ජනාධිපතිවරනයේ දී “අපේක්ෂිත ප්‍රතිඵල”‍ නොලැබුනේ ජාතිවාදී බෙදීම් නිසා යයි ජවිපෙ නායකයා බේගලයක් ඇදබායි

ඩබ්ලිව්. ඒ. සුනිල් විසිනි , 2019 නොවැම්බර් 22

ජනාධිපතිවරනයේ දී ජාතික ජන බලවේගය (ජාජබ) අපේක්ෂා කල ප්‍රතිපල නොලැබුනේ සමාජය තුල “තීව්‍ර ජාතිවාදී බෙදීමක්”‍ පැවති නිසා බව ජාජබයේ ජනාධිපති අපේක්ෂක හා ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) නායක අනුර කුමාර දිසානායක නොවැම්බර් 18 වෙනිදා පැවති මාධ්‍ය හමුවක දී පැවසීය.

“‍අපට අප මැන බැලූ ලෙසට මෙවර මැතිවරනයේ දී ප්‍රතිඵල ලැබී නැහැ. ඒ බව අප පිලිගත යුතුයි. ඒ පිලිබඳව සමාලෝචනයක් කරන්නත් අප තවත් අවධානය යොමුකල යුතු”‍ යැයි එහි දී සඳහන් කල දිසානායක, සමාජය තුල “‍තීව්‍ර බෙදීමක්”‍ තිබීම තමන්ට චන්ද අඩුවීමට හේතුකාරක වූ ප්‍රධාන සාධකය බව පැවසීය. දකුනේ සහ උතුරු නැගෙනහිර චන්ද ප්‍රතිපල වලින් පෙන්නුම් කෙරුනේ එම බෙදීම බව දිසානායක පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ (ශ්‍රීලපොපෙ) අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සහ ධනපති ජනමාධ්‍යයන් ද මෙම කුතර්කය තොරොම්බල් කරන අතර ව්‍යා‍ජ-වම්මු ද එයට එක්ව සිටිති.

තමන් ජයග්‍රහනය කලේ සිංහල බෞද්ධ චන්ද වලින් බවත් උතුරු -නැගෙනහිර ජනතාවගෙන් අපේක්ෂිත ආකාරයේ සහයෝගයක් නොලැබුන බවත් ජනාධිපති ලෙස දිව්රුම් දීමෙන් පසුව කල කතාව තුල දී ගෝඨාභය රාජපක්ෂ සඳහන් කලේ ය. ජනාධිපතිවරනයේ දී දකුනේ සහ උතුරු නැගෙනහිර ජනයා අතර වාර්ගික බෙදීමක් පැවතියා යයි කීම අමු මුසාවක් මෙන් ම, ප්‍රතිගාමී තර්කයකි. ජනාධිපතිවරනය ආසන්නයේ පැවති, දෙලක්ෂයක පාසැල් ගුරුවරුන්ගේ සහ දහස්ගනනක විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයන්ගේ වර්ජනයන්ට, සිංහල,දෙමල සහ මුස්ලිම් කම්කරුවන් වර්ගය නොතකා එක්වීම මගින්මත් එම තර්කය කීතුකර දමයි.

ගෝඨාභය රාජපක්ෂ දකුනේ දී බහුතර චන්දයක් දිනා ගැනීමට සමත් වූ‌යේ, ජීවන තත්වයන්ට සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එල්ල කල ප්‍රහාර හේතුවෙන් සිරිසේන-වික්‍රසිංහ ආන්ඩුව කෙරෙහි වැඩුනු මහජන වෛරය හා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය (ශ්‍රීලපොපෙ) යහමින් ගසාකෑමේ ප්‍රතිපලයක් නිසා මිස දකුනේ ජනයා දෙමල හා මුස්ලිම් විරෝධී ජාතිවාදීන් නිසා නොවේ. උතුරු-නැගෙනහිර දෙමල හා මුස්ලිම් ජනයා බහුතරයක් ගෝඨාභයට එරෙහිව චන්දය පාවිච්චි කලේ බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට (එල්ටීටීඊ) එරෙහි යුද්ධය තුල දී රාජපක්ෂ තන්ත්‍රය යටතේ සිදු වූ ලේවැකි ජනඝාතන හා අතුරුදහන් කිරීම් ඇතුලු යුද අපරාධ මෙන් ම, මුස්ලිම් ජනයාට එරෙහි වාර්ගික ප්‍රහාරවලට එරෙහිව විරුද්ධත්වය ප්‍රකාශ කිරීමක් ලෙස ය.

ජාජබ ට චන්ද අඩුවීම, ධනපති ආන්ඩුවලට ජවිපෙ කල කත් ඇදීම හේතුවෙන් එහි සමාජ පදනම් වල ඇති වූ බරපතල ඛාදනයක ප්‍රතිවිපාකයකි. ජවිපෙ, දෙමල විරෝධී වර්ගවාදී යුද්ධයේ කසකරුවෙකු වූ අතර යුද්ධය තුල දී සමස්ත මහජනතාවගේ ජීවන තත්වයන්ට සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට ධනපති ආන්ඩු වලින් එල්ල කෙරුන ප්‍රහාරවලට සහයෝගය දුන්නේ ය. ජවිපෙ සහ ජාජබ තුල ගොනු වී සිටින සියලු‍ සංවිධාන සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව බලයට ගෙන ඒමට ඍජුව ම කර දුන්හ.

දේශපාලන සංස්තාපිතයේ ප්‍රධාන පක්ෂ කෙරෙහි මහජනතාවගේ විශ්වාසය බිඳවැටීම සහ වෛරය ගසාකෑමෙන් දිය වී ගිය තම සමාජ පදනම් පිරියම් කර ගැනීමට හැකි වෙතැයි ජවිපෙ කල ගනන් බැලීම වැරදී යාම වසා ගන්නට උත්සාහ කරන්නේ මෙවන් කුතර්ක වලිනි.

මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් “කිසිසේත්ම අපි ජාතිවාදයට වැටෙන්නේ නැහැ. සිංහල, දෙමල, මුස්ලිම් ජනයාගේ ජාතික සමගිය වෙනුවෙන් අතිශය දුෂ්කර තත්වයන් යටතේ දී වුවත් අපි සිටින”‍ බවට දිසානායක කල සඳහන මුලුමනින් ම වංචනික කතාවකි. ආරම්භයේ සිටම සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදය මත පදනම් වූ ජවිපෙ ධනපති පාලක පන්තියේ වර්ගවාදී යුද්ධයට මෙන් ම මුස්ලිම් ජනයාට එරෙහි ප්‍රහාරවලට ද නොපැකිලව සහයෝගය දුන්නේ ය. අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව මුස්ලිම් ජනයාට එරෙහිව මුදාහල රාජ්‍ය ත්‍රස්තය සමග ජවිපෙ ඍජුව පෙල ගැසුනේ ය. මුස්ලිම් අන්තවාදයට මුස්ලිම් ජනයා වගකිවයුතු බවට චෝදනා කල එය හදිසි නීතිය බලාත්මක කිරීම සඳහා සහයෝගය ගොනු කර ගැනීමට සිරිසේන කැඳවුම් කල සර්වපාක්ෂික සාකච්චාවට ද සහභාගී වී රාජ්‍ය මර්දනයට අනුමැතිය පල කලේ ය.

ජාජබ තුන්වන බලවේගයක් හෝ තවත් විකල්පයක් නොවන බවත් මහජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් සම්පාදනය කල හැකි “‍එකම විකල්පය”‍ එය බවත් දිසානායක පැවසීය. ආර්ථික සංවර්ධනය, ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම, යහපත් සංස්කෘතියක් නිර්මානය කිරීම, සිංහල, දෙමල, මුස්ලිම් ජනයා අතර ජාතික සමගිය ඇති කිරීම හා රටේ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා තිබෙන “එකම මාවත”‍ ජාජබ බව ඔහු සඳහන් කලේ ය.

ජවිපෙ නායකත්වය සහිත ජාජබ ඊනියා විද්වතුන්, සිවිල් සංවිධාන, කලාකරුවන් සහ ජවිපෙ විසින් පාලිත වෘත්තීය සමිති ඇතුලු සංවිධාන රොත්තක එකතුවකි. එය කිසිසේත්ම කම්කරු-පීඩිත ජනයාගේ සමාජ හා ප්‍රජාතන්ත්‍රීය අයිතීන් තහවුරු කල හැකි විකල්ප දේශපාලන සංවිධානයක් නොවේ. එය ධනේශ්වර රාජ්‍යය සහ එහි ආර්ථික-දේශපාලන උත්සුකයන් වෙනුවෙන් පෙනී සිටින තවත් විකල්ප ධනපති දේශපාලන ප්‍රවනතාවයකි. මහ ධනපති පන්තියේ සහ අධිරාජ්‍යවාදී බලයන්ගේ පූර්න අනුග්‍රහය දිනා ගැනීමට එය තවමත් සමත් වී නැතත් ඒ සඳහා වලිකන ව්‍යාපාරයකි. එය තුල ගොනුවී සිටින සියලු‍ සංවිධාන නියෝජනය කරන්නේ තම සමාජ වරප්‍රසාද වලට පහර වැදීමෙන් දුර්මුඛ වූ කම්කරු පන්ති විරෝධී ඉහල මධ්‍යම පන්තික ස්ථරයන්ය.

එය වටා රැලි වී සිටින ආචාර්ය, මහාචාර්ය ලියන අප්පුලා කන්ඩායමක් විසින් කෙටුම්පත් කරන ලද ජාජබ මැතිවරන ප්‍රකාශය වනාහි, ධනපති ක්‍රමය ප්‍රතිසංස්කරනය කිරීමට, දේශීය සහ විදේශීය ආයෝජකයන්ගේ උවමනාවන් ආරක්ෂා කිරීමට, අධිරාජ්‍යවාදී බලයන්ගේ භූ-දේශපාලන මූලෝපායන් සමග පෙල ගැසීමට සූදානම පෙන්නුම් කරන හා සිංහල බෞද්ධ අධිපතිවාදී ඒකීය රාජ්‍යය රැකීමට දිවිහිමියෙන් කැප වන බවට සපථ කල එකකි.

ජනාධිපතිවරනය පැවැත්වුනේ ශ්‍රී ලංකාවේ ධනපති පාලක පන්තිය වඩ වඩා ගැඹුරුවන ආර්ථික හා දේශපාලන අර්බුදයකට මුහුන දී සිටින කොන්දේසි තුලය. පාලක පන්තියේ කල්ලි, කන්ඩායම් අතර රුදුරු කාකොටා ගැනීම් මගින් ප්‍රකාශයට පත්වූයේ, ජීවන තත්වයන්ට සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එල්ල වන ප්‍රහාරවලට විරුද්ධව වැඩෙන ගෝලීය අරගලයේ කොටසක් ලෙස ශ්‍රී ලංකාවේ වැඩකරන ජනයාගේ අරගල පුපුරා ඉස්මත්තට ඒම තම පන්ති පාලනයට වල කපනු ඇතැයි ධනපති පන්තිය තුල පවතින භීතියයි. “‍ජාතික ආරක්ෂාව”‍, “නීතියේ හා විධානයේ ආධිපත්‍යය තහවුරු කිරීම”‍ සහ “‍ස්ථාවර ආන්ඩුවක්”‍ පිලිබඳ සටන් පාඨ පෙරදැරි කර ගනිමින් ශ්‍රී ලපොපෙ, එජාප සහ ජාජබ මැතිවරනය තුල පොරවැදී සිටියේ පන්ති අරගල රුදුරු ලෙස මැඩලමින් ස්ථාවර ධනේශ්වර පාලනයක් තහවුරු කිරීමට හොඳම සුදුසුකම් ඇත්තේ තමන්ට බව කියාපාමිනි.

වෘත්තීය සමිති සහ ව්‍යා‍ජ වාම පක්ෂ වන නව සමසමාජ පක්ෂය (නසසප) එක්සත් සමාජවාදී පක්ෂය (එසප) සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) විසින් කම්කරු පන්තියේ අරගල ගබ්සා කොට අවමංගත කිරීමේ වාසිය ගසා කමින් බලය අල්ලා ගැනීමට සමත් වූ ශ්‍රීලපොපෙ හා ජනාධිපති ගෝඨාභය යුහුසුලුව ක්‍රියාත්මක වී සිටින්නේ ආඥාදායක පාලනයක් ස්ථාපිත කිරීමේ මෙහෙයුමකය.

සමාජය ජාතිවාදී ලෙස බෙදී ඇති බේගල් දෙසාබාමින් ජවිපෙ යෙදී සිටින්නේ ධනපති පන්ති පාලනයේ ඇති වී තිබෙන මෙම නිශ්චිත දේශපාලන වෙනසෙන් ඇඟවුම් කෙරෙන බරපතල අන්තරායන් හා අභියෝග වසන් කර කම්කරු-පීඩිත ජනයා දේශපාලනිකව අවමංගත කිරීමේ දැනුවත් හා දුෂ්ට ප්‍රයත්නයකය.

Share this article: