එස්. බාලසුබ්‍රමනියම් වතු කම්කරුවා කොන්දේසි විරහිත ව සේවයේ පිහිටුවන ලෙස ඉල්ලනු!

Demand the unconditional reinstatement of Sri Lankan plantation worker S. Balasubramaniyam!

එම්. දේවරාජා හා ඩබ්ලිව්. ඒ. සුනිල් විසිනි, 2019 මාර්තු 7

නුවරඑලිය දිස්ත්‍රික්කයේ දික්ඔය ඈන්ෆීල්ඞ් වත්තේ කම්කරුවෙකු වන එස්. බාලසුබ්‍රමනියම්, මෑත දී පැවති වතු කම්කරුවන්ගේ වැටුප් අරගලයට ක්‍රියාකාරී ව සම්බන්ධ වීම නිසා පෙබරවාරි 27දා කලමනාකාරීත්වය විසින් සේවයෙන් පහකර ඇත.

එස්. බාලසුබ්‍රමනියම්

කම්කරුවෝ හා තරුනයෝ බාලසුබ්‍රමනියම් ව දඩයම් කිරීමට විරුද්ධත්වය පලකරමින් ඔහු වහා ම හා කොන්දේසි විරහිත ව යලි සේවයේ පිහිටුවන ලෙස ඉල්ලා සිටිය යුත්තා හ. ඔහුගේ නෙරපීම, සමස්ත කම්කරු පන්තියේ ද විශේෂයෙන් දෛනික මූලික වැටුප සියයට 100කින් රුපියල් 1,000 දක්වා වැඩිකරන ලෙස ඉල්ලන වතු කම්කරුවන්ගේ ද ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් මත එල්ල කරන ප්‍රහාරයකි.

ඈන්ෆීල්ඞ් වත්තේ සාන්ත ලෙයිස් කොටසේ ලංකා කම්කරු කොංග්‍රසයේ (සීඩබ්ලිව්සී) ශාඛා නායකයා ද වන බාලසුබ්‍රමනියම් පරීක්ෂනයක් පවත්වන තෙක් දෙසැම්බර් 13දා වැඩ තහනමකට ලක් කෙරුනි.

පෙබරවාරි 27දා ඈන්ෆීල්ඞ් වත්තේ සමූහ කලමනාකාර ඒ. එම්. සී. බී. අත්තනායක, බාලසුබ්‍රමනියම්ට සේවය අවසන් කිරීමේ ලිපියක් දුන්නේ ය. කලමනාකාරීත්වය විසින් කරන ලද ඊනියා “අභ්‍යන්තර විභාගයකින්” පසුව, විවිධාකාරයෙන් ගොතන ලද චෝදනාවන්ට වරදකාරී යයි සොයාගනු ලැබූ නිසා බාලසුබ්‍රමනියම් නෙරපන බව ලිපියේ සඳහන් වේ. වැඩ අවසන් කිරීම “වහා ම ක්‍රියාත්මක” වන බව සඳහන් වූ එම ලිපියෙන් විශ්‍රාම ගන්නා විට කම්කරුවන්ට දෙන සොච්චම් අරමුදලක් වන “පාරිතෝෂිකය” ඔහුට ලබාගත හැකි බවට දන්වා ඇත.

ඈන්ෆීල්ඞ් වත්තේ තේ කර්මාන්තශාලාවේ ප්‍රධාන දොරටුව වසා දැමීම, මිනිසුන් කන්ඩායමක් මෙහෙයවීම හා දෙසැම්බර් 5දා වාහන කර්මාන්තශාලාවට ඇතුලු වීම හා ඉන් පිටවීම වැලැක්වීම ඇතුලු චෝදනා හතක් පිලිබඳ ව බාලසුබ්‍රමනියම්ට චෝදනා එල්ල කර තිබේ.

කලමනාකාරීත්වයේ ඒකපාර්ශවික හා ප්‍රජාතන්ත්‍ර-විරෝධී “අභ්‍යන්තර විමර්ශනය” ප්‍රෝඩාවකි. නීතිමය ආධාර ලබාගැනීමට හෝ තම රැකවරනය සඳහා සාක්ෂි ඉදිරිපත් කිරීමට බාලසුබ්‍රමනියම්ට අවස්ථාවක් දුන්නේ නැත. පද්මනාදන්, සුබ්‍රමනියම් හා ක්‍රිෂ්නන් යන තවත් ඈන්ෆීල්ඞ් කම්කරුවන් තිදෙනෙකුට අදාල සිද්ධියේ දී බාලසුබ්‍රමනියම්ට උදවු කිරීම පිලිබඳ වත් අරුල්නයාහි, ක්ලේරා හා සිවසාමි යන සීඩබ්ලිව්සී නිලධාරීන් තිදෙනෙකුට කම්කරුවන්ට ආධාර හා අනුබල දීම පිලිබඳ වත් චෝදනා එල්ල කෙරුනි. කලමනාකාරීත්වය පැමිනිලි කිරීමෙන් පසු පොලීසිය චූදිතයන්ගෙන් ප්‍රකාශ ලබාගත් හ. බාලසුබ්‍රමනියම් හා අනෙක් හයදෙනා සියලු චෝදනා ප්‍රතික්ෂේප කරති.

කලමනාකාරීත්වය විසින් කියාසිටින සිද්ධිය සිදු වූයේ, 100,000කට අධික වතු කම්කරුවන් ඔවුන්ගේ දෛනික මූලික වැටුප් සියයට 100කින් වැඩිකරන ලෙස ඉල්ලා අඛන්ඩ ජාතික වැඩ වර්ජනයක් ආරම්භ කල දිනයේ ම ය. ජාතික වර්ජනය අවස්ථාවේ තේ කර්මාන්තශාලාවට වාහන යැවීමට ඈන්ෆීල්ඞ් කලමනාකාරීත්වය ගත් තීරනය පැහැදිලි ප්‍රකෝපකරනයකි.

තමන් වැටුප් ප්‍රශ්නය “විසඳන” බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දුන් ව්‍යාජ පොරොන්දුවක් හුවා දක්වමින් සීඩබ්ලිව්සී නායකත්වය විසින් වර්ජනය පාවා දෙන තෙක් එය දින නවයක් පුරා ඉදිරියට ඇදුනි. වෘත්තීය සමිති විසින් “ආපසු වැඩට යන ලෙස” කල නියෝගය ප්‍රතික්ෂේප කල දහස් ගනන් කම්කරුවෝ තවත් දින දෙකක් වර්ජනයේ නිරත වූ හ.

කලමනාකාරීත්වයේ ක්‍රියාවන් මුලුමනින් අසාධාරන බව බාලසුබ්‍රමනියම් ලෝසවෙඅ වාර්තාකරුවන්ට කීවේ ය. සිද්ධිය සිදු වන විට තමන් සමග සිටි අනෙක් කම්කරුවන් නම් බාලසුබ්‍රමනියම්ගෙන් ලබා ගැනීමට “අභ්‍යන්තර පරීක්ෂනයෙදී” කලමනාකාරීත්වය දරු උත්සාහය ව්‍යර්ථවිය.

කම්කරුවන්ගේ අයිතීන් පිලිබඳ ව කතා කිරීමත් පසුගිය වසරේ දී වත්තේ ලමා සුරැකුම් මධ්‍යස්ථානය වසා දැමීමට විරෝධය පලකිරීමත් නිසා බාලසුබ්‍රමනියම් ඉලක්ක කර ගෙන ඇති බව තවත් කම්කරුවෙක් ලෝසවෙඅ වෙත කීවේ ය. ඵලදායිතාව ඉහල දමා ගැනීම ඉලක්ක කරගන්නා “ආදායම් බෙදාගැනීමේ ක්‍රමය” වත්තේ ක්‍රියාවට දැමීම ද ඔහුගේ විවේචනයට ලක්විය.

බාලසුබ්‍රමනියම්ගේ වැඩ නැවැත්වීම ආපසු හැරවීමට හෝ ඈන්ෆීල්ඞ් වත්තේ අනෙක් කම්කරුවන් හා සීඩබ්ලිව්සී නිලධාරීන් ආරක්ෂා කිරීමට කිසිදු සටනක් සංවිධානය කිරීම සීඩබ්ලිව්සීය විසින් ප්‍රතික්ෂේප කර ඇත. පාවා දීමේ මෙම ක්‍රියාව බාලසුබ්‍රමනියම්ගේ නෙරපීමට කලමනාකාරීත්වය දිරිගැන්වී ය.

ජාතික වැඩ වර්ජනය නතර කිරීමෙන් පසුව සීඩබ්ලිව්සීය හා ලංකා ජාතික වතු කම්කරු සමිතිය වතු සමාගම් සමග පාවා දීමේ සාමූහික ගිවිසුමකට අත්සන් තැබූ හ.

සියයට 100කින් වැටුප් ඉහල දමන ලෙස කම්කරුවන් කල ඉල්ලීම නො තකා හල සමිතිය, සියයට 40ක වැඩිකිරීමකටත් කලින් දුෂ්කර අරගල හරහා දිනාගත් දීමනා කප්පාදු කිරීමටත් එකඟ විය. සැබෑ වසයෙන් වතු කම්කරුවන්ගේ වැටුප ඉහල දමා ඇත්තේ රුපියල් 20කිනි.

මෙම පාවා දීමට විරෝධයට පලකරමින් වතු කම්කරුවෝ වැඩ නවත්වා විරෝධතා පැවැත්වූ හ. ඔවුන්ගේ කෝපය අපසරනය කිරීම සඳහා අනෙක් වතු වෘත්තීය සමිති ව්‍යාජ ලෙස කියාපෑවේ තමන් ආන්ඩුව හා සමාගම් සමග වැඩිදුර සාකච්ඡා පවත්වන බව යි.

නව සාමූහික ගිවිසුමේ ප්‍රධාන වගන්තියකට අනුව “කොන්ත්‍රාත් වැවිලි ක්‍රමය” පැටවීම සඳහා වෘත්තීය සමිති කැපවීම ප්‍රකාශයට පත්කර ඇත. කොන්ත්‍රාත් ක්‍රමයක් වන මෙයට අනුව, කම්කරුවන්ට තේ වත්තේ ඉඩම් කොටසක් ලබා දෙන අතර, තේ පඳුරු නඩත්තු කිරීමේ හා අස්වනු නෙලීමේ වගකීම කම්කරුවන්ට පැවරේ. අද්‍යතන ඉඩමට ගැට ගැසුනු අඳ ගොවියන් බවට කම්කරුවන් පත් කරන මෙම අධික සූරාකෑමේ ක්‍රමය යටතේ, කම්කරුවන් වතු සමාගමට තේ දලු සපයන අතර සමාගමේ පිරිවැය හා ලාබ අඩු කරගැනීමෙන් පසු ඔවුන්ට ලබා දෙන සොච්චම් ආදායම මත මුලුමනින් යාපී සිටීමට සිදුව ඇත .

“දෛනික වැටුප් ක්‍රමය” අවසන් කිරීම සඳහා හැකි ඉක්මනින් මෙම ක්‍රමය ක්‍රියාවට දමන ලෙස වතු සමාගම් අනවමින් සිටින්නේ, වැටුප් පිරිවැය රුදුරු ලෙස පහත හෙලීමට හා සීමිත නමුත් අසීරුවෙන් දිනාගත් කොන්දේසි හා ප්‍රතිලාභ අවසන් කිරීමට යි.

බාලසුබ්‍රමනියම් දඩයම් කිරීම හා සේවයෙන් නෙරපීම, වෘත්තීය සමිති ද සමග සන්ධානගත වතු සමාගම් ලාබ සඳහා වන රුදුරු ධාවනයට එල්ල වන සියලු කම්කරු පන්තික විරෝධය තලා දැමීමට අධිෂ්ටානවත් ව සිටින බවට වන පැහැදිලි අනතුරු ඇඟවීමකි. වෘත්තීය සමිති විසින් වතු කම්කරුවන්ගේ වැටුප් අරගලය පාවා දීම සමාගම්වල හා ආන්ඩුවේ හස්තයන් ශක්තිමත් කර ඇත.

බාලසුබ්‍රමනියම් නෙරපීම හා අනෙකුත් වතු කම්කරුවන් දඩයම් කිරීම හුදෙකලා සිද්ධියක් නො වේ.

කටුනායක් නිදහස් වෙලඳ කලාපයේ (නිවෙක) ඒටීජී සිලෝන් ආයතනයේ කම්කරුවන් හයදෙනෙකු ගොතන ලද චෝදනා මත ජනවාරි 11දා සේවයෙන් නෙරපනු ලැබී ය. අඛන්ඩ වර්ජන ක්‍රියාමාර්ගයකට අවතීර්න වී ඇති ඒටීජී කම්කරුවෝ නෙරපන ලද තම සහෝදර සේවකයන් යලි සේවයේ පිහිටුවන ලෙස ඉල්ලා විරෝධතාවල නිරත ව සිටිති.

ඈන්ෆීල්ඞ් වත්තේ කලමනාකාරීත්වය විසින් බාලසුබ්‍රමනියම් නෙරපීමට විරුද්ධ ව ප්‍රකාශ නිකුත් කරමින් රැස්වීම් හා විරෝධතා පවත්වන ලෙස අපි වතු කම්කරුවන්ගෙන් හා සියලු කම්කරුවන් හා තරුනයන්ගෙන් ඉල්ලමු.

වෘත්තීය සමිතිවලින් ස්වාධීන ව සංවිධානය වන ලෙස හා සමාජවාදී ක්‍රියාමාර්ගයක පදනම මත සටන් වදින ලෙස ඉල්ලමින් සමාජවාදී සමානතා පක්ෂය (සසප) වතු කම්කරුවන්ගේ වැටුප් අරගලයට මැදිහත් විය. කම්කරුවන්ට මෙම සටන ඉදිරියට ගෙන යා හැකි එකම ක්‍රමය වෘත්තීය සමිතිවලින් ස්වාධීන ව ක්‍රියාකාරී කමිටු ගොඩනගමින් තම කාර්මික හා දේශපාලන ශක්තිය බලමුලුගැන්වීම බව සසප පැහැදිලි කලේ ය. එම ආයාචනයට ඇහුම් කන් දුන් ඇබොස්ලී වත්තේ කම්කරුවෝ තමන්ගේ ම ක්‍රියාකාරී කමිටුවක් ගොඩනැගූ හ.

සසප සහයෝගය සහිත ව ඇබොස්ලී කම්කරු ක්‍රියාකාරී කමිටුව වතු කම්කරු අරගලයේ දේශපාලන පාඩම් හා ඉදිරි මාවත සාකච්ඡා කිරීම සඳහා වතු කම්කරුවන්ගේ සමුලුවක් පවත්වයි. බාලසුබ්‍රමනියම් නෙරපීම හා එයට එරෙහි ව සටන් වදින්නේ කෙසේ ද යන්න ද සාකච්ඡා වනු ඇති මෙම සමුලුව මාර්තු 17දා හැටන් නගර ශාලාවේ දී පැවැත්වේ. මෙම වැදගත් සමුලුවට සහභාගි වන ලෙස අපි කම්කරුවන්ට හා තරුනයන්ට ආරාධනා කරමු.

Share this article: