වතු සමිති මිලිටරිය සහ පොලිසිය සමග “ආරක්ෂක කමිටු” ඇටවීමට සමාගම් කල යෝජනාවට එකඟවෙති

එම්. දේවරාජා විසිනි, 2019 මැයි 27

මැයි 7 වෙනිදා ලංකා හාම්පුතුන්ගේ සම්මේලනය සමග පැවති සාකච්චාවක දී ලංකා කම්කරු කොන්ග්‍රසයේ (සීඩබ්ලිව්සී) නායකයන් වැවිලි කර්මාන්තය “ත්‍රස්තවාදී ප්‍රහාරවලින් ආරක්ෂා කිරීම සඳහා” පොලීසිය සහ මිලිටරිය සමග එකාබද්ධව වතු තුල ආරක්ෂක කමිටු පිහිටුවීම සඳහා හාම්පුතුන් කල යෝජනාවකට එකඟතාවය ප්‍රකාශ කර ඇත.

මැයි 5 වෙනිදා ජාතික කම්කරු සමිතියේ (එන්යූඩබ්ලිව්) නුවරඑලිය දිස්ත්‍රික් නායකයන් සමග සාකච්චාවක නිරත වූ එහි පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. තිලකරාජ් “ආන්ඩුව ක්‍රියාවට දමා ඇති නව නීතිවලට අවනත වෙමින් විමර්ශන මෙහෙයුම් වල දී ආරක්ෂක හමුදාවලට” සහයෝගය දිය යුතු බව පැවසීය.

මැයි 8 වෙනිදා සූර්යකාන්ති විද්‍යුත් පුවත්පත ට කල ප්‍රකාශයක දී සන්නද්ධ හමුදා උත්කර්ෂයට නැන්වූ කඳුරට ජනතා පෙරමුනේ (යූපීඑෆ්) නායක වී. රාධක්‍රිෂ්නන් මෙසේ සඳහන් කලේ ය: “ත්‍රිවිධ හමුදාවේ ක්‍රියාන්විතයන් නිසා තත්වයේ ප්‍රගතියක් ඇති වී තිබේ. අප සන්නද්ධ හමුදාවල ක්‍රියාන්විතයන් අගය කල යුතුය. මහජනතාවගේ සහයෝගයත් ඔවුන්ට ලැබෙනවා. එම ක්‍රියාන්විතයන් දිගටම කරගෙන යා යුතුයි. මෙම සුවිශේෂ තත්වයට (ත්‍රස්තවාදී ප්‍රහාර) හේතුව පසුගිය කාලයේ පැවති අසීමිත නිදහසයි.”

කම්කරුවන්ගේ වැටුප්, ජීවන කොන්දේසි සහ සමාජ සුබසාධන අයිතීන් ගැන තුට්ටුවකට නොසලකා හාම්පුතුන්ගේ ලාභ මඩි තර කිරීමට කැපවී සිටින වතු සමිති පලල් කම්කරු විරෝධයක් මතුවෙද්දී එය නොතකා පාවාදීමේ ගිවිසුමක් අත්සන් කලේ ජනවාරි මාසයේ ය. මේ සමිති දැන් පෙරට පැන හාම්පුතුන්ගේ සංගමයේ යෝජනාව හිස් මුදුනෙන් පිලිගෙන තමන් ඊනියා ආරක්ෂක කමිටුවලට ගාල්කිරීමට දරන තැත කම්කරුවන් ප්‍රතික්ෂේප කල යුතුය. එවන් කමිටුවලින් ප්‍රවේශම් විය යුතුය.

වතු කම්කරුවන් සියයට සීයකින් වැටුප් වැඩිකිරීමක් ඉල්ලන විට ඊට විරුද්ධව කඩා පැන්න හාම්පුතුන්ගේ සංගමය වතුකරය ත්‍රස්තවාදයෙන් රැකීමට ආරක්ෂක කමිටු පිහිටුවිය යුතුබවට කරන යෝජනාව ගැන කම්කරුවන් සුපරීක්ෂාකාරී විය යුතුවා මෙන්ම එම යෝජනාව ප්‍රතික්ෂේප කල යුතුය.

මන්ද? මේ කමිටු කම්කරුවන් රැකීමට තනන ඒවා නොව, ඔවුන්ට එරෙහිව අටවන ඒවා වන බැවිනි.

ත්‍රස්තවාදය මැඩීමේ නමින් ආන්ඩුව හදිසි නීතිය පනවා දසදහස් සංඛ්‍යාත සොල්දාදුවන් සහ පොලිස් භටයන් මුදාහැර දැන් ගෙන යන මර්දනයේ ඉලක්කය අරගලයට ඇදෙන කම්කරුවන් මැඩීමයි. අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරය යොදාගනිමින් අවුස්සා ඇති මුස්ලිම් විරෝධී ව්‍යාපාරයේ ද ඉලක්කය වන්නේ කම්කරු පන්තිය බෙදා වෙන්කර දුර්වල කර ඔවුන්ගේ අයිතීන් තලා දැමීමයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අප්‍රේල් 25 වෙනිදා කැඳවුම් කල සර්ව පාක්ෂික සම්මේලනයට සහභාගී වූ ආන්ඩුවේ පාර්ශවකරුවන් වන එන්යූඩබ්ලිව්, යුපීඑෆ්, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුනේ (ඩීපීඑෆ්) සහ සීඩබ්ලිව්සී නායකයෝ රුදුරු හදිසි අවස්ථාව පැනවීමට පූර්න අනුමැතිය පල කලහ.

මෙම හදිසි නීති මගින් කම්කරුවන් තම අයිතීන් සඳහා දියත් කරන වර්ජන, විරෝධතා වෙනත් උද්ඝෝෂන ක්‍රියා අත්‍යවශ්‍ය සේවා නියෝග යටතේ නීති විරෝධී කල හැකිය. තවද කම්කරු අරගල ත්‍රස්තවාදී ක්‍රියා ලෙස ඒවා හංවඩු ගසා සටන්කාමීන් අත්අඩංගුවට ගැනීමට සහ සිරකිරීමට මෙම නීති යොදාගත හැකිවේ.

ආන්ඩුව මෙම මර්දන නීති පනවා ඒවා ක්‍රියාවට දැමීමට මිලිටරිය හා පොලිසිය යොදා ඇත්තේ ත්‍රස්තවාදය මැඩීමේ මුවාවෙන් ඊට වැඩිදෙයක් සඳහා ය. ත්‍රස්තවාදය මැඩීම ගැන බෙරිහන් දෙන ආන්ඩුවේ නායකයන්ද ආරක්ෂක ලොක්කන් ද එම මිනීමරු ක්‍රියා ගැන කල්තියා දැනගන්නට ලැබීත් නිහඬව සිට ඒවා සිදුවූවිට වහා ඉදිරියට පැන මෙම නීති පැනවූ බව කිසි කම්කරුවෙක්, තරුනයෙක් අමතක නොකල යුතුය.

හාම්පුතුන් මෙම රුදුරු මර්දනකාරී විධික්‍රම වෙත හැරී ඇත්තේ ජාත්‍යන්තරව වර්ධනය වන පන්ති අරගලයේ කොටසක් ලෙස ශ්‍රී ලංකාව තුල පන්ති සටන් ඉස්මතුවෙමින් පවතින කොන්දේසි තුල ය. වතු කම්කරුවන්ගේ මෑත වැටුප් අරගලය එහි කොටසකි.

වතු කරයේ හා අනෙකුත් අංශවල කම්කරුවන්ගේ වර්ජන, ගොවීන්ගේ විරෝධතා, සිසුන්ගේ අඛන්ඩ උද්ඝෝෂන, උතුරු නැගෙනහිර යුද විනාශයෙන් ගොඩ ඒමට දෙමල ජනයා කරන සටන් නිසා භීතියට පත්ව සිටි පාලකයන් ත්‍රස්ත ක්‍රියා සිදුවන තුරු සිට තම අයිතීන් සඳහා අරගල කරන මෙම ජනයා දඬු ගැසීමට පොලිස් රාජ්‍ය සැලසුම් හදමින් සිටී.

බරපතල අරගල පිපිරී යා හැකි තත්වයක තමන් ඉන්නා බව දන්නා වතු හාම්පුතුන් ආරක්ෂක කමිටු හදන්නට යන්නේ කම්කරුවන් රැකීමට නොව ඔවුන් අරගලවලට ඇදීම වැලක්වීමට සහ සටන්කාමීන් ගැන ඔත්තු බලා ආරක්ෂක අංශවලට දැන්වීමටයි.

ආන්ඩුවේ සහ සමාගම්වල හෙන්චයියන් ලෙස ක්‍රියාකරන වෘත්තීය සමිති හා නිලධරය එක පයින් මෙම මර්දනකාරී පියවරට එකඟවී කම්කරුවන් මත පැටවීමට සූදානම් වෙති. යුපීඑෆ් නායක රාධාක්‍රිෂ්නන් “අසීමිත නිදහස” නැති කලයුතුයයි කර ඇති දුෂ්ට ප්‍රකාශය පෙන්නුම් කරන්නේ මෙම සමිති කම්කරුවන් මැඩීමට ධනපති රාජ්‍ය සමග මොනතරම් රුදුරු ලෙස හවුල්වීමට සූදානම්ද යන්නයි.

තිස් අවුරුදු වර්ගවාදී යුද සමයේ, සීඩබ්ලිව්සී නිලධරය සටන්කාමී වතු තරුනයන් දුසිම් ගනනකගේ ලැයිස්තු හදා පොලිසියට කොටුකර දුන්හ. දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමේ පුලුල් උද්ඝෝෂනයක කොටසක් ලෙස වතුකරයේ සිරකරුවන් ආරක්ෂා කිරීමට සටන් කලේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) පමනකි.

වර්ගවාදී යුද්ධය දියත්වෙද්දී වෘත්තීය සමිති වැඩපොලවල හා ආයතනවල එවන් කමිටු සාදා සටන්කාමීන් ගැන ඔත්තු බලමින් ඔවුන් “සිංහල කොටි” ලෙස හංවඩු ගසා පොලිසියට භාරදීමට ක්‍රියා කලහ. සසප ඊට එරෙහිවද සටන් කලේය.

වතු සමිති පමනක් නොව, “ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරනලෙස” බල කරමින් සියලු වෘත්තීය සමිති සහ නව සම සමාජ පක්ෂය (නසසප), පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) හා එක්සත් සමාජවාදී (එසප) ඇතුලු ව්‍යාජ වාම පක්ෂ පෙල ගැසී සිටින්නේ ධනපති ආන්ඩුවේ මෙම පොලිස් රාජ්‍ය සැලසුම් සමග ය.

වතු කම්කරුවන් හාම්පුතුන් සහ වෘත්තීය සමිති එකාබද්ධව ක්‍රියාවට දැමීමට සූදානම් කරන ඊනියා ආරක්ෂක කමිටු එකහෙලා ප්‍රතික්ෂේප කොට සමිති වලින් ස්වාධීනව කම්කරු ක්‍රියාකාරී කමිටු හා ඒවාට අනුබද්ධිතව කම්කරු ආරක්ෂක කමිටු සංවිධානය කල යුතු යයි සසප යෝජනා කරයි. සසප මග පෙන්වීම යටතේ හැටන් ඇබොට්ස්ලි වත්තේ කම්කරුවන් එවන් ක්‍රියාකාරී කමිටුවක් පිහිටුවාගෙන ඇත.

එය ආදර්ශයට ගනිමින් සහ ඒ සමග ඒකාබද්ධ වෙමින් සියලු වතුවල ක්‍රියාකාරී කමිටු ගොඩ නැගීමට ද, එය අවශේෂ කම්කරුවන් හා පීඩිත ජනයා අතරට ව්‍යාප්ත කිරීමට ද කම්කරුවන්ගේ ආරක්ෂක කමිටු සංවිධානය කිරීමට ද පියවර ගත යුතු ය. ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් රැකගැනීමේ මෙම අරගලය සමාජවාදී වැඩපිලිවෙල ක්‍රියාවට දැමීමට කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒම සඳහා ජාත්‍යන්තර සමාජවාදය මත පදනම්ව කරන සටන සමග බැඳී ඇත.

Share this article: