ආන්ඩුවේ පොලිස්-මිලිටරි බලගැන්වීම්වලට මුක්කුව දෙමින් වෘත්තීය සමිති ගුරු වර්ජනය නවතා දමයි

කපිල ප්‍රනාන්දු විසිනි, 2019 මැයි 6

වැඩි වැටුප් සහ තවත් ඉල්ලීම් මත එලැඹෙන මැයි මස 9 සහ 10 දිනවල පැවැත්වීමට නියමිතව තිබු ගුරු-විදුහල්පති වැඩ වර්ජනය දින නියමයකින් තොරව නවතා දැමීමට එම වෘත්තීය සමිති විසින් තීරනය කොට තිබේ.

ගුරු-විදුහල්පති සංගම් සියල්ලේ එකඟත්වයෙන් වර්ජනය නවතා දැමීමේ තීන්දුව ගත්බව ඒකාබද්ධ ගුරු සේවා සංගමයේ සංජීව බන්ඩාර හා සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ යලේවෙල පඤ්ඤාසේකර භික්ෂුව ලෝක සමාජවාදී වෙබ් අඩවියට පැවසීය.

වර්ජනය නවතා දැමීමට කරබදු වී සිටින සමිති අතරට ලංකා ගුරු සංගමය, ජනතා විමුක්ති පෙරමුනට අයත් ලංකා ගුරු සේවා සංගමය, පෙරටුගාමී සමාජවාදී පක්ෂය යටතේ මෙහෙය වන ඒකාබද්ධ ගුරු සේවා සංගමය සහ සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය අයත් වේ.

ජෝසප් ස්ටාලින් නායකත්වය දෙන ලංකා ගුරු සංගමයේ (ලංගුස) නිවේදනයක සඳහන් වූයේ, පාස්කු ඉරිදා “ත්‍රස්ත ප්‍රහාරය, ඉන් අනතුරුව රටතුල උද්ගත වූ තත්වය හා සිසු දරුවන්ගේ ආරක්ෂාව ගැන සැලකිල්ලට ගෙන” වර්ජනය “තාවකාලිකව” නැවැත්වීමට ගුරු සංගම් තීන්දු කල බව යි.

වර්ජනය නතර කිරීමට ගෙන ඇති තීන්දුව, ත්‍රස්ත බෝම්බ ප්‍රහාරය ගසා කමින් සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව ක්‍රියාවට නැංවූ විෂඝෝර පොලිස් රාජ්‍ය පියවර විවෘතවම අනුමත කිරීමකි.

“මහජන ආරක්ෂාව” නමැති කඩතුරාවට මුවා වී ආන්ඩුව එම පියවර ගනු ලැබුවේ වේගයෙන් වර්ධනය වන කම්කරුවන්ගේ සහ අනෙකුත් පීඩිතයන්ගේ අරගල රුදුරු ලෙස තලා දමීමට යි. දැන් සමිති නිලධරය “මහජන ආරක්ෂාව” නමැති ආන්ඩුවේ සූත්‍රයම වැලැඳ ගනිමින් වර්ජනය නවතා ආන්ඩුවේ අත ශක්තිමත් කර ඇත.

අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් අප්‍රේල් 22 වෙනිදා ප්‍රකාශයට පත් කරන ලද හදිසි අවස්ථා නියෝග තුල “අත්‍යවශ්‍ය සේවාවන් හෝ සැපයීම්වලට බරපතල බාධා හෝ හානි සිදු කිරීම “ත්‍රස්තවාදය” යනුවෙන් කෙරෙන අර්ථ නිරූපනය කර ඇත. එනම් කම්කරු පන්තිය වැටුප්, සේවා කොන්දේසි ඇතුලු තම අයිතීන් සඳහා කරන කවර හෝ අරගලයක් “ත්‍රස්තවාදී” ක්‍රියාවන් ලෙස නම් කොට මර්දනය කිරීමේ සහ එවන් පන්ති ක්‍රියාවන්හි යෙදෙන්නන් “ත්‍රස්තවාදීන්” ලෙස සලකා දඬු ගැසීමේ බලය පොලීසියට, හමුදාවට සහ අධිකරනයට පවරා ඇත.

මෙම බලගතු අන්තරායන් වසන් කරමින් ලංගුස කියා සිටින්නේ “ගැටලු විසඳීමට රජය මැදිහත් නොවුවහොත් රටතුල සාමාන්‍ය තත්වයක් තහවුරු වූ වහාම නැවත දැනුම් දීමකින් තොරව වෘත්තීය

ක්‍රියාමාර්ගවලට අවතීර්න වන බව”යි. රුදුරු රාජ්‍ය මර්දනයෙන් තොර “සාමාන්‍ය තත්වයක්” ධනපති පන්ති පාලනය යටතේ යලි නොඑන බව ලංගුස ඇතුලු සමිති නිලධරය හොඳින් දනී.

ලෝක ධනේශ්වර පද්ධතිය ගැඹුරුතර අර්බුදයට මුහුන දී සිටින අතර, ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයේ විධානයන් මත, ලංකාවේ ආන්ඩුව ද ඇතුලත් රටක් රටක් පාසා ධනපති ආන්ඩු, දැවැන්ත කප්පාදු හරහා එම අර්බුදයේ බර කම්කරු-පීඩිත මහජනතාව මත පටවමින් සිටිති. එම ප්‍රහාරයන්ට එරෙහිව ලොවපුරා වර්ධනය වී ඇත්තේ කම්කරු පන්තියේ නව අරගල රැල්ලකි. ජාත්‍යන්තර පරිමානව ඇවිලී ඇති ගුරුවරුන්ගේ අරගල එහි කොටසකි.

එම අරගල තලා දැමීම සඳහා පොලිස්මිලිටරි රාජ්‍යයන් වර්ධනය කිරීම ජාත්‍යන්තර සංසිද්ධියකි. ලංකාවේ ආන්ඩුව බෝම්බ ප්‍රහාරයට පෙර සිටම ප්‍රති-ත්‍රස්ත පනත වැනි රුදුරු පනත් ගෙන එමින් සූදානම් කරමින් සිටියේ එම වැඩපිලිවෙලයි.

මෙම පසුබිම තුල ආන්ඩුව ත්‍රස්ත ප්‍රහාරය වහා ඩැහැ ගනිමින් පොලිස් රාජ්‍යයක් දෙසට ගත් පියවර නැවත හකුලා ගනු වෙනුවට රාජ්‍ය මර්දන යන්ත්‍රය වඩවඩාත් ශක්තිමත් කිරීම සහ ඒ හරහා කෙරෙන රුදුරු මර්දනය “සාමාන්‍ය තත්වය” බවට පත්වනු ඇත.

මෙම රාජ්‍ය මර්දනය හමුවේ තම සමාජ සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් රැක ගන්නේ කෙසේද යන්න ගුරුවරුන් ඇතුලු සමස්ත කම්කරු පන්තිය ට අභිමුඛ කෙරී ඇති අතිශය තීරනාත්මක ප්‍රශ්නය යි. සමිති නිලධරය විසින් එය දැනුවත්ව යටගසා ඇත.

අනෙකුත් කම්කරුවන්ට මෙන්ම, ශීලාචාර ජීවිතයක් ගත කිරීම සඳහා අවශ්‍ය වැටුපක් දිනා ගැනීම සහ නිසි රැකියා කොන්දේසි දිනා ගැනීම ගුරුවරුන්ගේ හදිසි අවශ්‍යතාවයකි. එය ප්‍රකාශයට පත් කරමින්, පසුගිය මාර්තු 13 දා පැවති එක්දින වර්ජනයට දිවයිනේ උතුරු-නැගෙනහිර හා වතුකරයේ දෙමල පීඩිත ජනයා වෙසෙන ප්‍රදේශයන් ද ඇතුලුව රට පුරා සියලූම පාසල්වල දෙලක්ෂයකට ආසන්න ගුරුවරු සම්බන්ධ වූහ.

2018 වසරේ සිට වැටුප් කප්පාදුවට, දරුනු රැකියා කොන්දේසිවලට හා පෞද්ගලීකරනයට එරෙහිව ලංකාවේ විශ්වවිද්‍යාල අනධ්‍යන, විදුලි බල, දුම්රිය, තැපැල්, සෞඛ්‍ය අංශවල හා වතු කම්කරුවන්ගේ බලගතු පන්ති සටන් අවුලුවා තිබේ.

බෝම්බ ප්‍රහාරයට පෙර සිටම ලංකාව තුල උග්‍ර වෙමින් පැවති ආර්ථික දේශපාලන අර්බූදය හමුවේ කම්කරු පන්තියේ සටන් තලා දැමීමේ ආන්ඩුවේ සූදානම ඉහල තලයකට නංවා තිබුනි. පෙබරවාරි 28 දා අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට පැවති ගුරු විරෝධතාවයට ද ආන්ඩුව පොලිසිය ලවා ජල හා කඳුලු ගෑස් ප්‍රහාර එල්ල කලේ ය.

ත්‍රස්ත බෝම්බ ප්‍රහාරයත් සමගම, ආන්ඩුව, විපක්ෂය සහ මාධ්‍ය ඇතුලු සමස්ත ධනේශ්වර සංස්ථාපිතයම එක්ව විෂඝෝර මුස්ලිම්-විරෝධී උද්ඝෝෂනයක් මුදාහැර ඇත. බලගතු පන්ති සටන් පුපුරා යන සෑම අවස්ථාවකදීම කම්කරු පන්තිය භේද කොට එම සටන් මැඩීම සඳහා ලංකාවේ පාලක පන්තිය ඉතිහාසය පුරා යොදාගෙන ඇති ප්‍රධාන අවියක් වනුයේ වර්ගවාදී හා ආගම්වාදී ප්‍රකෝපකරනයන් ය.

දෙමල ජනතාවට එරෙහි අඛන්ඩ නොපනත්කම් හා ඍජු ප්‍රකෝපකරනයන්ගේ කූටප්‍රාප්තිය වූයේ තිස් අවුරුදු ලේ වැකි වර්ගවාදී යුද්ධයයි. හදිසි නීතිය ඇතුලු පොලිස්-මිලිටරි බලගැන්වීම් ඒ අවධියේ සිට කම්කරු පන්ති සටන්වලට හා දේශපාලන විරුද්ධවාදීන්ට එරෙහිව බලයට පත් සෑම ධනපති ආන්ඩුවක්ම යොදා ගත් ආකාරය යලි සිහියට නගා ගැනීම මේ මොහොතේ අවශ්‍ය කෙරේ.

අප්‍රේල් 21 දා ප්‍රහාරය පිලිබඳව බුද්ධි අංශ වලට පූර්ව දැනුම්දීම් ලැබී තිබියදී ආන්ඩුව විසින් එය සිදුුවීමට ඉඩ හැරියේ මන්ද යන කාරනය කම්කරුවන් සහ පීඩිතයන් යලි යලිත් මතු කර ගත යුත්තේ මේ සන්දර්භය තුලයි. පොලිස්-මිලිටරි රාජ්‍යයක් දෙසට වහා පියවර ගැනීමට සහ නව මට්ටමක මුස්ලිම්-විරෝධී උද්ඝෝෂනයක් මුදා හැරීමට සිද්ධිය ඩැහැ ගැනීම සඳහා ආන්ඩුව එය සිතාමතාම සිදුවන්නට ඉඩ හැරියේද යන සැකය ගැඹුරින්ම මතුවෙයි.

ඉතිහාසයේ මෙවන් අවස්ථා වලදී ගුරු සංගම් ඇතලුු සියලු වෘත්තීය සමිති ඉටුකොට ඇති භූමිකාව ද යලි මතකයට නගා ගැනීම වැදගත්ය. යුද්ධය පැවති 2007 දී පැන නැගි වර්ජනය මධ්‍යයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ “යුද්ධය නවතා වැටුප් වැඩි කරන්න ද කියන්නේ” යයි අසමින් මෙම සමිති නායකයන්ට කල තර්ජනය හමුවේ වර්ජනය හකුලා ගත්තේ යුද්ධයට හා රාජපක්ෂ ආන්ඩුවට පූර්න පිටුබලය සපයමිනි.

පසුගිය සතියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කැඳවු “සර්ව පාක්ෂික සමුලුවේ” දී එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පොදුජන පෙරමුන සහ ජවිපෙ ඇතුලු ධනපති පක්ෂ සියල්ලම ආන්ඩුවේ පොලිස්-මිලිටරි පියවර වලට තම අනුමැතිය ලබා දුන්හ. සමුලුවට සහභාගී නොවූන ව්‍යාජ-වාම පක්ෂයක් වන පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප), එම පියවර වලට විරෝධය පල නොකිරීමෙන් ඒවාට වක්‍රව තල්ලුව දී තිබේ.

පාසල් හා විශ්වවිද්‍යාල තුලට පොලිසිය හා මිලිටරිය යෙදවීමට ආන්ඩුව දැනටමත් කටයුතු කර ඇත. මෙයට විරුද්ධ නොවන ගුරු සංගම්, “විදුහල්පති හා ගුරුවරු මතට වගකීම පවරා ආන්ඩුව ඇඟ බේරාගෙන ඇතැ” යි චෝදනා කරන්නේ, ආරක්ෂාව සඳහා පාසැල් සහ විශ්ව විද්‍යාල තුලට පොලීසිය සහ මිලිටරිය වඩවඩාත් යෙදවිය යුතුය යන අර්ථයෙනි.

පාසැල් දරුවන් ඇතුලු මහජනතාවගේ ආරක්ෂාව මෙන්ම ප්‍රජාතන්ත්‍රීය හා සමාජ අයිතීන් සුරක්ෂිත කල හැක්කේ කම්කරු පන්තිය ස්වාධීන දේශපාලනික බලවේගයක් ලෙස නායකත්වය ගනිමින් ගොවියන් ඇතුලු අවශේෂ පීඩිතයන් තමා වටා බලමුලු ගන්වා ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනය යටතේ ලාභ ගරන ධනපති ක්‍රමය පෙරලා දැමීමට සටන් වැදීමෙන් පමනි.

ඒ සඳහා පූර්ව කොන්දේසියක් වන්නේ ධනපති ක්‍රමයේ පැවැත්ම පිලිගනිමින් ඒ යටතේ සහන දිනා ගැනීමේ බංකොලොත් වෘත්තීය සමිති වැඩපිලිවෙලින් සහ එම සමිති වලින් බිඳී වෙන්වීමයි. ගුරු-සිසු-දෙමාපිය ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගනිමින් අවශේෂ කම්කරු පන්තියේ සහාය බලමුලු ගැන්වීමට ගුරුවරු මූලිකත්වය ගත යුතු ය.

Share this article: