එක්සත් ජනපද-චීන වෙලඳ යුද්ධයේ නව අවධියක්

A new stage in the US-China trade war

2019 මැයි 14

ට්‍රම්ප් පරිපාලනය විසින් වෙලඳ යුද්ධය තීව්‍ර කරද්දී, ලෝකයේ පලමු හා දෙවන ආර්ථිකයන් වන එක්සත් ජනපදය හා චීනය අතර ආර්ථික මුනගැටුම, නව හා වඩා අන්තරායකාරී අවධියකට ලඟා වී ඇත.

ගිය වසරේ මැයි මාසයේ, චීනයේ වෙලඳ හා ආර්ථික පිලිවෙත් අරබයා එක්සත් ජනපදය තම ඇනවීම් මාලාව නිකුත් කල තැන් පටන්, ධනේශ්වර කවවල පැවතී ඇති සාම්ප්‍රදායික පාන්ඩිත්‍යය වන්නේ, මුනගැටුමේ හා එක්සත් ජනපදයේ වඩ වඩා යුදවාදී වන නිවේදනවල විස්තාරනය කොතෙකුදු වුවත්, අවසානයේ යම් ආකාරයක වෙලඳ ගනුදෙනුවක් කරා ලඟා වනු ඇති බව ය. ෆෙඩරල් රිසර්ව් බැංකුවේ මූල්‍ය පිලිවෙත් හා සහයෝගී වන මෙම විශ්වාසය, කොටස් වෙලඳපොලවල් වාර්තාගත මට්ටම්වලට නැගීම සඳහා මුක්කුව සැපයී ය.

එහෙත්, ධනවාදී පද්ධතියේ සියලු මතුපිට විශ්ලේෂනයන් මෙන් මෙම සන්තෝෂජනක සැකිල්ල ද ලාබ පද්ධතියේ සාරාත්මක ධාවක බලයන් වන එහි අතිමූලික වෛෂයික පරස්පර විරෝධයන් සමග ගසාගෙන ගොස් ඇත.

දශකයකට පෙර, ගෝලීය මූල්‍ය අර්බුදයෙන් ක්ෂනික ව ඉක්බිත්තේ, ජී20 කන්ඩායමේ සමුලුවක් සඳහා ප්‍රධාන ධනපති බලයන්ගේ නායකයෝ ලන්ඩනයේ දී රැස්වූ හ. එහි දී ඔවුන් පොරොන්දු වූයේ, අර්බුදයට -මෙය මහා අවපාතයෙන් මෙපිට ගෝලීය මූල්‍ය පද්ධතියේ වඩාත් ම ගැඹුරු කඩාවැටීම යි- ප්‍රතිචාර ලෙස, 1930 ගනන්වල වෙලඳ යුද පියවරයන් වෙත කිසිදා යොමු නො වන බව යි. විශේෂයෙන් ම දෙවන ලෝක යුද්ධයට කොන්දේසි සූදානම් කිරීමේ දී වෙලඳ යුද්ධය ඉටුකර තිබුනු ක්‍රියා කලාපය ඇතුලු ඉතිහාසයේ පාඩම්, ඉගෙනගෙන තිබුනු බව කියැවුනි.

රැස්වීම පිලිබඳ ව ලෝක සමාජවාදී වෙබ් අඩවිය ඉදිරිපත් කල විශ්ලේෂනය, මෙම අවධාරනයන් කීතු කලේ ය. එහි වාර්තාව සඳහන් කල පරිදි, “රැස්වීම පුරා අන්තර්-අධිරාජ්‍යවාදී ප්‍රතිඝතිතා ප්‍රකට වූ” අතර අනිවාර්යයෙන් ම ඒවා තියුනු වීමට නියමිත විය. “ලෝක ධනවාදය ගලවා ගැනීමට ගෝලීය ව සම්බන්ධීකෘත සැලසුමකට පදනම දමා තිබෙනු වෙනුවට, ලන්ඩනයේ සමුලුව ප්‍රදර්ශනය කර ඇති එකම දෙය වන්නේ, ගෝලීය ව ඒකාග්‍රිත ආර්ථිකය හා ධනපති ජාතික-රාජ්‍ය පද්ධතිය අතර විසඳිය නො හැකි පරස්පර විරෝධයත්, අර්බුදයට අව්‍යාජ ජාත්‍යන්තර ප්‍රවේශයක් සම්මත කිරීමට ප්‍රතිමල්ල ජාතික රාජ්‍යයන්ට පවතින නො හැකියාවත්” බව ලෝසවෙඅ සඳහන් කලේ ය.

දැන් එක්සත් ජනපදය විසින් චීනයට එරෙහි ව දියත් කර ඇති වෙලඳ යුද්ධයේ රූපයෙන් පුපුරා ගොස් ඇත්තේ, ගෝලීය ධනපති ආර්ථිකයේ කුදුමහත් ව්‍යුහයේ ම මුල්බැස පවතින මෙම අතිමූලික හා විසඳිය නො හැකි පරස්පර විරෝධය යි.

පලමු ලෝක යුද්ධයේ පුපුරා යාම පිලිබඳ ව කල විශ්ලේෂනයේ දී, එකෙක් අනෙක් සෑම එකාට ම විරුද්ධ ව මිලිටරි ගැටුමක නිරත වීම ප්‍රතිඵල කරන, සෑම ධනපති මහා බලයකට ම තමන් ව ම ආධිපත්‍යධාරී ලෝක බලයක් බවට පරිවර්තනය වීමේ අභිලාෂය තුල, ලෝක ආර්ථිකය හා ජාතික-රාජ්‍ය පද්ධතිය අතර පරස්පර විරෝධය ප්‍රකාශිත වන බව, ලියොන් ට්‍රොට්ස්කි විස්තර කලේ ය.

ලෝක යුද්ධ දෙකක් නිෂ්පන්න කල ලේ නාගත් දශක තුනකට, මහා අවපාතයේ ආර්ථික විනාශය හා නාසිවාදයේ සන්ත්‍රාසයන්ට පසුව, එක්සත් ජනපදය ආධිපත්‍යධාරී අධිරාජ්‍යවාදී බලය ලෙස ඉස්මතු විය. එය එහි ආර්ථික ශක්තිය හා එහි ප්‍රතිමල්ලවයන් මත තිබූ අධිභාරය යොදාගත්තේ, නව ආර්ථික හා දේශපාලන පර්යායක් පිහිටුවීමට ය. පූර්ව කාලපරිච්ඡේදයේ මතුපිටට පුපුරා ගොස් තිබූ පරස්පර විරෝධයන් මර්දනය කරනු ලැබුවත්, ඒවා කිසි කලෙක ජයගනු ලැබුවේ නැත.

ධනපති පද්ධතියේ ප්‍රකෘතිමත් වීම මත්, එය විසින් නිෂ්පාදනය කල ආර්ථික වර්ධනයත්, පශ්චාත්-යුද පර්යාය පදනම් වී තිබූ එක්සත් ජනපදයේ ආර්ථික ආධිපත්‍යයට වලකැපීම ආරම්භ කලේ ය. එක්සත් ජනපදයේ පිරිහීමෙහි පලමු විවෘත සංඥාව වූයේ, එක්සත් ජනපද ඩොලරයේ රත්තරන් පිටුබලය ඉවත් කිරීම හරහා, පශ්චාත්-යුද මූල්‍ය පද්ධතියෙහි පදනම වූ 1944 බ්‍රෙට්න් වුඞ්ස් ගිවිසුම, රත්තරන් සිඳී යාමකට මුහුන පෑ එක්සත් ජනපද ජනාධිපති නික්සන් විසින් 1971 අගෝස්තුවේ ඉරා දැමීම යි.

තවත් ප්‍රධාන හැරවුම් ලක්ෂ්‍යයක්, ස්ටැලින්වාදී නිලධාරී තන්ත්‍රය සෝවියට් සංගමය දියකර හැරි 1991 අවසානයේ, එනම් වසර 20කට පසුව පැමිනියේ ය. මෙය ධනවාදයේ විජයග්‍රහනය ලෙස උත්කර්ෂයට නැංවූ නමුත්, එය නියෝජනය කලේ පශ්චාත්-යුද පර්යායෙහි බිඳ විසිර යාමේ තවත් අවධියකි.

සෝවියට් සංගමය පවතිද්දී, සීතල යුද්ධයේ අභිධානය යටතේ එක්සත් ජනපදයට, එය ලෝක යුද්ධ දෙකක නිරත ව තිබූ අධිරාජ්‍යවාදී ප්‍රතිමල්ලවයන්ගේ අභිලාෂයන් හා ධාවනයන් සීමා කිරීමට හැකි විය. දැන් මෙම ස්ථාවරකාරී සාධකය ඉවත් කරනු ලැබ තිබුනි. එක්සත් ජනපදයේ පශ්චාත්-සෝවියට් පිලිවෙත වන්නේ, ගෝලීය පරිමානයෙන් හෝ ලෝකයේ ඕනෑම කලාපයක දී, එහි ආධිපත්‍යයට කිසිදු බලයක් හෝ බලයන් කන්ඩායමක් විසින් අභියෝග කිරීම වැලැක්වීම ය යනුවෙන් ප්‍රකාශ කල මූලෝපායික ලේඛනයක් පෙන්ටගනය නිකුත් කල 1992 මුල් සමයේ මෙම කරුන ක්ෂිනක ව හඳුනා ගැනුනි.

එහෙත් 1990 ගනන් පුරා හා නව ශතවර්ෂය තෙක්, එක්සත් ජනපදයේ ආර්ථික පිරිහීම අඛන්ඩ ව වේගවත් වූ අතර, ක්ෂනික පශ්චාත්-යුද කාලය තුල එය භජනය කල ආධිපත්‍යධාරී කාර්මික ස්ථානයේ තැන වෙනුවට එහි ආර්ථිකය වඩ වඩා මූල්‍ය පරපුටුභාවය හා සමපේක්ෂනය මත රඳා සිටීම විසින් එය විලක්ෂනය කලේ ය. 2008 මූල්‍ය කඩා වැටීමට පාර කැපුවේද මෙම ක්‍රියාදාමය යි.

එහි සාපේක්ෂ ආර්ථික ආධිපත්‍යය අහිමි කරගනිමින් සිටි එක්සත් ජනපදය, ගෝලීය ආධිපත්‍යය පවත්වාගෙන යාම සඳහා වඩ වඩා මිලිටරි විධික්‍රමවලට හැරී ඇත්තේ, පසුගිය ශතවර්ෂ කාල තුලත් ඉන් ඔබ්බේත් නො නවතින යුද්ධයන් කරා ධාවනය වෙමිනි.

චීනය සමග ගැඹුරු වන ගැටුමේ මූලාශ්‍රය පවත්නේ මෙහි ය. එය වෙලඳාම අරබයා වන ගැටුමක රූපය ගත්ත ද එහි මුල් වඩා ගැඹුරට දිවෙයි. එහි පැරනි ප්‍රතිමල්ලවයන්ට සාපේක්ෂ ව එහි ස්ථානය දැනට මත් දුර්වල වී ඇති තතු යටතේ, නව බලයක නැගීමට අවසර දීමට එක්සත් ජනපදය සූදානම් නැත. වෙලඳාම යලි තුලනය කිරීමෙන් බොහෝ ඔබ්බට යන ලෙස එය බීජිනයට අනවන්නේ මේ නිසා ය. සියල්ලට ඉහලින් අධි-තාක්ෂනික හා කාර්මික සංවර්ධන අංශයන් ඇතුලු ව ආර්ථික ප්‍රවර්ධනයක් කරා චීනය ආරෝහනය වීමට ඒවා ඉලක්ක කරනු ලබන්නේ, එක්සත් ජනපදය එය තම ආර්ථික හා මිලිටරි ස්ථානයේ පැවැත්මට ම තර්ජනයක් ලෙස සලකන නිසා ය.

මෙය හුදෙක් ට්‍රම්ප් හා ඔහුගේ පරිපාලනයේ රොක් වී සිටින චීන-විරෝධී උකුස්සන්ගේ ආස්ථානය පමනක් නො වේ. එය වනාහි, සමස්ත එක්සත් ජනපද ඔත්තු සේවා හා මිලිටරි යාන්ත්‍රනයේ මෙන් ම, චීනයට එරෙහි ව දිගට ම “තදින් සිටින” ලෙස ට්‍රම්ප්ගෙන් කටුක ලෙස ඉල්ලා සිටින සෙනෙට් ඩිමොක්‍රටික නායක චාල්ස් ෂූමර් හා ට්‍රම්ප්ගේ පිලිවෙත්වලට සහයෝගය දෙන බර්නි සෑන්ඩර්ස් වැනි ඩිමොක්‍රටික් පක්ෂය තුල සිටින ඊනියා “වාමාංශය” ද විසින් තහවුරු කරන පරිදි, සංගත හා දේශපාලන සංස්ථාපිතයේ මූලික කොටස්වල ද ආස්ථානය යි.

චීනය වෙතින් එක්සත් ජනපදය පිලිගැනීමට සූදානම් වන එකම ආර්ථික භූමිකාව වන්නේ, එය එක්සත් ජනපදයේ සැබෑ අර්ධ-කොලනියක් ලෙස ක්‍රියාත්මක වීම පමනි.

එහෙත්, ෂී ජිංපිං නායකත්වය දෙන චීනයේ කතිපයාධිකාර ධනපති තන්ත්‍රයට එවැනි යටත් වීමක් පිලිගත නො හැක. ධනේශ්වර දේපොල පුනස්ථාපනය කිරීම හා ලෝක වෙලඳපොලට චීනය ඒකාග්‍ර කිරීම හරහා මිලියන 400ක් තරම් ශක්තිමත් කම්කරු පන්තියක් නිර්මානය කර ඇති එම තන්ත්‍රයට, එය ආර්ථික වර්ධනය නිපදවන තාක් කල් පමනක් ඕනෑම මට්ටමක දේශපාලනික සුජාත භාවයක් පවත්වාගෙන යා හැක.

මෙම පරස්පර විරෝධයේ අනුකම්පා විරහිත වෛෂයික තර්කනය වන්නේ යුද්ධය යි.

තව ද ගැටුම පවතින්නේ චීනය සමග පමනක් නො වේ. එය නැගී එන්නේ, කලින් ඇමරිකානු ධනවාදයට වාසි ගෙන දුන් නිදහස් වෙලඳාම මත පදනම් වූ පශ්චාත්-යුද පර්යාය, දැන් එහි අවශ්‍යතාවන්ට එරෙහි ව ක්‍රියාත්මක වන බව එක්සත් ජනපද පාලක කව විසින් හඳුනාගැනීම තුලිනි.

ට්‍රම්ප් ධවල මන්දිරයට පැමිනීමට ඉතාමත් පෙර, ෆොරින් අෆෙයාර්ස් සඟරාවේ 2014 දෙසැම්බර් කලාපයේ පලවූ ලිපියක ඔබාමා පරිපාලනයේ ප්‍රධාන වෙලඳ සාකච්ඡාකරු වූ මයිකල් ෆ්‍රෝමන් සඳහන් කලේ, යුද්ධයෙන් පසු හැඩගැස්වූ ගෝලීය වෙලඳ පද්ධතියේ “භූතල මාරුවක්” සිදු වී ඇති බව යි. ලෝක වෙලඳ “නිර්මාන ශිල්පය” තුල වෙනසක් එමගින් ඉල්ලා සිටින බව ඔහු අවධාරනය කලේ ය. මෙයට හේතුව වූයේ, යුද්ධය අවසානයේ දී මෙන් එක්සත් ජනපදය “ගෝලීය ආර්ථිකය තුල තවදුරටත් ආධිපත්‍යධාරී ස්ථානයක් භජනය නො කරන” නිසාත්, “වෙලඳ පිලිවෙත නිර්මානය කරද්දී පෙර නුවූ විරූ ගැටලු වලට” මුහුන දී සිටි නිසාත් ය.

වත්මන් ලෝක වෙලඳ පද්ධතියට හා ඩොලර් බිලියන සිය ගනන්වලින් ඇමරිකාවේ මුදල් “කඩා වඩා ගැනීමටත්” එරෙහි ඔහුගේ දෙසාබෑම්වල දී ට්‍රම්ප් වඩාත් විවෘත ව හා වඩාත් ගොරහැඩි ලෙස ප්‍රකාශයට පත්කරන්නේ, ඇමරිකානු පාලක කව තුල වඩාත් පලල් ව පවතින ආස්ථානය යි.

වර්තමානයේ දී චීනයට එරෙහි ගැටුම වේදිකා මස්ථකය අරක්ගෙන සිටිද්දී, එක්සත් ජනපදයේ අනෙකුත් ප්‍රතිමල්ලවයන්ට එරෙහි ව ද පියවරයන් සූදානම් කෙරෙමින් පවතී. මේ සතියේ පරිපාලනය වෙත වානිජ දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක් ලැබීමට නියමිත අතර, එම වාර්තාව මෝටර් රථ ආනයන එක්සත් ජනපදයේ “ජාතික ආරක්ෂාවට” තර්ජනයක් නියෝජනය කරන බව ප්‍රකාශ කිරීමට නියමිත වන්නේ, ජපානය, දකුනු කොරියාව හා සියල්ලටත් වඩා ජර්මනියට එරෙහි ව සියයට 25ක බදු පැනවීමට ට්‍රම්ප් කරන තර්ජනය සඳහා නෛතික පදනම සම්පාදනය කරමිනි.

මෙම තර්ජනය, එක්සත් ජනපදය සමග බහු-පාර්ශවීය වෙනුවට ද්වි-පාර්ශවික වෙලඳ සාකච්ඡා සඳහා එලඹෙන ලෙස ජපානය හා යුරෝපා සංගමය වෙත පීඩනය යෙදීමට දැනට මත් යොදාගෙන ඇති අතර, දැනට චීනයට එරෙහි ව යොමුවන පියවරයන් ම ඔවුන්ට ද එරෙහි ව යොදනු ඇතැයි බියවන නිසා ඔවුන් එයට ප්‍රතිරෝධය දක්වා තිබුනි.

එක්සත් ජනපද-චීන වෙලඳ යුද්ධයේ ප්‍රගාඪ අර්ථභාරය වටහා ගත හැක්කේ, එය එහි පලල් දේශපාලනික සන්දර්භය තුල බහා දැකගන්නේ නම් පමනි. එය යම් නො වැදගත් සිද්ධියක් නො වේ. 1930 ගනන්වල ආර්ථික පියවරයන් පුනර්ජීවනය කරමින් තිබිය දී, එම ම්ලේච්ඡ දශකයේ සියලු දේශපාලන ප්‍රපංචයන් යලි වතාවක් මතුපිටට පැමිනෙමින් තිබේ.

එක්සත් ජනපද තම අවශ්‍යතා පැටවීම සඳහා, වෙනිසියුලාවේ සිට පර්සියානු ගල්ෆ් කලාපය හා දකුනු චීන මුහුද දක්වා ලොව පුරා එහි හමුදාවන් දිගේලි කරද්දී, ලෝක යුද්ධයේ අන්තරාය දිනෙන් දින ඉහල යයි. කම්කරු පන්තියට එරෙහි ව දිගේලි කිරීමට නියමිත ෆැසිස්ට්වාදී බලවේග, එක්සත් ජනපදය තුල ක්‍රියාකාරී ව ට්‍රම්ප් විසින් ද වඩ වඩා ආඥාදායක පාලන රූප වර්ධනය කිරීම මධ්‍යයේ ලොව පුරා ධනපති රාජ්‍යයන් විසින් ද දිරිමත් කරනු ලැබේ. ඒ අතර ම, කොටස් වෙලඳපොල ඝර්ෂනයන් පෙන්වා දෙන්නේ, 2008 මූල්‍ය අර්බුදයටත් වඩා ගැඹුරු තවත් මූල්‍ය අර්බුදයක වර්ධනය යි.

යුද්ධය, ආඥාදායකත්වය හා ෆැසිස්ට්වාදය යනු, පන්ති අරගලයේ වර්ධනයටත් කම්කරුවන් වඩ වඩා ධනපති-විරෝධී හා සමාජවාදී විකල්පයක් දෙසට හැරීමටත් ධනපති පාලක පන්තියේ ප්‍රතිචාරයන් ය.

ම්ලේච්ඡත්වය කරා වේගවත් වන කිඳී යාම නැවැත්විය හැක්කේ කම්කරු පන්තියේ මැදිහත් වීමෙන් පමනි. පලමු ලෝක යුද්ධය ආරම්භයේ දී ලියොන් ට්‍රොට්ස්කිගේ වචන උපුටා දක්වතොත්: “ධනවාදයේ අධිරාජ්‍යවාදී වික්ෂෝපයට මුහුන දීමට නිර්ධන පන්තියට පවතින එකම මාවත වන්නේ, ලෝක ආර්ථිකය සමාජවාදී ලෙස සංවිධානය කිරීම දෛනික ප්‍රායෝගික ක්‍රියාමාර්ගය ලෙස එයට විරුද්ධ ව පිහිටුවීමෙන් පමනි.”

නික් බීම්ස්

Share this article: