වෙනිසියුලානු දේශසීමාව අසල ඇමරිකානු අධාර දීමේ ප්‍රකෝපකරනය සඳහා හමුදා බලමුලුගැන්වීමක් සිදුව ඇති බව වාර්තා තුලින් හෙලිවේ

Report reveals that armed troops were mobilized to force through US aid provocation on Venezuelan border

බිල් වෑන් ඕකන් විසිනි, 2019 මාර්තු 7

ට්‍රෝජන් අශ්වයෙකු වන වොෂින්ටනයේ “මානව ආධාර” රථ පෙල සංවිධානය කිරීම සමඟ, වෙනිසියුලානු මිලිටරිය හැරගිය හා කුලී භටයින්ගෙන් සැදුම්ලත් 200ක පමන හමුදා බලඇනියක් වෙනිසියුලාවේ කොලොම්බියානු දේශසීමාව ඔස්සේ පසුගිය මාසයේ බලමුලු ගන්වනු ලැබුවේ, ජනාධිපති නිකොලස් මදුරෝට එරෙහිව මිලිටරි කුමන්ත්‍රනයක් ඉලක්ක කර ගෙනය. එය එම දකුනු ඇමරිකානු රටෙහි සිවිල් යුද්ධයක් ඇවිලීමේ හැකියාව ද අන්තර්ගත කර ගනී.

බ්ලූම්බර්ග් වාර්තාවන්ට අනුව මෙම හමුදා ප්‍රකෝපකරනය අවසන් මොහොතේ ගැස්සී ගියේ, සිය වෙනිසියුලානු දේශසීමාවේ ප්‍රචන්ඩ ගැටුමක් දෙරට අතර මිලිටරි ගැටුමක් දක්වා පැතිරයා හැකියයි බියවූ කොලොම්බියානු ආන්ඩුවේ මැදිහත් වීමෙනි. වාර්තාව ඇඟවුම් කරන ආකාරයට කොලොම්බියාව තුල ඒකරාශී කල සන්නද්ධ සෙබලුන්ට නායකත්වය දී ඇත්තේ, මදුරෝ ආන්ඩුව හෙලාදැකීමෙන් පසුව කොලොම්බියාවට පලාගොස් සිටි, සැක කටයුතු චරිතයක් වන, විශ්‍රාමික ජෙනරාල් ක්ලයිවර් ඇල්කලා විසිනි. හිටපු ජනාධිපති හියුගෝ චාවේස්ගේ සමීපතමයෙක්ව සිටි හා ඔහුගේ 1992 අසාර්ථක වෙනිසියුලානු මිලිටරි කුමන්ත්‍රනයට සහභාගීවූ ඇල්කලා, ඇමරිකානු ආන්ඩුව විසින් 2011දී සහාය දක්වන ලද පලමු ජ්‍යෙෂ්ඨ වෙනිසියුලානු මිලිටරි නිලධාරියෙකු විය. කොලොම්බියාවේ ෆාක් ගරිල්ලාවරුන් සමඟ එක්ව ආයුධ හා මත් ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටින බවට ඔහුට චෝදනා එල්ලවී ඇත.

පසුගිය මාසයේදී ඇල්කලා, වොෂින්ටනය විසින් වහාම රටේ “නීත්‍යානුකූල” නායකයා ලෙස පිලිගන්නා ලද, තමා “අන්තර් වාර ජනාධිපති” ලෙස ජනවාරි 23දා තෙමේම ප්‍රකාශ කරගත්, දක්ෂිනාංශික විපාක්ෂිකයෙක් වන ජුආන් ගයිඩෝ ගැන සඳහන් නොකොට, මදුරෝට එරෙහිව නැඟී සිටින ලෙස වෙනිසියුලානු මිලිටරියෙන් ඉල්ලා සිටින විවෘත ලිපියක් නිකුකර තිබුනි.

ඇල්කෙලා නායකත්වය දුන් මිලිටරි බලවේගයන් තුල ඇමරිකාව විසින් ඉටුකරන ලද භූමිකාව කුමක් ද යන්න තවමත් පැහැදිලි නැත. 1954දී මැතිවරනයකින් බලයට පත් ජැකෝබෝ ආර් බෙන්ස්ගේ ගුවාතමාලා ආන්ඩුව පෙරලා දැමීමේ මෙහෙයුමෙහි පටන් කියුබාවේ බේ ඔෆ් පිග්ස්හි අසාර්ථකවූ ආක්‍රමනය දක්වා ද ලොව පුරා විවිධ ෆැසිස්ට් කුමන්ත්‍රන වල ද නිකරගුවා රාජ්‍යයට එරෙහි “කොන්ට්‍රා” ත්‍රස්තවාදී යුද්ධය තුල ඉටුකල ක්‍රියාකලාපය ද ඇතුලු සීඅයිඒ මැදිහත්වීම් වලට අනන්‍යවූ, මිලිටරි මැදිහත්වීම් හා ප්‍රකෝපකරනයන් සියල්ලට පොදු ලක්ෂන ගැබ්කරගත් මෙම මෙහෙයුම, දැවැන්ත ජන ඝාතනයකට හා පූර්න පරිමානයේ යුද්ධයකට තුඩු දිය හැකිව තිබුනි.

අවසානයේදී පෙබරවාරි 23දා සුලු ප්‍රමානයක ආහාර හා සැපයුම් ප්‍රමානයක් ට්‍රක් රථ කිහිපයක් යොදාගෙන බලහත්කාරයෙන් වෙනිසියුලාවට ඇතුලු කිරීමට දැරූ උත්සාහය ව්‍යසනයක් බවට පත් විය. ගයිඩෝ හා දක්ෂිනාංශික විපක්ෂය ගනන් බැලුවේ, “මානවවාදී ආධාර” උපක්‍රමය තුලින් වෙනිසියුලානු ජනතාව යූඑස්ඒඞ් මඟින් ගෙන එන දෑ ලබාගැනීමට පොරකනු ඇති බවටත්, මිලිටරියට මදුරෝ ආන්ඩුවේ අන නොතකා හැරීමට හා ඊට එරෙහිව නැඟී සිටීමට සිදුවනු ඇති බවටත්ය. අවසානයේ දේශසීමා හරහා හොරබඩු ජාවාරමේ නියුතු අපරාධකාරී කල්ලි විසින් මෙහෙයවන ලද දක්ෂිනාංශික කොටස් සුලු කන්ඩායමක් පමනක් ඊට සහභාගී විය. බෙදී නොගිය මිලිටරියට එය ලෙහෙසියෙන්ම මැඩපැවැත්විය හැකි විය. වොෂින්ටනය හා බටහිර මාධ්‍ය විසින් ගෙනගිය නිර්දය ප්‍රචාරය තිබියදීම, පොරොන්දුවී තිබුන ඩොලර් මිලියන 28ක් තරම් සොච්චම් ආධාර වැඩසටහනට ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ආන්තික කුහකකම වසං කිරීමට නොහැකි විය. ඒ, මූල්‍ය, වෙලඳාම හා තෙල් සම්බාධක සමඟින් වෙනිසියුලානු ආර්ථිකයේ ගෙල ක්‍රමානුකූලව සිර කිරීම මධ්‍යයේය. එමඟින් රටේ ආර්ථිකයට සිදුව ඇති හානිය ඩොලර් බිලියන 35ක් තරම්ය.

මෙම පලමු උත්සාහය අසාර්ථක වීමෙන් පසුව වොෂින්ටනය හා එහි වෙනිසියුලානු හෙංචයියන් නව ප්‍රකෝපකරනයන් සූදානම් කරමින් සිටී. ඒ යුද ප්‍රකාශ කිරීමට සමාන වන දන්ඩන සම්බාධක පැනවීමට ද සූදානම් වෙමිනි.

මිලිටරි මැදිහත් වීමක් සඳහා සහයෝගය ගොනු කිරීමේ ව්‍යායාමයක නිරත වෙමින් ලතින් ඇමරිකාව පුරා දින 11ක් සංචාරයක් නිමා කරමින් ගයිඩෝ, 4දා පෙරලා වෙනිසියුලාවට පැමිනියේය. ඒ සාපරාධී කටයුතු පිලිබඳ පරීක්ෂනයකට මුහුනපා සිටියදී දක්ෂිනාංශිකයාට රටින් පිටවීම තහනම් කරමින් අධිකරන නියෝගයක් පනවා තිබියදී බලධාරීන් ඔහු අත්අඩංඟුවට ගතහොත් ඇමරිකාව සෘජුව මැදිහත් වන බවට තර්ජනය කර තිබූ තත්වයකය. මදුරෝ ආන්ඩුව ගයිඩෝට රටට ඇතුලු වීමට ඉඩ හරිමින් පැහැදිලිවම මෙම ප්‍රකෝපකරනය මඟ හැරීමට තීන්දු කලේ ය. ඇමරිකාව හා එහි සහචරයින්ගේ තානාපතිවරු රොත්තක් පිරිවරාගෙන ඔහු රටට ඇතුලු විය.

බ්ලූම්බර්ග් වාර්තාව එක් ලතින් ඇමරිකානු තානාපතියෙක් උපුටා දක්වමින් මෙසේ පැවසීය. “වඩාත් ආක්‍රමනකාරී ඇමරිකානු පියවරයන්ට ඉඩ සලසමින් මදුරෝ කටයුතු කරනු ඇතැයි ද එමඟින් වෙනිසියුලාව තුල අස්ථාවරත්වය දැඩි වනු ඇතැයි ද යන මූලෝපායක් ඇමරිකාව විසින් අනුගමනය කරන බව පෙනී යයි” යනුවෙන් ඔහු පවසා තිබුනි.

ඇමරිකාවේ ජාතික ආරක්ෂාවට “අසාමාන්‍ය හා අතිසාමාන්‍ය තර්ජනයක්” ලෙස දක්වමින් වෙනිසියුලාව සම්බන්ධ “ජාතික ආරක්ෂාව” පිලිබඳ ප්‍රකාශනය තවත් දීර්ග කිරීමේ නියෝගයක් කොන්ග්‍රස් මන්ඩලයට ඉදිරිපත් කරමින් ට්‍රම්ප් ආන්ඩුව කටයුතු කර තිබුනි.

වොෂින්ටනය වෙනිසියුලාවට එරෙහි අවසානයක් නැති ආක්‍රමනකාරිත්වයක් පවත්වාගෙන යන තත්වය යටතේ යථාර්තය ඔලුවෙන් හිටවූ “ජාතික හදිසි තත්වය පිලිබඳ” නියෝගය පලමුවෙන්ම ක්‍රියාත්මක කලේ, 2015 මාර්තුවේදී ට්‍රම්ප්ගේ ඩිමොක්‍රටික් පූර්වගාමියා වූ බරක් ඔබාමා විසිනි. එමඟින් එරටට විරුද්ධ නිතිපතා දැඩි කරන ලද ආර්ථික සම්බාධක හා මිලිටරි තර්ජන සඳහා නීතිමය පදනම දමනු ලැබීය.

වෙනිසියුලාව මඟින් එල්ල කරනු ලබන “අතිසාමාන්‍ය තර්ජනය” අන් කිසිවක් නොව, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ දෑස් හමුවේ ලොව විශාලතම ඒවායයි සලකනු ලබන එරට තෙල් නිධිවල පාලනය, ඇමරිකානු බලශක්ති සමාගම් යටතේ නොව, බීජිනය හා මොස්කෝව සමඟ කැරකස් පාලනය විසින් පවත්වාගෙන යනු ලබන සමීප දේශපාලන හා ආර්ථික සම්බන්ධකම් වලට ගැලපෙන පරිදි පවත්වාගෙන යාමයි. දිගහැරෙමින් ඇති කුමන්ත්‍රනය, “අන්තර්වාර ජනාධිපති” යන ජුවාන් ගයිඩෝගේ ස්වයං ප්‍රකාශනය පිලිබඳ කතාන්තරය මත කේන්ද්‍රගත කර තිබෙන්නේ එබැවිනි.

එම නියෝගයට වෙනිසියුලානු ආන්ඩුවේ ප්‍රතිචාරය, මෙසේ පැවසීමෙන් එලිදැක්වුනි. “ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම පිනිස ලැබෙන හැම අවස්ථාවක්ම මඟ නොහරින, තම අවශ්‍යතා සඳහා වාසි සලසා ගැනීමට ක්‍රමානුකූලව බලය යොදවන ලෝකයේ සිටින ලොකුම මිලිටරි බලවතා, වෙනිසියුලාව “තර්ජනයක්” ලෙස හුවාදැක්වීමට දරන උත්සාහය පිලිබඳ සත්‍ය කාරනය ලොව බෙහෝ රටවලින් වසං කල නොහැකිය”

වෙනිසියුලාවට ප්‍රහාර එල්ල කිරීමේ මූලිකත්වය ගෙන තිබෙන ඇමරිකානු නිලධාරීන් දෙදෙනො වන ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් හා වෙනිසියුලාව පිලිබඳ වොෂින්ටන්හි විශේෂ නියෝජිත එලියට් ඒබ්‍රහම් යන දෙදෙනාම එරටට විරුද්ධ පියවර දැඩි කරන බවට තර්ජනය කර ඇත.

බෝල්ටන් මෙසේ පවසා ඇත. වෙනිසියුලානු ආන්ඩුව සමඟ ගනුදෙනු කරන “මූල්‍ය සමාගම් වලට සම්බාධක වලට මුහුනදීමට සිදුවනු ඇතැයි” වොෂින්ටනය දැනුම්දී ඇති බව යි.

එලෙසම ඒබ්‍රහම් 5දා පැවති මාධ්‍ය හමුවකදී පවසා තිබුනේ, වෙනිසියුලාව සමඟ වෙලඳාමේ යෙදෙන සමාගම් හා රාජ්‍යයන්ට විරුද්ධව දෙවැනි ගනයේ සම්බාධක පැනවීමට “පැහැදිලිවම හැකි” බවය.

වෙනිසියුලාවට එරෙහි මිලිටරි මැදිහත්වීමක් පිලිබඳ සැලසුම් වොෂින්ටනය සතුව ඇත්දැයි විමසූ කල ඒබ්‍රහම් පැවසුවේ, “අපට සැලසුම් රාශියක් තිබෙනවා, ගත යුතු පියවර රාශියක් අප සතුව තිබෙනවා” යනුවෙනි. එසේම “සාමකාමී පරිවර්තනයක” කොටසක් ලෙස මදුරෝ ආන්ඩුව පෙරලා දැමීම සඳහා ආර්ථික හා මූල්‍යමය පීඩනය යෙදීම ඇමරිකාවේ පිලිවෙත බව කියා සිටින අතරම ඔහු “සියලු විකල්පයන් මේසය මත” තිබෙන බව ද පැවසීය.

ඒබ්‍රහම් වනාහි නිකරගුවාවට එරෙහිව “කොන්ට්‍රා” ත්‍රස්තවාදීන් මෙහෙයවීම, අරමුදල් සැපයීම හා සන්නද්ධ කිරීම පිලිබඳ නීති විරෝධී මෙහෙයුමකට සම්බන්ධ වීම ගැන 1986දී කොන්ග්‍රසයට බොරු කීම ගැන නඩුවෙන් වරදකරුවෙකු වූ පුද්ගලයෙකි. ට්‍රම්ප් ආන්ඩුව විසින් වෙනුසියුලාවේ විශේෂ නියෝජිතයා ලෙස ඔහු පත්කරනු ලැබීම වනාහි, එරටට එරෙහිව සූදානම් කෙරෙමින් තිබෙන සාපරාධී ආක්‍රමනිකත්වය ගැන පැහැදිලි ඇඟවුමකි.

රජයේ සේවකයින් නියෝජනය කරන වෘත්තීය සමිති නිලදරුවන් කන්ඩායමක් හමුවීමෙන් පසුව ගයිඩෝ 5දා පැවසුවේ, ඔවුන්ගේ සමිති වැඩවර්ජන මාලාවක් දියත් කරනු ඇති බවයි. කියනු ලබන මෙම වැඩවර්ජන පැවැත්වෙන දින වකවානු මෙන්ම කුමන කම්කරුවන් ඊට සහභාගී වන්නේදැයි ඔහු හෝ නිලධාරීන් විසින් ප්‍රකාශයට පත්කරනු ලැබුවේ ද නැත.

ඇමරිකානු අධිරාජ්‍යවාදයේ තන්ත්‍ර මාරු මෙහෙයුම සාර්ථක වේය යන බලාපොරොත්තුවෙන් සමිති නිලධරයේ කොටසක් ගයිඩෝ පිටුපස පෙලගැසී සිටිති.

වෙනිසියුලානු කම්කරුවෝ, අති උද්ධමනය, වැඩිවන විරැකියාව හා වැඩවර්ජන ද විරෝධතාවන් ද මැඩීමේ තතු හමුවේ, සිය ජීවන කොන්දේසි කාබාසිනියා වීමට මුහුනපා සිටිති. ආර්ථිකය මත පෞද්ගලික පාලනය සැබවින්ම වර්ධනය වීම හා මූල්‍ය අංශයේ ලාභ තර වීම හමුවේ වුවත් “බොලිවාරියන් සමාජවාදය” ගැන කයිවාරු ගසන මදුරෝ ආන්ඩුව, රටේ ධනපති පන්තියේ අවශ්‍යතා සුරකින අතර ආර්ථික අර්බුදයේ මුලු බරම කම්කරු පන්තිය මත පටවයි.

කෙසේ වෙතත්, ඇමරිකානු මැදිහත්වීමේ පිටුබලය ලබමින් වෙනිසියුලානු කතිපයාධිකාරයේ නියෝජිතයින් වන ගයිඩෝ හා අන්ත දක්ෂිනාංශික නියෝජිතයින් බලයට පත්වීම තුලින් සිදුවනවා ඇත්තේ, රටේ කම්කරු පන්තියට එරෙහිව රුධිර ස්නානයක් සංවිධානය කරමින්, බැංකු, මහ ව්‍යාපාරික හා විදෙස් ප්‍රාග්ධනයේ අවශ්‍යතා ඉටුකරන සෘජු ආඥදායක්ත්වයක් ඇටවීම පමනි.

වෙනිසියුලාව වෙලාගෙන ඇති ප්‍රගාඪ ආර්ථික හා දේශපාලන අර්බුදයට, ඇමරිකා දෙකේම කම්කරුවන්ගේ හා පීඩිත ජනතාවගේ සහාය ඉල්ලා සිටිමින්, ධනපතියන් සතු වත්කම් අත්පත් කර ගැනීමට සටන් කරන හා රටේ දැවැන්ත තෙල් සම්පත්වල ධනය පොදු අයිතිය යටතට ගෙන එන කම්කරු පන්තියේ ස්වාධීන මැදිහත් වීමකින් තොර ප්‍රගතිශීලී විසඳුමක් ඇත්තේ නැත.

ඇමරිකාවේ ද යුරෝපයේ හා ලොව පුරා කම්කරුවන්, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ මැදිහත්වීමට එකහෙලා විරුද්ධව සිය අරගල, පොදු සතුරා වන ධනේශ්වර ක්‍රමයට එරෙහිව, වෙනිසියුලාවේ ද ලතින් ඇමරිකාව පුරා ද කම්කරු පන්තියේ අරගල සමඟ එක්සත් කල යුතුය.

Share this article: