දුම්රිය කම්කරුවන්ට එරෙහි රාජ්‍ය මර්දනයක් උසිගන්වමින් දිවයින පුවත්පත ප්‍රකෝපකාරී කතුවැකියක් ලියයි

නවීන් දේවගේ විසිනි, 2019 නොවැම්බර් 27

“වහා දුම්රියට ‘අත’ තබනු” යන මැයෙන්, නොවැම්බර් 21 වැනි දා දිවයින පුවත්පත, දුම්රිය කම්කරුවන්ට එරෙහි ප්‍රකෝපකාරී කතුවැකියක් පල කලේ ය. දුම්රිය ගමනාගමනය සිතාමතාම ප්‍රමාද කරමින් දුම්රිය කම්කරුවන් නව ආන්ඩුවට එරෙහි කඩාකප්පල්කාරී ක්‍රියාවක යෙදුනු බව ඇඟවෙන පරිදි ලියා ඇති එම කතුවැකිය මෙසේ පවසයි: “නව ජනාධිපතිවරයා පත් වූ දින පටන්ම විශේෂයෙන්ම කොලඹ සිට උඩරට මාර්ගයේ (දෙපසට) දිවෙන දුම්රිය සේවාවල පවතින්නේ දැඩි ප‍්‍රමාදයකි. කාර්යාල දුම්රිය මෙන්ම දුර ගමන් සේවා දුම්රිය සේවා පැය භාගය, විනාඩි 40 - 50, පැය දක්වා ප‍්‍රමාද වී ධාවනය වීම විටෙක වෘත්තීය ක්‍රියාමාර්ගයක් ද, සංඥා පද්ධතියේ දෝෂයක් ද එසේත් නැතිනම් කඩාකප්පල්කාරී කටයුත්තක් දැයි මගීන් කසු කුසු ගානු ඇසේ.”

දුම්රිය කම්කරුවන්ට එරෙහිව මහජන විරෝධය අවුලවනුවස්, දිවයින කතුවැකිය මෙසේ ද පවසයි: “භාන්ඩාගාරයෙන් සහනාධාර ගෙන දුවන දුම්රිය සේවයේ කරන්නට බැරි ඉල්ලීම් මුල්කරගෙන ‘ස්ට‍්‍රයික්’ කරන්නේ නම්, ඒ එම සේවාව වලපල්ලට ගෙන යෑම සඳහාම මිස වෙනකකට නොවේ.”

අනුප්‍රාප්තික ආන්ඩුවල අනවරත කප්පාදුවේ ප්‍ර‍තිඵලයක් ලෙස දුම්රිය මාර්ග නිසි පරිදි නඩත්තු නොකිරීම, සංඥා පද්ධති වලට නවීන තාක්ෂනය හඳුන්වා නොදීම සහ දැඩි සේවක හිඟය දුම්රිය ප්‍රමාදයට බලපාන මූලික හේතුන් වන අතර, රටේ පැවති දැඩි වැසි සහිත කාලගුනික තත්ත්වය පසුගිය දිනවල දුම්රිය ගමන් ප්‍රමාදයට සුවිශේෂීව බලපා ඇත.

මේ සියල්ල වසන් කරමින්, දුම්රිය කම්කරුවන් මත වරද පටවා, ඔවුන් මර්දනය කිරීම සඳහා ධනපති ආන්ඩුවේ අත ශක්තිමත් කර දීමත් කම්කරුවන්ට එරෙහිව ප්‍ර‍තිගාමී බලවේග ඉස්මත්තට ගැනීමත් දිවයින කතුවැකියේ අරමුනයි.

දුම්රිය කම්කරුවන් නව ආන්ඩුවට එරෙහි කඩාකප්පල්කාරී ක්‍රියාවන්හි නිරතවන බව පෙන්වීමට දිවයින උත්සාහ දරතත්, පැවති සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව ද දුම්රිය කම්කරුවන්ගේ වර්ජනවලට කඩා පැන්නේ, ඒවා රාජපක්ෂ කඳවුර විසින් උසි ගන්වන ලද බව පවසමිනි.

අන් සෑම ක්ෂේත්‍රයකම මෙන් දුම්රිය සේවයේ ද වියදම් කප්පාදුවෙන් පැන නංවා ඇති දුෂ්කර සේවා කොන්දේසි සහ අඩු වැටුප් මට්ටම් වලට එරෙහිව අරගලයට ඇදෙන කම්කරුවන්ට එරෙහිව අවශේෂ මහජනතාව ප්‍රකෝප කිරීමේ අදහසින් දිවයින කතුවැකිය තවත් පචයක් අඹරයි: “ලක්‍ෂ ගනන් ඕවර් ටයිම්, බටා, පඩි නඩි ගෙන තවත් වැටුප් විෂමතා තිබෙන බවට හඬනඟන දුම්රිය වෘත්තීය සංගම්, මහජනතාවට කලට වේලාවට සේවා සපයා දෙන්නේ දැයි ප‍්‍රශ්න කල යුතුව ඇති කාරනයකි.”

දුම්රිය කම්කරුවන් අතරින් රුපියල් ලක්ෂය ඉක්මවා වැටුප් ලබා ගන්නේ අතලොස්සකි. එයද උපයා ගනු ලබන්නේ, සේවක කප්පාදුව හේතුවෙන් අනිවාර්ය කෙරුනු අතිකාල වැඩ කිරීමෙනි. මෙය අඩු සේවක සංඛ්‍යාවක් මත ඉසිලිය නොහැකි වැඩ කන්දරාවක් පටවමින් කෙරෙන දැවැන්ත ශ්‍රම මිරිකා ගැනීමකි.

මාර්ග නඩත්තු අංශයේ සිට එන්ජින් ධාවනය දක්වා දුම්රිය සේවයේ කවර අංශයේ වැඩ කරන කම්කරුවකුගෙන් විමසුව ද, අවම මූලික පහසුකම් හෝ නොමැති ව තම අංශයේ වැඩ කටයුතු මනා ව පවත්වා ගැනීමට ඔවුන් දරන වෙහෙස ඔහු විස්තර කරනු ඇත. දුම්රිය වැඩපොලවල අවශ්‍ය මෙවලම් නොමැති අතර කම්කරුවන් වැඩ කරන්නේ තම පෞද්ගලික වියදමින් ඒවා සපයා ගෙන ය. දුම්රිය මාර්ගයේ දෝෂ හේතුවෙන් සිදුවන අනතුරුවලට රියදුරන්ගෙන් අලාභ පියවා ගැනීම නතර කර දැමීම අවසන් වරට පැවති වර්ජනයේ ඉල්ලීමක් විය දිවයින ‘කරන්නට බැරි ඉල්ලීම්’ යනුවෙන් සඳහන් කරන්නේ මෙම දැවෙන අවශ්‍යතා සපුරා ගැනීම සඳහා කරන ඉල්ලීම් ය.

දුම්රිය කම්කරුවන්ගේ ද ජීවිත ඇතුලු‍ ව සමස්ත දුම්රිය සේවය ම ‘වලපල්ලට’ යමින් ඇත්තේ අනුප්‍රාප්තික ආන්ඩුවල කප්පාදු පියවර නිසා මිස, එම කප්පාදු වලට එරෙහි ව තම සේවා කොන්දේසි සහ ජීවන කොන්දේසි රැක ගැනීමට කම්කරුවන් යෙදී ගන්නා සටන් නිසා නොවේ.

දැවැන්ත නය අර්බුදයක ගිලී සිටින ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධානයන්ට අනුව, 2020 වන විට රාජ්‍ය අය වැය පරතරය දල ජාතික නිශ්පාදිතයෙන් සියයට 3.5 ට පහල දැමීමට බැඳී සිටී. නව ආන්ඩුව එය ක්‍රියාවට නැංවිය යුත්තේ දුම්රිය සේවය ද ඇතුලු‍ සමස්ත රාජ්‍ය සේවය තුල කෙරෙන කප්පාදු සහ පුද්ගලීකරනය තුලිනි.

නොවැම්බර් 22 වැනි දා නව අමාත්‍ය මන්ඩලය දිවුරුම් දීමෙන් පසු ව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පාඩු ලබන රාජ්‍ය ආයතන වානිජ පදනමක් මත ප්‍රතිව්‍යූහගත කරන බව ප්‍රකාශ කලේ ය. දුම්රිය, අධිකාරියක් බවට පත් කිරීමට දිගු කාලීනව දැරූ ප්‍රයත්නයක් කුලු‍ ගන්වා ගැනීමට රාජපක්ෂ කටයුතු කරනු ඇත. මේ කටයුතු දුම්රිය කම්කරුවන්ගේ රැකියා කප්පාදුවක්, වැටුප් කප්පාදු කිරීමකින් සහ වැඩ වේගවත් කිරීමකින් තොර ව සපුරා ගත නොහැකි ය.

ගෝලීය ධනවාදය මුහුන දී සිටින පද්ධතිගත බිඳවැටීම හමුවේ ගැඹුරු ආර්ථික අර්බුදයන්ට මුහුන දී සිටින ලොවපුරා පාලක පන්තීන්, දැවැන්ත කප්පාදු හරහා තම අර්බුදයේ බර කම්කරු-පීඩිත මහජනතාව මත පටවමින් සිටිති. එයට එරෙහිව ජාත්‍යන්තර පරිමානව පුනර්ජීවනය වන පන්ති අරගල රැල්ලේ කොටසක් ලෙස ලංකාවේ ද පන්ති අරගල මාලාවක් පැන නැගෙමින් පවතී. පසුගිය දා පැන නැගුනු දුම්රිය කම්කරුවන්ගේ, ගුරුවරුන්ගේ සහ විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයන්ගේ වර්ජන එය සනිටුහන් කරයි.

වැඩෙන පන්ති අරගල හමුවේ භීතියට පත්ව සිටින ලංකාවේ ධනපති පන්තිය “ශක්තිමත්” ආන්ඩුවක් ඉල්ලා සිටියේ එම අරගල රුදුරු ලෙස තලා දැමීමටයි. පාලක පන්තියේ සුවිසල් කොටසක් ඒ සඳහා වඩාත්ම සුදුස්සා ලෙස ගෝඨාභය රාජපක්ෂ හඳුනාගත් අතර දැන් ඔහු බලයට පත්ව සිටී.

ආඥාදායක තන්ත්‍රයක් තහවුරුකර ගනිමින් සිටින මිලිටරියේ හිටපු ඉහල නිලධාරියෙකු වන ජනාධිපති රාජපක්ෂ, තම තන්ත්‍රයේ වැදගත් නිලතල විශ්‍රාමික මිලිටරි නිලධාරීන්ට පවරමින් සිටී. ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ලෙස පත්කරගත් හිටපු මේජර් ජනරාල්වරයෙකු වන කමල් ගුනරත්න, පසු ගිය 20 වැනි දා “සාමය කඩ කරන්නන්ට එරෙහි ව නීතිය දැඩි ව ක්‍රියාත්මක කිරීමට” නියෝග කලේ ය. පශ්චාත් මැතිවරන ප්‍රචන්ඩ ක්‍රියා වැලැක්වීම අරමුන බව ඔහු පුන පුනා පවසතත් එවන් ප්‍රකාශයන්ගේ සැබෑ එල්ලය වනුයේ සාමය ආරක්ෂා කිරීමේ නාමයෙන් පුපුරා යාමට නියමිත පන්ති අරගල තලා දැමීම යි.

තම කාර්මික ශක්තිය බලමුලු‍ ගැන්වීමට, එනම් වර්ජන ඇතුලු‍ අනෙකුත් සටන් කිරීමට කම්කරුවන්ට ඇති අයිතිය අපරාධයක් බවට පත් කිරීමට නව ජනාධිපතිගේ සහචර කල්ලි සහ දිවයින වැනි ධනපති මාධ්‍ය කල් තියා ම වැඩට බැස ඇත්තේ ඒ අනුව ය.

“නව ජනාධිපතිවරයාගේ නියමයෙන් පසු විපරම් යාන්ත්‍රනයක් වහා ම (රාජ්‍ය සේවය තුල) දියත් විය යුතු ව ඇතැයි යන්න අපගේ හැඟීමයි. මන්ද තව දුරටත් එක් එක් අයගේ හිතුමනාපයේ මහජන සේවාව ක්‍රියාත්මක නොකල යුතු ය. එසේ හෙයින් වහා ම දුම්රියට ‘අත’ තියන ලෙස නව ජනාධිපතිගෙන් අප ඉල්ලා සිටින අතර රටේ ලක්ෂ සංඛ්‍යාත මගී ජනයාට (ශ්‍රමිකයන්ට) වන අයුරින් දුම්රිය ප්‍රතිසංස්කරන ඇති කල යුතු ය” යනුවෙන් දිවයින කතුවැකිය යෝජනා කරන මෙම වැඩපිලිවෙල සුවිශේෂිතව දුම්රිය කම්කරුවන් එල්ල කරමින් ඉදිරිපත්කර ඇතත් එය සමස්ත කම්කරු පන්තියටම එරෙහි රාජ්‍ය මර්දනයකට අත වැනීමකි.

නොවැම්බර් 27 දා දිවයින කතුවැකියෙන් එය වඩාත් පැහැදිලි වෙයි. “ඉක්මනින්ම හැදිය යුතු රාජ්‍ය සේවය” යන හිසින් පලවූ එහි මෙසේ සඳහන් වෙයි: “අප රටේ රාජ්‍ය සේවකයාගේ සාමාන්‍ය දින චර්යාව අනුව දිනකට පැය අටක් සේවය කල යුතුය. නමුත් රටට ඵලදායී ලෙස මෙම වැඩ මුරය ක්‍රියාත්මක වේද යන්න වෙනමම සොයා බැලිය යුතු කාරනයකි. අප දන්නා පරිදි බොහෝ රාජ්‍ය ආයතනවල සේවකයන්ගෙන් අදාල සේවාව නිසි අයුරින් ලබාගන්නේ නැත. ඊට රාජ්‍ය සේවකයාට දොස් නැගීමෙන් පලක් නැත. කල යුතුව ඇත්තේ රාජ්‍ය සේවකයාගේ සේවය උපරිමයෙන් ලබාගත හැකි අයුරින් අදාල ප‍්‍රතිසංස්කරන කිරීමයි.”

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැනටමත් විධානය කොට ඇති පරිදි කම්කරුවන්ගෙන් වඩවඩාත් ශ්‍රමය උකහා ගැනෙන පරිදි වැඩ වේගවත් කිරීම සහ ප්‍රතිව්‍යූහකරනය ඉක්මන් කල යුතුය යන්න මෙහි අර්ථයයි.

මෙම ධනපති ප්‍රහාරවලින් ආරක්ෂා වීමට තම කාර්මික ශක්තිය බලමුලු‍ ගැන්වීමට තමාට ඇති අයිතිය අපරාධයක් බවට පත් කරලීමේ වෑයමට කම්කරුවෝ අභියෝග කල යුතු වෙති. තම සටන්කාමිත්වය දියකර හැරීමේ සහ අරගල යටපත් කිරීමේ මෙවලමක් වශයෙන් ක්‍රියාත්මක වන වෘත්තීය සමිති වලින් බිඳී වෙන්වී තමාගේම ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගනිමින් ධනපති ක්‍රමයට සහ ධනපති ආන්ඩුවට එරෙහි ඒකාබද්ධ ප්‍රතිප්‍රහාරයකට සමස්ත කම්කරු පන්තිය සූදානම් විය යුතුය.

Share this article: