ඉන්දියාවේ මහ ව්‍යාපාරිකය හින්දු ස්වෝත්තමවාදී බීජේපීය දෙවන වරටත් බලයට පත් කරති

Indian big business propels Modi and his Hindu supremacist BJP to a second term

කීත් ජෝන්ස් විසිනි, 2019 මැයි 24

ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි හා ඔහුගේ හින්දු ස්වෝත්තමවාදී භාරතීය ජනතා පක්ෂය (බීජේපී) එරට මැතිවරනයෙන් වඩා සවිමත්ව මතුව ඇත.

අවසන් ප්‍රතිපල තවමත් නිකුත්ව නැති අතර බීජේපීය, ජනතා ඡන්ද ප්‍රමානය වැඩිකරගෙන ඇත. එය සියයට 37 සීමාව ඉක්මවා යමින් ලෝක් සභාවේ ආසන 300ට වැඩි ප්‍රමානයක් හිමිකර ගනියි. එය ඉන්දීය පහල මන්ත්‍රී මන්ඩලය තුල නිශ්චිත බහුතරයක් ලබා ඇත. ඒ එහි හවුල්කාරයන් වන ජාතික ප්‍රජාතන්ත්‍ර සන්ධානය (එන්ඩීඒ) දිනා සිටින ආසන 40ට වැඩි සංඛ්‍යාව ද නොතකාය.

පසුගිය 19දා බීජේපීයේ ජයග්‍රහනය නිවේදනය කල ඡන්ද ප්‍රතිපල නිකුත්වුනායින් පසුව ඉන්දියාවේ කොටස් වෙලඳපොල ඉහල නැඟුනු අතර බීජේපී/එන්ඩීඒ ජයග්‍රහනයේ පරිමානය පෙනෙන්නට තිබුනු 23දා යලි වතාවක් වාර්තාගත මට්ටමකට ඉහල ගියේය.

“ආයෝජන” ගැති පිලිවෙත ආක්‍රමනශීලී ලෙස වේගවත් කිරීම ද වෙලඳ යුද්ධය හා ගෝලීය භූදේශපාලනික ආතතීන් තිබියදීම මහ බලවතෙකු වීමේ ඉන්දියානු අභිලාෂයන් තහවුරු කිරීම ද පිලිබඳව මෝදි ආන්ඩුව කෙරෙහි පවතින බලපොරොත්තු ගැන මහ ව්‍යාපාරිකය කෙල හලමින් සිටී.

මෝදි සමඟ පෙලගැසීමට මහත් උනන්දුවක් දැක්වූ ඊස්රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු සිය ඉන්දීය සහචරයා යලි බලයට පත්වීම ගැන ශුභ පැතුවේය. ඒ, මැතිවරන කොමිසම ලෝක් සභාවේ ආසන 543න් එකක පමනක් ඡන්ද සැසඳීම නිමා කරමින් සිටියදීය.

මෝදි යලි “පත්වීමෙහි” අර්ථය, “එක්සත් ජනපද-ඉන්දී හවුල්කාරිත්වය සඳහා බොහෝ දේ ගොඩගැහී තිබෙන”බව යයි සිය ශුභ පැතුම් පනිවිඩය යවමින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පැවසීය. කලින් පැවති කොන්ග්‍රස් ආන්ඩු විසින් සකස් කරන ලද මාවතේම යමින් මෝදිගේ බීජේපී ආන්ඩුව, චීනය සමඟ ඇමරිකාවේ මූලෝපායික ගැටුමේ සැබෑ පෙරමුනු රාජ්‍යයක් බවට ඉන්දියාව හරවා ඇත.

මැතිවරනයට පෙර අවධියේ, බීජේපී ආන්ඩුවට විරුද්ධව නැගෙන සමාජ කෝපයක් ද කම්කරු පන්තියේ වැඩෙන විරෝධයක් ද පැවති අතර පොදුවේ කිවහොත් එය දශක තුනක කාලයක් තිස්සේ අනුගමනය කරන ලද නව ලිබරල් ධනේශ්වර ප්‍රතිව්‍යූහකරනයට එරෙහිවය. ඉන්දියාව ලෝකයේ සමාජීය වශයෙන් වඩාත්ම ධ්‍රැවාන්තගතවූ රටක් බවට පත් විය. කෑදර පාලක පන්තියේ සුලු කොටසක් ධනපති ප්‍රසාරනයේ සාරය ගසාකෑවේය. ඒ, මිලියන 800ට වැඩි ජනතාවක් දිනකට ඇමරිකානු ඩොලර් 3ට සුලු වශයෙන් වැඩි ප්‍රමානයක් ලබා ගනිද්දීය.

එහෙත් ඉන්දීය ධනේශ්වරයේ දුබල විපක්ෂ දේශපාලනයෙන් හා පක්ෂ වලින්, උග්‍ර දුගී භාවයට, කෘෂිකාර්මික ප්‍රශ්න වලට, මහජන විරැකියාවට (ඉන්දියාවේ විරැකියා අනුපාතය 45 වසරක වැඩිම මට්ටමට නැඟී ඇත) හා මුස්ලිම් හා අනෙකුත් සුලු ජාතීන්ගේ අයිතීන් උල්ලංඝනය කිරීමට ශුභවාදී ප්‍රකාශනයක් ලැබිය නොහැකි විය.

මෙවන් තත්වයකට සමානව කැපී පෙනෙන වර්ධනයක් ලොව පුරා දැකිය හැකි විය. පන්ති අරගලයේ ලෝක පරිමාන නැඟීම හමුවේ කම්කරු පන්තිය වමට ගමන් කරමින් සිටී. දෙසැම්බරයේ ශ්‍රී ලංකාවෙහි වතු කම්කරුවන්ගේ වර්ජනයේ පටන් ප්‍රන්සයේ “කහ බැනියම්” ව්‍යාපාරය, මෙක්සිකෝවේ මැටමොරෙස් කම්කරුවන්ගේ කැරැල්ල, ඇමරිකාවේ ගුරුවරුන්ගේ වර්ජන රැල්ල හා ඇල්ජීරියාවේ ආන්ඩු විරෝධී මහජන අරගල වලදී ජනතාව තම අභිලාෂයන් ප්‍රදර්ශනය කලේය. එහෙත් මේ දක්වා විරෝධය, කම්කරු බලය සඳහා කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක රූපය ගෙන නොමැත. එබැවින් රටක් රටක් පාසා අන්ත දක්ෂිනාංශික බලවේග වලට, එනම් කප්පාදුවලට පක්ෂපාතී, යුදගැති ඇමරිකාවේ ට්‍රම්ප්, ඉතාලියේ ලිගා, බ්‍රසීලයේ බොල්සොනාරෝ පාලනය හා ව්‍යාජ “වාම” හා ලිබරල් පක්ෂ වලට මහජන නොසංසුන්කම ගසාකෑමට ඉඩ සැලසී ඇත.

මිලිටරිවාදී පකිස්ථාන විරෝධී හා මුස්ලිම් විරෝධී පුරසාරම් සහිත දේශපාලනිකව ගිනිගන්නා සුලු බීජේපී මැතිවරන උද්ඝෝෂනය හමුවේ, බියෙන් තැතිගත් හා මුසපත්වූ විපක්ෂය, මෝදි හා බීජේපී ජනාධිපති අමිත් ෂාට තමන්ගේම ප්‍රතිගාමී ඉල්ලීම් සමඟින් “පිලිතුරු” දුන්නේය. පකිස්ථාන අභ්‍යන්තරයට ගුවන් ප්‍රහාර එල්ල කිරීමට අන දෙමින්, දකුනු ආසියාවේ එදිරිවාදී න්‍යෂ්ටික බලවතුන් අතර 1971ට පසුව ඇතිවන්නට ගිය නරකම යුද අර්බුදය නිර්මානය කිරීම පිනිස මෝදි අර්බුද ග්‍රස්ත කාෂ්මීරයේ ත්‍රස්තවාදී ප්‍රහාරය ඩැහැගත් කල්හි, විපක්ෂය එකිනෙකා පිටුපස ගොස් ඉන්දියානු මිලිටරිය හුවා දක්වමින් සිය සහාය පල කලහ.

කොන්ග්‍රස් පක්ෂයේ හා ස්ටැලින්වාදී සීපීඑම් හා සීපීඅයි සංවිධානවල ඓතිහාසික බිඳවැටීම

ඉන්දියාවේ මැතිවරනය, ධනපති පන්තියේ පලමු හා මෑතක් දක්වා “ජාතික” පක්ෂයව පැවති කොන්ග්‍රස් පක්ෂය ඓතිහාසිකව ප්‍රතික්ෂේප වීමකි. ස්ටැලින්වාදී පාර්ලිමේන්තු පක්ෂ දෙක ද ඔවුන්ගේ වාම පෙරමුනු මැතිවරන සන්ධානය ද ඊට බැඳී තිබෙන, නිදහස ලැබුන දා පටන් ඉ්න්දියාවේ “වාම” දේශපාලනය අරක් ගෙන තිබූ වෘත්තීය සමිති පර්යාය ද එසේම ප්‍රතික්ෂේප විය.

කොන්ග්‍රසය දිනා ඇත්තේ හෝ ඔවුන් ප්‍රමුඛත්වය දරන්නේ ආසන 52ක් පමනි. ඔවුන් මුහුනපෑ දරුනුම මැතිවරන පරාජය වූ 2014 එයට ලැබුන ආසන සංඛ්‍යාවට වඩා එය 8න් වැඩිය. කොන්ග්‍රසයේ ආසන සංඛ්‍යාව මුලුමනින්ම පාහේ ලබාගෙන ඇත්තේ වාම පෙරමුනට පින්සිදු වන්නටය. විශේෂයෙන්ම සීපීඑම් නායකත්වයෙන් ආන්ඩුවක් පිහිටුවාගෙන සිටි කේරලයේ එසේය. එසේම තමිල්නාඩුවේ ආන්ඩුව පිහිටුවාගෙන සිටි දක්ෂිනාංශික ප්‍රාදේශීය පක්ෂයක් වන අන්නා ඩීඑම්කේ සංවිධානයේ වියදමෙනි.

කොන්ග්‍රසය සැබවින්ම පාලක පක්ෂය වූ බීජේපීයට හා එහි සහචරයින් වන එන්ඩීඒ සන්ධානයට ආසන පුද කර ඇත. දිල්ලිය පිහිටි ජාතික අගනුවර ප්‍රදේශය ද ඇතුලු උත්තර් ප්‍රදේශ්, මහාරාශ්ට්‍ර, බිහාර්, මධ්‍ය ප්‍රදේශ්, රාජස්ථාන්. ගුජරාට්, ජාර්කාන්ඞ්, චැටිස්ගාර් හා හරියානා ප්‍රාන්තයේ ද වැඩිම ආසන ඔවුහු හිමිකර ගත්හ. එම ප්‍රාන්තවල මුලු ජනගහනය මිලියන 800ක් පමන වේ.

පැරදුන අය අතර කොන්ග්‍රස් පක්ෂයේ රාජවංශික සභාපති රාහුල් ගාන්ධිද වේ. ඔහු නේරු-ගාන්ධි පවුලේ “වැයික්කිය” වූ උත්තර් ප්‍රදේශයේ අමෙති කොට්ඨාශය හෝ දිනාගත්තේ නැත. එහෙත් ගාන්ධිට ලෝක් සභාවේ ආසනයක් හිමිව ඇත්තේ ඔහු කේරලයේදී තරඟ කල දෙවන ආසනය දිනාගත් බැවිනි.

කොන්ග්‍රසය සමාජ නොසංසුන්තාවට පොදුවේ ආයාචනා කරමින්, ඉන්දියාව සෞඛ්‍ය හා අධ්‍යාපනය සඳහා වැය කරන සොච්චම් මුදල් ප්‍රතිපාදන වැඩි කරන බවටත්, කුටුම්භයන්ගේ දුප්පත්ම සියයට 20ට වාර්ෂිකව ලැබෙන “සහතික වාර්ෂික ආදායම” රුපියල් 72,000 දක්වා වැඩිකරන බවටත් පොරොන්දු දුන්නේය.

ඉන්දියාවේ කම්කරු පීඩිත ජනතාව යුක්ති යුක්ත ලෙසම මෙම පොරොන්දු විශ්වාස කල නොහැකි යයි තීන්දු කලහ. කොන්ග්‍රසය බොහෝ ඉන්දියානුන් ඉපදෙන්නටත් කලින් සිටම “දුගී භාවය තුරන් කරන” බවට පොරොන්දු දී ඇත. ඒ ඉන්දියානු ධනේශ්වරයේ අවශ්‍යතා නිර්දය ලෙස ආරක්ෂා කරන අතරතුරය. නරුම ලෙස හඳුන්වා දෙන ලද “කොන්ග්‍රස් සමාජවාදය” පිලිබඳ රජයේ මූලිකත්වය යටතේ වූ ධනපති සංවර්ධන ව්‍යාපෘතිය 1991දී මුහුදුබත් වීමත් සමඟ කොන්ග්‍රස් පක්ෂය, ගෝලීය ප්‍රාග්ධනය සඳහා ඉන්දියාව ලාභ ශ්‍රම නිෂ්පාදන මධ්‍යස්ථානයක් බවට හැරවීම මත පදනම් වෙමින් අධිරාජ්‍යවාදය සමඟ නව හවුල්කාරිත්වයක් වාත්තු කර ගැනීමේ ඉන්දීය ධනපති පන්තියේ තල්ලුවට මූලිකත්වය ගත්තේය.

විසංන්ධි කිරීම, පෞද්ගලීකරනය, ව්‍යාපාරික බදු කැපීම, සේවා අනියම් කිරීම හා විශේෂ ආර්ථික කලාප පිහිටුවීම ආදී වශයෙන් “මහා පිපිරීම” පිලිබඳ ප්‍රතිසංස්කරන ක්‍රියාත්මක කිරීමට මුල් වෙමින්, 1991 සිට 96 හා 2004 සිට 2014 දක්වා පැවති කොන්ග්‍රස් ආන්ඩු විසින් අධිරාජ්‍යවාදය සමඟ “ගෝලීය මූලෝපායික හවුල්කාරිත්වය” ගොඩනඟා ගත්තේය.

ස්ටැලින්වාදීහු ඊටත් වඩා නින්දිත මැතිවරන හා දේශපාලන බිඳවැටීමකට මුහුනපා ඇත. ඉන්දියානු කම්කරු පීඩිත ජනතාව අතර ඔවුන්ගේ මහජන පදනම් හෝදා පාලු විය. ඔවුහු දශක ගනනාවක් තිස්සේ කම්කරු පන්තිය දේශපාලනිකව මැඬගෙන සිටියහ.

ආර්ථික “ප්‍රතිසංස්කරන න්‍යායපත්‍රයට” එරෙහි මහජන විරෝධය යටපත් කර විසුරුවා හැරීමටත්, “වෙලඳපොල ගැති” පිලිවෙත් ක්‍රියාවට නඟමින් වොෂින්ටනය සමඟ සමීප බැඳීම් ගොඩනඟා ගැනීමටත් උත්සුකවූ, බොහොමයක් කොන්ග්‍රසයේ නායකත්වයෙන් යුත්, මධ්‍යම ආන්ඩු වල දක්ෂිනාංශය තහවුරු කිරීමට ඔවුහු කැප වූහ.

සීපීඑම් හා වඩාත් පැරනි හා කුඩා ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (සීපීඅයි) ඒකාබද්ධව ලබාගත්තේ ලෝක් සභාවේ ආසන පහක් පමනි. ඔවුන්ගේ ආසන හතරක්ම ලබාගත්තේ තමිල්නාඩුවේ ඩීඑම්කේ-කොන්ග්‍රස් මැතිවරන සන්ධානයේ එල්ලීගෙනය.

සම්ප්‍රධායිකව වාම පෙරමුනේ මැතිවරන ප්‍රදේශය ලෙස සැලකෙන බටහිර බෙංගාලය, කේරලය හා ත්‍රිපුර යන ප්‍රාන්ත තුනෙන්ම ඔවුන්ට ලැබුනේ එක් ආසනයක් පමනි. ස්ටැලින්වාදීහු ඒවායේ නොකඩවාම වාගේ ආන්ඩු පිහිටුවාගෙන සිටියහ. 2011දී අවසන් වන තුරු වසර 34ක් තිස්සේ ප්‍රාන්ත ආන්ඩුව පිහිටුවාගෙන සිටි බටහිර බෙංගාලයේ සීපීඑම්හි ඡන්ද ප්‍රතිශතය තනි ඉලක්කමට බැස්සේය. මෑතක් වන තුරුම නොවැදගත් තැනක සිටි බීජේපීය පෙරමුන ගත්තේය.

දූෂනය හා කුනුවීම කැපී පෙනුනු බටහිර බෙංගාලයේ ධනපති රාජ්‍ය පර්යාය පාලනය කිරීමෙන් පසුව සීපීඑම්, 1991න් පසුව “ව්‍යාපාරික ලැදි” ලෙස ඔවුන්ම හඳුන්වා ගත් පිලිවෙත් ක්‍රියාවට නැඟූහ.

සීපීඑම් සංස්තාපිතයේ වැඩි හරියක් ත්‍රිනමුල් කොන්ග්‍රසය යන ප්‍රන්තයේ වත්මන් පාලක පක්ෂයට හෝ හින්දු ස්වෝත්තමවාදී බීජේපීයට සම්බන්ධවී ඇත. බටහිර බෙංගාලයේ බීජේපී හි ජයගත් ප්‍රේක්ෂකයින් 18 දෙනාගෙන් අයෙකු වුනේ, හිටපු සීපීඑම් රාජ්‍ය සභිකයෙකු වූ කාජන් මුර්මුය.

ඉතිහාසයේ පලමු වරට බලයට පත් බීජේපී/එන්ඩීඒ හි ජාතික ආන්ඩුව කෙරෙහි පලවූ මහජන විරෝධය ගසාකමින්, වසර 15ට පෙර පැවැත්වූ මහා මැතතිවරනයේදී සීපීඑම් නායකත්වයෙන් යුත් වාම පෙරමුන, මන්ත්‍රීන් 60ට වැඩි ගනනක් සහිතව, පාර්ලිමේන්තුවේ තුන්වන විශාලතම කන්ඩායම ලෙස මතු විය. කොන්ග්‍රසයේ නායකත්වයෙන් යුත් දක්ෂිනාංශික, එක්සත් ප්‍රතිශීලී සන්ධානයේ (යූපීඒ) දශකයක පාලන කාලය තුල එහි ප්‍රධාන පාර්ලිමේන්තු මුක්කුව බවට පත්වෙමින් වින්නඹුකම්කල සීපීඑම්, විවිධ කුලවාදී හා ප්‍රාදේශීයවාදී පක්ෂ කොන්ග්‍රසය පිටුපස පෙලගැස්වීම පිනිස තමන් අලුතෙන් ඇතිකරගත් අනුහස දැඩි ලෙස යොදා ගත්තේය.

ස්ටැලින්වාදීහු 2019දී ද එම සාපරාධී භුමිකාවම රඟදැක්වීමට ඉලක්ක කලේය. ධනේශ්වරය මෝදි බදාගැනීමෙන් ද මෑතකදී හටගත් වර්ජන හා ගොවි විරෝධතා වලින් කුලුගැන්වුන පන්ති අරගලය තියුනු ලෙස පැතිර යාමට ද ඔවුන්ගේ ප්‍රතිචාරය වුනේ, කම්කරු පන්තිය ධනපති පන්තියට හා ඔවුන්ගේ රාජ්‍යයට බැඳ දැමීමේ උත්සාහය දෙගුන කිරීමය. “මෝදි හැර ඕනෑම කෙනෙක්” යයි ඔවුන් ගෙනගිය උද්ඝෝෂනය තුල, බීජේපී/එන්ඩීඒ පරාජය කිරීමට හොඳම අවස්ථාව සැලසෙන ඕනෑම ප්‍රාන්තයකදී කුමන හෝ පක්ෂයකට නැතිනම් සන්ධානයකට සහයෝගය දෙන ලෙස හඬනැඟුවේය. “විකල්ප අනාගමික” ආන්ඩුවක් පිහිටුවන ධනේශ්වරයේ කුමන කොටසකට හෝ ඔවුහු සහාය දැක්වූහ. එනම්, ආයෝජන ගැති ප්‍රතිසංස්කරන, ඉන්දු-ඇමරිකා සන්ධානය හා ඉන්දියාව ලෝකයේ සිව්වැනි විශාලතම මිලිටරි පිරිවැය සහිත ප්‍රතිසන්නද්ධ කිරීමේ වැඩසටහනට කැපවූ මහ ව්‍යාපාරිකයේ තවත් ආන්ඩුවකි.

ඡන්ද ගනන් කිරීමට දින ගනනකට පෙර, ගාන්ධි හා ඔහුගේ මව වන කොන්ග්‍රසයේ හිටපු ප්‍රධාන ලේකම් සෝනියා ගාන්ධි හමුවීමට වරම් ලත් කිහිප දෙනා අතුරින් එකෙකු වූ සීපීඑම් ප්‍රධාන ලේකම් සීතාරාම් යෙචුරි, පාර්ලිමේන්තු ගනිතයෙන් ඉඩ සැලසෙන්නේ නම් ආන්ඩුවක් පිහිටුවීමේදී සිය පංඟුව බොදාගන්නේ කෙසේ ද යන්න ගැන සාකච්ඡා කලේය.

දශක ගනනාවක් තිස්සේ ස්ටැලින්වාදීහු, දක්ෂිනාංශික ආන්ඩු වලට දුන් සිය සහයෝගය යුක්ති සහගත කලේ, බීජේපීය බලයට ඒම වැලැක්විය හැකි එකම මඟ එය බව කියා සිටිමිනි. අවසන් ප්‍රතිපල වුනේ, බීජේපීය හා හින්දු දක්ෂිනාංශය අන් කවර කලෙකටත් වඩා දරුනු තර්ජනයක් බවට පත්වීමය.

ස්ටැලින්වාදීන් විසින් දේශපාලනිකව ගෙල සිරකරන ලද හා සමාජ අර්බුදයට තමාගේම ස්වාධීන සමාජවාදී විසඳුම ඉදිරිපත් කිරීමෙන් කම්කරු පන්තිය වලක්වන ලද තතු හමුවේ බීජේපීයට, උග්‍ර සමාජ අසමානතාව හා අන් කවරදාකටත් වඩා ගැඹුරු වන ආර්ථික අනාරක්ෂිත භාවය කෙරෙහි පලවූ මහජන කෝපය හා අසතුට ගසාකෑමට හැකි විය.

අර්බුදයේ හා ප්‍රතිගාමිත්වයේ ආන්ඩුවක්

අඩුම තරමින් පාලක පන්තියේ සංවේදී කොටස් අතර පැවති වැටහීම, මෝදිගේ මැතිවරන ජයග්‍රහනය සැමරීමේ ව්‍යාපාරික මාධ්‍යය හා කොටස් වෙලඳපොලට ඉහලින් එල්බ සිටියි.

ඉන්දියානු හා ලෝක ධනවාදය පද්ධතිමය අර්බුදයකින් වෙලාගෙන ඇත. ඉන්දියානු ආර්ථිකය ගිලගෙන ඇති විවිධාකාර ගැටලු පිලිබඳව අනතුරු ඇඟවීම් වලින් මාධ්‍ය පිරී තිබුනි. ව්‍යාපාරික නයෙන් බැංකු පද්ධතිය මිරිකී තිබීම හමුවේ නය පද්ධතිය හිරවීමට හේතුවීම, දිග්ගැස්සෙන කෘෂි අර්බුදය තුල මුල්බැසගත් පාරිභෝගික ඉල්ලුමේ පහත වැටීම, වසර ගනනාවක කප්පාදු හා නැගෙන විරැකියාව ද වෙලඳ යුද්ධය වැඩී යාමෙන් මතු කෙරෙන තර්ජනය ද ඒවාය.

ඉන්දියානු ධනේශ්වරය ලෝක කරලියේ විශේෂයෙන්ම කැත ක්‍රියාකලාපයක් ඉටු කරයි. වොෂින්ටනය සමඟ ඇති සිය මූලෝපායික ඒකාග්‍රකරනය තුලින් නව දිල්ලිය, පකිස්ථානයට අඩන්තේට්ටම් කිරීම හා තර්ජනය කිරීමටත් ඉන්දියාවේ න්‍යෂ්ටික බලය සහිත මිලිටරිය තර කිරීමටත් ඇමරිකාව මත වාරුවී සිටින අතරම බීජිනයට එරෙහි ඉවබව නැති ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ආක්‍රමනිකත්වය දිරිමත් කරයි. ඉන්දියාවේ ද කලාපයේ ද ලෝකයේම ද ජනතාවට මේ මඟින් මතු කෙරෙන ආන්තික අන්තරාය, පකිස්ථානය සමඟ දෙකක් ද චීනය සමඟ එකක් ද වශයෙන් 2016 පටන් ඉන්දියාව පසුකරවිත් තිබෙන යුද අර්බුද තුනෙන් මොනවට පෙන්නුම් කරයි.

තව ද ඉන්දියාව මහ බලවතුන්ගේ ගැටුමෙහි වාසුලිය තුලට ඇදගන්නා තතු හමුවේ, එහි පෙනී යන ඇමරිකානු මිතුරාගෙන් වඩ වඩාත් ඉල්ලීම් ගොන්නක් ඉදිරිපත් වන අතර එය ඉන්දියානු ධනේශ්වරයේ ආර්ථික හා මූලෝපායික ආසක්තයන්ට ඉමහත් තර්ජනයක් මතු කරයි. මේ ඉල්ලීම් අතර ඉරානයෙන් හා වෙනිසියුලාවෙන් කරන තෙල් ආනයන නතර කිරීම, ඇමරිකානු වෙලඳ හා ආයෝජන සඳහා ඉන්දියාවේ ඉතිරිව ඇති සීමා බාධක ඉවත් කිරීම හා රුසියාව සමඟ නව දිල්ලියේ මූලෝපායික හවුල්කාරිත්වය අවසන් කිරීම හෝ අඩුම තරමින් තියුනු ලෙස සීමා කිරීම වේ.

අන් සෑම තැනකදී මෙන්ම පාලක පන්තිය ඊට ප්‍රතිචාර දක්වන්නේ, කම්කරු පන්තියට හා ගම්බද පීඩිතයින්ට මෙන්ම සිය ධනපති එදිරිවාදීන්ට එරෙහි ආර්ථික හා මුලෝපායික තර්ජන ද වඩ වඩාත් ආක්‍රමනකාරිත්වය ද පෙරට ගැනීමෙනි. මෝදි හින්දු ප්‍රතිගාමිත්වය ඇවිස්සීම, ඉන්දියානු රජය අස්ථාවර කරන්නේය හා අපකීර්තියට පත් කරන්නේය යන බියෙන් සලිතව සිටින පාලක පන්තියේ කොටස් අතරින් අත් අඹරන වර්ගයේ පැමිනිලි මතු කර ඇත. මෙය අකුනු සැරයක් බවට වැඩී යා හැකිය. එහෙත් ඉන්දියාවේ ව්‍යාපාරික අධ්‍යක්ෂ මන්ඬල කාමර වලින් ද ලන්ඩනයේ හා නිව් යෝර්ක් වෙතින් ද පලවන ඉල්ලීම වන්නේ, කම්කරු පන්තිය සූරාකෑම උත්සන්න කිරීමේ අරමුනෙන් යුත් ව්‍යූහාත්මක වෙනස්කම් බීජේපී ආන්ඩුව විසින් වේගයෙන් ක්‍රියාවට නැඟිය යුතුය යන්නයි.

“ආර්ථික ගතිකය මන්දගාමී වී ඇතුවා පමනක්නොව මිල පෙරමුනේ කනස්සල්ලෙහි ආරම්භක සලකුනු මතුවෙමින් තිබෙන්නේ, ගෝලීය වෙලඳ යුද්ධ (සමහරවිට සැබෑ යුද්ධ) පුපුරා යමින් තිබියදීය. එබැවින් ඊලඟ ආන්ඩුවට ප්‍රතිසංස්කරනයේ පැඩලය තද කිරීම ඇරෙන්නට අන් විකල්පයක් නැති වනු ඇත.” යයි ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පතේ මේ සතියෙහි පලවූ කතුවැකියක සඳහන් විය.

ඉන්දියානු ධනපති වර්ධනයේ හා ගෝලීය ධනවාදය සමඟ ඒකාග්‍රවීමේ ප්‍රතිපලයක් ලෙස ශක්තිය ප්‍රමානාත්කව විශාල ලෙස වැඩිවී ඇති කම්කරු පන්තිය වැඩිකල් නොගොස් මෝදි ආන්ඩුව සමඟ මුහුනට මුහුනලා ගැටුමකට පිවිසෙනු නිසැකය. තීරනාත්මක කාරනය වන්නේ ඔවුන් සමාජවාදී ජාත්‍යන්තර ක්‍රියාමාර්ගයකින් සන්නද්ධ කිරීමයි. ඉන්දියානු කම්කරු පන්තිය ධනවාදයේ හා එහි පක්ෂ වලට එරෙහිව ස්වාධීන දේශපාලන බලවේගයක් ලෙස පෙරමුන ගත යුතුය. ඔවුන් කම්කරු ආන්ඩුවක් හා සමාජවාදය සඳහා සටන තුල ගම්බද දුගීන් ද සියලු පීඩිතයින් ද පෙලගැස්විය යුතුය. ඔවුන් සිය අරගලය කප්පාදුවට, සමාජ අසමානතාවට හා යුද්ධයේ තර්ජනයට එරෙහිව, ජාත්‍යන්තර කම්කරු පන්තියේ ධනවාදයට එරෙහි ප්‍රතිප්‍රහාරය සමඟ එක්සත් කල යුතුය.

Share this article: