ප්‍රාස්ඩ්නික් (නිවාඩුව): රුසියාවේ සමාජ අසමනාතාව ගැන චිත්‍රපටය ප්‍රේක්ෂක සමූහයක් ආකර්ෂනය කර ගනී

Prazdnik (Holiday): Film about social inequality in Russia attracts mass audience

ක්ලාරා වීස් විසිනි, 2019 පෙබරවාරි 18

ලියා අධ්‍යක්ෂනය කලේ ඇලෙක්සි ක‍්‍රසෝව්ස්කි විසිනි

පැරනි සෝවියට් සංගමය හා වර්තමාන රුසියාව යන දෙකෙහි ම සමාජ අසමානතාව සෘජුව කතා කරන, රුසියානු අධ්‍යක්ෂ ඇලෙක්සේයි ක‍්‍රසෝව්ස්කිගේ ප්‍රාස්ඞ්නික් (නිවාඩුව) නම් චිත්‍රපටය මේ වනවිට මිලියන1.5ක් දෙනා යූටියුබ් ඔස්සේ නරඹා ඇත. ජනවාරි 2වැනිදා චිත්‍රපටය අත්පතනය කිරිමට ( upload ) චිත්‍රපට නිරුමානකරුවන්ට බල කෙරුනේ, ඊට එරෙහිව රාජ්‍ය අනුබලය ලත් ප්‍රධාන උද්ඝෝෂනයක් මගින් සිනමා ශාලාවල එය ප්‍රදර්ශනය කෙරෙමින් තිබීම වැලක්වීමෙන් පසු ය.

ප්‍රාස්ඩ්නික්

චිත්‍රපටයෙන් ආවරනය කෙරෙන්නේ, 1941-42 ශිශිර කාලයේ දෙවැනි ලෝක යුද්ධය අතරතුර නාසීන් විසින් ලෙනින්ග්‍රෑඩය වටලෑම අතරතුර කාලයයි. නූතන ඉතිහාසයේ ඕනෑ ම නගරයක දීර්ගත ම එක වන, දින 999ක් පැවති වටලෑම, පුද්ගලයන් මිලියනයකගේ ජීවිත බිලිගත් බියකරු සාගතයකට මග පෑදී ය. වටලෑම අතරතුර දුක් පීඩා, රුසියාවේ පොදු ඓතිහාසික විඥානයේ වැදගත් සංරචකයක් නොකඩවා හැඩගැස්ව යි.

ඊට වෙනස් ලෙස ප්‍රාස්ඩ්නික් යොමු වන්නේ, වොස්ක්‍රෙසෙන්කි පවුල ගැන යි. ඔවුහු බොහෝ වරප්‍රසාද මෙන් ම ආහාරපානවලට අසීමිත ප්‍රවේශයක් භුක්ති විඳිති. පවුලේ ප්‍රධානියා, ජෝර්ජ් (යැන් ට්සප්නික්) පාලක පක්ෂය වෙනුවෙන් පර්යේෂනාගාරයක වැඩ කර යි. උපකල්පනය කෙරෙන පරිදි එහි දී ඔහු ජර්මානු මිලිටරියට එරෙහි සටන සඳහා රහස් අවියක් වැඩි දියුනු කරමින් සිටී. වොස්ක්‍රෙසෙන්කිගේ ආහාර සැපයීමේ වගකීම බාර ගන්නේ ස්ටැලින් විසින් ම ය. වැටලුනු නගරය ආසන්නයේ ජීවත් වන ඔවුන්ට, ලොම් කබා හා කුකුල් මස් සහිත රාත්‍රීභෝජන ලැබුන ද ජනගහනයේ අතිමහත් බහුතරයකට දවසකට එක පාන් පෙත්තක් හෝ නැති තරම් ය.

රුසියාවේ ප්‍රධාන නිවාඩු දින වූ නව අවුරුදු දින සැඳෑවේ පවුලේ ප්‍රීති උත්සවය අවුල් කෙරෙන්නේ, ඩෙනිස් නම් පුත්‍රයා (පාවෙල් ටැබකොක්) දිලිඳු ගැහනු ලමයෙකු වන මාෂා (ආස්යා චිස්ට්යකෝවා) තම පවුල සමග නිවාඩුව ගත කිරීම සඳහා තම නිවසට කැඳවා ගෙන එන විට දී ය. ඉතා මෑත දී තම දෙමව්පියන් දෙදෙනා ම අහිමි වූ මාෂා දින ගනනාවකින් පාන් කා නැත. බිරිඳ මෙන් ම මවක ද වන මාගරිටා, මාෂාගේ පැමිනීමත් සමග තදබල ලෙස කුලප්පු වන අතර, පවුලේ ආහාර හා රෙදිපිලි හැකි තරම් සැඟවීමට වෙහෙස වෙයි.

දෙමව්පියන්, විශේෂයෙන් ම මව පිලිබඳ උපහාසාත්මක නිරූපනය අවංඥා සහගත ය: ඔවුන් පෙන්වන්නේ කුහක, නරුම හා බියගුල්ලන් ලෙස ය; ඔවුහු තමන්ගේ ම යහ පැවත්ම හා සැපපහසුව සමග චිත්තාපර අතර මහජනයාගේ උත්සුකයන් හා ජිවිතවලින් මුලුමනින් ම වෙන් කෙරෙති. මහජනයා විසින් තමන් ගැන සොයා ගැනීම හා පලිගැනීම පිලිබඳ බියෙන් පෙලෙන අතර ම, ඔවුහු තම වරප්‍රසාදවලට තමන් මුලුමනින් ම උරුම යයි සිතති.

රාත්‍රී කෑම මේසයේ දී විවෘතව පිපිරෙන තුරු, චිත්‍රපටයේ සමාජ ආතතිය ආසන්න වසයෙන් පැයක් තිස්සේ ගොඩ නැගේ.

මාෂා මාගරීටාගෙන් මෙසේ අසයි, “එහෙනම් ඔයාලා කෙලින්ම ස්ටැලින් සහෝදරයාගෙන් කෑම ලබා ගන්නවා?” “ඔව්, මෂෙන්කා...අපි එය අත්හරින්න ඕනෑ කියලා හිතනවා ද නැත්නම් මොකක් ද?” “ඒත් ඔබට පුලුවන් ඔබට ඕනෑ තරම් තියෙන දේවල් අනිත් අය එක්ක බෙදා ගන්න” (මාගරීටා චිත්තවේගී ව සිනා සෙයි) “ඒක බෙදා ගන්න? කොහොමද? අපි මොනවාද දෙන්න ඕනෑ, අපි මොනවද තියා ගන්න ඕනෑ? යසයි, මම සමහර දේවල් සමහර ලමයින්ට දෙනවා. එතකොට හෙට උන් උන්ගේ අම්මා අප්පා ගේනවා. එතකොට හෙටින් පස්සේ මුලු ටවුමම මෙහෙ එයි.. උඹ දන්නවාද ඇයි අපිට මෙච්චර තියෙන්නේ කියලා. මොකද ආන්ඩුව අපිව අගේ කරන හින්දා. ඒක අපි රැකබලා ගන්නවා, උඹට ආදරය කල යුත්තේ ඇයි. උඹ මේ ලෝකට දීලා තියෙන්නේ මොනවාද?...ඔව්, මට උඹ ගැන, උඹේ දෙමව්පියෝ ගැන, ලෝකයේ සතුටක් නැති ඔක්කොම මිනිස්සු ගැන හරි කනගාටුයි, ඒත්, ඒ ඔක්කෝටම ඇතිවෙන්න පාන් නෑ.” මාෂා ප්‍රතිචාර දක්වූයේ විඩාවෙනි, “ඒක හොඳටම ඇති වෙන්න පුලුවන්, එක වගේ බෙදුවා නම්.”

පවුලේ ප්‍රීතිය සැමරීමේ ප්‍රාස්ඩ්නික්

ප්‍රාස්ඩ්නික් පැය එකහමාරකට වඩා මදක් දිග නමුත් එය නරඹන්නා තුල දීර්ග කාලයක් පවතින හැඟීමක් ඇති කර යි. එය සෝවියට් සංගමය හා සමකාලීන රුසියාවේ දැවන්ත සමාජ බෙදීම පිලිබඳ අනුවේදනීය චෝදනාපත්‍රයක් වන අතර, ලෝකය පුරා එසේ යැයි අවබෝධ කර ගෙන ඇත.

ධනය බෙදී යාමේ අර්ථයෙන් ගත් විට, ලෝකයේ ප්‍රධාන ආර්ථිකයන් අතර රුසියාව වඩාත් ම අසමාන රට වන්නේ, ජනගහනයෙන් ඉහල සියයට එකට සමස්ත ධනයෙන් තුනෙන් එකක් අයිති අතර, පතුලේ සියයට 50 සියයට 5ටත් අඩු ප්‍රමානයක් අයිති වීම සමගිනි. මිලියන 140 ජනගහනයෙන් මිලියන 20ක තරම් පුද්ගලයන් අන්ත දරිද්‍රතාවයේ ජීවත් වන්නේ, මසකට ඩොලර් 175ක් මත පැවත් ම පිරිමසා ගනිමිනි.මේ අතර එරට සුපිරි පොහොසතුන් මොස්කව් අවට ඉසිරුමත් උපනගරවල හා අන් තැන්වල තම අතිවිශාල මන්දිර මහජනයාගේ දැකීමෙන් ආරක්ෂා කර ගන්නේ උස් තාප්පවලිනි.

ඒ නිසා, ප්‍රාස්ඞ්නික් රුසියානු ආන්ඩුව හා මාධ්‍යයෙන් බොහෝ දුරට උමතු ප්‍රතිචාරයක් හිමිකර ගැනීම පුදුම නැත. චිත්‍රපටය නිකුත් කිරීම වැලක්වීමට ක්‍රමානුකූල උද්ඝෝෂනයක් දියත් කෙරුනේ පසු ගිය සරත් කාලයේ දී ය. එක්සත් රුසියානු පක්ෂයේ ප්‍රධාන නිලධාරියෙකු චිත්‍රපටය තහනම් කිරීමට තර්ජනය කල අතර මාධ්‍ය චිත්‍රපටය අපකීර්තියට පත් කිරීමට උත්සාහ කලේ එය, ලෙනින්ග්‍රෑඞ් වටලෑමට ගොදුරු වූවන්ට චෝදනා කෙරෙන අපහාසයක් ලෙස දක්වමිනි.

අධ්‍යක්ෂ හා නිෂ්පාදක ද පොලීසිය විසින් අපරාධ පරීක්ෂන දෙකකට භාජනය කරන ලදී, එකක් “ත්‍රස්තවාදය හා අන්තවාදය” වෙනුවෙනි (මෙය අවසානයේ දී ඉවත දැමුනි), අනෙක උත්සාහ කරන්නේ චිත්‍රපටය රූ ගත කලේ නීතිවිරෝධී මූලාශ්‍රයක මුදල් වලින් බව ඔප්පු කිරීමට ය. (ජනවාරි 22වන විටත්, මෙම විමර්ශනය පැවත්වෙමින් තිබුනි.) චිත්‍රපටය යූ ටියුබ්හි ප්‍රසිද්ධියේ නැරඹීමට මුදා හැරීම හැර වෙනත් විකල්පයක් නැති බව සිනමාකරුවෝ අවසානයේ දී අවබෝධ කර ගත්හ.

නරඹන්නන්ගේ ප්‍රතිචාරය ඉතා ප්‍රබල ලෙස සාධනීය කරනය වී ඇත.

එක් අයෙක් මෙසේ අදහස් දැක්වී ය: “මේ චිත්‍රපටය වර්තමාන තන්ත්‍රය ගැන උපමා කතාවක්...ඒක යටතේ රජයේ නිලධාරීන්...තම කුඩා නැව්, කාර්, හා මාලිගා ගැන එකිනකො එක්ක තරඟ කරනවා. සැපසම්පත්වලට පිස්සු වැටෙනවා.ඒ අතර මහජනයා පටි තද කරගෙන ඉන්නවා, කෑමබීම වගේම ඇඳුම්පැලඳුම වාගේ මූලික දේවල්වලටත් ඉතිරි කරගන්න ඕනෑ. අන්තිමේ දී මරන මංචකයේ දී එය දැනෙන කං විවේකයක් නැතිව වැඩ කරන්න ඕනෑ.”

තවත් ප්‍රේක්ෂකයෙක් මෙසේ පැවසීය: “මේ චිත්‍රපටය බොහොම සමකාලීනයි. වර්තමාන සම්පූර්න ප්‍රභූවම ඉහල සිට පහලට සැදුම් ලබන්නේ, පැරනි පක්ෂ නිලධාරීන්ගෙන් හා කොම්සෝමල් සාමාජියන්ගෙන් (පැරනි සෝවියට් සංගමයේ තරුන කොමියුනිස්ට්වාදීන්).”

සම්මුඛ සාකච්ඡාවල දී අධ්‍යක්ෂ හා තිර රචක, ඇලෙක්සේයි ක්‍රසෝව්ස්කි ඇඟ වූයේ, මෙය හරියට ම තමන් ඒත්තු ගැන් වීමට අපේක්ෂා කල පනිවුඩය වන බව යි.

ප්‍රාස්ඩ්නික් වැදගත් චිත්‍රපටයකි, එමෙන් ම එයට දැක්වෙන ප්‍රතිචාරය ප්‍රකාශ කරන්නේ රුසියානු සමාජ හා දේශපාලන ජීවිතයේ සැලකිය යුතු වෙනසකි. රුසියානු සෞඛ්‍ය සේවා පද්ධතියේ බපරපතල අර්බුදය අමතන, බොරිස් ක්ලේබ්නිකෝව්ගේ ඇරිත්මියා ද (2017) සමඟ මෙම චිත්‍රපටය ද අඟවන්නේ රුසියාව තුල බැරෑරුම් කලාකරුවන් සමාජ අර්බුදය හා කම්කරු ජනයාගේ ජීවිත පිලිබඳව ඔවුන් වඩ වඩා උත්සුක වන බව යි.

කෙසේ වුවද, චිත්‍රපටයේ බැරෑරුම්කම ද චිත්‍රපට නිෂ්පාදකයින්ගේ යහපත් ආවේශය ද එහි අවධානරය කෙරන සංකල්ප පිලිබඳ විවේචනාත්මක විශ්ලේෂනයක් ඉල්ලා සිටී. දෙවැනි ලෝක යුද්ධය තුල ලෙනින්ග්‍රෑඩය සමකාලීන තතු සමග එහි නිසැක සන්සන්දන ඔස්සේ ප්‍රාස්ඩ්නික්, රුසියාව තුල බොහෝ ප්‍රසිද්ධ විහුලු හා කියමන්වල පනිවිඩයක් දෝංකාර නංවයි: කව්රු පාලනය කලත් සාමාන්‍ය මිනිස්සුන් වෙනුවෙන් කිසිදෙයක් වෙනස් වෙන්නේ නෑ, ඔවුන් හැමදාම ඉන්නේ පීඩිතවෙලා වගේ ම දුප්පත්වෙලා.

සම්මුඛ සාකච්ඡාවක දී, ක්‍රසොව්ස්කි මෙසේ පැහදිලි කලේ ය, “පොහොසතුන් (හැමවිට ම අසාධාරන ලෙස හා නුසුදුසු ලෙස පොහොසත්) හා අනෙකුත් සෑම දෙනා අතර මෙම වෙනස වර්ධනය වූයේ කෙසේ දැ යි කීමට මට ඕනෑ වුනා. එය ඇරඹුනේ කව දා ද?” අනෙක් අයගේ පීඩා ගනන් නො ගෙන පොහොසත් මිනිස්සු, “හිටියා, ඉන්නවා ඒ වගේම, මට බය හැමදාම ඉඳීද කියලා” ඔහු තව දුරටත් පැවසී ය.

මෙම බොහෝ අශුභවාදී දෘෂ්ටිය ඔක්තෝබර් විප්ලවය හා සෝවියට් සංගමය පිලිබඳ සාරභූත ව්‍යාකූලත්වයක ප්‍රකාශනයකි. වර්තමාන පරපුටු කතිපයාධිකාරිය හා සෝවියට් නිලධරය අතර නිශ්චිත සම්බන්ධයක් ඇති බව සත්‍ය ය. කෙසේ වුවද, ප්‍රපංච දෙක අතර රූපික සන්සන්දනය සෝවියට් සංගමයේ සමාජ හා ඓතිහාසික මූලයන් සහ රුසියානු සමූහාන්ඩුවේ ඒවා අතර අතිමූලික වෙනස නො සලකා හරියි.

සෝවියට් සංගමය මානව ඉතිහාසයේ ඉතාමත් ම ප්‍රගතිශීලී විප්ලවයේ, එනම් බොල්ශෙවික් පක්ෂය විසින් නායකත්වය දෙන ලද 1917 ඔක්තෝබර් විප්ලවයේ නිර්මිතයකි. ජාත්‍යන්තරවාදය හා සමාජ සමානතාව මත පදනම් වූ සෝවියට් සංගමය ජාත්‍යන්තර වශයෙන් කම්කරු පන්තියට අතිමහත් ජයග්‍රහන ප්‍රදානය කලේ ය.කෙසේ නමුත්, රටේ පසුගාමිත්වය හා දිලිඳු බව සමග, රුසියානු විප්ලවය හුදකලා වීම, ඉක්මනින් ම එය යටතේ කේන්ද්‍රීය නියෝජිතයා ලෙස ස්ටැලින් සමග නිලධාරි පැලන්තියක මතු වීමට කොන්දේසි නිර්මානය කලේ ය. මෙම සමාජ ස්ථරය කම්කරු පන්තියට සාපේක්ෂව අතිමහත් වරප්‍රසාද භුක්ති වින්දේ ය. 1923 -24 වෙද්දී මෙම අංකුර නිලධරය, කම්කරු පන්තිය විසින් බලය ගැනීමේ පදනම සකස් කර තිබූ ලෝක සමාජවාදී විප්ලවයේ ක්‍රියාමාර්ගයට මුළුමිනින් ම විරුද්ධ ජාතිකවාදී “තනි රටක සමාජවාදී” ක්‍රියාමාර්ගයක් දේශනා කිරීම ඇරඹුහ.

ඔක්තෝබර් විප්ලයට වූ ප්‍රතිවිප්ලවවාදී නිලදරයේ විරුද්ධත්වය ඉතා බියකරු ලෙස ප්‍රකාශ කෙරුනේ, 30,000ක් ට්‍රොට්ස්කිවාදීන් ද, 1940දී, ලියොන් ට්‍රොට්ස්කි ම ද ඇතුලු විප්ලවය ක්‍රියාවට නගා සිටි විප්ලවවාදී මාක්ස්වාදීන්ගේ සම්පූර්න පරම්පරාව ම සැබවින් ම ස්ටැලින් විසින් මරා දැමූ 1930ස් ගනන් අතරතුර ය.

එහෙත් ස්ටැලින්වාදයේ අතිමහත් අපරාධ නො තකා, කම්කරුවන් හා ගොවීන් මිලියන ගනනාවකට තවමත් ඔක්තෝබර් විප්ලවය හා සෝවියට් රාජ්‍යයට විශාල ලැදියාවක් දැනුනි. බහුතර මහජනයා ලෙනින්ග්‍රෑඩය වටලෑම ද ඇතුලු ව, දෙවැනි ලෝක යුද්ධයේ බියකරු දුෂ්කරතා ඉවසීමට සූදානම් වූයේ ද, එමෙන් ම නාසි ආක්‍රමනයට එරෙහි ව අසමාන වියදමකින් සෝවියට් සංගමය ආරක්ෂා කිරීමට සටන් කලේ ද මේ නිස යි. (යුද්ධයෙන් සෝවියට් සංගමයේ විපතට පත්වූවන් සංඛ්‍යාව මිලියන 27 සිට මිලියන 40දක්වා වූ බව ඇස්තමේන්තු කෙරුනි.)

සෝවියට් නිලදරය හා වර්තමාන කතිපයාධිකාරිය අතර සම්බන්ධතාව ස්ටැලින්වාදීන් විසින් ඔක්තෝබර් විප්ලවය පාවාදීමේ සන්දර්භයෙන් පිටත දැකිය නො හැක. ලියොන් ට්‍රොට්ස්කි තම පාවාදුන් විප්ලවය නම් ග්‍රන්ථය තුල විශ්ලේෂනය කල පරිදි, නිලධරය පාලක පන්තියක් නො වේ, නමුත් පරපුටු පැලන්තියකි. නිලධාරී පැලන්තිය කම්කරු පන්තියෙන් සෝවියට් සංගමයේ දේශපාලන බලය පැහර ගෙන තිබුන නමුත්, පන්තියකට වෙනස් ලෙස නිලධරය, නිෂ්පාදන ක්‍රියාදාමයේ දී ස්වාධීන කාර්යභාරයක් ඉටු නො කලේ ය. 1939දී ට්‍රොට්ස්කි සඳහන් කල පරිදි, එය හ ිමි කර ගත්තේ පැරනි පාලක පන්තීන්ගේ සියලු දුසිරිත් මිස, ඔවුන්ගේ ඓතිහාසික මෙහෙවර නො වේ.

වෙන කිසි දේකට වඩා කම්කරු පන්තියට බිය වූ පරපුටු පැලන්තියක් ලෙස නිලදරයට, ඔක්තෝබර් විප්ලවය ගැන අවසානයක් නැති බොරුවල නිමග්න වීමට බල කෙරුනු අතර, ඔවුහු තම වරප්‍රසාදවල පරිමාව වසන් කිරීමට මුංමුලා සහගත ලෙස උත්සාහ කලෝ ය. පාලක පන්තියක් බවට එහි පරිවර්තනය සඳහා අවසානයේ 1991දී සෝවියට් සංගමය ම විනාස කිරීමත් ධනවාදය පුනුස්ථාපනය කිරීමත් අවශ්‍ය විය.

රුසියානු සමූහාන්ඩුව නිර්මානය කිරීම හා කතිපයාධිකාරයේ මතු වීම මෙම ක්‍රියාදාමයේ අවසාන ඵලය විය. සැකයකින් තොර ව සෝවියට් සංගමය තුල සමාජ අසමානතාව පැවතුන ද, බොහෝ අධ්‍යයන පෙන්වා දී ඇත්තේ රුසියාව තුල ධනවාදය පුනස්ථාපනය කිරීමෙන් පසු ඓතිහාසික පූර්වාදර්ශ නොමැති මට්ට්ම්වලට එය ලඟා වී ඇති බව යි.

කතිපයාධිකාරිය මතු වූයේ ස්ටැලින්වාදී නිලධරයෙන් වන නමුත් ඒ අතරම පවතින්නේ කම්කරු පන්තිය හා ග්‍රාමීය ජනතාව විසින් පෙරලා දැමුනු වෛරී ධනේශ්වරය මෙන්ය. මෙය සාර්වාදී තන්ත්‍රය සඳහා අභිවාදනය සමග ස්ටැලින්වාදයේ අපරාධ උත්කර්ෂයට නැංවීමක් මිශ්‍ර කරන, රුසියානු කතිපයාධිකාරියේ නරුම දෘෂ්ටිවාය ද පැහදිලි කර යි . එය ලේ සහ අපරාධ තුල ගිලුන, එමෙන් ම ම්ලේචඡ ධනේශ්වර සමාජයක් හසුරුවන ඓතිහාසික ව දූෂිත හා මරනයට නියම වූ පාලක පන්තියකි.

සාමාන්‍යයෙන් “රාජ්‍ය ධනවාදීන්” යන සංකල්පය හරහා, සෝවියට් සංගමය ධනවාදී සමාජ සමග රූපික ව සමාන කිරීම, ඓතිහාසික ව හැමවිටම දක්ෂිනාංශික හා කොමියුනිස්ට් විරෝධී සංකල්පවලට පදනම සැපයුවේ ය. මෙම විචාරකයාගේ අපේක්ෂාව වන්නේ චිත්‍රපට නිර්මානකරුවන් ඒ මග අනුගමනය නො කරනු ඇති බවයි.

සමාජ අසමානතාව පිලිබඳ ඔවුන්ගේ ලාලසී අධිචෝදනාව රුසියාවේ හා ඉන් ඔබ්බේ සංස්කෘතික හා කලාත්මක ජීවිතයේ කාලානුරූප වර්ධනයකි. නමුත් සමාජ අසමානතාවට එරෙහි සැබෑ අරගලය, මෙන් ම කලාත්මක නිර්මාන තුල එහි වඩාත් ප්‍රගාඪ සැලකිල්ල අවසානයේ දී ඉල්ලා සිටිනු ඇත්තේ ඔක්තෝබර් විප්ලවයේ ඉතිහාසය හා ස්ටැලින්වාදයට එරෙහි ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ අරගලය පිලිබඳ බැරෑරුම් අධ්‍යයනයකට හැරීම යි.

ඉංග්‍රීසි හා ඉතාලි භාෂා උපශීර්ෂ සහිතව මෙම චිත්‍රපටය YouTube ඔස්සේ නැරඹිය හැක.

Share this article: