ප්‍රකාශ කරයි.

මෙය බොරුවකි. “ධනාත්මක සමාජීය බලපෑමක්” ඇති කිරීමට විපරීත ව මෙම සමාගම් කරමින් සිටින්නේ, ඔවුන්ගේ සුපිරි ලාබ වැඩි කරගැනීම සඳහා කම්කරුවන්ගේ වැටුප් හා සමාජ අයිතීන් වැඩිදුර පහත හෙලීම යි. ගෝලීය තේ මිල දී ගන්නන්, ඔවුන්ගේ සුපිරි ලාබ පවත්වාගෙන යාමේ පදනම මත නිෂ්පාදනය කරන රටවල් හරහා ඔවුන්ගේ තෝරාගැනීම් කරයි.

තරඟකාරී වීමටත් වෙලඳපොල හා ලාබ පවත්වාගෙන යාමටත් නිෂ්පාදන පිරිවැය කැපීම මගින් මිල දී ගන්නන්ට සේවය කිරීමට වතු සමාගම් උත්සාහ කරති. මෙම ක්‍රියාවලියේ කේන්ද්‍රයේ පවතින්නේ, වතු කම්කරුවන්ගේ ජීවන හා වැඩ කොන්දේසි කප්පාදු කරමින් ශ්‍රම පිරිවැය පහත හෙලීමට ඔවුන් එල්ල කරන ප්‍රහාරයයි.

මේ සඳහා, ඉහල ම සූරාකෑමේ රේට්ටු හරහා ඉහල ඵලදායිතාවක් තහවුරු කිරීමට වතු සමාගම් ඊනියා “ආදායම් බෙදාගැනීමේ ක්‍රමය” හෝ “බාහිර-වැවිලිකාර” (දමඑ-ටරදඇර) මාදිලිය හඳුන්වා දෙමින් සිටිති. මෑත දී සමාගම් හා වෘත්තීය සමිති අතර අත්සන් කල සාමූහික ගිවිසුමේ එක් වගන්තියක ඉදිරියේ එන “වැවිලිකාර” මාදිලිය ක්‍රියාත්මක කිරීම පිලිබඳ ව සඳහන් කෙරේ.

ශ්‍රී ලංකා හාම්පුතුන්ගේ සම්මේලනයේ වතු සේවා අංශයේ සභාපති රොෂාන් රාජදුරෙයි මෙසේ ප්‍රකාශ කලේ ය: “අපගේ පාලනයෙන් පිටස්තර කොන්දේසි විසින් අප ව සීමා කරනවා. ශ්‍රී ලංකාවේ තේවලින් සියයට 95කටත් වඩා අපනයනය කරන අතර ඒවායේ මිල තීරනය කරන්නේ අප නො ව ලෝක වෙලඳපොලයි” (ඬේලි එෆ්ටී, 2018 දෙසැම්බර් 12).

මෙම “බාහිර-කොන්ත්‍රාත්කාර” ක්‍රමය යටතේ, කම්කරුවෙකුට තේ පඳුරු 1,000ක පමන ඉඩම් කැබැල්ලක් භාරදෙනු ලැබේ. පොහොර, රසායන ද්‍රව්‍ය හා උපකරන වැනි දෑ සමාගම විසින් සපයන අතර, නිෂ්පාදනය ඉහල දැමීම සඳහා කම්කරුවාගේ මුලු පවුල ම ඉඩමේ වැඩ කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. තේ දලු සමාගම විසින් මිලට ගෙන, සේවා, කාර්යාල නඩත්තු පිරිවැය හා ලාබ අඩු කරගැනීමෙන් පසු ඉතිරිය කම්කරුවාට ගෙවනු ලබයි.

“කොන්ත්‍රාත්-වගා” වැඩසටහන යටතේ ව්‍යුහගත කර ඇති ආදායම් බෙදාගැනීමේ ක්‍රමය, කම්කරුවන් ව ඔවුන්ගේ දලු නෙලීමේ සාමාන්‍යය ඉහල දැමීම සදහා දිරිමත් කිරීම ඉලක්ක කරගත් නිර්භීත නව ආරම්භකත්වයකි” යි කැලනිවැලි සමාගමේ වාර්ෂික වාර්තාව අවධාරනය කලේ ය.

සමාගම්වල අරමුන වන්නේ “වැටුප් ක්‍රමය” අහෝසි කොට කම්කරුවන් නවීන අඳ ගොවියන් බවට පරිවර්තනය කිරීම යි. වතු කම්කරුවන්ගේ සංවිධාන ශක්තිය බිඳීමටත් මෙය යොදාගනු ඇත.

“පුලුල් වශයෙන් ශ්‍රමය මත පාදක වී ඇති මෙම කර්මාන්තය ඉහල කේවල් කිරීමේ බලයක්, පහල නිෂ්පාදන ඵලදායිතාවක්, වැඩ නැවැත්වීම් හා වර්ජන සහිත වන” අතර, “සමාගමේ ලාබ ඉපයීමේ හැකියාව හා ද්‍රවශීලතාව මත ඒවා මගින් විශාල බලපෑමක්” ඇති කල හැකි යයි බොගවන්තලාව වතු සමාගමේ වාර්ෂික වාර්තාව අවධාරනය කරයි.

වෙනත් වචනවලින් කියතොත්, ලෝක වෙලඳපොලේ තරඟකාරී ව සිටීමටත් ලාබ ආරක්ෂා කරගැනීමටත් වතු කම්කරුවන්ගේ ජීවන හා සමාජ කොන්දේසි පහත හෙලීම සඳහා විශාල ජාත්‍යන්තර තේ නිෂ්පාදනය කරන සමාගම් විවිධ ක්‍රම භාවිතා කරමින් සිටිති. ඒ අනුව, මේ සියලු රටවල කම්කරුවන් එක හා සමාන ජාත්‍යන්තර ප්‍රහාරයකට මුහුන දෙන අතර, එය, ලෝක ධනවාදය බිඳවැටීමේ කොන්දේසි යටතේ කම්කරු පන්තිය මත ජාත්‍යන්තර පරිමාන ව එල්ල කරන පලල් ප්‍රහාරයක කොටසකි.

ඔවුන්ගේ ජාත්‍යන්තර සහකරුවන් මෙන් ලංකා කම්කරු කොංග්‍රසය, ලංකා ජාතික වතු කම්කරු සමිතිය, ප්‍රජාතන්ත්‍රවාදී මහජන පෙරමුන හා ජාතික කම්කරු සමිතිය වැනි ශ්‍රී ලංකාවේ වතු වෘත්තීය සමිති ද ආන්ඩුවේ පිටුබලය සහිත ව සමාගම් විසින් එල්ල කරන මෙම දරුනු ප්‍රහාරවලට සම්පූර්නයෙන් සහයෝගය දී ඇත.

කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජ අයිතීන් ආරක්ෂා කරගැනීමේ අරගලය දියත් කල හැක්කේ ධනේශ්වර ලාබ පද්ධතියට එරෙහි ජාත්‍යන්තර සටනක් හරහා පමනි. ලාබ පද්ධතිය අවසන් කිරීමේත්, කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් තුල කම්කරුවන්ගේ පාලනය යටතේ නිෂ්පාදනය සංවිධානය කිරීමේත් අරගලයේ දී තම ජාත්‍යන්තර පන්ති සහෝදර සහෝදරියන් සමග වතු කම්කරුවෝ එක් විය යුතු ය.

ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ සහයෝගය සහිත ව ඇබොස්ලී වත්තේ කම්කරු ක්‍රියාකාරී කමිටුව විසින් කැඳවුම් කර ඇති මාර්තු 17දා පැවැත්වෙන වතු කම්කරු සම්මේලනය, ශ්‍රී ලංකාවේ වතු කම්කරුවන් ද සමස්තයක් ලෙස කම්කරු පන්තියට ද තීරනාත්මක වන මෙම කරුනු සාකච්ඡා කරනු ඇත.

Share this article: