ෆෝර්ඞ් සමාගම රැකිය සංහාරය තීව්‍රකරයි

මෝටර්රථ කර්මාන්තයේ දොට්ට දැමීම්වලට එරෙහිව සටන් කිරීමේ ගෝලීය සමාජවාදී මූලෝපාය

Ford escalates jobs massacre: The global socialist strategy to fight auto layoffs

2019 මැයි 22

ඩෙට්‍රොයිට් නගරාසන්නයේ ෆෝර්ඞ් මෝටර් රථ සමාගමේ ලෝක මූලස්ථානයේ ස්ථීර වැටුප් ලබන කම්කරුවන් සිය ගනනක්, මෝටර්රථ නිෂ්පාදකයා හඳුන්වන “කාර්යශීලී ලෙස නැවත සැලැසුම් කෙරෙන” වියදම් කප්පාදු උද්ඝෝෂනයේ අවසන් පියවරේ දී, ඔවුන්ගේ සේවය අත්හිටවන බව පවසා සිටීමෙන් පසු, තම සන්තක දෑ එක්රැස් කර ගත්හ. සඳුදා අභ්‍යන්තර සටහනක් තුල, ෆෝර්ඞ් ප්‍රධාන විධායක නිලධාරී ජිම් හැකට් අනාවරනය කලේ, ස්ථීර වැටුප් ලබන කම්කරුවන් 7,000ක්, නැතහොත් තම ගෝලීය සුදු කරපටි රැකියාවලින් සියයට 10ක් අගෝස්තුවේ දී තුරන් කිරීමේ අවස්ථාවක තිබෙන බව යි.

ඉංජිනේරුවන්, කලමනාකරුවන්, තාක්ෂනවේදීන් හා අනෙකුත් වැටුප් ලබන කම්කරුවන් 900ක් පමන මෙම සතියේ එක්සත් ජනපදය තුල දොට්ට දැමෙනු ඇත්තේ, මේ වන විටත් “ස්වේච්ඡාවෙන් ඉවත්වීමට” බල කෙරී සිටින 500ට අමතරව යි.

මෙය ආරම්භය පමනි. වෝල් වීදිය ෆෝර්ඞ් නිවේදනය නො වැදගත් යැයි සැලකූ අතර තව තවත් ලේ ඉල්ලා සිටියේ ය. අඟහරුවාදා, මෝර්ගන් ස්ටැන්ලි ආයෝජන බැංකු විශ්ලේෂකයෙකු පැවසුවේ තම වියදම් කප්පාදු ඉලක්ක සැපිරීමට ෆෝර්ඞ් සමාගම ස්ථීර වැටුප් ලබන තවත් කම්කරුවන් 23,000ගේ රැකියා කපා දැමීමට සිදු කරනු ඇති බව යි.

ෆෝර්ඞ් තම ගෝලීය ප්‍රතිව්‍යුහගත කිරීම තීව්‍ර කරමින් සිටින්නේ, ඔන්ලයින් සිල්ලර වෙලඳ යෝධයෙකු වන ඇමසොන් වෙතින් ලබා ගැනුනු නව ප්‍රදාන මූල්‍ය නිලධාරියෙකු සමගිනි. ෆෝර්ඞ් අප්‍රේල් මාසයේ ජර්මනියේ රැකියා 5,000ක් කැපීමේ සැලැසුම් නිවේදනය කලේ ය. එය එක්සත් රාජධානිය, ප්‍රන්සය, රුසියාව හා බ්‍රසීලයේ කම්හල් වසා දමමින් හෝ ව්‍යාපාර මෙහෙයුම් ඒකාබද්ධ කරමින් හෝ සිටී. එය චීනයේ ද කම්කරුවන් දහස් ගනනක් ඔවුන්ගේ රැකියාවලින් ඇද දමමින් සිටින්නේ වාහන අලෙවිය සියයට 40කින් වැටීමෙන් පසු ය.

සියලු ගෝලීය මෝටර්රථ නිෂ්පාදකයෝ ඒ සමානම රැකියා කප්පාදු උද්ඝෝෂන හසුරු වමින් සිටිති. ජෙනරල් මෝටර්ස් රැකියා 14,000ක්, වොක්ස්වැගන් 7,000ක්, ටාටා මෝටර්ස් ජගුඅර් ලෑන්ඞ් රෝවර් 4,500ක් හා ටෙස්ලා 3,000ක් කප්පාදු කරමින් සිටිති. බලාපොරොත්තු වන පරිදි කර්මාන්තය තුල මහා ඒකාබද්ධවීම් රැල්ල සිදුවන්නේ නම්, මෙය මුල් පියවර පමනක් වනු ඇත.

මෙම රැකියා සංහාරය දියත් කෙරෙමින් තිබෙන්නේ වෝල් වීදිය හා අනෙකුත් මූල්‍ය වෙලඳපොලවල ඉල්ලීම්වලිනි. උතුරු ඇමරිකාව, චීනය හා යුරෝපයේ ප්‍රධාන වෙලඳපොලවල අලෙවිය අඩු වුව ද ආයෝජකයින්ට අවශ්‍ය මෝටර්රථ නිෂ්පාදකයින්ගේ ලාභ මට්ටම් හා පිලිගෙවුම් උපරිම කර ගැනීම වන අතර, එක්සත් ජනපදය හා චීනය අතර වෙලඳ යුද්ධය ඊ ලඟ මාස 6 හෝ මාස 12දී ලෝක ආර්ථිකය අවපාතයකට ඇද දැමනු ඇත යි අනතුරු ඇඟවීම් වැඩි වේ.

ධනේශ්වර ලාභ පද්ධතිය නිල් කරපටි හා සුදු කරපටි කම්කරුවන් අතර බෙදීම් බොඳ කර ඇත්තේ පහල මට්ටමේ කලමනාකරුවන්, තොරතුරු තාක්ෂනවේදීන් හා ඉංජිනේරුවන් දීර්ග කාලයක් තිස්සේ එකලස් කිරීමේ කම්කරුවන්ට හුරුපුරුදු සූරාකැමේ හා ආර්ථික අනාරක්ෂිතභාවයේ කොන්දේසිවලට තල්ලු කර දමමිනි.

ඒ ආකාරයෙන් ම, ධනවාදය තනි ජාත්‍යන්තර කම්කරු පන්තියක් නිර්මානය කර ඇත, එය ලෝකය පුරා එක ම ගැටලුවලට හා එකම හතුරෙකුට මුහුන දෙයි. ධනේශ්වර නිෂ්පාදනයේ වැඩිවන්නා වූ ගෝලීයකරනය තම රැකියා හා ජීවන තත්වයන් අරක්ෂා කිරීමට ජාත්‍යන්තර ව සමායෝජිත අරගලයක් තුල කම්කරුවන් එක්සත් කිරීමේ ප්‍රායෝගික හා තාක්ෂනික මාධ්‍යයන් ද නිර්මානය කර ඇත.

ලෝකය පුරා ගුරුවරුන්ගේ අරගල, ඉන්දියාවේ බොරු නඩු දැමුනු මරුති සුසුකි කම්කරුවන් ආරක්ෂා කිරීමේ සටන, මෙක්සිකෝවේ මැටමොරෙස් නගරයේ මැකිලඩෝරා මෝටර්රථ උපාංග නිෂ්පාදන කම්කරුවන්ගේ විප්ලවය හා ඇමරිකානු කම්කරුවන්ට කෙරන ඔවුන්ගේ ආයාචනා, ඌබර් හා ලිෆ්ට් රියදුරන්ගේ මෑත ජාත්‍යන්තර වැඩවර්ජනය ඇතුලුව, පන්ති අරගලයේ වර්ධනය වඩ වඩා ජාත්‍යන්තර රූපාකාරයක් ගනිමින් තිබේ.

එක්සත් ජනපදයේ ෆෝර්ඞ් කම්කරුවන් මේ වන විටත් ජර්මනිය හා එක්සත් රාජධානියේ තම සගයන් සමග සන්නිවේදනය අරඹා ඇත. මෙම සම්බන්ධකම් ශක්තිමත් කර ව්‍යාප්ත කල යුතු ය. ස්ථීර වැටුප් හා නිෂ්පාදන වැටුප් ලබන කම්කරුවන්, සාමාන්‍ය සාමාජිකයින් විසින් ප්‍රජාතන්ත්‍රවාදීව පාලනය කෙරෙන හා සංගත පාලිත වෘත්තීය සමිතිවලින් ස්වාධීන, නව සංවිධාන ගොඩනැගිය යුතු ය. මෙම කමිටු කම්හල් වසා දැමීම් හා සමූහ දොට්ට දැමීම් නතර කිරීමට ජාතික හා දේශසීමා හරහා වැඩවර්ජන සඳහා සූදානම් කල යුතු ය.

මෙයට යුනයිටඞ් ඔටෝ වර්කර්ස් (එජ), යුනිෆෝර් (කැනඩා), අයිජී මෙටල් (ජර්මනිය) හා සීජීටී (ප්‍රන්සය) වැනි වෘත්තීය සමිතිවලින් පතුරවන ජාතිකවාදී විෂට එරෙහිව අනුකම්පා විරහිත සටනක් අවශ්‍ය වන්නේ ය. ජාතිකවාදය ප්‍රචාරය කිරීම “තමන්ගේ ම” ධනේශ්වර පන්තියේ තරඟකාරිත්වය හා ලාභදායකත්වය වැඩි කිරීම කම්කරුවන්ගේ රැකියා හා ජීවන තත්වයන් ආරක්ෂා කරනු ඇත යි යන බොරුව මත පදනම් අවසානයක් නැති වරදාන ලබා ගැනීමට කම්කරුවන්ට බල කෙරෙන දීර්ග කාලීන මාධ්‍ය වී ඇත

වෘත්තීය සමිති කම්කරු පන්තික සංවිධාන නො වේ. එක්සත් ජනපදය තුල යූඒඩබ්ලිව් රැකියා හා ජීවන තත්වයන් ආරක්ෂා කිරීමේ ඕනෑ ම සටනකට විරුද්ධ ය. ඒවා වරදාන පැටවීමට හා විරුද්ධත්වය මර්දනය කිරීමට වෙහෙස නො බලා වැඩ කර ඇති, පොහොසත් හා අල්ලස් ගන්නා විධායකයින් විසින් පාලනය කෙරෙන සංගත සමූහ වෙති. මෙම සරත් කාලයේ කොන්ත්‍රාත්තු ගිවිසුම්වලට ලකලැහැස්ති වෙද්දී, කම්කරුවන් තමන්ගේ ම ඉල්ලීම් ඉදිරියට ගෙනයාමට දැන් අරගලයේ ස්වාධීන සංවිධාන ගොඩනැගීම අත්‍යාවශ්‍ය ය.

මෝටර්රථ කම්කරුවන් හා කම්කරු පන්තියේ සියලු කන්ඩායම් මුහුන දෙන්නේ ධනේශ්වර පද්ධතියේ යථාර්තයට යි, එයට කම්කරුවන් ප්‍රතිචාරය දැක් විය යුත්තේ ජාත්‍යන්තර සමාජවාදී ව්‍යාපාරයක් ගොඩනැගීම මගිනි.

කම්හල් වසා දැමේ, නිෂ්පාදන කම්කරුවන්, ඉංජිනේරුවන්, තාක්ෂනවේදීන් හා අනෙකුත් පුහුනු කම්කරුවෝ අතිමහත් සමාජ වියදමක් තුල කල් මරති. වැටුප්වලින් මිරිකා ගන්නා ඉතිරිකිරීම්, කම්කරුවන්ගෙන් සොරා ගන්නා සෞඛ්‍ය ප්‍රතිලාභ හා විශ්‍රාම වැටුප් කෙලින් ම යන්නේ සමාජය පාලනය කරන සංගත හා මූල්‍ය කතිපයාධිකාරියේ බැංකු ගිනුම්වලට යි.

පසු ගිය වසර කීපය පුරා, ජීඇම් හා ෆෝර්ඞ් කොටස් ආපසු ගැනීම් හා ඔවුන්ගේ පොහොසත් ම ආයෝජකයින් හා සංගත විධායකයින් සඳහා ලාභාංශ ගෙවීම් සඳහා ඩොලර් බිලියන ගනන් වැය කර ඇත. 2018දී, එක්සත් ජනපද සංගත කොටස් නැවත මිල දී ගැනීම සඳහා ඩොලර් ටි්‍රලියන 1ට වඩා වැය කර ඇත, එම වාර්තාගත මුදල මෙම වසරේ තවත් ඉහල යනු ඇත.

පාලක පන්තියේ සියලුම පක්ෂ කම්කරුවන් මත ප්‍රහාරය උත්සන්න කිරීමට සහාය දෙති. ට්‍රම්ප් පාලනාධිකාරිය කම්කරුවන්ගේ බලගතු හතුරෙකු වන අතර, 2009 මෝටර් රථ කර්මාන්තය ප්‍රතිසංවිධානය කලේ ඩෙමොක්‍රටික් පක්ෂ ජනාධිපති බරක් ඔබාමා යි. මහබැංකු ඇපදීමක් සඳහා කොන්දේසියක් ලෙස, මෝටර් රථ කම්කරුවන් දසදහස් ගනන් දොට්ට දැමීම්, අලුතින් බඳවා ගන්නන්ගේ වැටුප් හා අනෙකුත් සහන අඩකින් අඩු කිරීම පිලිගත යුතු යැයි ඔබාමා අවධාරනය කලේ, ඩොලර් බිලියන ගනනාවක විශ්‍රාමික සෞඛ්‍ය රැකවරන භාරයක පාලනය එයට බාර දෙමින් යූඒඩබ්ලිව් වෘත්තීය සමිතියට වාසි ලබා දෙන අතර ය.

බදුවල මධ්‍යස්ත වැඩිකිරීමක් බාර ගැනීමට පොහොසතුන්ට ආයාචනා කිරීමෙන් සමාජ සමානතාව අත්පත් කර ගත නො හැකි වනු ඇත, සංගත පාලිත ඩෙමොක්‍රටික් පක්ෂය හරහා එය කර ගැනීම පිලිබඳව කියනුම කවරේ ද.

ස්ථීර රැකියා හා ආදායම් සඳහා වන කම්කරුවන් හා ඔවුන්ගේ පවුල්වල සමාජ අයිතින් බිලියනපති බැංකුකරුවන් හා මිලියනපති සංගත විධායකයින්ට ඉහලින් ප්‍රමුඛතාවක් ගත යුතු නම්, කම්කරුවන් ධනේශ්වර පන්තියේ පුද්ගලික දේපල අස්වාමික කර, සාමූහික ව අයිති හා කම්කරු පන්තිය විසින් ප්‍රජාතන්ත්‍රවාදීව පාලනය කෙරෙන මෝටර්රථ කර්මාන්තය මහජනයාට අයිති උපයෝගිතාවක් කල යුතු ය.

කුරිරු හා විනාසකාරී ලෙස පුද්ගලික ධනය හඹායාම වෙනස් කල යුත්තේ, ලාභ හා පරපුටුකම සඳහා නො ව, මනුෂ්‍ය අවශ්‍යතාවන් සඳහා නිෂ්පාදනය කිරීම මත පාදක, ලෝකය පුරා විද්‍යාත්මක ව සැලැසුම් කෙරෙන ආර්ථිකයක් සමගිනි.

පහල යමින් තිබෙන වැටුප්, කප්පාදු හා වැඩිවන සමාජ අසමානතාවේ දශක ගනනාවකට පසු, ධනේශ්වර විරෝධී මනෝගතීන් හා සමාජවාදය සඳහා වන සහයෝගය වර්ධනය වෙමින් තිබේ. මෙය ස්ථීර වැටුප් ලබන එක් ෆෝර්ඞ් කම්කරුවෙකු විසින් දලේඕෆ්.කොම් වෙබ් අඩවියට පැවසූ අදහස් දැක්වීමක මෙසේ ප්‍රකාශ කෙරුනි, “පාලක පන්තිය තුල පුද්ගලයන් කුඩා සුලුතරයක් ඉන්නවා, අපි ඔක්කොම ඉන්නේ පහල පන්තියේ. මම හිතන්නේ මම තවම ජීවත් වන්නේ අපි නැගිට ඔවුන් පෙරලා දමන දවස උදා වන තෙක් මං ජීවත් වෙයි කියලා.”

ධනවාදයට එරෙහිව වැඩෙන විරුද්ධත්වය දැනුවත් දේශපාලන ව්‍යාපාරයක් බවට පරිවර්තනය කල යුතු ය. එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂය හා හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ එහි සහෝදර පක්ෂ සටන් කරමින් සිටින්නේ වර්ධනය වෙමින් තිබෙන්නා වූ වෛෂයික කම්කරු පන්තික ව්‍යාපාරය සම්මුතිවිරහිත විප්ලවවාදී සමාජවාදී මුලෝපායක් හා ඉදිරිදර්ශනයකින් සන්නද්ධ කිරීමට යි.

ජෙරී වයිට්

Share this article: