හිටපු ඇමරිකානු තානාපති රොබට් බ්ලේක් ශ්‍රී ලංකාව ඇමරිකානු කඳවුරේ රැඳී සිටීම අවධාරනය කරයි

සමන් ගුනදාස විසිනි, 2019 මැයි 21

ශ්‍රී ලංකාව තුල 2006 සිට 2009 දක්වා හිටපු ඇමරිකානු තානාපතිවරයා වූත් අනතුරුව දකුනු හා මධ්‍යම ආසියාව පිලිබඳ උප රාජ්‍ය ලේකම් ලෙස 2009 සිට 2013 දක්වා ඇමරිකා එක්සත් ජනපද ආන්ඩුවට සේවය කලා වූත් රොබට් ඕ බ්ලේක්, මැයි 7දින කොලඹදී දේශනයක් පැවැත්විය. ඉන්දියාවේ හා ඉන්දුනීසියාවේ සංචාරයකින් අනතුරුව ලංකාවට පැමිනි ඔහුගේ දේශනය තුල එක්සත් ජනපදයේ චීනයට එරෙහි යුද මූලෝපාය තුල ලංකාව පිහිටුවා ගැනීමේ එල්ලයන් ඉස්මතු කර තිබේ.

බ්ලේක් දැනට වොෂින්ටනයේ පදනම්ව ඇති මැක්ලාර්ටි ඇසෝසියේට් ආයතනයේ ඉන්දියාව හා දකුනු ආසියාව පිලිබඳ ජ්‍යේෂ්ඨ අධ්‍යක්ෂකවරයකු ලෙස ක්‍රියා කරයි. ලංකාවේ පාත්ෆයින්ඩර් නම් රාජ්‍ය නොවන ආයතනයේ ආරාධනය මත කල ඔහුගේ දේශනයේ මාතෘකාව වූයේ “වොෂින්ටනයෙන් යාවත්කාලීන කිරීමක්; චීනය හා දකුනු ආසියාව පිලිබඳ එක්සත් ජනපද විදේශ පිලිවෙත හා ශ්‍රී ලංකාවට එහි පවතින අර්ථය” යන්නයි.

දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට (එල්ටීටීඊ) එරෙහි ශ්‍රී ලංකාවේ ආන්ඩුවේ වර්ගවාදී යුද්ධයේ අවසන් වකවානුව තුල එක්සත් ජනපද සහය ආන්ඩුවට ලබා දීමේදී තීරනාත්මක ක්‍රියා කලාපයක් ඉටු කල බ්ලේක් එතැන් පටන් දිගටම ලංකාව තුල එක්සත් ජනපද මූලෝපායන් සැකසීමේදී ක්‍රියාශීලීව මැදිහත් වූ පුද්ගලයෙකු විය. සන්ඬේ ටයිම්ස් පුවත්පත සදහන් කල පරිදි පසුගිය ඔක්තෝබර් මස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් සිදු කරනු ලැබූ ආන්ඩු පෙරලියෙන් උද්ගත වූ තත්වයේදී සිරිසේනගේ නීති උපදේශකයන් දෙදෙනෙකු සමග හා එක්සත් ජාතික පක්ෂය සමග සාකච්ඡා පවත්වමින් ඔහු තීරනාත්මක ක්‍රියා කලාපයක් ඉටු කලේය. එසමයේ දී ඬේලි මිරර් පුවත් පතට ලිපියක් ලියමින් අගමැති ලෙස පත්කල මහින්ද රාජපක්ෂ කෙරෙහි වොෂින්ටනයේ කෝපය විදහා දක්වමින් ඔහු සෘජුවම කියා සිටියේ “දිග හැරෙමින් ඇති නව ඉන්දු-පැසිෆික් මහා තරගය තුල නායකයෙක් හා ජයග්‍රාහකයෙක් ලෙස ශ්‍රී ලංකාව ස්ථානගත වීමට නම් වත්මන් දේශපාලන අවුල් ජාලය විසඳා ගත යුතු” බවයි. මෙහිදී ඔහු “ඉන්දු-පැසිෆික් මහා තරගය” ලෙස හඳුන්වන්නේ චීනය යුද උපායිකව වැටලීමේ එක්සත් ජනපද පිලිවෙතයි.

බ්ලේක් පසුගියදා කල කතාවේ මුල් කොටස තුල චීනයේ ආර්ථික නැගීම හා එහි “එක් තීරුවක් එක් මාවතක්, (Belt and Road) මූලෝපාය (ආසියාව හා යුරෝපය අතර පැරනි සේද මාවත වටා චීන වෙලඳාම වැඩි දියුනු කිරීම) පිලිබඳව දීර්ඝ ලෙස කරුනු දක්වයි. “පසුගිය වසර 10තුල නාටකාකාර ලෙස යමක් වෙනස් වී ඇත්නම් ඒ පෙරමුනු ගනනාවකින් ආසියාව තුල චීනයේ බලපෑම ඉහල යාම හා එම වර්ධනයන් පිලිබඳ වොෂින්ටනයේ එදිරිවාදී හා ද්විපාර්ශවිකව වැඩෙන ප්‍රතික්‍රියාවයැ”යි ඔහු කතාව ආරම්බයේදීම සඳහන් කලේය.

එක් තීරුවක් එක් මාවතක් මූලෝපාය වටා චීනය විසින් සපයන දැවැන්ත සම්පත් අත්කර ගැනීමට රටවල් ක්‍රියා කරන නමුත් චීනයේ ලිබරල් නොවන පිලිවෙත් කෙරෙහි ඒවායේ කනස්සල්ල ප්‍රකාශයට පත් වන බව කියා සිටි ඔහු, එසේ වුවද චීනය හා එක්සත් ජනපදය අතර තෝරා ගැනීමක් පිලිබඳව කතා කිරීමට මෙම රටවල් අකමැති වන බවද කියා සිටියේය.

චීනයේ රාජ්‍යදූත නය දීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරාය මුලු ලොවටම අනතුරු ඇඟවීමක් සපයා ඇති බව සඳහන් කල ඔහු ලාබ නොලැබිය හැකි ව්‍යපෘති වලට නයදී ඒවා අත් කර ගැනීමට චීනය විසින් යොදන පීඩනය එමගින් ප්‍රකට වී ඇති බව කියා සිටියේය. ඇමරිකාව විසින් පසුගිය ඔක්තෝබරයේ දියත් කල ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සංස්ථාව මගින් චීන අරමුදල් සැපයීමට ප්‍රතිතුලන කාර්යයක් ඉෂ්ඨ කරන බව ඔහු කියා සිටියේය. එහෙත් චීනය එක් තීරුවක් එක් මාවතක් මූලෝපාය ආශ්‍රිතව සපයන ඩොලර් ට්‍රිලියනයක පමන සම්පත් වලට එහි ඩොලර් බිලියන 60ක් වැනි මුදලට කිට්ටු වීමටවත් නොහැකි බව ඔහු පිලිගත්තේය.

ආසියානු කලාපය තුල ඇමරිකානු ආයෝජන පසුගිය දශකය තුල දෙගුනයකටත් වඩා ඉහල දමා ඇති බව සඳහන් කල ඔහු මේ කලාපයේ විශාලතම විදේශ ආයෝජකයා එක්සත් ජනපදය බව කියා සිටියේය.

මෙම පසුබිම තුල ඇමරිකානු පරිපාලනය මෙම කලාපය තුල ආරක්ෂාව සඳහා කැපවීම අගය කල ඔහු එක්සත් ජනපදයේ පැසිෆික් බලඇනිය, ඉන්දු-පැසිෆික් බලඇනිය ලෙස නම් කල බව මතක් කලේය. මෙම කලාපයේ බොහෝ රටවල ඇමරිකානු මිලිටරි බැඳීම් පවත්වාගෙන යන බවත් ඒකාබද්ධ යුද ව්‍යායාම හා මිලිටරි පුහුනුව සැපයීම ආදියේ දී ඉදිරියෙන්ම සිටින්නේ ඇමරිකාව බවත් ඔහු කියා සිටියේය.

“මා තානාපති ලෙස සිටි කාලයෙන් පසුව මේ වන විට අපගේ (ඇමරිකාවේ හා ලංකාවේ) මිලිටරි අතර සම්බන්ධතාව දැවැන්ත ලෙස වැඩී තිබීම ගැන මා සතුටු වනවා යැ”යි ඔහු කීවේය. ලංකාවේ මුහුදු ආරක්ෂක කටයුතු සඳහා ඩොලර් මිලියන 39ක් ඇමරිකාව ලබා දෙන බවට නිවේදනය කර ඇති බවද ඔහු පැවසීය. මෙම වැඩ කටයුතු චීනයට එරෙහි මිලිටරි වැටලීමට ඇති සම්බන්ධතාව ඉස්මතු කරමින් දකුනු චීන මුහුද ප්‍රධාන කොට කලාපයේ නිදහස් නාවික ගමනාගමනය තහවුරු කිරීමට ඇමරිකාව තදින්ම කැපවී ඇති බව ඔහු සඳහන් කලේය.

අප්‍රේල් 21 පාස්කු ඉරිදා ශ්‍රී ලංකාව තුල ක්‍රිස්තියානි පල්ලි හා සංචාරක හෝටල් වලට එල්ල කෙරුනු ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාරයෙන් පසුව ශ්‍රී ලංකාව මුහුන දී ඇති නව අභියෝගයන් තුල ඇමරිකානු සබඳතා වර්ධනය කර ගත හැක්කේ කෙසේද යන්න පිලිබඳව ඔහු කතා කලේය.

2015ට පෙර පැවති රාජපක්ෂ ආන්ඩුවේ චීනයට නැඹුරු පිලිවෙත නිසා එම ආන්ඩුව වෙනස් කිරීමේ තන්ත්‍ර වෙනසක් සඳහා ක්‍රියාත්මක වූ එක්සත් ජනපදය සිරිසේන - වික්‍රමසිංහ ගේ ආන්ඩුව බලයට දමා ගැනීමට පිටුබලය සැපයීය. ලංකාව තුල ධනපති රාජ්‍යය ශක්තිමත් කර ගැනීම ආසියා පැසිෆික් කලාපය තුල තම බලපෑම සහිත රටවල කම්කරු පන්තිය මැඩ තබා ගනිමින් චීනයට එරෙහි මිලිටරි වටලෑම ශක්තිමත් කර ගැනීමේ එක්සත් ජනපද වුවමනාවේ ඓන්ද්‍රිය කොටසකි.

එක්සත් ජනපදයට 2001 සැප්තැම්බර් 11 එල්ලවූ ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධ අත්දැකීම ලංකාවට වැදගත් වන බව පැවසූ බ්ලේක් එහිදී සිදුවූ වැරදි ලෙස ආන්ඩුවේ ඔත්තු බැලීමේ ව්‍යුහය පුලුල් කිරීමට සිවිල් ලිබරලුන්ගේ විරුද්ධ වීම හා රහස් ඔත්තු සංවිධාන හා නීතිය ක්‍රියාත්මක කරන ආයතන අතර සන්නිවේදනයේ දුර්වලතාවය පෙන්වා දුන්නේය. නමුත් එය සත්‍යය ආවරනය කිරීමකි.

සැප්තැම්බර් 11 එක්සත් ජනපදයට එල්ල කෙරුනු ත්‍රස්තවාදී ප්‍රහාරය හා ලංකාව තුල පාස්කු ඉරිදා එල්ල වුනු ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් පවතින මූලික සමානත්වය වන්නේ මෙම ප්‍රහාරයන් පිලිබඳව ආන්ඩුවේ හා ආරක්ෂක අංශ වල ඉහලම ස්ථරය හොඳින් දැන සිටියදීම මෙම ප්‍රහාරයන් සිදු වීමයි. අද දක්වාම සැප්තැම්බර් 11 ප්‍රහාරයේ වටා පිටාව පිලිබඳ තොරතුරු පැහැදිලි කර නොමැති අතර ලංකාවේ තත්වය ද එයමය.

ඇමරිකාවේ සිදුවූ මෙම ප්‍රහාරයන් අනතුරුව යොදා ගනු ලැබුවේ “ත්‍රස්තයට එරෙහි යුද්ධය” යන කවරය යටතේ 2001දී ඇෆ්ගනිස්තානයද, 2003දී ඉරාකයද, ලිබියාව හා සිරියාව තුල තන්ත්‍ර මාරු කිරීමේ යුද්ධද ඇතුලු ලෝකයේ රටවල් දුසිම් ගනනක ජන ඝාතන හා වධ දීම් ආදිය කර ගෙන යාමට හා ඇමරිකාව තුල ව්‍යවස්ථාපිත අයිතීන්ට තියුනු ප්‍රහාරයක් එල්ල කිරීමටය. ලංකාවේ දී මෙම ප්‍රහාරය සමඟම “අන්තවාදයට එරෙහි වීමේ” නාමයෙන් රුදුරු ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත හා හදිසි නීතිය ක්‍රියාවට දැමූ අතර මේ වන විට රටතුල එක් පසෙකින් වාර්ගික-ආගමික භේද අවුස්සා වර්ගෝත්තමවාදී හැඩිරැලවල් පාරට බස්සා ඇති අතර අනෙක් පසින් යුද සමයේ පැවති මෙන් හෝ ඊටත් එහා යන අයුරින් හමුදාව හා පොලිසිය සෝදිසි මෙහෙයුම් හා අත්තනෝමතික අත් අඩංගුවට ගැනීම් කරා මෙහෙයවා රාජ්‍ය ත්‍රස්තය රට පුරා මුදා හැර ඇත.

නය උගුලක හිරවී ඔද්දල් වෙමින් ඇති ආර්ථික අර්බුදය හමුවේ සියලු බර වැඩ කරන ජනයා මත පැටවීමේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග ක්‍රියාවට දමමින් සිටින ආන්ඩුවට එරෙහිව දුම්රිය හා සෞඛ්‍ය සේවකයන් මෙන්ම ගුරුවරුන්ද මේ වසරේ සටනට පිවිසි අතර සමස්ත කම්කරු පන්තිය පුරාම ජීවන වියදම ඉහල යාම හා බදු පැනවීම් වලට එරෙහි කෝපය වැඩෙමින් ඇති පසුබිමක මෙම ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් උද්ගත කර ඇති තත්වය මෙම සටන් පුපුරා යාම සමග ප්‍රතිමුඛ වී තිබේ. තැපැල්, විශ්ව විද්‍යාල අනධ්‍යයන, ගුරු හා දුම්රිය වෘත්තීය සමිති නායකයන් ඒ තැන්වල ඉදිරියට ආ කම්කරු අරගල වලට ඇබ ගැසීමට මෙම තත්වය යොදා ගෙන තිබේ.

බ්ලේක් විසින් කල කතාවෙන් අනතුරුව ඬේලි මිරර් පුවත් පත සමග කල සාකච්ඡාවකදී කලාපයේ ත්‍රස්තවාදය පරාජය කිරීමට ඇමරිකාවට දිය හැකි සහය කුමක්දැයි ඇසූ ප්‍රශ්නයකට පිලිතුරු ලෙස ඔහු පවසා ඇත්තේ සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් පසු එක්සත් ජනපදයේ රහස් ඔත්තු ඒජන්සි හා ආරක්ෂක ඒජන්සි ධවල මන්දිරයේ සම්බන්ධීකරනය යටතේ ඒකාබද්ධව ක්‍රියා කිරීම නිසා ඉන් පසු එක්සත් ජනපදයට බාහිර ප්‍රහාරයකින් ආරක්ෂා වීමට ඉඩ ලැබුනු බවත් දැනටමත් ඇමරිකාවේ එෆ්.බී.අයි. (Federal Bureau of Investigations) රහස් ඔත්තු සංවිධානයේ කන්ඩායමක් ලංකාවට එවා ඇති බවත් එම සංවිධානය සමග කරන වැඩ කටයුතු වැදගත් වන බවත්ය. එල්ටීටීඊට එරෙහි යුද සමයේදී එවක ආරක්ෂක ලේකම් ගෝඨාබය රාජපක්ෂ පවත්වා ගෙන ගිය ආකාරයට රට තුල පවතින විවිධ ඔත්තු බැලීමේ සංවිධාන හා හමුදා අතර සම්බන්ධිකරනයක් හා ඒ වෙනුවෙන් ඉහල බලයක් සහිත තාක්ෂනික නිපුන කන්ඩායමක් ඇති කිරීමේ වුවමනාව පිලිබඳව අවධාරනය කර තිබේ.

මෙය වර්ගවාදී යුද සමයේ කරගෙන ගිය ආකාරයට හෝ ඊටත් වඩා රුදුරු ලෙස කම්කරු පන්තිය හා දුගී ජනයා මත රාජ්‍ය මර්දනය පැටවීමට රාජ්‍යයේ පීඩක යන්ත්‍රය ශක්තිමත් කර ගැනීමේ එල්ලයකි. මේ ආකාරයේ රහස් ඔත්තු ජාලයක ප්‍රාථමික එල්ලය වන්නේ, ධනපති රාජ්‍යයේ අවශ්‍යතාවන්ට අනුව ප්‍රයෝජන ගැනීම එල්ලකර ඇති දැඩි කරන හෝ වැඩීමට ඉඩ හරින බවට ඇති තරමි සාක්ෂි ඇති අන්තවාදී ආගමික හා වාර්ගික ත්‍රස්තවාදී කන්ඩායම් නොව, පීඩනයට එරෙහිව සටනට පිවිසෙන කම්කරු පන්තිය, ශිෂ්‍යයින්, තරුනයින්, ගොවීන් හා දුගීන් මැඩීමයි.

වොෂින්ටනය සමඟ සමීප මෙම හිටපු ඇමරිකානු රාජ්‍ය තන්ත්‍රිකයා ගෙන් විරුද්ධ පක්ෂ නායක මහින්ද රාජපක්ෂ හමුවක් ඉල්ලා ගෙන තිබෙන අතර පලවී ඇති තොරතුරු අනුව බ්ලේක් විසින් රාජපක්ෂගේ දේශපාලන එල්ලයන් පිලිබඳව එහිදී දීර්ඝ ලෙස විමසා ඇත. රාජපක්ෂගේ ආන්ඩුවේ පැවති චීන නැඹුරුව නිසා එක්සත් ජනපදය විසින් ඔහු ඉවත් කිරීමට ක්‍රියා කිරීමේ පසුබිම තුල ඇමරිකානු අධිරාජ්‍යවාදයට තමන්ගේ යටහත් බව හා ලැදියාව තහවුරු කිරීමට රාජපක්ෂ මෙම හමුව යොදා ගත් බවට සැකයක් නැත. රාජපක්ෂ අගමැති බවට පත් කරමින් පසුගිය ඔක්තෝබරයේදී සිරිසේන සිදු කල ආන්ඩු පෙරලියට ඇමරිකාවේ සහය නොලැබීම ඊට ප්‍රධාන අභියෝගයක් වූ බව නොරහසකි.

බ්ලේක් ගේ හමුවෙන් පසුව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ඇලේනා ටෙප්ලිට්ස් සිය දේශපාලන නිලධාරී ඇන්තනි රෙන්සුලීද සමඟ රාජපක්ෂ හමුවීමට මැයි 9දින ඔහුගේ නිල නිවෙසට යාමෙන් ඉස්මතු වන්නේ වැඩෙන ආර්ථික - දේශපාලන අර්බුදය හමුවේ චීනයට එරෙහි සිය මූලෝපායික අවශ්‍යතාවයන් ඉටු කර ගැනීමට පවතින විකල්ප පිලිබඳව ඇමරිකානු අධිරාජ්‍යවාදයේ පවතින උත්සුකතාවයයි.

Share this article: