කලාවේ හා ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කිරීමේ ක්‍රියාකාරී කමිටුව සසප ජනාධිපති අපේක්ෂකයාට සහාය පලකරයි

අපේ වාර්තාකරුවන් විසිනි , 2019 නොවැම්බර් 10

එලැඹෙන ජනාධිපතිවරනය හමුවේ කලාවේ හා ප්‍රකාශනයේ නිදහස ඇතුලු‍‍ව ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීම සඳහා කලාකරුවන් ගත යුතු දේශපාලන මඟ කුමක්ද යන්න සාකච්ඡා කිරීමට, කලාවේ හා ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කිරීමේ ක්‍රියාකාරී කමිටුව (කප්‍රනිආක), පසුගිය 28 වන දා කොලඹ ආචාර්ය එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේදී රැස්වීමක් පැවැත්විය. මෙවර ජනාධිපතිවරනයේ සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) අපේක්ෂක පානි විජේසිරිවර්ධනට සහාය පල කෙරෙන යෝජනාවක් එහිදී සම්මත කෙරුනි.

සංජය ජයසේකර

රැස්වීමේ අරමුනු පැහැදිලිකරමින් ආරම්භක කතාව කල කප්‍රනිආක සභාපති සංජය ජයසේකර ජනාධිපතිවරනය කැඳවා ඇත්තේ කුමන ජාත්‍යන්තර දේශපාලන හා ආර්ථික සන්දර්භයකද යන්න පැහැදිලි කලේය.

2008 මූල්‍ය හා ආර්ථික අර්බුදයේ දිගුවක් ලෙස නැවත වරක් ලෝක ආර්ථිකය වඩාත් විනාශකාරී මූල්‍ය හා ආර්ථික අර්බුදයකට “‍නින්දෙන්”‍ ගමන්කරමින් පවතින බවට එංගලන්ත බැංකු අධිපති විසින් මෑතකදී කර තිබූ අනතුරු ඇඟවීම සඳහන් කල ජයසේකර, එවන් අර්බුදයක බ⁣ර කම්කරු මහජනතාවගේ කර මත හෙලීම සඳහා කප්පාදු පිලිවෙත් ක්‍රියාවට නැංවීමට හා එයට එරෙහිව නැගී සිටින කම්කරුවන් සහ පීඩිතයන් මැඩීම සඳහා ආඥාදායක පාලන තන්ත්‍රයන් අටවා ගැනීමට ලොව පුරා ධනපති පාලකයන් පියවර ගනිමින් සිටින බව පෙන්වා දුන්නේය.

සමාජ සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එල්ල කරන ප්‍රහාරයට හා හා වැඩෙන සමාජ අසමානතාවයට එරෙහිව, ලංකාව, ඉන්දියාව, එක්සත් ජනපදය, ප්‍රන්සය, චිලිය ඇතුලු‍ ලොවපුරා සෑම රටකම පාහේ නව වටයක පන්ති අරගල මාලාවක් වර්ධනය වී ඇති බවත් එම අරගල මර්දනය කිරිම සඳහා පාලක පන්තීන් විසින් අන්ත දක්ෂිනාංශික බලවේග හා ෆැසිස්ට් ව්‍යාපාරයන් ඉස්මත්තට ගනිමින් පොලිස් මිලිටරි යාන්ත්‍රනයන් මහජනතාව මත මුදාහරිමින් සිටින බව ජයසේකර පැවසීය. අනිත් අතට, ඇමරිකාව ප්‍රමුඛ අධිරාජ්‍යවාදීන් ලෝකය තුන්වන ලෝක යුද්ධයක් දිසාවට තල්ලු‍ කරමින් පවතින ආකාරය ජයසේකර පැහැදිලි කලේය. ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීමේදී කලාකරුවන් මෙම කරුනු සහ එයට එරෙහිව සසප ඉදිරිපත් කර ඇති වැඩපිලිවෙල අධ්‍යයනය කිරීමේ අවශ්‍යතාවය ඔහු අවධාරනය කලේය.

ප්‍රියදර්ශන මැද්දවත්ත

සසප කන්ඩායම වෙනුවෙන් එහි යෝජනාව කමිටුවට ඉදිරිපත් කලේ සසප හා කමිටුවේ විධායක සභාවේ සාමාජික ප්‍රියදර්ශන මැද්දවත්ත විසිනි. මෙම යෝජනාව ප්‍රනිආක ෆෙස්බුක් පිටුවේ පලකෙරුනු අතර රැස්වීමට පෙර පැමින සිටි සැමට එහි පිටපත් බෙදා දුනි.

ජනාධිපතිවරනයට ඉදිරිපත්ව ඇති ධනපති දේශපාලන පක්ෂ සහ ව්‍යාජ වාම පක්ෂ විසින් ‘ප්‍රජාතන්ත්‍රවාදය’, ‘සමාජ සමානතාවය’, ‘සමාජවාදය’ යන පද විකෘති කොට මහජනතාව නොමග යැවීම සඳහා යොදාගනිමින් පවතිනබව සඳහන් කල මැද්දවත්ත එම පදවල නියම අර්ථයෙන් ඒවා සාක්ෂාත් කිරීම සඳහා දේශපාලන වැඩපිලිවෙලක් ඉදිරිපත් කරන්නේ සසප පමනක් බව සඳහන් ක⁣ලේය.

ඔහු මෙසේ පැහැදිලි කලේය: “‍එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් යුක්ත නව ප්‍රජාතන්තුවාදී පෙරමුනේ වේදිකාවලට ගොඩ වී සිටින ශාස්ත්‍රාලිකයින්, කලාකරුවන්, මාධ්‍යවේදීන් සහ වරප්‍රසාද ලත් මධ්‍යම පන්තික ස්ථරයක් පොලිස් මිලිටරි ආඥාදායකත්වය කරා රූටමින් සිටි එජාපයට ප්‍රජාතන්ත්‍රවාදී සලු‍පිලි ඇන්දවීමට උත්සාහ ගනිමින් සිටිනවා. මෙවර ජනාධිපතිවරනය පුරවැසි නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය යන දෙකෙහිම ඉරනම තීරනය කරන අවස්ථාවක් වන බවට ඔවුන් වහරමින් ‘අඩු නපුර’ තෝරා ගැනීමේ දේශපාලන මර උගුල තුල මේ වතාවේදීත් මහජනතාව සිරකිරීමට ප්‍රයත්න දරමින් සිටී.”‍

“අද අප දිවි ගෙවන්නේ ධනපති ප්‍රතිසංස්කරන හරහා ප්‍රජාතන්ත්‍රවාදය සාක්ෂාත් කර ගත හැකි අවධියක නොවේ. ඒබ්‍රහම් ලින්කන් 1863 නොවැම්බර් ඇමරිකානු සිවිල් යුද්ධය වකවානුවේ පවත්වන ලද ගෙටිස්බර්ග් කතාව තුල ප්‍රජාතන්ත්‍රවාදය විග්‍රහ කරනු ලැබුවේ ජනතාව විසින්, ජනතාව සඳහා, ජනතාවගේ ආන්ඩුවක් පිහිටුවීම තුල සාක්ෂාත් වන්නක් බවටයි. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ සභාපති ඬේවිඞ් නෝර්ත් වරෙක සඳහන් කල ලෙසට එවැනි දේශපාලන සම්ප්‍රදායකට උරුමකම් කී ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදය අද ‘මූල්‍ය කතිපයාධිකාරය හා මිලිටරිය විසින් හසුරුවන පක්ෂ දෙකක් විසින් පාලනය කෙරෙන හිස් කටුවක්’ බවට පත්ව තිබෙනවා,”‍ යැයි මැද්දවත්ත පැහැදිලි කලේය.

ලංකාවේ ඊනියා නිදහසින් පසු ප්‍රධාන ධනපති කඳවුරු දෙකක් විසින් කල පාලනයේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ලේ තැවරුනු ඓතිහාසික වාර්තාව ද ඊට ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) සහයෝගය ද සිහිපත් කල මැද්දවත්ත, ප්‍රජාතන්ත්‍රවාදී පාලනයන් ඇතිකීරීම සම්බන්ධව මෙම පක්ෂවල⁣ට ඇති වෛෂයික නො හැකියාව ගෝලීය ආර්ථික අර්බුදය තුල ස්ථානගත කලේය.

ඔහු මෙසේද සඳහන් කලේය: “ලංකාවේ කලාකරුවන් සහ ශාස්ත්‍රාලිකයින්ගෙන් සැලකිය යුතු පිරිසක් අධිරාජ්‍ය ගැති එජාපයෙන්, පොදු ජන පෙරමුනෙන් සහ ජවිපෙන් ප්‍රජාතන්ත්‍රවාදය සුපුෂ්පිත වීම අපෙක්ෂා කිරීම ජුගුප්සාජනක ය. කොන්දේසි විරහිතව නිදහස් ස්වාධීන කලාවක් වෙනුවෙන් පෙනී සිටින ට්‍රොට්ස්කිවාදීන් වන අපි කලාවේ ඓතිහාසික භෞතිකවාදී විකාශනයත් කලාව යථාර්ථය ඥානනය කිරිමේ මාධ්‍යයක් ලෙසත් පිලිගන්නා අතර කලාවට කුමන ආකාරයක හෝ අන පැනවීම ප්‍රතික්ෂේප කරන්නෙමු.”‍ ඒ අර්ථයෙන් සියලු‍ කලාකරුවන් සසප දේශපාලන වැඩපිලිවෙල අධ්‍යයනය කල යුතු බවත් ඒ වෙනුවෙන් සටන් කල යුතු බවටත් යෝජනා කලේය.

ඉන් අනතුරුව එම යෝජනාව සභාවේ විවාදයට හා සාකච්ඡාවට ගැනිනි. මෙහි දී සාකච්ඡාවට සම්බන්ධ වූ කලාවේ සහ ප්‍රකාශනයේ නිදහසට එරෙහි රාජ්‍ය මර්දනයේ ගොදුරක් බවට පත් වූ ලේඛක ශක්තික සත්කුමාර සසප ඉදිරිපත් කල වැඩපිලිවෙලට සහය පල කරන අතර ම මෙම අරගලය පුලුල් කරමින් “‍බිම් මට්ටමෙන්”‍ ජනතාව අතරට ගෙන යා යුතු යැයි යෝජනා කලේ ය.

ප්‍රගීත් අරවින්ද

කප්‍රනිආක ලේකම් ප්‍රගීත් අරවින්ද සාකච්ඡාවට මැදිහත් වෙමින් අවධාරනය කර සිටියේ මෙම ක්‍රියාකාරී කමිටුව පිහිටුවා ගැනීමට පෙර සිටම, සසප කලාවේ සහ ප්‍රකාශනයේ නිදහස වෙනුවෙන් යෙදී සිටි මූලධර්මාත්මක අරගලය කලාකරුවන් මෙන්ම හිතන මතන කොටස් අතර අවධානයක් සහ සහයෝගයක් දිනා ගැනීමට සමත් වූ බව ය. විශේෂයෙන් ම බෞද්ධ අන්තවාදී කන්ඩායම් වල බොරු පැමිනිලි මත අත්අඩංගුවට ගෙන සිරගත කල ලේඛක ශක්තික සත්කුමාර නිදහස් කරගැනීම උදෙසා සසප ගෙන ගිය බලගතු උද්ඝෝෂනය පිලිබඳව ඔහු සඳහන් කර සිටියේ ය.

ප්‍රගීත් මෙසේ ද සඳහන් කලේය: “ජනතා විමුක්ති පෙරමුනේ නායකත්වයෙන් ගොඩ නැගූ ජාතික ජනබලවේගය තුල පසුගිය කාලයේ ප්‍රගතීශීලින් ලෙස තමන්ව හඳුන්වාගත් ගත් කලාකරුවන් පිරිසක් රොක් වී සිටිනවා. එය අද මුලු‍මනින් ම ධනපති පක්ෂයක් බවට පත් වූ සංවිධානයක්. එමෙන්ම එය අතීතයේ සිට වර්ගවාදී සංවිධානයක්. ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව එල්ල වන ධනපති ප්‍රහාර එමගින් වලක්වා ගත නොහැකියි. මාලක දේවප්‍රිය කලාකරුවාට එරෙහි ව රාජ්‍යයේ මර්දන යාන්ත්‍රනය දිගේලි කරමින් පවතින අයුරු විග්‍රහ කල ලිපියේ මතු කල ආකාරයට ම කම්කරු මහජනතාව වාර්ගික රේඛා ඔස්සේ බෙදමින් ධනපති ආන්ඩු කලාවට හා සංස්කෘතික ප්‍රගමනයට එරෙහි ප්‍රහාර දියත් කිරීම ඉදිරි කාල පරිච්ඡේදයේ දී තව තවත් වර්ධනය වීමට නියමිතයි”‍.

සසප ආරම්භක සාමාජිකයෙකු මෙන් ම දේශපාලන කමිටුවේ සහ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ කොලඹ කර්තෘ මන්ඩලයේ සාමාජිකයකු වන නන්ද වික්‍රමසිංහ සාකච්ඡාවට සම්බන්ධ වෙමින් ට්‍රොට්ස්කි විසින් කලාව හා සමාජ ජීවිතය අතරෙහි සම්බන්ධතාව පිලිබඳ අතිශයින්ම ගැඹුරු විග්‍රහයක් වර්ධනය කරමින් කලාව විෂයයෙහි ඓතිහාසික භෞතිකවාදය තහවුරු කල ආකාරය පැහැදිලි කලේය.

ඔහු මෙසේද සඳහන් කලේය: “අපි සත්කුමාර සහෝදරයාට එරෙහිව බෞද්ධ සංස්ථාපිතය රාජ්‍ය සමග එක්ව ගෙන යන දඩයම පරාජය කරන්න මූලධර්මාත්මක උද්ඝෝෂනයක් ගෙන ගියා. බෞද්ධ සංස්ථාපිතය අවුරුදු දහස් ගනනක් තිස්සේ මෙම රාජ්‍යය හා එහි මර්දනය සමග බැඳී පවතිනවා. කලා නිර්මාන හරහා මෙම යථාර්ථය මතුකරන විට ධනපති රාජ්‍යය කොයි තරම් විෂම ආකාරයට ඊට මැදිහත් වුනා ද කියන එක අපිට පැහැදිලියි. මෙම තත්වය පෙරලා දැමිය හැක්කේ කුමක බලවේගයකට ද යන්න කලාකරුවන් වටහා ගත යුතුව තිබෙනවා. එය තමයි ජාත්‍යන්තර කම්කරු පන්තිය. ජාත්‍යන්තර කමිටුව සහ ලෝක සමාජවාදී වෙබ් අඩවිය අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහිව ජාත්‍යන්තර සමාජවාදය සඳහා ගෙන යන අරගලයේ දී මෙම මැතිවරනය එහි එක පුරුකක් පමනයි.”‍

සාකච්ඡාවෙන් අනතුරුව සසප යෝජනාව සභාව විසින් ඒකමතිකව සම්මත කරනු ලැබීය. ජනාධිපතිවරන කාල වකවානුව තුල සමාජ ප්‍රතිවිප්ලවයට හා අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි පොදු මූලෝපායක පදනම මත කම්කරු පන්තියේ නායකත්වය යටතේ කලාකරුවන් සහ සෙසු කොටස් දැනුවත් කිරීමේ අත්‍යවශ්‍ය වැඩකටයුතු සංවිධානය කර ගැනීමේ සාකච්ඡාවකට ඉන් අනතුරුව කප්‍රනිආක සාමාජිකයෝ යොමු වූහ.

Share this article: