යුක්‍රේනයේ සෙලෙන්ස්කි තේරීපත්වීම සහ කම්කරු පන්තිය සඳහා ඉදිරි මාවත

The election of Zelensky in Ukraine and the way forward for the working class

2019 අප්‍රේල් 25

බලයේ සිටින ජනාධිපති පෙට්‍රො පොරොෂෙන්කො ද සහ ඔහු බලයට ගෙනා 2014 අධිරාජ්‍යවාදය මෙහෙයවූ බල කොල්ලය ද පුලුල් ලෙස ප්‍රතික්ෂේප කෙරෙමින් ඉරිදා පැවැති යුක්‍රේනියානු ජනාධිපතිවරනයේදී ඡන්ද සියයට 73 ඉක්මවා විකටනලු වොලොඩිමීර් සෙලෙන්ස්කි ජය ගත්තේය.

වික්ටර් යනුකොවිච්ගේ රුසියානු ගැති ආන්ඩුව පෙරලා දමමින් 2014 පෙබරවාරියේදී සිදුවූ මෙහෙයුමකින් අනතුරුව “චොකලට් කතිපයාධිපති” පොරොෂෙන්කො ජනාධිපති බවට පත්විය. බල කොල්ලය පිටුපස සිටියේ ප්‍රධාන අධිරාජ්‍යවාදී බලයන්ය, සියල්ලටමත් වඩා එක්සත් ජනපදය (එජ) සහ ජර්මනියයි. යුක්‍රේනියානු කතිපයාධිපතියන්ගේත් සහ ඉහල මධ්‍යම පන්තියේත් කොටසක් මත පදනම් වෙමින් ඔවුහු තම ආර්ථික උත්සුකයන්ට ද රුසියාවට එරෙහි යුද සූදානම්වලට ද ක්ෂනිකවම යටත්වූ රූකඩ ආන්ඩුවක් ඇටවීමට ෆැසිස්ට්වාදී බලවේග බලමුලු ගැන්වූහ.

ධනේශ්වර මාධ්‍යය, ෆැසිස්ට්වාදීන් විසින් මෙහෙයවන ලද මෙම බල කොල්ලය “ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයක්” ලෙස උත්කර්ෂයට නැංවූහ. දැන් අභාවයට පත්වී ඇති ජාත්‍යන්තර සමාජවාදී සංවිධානය වැනි සංවිධාන ඇතුලු මධ්‍යම පන්තියේ වමද ඔවුන්ට එකතු විය. මෙම සංවිධානය, අන්ත දක්ෂිනාංශය සහ මෙම “විප්ලවය” නිර්මානය කල අමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ද ඉෂ්ට කල භූමිකාව යටගැසීමට ක්‍රමානුකූලව ක්‍රියා කලේය.

කම්කරු පන්තියට 2014 බල කොල්ලයෙන් අත්වූ ප්‍රතිඵලය වූයේ ඛේදවාචකයකට නොඅඩු දෙයකි. පසුගිය පස් වසර පුරා පොරොෂෙන්කො ආන්ඩුව රුසියාවට එරෙහි අධිරාජ්‍යවාදී හමුදා ගොඩ නැගීමේ පෙරමුනේ සිටියේය. යුක්‍රේනියානු හමුදා වියදම් දල දේශීය නිශ්පාදනයේ සියයට 6 දක්වා දැවැන්තව වැඩිවී ඇත. ඉතා මෑතදී අසොව් මුහුදේ තම සාහසික ප්‍රකෝපකරනයන් ඇතුලත්ව, කීව් ආන්ඩුව විසින් රුසියාව සමග ක්‍රමානුකූලව ආතතීන් උග්‍ර කිරීම යුරෝපය තුල පූර්න පරිමානයේ යුද්ධයක අනතුර නාටකාකාර ලෙස උග්‍ර කර ඇත. මෙය තවත් ලෝක යුද්ධයක් දක්වා ක්ෂනිකව උත්සන්න විය හැක. නැගෙනහිර යුක්‍රේනයේ සිදු කෙරීගෙන යන සිවිල් යුද්ධය 13,000 ක් ඉක්මවා මහජනතාව ජීවිතක්ෂයට පත් කර ඇත.

ඒ සමගම ධනවාදය පුනස්ථාපනයේ පටන් යුක්‍රේනියානු කතිපයාධිපතියෝ යුක්‍රේනියානු කම්කරු පන්තියේ දැනටමත් පහල මට්ටමක පවතින ජීවන තත්වයන් මත පුලුල් ප්‍රහාර එල්ල කර ඇත. මිලියනයක් තරමේ යුක්‍රේනියානුන් දැන් සාගතයේ එලිපත්තේ ජීවත් වෙති; දස දහස් ගනනක් ශීත සෘතුවේ ශීතලට ගොදුරු වීමට ඉඩ හරිනු ලැබ ඇත.

මෙම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා පොරොෂෙන්කො ආන්ඩුව දාමරික අසොව් බලකාය වැනි ෆැසිස්ට් බලයන් බලමුලු ගැන්වූහ. දෙවන ලෝක යුද සමයේදී යුදෙව්වන් ද පෝලන්ත ජාතිකයින් සහ යුක්‍රේනියානුන්ද දහස් ගනනින් ඝාතනය කල යූපීඒ සහ ඕයූඑන්-බී හි නාසි හවුල්කරුවන් උත්කර්ෂයට නැංවීම නිල රාජ්‍ය ප්‍රතිපත්තිය බවට පත් කරගෙන ඇත. කොමියුනිස්ට්වාදය සහ යුද්ධයේදී නාසීන් පරාජයට ලක් කල සෝවියට් රතු හමුදාව ගැන සඳහන් කිරීම් සාපරාධී බවට පත් කරනු ලැබ ඇත. රුසියානු කලාකරුවන් සහ කලා කෘති රටට ඇතුලු වීම තහනම් කරනු ලැබ ඇත.

මෙම තත්වයන් විසිනු යි අති බහුතරයක් වන යුක්‍රේනියානු ු මහජනතාව ඡන්දය දැමීමෙන් වැලකී සිටීමට හෝ (ඡන්ද ප්‍රකාශ කිරීම යන්තම් සියයට 62 විය) නැත්නම් සෙලෙන්ස්කිට ඡන්දය දීමට බල කෙරුනේ. පොරොෂෙන්කොට බටහිර යුක්‍රේනයේ කුඩා ප්‍රාන්තයක් සහ රටෙහි සුපිරි ධනවතුන් වෙසෙන කීව් දිස්ත්‍රික්කයේ පිටත මොනයම්ම හෝ වැදගත් සහයක් ලබා ගැනීමට අපොහොසත් විය.

තම උද්ඝෝෂන තුලදී යුද විරෝධී මනෝගතීන්ට සහ සමාජ කප්පාදු වැඩපිලිවෙලට එරෙහි මහත් වෛරයට ද කුමන ආකාරයකට හෝ ආමන්ත්‍රනයක් කලද සෙලෙන්ස්කි යුක්‍රේනියානු කම්කරු පන්තියට එරෙහි වෙමින් අධිරාජ්‍යවාදීන් සමග පෙලගැසී යුක්‍රේනියානු කතිපයාධිපතියන් ආරක්ෂා කරනු ඇත.

සමස්ථ මැතිවරන ව්‍යාපාරය තුලදී සෙලෙන්ස්කි තම නියම දේශපාලන සහ ආර්ථික න්‍යායපත්‍රය සිතාමතාම සැඟවීය. ඔහු ඒවෙනුවට විශේෂයෙන්ම පොරොෂෙන්කොට එරෙහි පැවැති පුලුල් වෛරය වෙත වාචාල ආමන්ත්‍රන මත රැඳුනි. උද්ඝෝෂනය තුලදී සෙලෙන්ස්කි ඊසාන යුක්‍රේනයේ යුද්ධයට සාමකාමී විසඳුමක් සඳහා රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුටින් සමග සෘජු සාක්ච්ඡාවලට ඇතුලු වන බවට පොරොන්දු විය. එහෙත් මැතිවරනයට දින කිහිපයකට පෙර ප්‍රසිද්ධ වූ සම්මුඛ සාඛච්ඡාවකදී ඔහු පුටින් “සතුරකු” ලෙස නම් කරමින් මහජනතාව නාසි සහායකයා වූ බන්දෙරා “වීරයකු” ලෙස සැලකීම “ඉතාමත්ම නිවැරදි සහ උත්කෘෂ්ට” බව ප්‍රකාශ කලේය.

අප්‍රේල් 12 දා සෙලෙන්ස්කි ප්‍රන්ස ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් මුන ගැසිනි. ඔහුගේ කන්ඩායම ට්‍රම්ප් ආන්ඩුවේ නිලධාරීන්ද බලපෑම් සහගත බුද්ධි මන්ඩලවල පුද්ගලයින් ද මුන ගැසීම් සංවිධානය කිරීම සඳහා පීආර් සමාගමක් කුලියට ගෙන ඇත. කතිපයාධිපති ඉහෝර් කොල්කොමොයිස්කි සමග සමීප සබඳතා පවත්වන සෙලෙන්ස්කි ජෝර්ජියාවේ හිටපු ජනාධිපති මිකෙයිල් සාකෂ්විලි සමග එකට වැඩ කිරීමට දැන් මාන බලමින් සිටියි. ඇමරිකාවේ පිටුබලය සහිත “වර්න විප්ලවයක්” මගින් සාකෂ්විලි බලයට පත් කෙරින.

අධිරාජ්‍යවාදයට එරෙහිවත්, කතිපයාධිපතියන්ගේ කප්පාදු සහ යුද ප්‍රතිපත්තිවලට එරෙහිවත් කම්කරු පන්තිය තුල පවතින දැවැන්ත විරෝධය සෙලෙන්ස්කිට ලැබුනු ඡන්ද තුල ආරම්භක සහ විකෘති ලෙස ප්‍රකාශ වූවා පමනි. ඒ කෙසේවෙතත් කම්කරු පන්තියේ ජාත්‍යන්තර නැගිටීම්වල කොන්දේසි යටතේ මෙම විරෝධය ප්‍රමාද නොවී වහාම විවෘත පන්ති අරගලයේ රූපාකාරයන් ගනු ඇත.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සිය වාර්ෂික ජාත්‍යන්තර අන්තර්ජාල මැයි දින රැලිය මැයි 4දා පවත්වනු ලබයි. එයට ලොව පුරා කථිකයින් හා ශ්‍රාවකයින් සහභාගී වනු ඇත.අදම ලියාපදිංචි වන්න!

ප්‍රන්සයේ මාස ගනනාවක් පුරා සමාජ අසමානතාවට සහ මැක්‍රොන් ආන්ඩුවට එරෙහිව සිය දහස් ගනන් “කහ බැනියම්කරුවෝ” විරෝධතාවන්හි නිරත වී සිටිති. මෙම වසර මුලදී මෙක්සිකෝව මැටමොරොස්හි මෝටර්රථ අමතර කොටස් නිපදවන කම්කරුවෝ දශක දෙකකින් උතුරු ඇමරිකානු මහාද්වීපයේ විශාලතම වැඩවර්ජනය දියත් කලහ. ලෝක අධිරාජ්‍යවාදයේ කේන්ද්‍රය වන එක්සත් ජනපදය තුල පසුගිය වසර කම්කරුවන්ගේ වැඩවර්ජනවල 20 ගුනයකින් වැඩි වීමක් අත්දැක්කේය. යුක්‍රේනයේ වයඹදිග දේශසීමාවේදී 300,000 කට අධික පෝලන්තය ගුරුවරුහු දක්ෂිනාංශික නීතිය සහ යුක්තියේ පක්ෂ (පීඅයිඑස්) ආන්ඩුවට එරෙහිව වැඩවර්ජන කරමින් සිටිති.

පන්ති අරගලයේ පුනර්ජීවනය වීම ඓතිහාසික ඉදිරිදර්ශනය සහ නායකත්වය පිලිබඳ අතිමූලික ගැටලු මතු කරයි. යුක්‍රේනයේ දිග හැරෙමින් පවතින දේශපාලන සහ මිලිටරි අර්බුදය තුල, කම්කරුවෝ 1991 දී සෝවියට් සංගමය දිය කර හරිනු ලැබීමේ ප්‍රතිවිපාකවලට මුහුන දී සිටිති.

තමන් මුහුන දෙන තර්ජනයන්ට එරෙහිව සටන් කිරීම සඳහා කම්කරුවෝ සමාජවාදී වැඩපිලිවෙල ග්‍රහනය කර ගත යුතු ය. එහෙත් එය කල හැකි වන්නේ ඔක්තෝබර් විප්ලවයේ ද ස්ටැලින්වාදයට එරෙහි ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය විසින් සටන් වැදුනු අරගලයේ ද පාඩම් උකහා ගැනීම මගින් පමනි.

1923 දී, ලියොන් ට්‍රොට්ස්කි විසින් ගොඩ නැගූ වාම විරුද්ධ පාර්ශවය, ස්ටැලින්වාදයේත් එහි “තනිරටේ සමාජවාදී” වැඩපිලිවෙල තුලත්, ඔක්තෝබර් විප්ලවයට අඩිතාලම දැමූ නොනවතින විප්ලවයේ ජාත්‍යන්තරවාදී විප්ලවවාදී වැඩපිලිවෙලට එරෙහි ජාතිකවාදී ප්‍රතිගාමිත්වයක්, හඳුනා ගත්තේය. ඊලඟ දශකවලදී ස්ටැලින්වාදයේ ජාතිකවාදී අවස්ථාවාදී ප්‍රතිපත්ති විසින් යුරෝපය සහ ආසියාව තුල පාවාදීම් ද, විප්ලවවාදී අරගලයන්හි පරාජයන් ද සිදු කෙරිනි. ස්ටැලින්වාදී නිලධාරී තන්ත්‍රයේ අපරාධ කුලුගැන්වූයේ මහා ත්‍රස්තය - එනම් රුසියානු විප්ලවයේ නායකත්වය සහ සමාජවාදී විප්ලවවාදීන්ගේ සමස්ථ පරම්පරාවක් ශාරීරිකව සමූලඝාතනය කිරීම - සහ 1940 දී ලියොන් ට්‍රොට්ස්කිව ම ඝාතනය කිරීම මගිනි.

1938 දී ට්‍රොට්ස්කි විසින් පිහිටවනු ලැබූ හතරවන ජාත්‍යන්තරය අනතුරු ඇඟවූයේ කම්කරු පන්තිය විසින් දේශපාලන විප්ලවයක් මගින් පෙරලා නොදමනු ලැබුවහොත්, ස්ටැලින්වාදී නිලධාරී තන්ත්‍රය, සෝවියට් සංගමය විනාශ කරමින් ද ධනවාදය පුනස්ථාපනය කරමින් ද තමන්ම නව පාලක පන්තියක් බවට පරිවර්තනය වනු ඇති බවයි. 1989-1991 තුලදී හරියටම සිදු වූයේ මෙයයි.

පෝලන්තයේ කම්කරුවන්ගේ බලගතු මහජන ව්‍යාපාරයක් වැඩෙන තතු තුල 1980 අග භාගයේදී නිලධාරී තන්ත්‍රයට එරෙහි කම්කරු පන්තියේ විරෝධය විවෘතව පුපුරා මතුවිය. පෝලන්තයේ අරගල, සයිබීරියාවත් නැගෙනහිර යුක්‍රේනයත් කේන්ද්‍ර කොටගෙන සෝවියට් සංගමය තුල පතල් කම්කරුවන්ගේ දැවැන්ත වැඩවර්ජනයක් ඇවිලවීමට උපකාරි විය.

ඒ කෙසේවෙතත් දශක ගනනාවකදී ස්ටැලින්වාදය විසින් කම්කරු පන්තිය තුල දේශපාලන සහ ඓතිහාසික විඤ්ඤානය බරපතල ලෙස ඛාදනය කරනු ලැබ තිබිනි. ස්ටැලින්වාදී ආඥාදායකත්වය සමාජවාදයට සහ මාක්ස්වාදයට සමාන කරනු ලැබ තිබීම විසින් සමාජවාදී වැඩපිලිවෙල මඩ ගොහොරුවක ගිල්වා තිබිනි. ඒ සමගම හතරවන ජාත්‍යන්තරය තුල පැන නැගී තිබුනු සංශෝධනවාදී ප්‍රවනතාවක් වන පැබ්ලෝවාදය විසින් ස්ටැලින්වාදී ප්‍රතිවිප්ලවවාදී ප්‍රතිපත්තිවලට ව්‍යාජ “වාම” ආවරනයක් සැපයිනි. කම්කරුවන්ගේ වැඩවර්ජනවලට මැදිහත්වූ පැබ්ලෝවාදියෝ නිලධාරී තන්ත්‍රය ප්‍රගතිශීලි ඓතිහාසික බලවේගයක් ලෙසත් ධනවාදය පුනස්ථාපනයේ එහි වැඩපිලිවෙල “ස්වයං ප්‍රතිසංස්කරනයක්” ලෙසත් ප්‍රශංසා කලහ.

මෙහිදී ස්ටැලින්වාදී නිලධාරී තන්ත්‍රයට ධනවාදය පුනස්ථාපනය තුලින් සමාජ සම්පත් පුද්ගලීකරනයට ලක් කිරීම හරහා තමන්ම මහා පරිමානයෙන් ධනවත් වෙමින් සෝවියට් සංගමය දිය කරහැරීමට හැකිවිය. ධනවාදය පුනස්ථාපනය කිරීමෙන් අනතුරුව ඇතිවූ සමාජ සහ දේශපාලන ව්‍යසනය විශේෂයෙන්ම යුක්රේනය තුල තියුනු ප්‍රකාශනයක් අත් කර ගති. එතැන් පටන් විවිධ අධිරාජ්‍යවාදී බලවේගයන් අතර දිගටම උපාමාරු දමමින් අධික ලෙස දූෂිත වූ අන්ත ජාතිකවාදී කතිපයාධිපතියෝ යුක්‍රේනය පාලනය කර ඇත.

අද දින කම්කරුවන් නැවතත් අරගලවලට ඇතුලු වන විට ඔවූහු මෙම තීරනාත්මක ඓතිහාසික අත්දැකීම්වල පාඩම් මත පදනම් විය යුතුයි. කම්කරු පන්තියේ මතුවන අරගලවලට නායකත්වය දීම සඳහා ට්‍රොට්ස්කිවාදී පක්ෂය, එනම් හජාජාක යුක්‍රේනියානු ශාඛාවක් ගොඩ නැගීම තුල ඔවුන් සඳහා ඉදිරි මාවත රැඳී ඇත.

ක්ලාරා වයිස්

Share this article: