2019 මැයි දිනය: පන්ති අරගලයේ පුනර්ජීවනය හා සමාජවාදය සඳහා සටන

May Day 2019: The resurgence of the class struggle and the fight for socialism

2019 මැයි 1

ජාත්‍යන්තර කම්කරු පන්තියේ සහයෝගිතාවේ දිනය වන මැයි දිනය දා, හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව හා ලෝක සමාජවාදී වෙබ් අඩවිය ලෝකය පුරා කම්කරුවන්ගේ වැඩෙමින් තිබෙන අරගලයට තම ආචාරය පුද කරති.

මැයි දිනය ආසන්න කාලයේ වර්ධනයන් ප්‍රකාශ කරන්නේ අසමානතාව, යුද්ධය, හා ප්‍රතිගාමිත්වයට එරෙහි පොදු අරගලයක් තුල, ගෝලීයව සංවිධානය වීමේ හා කම්කරු පන්තියේ එක්සත්කමේ හදිසි අවශ්‍යතාව යි. ට්‍රම්ප් පාලනාධිකාරිය වෙනිසියුලාව තුල තම තන්ත්‍ර වෙනස් කිරීමේ මෙහෙයුම තියුනු ලෙස උත්සන්න කලේ, මිලිටරියට විවෘත ආයාචනයක් කිරීමට හා නිකොලොස් මදූරෝගේ ආන්ඩුවට එරෙහිව සන්නද්ධ නැගිටීමක් ප්‍රකාශ කිරීමට ජුවාන් ගුඅයිඩෝ දිරිමත් කරමිනි. ගුඅයිඩෝ ඊයේ ආන්ඩුව පෙරලා දැමීමට සමත් නො වූ අතර, එක්සත් ජනපදය වෙනිසියුලාවට එරෙහිව පමනක් නො ව, කියුබාව හා රුසියාවට ද එරෙහිව එය පාවිච්චි කරමින් සිටින්නේ, කලාපීය පමනක් නො ව ගෝලීය මිලිටරි ගැටුමක අන්තරාය ඇති කරමිනි.

ඊයේ දිනයේ දී ම, විකී ලීක්ස් නිවේදනය කලේ තම ආදීකර්තෘ ජූලියන් අසාන්ජ් “ඇප කොන්දේසි උල්ලංඝනය කිරීම” වෙනුවෙන් අද නඩු තීන්දුවකට මුහුන දෙනු ඇති බවත්, එමෙන් ම එක්සත් ජනපදය විසින් ගොනු කෙරුනු උදර්පන ඉල්ලීම මත බ්‍රහස්පතින්දා නඩු ඇසීමක් පවත්වනු ඇති බවත් ය. පසු ගිය මාසයේ දී, අසාන්ජ් ලන්ඩනයේ ඉක්වදෝරියානු තානාපති කාර්යාලයේ දී පැහර ගන්නා ලදී. එක්සත් ජනපදය ඔහු තම අත්අඩංගුවට ගැනීමට සමත් වුවහොත්, අසාන්ජ් දින නියමයක් නැති රඳවා ගැනීමකට හෝ මරන දන්ඩනය හිමිවනු ඇති චෝදනාවලට මුහුන දෙනු ඇත.

අසාන්ජ්ට එරෙහිව සාක්ෂි දීම ප්‍රතික්ෂේප කිරීම වෙනුවෙන් දැනට අත්අඩංගුවේ සිටින, චෙල්සී මෑනිං සමග, විකීලීක්ස් පුරෝගාමියා ඉලක්ක කෙරෙමින් තිබෙන්නේ ඇමරිකානු අධිරාජ්‍යවාදයේ අපරාධ හෙලිදරව් කිරීම වෙනුවෙනි.

අසාන්ජ් හා මෑනිං ඒකාධිපති පාලන රූපාකාරයන්ට ධනේශ්වර පාලක ප්‍රභූවේ වඩ වඩා විවෘත හැරීමේ ගොදුරු වෙති. ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මත ප්‍රහාරයේ කේන්ද්‍රීය ඉලක්කය වන්නේ, අත්අඩංගුවට ගැනීම හා පිටුවහල් කිරීම සඳහා කොටු කෙරෙමින් සිටින මිලියන ගනනාවක් සරනාගතයින් හා සිරගත කෙරුනු ඉන්දියාවේ මරුති සුසුකි කම්කරුවන්ගේ සිට මෙක්සිකෝවේ, මැටමොරොස් නගරයේ දොට්ට දැමුනු කම්කරුවන් දක්වා වන, කම්කරු පන්තිය යි.

මෙම මැයි දිනය තුල අන්තර්සම්බන්ධිත සමාජ හා දේශපාලන කාරනා තුනක් බල පැවැත්වෙයි.

පලමුව, ලෝක පරිමානව පන්ති අරගලයේ පුනර්ජීවනයක් පවතී. එක්සත් ජනපදය තුල, කැලිෆෝර්නියා, කොලොරාඩෝ, බටහිර වර්ජීනියා, කෙන්ටකී හා අනෙකුත් ප්‍රාන්තවල ගුරුවරුන්ගේ වැඩවර්ජන, වසර 32ක් තුල වැඩවර්ජන ක්‍රියාකාරකම්වල ඉහල ම මට්ටම ඇති කර ඇති අතර, ඒවා කම්කරු පන්ති අරගලයේ හදිසි නැගීමක ප්‍රධාන සංරචකයෝ ය. මෙය නෙදර්ලන්තය, පෝලන්තය, ඉන්දියාව, ඉරානය, මෙක්සිකෝව, නවසීලන්තය, ටියුනීසියාව, සිම්බාබ්වේ හා වෙනත් රටවල් ඇතුලුව ගුරුවරුන්ගේ වැඩවර්ජනවල ජාත්‍යන්තර රැල්ලක කොටසකි.

මෑත මාසවල ප්‍රධාන අරගලවලට මෙක්සිකෝවේ දසදහස් ගනනක් මැකිලඩෝරා කම්කරුවන්ගේ වැඩවර්ජන, ප්‍රන්සයේ “කහ කබා” විරෝධතා, ඉන්දියාවේ මහා වැඩවර්ජන, ඇල්ජීරියාව, සුඩානය හා සිම්බාබ්වේ කම්කරුවන් හා තරුනයන්ගේ නැගිටීම්, හංගේරියාවේ මෝටර්රථ කම්කරුවන්ගේ හා ජර්මනියේ රාජ්‍ය අංශයේ කම්කරුවන්ගේ වැඩවර්ජන ඇතුලත් ය.

දෙවැනි කාරනය වන්නේ ලෝකය පුරා සමාජවාදය සඳහා සහයෝගයේ වර්ධනය යි. 1930න් මෙපිට සමස්ත සමාජ හා ආර්ථික පද්ධතියට එරෙහිව එල්ල කෙරුනු එතරම් පුලුල් පිලිකුලක් මහජනයා අතර තිබී නැත. පාලක ප්‍රභූව විසින් මාක්ස්වාදයේ අවසානය ලෙස ප්‍රශංසා කෙරුනු, සෝවියට් සංගමය විසිරුවා හැරීමෙන් වසර තිහකට පසු, මිලියන ගනනාවකගේ සිත් තුල ඇත්තේ සමාජවාදය යි.

මෙම මනෝගතීන් ගැඹුරට මුල් බැස ගන්නේ ඓතිහාසික අත්දැකීම් තුල යි. සෝවියට් සංගමයේ අවසානය පසු පස පැමිනියේ අවසන් නො වන යුද්ධ, ගැඹුරු වෙමින් තිබෙන ආර්ථික අර්බුද, කවරදාටත් වඩා ධන සමුච්චයනයේ වැඩිවීම හා අධිකාරවාදයේ පුනර්ජීවනය යි. පසු ගිය වසර 30 තුල උපන් බිලියන ගනනාවක් පුද්ගලයන් පරිහානිගත වෙමින් තිබෙන ජීවන තත්වයන් මිස වෙන කිසි දෙයක් දැන නොමැත.

තුන්වැනි කාරනය වන්නේ දක්ෂිනාංශය කරා පාලක පන්තියේ ප්‍රචන්ඩ මාරු වීම යි. භීතියේ විශද මනෝගතියක් පාලක පන්තිය තුලට කා වැදී ඇත. ධනේශ්වර මාධ්‍ය පෙත්තට පිරී ඇත්තේ හෙජ් අරමුදල් කලමනාකාර රේමන්ඞ් ඩාලියෝගේ වචනවලින් නම්, “එක්තරා ආකාරයක විප්ලවයකට” මුහුන දෙන පාලක ප්‍රභූව විසින් විඳිනු ලබන හුදකලාව පවසන බිලියනපතියන්ගේ ප්‍රකාශන සමගිනි. සමාජවාදයේ “තර්ජනය” හෙලාදැකීමක් හෝ “ඇමරිකාව කිසි දා සමාජවාදී රටක් නොවනු ඇත” යන පොරොන්දුවක් ඇතුලත් නො වන කතාවක් පැවත්වීමට ට්‍රම්ප් අසමත් බව පෙනේ.

මිලියන ගනනාවක් කම්කරුවන්ගේ වෛෂයික ව්‍යාපාරය සමාජවාදය සඳහා සහයෝගය තුල වඩ වඩා ප්‍රකාශනයක් සොයා ගන්නා අතර, වඩා තියුනු ලෙස පාලක පන්තිය හැරෙන්නේ පොලිස් රාජ්‍ය විධික්‍රම හා 1920 ගනන්, 1930 ගනන් හා 1940 ගනන්වල දෘෂ්ටිමය හා දේශපාලනික කැලිකසල යලි නගා සිටුවීමටයි.

ලෝකය පුරා, පාලක ප්‍රභූව කොල්ලකෑම තීව්‍ර කිරීම හා යුද්ධය සඳහා වන තම සූදානමට මහජනයා යටත් කිරීම සඳහා යම් ආකාරයක යාන්ත්‍රනයක් සොයා ගැනීමට උක්සාහ ගනිමින් සිටිති. 2008 මූල්‍ය කඩා වැටීමට දශකයකට වඩා වැඩි කලකට පසු, සමාජ අසමානතාව වාර්තාගත මට්ටම්වල පවතින අතර නව මූල්‍ය අර්බුදයක් ලඹ දෙමින් තිබේ. එක්සත් ජනපදය මැද පෙරදිග හා මධ්‍යම ආසියාව තුල විසිපස් වසරකට වඩා වැඩි කාලයක අවසානයක් නැති යුද්ධයක පැටලී ඇති අතර, දැන් සූදානම් වෙමින් සිටින්නේ චීනය හා රුසියාව සමග “මහා බලවතුන්ගේ ගැටුම” සඳහා යි. යුරෝපයේ අධිරාජ්‍යවාදී බලවත්හු යලි සන්නද්ධ වෙමින්, ගෝලීය භූදේශපාලනය තුල තමන්ගේ ම තත්වය ඔසවා තැබීමට අධිෂ්ඨාන සහගත වෙති.

එක්සත් ජනපදය තුල, සමාජ ආතතීන්ගේ වැඩිවීමකට හා පාලක පන්තිය තුල බෙදීම්වලට ට්‍රම්ප් ප්‍රතිචාර දක්වමින් සිටින්නේ, සාම්ප්‍රදායික ව්‍යස්ථාදයක බාධාවන්ගෙන් පාලනය නො වෙන ජනාධිපති බලතල තහවුරු කිරීම සමග එක් ව, මිලිටරියේ හා පොලීසියේද ඇතුලුව, දක්ෂිනාංශික කන්ඩායම්වලට කවරදාටත් වඩා විවෘත ආයාචනා කිරීම මගිනි. ඉතාලිය තුල, සභාග ආන්ඩුවට, එරට ෆැසිස්ට්වාදී අතීතයට තම පක්ෂපාතිත්වය ප්‍රකාශ කර ඇති හා මුසෝලිනී විවේචනය කිරීම ප්‍රතික්ෂේප කල, නියෝජ්‍ය අගමැති මටේඕ සල්විනී විසින් නායකත්වය දරන, ලීගා පක්ෂය ඇතුලත් ය.

බ්‍රසීලය, ඉන්දියාව, පිලිපීනය, හංගේරියාව, ඔස්ට්‍රියාව හා ඊස්රායලය තුල බලයේ සිටින්නේ අතිදක්ෂිනාංශික හා අන්ත-ජාතිකවාදී පක්ෂ යි. එවැනි පක්ෂ ස්පාඤ්ඤය, ප්‍රන්සය, ස්වීඩනය, පින්ලන්තය, එස්තෝනියාව හා ස්ලෝවේනියා තුල තම දේශපාලන බලපෑම වැඩි කර ගෙන ඇත. ජර්මනිය තුල, අති - දක්ෂිනාංශික ජර්මනිය සඳහා විකල්පය (ඒඑෆ්ඩී) පාර්ලිමේන්තුවේ ප්‍රධාන විරුද්ධ පක්ෂය වන අතර මහා සභාග ආන්ඩුවේ ප්‍රතිපත්ති සඳහා දේශපාලන තානය සකස් කරයි.

මෑත මාස වලදී යම් පමනකට ට්‍රම්ප් හා අනෙකුත් ධනේශ්වර දේශපාලන නායකයින්ගේ කයිවාරුවලින් ආවේශ ගැන්වුනු නව-නාසිවාදීන් විසින් ක්‍රියාත්මක කරන ලද ෆැසිස්ට්වාදී විනාශකාරිත්වයේ (ක්‍රයිස්චර්ච් සංහාරය, පෙනිසිල්වේනියාව හා කැලාෆොර්නියාවේ යුදෙව් ධර්මාශ්‍රවල සමූහ වෙඩිතැබීම්) හදිසි ගලා ඒමක් දැක ඇත.

නව-ෆැසිස්ට් දක්ෂිනාංශයට මහජන සහයෝගයක් ඇත්තේ නැත. එහි යලි පැන නැග්ම ඉහලින් එන ක්‍රියාකාරී ප්‍රචාරනය හා කම්කරු පන්තිය නියෝජනය කරනවා යැයි පවසන සංවිධානවල (සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ හා වෘත්තීය සමිති) සම්පූර්න බංකොලොත්කමේ නිර්මිතයකි. එක්සත් ජනපදය තුල, ඩොමොක්‍රටික් පක්ෂය තමන්ට හැකි සෑම දෙයක් ම කරමින් සිටින්නේ ට්‍රම්ප්ට වන මහජන විරුද්ධත්වය යුද්ධය, වාරනය හා කප්පාදුවල දක්ෂිනාංශික න්‍යායපත්‍රය පසුපස හරවා යැවීමට යි.

යුද්ධය, ෆැසිස්ට්වාදය හා අධිකාරවාදයේ වර්ධනය, පෙර නො වූ විරූ ධන සමුච්චයනය, අන්තර්ජාල වාරනය, පාරිසරික හායනයට එරෙහි සටන, එමෙන් ම අසාන්ජ් හා මෑනිං වැනි පන්ති යුද්ධ සිරකරුවන් ආරක්ෂා කිරීම, වෙන් කල නො හැකි ලෙස බැඳෙන්නේ ධනවාදයට එරෙහි හා සමාජවාදය සඳහා වන සටන සමගිනි.

ලෝකය සිසාරා මිලියන ගනනාවක් කම්කරුවන් මුහන දෙන කේන්ද්‍රීය ප්‍රශ්නය වන්නේ: සමාජවාදය යනු කුමක් ද හා එය අත්පත් කර ගන්නේ කෙසේ ද? යන්න යි. කම්කරු පන්තියේ ඓතිහාසික අත්දැකීම්වලින් උකහා ගැනුනු අතිමූලික දේශපාලන පාඩම් අරගලයට පිවිසෙමින් සිටින නව පරම්පරාවක අධ්‍යාපනය සඳහා පදනම විය යුතු ය. කම්කරු පන්තිය කාර්යයන් තමන්ගේ ම අතට ගත යුත්තේ, ධනේශ්වර පද්ධතියට ම එරෙහි විප්ලවවාදී අරගලයක දී, තමන් පසුපස සියලු පීඩිතයන් මෙහෙයවා ගනිමිනි.

මෙම ඉතාමත් හදිසි කර්තව්‍යයන් ඉදිරියට ගෙන යාම සඳහා අත්‍යාවශ්‍ය උපකරනය වන්නේ විප්ලවවාදී පක්ෂය යි, එනම් ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය වන, හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව යි. ලියොන් ට්‍රොට්ස්කි විසින් වසර 80ට වඩා පෙර දී හතරවැනි ජාත්‍යන්තරය ආරම්භ කරන ලද්දේ ස්ටැලින්වාදය හා සමාජ ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව මාක්ස්වාදයේ උරුමයන් ආරක්ෂා කිරීමේ පදනම මත ය. සිදුවීම් එහි ඓතිහාසික ඉදිරිදර්ශනය සනාථ කර ඇත.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සිය වාර්ෂික ජාත්‍යන්තර අන්තර්ජාල මැයි දින රැලිය මැයි 4දා පවත්වනු ලබයි. එයට ලොව පුරා කථිකයින් හා ශ්‍රාවකයින් සහභාගී වනු ඇත.අදම ලියාපදිංචි වන්න!

මෙම මැයි දිනය දා, ලෝකය පුරා සියලු කම්කරුවන් හා ශිෂ්‍යයින්ගෙන් අප ඉල්ලා සිටින්නේ මැයි4/5 ජාත්‍යන්තර මැයි දින ඔන්ලයින් රැලියට සහභාගී වන ලෙස හා හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවට එක් වී එය ගොඩනගන ලෙස යි.

පස්වැනි වාර්ෂික ජාත්‍යන්තර මැයි දිනය මැයි 4වැනි සෙනසුරාදා නැගෙනහිර දිවා වේලාවෙන් ප.ව.8.00ට ලෝකය පුරා සජීවිව විසුරුහා හරිනු ඇත. (ලංකාවේ වේලාවෙන් 5වැනි ඉරිදා අලුයම 5.00ට) සියලු කම්කරුවන් හා තරුනයන්ගෙන් අප ඉල්ලා සිටින්නේ ලියා පදිංචි වී සහභාගී වීමට සැලැසුම් සකස් කර ගන්නා ලෙස යි.

ජෝශප් කිෂෝර් හා ඩේවිඩ් නෝර්ත්

Share this article: