ෆැසිස්ට් ත්‍රස්තවාදීන් නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් හි දී 49දෙනෙකු ඝාතනය කර යි

Fascist terrorists murder 49 in Christchurch, New Zealand

ටොම් පීටර්ස් හා ජෝන් බ්‍රැඩොක් විසිනි, 2019 මාර්තු 16

නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් නගරයේ මුස්ලිම් පල්ලි දෙකකට ඊයේ සවස එල්ල කෙරුනු බිහිසුනු ප්‍රහාරයක දී පුද්ගලයින් 49දෙනෙකු ඝාතනය කෙරුනු අතර 48දෙනෙකුට තුවාල සිදු කෙරුනි. එම ප්‍රහාරය මේ තාක් දුරට නවසීලන්ත ඉතිහාසයේ විශාල ම සමූහ වෙඩි තැබීම වන අතර ත්‍රස්තවාදයේ තදබල කුරිරු ක්‍රියාවක් මෙන් ම මෑත කාලයේ ලෝකයේ සිදුවූ නරක ම ඒවායින් එකකි.

ලින්වුඞ් මස්ජිඞ් පල්ලියේ දී පුද්ගලයෝ හත්දෙනෙක් ද හැග්ලේ උද්‍යානය අසල මස්ජීඞ් අල් නූන් පල්ලිය තුල 41දෙනෙක් ද මියගියහ. තවත් අයෙක් රෝහලේ දී මිය ගියේ ය. මරන සංඛ්‍යාව වැඩි වීමට ඉඩ තිබේ.

ජාත්‍යන්තර ජනතාව ප්‍රහාරය සම්බන්ධයෙන් කම්පාව ද විපතට පත්වූවන්ට සංවේගය ද ප්‍රකාශ කලහ. 15දා රාත්‍රියේ හා එලඹෙන දිනවල නවසීලන්ත නගරවල රාත්‍රී සුපරීක්ෂාව සැලසුම් කෙරෙමින් තිබේ.

වෙලින්ටන්හි පල්ලියෙන් පිටත ශෝකවන්නෝ

සංහාරය සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. පල්ලි දෙක අසල ම ආයුධ සොයා ගැනුනි. පොලිසිය ද වාහනයක් තුල සොයා ගැනුනු පුපුරනසුලු උපකරන දෙකක් නිෂ්ක්‍රීය කලේ ය. එය තවදුරටත් ප්‍රහාර සැලැසුම් කෙරී තිබුන බවට සංඥාවකි. මේ දක්වා නම් කෙරී සිටින්නේ එක පුද්ගලයෙකි, ඔහු විසිඅට හැවිරිදි ඕස්ට්‍රේලියානු ජාතික බ්‍රෙන්ටන් ටැරන්ට් නම් අයෙකි. ඔහු අද මිනීමරුම් චෝදනා යටතේ උසාවියට ඉදිරිපත් කෙරුනි.

මෙම ප්‍රහාරය බිහිසුනු අපරාධයක් මෙන් ම වර්ගවාදය හා අන්ත දක්ෂිනාංශික දෘෂ්ටිවාදය විසින් අවුලුවන ලද ම්ලේච්ඡ ක්‍රියාවකි. එය හුදෙක් නවසීලන්ත සිදුවීමක් නො ව, රාජ්‍ය සංවිධාවනවල ඉහල මට්ටම්වලින් ප්‍රචාරය කෙරී, ආරක්ෂා කෙරෙන, ලෝකය පුරා වර්ධනය වී ඇති අන්ත දක්ෂිනාංශික, ෆැසිස්ට්වාදී ජාලයන් පැන නැගීමේ ප්‍රතිඵලය යි. ඔවුන්ගේ ක්‍රියාකාරකම් ව්‍යාප්ත වී ඇත්තේ, ජාත්‍යන්තර පන්ති අරගලයේ වේගවත් තීව්‍රවීම හා මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් තුරන් කර දැමීම මගින් විරෝධය මර්දනය කිරිමට වන පාලක ප්‍රභූවේ මුංමුලා සහගත පියවර පසෙකිනි.

ටැරන්ට් දිරිමත්ව ඇත්තේ, තමන්ට ද නිශ්චිත ශ්‍රාවක සමූහයක් ඇති ජාත්‍යන්තර වශයෙන් අන්ත දක්ෂිනාංශික, සංක්‍රමන විරෝධී කන්ඩායම්වලිනි. අල් නූර් පල්ලියේ ප්‍රහාරයේ රූපරාමු සජීවි ව විසුරුවා හැරුනේ, නියත වශයෙන් ම ටැරන්ගේ හිසෙහි පැලඳ තිබූ කැමරාවකිනි. එතැන් සිට ගනු ලැබුනු රූපරාමු පෙන්වන්නේ තුවක්කුකරු පල්ලියට රිය පැදවීම, ගොඩනැගිල්ලට ඇතුලුවීම හා ඔහුගේ දරුනු හා ක්‍රමානුකූල සංහාරය යි. කුඩා ලමයින් ඇතුලු ව, අනාරක්ෂිත ව විපතට ගොදුරු වූවන්ට ප්‍රහාරක රයිෆලයේ උන්ඩවලින් බේරී යාමට අවස්ථාවක් නො තිබුනි.

තවමත් බොහෝ තොරතුරු දැනගෙන නැතත්, මෙය අහඹු හෝ “මෝඩ” ක්‍රියාවක් නො වූ බව පැහදිලි ය. ටැරන්ට් විසින් ඔන්ලයින් මගින් ප්‍රසිද්ධ කෙරුනු, පිටු 73ක “ප්‍රකාශනය” අනුව, යම් කාලයක් යුරෝපයේ ගත කිරීමෙන් පසු ඔහු ප්‍රහාරය සැලැසුම් කරමින් වසර දෙකක් ගෙවා ඇත.

“ශ්‍රේෂ්ට ප්‍රතිස්ථාපනය” නමින් යුත් ප්‍රකාශනය පැහදිලි කරන්නේ ටැරන් යනු සුදු ස්වෝත්තමවාදියෙකු වන අතර තෙමේ ම “ෆැසිස්ට්වාදියෙකු” ලෙස සලකා ගන්නා අයෙකු බව යි. ඉස්ලාම් විරෝධී අගතීන්ගෙන් පොලඹවන ලද ප්‍රකාශනය, 2011දී නෝර්වේජියානු ලේබර් පක්ෂ කඳවුරේ දී තරුනයින් හා ලමුන් දුසිම් ගනනාවක් ඝාතනය කල, සමූහ ඝාතක ඇන්ඩර්ස් බේහ්රින්ග් බ්‍රේයිවික් ට ප්‍රශංසා කලේ ය. ටැරන් තමාට බ්‍රේයිවික් සමග “කෙටි සම්බන්ධයක්” තිබුනු බවත්, නවසීලන්ත ප්‍රහාරයට පෙර ඔහුගේ “ආශීර්වාදය” ලැබුන බවත් පවසා ඇත.

යන්තම් පසුගිය මාසයේ, එක්සත් ජනපද අධිකාරීහු, සමාජවාදී කන්ඩායම්, ඩෙමොක්‍රටික් පක්ෂ දේශපාලඥයින් හා මාධ්‍ය අදහස් දක්වන්නන්ට එරෙහිව ත්‍රස්ත ප්‍රහාරයක් ගෙනයාමට සැලැසුම් කරමින් සිටි, වෙරලාරක්ෂක ලුතිනන් ක්‍රිස්ටෝපර් පෝල් හසන් අත්අඩංගුවට ගත්හ. හසන් නව නාසිවාදියෙකු වන අතර බ්‍රේයිවික් තම වීරයෙක් වන බව ද ප්‍රකාශ කරයි.

ටැරන් “නවීකෘත සුදු අනන්‍යතාවය හා පොදු අරමුනේ සංකේතය” ලෙස එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ප්‍රශංසා කලේ ය. ට්‍රම්ප් මෙන් ම ටැරන් ද සංක්‍රමනිකයන් විස්තර කලේ මෙසේ සඳහන් කරමිනි: “අපි සංක්‍රමනිකයන් කුඩු කර දැමිය යුතු අතර මේ වන විටත් අපගේ භූමියේ වාසය කරන මෙම ආක්‍රමනිකයන් පිටුවහල් කල යුතු ය.”

තුවක්කුකරු වාමාංශිකයින්ට තර්ජනය කලේ ය. “ෆැසිස්ට් විරෝධීන් /මාක්ස්වාදීන්/ කොමියුනිස්ට්වාදීන්” නම් ශීර්ෂ පාඨයකින් යුත් ඡේදයක් මෙසේ සඳහන් කලේ ය, “උඹ මගේ ඇහැට පේන්න ඕනෑ. මට ඕනෑ මගේ සපත්තුවෙන් උඹේ බෙල්ල පාගන්ටයි.” මාර්තු 12 දා ටැරන්ට්, 2007 ස්පාඤ්ඤයේ තරුන අරාජකවාදියෙකු ඝාතනය කල නව-නාසිවාදී, ජොසේ ඊස්ටේබනෙස් ගැන සඳහන් කරන අතර ලිඛිත පනිවුඩ සහිත, තම ප්‍රහාරක රයිෆලයේ ඡායාරූප තොගයක් ට්වීටර් ඔස්සේ විසිරුවා හැරියේ ය. තවත් සටන්පාඨයක් වූයේ, ඔස්ට්‍රියානු මිලීෂියා කන්ඩායම් විසින් ඔටෝමන් ආක්‍රමනිකයන් පසු බැස්සීම ගැන සඳහන් කරන “වියනා 1683” සටන් පාඨයයි.

විශ්මයජනක කාරනය, නවසීලන්ත හෝ ඕස්ට්‍රේලියානු පොලීසි වලට හෝ වෙනත් කිසියම් ඒජන්සියකට ටැරන් ගැන හෝ අත්අඩංගුවට ගැනුනු අනෙක් පුද්ගලයන් ගැන කිසිදු පූර්ව දැනුමක් නො තිබූ බවට නවසීලන්ත පොලිස් කොමසාරිස් මයික් බුෂ් කරන ප්‍රකාශයයි. පැහදිලිව ම අන්තවාදීන් පිලිබඳ කිසිම “සෝදිසි ලේඛනයක” සඳහන් නොවීය. මෙය සත්‍ය නම්, එය අවධාරනය කරන්නේ ආන්ඩුවේ අධිකාරීහු, අන්ත දක්ෂිනාංශික සංවිධානවල ක්‍රියාකාරකම් නො දැක්කා ලෙස මෙන් ම ඒ ගැන නොතකා සිටිති යි යන කාරනයයි.

පොලීසියේ අවධානයට ලක් නො වී වසර ගනනාවක් එවැනි ප්‍රහාරයක් සැලැසුම් කල හැකි වූයේ කෙසේ දැ යි යන්න පැහදිලි කෙරී නැත. ප්‍රහාරකයන් තම ආයුධ ලබා ගත්තේ කෙසේ ද යන්න ගැන ද ප්‍රශ්න මතු වෙමින් තිබේ. නවසීලන්තයේ තුවක්කු ලේඛනයක් නොමැති අතර, යන්තම් පුද්ගලයන් මිලියන 5ට අඩු රටක, නීත්‍යානුකූලව හිමිකම් ඇති ආයුධ මිලියන1.3ක් තිබේ.

අගමැති ජසින්ඩා ආර්ඩර්න් 15දා රාත්‍රියේ පැවති මාධ්‍ය සමුලුවකදී පැවසුවේ, නවසීලන්තය “මේ වර්ගයේ ප්‍රචන්ඩත්වයක් සඳහා තෝරාගෙන ඇත්තේ අප වර්ගවාදයට එරෙහි බැවිනි, අප අන්තවාදයේ තෝතැන්නක් නොවන බැවිනි, අප එවැනි කිසිවක් නොවන බැවිනි. අප විවිධාංඟිකරනය, දයාව, කෙලෙහිගුන දැක්වීම නිසා මෙය සිදුව ඇත.”

සැබවින්ම ප්‍රහාරය එල්ල කෙරුනේ, අධිරාජ්‍යවාදී ප්‍රචන්ඩත්වය හා වැඩිවන වර්ගවාදී උද්ඝෝෂන හා විදේශිකයින් නොරුස්නාකම මඟින් සංලක්ෂිත, නිශ්චිත දේශීය හා ජාත්‍යන්තර දේශපාලන සන්දර්භයක් තුලය. එය සිදුවුනේ, මිනිසුන් මිලියනයකගේ ජීවිත විනාශ කල, දශක දෙකක පමන කාලයක් තුල, ඇමරිකාව විසින් මෙහෙයවනු ලබන ඇෆ්ගන්, ඉරාක හා සිරියානු යුද්ධ වලට නවසීලන්තයේ හා ඕස්ට්‍රේලියාවේ සහභාගිත්වය තිබියදීය. ඇෆ්ගනිස්ථානයේ සිවිල් වැසියන්ට එරෙහිව විවිධාකාර ප්‍රචන්ඩත්වයන් හා ඝාතනයන් නවසීලන්ත හා ඕස්ට්‍රේලියානු හමුදාවන් විසින් සිදුකර ඇත.

පිරිහෙන සමාජ කොන්දේසි හා වැඩෙන අසමානතාව හා දුප්පත්කමේ කොන්දේසි හමුවේ, නවසීලන්තය තුල “අන්ත දක්ෂිනාංශික ව්‍යාපාරයක් පෝෂනය කර බිහිකිරීමට නිශ්චිත තල්ලුවක් පවතියි. එය සැලසුම් කෙරෙන්නේ, වඩ වඩාත් රැඩිකලීකරනය වන කම්කරු පන්තිය හා තරුනයින් ට එරෙහිවය.

නවසීලන්තයේ ප්‍රචන්ඩ ක්‍රියා සිදුව ඇත්තේ, නෝර්වේහිදී බ්‍රිවික් විසින් සිදුකල මිනිස් ඝාතනයෙන් දිරිමත්ව පමනක් නොවේ. කිහිපයක් සඳහන් කරන්නේ නම්, විස්කොන්සින් හි ඕක් ක්‍රීක් සීක දෙවොලෙහි 2012දී ෆැසිස්ට්වාදීන් සිදුකල මනුෂ්‍ය ඝාතන, 2014දී කැන්සාස්හි ඕවර්ලෑන්ඞ් පාක්හි යුදෙව් සහන මධ්‍යස්ථානයක ඝාතනය, දකුනු කැරොලයිනාහි 2015දී චාල්ස්ටන් අප්‍රිකානු-ඇමරිකානු වන්දනාකරුවන් මරා දැමීම, 2016දී ජෝ කොක්ස් යන බ්‍රිතාන්‍ය ලේබර් දේශපාලඥයා මරා දැමීම, 2017දී කැනඩාවේ ක්විබෙක් නගරයේ මුස්ලිම් පල්ලියකදී පුද්ගලයින් 9ක් මරා දැමීම, පෙන්සිල්වේනියාවේ පිට්ස්බර්ග්හි සියනාගොග් ට්‍රී ඔෆ් ලයිෆ්හි 2018දී යුදෙව් වන්දනාකරුවන් 11ක් ඝාතනය කිරීම දැක්විය හැකිය.

මෑතකදී බ්‍රිතාන්‍ය ලේබර් පක්ෂ නායකයාට පහරදීම ප්‍රතිරාවය නංවමින්, එක්සත් ජාතීන්ගේ මන්ඩලයට එරෙහි සටන් පාඨ හඬ නැඟූ පුද්ගලයෙකු විසින් පසුගිය 14දා නවසීලන්තයේ හරිත පක්ෂයේ නායක ජේම්ස් ෂෝට වෙලින්ටන් වීදියේදී පහර දෙනු ලැබින. ප්‍රහාරකයා දිරිගන්වනු ලැබුනේ, නවසීලන්තය එක්සත් ජාතීන්ගේ සංක්‍රමනික ගිවිසුමකට අත්සන් තැබීමට එරෙහිව අන්ත දක්ෂිනාංශිකයින් කන්ඩායමක් විසින් මෑතකදී පවත්වන ලද විරෝධතාවෙන් විය යුතුය.

ඕස්ට්‍රේලියාවේ හා නවසීලන්තයේ දේශපාලකයින් විසින් මුස්ලිම් විරෝධය සිතාමතාම අවුස්සනු ලබයි. ඕස්ට්‍රේලියාවේ අන්ත දක්ෂිනාංශික ස්වාධීන සෙනේට් සභිකයෙකු වන ෆ්‍රාස්ර් ඇනින්, ක්‍රයිස්ට්චර්ච් ඝාතනයට වරදකරුවන් ඊට ගොදුරුවූවන්මය යන ෆැසිස්ට්වාදී මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කලේය. මුස්ලිම් සංක්‍රමන, ප්‍රහාරයේ “සැබෑ හේතුව” වන බව ඔහු පවසා තිබේ. ඇනින්, ප්‍රමුඛ ඕස්ට්‍රේලියානු නව නාසීන් විසින් සෙන්ට් කිල්ඩා වෙරලේ පවත්වන ලද රැලියකට සහභාගී විය.

අගමැතිනිය තම පලමු මාධ්‍ය හමුවේදී පැවසුවේ, “වෛරය” උසිගන්වනවුන්ට නවසීලන්තයේ තැනක් නැත යනුවෙනි. එහෙත් ඇය වැලඳගෙන සිටින්නේ හා තම ආන්ඩුවේ හරි මැදට ගෙනැවිත් තිබෙන්නේ, විශේෂයෙන්ම ආසියානු විරෝධී හා සංක්‍රමන විරෝධී පිලිවෙත් මත 1990 ගනන්වල මුල පිහිටුවා ගන්නා ලද, වර්ගවාදී හා ජනතාවාදී, පලමුව නවසීලන්තය යන පක්ෂයයි.

ලේබර් පක්ෂය නායකත්වය දරන හවුල් ආන්ඩුවේ පාර්ශවකරුවෙකු වන පලමුව නවසීලන්තය යන පක්ෂය මුස්ලිම් විරෝධී විදේශික විරෝධය ඇවිලවීම ගැන කුප්‍රකටය. 2017 මැතිවරනයේදී ඡන්ද වලින් සියයට 7.2ක් පමනක් ලබා සිටියදීත් එම පක්ෂයට, විදේශ ඇමතිකම, ආරක්ෂක ඇමතිකම හා නියෝජ්‍ය අගමැතිකම ලබාදී ඇත.

2017 ජූනියේ සිදුවූ ලන්ඩන් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව එම පක්ෂයේ නායක වින්ස්ටන් පීටර්ස් පාර්ලිමේන්තුවේදී බලකර සිටියේ, “තම පවුල්වල සිටින” වියහැකි ත්‍රස්තවාදීන් හෙලිදරව් කරමින්, නවසීලන්තයේ “ඉස්ලාමීය ජනතාව” තම “පවුල් ශුද්ධ කර” ගත යුතු බවය. එවන් අන්තවාදයක් ගැන කිසිදු සාක්ෂියක් ඉදිරිපත් නොකර පීටර්ස්, නවසීලන්තයේදී ඔවුන් ඩැමස්කසයේ හා ට්‍රිපොලියේ සංස්කෘතිය වැලඳගනිමින් “සාමුහිකත්වයට විරුද්ධ දහමක්” දරා සිටින්නේ යයි චෝදනා කලේය. ඔහු මෙසේ පැවසීය: “එවන් ජනසමූහයන් වෙන්ව සිටිමින්, බටහිර සංස්කෘතියෙන් ලුහුටා යාමට අපේ වැසියන්ට ඉඩ සැලසිය යුතු නැත.”

පසුගිය වසරේදී පලමුව නවසීලන්ත පක්ෂය, මුස්ලිම් හා ආසියානු සංක්‍රමනිකයින්ට විරුද්ධව දඩ බල්ලන් ලිහා හරින වර්ගයේ “නවසීලන්ත චරියා ධර්ම පරීක්ෂාවක්” සඳහා නව සංක්‍රමනිකයින්ට බල කෙරෙන පාලනයක් සඳහා කැඳවුම් කලේය. පීටර්ස් පැවසුවේ “කාන්තාවන් ගව රැලක් වැනි දෙවන ගනයේ පුරවැසියන්” යයි විශ්වාස කරන සංක්‍රමනිකයින් පැමිනීම එමඟින් වලක්වනු ඇති බවයි. එම පක්ෂයේ තවත් සාමාජිකයෙක් වන රොගර් මෙල්විලී පැවසුවේ, “පකිස්ථාන, ඉන්දියානු හා වෙනත් ආසියානු වර්ගයේ ජාතිකයින් තමන්ගේ ක්‍රමය අනෙක් අය මත පැටවීමට උත්සාහ ගන්නා” බවයි.

ක්‍රයිස්ට්චර්ච් ප්‍රහාරය, ඉදිරියේ ඇති අන්තරායන් පිලිබඳ මාරක අනතුරු ඇඟවීමක් සපයයි. විසකුරු ජාතිවාදය, මිලිටරිවාදය හා සංක්‍රමන විරෝධී විදේශක නුරුස්නාව ජත්‍යන්තරව උසිගන්වනු ලබන වාතාවරනයක, 1930 ගනන්වලින් පසුව තම දරුනු අර්බුදයට මුහුනපා සිටින ධනවාදයට ෆැසිස්ට්වාදය යලි පනගන්වා ගැනීමට පදනම සපයයි. සියලු රටවල කම්කරු පන්තිය එක්සත් කරන, ජාත්‍යන්තර සමාජවාදී ව්‍යාපාරයක් ගොඩනඟමින්, ධනවාදය හා ෆැසිස්ට් ප්‍රතිගාමිත්වය අවසන් කිරීමේ අරගලයක් මඟින් එයට පිලිතුරු සැපයිය යුතුය.

Share this article: