ඇමරිකාව නව තීරුබදු තර්ජනය ක්‍රියාවට නඟන්නේ නම් චීනය පෙරලා පහර දෙනු ඇත

China to hit back if new US tariff threat goes ahead

නික් බීම්ස් විසිනි, 2019 මැයි 9

බීජිනයට ආර්ථික පිලිවෙත් නියෝග කිරීමේ හැකියාව ඇතුලත් වන බව සහතික කෙරෙන නීති හා රෙගුලාසි පිලිබඳ ගොනුවක් කුමන හෝ වෙලඳ ගිවිසුමකට, චීනය විසින් ඇතුලත් කල යුතු යයි ඇමරිකාව කියා සිටී.

වොෂින්ටනයේදී අදින් ආරම්භවී 10දා තෙක් පැවැත්වෙන ඇමරිකා හා චීන වෙලඳ නියෝජිතයින් අතර සාකච්ඡා, ලෝකයේ නොම්බර එක හා දෙක ආර්ථිකයන් අතර මහා පරිමාන වෙලඳ යුද්ධයක් ඇතිවීම වලක්වා ගැනීමේ අවසන් අවස්ථාවය.

මේ සතිය මුල ඇමරිකාව, ඩොලර් බිලියන සිය ගනනක චීන භාන්ඩ මත පනවන තීරුබදු වැඩිකරන බව පැවසීය. ඒ තර්ජනය ක්‍රියාවට නැඟුවහොත්, තමන් පෙරලා පහර දෙන බව චීනය ඇඟවුම් කලේය.

ට්‍රම්ප් 5දා ට්වීටර් සටහනකින් පැවසුවේ, 10දා වන විට ඇමරිකාව බිලියන 200ක් වටිනා චීන නිෂ්පාදන වලට පනවා ඇති තීරුබද්ද සියයට 10 සිට 25 දක්වා ඉහල දමන බවත්, බිලියන 325ක භාන්ඬ සඳහා බදු “ඉක්මනින්ම” සියයට 25න් වැඩිකරන බවත්ය.

මේ අනුව පෙනීයන්නේ සාකච්ඡා ඉදිරියට නොයනු ඇති බවයි. කෙසේ වෙතත් රටේ ප්‍රධාන නියෝජිත උප අගමැති ලියු හී 8දා පැවසුවේ, තමන් වොෂින්ටනයට පැමින ඇමරිකානු වෙලඳ නියෝජිත රොබට් ලියිතිසර් හා භාන්ඩාගාර ලේකම් ස්ටීවන් මුන්චින් හමුවන බවය.

සාකච්ඡාවන්හි ස්වරූපය ගුනාත්මක වෙනසක් අත්කරගෙන තිබේ. ඒවායින් අදහස් කරනු ලැබුවේ, මාසගනනක් දිගට පැවති සාකච්ඡා පිලිබඳ අවසන් එකඟත්වයකට පැමිනීමයි. ඉන් පසුව එය අත්සන් තැබීම පිනිස ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් හා චීන ජනාධිපති සී ජින්පින් වෙත යොමු කෙරේ.

එම බලාපොරොත්තුව සුලඟේ ගසාගෙන ගොස් ඇත. එවැනි එකඟත්වයක් යලි ඇතිවීම ගැන ඇත්තේ බරලතල සැකයකි. ඒ ඇමරිකානු පියවර හා කොන්දේසි සලකා බලන විටය.

තමන් එකඟ වන සහන චීනයේ නීතිගත කරන බවට ඇතිව තිබූ චීනයේ මුල් එකඟතාවෙන් දැන් එරට පසුබැස ඇති බවට ඇමරිකාව චෝදනා කරයි. ඒ එම පියවර රෙගුලාසි මඟින් ක්‍රියාත්මක කරන්නේ යයි පවසමිනි. එය වැඩි බරක් නොදරයි.

වෝල්ස්ට්‍රීට් ජර්නලයේ පලවූ වාර්තවන්ට අනුව, කුමන ගිවිසුමකට හෝ අනුකූලව කටයුතු කරන බව සහතික වන නීති හා රෙගුලාසි ගොනුවක් චීනය විසින් ඉදිරිපත්කල යුතු යයි ඇමරිකාව කියා සිටී. වෙනත් වචන වලින් කිවහොත් ඇමරිකාව, ආර්ථික ප්‍රතිපත්ති පිලිබඳව චීන ආන්ඩුවට එක එල්ලේම නියෝග පනවනු ඇත.

එය ජාතික ස්වෛරී භාවය උල්ලංඝනය කිරීමක් ය යන පදනමින් බීජිනය මේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව පෙනී යයි. සාකච්ඡාවන්ට එලඹීමේ චීන තීරනය පදනම්ව ඇත්තේ, එමඟින් වෙලඳ ගැටුම වේගයෙන් පැතිර යාම වැලැක්වීම හෝ අඩුම තරමින් එය ප්‍රමාද කිරීමට හැකි යම් ආකාරයක එකඟත්වයක් පිලිබඳ බලාපොරොත්තුව මතය. දෙපාර්ශවයන්ගේම ආස්ථාන දැඩිවීමේ තතු හමුවේ එවන් සීමිත බලාපොරොත්තුවක් පවා තැබීමට ඉඩක් නැත.

8දා ට්‍රම්ප් තවත් ගිනිඇවිලෙන සුලු ට්වීටර් සටහනක් ලිවීය. “චීනය පස්ස ගැසීමට හා වෙලඳ ගිවිසුමක් ගැන යලි සාකච්ඡා කිරීමට උත්සාහ කරන කාරනය නම්, ඔවුන්ට ජෝ බිඩෙන් හෝ වෙනත් ඉතා දුර්වල ඩිමොක්‍රටිකයෙක් සමඟ ‘සාකච්ඡා’ කිරීමට හැකිය යන බලාපොරොත්තුවෙනි. එමඟින් ඔවුන්ට වසර ගනනාවක් තිස්සේ වසරකට ඩොලර් බිලියන 500 බැගින් එක්සත් ජනපදයෙන් ගරා ගැනීමට හැකිය යන අපේක්ෂාවෙනි.”

මේ සතිය මුල, චීනය “අපගේ දිවා ආහාරය වලඳනු” ඇති බව සැකය හා චීනය “අපට තරඟයක් නොවේ” යයි පවසන ලද හිටපු උපජනාධිපති බිඩෙන් ගැනය ට්‍රම්ප් පවසා ඇත්තේ.

සාකච්ඡා පිලිබඳ අවිනිශ්චිත කම හේතුවෙන් 13දා ඩව් ජෝන්ස් කොටස් මිල ඒකක 450ත් වඩා පහත වැටුනි. 14දා එය තවත් ඒකක 200න් වැටුනි. එහෙත් වෙලඳ ගිවිසුමක් පිලිබඳව ට්‍රම්ප් යම් බලාපොරොත්තුවක් ඇති කිරීමේ තතු තුල යම් ප්‍රකෘතියක් ඇති වුවද දිනය අවසානයේ එය ද බිඳ වැටුනි. කොටස් වෙලඳපොල සංසුන් කිරීමට වෑයම් කරමින් ට්‍රම්ප්, “තමන් එක්සත් ජනපදයට පැමිනෙන බවට චීනය අපට දන්වා ඇත... අපි බලමු. ඒත් එක්සත් ජනපදයේ පෙට්ටගම් වලට ඩොලර් බිලියන 100ට වැඩියෙන් වැටීම මට මහත් සතුටකි... අපිට නියමයි, ඒත් චීනයට සවුත්තුයි” යනුවෙන් පැවසීය.

ඇත්ත වශයෙන්ම මේ දක්වා ඩොලර් බිලියන 34ක බදු ආදායමේ මුලු ගාන ගෙවා ඇත්තේ චීන අපනයනකරුවන් නොව ඇමරිකානු ආනයනකරුවන්ය. ට්‍රම්ප් චීනයට විරුද්ධ සිය වාග් හරඹය දැඩිකරද්දී ඇමරිකානු වෙලඳ නියෝජිත කාර්යාලය 8දා, සිකුරාදාට පැනවීමට නියමිත බදු වැඩිකිරීමට අදාල කඩදාසි ගොනු කලේය. එය පවසා ඇත්තේ මෑත සාකච්ඡා වලදී “චීනය මුල් වටයේදී එකඟවූ නිශ්චිත ගිවිසුම් වලින් පසුබැසීමට පටන්ගෙන තිබේ” යනුවෙනි. චීනය ප්‍රතිචාර දැක්වූයේ, ඇමරිකාව නව තීරුබදු තර්ජනය ක්‍රියාවට නඟන්නේ නම් පෙරලා පහර දෙන බව පවසමිනි.

චීන වානිජ්‍ය අමාත්‍යාංශ ප්‍රකාශකයෙකු මෙසේ පැවසීය: “වෙලඳ ගැටුම පැතිර යාම දෙරටේම හා ලෝකයේම ජනතාවගේ අභිලාෂයන්ට පටහැනිය. චීන පාර්ශවය මෙම ක්‍රියාව ගැන ගැඹුරෙන්ම කනස්සල්ලට පත්වේ. එක්සත් ජනපද තීරුබදු පියවර ක්‍රියාවට නඟන්නේ නම්, චීනය අවශ්‍ය ප්‍රති පියවර ගනු ඇත.”

ට්‍රම්ප්ගේ මාධ්‍ය ලේකම් සාරා සෑන්ඩර්ස් පැවසුවේ, චීනයට “ගිවිසුමකට ඒමේ අවශ්‍යතාව” ඇති බවට ඇඟවුම් ඇමරිකාවට ලැබී ඇති බවත් “අපගේ කන්ඩායම් දිගටම සාකච්ඡා කරනු ඇති” බවත්ය. එහෙත් එම බලාපොරොත්තුව එන්ට එන්ටම වියැකී යයි. අවධානයට ලක්ව ඇති එක් ප්‍රධාන කාරනයක් නම්, ගිවිසුමක් ඇතිකර ගත්ත ද චීන භාන්ඩ වලට දැනට පනවා තිබෙන තීරුබදු වහාම ඉවත් නොකරන බවට හා චීනය අනුකූලව කටයුතු කරන බවට ඇමරිකාව සෑහීමට පත්වන්නේ නම් පමනක් ඒවා ප්‍රගතිශීලී ලෙස අඩුකරන බවට ඇමරිකාව කරන අවධාරනයයි. මේ අනුව “බලගැන්වීමේ” යාන්ත්‍රනයක් පවතින බවට සහතික විය යුතුය.

එසේම ඇමරිකාව කියන්නේ, චීනයේ ප්‍රතිප්‍රහාර නොමැතිව අතිරේක තීරුබදු පැනවීමේ අයිතිය තමන් සතුව තබාගන්නා බවයි. මෙම ඉල්ලීම චීන නියෝජිතයින් විසින් දැනටමත් ප්‍රතික්ෂේප කර ඇත. ඔවුන් අවධාරනය කරන්නේ, බලගැන්වීමේ ඕනෑම යාන්ත්‍රනයක් දෙපැත්තටම ක්‍රියාත්මක විය යුතු බවයි.

එහෙත් දැන් චීනය මුහුන දෙන්නේ, තමන් සකස් කරන ලැයිස්තුවට අනුව චීන නීතිය යලි ලිවීමට ඉඩදිය යුතු බවට වොෂින්ටනය විසින් කරනු ලබන අවධාරනය ද සමඟ තීරුබදු පිලිබඳ නව තර්ජනයකටය.

දෙපාර්ශවයම සැලකිය යුතු දේශීය පීඩනයකට මුහුනපා සිටී. යම් ආකාරයක ගිවිසුමක් ඇතිකර නොගතහොත් කොටස් වෙලඳපොලේ තියුනු කඩාවැටීමක් ඇතිවේය යන භීතිය හමුවේ ට්‍රම්ප්ට යම් ගිවිසුමකට එලඹීමේ අවශ්‍ය තාවක් ඇත. එසේම ඔහු, වෙලඳ යුද්ධය පැතිර යාම ඇමරිකාවේ ප්‍රාන්ත ගනනාවකට දරුනු ලෙස බලපානු ඇතැයි ද කනස්සල්ලට පත්වේ. මේවා ඔහුගේ මැතිවරන පදනමේ සැලකිය යුතු කොටසකට වග කියනු ලැබේ. ඇමරිකාව දැනට පවත්වාගෙන යනු ලබන තීරුබදු වලට ප්‍රති ප්‍රහාරයක් ලෙස, ඇමරිකාවේ කෘෂි නිෂ්පාදන වලට එල්ල කර ඇති චීන සීමාවන්ගෙන් මෙම ප්‍රයන්ත දැනටමත් බැට කයි. සමහර ග්‍රාමීය ප්‍රදේශ වාර්තා කරන්නේ, 1980 ගනන්වල ගොවිපල අර්බුදයෙන් පසුව නරකම තත්වයට මුහුනපා සිටින බවයි.

ඒ සමගම ට්‍රම්ප්, ගිවිසුමක් සඳහා ඕනෑවට වඩා පෙරට ගියහොත්, “දුබල” ගිවිසුමක් ඇතිකරගෙන තිබේයයි ඩිමොක්‍රටික් මෙන්ම රිපබ්ලිකන් පක්ෂයේ ද කොටස්වල ප්‍රහාරයට ඉලක්ක වනු ඇතැයි ද බියවේ. මෙම කොටස් කියා සිටින්නේ, වෙලඳාම පමනක් ප්‍රධාන කාරනය නොවන බවයි. අවසානයේදී ඇමරිකාවේ ආර්ථික හා මිලිටරි අධිකාරයට පවත්නා තර්ජනයක් ලෙස සලකනු ලබන චීනයේ කාර්මික හා තාක්ෂනික වර්ධනය මැඬිය හැකි ඊනියා “ව්‍යූහාත්මක ප්‍රතිසංස්කරන” පනගැන්වීමට ඇමරිකාව පියවර ගත යුතුය.

චීන පාර්ශවයෙන් උපඅගමැති ලියු හේ, “වෙලඳපොල විකෘතියක්” යයි සලකනු ලබන රාජ්‍ය ව්‍යවසායන් සඳහා දෙන සහනාධාර යම් ආකාරයකින් ඉවත් කර, ඇමරිකාව කියා සිටින “ප්‍රතිසංස්කරන” පිලිගැනීමට කැමැත්ත දක්වයි.

පාලන තන්ත්‍රයේ බලගතු කොටස්, 19 වන සියවසේ හා 20වන සියවසේ මුල් හරියේදී චීනය මත පැවති අධිරාජ්‍යවාදී අධිකාරයේ ප්‍රමුඛ අංගෝපාංග සැකසුනු “අසමානවූ ගිවිසුම්” පැනවීම සිහියට නංවන කොන්දේසි වලට කොහෙත්ම එකඟ නොවනු ඇත.

ක්ෂනික ප්‍රශ්නය වනුයේ, සිකුරාදා සිට අමතර තීරුබදු බලගැන්වීමේ තර්ජනයයි. අන්තිම මිනිත්තුවේදී ට්‍රම්ප් ඒවා ඉවත්කරගතහොත් ඔහු පුරසාරම් දොඩා අවසානයේදී ඒවා ඉවත්කර ගත්තේය යන ප්‍රහාරයට ඔහු ගොදුරු වනු නිසැකය.

කෙසේ වුවත් ඒවා ක්‍රියාත්මක කර චීනය ප්‍රති ප්‍රහාර එල්ල කලහොත්, වෙලඳ යුද්ධය ඉමහත් සේ පැතිර යනු ඇත.

Share this article: