ප්‍රධාන ආර්ථිකයන්හි වර්ධනය අඛන්ඩ පසුබෑමක

Growth continues to slow in major economies

නික් බීම්ස් විසිනි, 2019 නොවැම්බර් 15

පසුගිය දින කිහිපය තුල නිකුත් කරන ලද ලෝකයේ ප්‍රධාන ආර්ථිකයන්හි දත්ත වලින් පෙනී යන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පෙන්වා දී ඇති “සමමිතික” ගෝලීය මන්දගාමිත්වය නරක අතට හැරෙමින් පවතින බවයි.

ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකය වන චීනයේ නවතම සංඛ්‍යාලේඛන පිලිබඳව බ්ලූම්බර්ග් පැවසුවේ “අපනයන පහත වැටීම, කර්මාන්තශාලා නිෂ්පාදනය මන්දගාමී වීම, වාර්තාගත අවම ආයෝජනය සහ පරිභෝජනය වේගයෙන් පහත වැටීමත් සමඟ චීන ආර්ථිකයේ එන්ජිම දෙදරුම් කයි” යනුවෙනි.

ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශය වාර්තා කලේ, ඔක්තෝබර් මාසයේදී අගය එකතු කල කාර්මික නිෂ්පාදන ප්‍රමානය පෙර වසරට වඩා සියයට 4.7 කින් ඉහල ගොස් ඇති නමුත් සැප්තැම්බර් මාසයේදී එය ඉහල ගොස් තිබූ ප්‍ර‍මානය වන සියයට 5.8ට වඩා පහත වැටී තිබුනු බවයි. ඔක්තොබර් මස සියයට 5.2 කින් නිෂ්පාදන ප්‍රමානය ඉහල යනු ඇතැයි කලින් පුරෝකථනය කර තිබුනි.

ෂූහායි හි ඉලෙක්ට්‍රොනික් කර්මාන්ත ශාලාව, චීනය [ අනුග්‍රහය: http://www.flickr.com-people-76224602atN00]

සිල්ලර වෙලඳාම සියයට 7.2 කින් ඉහල ගොස් ඇති නමුත් සැප්තැම්බර් මාසයේදී එය සියයට 7.8 කින් ඉහල ගොස් තිබුනි. පුරෝකථනය කර තිබුනේ වර්ධනය සියයට 7.8 වනු ඇති බවටය.

වඩාත්ම වැදගත් කාරනය, ස්ථාවර ආයෝජන වර්ධනයේ පහත වැටීමයි. වසරේ මුල් මාස දහය තුල එය සියයට 5.2 දක්වා පසුබැස්ස අතර එය 1998 පසුව දත්තවල සැසඳිය හැකි අඩුම මට්ටමයි.

සංඛ්‍යාලේඛන කාර්යාංශයේ ප්‍රකාශකයෙකු වන ලියු අයිහු ඊයේ මාධ්‍යවේදීන් අමතමින් මෙසේ පැවසීය. “බාහිර අවිනිශ්චිතතා බොහොමයක් තිබේ. දේශීය චක්‍රීය ගැටලු ව්‍යුහාත්මක ගැටලු සමඟ සමපාත වේ. ආර්ථිකය මත පහතට නැඹුරු පීඩනය අඛන්ඩව ඉහල ගොස් තිබේ. අප මුහුන දෙන අවදානම් සහ අභියෝග අවතක්සේරු කල නොහැකිය.”

එච්එස්බීසී හි ආර්ථික විද්‍යාඥ ජූලියා වැන්ග් බ්ලූම්බර්ග් වෙබ් අඩවියට පැවසුවේ “මන්දගාමී වීමේ වේගය” අවසන් වී නැති බවත් “එතරම් තියුනු” නිසා එය ලබන වසරේ යම් අවස්ථාවක දී ශ්‍රම වෙලඳපොලට බලපෑම් කල හැකි බවත්ය.

ලෝකයේ තුන්වන විශාලතම ආර්ථිකය වන ජපානයේ වර්ධනය තුන්වන කාර්තුවේදී තියුනු ලෙස මන්දගාමී විය. අගමැති ෂින්සෝ අබේගේ ආන්ඩුව සැලසිය යුතු උත්තේජක පැකේජය කොපමන වන්නේ දැයි සලකා බලමින් සිටියි. අබේ පසුගිය සතියේ පැකේජයක් සැලසුම් කල නමුත් ප්‍රමානය තවමත් තීරනය කර නොමැත.

දල දේශීය නිෂ්පාදිතය සැප්තැම්බර් කාර්තුවේදී අපේක්ෂා කලාට වඩා සියයට 0.9 ට අඩු අනුපාතයකින් එනම් වාර්ෂිකව සියයට 0.2 කින් පමනක් ප්‍රසාරනය විය. එය ජුනි දක්වා මාස තුනේ සියයට 1.8 ක අනුපාතයෙන් හරි අඩක වර්ධනයකි. එක්සත් ජනපද-චීන වෙලඳ ගැටුම, දකුනු කොරියාව සමඟ ඇති ආතතීන්, දෙවන ලෝක යුද්ධ සමයේ බලහත්කාරයෙන් වැඩෙහි යෙදවූවන්ට වන්දි ගෙවීම පිලිබඳ මතභේද සහ මෑතදී ඇති වූ සුලි කුනාටුව හේතුවෙන් ජපාන ආර්ථිකය අහිතකර බලපෑම් වලට ලක්ව ඇත.

ලෝකයේ සිව්වන විශාලතම ආර්ථිකය සහ යුරෝ කලාපීය ආර්ථිකයේ ගාමක බලවේගය වන ජර්මනිය තාක්ෂනික අවපාතයෙන් බේරුනේ යාන්තමිනි. අඛන්ඩව කාර්තු දෙකක සෘනාත්මක වර්ධනය අවපාතයක් ලෙස සැලකේ. ඒ ඊයේ නිකුත් කල සංඛ්‍යාවන්ට අනුවය.

තෙවන කාර්තුවේදී ආර්ථිකය වර්ධනය වුනේ යාන්තම් සියයට 0.1 කිනි. දෙවන කාර්තුවේ හැකිලීම සියයට 0.1 සිට 0.2 දක්වා ඉහල නංවන ලදී.

එක්සත් ජනපද ව්‍යාපාරික නාලිකාවක් වන සීඑන්බීසී විසින් උපුටා දක්වන ලද, පැන්තියන් සාර්ව ආර්ථික විද්‍යාවේ ප්‍රධාන යුරෝ කලාපීය ආර්ථික විද්‍යාඥ ක්ලවුස් විස්ටෙසන් විසින් කරන ලද පර්යේෂන සටහනක සඳහන් වූයේ “අවපාතයක් නොමැති නමුත් අනිවාර්යයෙන්ම ඉතා දුර්වල ආර්ථිකයක් පවතින” බවයි.

ඔහු එක්තරා ආකාරයකින් මෙය ලෝක දෙකෙහිම නරකම තත්වය බව පැවසීය. “‍ජර්මානු ආර්ථිකය දැන් ඇන හිට ඇති බව වර්තමාන දත්ත වලින් සනාථ වේ. නමුත් බොහෝ විට මාධ්‍ය සිරස්තල, ඒ කෙරෙහි බර්ලිනය ක්ෂනික හා ආක්‍රමනශීලී මූල්‍ය ප්‍රතිචාරයක් දැක්වීමට තරම් දරුනු නොවනු ඇත”‍ යනුවෙන් සඳහන් කරයි.

ජර්මානු ආර්ථික ඇමති පීටර් අල්ට්මයර් පැවසුවේ, තුන්වන කාර්තුවේදී ජර්මනිය තාක්ෂනික අවපාතයක් වලක්වා ඇති නමුත්, කලාපයේ ආර්ථික සංවර්ධනය බිඳෙනසුලු‍ බවය.

සීඑන්බීසී සමඟ අදහස් දක්වමින් ජර්මානු විදේශ සබඳතා කවුන්සිලයේ අධ්‍යක්ෂක ඩැනියෙලා ෂ්වාර්සර් පැවසුවේ, සියයට 0.1 ක වර්ධනය සහ සෘන සියයට 0.1 ක හැකිලීම අතර ඇත්තේ “සුලු වෙනසක්” බවයි.

“ සත්‍ය කාරනය නම් මේ වන විට ජර්මනියට ශක්තිමත් වර්ධන ඉදිරිදර්ශනයක් නොමැති වීමයි.” ඇය සඳහන් කලේ, අපනයන මත යැපෙන ආර්ථිකයට ජාත්‍යන්තර වෙලඳ සබඳතා වෙනස්වීම නිසා පහර වැදී ඇති බවයි. චීන-ඇමරිකානු වෙලඳ යුද්ධය සහ යුරෝපා සංගමය දෙසට වොෂින්ටනයේ ආක්‍රමනශීලී දිශානතිය මධ්‍යයේ තත්වය එසේ වන බවයි.

ක්ෂනික තත්වයෙන් ඔබ්බට යමින් ඇය තවදුරටත් මෙසේ පැවසුවාය: “ජර්මනියට සමස්ත ප්‍රශ්නයම මතු කරන්නේ, අනාගත වර්ධනයේ ප්‍රභවයන් කුමක් වනු ඇත්ද යන්න සහ ජර්මානු ආර්ථිකය ව්‍යුහාත්මකව වෙනස් කිරීමේ දැවැන්ත අභියෝගයයි. ... අධ්‍යාපනය, පර්යේෂන සහ නව්‍යකරනයන් සඳහා ශක්තිමත් ආයෝජනයක් තිබිය යුතුය. ජර්මනියට යටිතල පහසුකම් ආයෝජනයද අවශ්‍ය වේ. ”

ලෝකයේ පස්වන විශාලතම ආර්ථිකය වන එක්සත් රාජධානියේ නවතම ආර්ථික දත්ත, ගෝලීය ආර්ථිකයේ නරක අතට හැරෙන තත්වය සහ කම්කරු පන්තිය කෙරෙහි එහි බලපෑම පිලිබඳ පැහැදිලි ප්‍රකාශයකි.

සඳුදා නිකුත් කරන ලද ජාතික සංඛ්‍යාලේඛන කාර්යාලයේ දත්ත වලට අනුව, තුන්වන කාර්තුවේදී එක්සත් රාජධානියේ ආර්ථිකය සියයට 0.3 කින් වර්ධනය විය. මෙය දෙවන කාර්තුවේ සියයට 0.2 කින් හැකිලීමෙන් පසුව යාන්තම් ඉහලට නැඟීමකි. සැප්තැම්බර් දක්වා වර්ෂය තුල වර්ධනය සියයට 1 ක් පමන. එය 2010 න් පසු පහලම මට්ටමයි.

මූල්‍ය අධ්‍යයන ආයතනයේ වාර්තාවක් පෙන්වා දෙන්නේ ආර්ථික තත්ත්වය වඩාත් නරක අතට හැරෙමින් තිබෙන බවයි. පසුගිය වසර 11 තුල පැයක නිමැවුමෙන් මනිනු ලබන පලදායිතාව “සියයට 2.9 කින් වර්ධනය වී තිබේ. එය පෙර අවුරුදු 40 තුල සෑම මාස 15 කට වරක් සාමාන්‍යයෙන් වර්ධනය වූ ප්‍රමානයට සමාන වේ.”

එහි එක් ප්‍රතිවිපාකයක් වන්නේ අඩු වැටුප්ය. එය වසර 11 කට පෙර පැවති තත්වයට වඩා සැබවින්ම ඉහල මට්ටමක නැත. රෙසොලූෂන් භාරය විසින් කරන ලද අධ්‍යයනයකට අනුව, “ඉපැයීම් වර්ධනය අතින් නැපෝලියන් යුද්ධයෙන් පසු එලඹි නරකම දශකය පසුගිය දශකයයි.”

රැකියා සංඛ්‍යාවන්හි වර්ධනය ආර්ථික සෞඛ්‍යය සම්පන්නකම පෙන්නුම් කරනවාය යන ප්‍රකාශයන් මෙම අධ්‍යයනය මඟින් බොරුකරයි. “වැටුප් නාටකාකාරයෙන් පහත වැටුනු ගැඹුරු පසුබෑම හමුවේ පෙර නොවූ විරූ ලෙස මන්දගාමී ඉපැයීම් ප්‍රකෘතියක්” අර්ථවත් කරන්නේ, ගෘහස්ථ ආදායම පහත වැටී වැඩි පිරිසක් රැකියා අපේක්ෂා කරන බවයි.

විශේෂයෙන් අඩු ආදායම්ලාභී වයස අවුරුදු 60 ගනන්වල කාන්තාවන්ගේ රැකියා වේගයෙන් ඉහල ගොස් තිබේ. සුභසාධන කප්පාදුව සමඟ එක්ව විශ්‍රාම වැටුප් වයස් සීමා වැඩිවීම, “ශ්‍රම සැපයුම් මාරුව” ලෙස හැඳින්වෙන දෙයට දායක වී ඇති බවට මෙය සාක්ෂියකි. වැඩකරන කුටුම්භයන් වැටුප් කැටිකිරීමට එරෙහි වීමට උත්සාහ කල අතර, වැඩ නොකරන අය “ආදායම් කම්පනයකට” මුහුන දුන්හ.

ලෝකයේ විශාලතම ආර්ථිකය වන එක්සත් ජනපදයේ, කොටස් වෙලඳපොලවල් වාර්තාගත ලෙස ඉහල යාම හමුවේ ජනාධිපති ට්‍රම්ප් කියා සිටියේ, “අප මීට පෙර කවදාවත් දැක නැති ආකාරයේ ආර්ථික උත්පාතයක් දියත් කල” බවයි. තෙවන කාර්තුවේ ආර්ථික වර්ධනය සියයට 1.9 පමනක් වූ අතර සැබෑ ආර්ථිකයේ ආයෝජනය 2015 න් පසු අවම මට්ටමේ පවතී.

ඊයේ නිකුත් කල දත්ත වලට අනුව, විරැකියා ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා වන අයදුම්පත් නොවැම්බර් 9 වන සතිය තුල 225,000 දක්වා 14,000 කින් ඉහල ගොස් ඇති අතර එය සියලු‍ අනාවැකි වලට වඩා ඉහල අගයක් ගනී.

ආර්ථික පසුබෑම සහ සමහර අවස්ථාවල කෙලින්ම හැකිලීම, ප්‍රධාන ආර්ථිකයන්ගෙන් ඔබ්බට විහිදේ. වෙලඳ යුද්ධයෙන් දැඩි ලෙස බලපෑමට ලක්වූ සිංගප්පූරුවේ සහ හොංකොංහි ආර්ථිකයන් අවපාතයක පවතී.

සැප්තැම්බර් දක්වා වර්ෂය තුල දකුනු කොරියානු ආර්ථිකය සියයට 2 කින් වර්ධනය වූ නමුත් මෙය දශකයක් තුල පහලම මට්ටම විය. කොරියානු ආර්ථිකයේ ප්‍රධානතම අංශය වන නිෂ්පාදන ක්ෂේත්‍රයේ රැකියා, පසුගිය මාසයේදී 81,000 ක් අහෝසි වූ අතර එරට මුදල් ඇමති හොං නැම්-කි වාර්තාකරුවන්ට කියා සිටියේ රජයේ උත්තේජක ප්‍රයත්නයන් එතරම් බලපෑමක් නොකරන බවයි.

“පුද්ගලික අංශයට ජීව ශක්තියක් එක් කිරීම සඳහා රාජ්‍ය මූල්‍ය වියදම් ආධාරක කාර්යභාරයක් ඉටු කරනු ඇතැ”යි අපි අපේක්ෂා කරමු. “කෙසේ වෙතත් එය, සීමිත ආකාරයකින් පමනක් උතුරා යෑමේ බලපෑම් තුල ක්‍රියාත්මක වීම අප කනස්සල්ලට පත් කරයි.”

ඕස්ට්‍රේලියානු මහ බැංකුව මේ වසරේදී තුන් වතාවක් මූලික පොලී අනුපාතය අඩු කර ඇති අතර දැන් එය පවතින්නේ සියයට 0.75 ක් ලෙසය. එය ආර්ථිකය නංවාලීම සඳහා දැරුනු උත්සාහයකි. එහෙත් සංඛ්‍යාලේඛන කාර්යාංශය ඊයේ වාර්තා කලේ, සමස්ත රැකියා ප්‍රමානය ඔක්තෝබර් මාසයේදී 19,000 කින් පහත වැටී ඇති බවයි. එය 2016 අගෝස්තු වෙන් පසු විශාලතම පහත වැටීමයි.

මැයි මාසයේදී යාන්තමින් නැවත තේරී පත්වූ මොරිසන් ලිබරල් ආන්ඩුව කියා සිටියේ, ජූලි මාසයේදී හඳුන්වා දුන් බදු කප්පාදුව, ගෘහස්ථ ආදායම ඉහල නංවා දේශීය ව්‍යාපාර විසින් කරනු ලබන වියදම් ඉහල දමනු ඇති බවයි. එවැනි කිසිවක් සිදුවී නැත.

සැප්තැම්බර් කාර්තුවේදී පෞද්ගලික අංශයේ වැටුප් සියයට 0.5 කින් පමනක් ඉහල යාමත් සමඟ සිල්ලර ව්‍යාපාරිකයින් නත්තල් සමයේ අමිහිරි කාල පරිච්ඡේදයක් අපේක්ෂා කරන බව ගනකාධිකරන හා මූල්‍ය සමාගමක් වන ඩෙලොයිට්ගේ වාර්තාවක දැක්වේ.

සිල්ලර වෙලඳුන් වසර ආරම්භ කලේ ඉහල අපේක්ෂාවන්ගෙන් බව සඳහන් කල නමුත් මෙම ශුභවාදී ආකල්පය “දුර්වල පාරිභෝගික වියදම්, ඉහල නිමැවුම් මිල ගනන් සහ පසුබාන ආර්ථිකයක් සමඟ එක්ව මෑත ඉතිහාසයේ දුෂ්කරම වෙලඳ තත්වයන් සමහරක් ඇති විය.”

Share this article: