මාධ්‍යවේදියාට ම්ලේච්ඡ ලෙස පහරදීම එලැඹෙන්නාවූ ඒකාධිපති පාලනය ගැන පූර්ව අනතුරු ඇඟවීමක්

අපගේ වාර්තාකරුවන් විසිනි, 2019 නොවැම්බර් 21

ලසන්ත විජයරත්න

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ඊනියා ”‍සංවර්ධන ව්‍යාපෘතිවලදී”‍ සිදුවී ඇතැයි කියන ”‍මූල්‍ය දූෂන හා අක්‍රමිකතා”‍ පිලිබඳව ලියූ මාධ්‍යවේදියෙකුට, ජනාධිපතිවරනයට දින දෙකක් තිබියදී, දාමරිකයන් දෙදෙනෙකු විසින් ම්ලේච්ඡ ලෙස පහරදී ඇත.

මෙලෙස පහරදීමට ලක්වූයේ, “‍නාස්තිකාර සංවර්ධනය හා දූෂනය”‍ නම් ග්‍රන්ථයක් ලියූ මාධ්‍යවේදී ලසන්ත විජයරත්න යි. මහජනයාගේ දැවෙන අවශ්‍යතාවන් වන ජලය, මහාමාර්ග හා අනෙකුත් අවශ්‍යතා සපුරාලනවා වෙනුවට “‍මෙගා ව්‍යාපෘති”‍ ලෙස රාජපක්ෂ සමයේදී සිදුකල යෝධ ගොඩනැගිලි (“නෙලු‍ම් කුලු‍න”‍ වැනි) හා මිලිටරි සංකීර්න යනාදිය ඉදිකිරීමේදී සිදුව ඇති මූල්‍ය දූෂන විජයරත්නගේ කෘතියේ විස්තර කෙරෙයි. මහබැංකු වාර්තාවන් සහ විවිධ ආර්ථික විශ්ලේෂකයන් උක්ත ව්‍යාපෘති සම්බන්ධයෙන් සිදුකොට තිබෙන විශ්ලේෂන මෙම කෘතියේ මූලාශ්‍ර ලෙස දක්වා තිබේ. රාජපක්ෂගේ පාලනයේ දූෂිත බව පෙන්නුම් කරන මෙම අක්‍රමිකතා හෙලදරව් කිරීම්වලින් ඇතිවූ වෛරයෙන් මෙහෙයවුනු රාජපක්ෂගේ මැරයින් මෙම පහරදීම සිදුකල බව ඔහුට පහරදීමට පැමිනි මැරයින් කල කී දේවල් සම්බන්ධයෙන් විජයරත්න කරන විස්තරයෙන් පැහැදිලි වේ.

සිද්ධිය පිලිබඳ විමසා බැලීමට විජයරත්න තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි කරාපිටිය රෝහලට ගිය ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවන්ට ඔහු විස්තර කල පරිදි, තමන්ට මාරාන්තික තුවාල සිදුකොට බිය වැද්දවීම මගින් රාජපක්ෂ ගැන විවේචන නිහඬකරවීම දාමරිකයන්ගේ අරමුනවී තිබේ.

විජයරත්න විස්තර කල පරිදි, අලු‍යම 2.45-3 ත් අතර සම්පූර්නයෙන් මුහුනු වැසෙන හෙල්මට් දාගත් මැරයින් දෙදෙනා පැමින තිබේ. “‍මා ලඟට ආ එයින් එක් මැරයෙක් මගේ ඔලු‍වට පිස්තෝලය තියලා කෑ ගහන්න එපා කියලා තර්ජනය කලා. අනෙක් කෙනා නිවස ඇතුලට ගිහින් මගේ බිරිඳගේ ඔලු‍වට පිස්තෝලය තියලා කෑ ගැහුවොත් මරනවා කියලා තර්ජනය කලා”‍ මාධ්‍යවේදියා විස්තර කලේ ය. ඇය දිගින් දිගටම හඬාවැටෙමින් හා වැඳවැටෙමින් තමන්ගේ සැමියා ඝාතනය නොකරන ලෙස මැරයින්ට ආයාචනය කර තිබේ.

විජයරත්නගේ ඔලු‍වට පිස්තෝලය තැබූ මැරයා ඔහු ලියූ කෘතිය වන “‍නාස්තිකාර සංවර්ධනය හා දූෂනය”‍ ගැන ප්‍රශ්නකරමින්, “රාජපක්ෂගේ ව්‍යාපෘතිවල මොනම හොඳක්වත් උඹ දකින්නේ නැද්ද?”‍ අසා කිසියම් තද දෙයකින් හිසට පහරදී තිබේ.

විකිනීම සඳහා තබා ඇති විජයරත්නගේ කෘතියේ පිටපත් එම පොත් සාප්පු වලින් වහාම ඉවත් කරගන්නා ලෙසත්, ඔහුගේ ෆෙස්බුක් පිටුව හරහා රාජපක්ෂට දිගටම “පහරදුන්”‍ පෝස්ටු ඉවත් කර ගන්නා ලෙසත් බලකර ඇත. ඉන් අනතුරුව එක් මැරයෙකු දිග තියුනු කඩුවකින් කෙටීමට ගත් උත්සාහය අතින් වැලක්වීමට යාමේදී විජයරත්නගේ වම් අතට දරුනු කැපුම් තුවාල සිදුව තිබේ. එපමනකින් නතර නොවූ මැරයෝ පොල්ලකික් පහරදී රූපවාහිනය ඇතුලු‍ ගෘහභාන්ඩවලට දැඩි ලෙස හානි කර තිබේ.

රාජපක්ෂලා ගැන විවේචන නතර නොකලොත් ඝාතනය කරන බවට දිගින් දිගටම තර්ජනය කල දාමරිකයන් පිටව ගොස් ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ “ඡන්දෙන් දිනුවත් නැතත් අපි ආපහු එනවා”‍ යැයි සපථ කරමිනි.

තදබල පහරදීමට ලක්වූ හිස සීටී ස්කෑන් කිරීමට සිදුවූ බවත් අභ්‍යන්තර ලේගැලීමක් සිදුව ඇත්ද යන්න විමසීමට එම ස්කෑන් එකම තවත් සති දෙකකින් සිදුකිරීමටත් වෛද්‍යවරුන් නිර්දේශ කල බවත් විජයරත්න විස්තර කලේ ය. පහරදුන් තැන් පටන් දැඩි හිසේ කැක්කුමකින් ඔහු පෙලෙමින් සිටී.

සිදුවීම් පිලිබඳ පොලිස් “‍පරීක්ෂන”‍ සිදු කරන බව කීවත් මේ වනතෙක් අපරාධයට සම්බන්ධ කිසිවෙකු ගැන මොනයම්ම හෝ හෝඩුවාවක් පොලිසිය “සොයාගෙන”‍ නැත. මාධ්‍යවේදියාට පහර දුන් දාමරිකයන් ගැන හෙලිදරව් කිරීමට දැන් රාජපක්ෂ පාලනය යටතේ පවතින පොලිසිය හා ආරක්ෂක අංශ ක්‍රියා නොකරනු ඇති බව පැහැදිලි ය.

මෙම ම්ලේච්ඡ පහරදීම, යුද සමයේදී දෙමල ජනයාට එරෙහි මිලිටරි මෙහෙයුම් සහ තම ආන්ඩුව විවේචනය කල මාධ්‍යවේදීන් ඇතුලු‍ දේශපාලන ප්‍රතිවාදීන් මුලු‍මනින්ම නිහඬ කිරීමට රාජපක්ෂ පාලනය දියත් කල බිහිසුනු ක්‍රමෝපායන් සිහිගන්වයි. මේ අතරින් වඩාත්ම කුප්‍රකට සිදුවීම වන සන්ඬේලීඩර් කතෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනයට අභිනවයෙන් බලයට පත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නම ලඟින්ම ගෑවී තිබේ. මේ, රාජපක්ෂ ආන්ඩුව යටතේ සිදුවූ මාධ්‍යවේදී ප්‍රදීප් එක්නැලිගොඩ අතුරුදහන් කරවීමේ සිට, තවත් මාධ්‍යවේදීන් දුසිමකට පමන සිදුකල විවිධ තාඩන පීඩන මෙන්ම හා ඔවුන්ට රට හැර යාමට සිදුවෙන තරම් ප්‍රචන්ඩත්වය මුදාහැරීම යනාදී ක්‍රියාවන්ට අමතර වසයෙනි.

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අශු මාරසිංහ දුරකථනයෙන් අමතා ප්‍රහාරය පිලිබඳව පාර්ලිමේන්තුවේ “‍හඬනගන”‍ බවට පොරොන්දුවූ බව විජයරත්න සඳහන් කලේ ය. කෙසේවෙතත්, ඒ සැනින්ම මතුවන කාරනය වන්නේ, 2015 සිට මේ දක්වාමත් ආන්ඩු බලය හෙබවූ මාරසිංහලා මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ ඝාතකයන් ඇතුලු‍ අනෙකුත් අපරාධකරුවන් නීතිය හමුවට පමුනුවා දඬුවම් පැමිනවීමට කිසිදු අවංක ප්‍රයත්නයක් දරා නැති බවයි.

එමතු නොව, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහගේ ඊනියා “යහපාලන”‍ ආන්ඩුවට කම්කරුවන්, ගොවියන්, ශිෂ්‍යයන් ඇතුලු‍ මහජනතාවගේ ප්‍රජාතාන්ත්‍රික අයිතීන් දරුනු ලෙස මර්දනය කිරීමේ වාර්තාවක් ද සතු ය. ලේඛක ශක්තික සත්කුමාර හා තරුන සිනමාවේදී මාලක දේවප්‍රියට එරෙහිව එම ආන්ඩුව දියත් කල මර්දනය, නිදහස් අදහස් ප්‍රකාශනයට වැටබැඳීම සම්බන්ධයෙන් එම ආන්ඩුවට ඇති කුප්‍රකට වාර්තාවේ ඉහලින්ම තිබේ.

එවැනි තත්වයක් තුල, විජයරත්න හෝ ආන්ඩුවේ මහජන-විරෝධී පිලිවෙත් විවේචනය කරන දේශපාලන විරුද්ධවාදීන් මෙන්ම සමස්තයක් ලෙස කම්කරු පන්තියට තමන්ගේ ආරක්ෂාව උදෙසා ධනපති පන්තියේ ඒ හෝ මේ නියෝජිතයා කෙරෙහි විස්වාසය නොතැබිය යුතුය. මන්දයත්, ඔවුහු සියල්ලෝම කම්කරු පන්තියේ අරගල මැඩීමේදී එකට අත්වැල් බැඳ කටයුතු කරන බැවිනි.

මාධ්‍යවේදියාට එල්ල කල ප්‍රහාරය, ප්‍රජාතාන්ත්‍රික අයිතීන්ට එරෙහිව රුදුරු ලෙස කඩා පැනීමට රාජපක්ෂ පාලනය සූදානම් වෙමින් පවත්නා බවට වන ආරම්භක සංඥාව පමනි. මැතිවරනය පැවැත්වෙන දින, පුත්තලම සිට මන්නාරම සිලාවතුර ප්‍රදේශයට ඡන්දය දැමීම සඳහා සුලු‍තර මුස්ලිම් ඡන්දදායකයින් ප්‍රවාහනය කරමින් තිබූ ලංකා ගමනාගමන මන්ඩලයේ බස් රථයකට පහරදී වෙඩි ප්‍රහාර එල්ල කර ඔවුන් ත්‍රස්ත කොට නැවැත්වීමට රාජපක්ෂ පාර්ශ්වයෙන් ගත් වෑයම දැකිය යුත්තේ ද මේ පසුබිමේ තබා ය.

තමන්ට එරෙහි වන ඕනෑම පුද්ගලයෙක් හෝ කන්ඩායමක් බලහත්කාරයෙන් මර්දනය කිරීමට රාජපක්ෂ ආන්ඩුව පසුබට නොවනු ඇත. මේ අනුව ගත් කල, මාධ්‍යවේදියාට එල්ලවූ ම්ලේච්ඡ ප්‍රහාරය සමස්ත කම්කරු පන්තියටම අනතුරු ඇගවීමකි.

Share this article: