අධිරාජ්‍යවාදයේ “ආත්මයේම පවතින බොරුව”

ජූලියන් අසාන්ජ් බන්ධනාගාරය තුල අකර්මන්‍ය කර දේශපාලඥයින් “ලෝක නිදහස් මාධ්‍ය දිනය” සමරයි

The imperialist “lie in the soul”: Politicians celebrate “World Press Freedom Day” as Julian Assange languishes in prison

2019 මැයි 4

එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානය (යුනෙස්කෝ) විසින් වාර්ෂිකව අනුග්‍රහය දක්වන ලෝක නිදහස් මාධ්‍ය දිනය මැයි 03 දා වේ.

යුනෙස්කෝව එය සංවිධානය කරන්නේ “මාධ්‍ය නිදහසේ මූලික මූලධර්ම සැමරීමට, ලෝකය පුරා මාධ්‍ය නිදහස අගය කිරීමට, සිය නිදහස මත එල්ල කෙරෙන ප්‍රහාරයන්ගෙන් මාධ්‍ය ආරක්ෂා කිරීමට සහ සිය වෘත්තීය ක්‍රියාවලිය තුල සිය ජීවිත අහිමි කොට ගෙන ඇති මාධ්‍යවේදීන්ට අචාර දැක්වීමට” යන පරමාර්ත සහිතව යයි පවසමිනි.

කරුනුකාරනා පෙන්නුම් කරන පරිදි ඒවා හිස් සහ දිවදෙකේ ප්‍රකාශයන්ය.

විකිලීක්ස් නිර්මාතෘ ජූලියන් අසාන්ජ් තවදුරටත් ලන්ඩනයේ දැඩි ආරක්ෂක බන්ධනාගාරයක සිරගත කොට ඇති අතර, ඇමරිකාවට පිටුවහල් කිරීමේ තර්ජනයට මුහුන දෙයි. ඇයි? ඒ ඔහු සහ ඔහුගේ සංවිධානය “ප්‍රකාශනයේ නිදහසේ මූලික මූලධර්ම” බරපතල ලෙස ගත් හෙයින් සහ ආන්ඩුවල සහ ජාත්‍යන්තර සංගත වල දෛනික දූෂන සහ අපරාධ මෙන්ම විශේෂිතවම ඇමරිකානු මිලිටරියේ ඝාතක ක්‍රියාකාරකම් යන දෙකම මත ක්‍රියාකාරීව එලිය විහිදවූ හෙයිනි. අසාන්ජ්ගේ එක් නීතිඥයෙකු නිරීක්ෂනය කොට ඇති පරිදි වොෂිංටනය “සත්‍ය තොරතුරු පල කිරීමේ වරදට අපරාධ චෝදනාවන්ට මුහුනු දීම සඳහා විදේශ මාධ්‍ය වේදියෙකුව උදර්පනය (දඬුවම් දීම හෝ නීතිමය ක්‍රියා සඳහා බලහත්කාරයෙන් රටකින් රටකට ගෙනයාම) කර ගැනීමට” උත්සාහ කරමින් සිටී.

ඒ අතරම අත්තනෝමතික රඳවා ගැනීම්වලට එරෙහිව කටයුතු කරන එක්සත් ජාතීන්ගේ මන්ඩලයේ ක්‍රියාකාරී කන්ඩායමක් මේ පිලිබඳව සිය විරෝධය පල කලේය. ඇප කොන්දේසි උල්ලංඝනය කිරීම වෙනුවෙන් අසාන්ජ්ට සිකුරාදා නියම කල සති පනහක අධික දඬුවම එය “සුලු උල්ලංඝනය කිරීමක්” බවත් සඳහන් කලේය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පද්ධතියේ කොටසක් වන මෙම කාර්ය කන්ඩායම, 2015 දී ස්වීඩනයේ එක්සත් රාජධානියේ ආන්ඩු විසින් අසාන්ජ්ව “අත්තනෝමතිකව රඳවා ගෙන සිටින බව” සහ ඔහුට නිදහසේ සංචාරය කිරීමේ නිදහස ලබා දීමට සහ වන්දි දිය යුතු බවටත් වූ සිය මතය පල කලේය. සිකුරාදා, බ්‍රිතාන්‍ය ආන්ඩුව විසින් එම මතවාදය නොතකා හැරීය.

මේ සතියේ සැමරුම් වලදී කිසිදු අවස්ථාවක, යුනෙස්කෝව හෝ ලෝක මාධ්‍ය නිදහස් දිනය සමග සමබන්ධිත කිසිවකු හෝ අසාන්ජ් සම්බන්ධයෙන් සඳහනක්වත් කලේ නැත. අපූරුම කරුන වූයේ, අප්‍රිකානු සංගමය විසින් සත්කාරකත්වය දරමින්, ඉතියෝපියාවේ ඇඩිස් අබාබා වල පැවති මෙහි ප්‍රධාන උත්සවයේ මූලිකම කථිකයෙකු වූයේ බ්‍රිතාන්‍ය විදේශ ලේකම්, ගෞරවනීය ජෙරමි හන්ට් වීමයි.

“ගෞරවනීය” හන්ට් මහතා අප්‍රේල් 11 අසාන්ජ් කුරිරු ලෙස අල්වා ගෙන සිරගත කිරීම වෙනුවෙන් වගකිව යුතු බ්‍රිතාන්‍ය ආන්ඩුවේ නිල ලත්තෙකි. විකිලීක්ස් ප්‍රකාශකයා අත්අඩංගුවට ගැනීම අනුයමින් හන්ට් ප්‍රකාශයක් නිකුත් කරමින් මෙසේ කියා සිටියේය. “අද අපි පෙන්වාදී ඇති දෙය වනුයේ කිසිවකු නීතියට ඉහලින් නොමැති බවයි. ජූලියන් අසාන්ජ් වීරයෙකු නොවේ. ඔහු වසර ගනනාවක් සත්‍යයෙන් සැඟවී සිටි බැවින් බ්‍රිතාන්‍ය අධිකරන පද්ධතිය තුල ඔහුගේ අනාගතය තීරනය කිරීම යුක්ති සහගතය”.

මාධ්‍ය වාර්තාවන්ට අනුව ඇඩිස් අබාබා වල සිය කථාව තුලදී හන්ට් “මාධ්‍ය නිදහස වර්ධනය කිරීම සඳහා වූ සිය දැක්ම ගෙන හැර දැක්වීය.” ලෝකයේ වඩාත්ම කැපී පෙනෙන විමර්ශනාත්මක මාධ්‍යවේදියාව පලිගන්නා සුලු දඬුවමකට ලක්කිරීමට පෙරමුන ගන්නා විදේශ ලේකම්, කලින් සූදානම් කරන ලද පූච්චානම් වලින් නොව, මෙට්‍රොපොලිටන් පොලිස් සේවයේ (අසාන්ජ් අත් අඩංගුවට ගත්) රුදුරු ප්‍රචන්ඩත්වය මගින් “සිය දැක්ම” මේ වන විටත් මොනවට ඉදිරිපත් කොට තිබුන බව යෝජනා කිරීම පිලිබඳව අපට සමාව දෙනු ඇතැයි සිතමු.

සම්පූර්න පච සහ හිස් ප්‍රලාපයන්ගේ ප්‍රබන්ධයක් වන ඔහුගේ කථාව අතරතුර හන්ට් ඔහුගේ ඉතියෝපියානු ශ්‍රාවකයට “විවිධ මතවාදයන් අතර විවෘත තරගයට ඔක්සිජන් සපයන, මානුෂීයත්වයේ අභිවෘද්ධිය, නිදහස්ව සහ සාධාරනව සටන් වැදීම මගින් ප්‍රඥාව පැන නගින බව පැහැදිලිවම පෙන්වන බව” ප්‍රකාශ කලේය. හන්ට් එහිදී තවත් එකතු කල යුතුව තිබුනේ “එකී වෙනස් වෙනස් මතවාද, නිල මතවාදයම දරන තාක් දුරට” යන්නයි, “නොඑසේ නම් ඔක්සිජන් සැපයුම කපා දමනු ඇත.”

ඇඩිස් අබාබා වල ඉදිරිපත් කල කතා මත ආධිපත්‍ය දැරුවේ, වර්ධනය වන මහජන අතෘප්තිය සහ විරෝධාභාෂි හඬවල් ගැන අධිරාජ්‍යවාදී හා අප්‍රිකානු ධනේශවරයට අයත් සියලු සහභාගීකරුවන්ට එක සමානව පවතින භීතිය හා ඒවා මර්දනය කිරීමට වූ දැඩි අවශ්‍යතාවයකි.

හන්ට් සහ අනිත් අයගේ කථාවලට ඒවායේ විකෘති කරන ලද සහ වංක දෙබිඩි කථා ස්වභාවය ලබා දුන්නේ මෙමගිනි. “මාධ්‍ය නිදහස” පිලිබඳ ප්‍රශ්නයට ලෝකය පුරාම අධිකාරීන්ගේ දැනට පවත්නා පොදු ප්‍රවේශය වී ඇත්තේද එයයි. ආන්ඩුවලට සත්‍ය වශයෙන්ම අවශ්‍ය දේ වනුයේ මාධ්‍ය නිදහසින් නිදහස් වීමයි. පාලක පන්තියටමත් අවශ්‍ය නිදහසේ ක්‍රියාත්මක වීමේ හැකියාව එනම් තමන්ට නොඑකඟ සහ බාධාකාරී හඬකින් තොරව ක්‍රියාත්මක වීමේ හැකියාව අවශ්‍ය වේ.

අන්තර්ජාල වාරනය කර ක්‍රියාවිරහිත කරගැනීමට ගෙනයන ක්‍රමානුකූල උත්සාහය පිටුපස මෙම උත්සුකයන් පවතී. වෛරී සහගත කථාවන්, විදේශිකයන් නොරිස්සීම, අන්තර්ජාලය හරහා පහරදීම්, බොරු සංඛ්‍යාලේඛන, නොමග යවන සුලු මාධ්‍ය වාර්තා, මැතිවරන අක්‍රමිකතා පිලිබඳ චෝදනා සහ “ජනප්‍රියවාදී” පුරසාරම් ආදි [අවශ්‍ය විට ඔවුන් තෝරාගන්නා] නොයෙක් දේ ව්‍යාජ උනන්දුවකින් හුවාදක්වමින්, ඒය [අන්තර්ජාල වාරනය] සාධාරනීකරනය කරයි. ඇත්ත වශයෙන්ම ගත කල, බොරු තොරතුරු, රැවටීම සහ සෑම ආකාරයකම පසුගාමිත්වය හා [වැරදි පුර්ව] නිගමන පැතිරවීම මතක ඇති කාලයේ සිට සෑම තැනකම ධනේශ්වර මාධ්‍යයේ ප්‍රධානම වෙලඳ භාන්ඩය විය. නමුත් අධිකාරීමය තනතුරක් දරන කිසිවකු කිසිම දිනක ඒ ගැන පැමිනිලි කිරීමට සිතා වත් නැත. මේ බොරු තොරතුරු සැපයීමේ සහ රැවටීමේ මෙතෙක් පැවති යාන්ත්‍රනයේ නිශ්චිත කඩා වැටීම, අසාන්ජ්ට එරෙහි හිංසනය හා දඩයම් දරුනු ලෙස පැන නැගීමට පිටුබලය සපයා ඇත.

මේ අනුවම යමින් යුනෙස්කෝවේ “මාධ්‍ය වේදය, ව්‍යාජ පුවත් සහ සාවද්‍ය තොරතුරු- මාධ්‍ය වේදය, අධයාපනය සහ පුහුනුව සඳහා වූ අත්පොත - 2018” මගින් තර්ක කරන්නේ වර්තමානයේ ඇති “තොරතුරු වල අක්‍රමිකතාව” මගින් “අධිකාරීමය මූලාශ්‍ර” සහ “විශ්වසනීය මාධ්‍ය වේදය” හානියට පත්ව ඇති බවයි.

මෙහි කතුවරුන් තවදුරටත් තර්ක කරන්නේ සමාජ මාධ්‍ය මගින් “ජනප්‍රියත්වය නීත්‍යානුකූල භාවයට හැරවීම”, “ජනප්‍රියවාදී නායකයන්, ආන්ඩු සහ දුරස්ථ ක්‍රියාකාරීන්ට දේවල් මෙහෙයවීමට ඉඩදීම” හා “ප්‍රතිරාවය කිරීමේ විධික්‍රම, ධ්‍රැවීකරනය සහ අති-පක්ෂපාතිත්වය” ආදිය නිර්මානය කිරීම මගින් “ප්‍රජාතන්ත්‍රවාදයට හානි පමුනුවමින්” සිටින බවය.

අත්පොත මගින් වුවමනාවෙන් පැහැදිලි කරන සංසිද්ධීන් වන්නේ; “ප්‍රකාශනය සඳහා ඇති සියලු බාධක ඉවත් කෙරෙමින් හා ඕනෑම පුද්ගලයෙකුට හෝ ආයතනයකට ප්‍රවෘත්ති නිපදවා, සාම්ප්‍රදායික දොරටුපාලයන් [බලධාරින්] මගහරිමින්, [ප්‍රේක්ෂක] අවධානය ලබාගත හැකිව ඇති තතු යටතේ ප්‍රවෘත්ති පලකරන ආයතන තම ශ්‍රාවකත්වය රඳවා ගැනීමේ අර්බුදයකට මුහුන දී ඇත. එමෙන්ම එය තව දුරටත් අනතුරු අඟවන්නේ “සමාජ මාධ්‍ය වේදිකා සහ අන්තර්ජාලය තුල සියල්ලන්ටම නිදහසේ අධිවේගී තොරතුරු ලබා ගැනීමට හැකිවීම තුල සෑම අයෙකුටම ප්‍රකාශකයෙකු විය හැක. එහි ප්‍රථිපලයක් ලෙස සත්‍ය කුමක්ද සහ අසත්‍ය කුමක්ද යන්න අවබෝධ කරගැනීමට මහජනතාවට දුෂ්කර වී ඇත. නරුමකම සහ අවිශ්වාසය රජයයි. අන්තවාදී මතවාද, කුමන්ත්‍රන න්‍යායන් සහ ජනප්‍රියවාදය පිබිදෙමින් ඇති අතර කලින් පිලිගත් සත්‍යයන් සහ ආයතනයන් ප්‍රශ්නයට බඳුන් වෙමින් ඇත.”

ඔවුන්ගේ ගතානුගතික, ප්‍රජාතන්ත්‍රවිරෝධී සහ සංස්ථාපිතයට හිතවාදී දර්ශනයන්ගේ බලවන්තභාවය සහ “කලක පිලිගත් සත්‍යයන් සහ ආයතනයන් ” ආරක්ෂා කිරීමට වූ ඔවුන්ගේ අභිලාෂයේ ගැඹුර අවබෝධ කර ගැනීම, මේ “ලෝක නිදහස් මාධ්‍ය දිනය” සංවිධානය කල ඉතා ගරු කටයුතු සහ ප්‍රිය-වදන් ඇති මහත්වරු, අසාන්ජ් සහ ඔහු වැනි අය කාලයේ අවසානය තෙක් සිරගෙවල් වල කුනුවී යනු ඇතැයි බලාපොරොත්තු වන්නේ ඇයිද යන්න පැහැදිලි කරගැනීමට අපට උදව් වේ.

යුනෙස්කෝව සහ මෙම පිරිස “බොරු ප්‍රචාරයන්” සහ “වැරදි තොරතුරු සැපයීම්”සම්බන්ධයෙන් බරපතල ලෙස තැකුවේ නම්, මිලියනයකට වඩා වැඩි මිනිසුන් පිරිසකගේ ඝාතනයකට සහ සමස්ථ කලාපයකම විනාශයට මග පාදා ඇති, නූතන අවධියේ දැවැන්තම “ව්‍යාජ පුවත වන” ඉරාකය තුල “ජනඝාතක අවි” පිලිබඳ ඇමරිකානු මාධ්‍යයන්ගේ අසත්‍ය සහ විනාශකාරී ව්‍යාපාරය, තම නොම්මර එකේ ප්‍රදර්ශන භාන්ඩය ලෙස ඉදිරිපත් කරනු ඇත.

ලියොන් ට්‍රොට්ස්කි වරක් නිරීක්ෂනය කල පරිදි “සෑම ඓතිහාසික යුගයකටම තමාගේ තාක්ෂන විධික්‍රමයන් සහ තමාගේම දේශපාලන ආකාරයන් පමනක් නොව එයටම විශේෂිත වූ කුහකත්වයක්ද පවතී.”

එක් අතකින් “තමාගේ කාර්යයන් කරන මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීමට සහ නිදහස් මාධ්‍යයක ප්‍රථිලාභ නැංවීමට ගෝලීය ව්‍යාපාරයක්”, ඔහු සහ අනෙක් නිලධාරීන් දියත් කරමින් සිටින බව ප්‍රකාශ කරමින් අනෙක් අතින් අසාන්ජ්ට මුකවාඩම දැමීමට හෝ සදහටම නිහඬ කිරීමට කටයුතු කිරීමට හන්ට්ට හැකිවී ඇත්තේ කෙසේද?

සත්‍ය වශයෙන්ම මෙය හුදු කුහකත්වය ඉක්මවා යයි. ඉංග්‍රීසි ආර්ථික වේදියෙකු සහ සමාජ විද්‍යාඥයෙකු වන ජෝන් ඒ හොබ්සන් ඔහුගේ වටිනා අධිරාජ්‍යවාදය - අධ්‍යයනයක් (1902) කෘතියේ තර්ක කලේ එබඳු නිල “එකවිටම එකිනෙකාට ප්‍රතිවිරුද්ධ අදහස් සහ හැඟීම් පවත්වා ගැනීමේ, සමවාය නොවීමේ දිදුලන හැකියාව.... කුහකත්වය හෝ අසත්‍ය අපේක්ෂා මගින් කරන පෙලෙඹවීමක් නොවන”බවය. ඔහු තවදුරටත් තර්ක කලේ, “ආත්මයේම පවතින බොරුව” එනම් තමා විසින්ම එය බොරුවක් බව නොදන්නා බොරුව ලෙස ප්ලේටෝ ප්‍රකාශ කල තත්වය මෙය වූ බවයි. හොබ්සන් ප්‍රකාශ කල මෙය, එහි “බුද්ධිමය සහ සදාචාරමය ආරක්ෂාවන් පිලිබඳ පැටලිලි සහගත වියමන සහිතව” අධිරාජ්‍යවාදී වර්ධන අවධියේ “ආචාරධර්ම සහ සමාජ විද්‍යාව” විය යනුවෙනි.

“[මේ] සම්පූර්න ක්‍රියාවලිය පාලනය කරන සහ මග පෙන්වන ක්‍රියාකරු” වන්නේ “ජාතික රාමුව තුල හොඳින් සංවිධිත, කුඩා කන්ඩායම් වල සෘජු, කෙටි කාලීන, භෞතිකමය අභිලාෂයන් [ලාභ අපේක්ෂාවන්] සඳහා ක්‍රියාත්මක වන මූල්‍ය සහ කාර්මික පෙලඹවීම් වල පීඩනය යැයි ඔහු ලිවීය.

අසාන්ජ්, “කුඩා, හැකියාවෙන් පිරුනු, සහ හොඳින් සංවිධිත කන්ඩායමක්” වන ධනවත් සහ බලවත් පන්තිය වෙනුවෙන් පන්ති යුද සිරකරුවෙක් ලෙස රඳවා තිබෙන්නේ, පීඩිත පන්තියට එරෙහිව ඔවුන්ගේ අපරාධ පිලිබඳ ඔහු අනාවරනය කල හෙයිනි.

ඇඩිස් අබාබාහි එක දෙයක් පිලිබඳව ජෙරමි හන්ට් නිවැරදිය. “ප්‍රශ්න සහ ආතතීන් බෝතල් වල අසුරා ඇත්නම් ඒවා උතුරා පිපිරී යාමට ඉඩ ඇත.” ඔහු අනතුරු ඇඟවීය. “ප්‍රශ්නයක් වාර්තා කිරීමෙන් මාධ්‍යවේදියකු වැලැක්වීම එය සමනය නොකරයි. සත්‍යය වනුයේ ආන්ඩු පුවත්පත් වසා දැමීමට සහ මාධ්‍ය මර්දනය කිරීමට පටන් ගන්නා විට, ඒවා සාමය ආරක්ෂා කිරීම වෙනුවට අනාගතය වෙනුවෙන් තව තවත් කරදර ගොඩ ගසයි.”

සරලවම ඔහුට අදහසක් නැත.

ලෝකය පුරාම කම්කරුවන් සිය රැකියා, වැටුප් සහ සමාජ අයිතීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වැඩෙන වැඩවර්ජන මාලාවකට සම්බන්ධවී සිටී. ධනේශ්වර කතිපයාධිකාරයේ දූෂිත නියෝජිතයන් නොව ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සැබෑ සමාජ පදනම් නිර්මානය කරන සමාජ බලය මෙයයි.

සෙනසුරාදා හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සිය හයවන වාර්ෂික අන්තර්ජාල මැයි රැලිය සමරනු ඇත. මෙම අවස්ථාවේ කේන්ද්‍රීය ඉලක්කය වනු ඇත්තේ අසාන්ජ්ගේ සහ චෙල්සී මෑනින්ගේ ආරක්ෂාව වෙනුවෙන් කම්කරු පන්තිය සංවිධානය කිරීමයි. සියලු ලෝසවෙඅ පාඨකයන් සහ ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කර ගැනීමට උත්සුක වන සියල්ලන්ටම මෙයට ලියාපදිංචිවී සහභාගී වන ලෙස අපි අවධාරනය කර සිටිමු.

ඬේවිඞ් වොල්ෂ්

Share this article: