ධවල මන්දිරය හා ගූගල් සමාගම චීනයට එරෙහි තාක්ෂනික යුද්ධය දියත් කරයි

White House and Google launch technology war against China

2019 මැයි 21

ගූගල් හා අනෙකුත් සමාගම්, ලොව දෙවන විශාලතම ස්මාට් ජංගම දුරකථන සාදන්නා හා ලොව විශාලතම විදුලි සංදේශ උපකරන තනන්නා වන හුවාවි සමාගම සාරාත්මක වසයෙන් විනාශ කරනු ඇත්තා වූ පියවරයන් නිවේදනය කර ඇත.

අන්තර්ජාල සෙවුම් හා ස්මාට් ජංගම දුරකථන මෘදුකාංග ඒකාධිකාරය වන ගූගල් සමාගම, චීනයෙන් පිටත හුවාවි ව්‍යාපාර සාරාත්මක ලෙස අවසන් කරමින්, ඇන්ඩ්‍රොයිඞ් මෙහෙයුම් පද්ධතියේ අත්‍යවශ්‍ය කොටස් සඳහා ප්‍රවේශ වීමෙන් හුවාවි දුරකථන වලක්වන බව මැයි 20දා නිවේදනය කලේ ය.

ප්‍රහාරය සංකීර්න කරමින්, හුවාවි හට එහි කිසිදු වර්තමාන ස්මාට් ජංගම දුරකථනයක් හෝ තොරතුරු තාක්ෂන යටිතල පහසුකම් පද්ධති නිපදවිය නො හැකි කරමින්, තම සමාගම්වල උපාංග නො විකුනන බව එක්සත් ජනපද දෘඩාංග නිෂ්පාදකයන් වන කුවල්කොම්, බ්‍රෝඞ්කොම් හා ඉන්ටෙල් නිවේදනය කලේ ය.

හුවාවි සමාගම “එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂාවට හෝ විදෙස් පිලිවෙත් අවශ්‍යතාවන්ට විපරීත ක්‍රියාකාරකම්වල නිරත වන්නේ ය” යන පදනම මත, එය එක්සත් ජනපද වානිජ දෙපාර්තමේන්තුවේ සීමිත සමාගම් ලැයිස්තුවට එකතු කිරීමෙන් පසු මෙම පියවරයන් ගනු ලැබී ය.

ඔවුන්ගේ ම ව්‍යාපාරික උත්සුකයන්වලට බරපතල විපාක ගෙන දෙන ට්‍රම්ප්ගේ නග්න ආරක්ෂනවාදී පියවරට විරෝධයේ ඉඟියක් වත් නො පා සමාගම් එකඟ වූ හ. ට්‍රම්ප්ගේ වෙලඳ යුද්ධය ඔවුන්ගේ ව්‍යාපාරික පදනමට ඇති කරන ඕනෑම හානියකට වඩා, ඇමරිකානු රාජ්‍යයේ අනුග්‍රහය දිනාගැනීම, නියාමනයන්හිදී අනුකූලතාවය ලබා ගැනීම හා ඩොලර් බිලියන ගනන් වටිනා ලාබදායී මිලිටරි කොන්ත්‍රාත්තු සුරක්ෂිත කරගැනීම වාසිදායක වන අතර එමගින් හානිපූරනය කරනු ඇත.

හුවාවි සමාගම පෙබරවාරියේ මේට් එක්ස් නමැති නැමිය හැකි ස්මාට් ජංගම දුරකථනය හඳුන්වා දෙයි

හුවාවි මත එක්සත් ජනපදයේ යුද්ධය අරබයා බ්‍රිතාන්‍ය පාලක පන්තියේ දෙගිඩියාවන් පිලිබිඹු කරන කලබලකාරී කතුවැකියක් පලකල ෆයිනෑන්ෂල් ටයිම්ස් පත්‍රය ඒ පිලිබදව බැරෑරුම් විය. චීනයේ “තාක්ෂනය, ඇමරිකානු තාක්ෂනය අභිබවා යන මාවතේ සිටී” යි එක්සත් ජනපදය බිය වූ බව එය ලිවී ය. “ඇත්ත වසයෙන් ම, එක්සත් ජනපදයේ පියවරයන් චීනයේ නැගීම සීමා කිරීමේ උත්සාහයක් බව පෙනේ” යි පුවත්පත ඍජු ව ම නිගමනය කලේ ය.

හුවාවි සමාගම, ලෝකයේ ප්‍රධාන 5ජී විදුලි සංදේශ උපකරන සම්පාදකයා වනවාට අමතර ව, මේ වසර අවසන් වන විට විශාලතම ස්මාට් ජංගම දුරකථන විකුනන්නා බවට පත්වීමේ අද්දර සිටියේ, ඇපල් හා සැම්සුං සමාගම්වල දුරකථන අලෙවිය වැටෙද්දී ය.

යන්තම් වසර කිහිපයක් තුල හුවාවි අතිශය තරඟකාරී හා සාරවත් ගෝලීය ස්මාට් ජංගම දුරකථන වෙලඳපොලේ වඩාත් ම ගතික ක්‍රීඩකයා බවට පත් ව ඇත. පසුගිය මාස 12 කාලය තුල එහි දුරකථන අලෙවිය සියයට 50කින් ඉහල ගොස් තිබේ.

ඩීඑක්ස්ඕමාක්ට අනුව හුවාවි, එක දිගට පරම්පරා දෙකක් සඳහා ඉහල ම තත්ත්වයේ දුරකථන කැමරාව නිපදවා තිබෙනවා පමනක් නො වේ. සැම්සුංහි ගැලැක්සි ෆෝල්ඞ් දුරකථනය අසම්පූර්න ලෙස දියත් කිරීමත් සමග, ටැබ්ලට් පරිඝනකයක් බවට පරිවර්තනය වන පලමු සජීවී මහා වෙලඳපොල දුරකථනය නිකුත් කිරීමේ අද්දර හුවාවි සිටින්නේ, කර්මාන්තයේ පූර්ව නායකයා වූ ඇපල් සමාගම එලඹීමට උත්සාහයක් වත් නො දැරූ වෙලඳපොල කොටසක් මත ආධිපත්‍යය දරමිනි.

එහෙත්, ට්‍රම්ප් පරිපාලනය හුවාවි අසාදු ලේඛනගත කිරීමේත්, ඊට ගූගල් හා අනෙකුත් ප්‍රධාන තාක්ෂනික සමාගම් දෙන සහයෝගයේත්, අර්ථය වනු ඇත්තේ ගෝලීය ස්මාට් ජංගම දුරකථන වෙලඳපොලෙහි රඟන්නෙකු ලෙස හුවාවිට තිබූ තැන සාරාත්මක ව විනාශ කිරීම යි. ඇමරිකානු සමාගම් විසින් විකුනන කොටස් මත නො රඳා දුරකථන නිෂ්පාදනය කිරීමට එයට හැකි වුවත්, එහි වෙලඳාම් චීන වෙලඳපොලට සීමා වනු ඇත. එක් විශ්ලේෂකයෙක් ෆයිනෑන්ෂල් ටයිම්ස් වෙත කී පරිදි, මෙම පියවරයන්ට “හුවාවි සමාගමේ චීනයෙන් පිටත සියලු ස්මාට් දුරකථන ආනයනයන් අහිමි කල හැකි ය.”

ගෝලීය වෙලඳ යුද්ධයේ මෙම නවතම වෙඩි මුරයේ විපාක කවරක් වනු ඇද්දැයි කිසිවෙක් නො දනී. අන්තර්ජාලයේ වර්ධනය හා 2007 දී ඇපල් සමාගම විසින් ඇප් (ජංගම දුරකතන සඳහා යොදන වැඩ සටහන්) ආර්ථිකය දියත් කිරීම සිදු වූයේ ගෝලීයකරනයේ හා ජාත්‍යන්තර ඒකාග්‍රකරනයේ කාලපරිච්ඡේදයක දී ය. එහෙත්, ආරක්ෂනවාදයේ හා වෙලඳ යුද්ධයේ නැගීම මධ්‍යයේ, අන්තර්ජාලය හා ගෝලීය තාක්ෂනික කර්මාන්තය ජාතික දේශසීමා ඔස්සේ කැබලි වී යමින් පවතී.

එක්සත් ජනපද-චීන සබඳතාවල බිඳවැටීමේ භව්‍ය ගම්‍යයන් පිලිබඳ පැහැදිලි අනතුරු ඇඟවීමක් කරමින්, ෆෙඞ් බැංකුව විසින් මූල්‍ය පිලිවෙත ලිහිල්කරනය නො තකා හුවාවි සමාගමට විරුද්ධ පියවර එක්සත් ජනපදය තුල “සම්පූර්නයෙන් පුපුරා හැලුනු අවපාතයක” පෙරනිමිති පලකරනු ඇතැයි මෝගන් ස්ටැන්ලි අනාවැකි පලකලේ ය.

පසුගිය සතියේ ධවල මන්දිරය විසින් හුවාවි සමාගම මත නව සීමාවන් නිවේදනය කිරීම හා ගූගල් සමාගම ඒවා සමග එකඟවීම සිදුවන්නේ, හුවාවි සන්නිවේදන උපකරන මිලට ගැනීමෙන් එක්සත් ජනපදයේ සගයන් වැලැක්වීමට එය ගත් උත්සාහයන් මුලුමනින් ම පාහේ අසාර්ථක වීමෙන් පසුව ය. බ්‍රිතාන්‍යය, ජර්මනිය, ඉන්දියාව හා අනෙකුත් නොයෙක් රටවල්, හුවාවිහි 5ජී විදුලි සංදේශ උපකරන තහනම් කිරීම පිනිස වොෂින්ටනය දැරූ උත්සාහයන් ප්‍රතික්ෂේප කල අතර, එම 5ජී උපකරන එහි බටහිර තරඟකරුවන්ට වඩා තථ්‍ය ලෙස උසස් යයි ලොව පුරා පිලිගැනේ.

මෙයට ප්‍රතිචාර ලෙස එක්සත් ජනපදය සරල ව ම කලේ, එක් විශ්ලේෂකයෙක් ෆයිනෑන්ෂල් ටයිම්ස් වෙත කී පරිදි “සාරාත්මක ව තාක්ෂනික සීතල යුද්ධයක ආරම්භය සලකුනු කරමින්” සිය උත්සාහයන් දෙගුන කිරීම යි. මෙම පියවර නිව් යෝක් ටයිම්ස් විසින් හැඳින්වූයේ “සංඛ්‍යාංක යකඩ තිරයක” ආරම්භය ලෙස යි.

එක්සත් ජනපද-චීන වෙලඳ යුද්ධයෙහි යෝධ හා ක්ෂනික තීව්‍ර වීම බොහෝ දෙනාට තිගැස්මක් ඇති කලේ ය. “ට්‍රම්ප් පරිපාලනයේ පියවර බොහෝ චීන ජාතිකයන් අපේක්ෂා කලාට වඩා විස්තීර්න වේ” යි එක් විශ්ලේෂකයෙක් ටයිම්ස් වෙත කීවේ ය...“එය පැමිනියේ බොහෝ කලිනි. එය යථාවක් ලෙස බොහෝ ජනයා පිලිගන්නේ මේ දැන් පමනි.”

එක්සත් ජනපදය හා චීනය අතර වැඩෙන ගැටුම කේන්ද්‍රගත වන්නේ, කලින් එක්සත් ජනපදය සහ ජර්මනිය වැනි යුරෝපා සංගම් සාමාජිකයන් විසින් ආධිපත්‍යය දැරූ ඉහල-වටිනාකමින් යුත් නිෂ්පාදන අංශ වෙත චීන සංගතයන් පිවිසීම වැලැක්වීමට එක්සත් ජනපදය දරන උත්සාහයන් මත යි. පසුගිය වසරේ, රොබෝ විද්‍යාව, ගුවන් සේවා හා අධි-තාක්ෂන නිෂ්පාදනය වැනි ක්ෂේත්‍ර හදාරන චීන උපාධිධාරී ශිෂ්‍යයන් සඳහා වීසා කාලසීමාව ට්‍රම්ප් පරිපාලනය විසින් කෙටි කලේ ය. ඒ අතර කොංග්‍රස් නීති සම්පාදකයන් කන්ඩායමක් තල්ලුව දෙමින් සිටින්නේ ශිෂ්‍ය වීසා මත තවදුර සීමාවන් පැනවීමට යි.

එක්සත් ජනපද උප ජනාධිපති මයික් පෙන්ස්

උප ජනාධිපති මයික් පෙන්ස්, බොහෝ දෙනා එක්සත් ජනපදය හා චීනය අතර නව සීතල යුද්ධයක් යයි හඳුන්වන දෙය නොවැම්බරයේ දී නිවේදනය කලේ, “21වන ශතවර්ෂයෙහි ආර්ථිකයේ කැපී පෙනෙන දේවල්” ලෙස ඔහු සඳහන් කල “රොබෝ විද්‍යාව, ජෛවතාක්ෂනය හා කෘතිම බුද්ධිය ඇතුලු ලෝකයේ වඩාත් ම දියුනු කර්මාන්ත” වෙතට පිවිසීමට චීනය දරන උත්සාහයන් අත්හරින ලෙස අනවමිනි.

එතැන් පටන්, දිගහැරෙන වෙලඳ යුද්ධයක් නැවැත්වීම සඳහා ගනුදෙනුවකට එලඹීමට එක්සත් ජනපද හා චීන සාකච්ඡාකරුවෝ තීව්‍ර ලෙස සාකච්ඡා කර තිබුනි. එහෙත් චීනයට දිය නො හැකි දෙය, එනම්, එහි අධි-තාක්ෂන නිෂ්පාදන අංශය බිඳ දැමීම, එක්සත් ජනපදය විසින් ඉල්ලමින් සිටින බව චීන සාකච්ඡාකරුවන්ට පැහැදිලි වූ විට සාකච්ඡා බිඳ වැටුනි.

පසුගිය සතියේ නිවේදනය පිලිබඳ ව අදහස් දක්වමින් චයිනා ඬේලි මෙසේ ප්‍රකාශ කලේ ය: “හුවාවි සමාගමට එක්සත් ජනපද ආන්ඩුව සලකා ඇති විධියෙන්, එය අනාවරනය කර ඇත්තේ අනෙක් රටවල් සමග එහි ගනුදෙනුවල දී එහි සකල සියලු අශෝභනත්වය යි: එනම්, ලෝකයේ එකම සුපිරි බලය ලෙස නීතීන්ට කිසිදු ගරුසරුවක් නො දක්වන එහි බලහත්කාරය, එහි වෙලඳ හවුල්කරුවන්ගේ ගරුත්වයට ගරුත්වයක් නැති කම හා එහි ගර්වය, පිටස්තර ලෝකය කෙරෙහි එහි මහේශාක්‍ය ආකල්පය සහ එහි විවෘත ආත්මාර්ථකාමීත්වය හා තමන් වනාහි පලල් ප්‍රජාවක සාමාජිකයෙකු බව පිලිගැනීමට පවතින අකැමැත්ත යි.”

එහෙත් චීන පාලක ප්‍රභූවට වෙනත් දෙයක් අපේක්ෂා කල හැකි ව තිබුනි ද? චීන නිර්ධන පන්තියේ මහන්සියෙන් ඩොලර් බිලියන ගනන් උපුටා ගනිමින් චීනය ලෝකයේ ඩාදිය කම්හල බවට පත්කිරීමට ඇමරිකානු අධිරාජ්‍යවාදය මනාප විය. එහෙත් චීනය ආර්ථික සමානයෙකු බවට පත්වීම කෙරෙහි බැඳී නො සිටින එක්සත් ජනපදය, ගෝලීය මූල්‍ය පද්ධතිය තුල එහි ප්‍රමුඛ භූමිකාවේ පටන් එහි සන්ධාන ජාලයන් හා පූර්න-පරිමාන න්‍යෂ්ටික යුද්ධයේ තර්ජනය දක්වා වන එහි සියලු බලය, තම ආධිපත්‍යය අවධාරනය කිරීමට යොදාගනු ඇත.

හුවාවි විනාශ කිරීමට එක්සත් ජනපදය දරන උත්සාහය, එය එහි ආධිපත්‍යය සුරක්ෂිත කරගැනීම සඳහා කොතෙක් දුර යනු ඇද්ද යන්න පිලිබඳ පූර්වාදර්ශයක් පමනි. ලෝකයට හිරෝෂිමාව, වියට්නාමය හා ඉරාක යුද්ධය ගෙන ආ රට, හුදෙක් සමාගම්වලට වැඩි දේ විනාශ කිරීමට සැදී පැහැදී සිටී. එය දැන් බිලියන 1.4ක ජනතාවක් සිටින රටකට බැලුම් හෙලන්නේ, සමස්ත මානව වර්ගයා සඳහා ව්‍යසනකාරී විපාක ගෙන දීමේ ඉඩකඩ ඉස්මතු කරමිනි. ආර්ථික වර්ධනය පිලිබඳ සියලු පුරසාරම් සහිත චීනය, අධිරාජ්‍යවාදයේ එල්ලයන් තුල පීඩනයට පත් රටක් ලෙස දිගටම පවතී.

මෙම වර්ධනයන්, අධිරාජ්‍යවාදය, ඒකාධිකාරය, සූරාකෑම සහ ගෝලීය ආර්ථිකය හා ජාතික-රාජ්‍ය පද්ධතිය ගැටුම යනාදී මාක්ස්වාදී ප්‍රවර්ග ඉක්මවා ගොස් ඇතැයි කියන ජනප්‍රිය ශාස්ත්‍රාලීය විලාසිතාවක් වන තර්ක විතර්කවලට තිත තැබිය යුතු ය. යථාර්ථයේ දී, 21වන ශතවර්ෂය තුල ගෝලීය ආර්ථිකයේ විඛන්ඩනය හා “මහා-බල ගැටුම” යලි ඉස්මතු වීම පැහැදිලි කරන්නේ, විශ්ලේෂනයේ මෙම ආවුද පමනි.

20වන ශතවර්ෂය විසින් ඇති තරම් පැහැදිලි කල පරිදි, අද්‍යතන මාක්ස්වාදයේ කේන්ද්‍රීය තර්කය වන්නේ, වෙලඳපොල, ලාබ හා බලපෑම සඳහා ධනපති ජාතික-රාජ්‍යයන් අතර පවතින මංමුලා සහගත අරගලය මගින් ධාවනය කරනු ලබන නව ගෝලීය වහ්නිජාලාවක් වැලැක්විය හැකි එකම මාවත වන්නේ සමාජවාදී විප්ලවය යන්නයි.

ආන්ද්‍රෙ ඩැමොන්

Share this article: