ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකාවේ කප්පාදු වැඩසටහන ගැඹුරු වනු ඇත

Sri Lankan austerity measures to deepen after terrorist attack

සමන් ගුනදාස විසිනි, 2019 මැයි 15

පසුගිය මාසයේ ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාර වලින් ආර්ථිකයේ වැඩෙන ගැටලු සංකීර්න කර ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) විසින් නිර්දේශ කරන කප්පාදු නියෝග හමුවේ ආන්ඩුව උත්සාහ දරන්නේ, අර්බුදයේ බර කම්කරුවන් හා දුගීන්ගේ කරමත පැටවීමට යි.

අප්‍රේල් 21දා සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ පිපිරීම් ගසාකමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැනවූ හදිසි නීතිය යටතේ, දහස් ගනනක් මිලිටරි හා පොලිස් භටයන් යෙදවී ය. “ත්‍රස්තවාදයට එරෙහි ව සටන් වැදීමේ” කඩතුරාව යටතේ, සමාජ හා ජීවන කොන්දේසි මත කටුක ප්‍රහාර එල්ල කිරීම පිනිස ආන්ඩුව දුරදිග යන ප්‍රජාතන්ත්‍ර-විරෝධී පියවරයන් යොදා ගනු ඇත.

සන්ඬේ ටයිම්ස් තීරු ලිපි රචක නිමල් සඳරත්න පසුගිය සතියේ මෙසේ ලිවී ය: “වත්මන් ත්‍රස්තවාදයේ ඒකාබද්ධ බලපෑම, ආර්ථිකය අස්ථාවර කිරීම හා ආර්ථික වර්ධනය මන්දගාමී කිරීම යි.” මෙය “ගෙවුම් ශේෂය, විදේශ මූල්‍ය තත්ත්වය හා මූල්‍ය ප්‍රතිදානය මත හානිකර ලෙස බලපානු ඇති” අතර, “වඩාත් ම ගැඹුරු විපාකය වනු ඇත්තේ වැඩිවන බාහිර අනාරක්ෂිත භාවය යි.”

පසුගිය සතියේ පලකල එල්එම්ඩී-නීල්සන් ව්‍යාපාරික විශ්වාසය පිලිබඳ දර්ශකය, අප්‍රේල් මාසයේ දී ව්‍යාපාරික විශ්වාසය දශකයක් තුල පහත ම මට්ටමට වැටුනු බවත්, “මැයි මාසයේ දී විශ්වාසය තවදුර ඇද වැටිය හැකි” බවත් සඳහන් කලේ ය.

ගෝලීය පසුබෑමෙන් නිර්මිත වැඩෙන ආර්ථික අසීරුතා මැද නව ගැටලු පැන නැගී ඇත. පසුගිය මාසයේ නිකුත් කල 2018 මහ බැංකු වාර්ෂික වාර්තාවට අනුව, 2018 දී ආර්ථික වර්ධනය, ඊට පෙර වසරේ වූ සියයට 3.4 සිට 3.2 දක්වා පහල ගියේ ය. ඒක පුද්ගල දල දේශීය නිෂ්පාදිතය (දදේනි) 2017 දී එක්සත් ජනපද ඩොලර් 4,104ක් ව තිබී 2018 දී ඩොලර් 4,102 දක්වා වැටුනි.

ඒ අතර ම, මේ වසරේ විදේශ නය ආපසු ගෙවීම ඇඟ කිලිපොලා යන ඩොලර් බිලියන 5කට නැගුනි. ආන්ඩුව ඉන් ඩොලර් බිලියන 1.5ක් ගෙවුවේ ඉන්දියාවෙන් මෙන් ම චීනයෙන් ද නය ලබා ගනිමිනි. සිඳී යන විදේශ වත්කම්වලට මුක්කු ගැසීම සඳහා මාර්තුවේ දී ආන්ඩුව තවත් ඩොලර් බිලියන 2.4ක් රාජ්‍ය බැඳුම්කර විකිනීම මඟින් උපයා ගත්තේ ය.

පසුගිය වසරේ සියයට 16කින් අවප්‍රමානය වූ රුපියල ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසුව සියයට 1කින් අවප්‍රමානය වී ඇත.

මහ ව්‍යාපාරිකයේ හා ආන්ඩුවේ ක්ෂනික උත්සුකය වන්නේ, රටෙහි තෙවන විශාලතම විදේශ ආදායම් උපයන ක්ෂේත්‍රය වන සංචාරක කර්මාන්තය මත බෝම්බ ප්‍රහාරවල බලපෑම යි. ශ්‍රී ලංකා හෝටල් සංගමයේ සභාපති සනත් උක්වත්ත පවසන පරිදි, පසුගිය වසරේ ඩොලර් බිලියන 4.4ක් වූ සංචාරක ආදායම මේ වසරේ ඩොලර් බිලියන 1.5කින් පමන අඩු විය හැකි ය.

අප්‍රේල් 21 ප්‍රහාර දේවස්ථාන තුනක් හා කොලඹ සුඛෝපභෝගී හෝටල් තුනක් ඉලක්ක කරගත්තේ ය. මියගිය වුන් අතර අවම වසයෙන් විදේශිකයින් 50ක් සිටි අතර, ඉන් බොහෝ දෙනා සංචාරකයෝ වූ හ. මාධ්‍ය වාර්තාවන්ට අනුව, බොහෝ හෝටල් හා අවන්හල් වෙන්කර ගැනීම් ඔක්තෝබරය දක්වා අවලංගු කර තිබේ.

සංචාරක අංශය කම්කරුවන් 400,000ක් පමන සේවයේ යොදවන අතර, බොහෝ දෙනා අනියම් සේවකයන් වන ඔවුන්ගේ රැකියා දැන් අනතුරට මුහුනපා තිබේ. කුඩා වෙලඳසැල් හිමියන් දසදහස් ගනනකට ද මෙය බලපා ඇත.

සංචාරක අංශයේ ආයෝජනවලට බදු සහන ප්‍රදානය කෙරෙනු ඇති බව මුදල් ඇමති මංගල සමරවීර ප්‍රකාශ කල අතර, නය ගෙවීම සඳහා වසරක සහන කාලයක් ලබා දෙන බව බැංකු නිවේදනය කලේ ය.

“ආපසු හැරෙන්නේ හෝ අත්හරින්නේ නැති ව තම සැලසුම් සමග ඉදිරියට යන්නැ” යි සමරවීර විදේශ ආයෝජකයන් උනන්දු කලේ ය. “අප්‍රේල් 20 පැවති තත්ත්වය අපි ඉක්මනින් නැවත ඇති කරනවා. අපේ අධිෂ්ටානය ශක්තිමත් වී තීබෙනවා” යි ඔහු සපථ කලේ ය.

අනෙකුත් විදේශ ආයෝජන ද බලපෑමට ලක්විය හැකි ය. සිලෝන් ටුඬේ වෙත අදහස් දැක්වූ විදේශ අමාත්‍යාංශ ලේකම් ආර්. එච්. එස්. සමරතුංග, විශේෂයෙන් ම රුපියල ප්‍රමුඛ වන ආන්ඩුවේ සුරැකුම්පත් වෙලඳපොලවල් ඇතුලු ලේඛනගත ආයෝජන පිටතට ගලා යාමේ අනතුරක් පවතින බව කීවේ ය.

මහ බැංකුවේ දත්තවලට අනුව, බෝම්බ ප්‍රහාරවලින් පසු පිටතට ගලා ගිය රුපියල් බිලියන 3.3ක් ද ඇතුලු ව, මේ වසර තුල මේ දක්වා රුපියල් බිලියන 10ක ලේඛනගත ආයෝජන පිටතට ගලාගොස් ඇති බව වාර්තා වී ඇත.

මේ වසරේ ආරක්ෂක වියදම සඳහා ආන්ඩුව රුපියල් බිලියන 393ක් වෙන් කර ඇත. 2009 මැයි මාසයේ අවසන් වූ බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට (එල්ටීටීඊ) එරෙහි වර්ගවාදී යුද්ධයෙන් මෙපිට ප්‍රථම වතාවට, නිවාස පීරමින් කරන පිරික්සීම් සඳහා දසදහස් ගනනක මිලිටරි භටයන් ඇති තතු හමුවේ, මෙම ගනන ඉහල යනු ඇත.

“කේන්ද්‍රීය යොමුව විය යුත්තේ මිලිටරි ඔත්තු සේවා හා ඉලක්කගත විමර්ශන කෙරෙහි ය. මේ සඳහා තාක්ෂනය මත සමහර ආයෝජනයන් අවශ්‍ය විය හැක” යි මුදල් අමාත්‍යාංශ නිලධාරීහු සිලෝන් ටුඬේ වෙත කී හ. එහෙත් “පිරිවැය ප්‍රමුඛතාවන් නැවත එකලස් කිරීම තුලින්, තිබෙන අයවැය තුල මෙම වියදම කලමනාකරනය කර ගත හැකි වනු ඇත.”

මෙම “නැවත එකලස් කිරීමෙහි” අර්ථය, ආන්ඩුව සමාජ වැඩසටහන්වල වියදමින් මිලිටරි වියදම් සඳහා ප්‍රමුඛත්වය දෙනු ඇති බව යි. එල්ටීටීඊයට එරෙහි 26-අවුරුදු යුද්ධය සමයේ, වැටුප් කැටිකිරීම් පටවා, මිල සහනාධාර මෙන් ම අධ්‍යාපනය හා සෞඛ්‍යය වියදම් ඇතුලු සුභසාධන වැඩපිලිවෙලවල් අනුප්‍රාප්තික ආන්ඩු විසින් කප්පාදු කලේ, යුද වියදම්වලට ප්‍රමුඛතාව දීමට ය.

බෝම්බ ප්‍රහාරවලින් දිනකට පසු, “ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර හේතුවෙන් තමන් අතිශය කනගාටුවට පත් වූ” බව ජාමූඅ ශ්‍රී ලංකා මෙහෙයුම් ප්‍රධානී මැනුවෙලා ගොරේති ප්‍රකාශ කල නමුත්, ජාමූඅ නියෝග ක්‍රියාවට දැමීමේ දී කිසිදු අඩිය පස්සට ගැනීමක් නො වනු ඇතැයි කීවා ය.

ආන්ඩුවේ අයවැය පිලිබඳ ඇයගේ උත්කර්ෂය යලි අවධාරනය කල ගොරේති, “ශ්‍රී ලංකාවේ ඉහල නය හා අලුත් මුදල් අවශ්‍යතාවන් සලකන කල වෙලඳපොල විශ්වාසය ගොඩනැගීම සඳහා ආදායම් මත පදනම් වන මූල්‍ය සවිමත් භාවය” වැදගත් බව අවධාරනය කලා ය.

ජාමූඅ මාධ්‍ය සමුලු ලියවිලි පෙන්වා දෙන්නේ, අයවැය පරතරය කැපීමේ ඉලක්ක කාලය 2020 ජුනි දක්වා දික්කිරීමට හා නය වාරිකයෙහි අවසන් ඩොලර් මිලියන 500 කොටස් තුනකට කැඩීමට එය මැයි මාසයේ තීරනය කල බව යි. මෙහි අර්ථය වන්නේ, ජාමූඅ ආන්ඩුව මත දිගුකාලීන ග්‍රහනයක් පවත්වාගනු ඇති බව යි.

2016 මැද දී අනුමත කල ඩොලර් බිලියන 1.5ක් වන නය සඳහා ජාමූඅ කොන්දේසිවලට, කම්කරුවන් හා දුගීන් සඳහා වන සහනාධාර කප්පාදුව සහ රජයට අයත් ව්‍යවසායයන් පුද්ගලීකරනය හා වානිජකරනය ඇතුලත් වේ.

පසුගිය වසර තුල, රාජ්‍ය හා පුද්ගලික අංශවල සැබෑ වැටුප් පිලිවෙලින් සියයට 2කින් හා 3.5කින් වැටුනු බව මහ බැංකුවේ වාර්ෂික වාර්තාව පෙන්වා දෙයි.

දැන් ආන්ඩුවේ ආදායම් සැලකිය යුතු ලෙස අඩුවනු ඇතැයි අපේක්ෂා කරන අතර, “මේ වසරේ පසු භාගයේ මැතිවරනයට පෙර පිරිවැය කප්පාදුවක් සඳහා වන ඕනෑම පීඩනයකට ආන්ඩුව විරුද්ධ වනු ඇතැයි අපේක්ෂා කරන්නේ” වුව ද “ජාමූඅ සමග එකඟ වූ අයවැය ඉලක්ක යලි විමර්ශනය කරනු ලැබිය හැකි” යි රොයිටර් පුරෝකථනය කලේ ය.

මහ බැංකුවේ වාර්ෂික වාර්තාව අවධාරනය කලේ ජාමූඅ නිර්දේශ ක්‍රියාත්මක කිරීම ප්‍රමුඛතාවක් බව යි. “අවශ්‍ය ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරන ක්‍රියාත්මක කිරීම දිගට ම පමා වීමේ බලපෑම යටතේ මෑත වසරවල ආර්ථික කාර්යසාධනය අපේක්ෂිත මට්ටම්වලට වඩා පහත වැටුනි” යි එය ප්‍රකාශ කලේ ය.

පිරිවැය කප්පාදු සාධාරනීකරනය කිරීමට උත්සාහ කරන ආන්ඩුව “ජාතික ආරක්ෂාව ප්‍රමුඛ ය” යන සටන් පාඨය පෙරට ගෙන අඇත. කම්කරුවන්ගේ අරගල තලා දැමීම සඳහා මිලිටරි-පොලිස් මර්දනය හා මුස්ලිම්-විරෝධී උද්ඝෝෂනය යොදාගැනීමට ආන්ඩුව උත්සාහ දරනු ඇත.

Share this article: