සමාජවාදී සමානතා පක්ෂය එක්සත් රාජධානියේ මහ මැතිවරනයට ඉදිරිපත් වෙයි:
කප්පාදුව, මිලිටරිවාදය හා යුද්ධය එපා!
ජූලියන් අසාන්ජ් නිදහස් කරනු!
පන්ති අරගලය සහ සමාජවාදී ජාත්‍යන්තරවාදය සඳහා!

Socialist Equality Party to stand in UK general election: No to austerity, militarism and war! Free Julian Assange! For class struggle and socialist internationalism!

2019 නොවැම්බර් 06

කප්පාදුව, ඒකාධිපති පාලනය, මිලිටරිවාදය සහ යුද්ධයට එරෙහිව දේශපාලන අරගලයක් දියත් කිරීම සඳහා සමාජවාදී සමානතා පක්ෂය එක්සත් රාජධානියේ මහ මැතිවරනය සඳහා අපේක්ෂකයින් ඉදිරිපත් කරනු ඇත.

දෙසැම්බර් 12 මැතිවරනය, එක්සත් රාජධානියේ පශ්චාත් යුද කාලීන ඉතිහාසය තුල සමාජීය හා දේශපාලනික වශයෙන් වඩාත්ම ධ්‍රැවීකරනය වූ මැතිවරනයයි.

තරඟ වැදී සිටින පාලක පන්තියේ කන්ඩායම් පරදුවට තබා ඇත්තේ, බ්‍රෙක්සිට් ප්‍රශ්නය මත උග්‍රවී ඇති ධනවාදී පාලනයේ ගැඹුරු අර්බුදය විසඳීමට දරන ව්‍යායාමයයි. බ්‍රෙක්සිට් සම්බන්ධයෙන් ඇති වූ තමන්ට පරිබාහිර බෙදීම් තිබියේවී නමුත් කම්කරුවන්ට සහ තරුනයින්ට තීරනාත්මක වන්නේ, වැටුප් පහත වැටීම, ම්ලේච්ඡ සූරාකෑම, ඉහල යන විරැකියාව සහ අත්‍යවශ්‍ය සමාජ සේවා විනාශ කිරීම වැනි සමාජීය ප්‍රශ්නය.

මේ තත්වය හා සැසඳිය හැකි එකම මැතිවරන අර්බුදය නම්, “බ්‍රිතාන්‍යය පාලනය කරන්නේ කවුද?” යන ප්‍රශ්නයට පිලිතුරක් ඉල්ලූ 1974 දී එඩ්වඩ් හීත්ගේ කොන්සර්වේටිව් ආන්ඩුව පරාජයට පත්වීමය. ඔහු මෙම අභියෝගය කලේ, 1972 සහ 1974 ගොඩනැගිලි, වරාය සහ සහ ජාතික පතල් කම්කරු වැඩ වර්ජන රැල්ලක් හමුවේය.

අන්තර්ජාතික වශයෙන්, ආරක්ෂනවාදය සහ වෙලඳ යුද්ධ පියවර 2008 ඉක්මවා යන ලෝක ආර්ථික කඩාවැටීමක තර්ජනය මතු කරයි. න්‍යෂ්ටික බලවතුන් වන චීනය සහ රුසියාවට එරෙහි තර්ජන ද ඇතුලු මිලිටරිවාදයේ හා යුද්ධයේ අන්තරාය කවර කලෙකවත් මෙතරම් උග්‍ර වී නැත.

වර්ධනය වන ලෝක ධනවාදයේ බිඳවැටීමේ කොන්දේසි යටතේ, ලේබර් පක්ෂය බොරිස් ජොන්සන්ගේ කොන්සර්වේටිව් ආන්ඩුවට විකල්පයක් ඉදිරිපත් නොකරයි. “අපේ රට පරිවර්තනය” කර “බදු පැහැරහරින්නන්, කපටි ඉඩම් හිමියන්, නරක ලොක්කන්” හඹා යන බවට ජෙරමි කෝබින් ප්‍රතිඥා දී ඇත. ලේබර් පක්ෂයේ නායකයා ලෙස සිටි සිව් වසරක කාලය, ඔහුගේ කයිවාරු බොරුවක් බව සනාථ කර තිබේ.

අගමැතිවරුන් තිදෙනෙකු යටතේ ටෝරි පාලනය ගෙනයාමට ඉඩ සලසමින් කෝබින්, වෘත්තීය සමිති නිලධාරිවාදය සමඟ එක්ව කම්කරුවන් කල සෑම අරගලයක්ම මැඩපැවැත්වීමට හෝ පාවා දීමට කටයුතු කර ඇත. “පක්ෂ සමගියේ” නාමයෙන් ලේබර් පක්ෂයේ බ්ලෙයාර්වාදී කුමන්ත්‍රනකරුවන් ආරක්ෂා කල යුතු බව ඔහු අවධාරනය කර තිබේ. ඔවුන්ගේ වැඩ පිලිවෙල තමන්ගේ එකක් ලෙස ඔහු විසින් ආරක්ෂා කරන ලදී. හෙතෙම තෙරේසා මේ සමඟ සති ගනනාවක් ද පසුව ජොන්සන් සමඟ පැවති ගබ්සා වූ සාකච්ඡාවන්හි ද යෙදී සිටියේ, බ්‍රෙක්සිට් මුල්කරගත් "ජාතික එක්සත්කම" ඇතිකිරීමේ උත්සාහයක් ලෙසය.

කෝබින්ගේ උත්සාහයන් අසාර්ථක වූ අතර අවසානයේ ඔහු ජොන්සන්ගේ මැතිවරන අභියෝගය භාරගත්තේය. ඉන් පසුව ලේබර් මන්ත්‍රීවරුන්ගෙන් අඩක් පමන ඊට විරුද්ධව ඡන්දය දුන් අතර සමහරු නිහඬ වූහ. තවත් සමහරු, යුද අපරාධකාර ටෝනි බ්ලෙයාර්ගේ නායකත්වයෙන් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදීන්ට ඡන්දය දෙන ලෙස ඉල්ලා සිටිති.

මෙයින් පවා කෝබින් පන ගන්වූනේ නැත. බලයට පත් වුනොත්, දෙවන ජනමත විචාරනයක් පැවැත්වීමට පෙර යුරෝපා සංගමය සමඟ නැවත සාකච්ඡා කර ඊලඟ ගිම්හානය වන විට “බ්‍රෙක්සිට් පිලිබඳ එකඟත්වයකට” පැමිනෙන බවට ඔහු ප්‍රතිඥා දී තිබේ. “මගේ සම්පූර්න මූලෝපාය වන්නේ, පක්ෂය, ව්‍යාපාරය සහ රට එකට තබා ගැනීමට උත්සාහ කිරීමයි. ”

දෙසැම්බර් 12 වන දින කෝබින් ජයග්‍රහනය කලත්, මෙම මූලෝපායික ඉලක්කය ඔහු ගෙනයනු ඇත්තේ, ස්කොට්ලන්ත ජාතික පක්ෂය සහ යුරෝපා සංගමයේ රැඳී සිටිය යුතු යයි පවසන ඉතිරිව සිටින බලවේග ද සමඟ ජාතික සමගියෙහි ආන්ඩුවක් ගොඩනැඟීම කරාය. ඔහුගේ සොච්චම් වියදම් පොරොන්දු දිරාපත් වනු ඇත.

කෝබින්ගේ ලේබර් ආන්ඩුවක් මිලියන සංඛ්‍යාත වැඩකරන ජනතාවගේ පීඩාවන් අවසන් කිරීමට කිසිවක් නොකරනු ඇත. මක්නිසා ද යත්, මෙම ඉල්ලීම් ඉටුකරන්නට නම් ප්‍රධාන බැංකු හා මහා ව්‍යාපාර වලට එරෙහි දේශපාලන ප්‍රහාරයක් අවශ්‍ය කෙරෙන බැවින්‍ ය. මේ අතර, ලේබර් ඡායා මුදල් ඇමති ජෝන් මැක්ඩොනෙල්, තමාගේ පසු වේදිකාව වන ලන්ඩන් නගරයේ ව්‍යාපාරිකයින් දිනාගැනීමේ නිරතව සිටියි.

මෙවන් ආන්ඩුවක් ලේබර් දක්ෂිනාංශයේ යලි පන ගැන්ව‍ූ ප්‍රහාරයක් සඳහා ඉඟියක් වනු ඇත. බ්ලෙයාර් දැනටමත් ෆිනෑන්ෂල් ටයිම්ස් පුවත්පතට පවසා ඇත්තේ “ජනතාවාදය අවුස්සන්නේ නැති, සියලු පක්ෂවල සාධාරන හා දක්ෂ දේශපාලනඥයන් බොහෝ දෙනෙක් පාර්ලිමේන්තුවට පැමිනීමට” උපායශීලීව ඡන්දය ප්‍රකාශ කිරීම අත්‍යවශ්‍ය බවයි.

“හොඳ ලේබර් මන්ත්‍රීවරුන්ගේ හරයක් ඇත, විශ්වාස නොකරන අන්දමේ සහයෝගිතාවාදී ප්‍රතිපත්තියකට ඔවුන් හසු නොවනු ඇත,” බ්ලෙයාර් තවදුරටත් පැවසීය. “මෙම මැතිවරනයෙන් පසු බ්‍රිතාන්‍ය දේශපාලනයේ අනාගතය පිලිබඳ සැබෑ සටන ආරම්භ වනු ඇත.”

සමාජවාදී සමානතා පක්ෂය සිය යුරෝපීය සහ ජාත්‍යන්තර සහෝදර සහෝදරියන් සමඟ සන්ධානගතව බ්‍රිතාන්‍ය කම්කරු පන්තිය දේශපාලනිකව ස්වාධීනව බලමුලු ගැන්වීමේ ඉදිරිදර්ශනය මත පදනම් වේ. කම්කරුවන් දැන් වෘත්තීය සමිති නිලධරයේ දඬු අඬුවෙන් මිදීමට උත්සාහ කරන බවට ප්‍රබල ඇඟවුම් තිබේ. දැවැන්ත ජාතික වැඩ වර්ජනයකට පක්ෂව තැපැල් සේවකයින්ගේ ඡන්දය ද ඇතුලුව, විශ්ව විද්‍යාල 60ක කාර්ය මන්ඩලය නොවැම්බර් මාසයේ 25 වැනිදායින් ආරම්භවන දින නවයක වැඩ වර්ජනයක් පැවැත්වීමට සූදානම්වේ. “25 හයවැනි ෆෝම් විද්‍යාලවල” කම්කරුවන්ගේ වැඩ වර්ජනයක් සහ දෙසැම්බර් මාසයේ නිරිතදිග දුම්රිය රියදුරන් සහ ගාඩ්වරුන් විසින් දින 27ක වැඩ වර්ජනයක් සඳහා ඡන්දය ප්‍රකාශ කර ඇත.

කම්කරු පන්තිය ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ලෙස බලමුලු ගැන්වීම සඳහා සසප පහත සඳහන් අත්‍යවශ්‍ය ඉල්ලීම් ඉදිරිපත් කරයි:

බ්‍රෙක්සිට් නැත! යුරෝපීය සංගමයට නැත! යුරෝපයේ එක්සත් සමාජවාදී සමූහාන්ඩුවක් සඳහා!

හැර යාම සහ රැඳී සිටීම පිලිබඳ ගැටුම පවතින්නේ, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයේ අවශ්‍යතා ආරක්ෂා කර ගන්නේ කෙසේද යන්න පිලිබඳව පාලක පන්තියේ ප්‍රතිවාදී දක්ෂිනාංශික කන්ඩායම් අතර ය. ජොන්සන් සහ බ්‍රෙක්සිට් පක්ෂයේ නායක නයිජල් ෆරාජ්ට අවශ්‍ය වන්නේ, කම්කරු පන්තිය සූරාකෑමේ සියලු සීමාවන් ඉරා දමා යුරෝපයට එරෙහිව ට්‍රම්ප් පරිපාලනය සමඟ සන්ධාන ගත වීමෙන් “තැචර් විප්ලවය සම්පූර්න කිරීමට” ය. දැන් ට්‍රම්ප්ට විරුද්ධ දෝෂාභියෝගයක් අපේක්ෂා කරන ඩිමොක්‍රටිකයින් මත පදනම්ව එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සමඟ ඔවුන්ගේ සන්ධානය ගොඩනඟා ගැනීමට ද යුරෝපයේ තනි වෙලඳපොලට අත්‍යවශ්‍ය ප්‍රවේශයක් පවත්වා ගැනීමට ද රැඳී සිටින්නවුන්ගේ කන්ඩායමට අවශ්‍යය.

කුමන කන්ඩායමක් ආධිපත්‍යය දැරුවත් කම්කරු පන්තියට පහරදීම තවත් උග්‍ර කෙරෙනු ඇත. ගෝලීය වශයෙන් තරඟකාරීව සිටීම යනු, කම්කරු පන්තියේ රැකියා, වැටුප් හා ජීවන කොන්දේසි වලට නිමක් නැති ප්‍රහාරයකි. 2010 සිට මේ දක්වා රාජ්‍ය අංශයේ රැකියා 876,000 ක් අහෝසි වී ඇත. සිල්ලර අංශයේ රැකියා 85,000 ක් මේ වසරේ අහෝසිවී ඇති අතර එච්එස්බීසී බැංකුවේ තවත් රැකියා 10,000 ක් ද වොක්ෂෝල්හි 3,000 ක් ද හෝන්ඩා සමාගමේ රැකියා 3500ක් හා ජගුවාර් ලෑන්ඩ් රෝවර්හි 4500 ද අහෝසි කිරීමට නියමිතය.

ඉදිරියට යා හැකි එකම මාර්ගය වන්නේ, බ්‍රිතාන්‍යයේ, යුරෝපා සංගමයේ කම්කරු පන්තිය, බ්‍රිතාන්‍ය හා යුරෝපා පාලක පන්තියේ සියලු කොටස් වලට එරෙහිව එක්සත් කිරීමයි. සමාජවාදී සමානතා පක්ෂය සහ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ යුරෝපීය ශාඛාවන්හි අපගේ සහෝදර පක්ෂ, එනම් ප්‍රන්සයේ පීඊඑස් සහ ජර්මනියේ එස්ජීපී, කම්කරු පන්තිය බලමුලු ගැන්වීමට සටන් කරනු ඇත. මහාද්වීපයේ අතිවිශාල සම්පත් සියලු ජනතාවන්ගේ අවශ්‍යතා සපුරාලීමට යොදා ගත හැකි යුරෝපා එක්සත් සමාජවාදී සමූහාන්ඩුවක් ගොඩනැඟීමට ඔවුන් සටන් වදිනු ඇත.

මේ සියල්ල සඳහා, කම්කරු අරගල එක්සත් කල යුතු අතර වෘත්තීය සමිති වලින් ස්වාධීනව සාමාජික ක්‍රියාකාරී කමිටු විසින් ඒවා මෙහෙයවිය යුතුය. ටියුනීසියාව, ඇල්ජීරියාව, සුඩානය, ඉරාකය, ලෙබනනය, ඉක්වදෝරය සහ චිලී යන රටවල මහජන විරෝධතාවන්ට ද යුරෝපය පුරා ද එක්සත් ජනපදයේ ද පුපුරා ගොස් ඇති වැඩ වර්ජන වලට ද තුඩුදී ඇති හා දැන් තව තවත් ජාත්‍යන්තරව වර්ධනය වෙමින් පවතින කප්පාදු හා සමාජ අසමානතාවයට එරෙහි ව්‍යාපාරය වෙත ඔවුන් සවිඥානිකව හැරිය යුතුය. කේන්ද්‍රීය ඉලක්කය විය යුත්තේ “ලෝකයේ කම්කරුවනි එක්වව්!” යන්නය.

යුද්ධය එපා! ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කරනු! ජූලියන් අසාන්ජ් නිදහස් කරනු!

විකිලීක්ස් නිර්මාතෘ ජූලියන් අසාන්ජ් නිදහස් කිරීමේ ඉල්ලීම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ සහ යුද්ධයට එරෙහි අරගලයේ පෙරමුනට පැමිනිය යුතුය.

එක්සත් රාජධානියේ ආන්ඩුව සහ එහි දූෂිත නීති පද්ධතිය, ඔත්තු බැලීමේ චෝදනා යටතේ ඔහුට වසර 175 ක සිර දඬුවමක් ද මරනීය දන්ඩනය ද නියම කල හැකිවන පරිදි අසාන්ජ් එක්සත් ජනපදයට උදර්පනය කිරීමට පෙර ප්‍රදර්ශන නඩු විභාගයක් එලඹෙන පෙබරවාරියේදී පැවැත්වීමට අදහස් කරයි. ඔහුට සලකන ආකාරය කෙතරම් කුරිරු ද යත්, එක්සත් ජාතීන්ගේ වධහිංසා පිලිබඳ විශේෂ වාර්තාකරු නිල්ස් මෙල්සර් අනතුරු අඟවා ඇති පරිදි අසාන්ජ් වහාම සිරෙන් නිදහස් කර වෛද්‍ය ප්‍රතිකාර ලබා නොදුනහොත් ඔහු මිය යා හැකිය.

අසාන්ජ්ට දඬුවම් පමුනුවනු ලබන්නේ යුද අපරාධ හෙලිදරව් කිරීම සම්බන්ධයෙනි. එය නිශ්ශබ්දව සිටින ලෙස අන් අයට කරන අනතුරු ඇඟවීමකි. එහෙත් කෝබින්ගේ කම්කරු පක්ෂය හෝ එක් වෘත්තීය සමිතියක් හෝ ඔහුගේ ආරක්ෂාව සඳහා ඇඟිල්ලක්වත් ඔසවා නැත. බ්‍රිතාන්‍යයේ ව්‍යාජ වාම කන්ඩායම් ද එසේමය.

මෙම දුෂ්ඨ කුමන්ත්‍රනය පරාජය කිරීම සඳහා කම්කරු පන්තියේ විරෝධය බලමුලු ගැන්වීමට සසප උපරිමයෙන් කටයුතු කරනු ඇත.

යුද්ධයට එරෙහි කම්කරු පන්තියේ ජාත්‍යන්තර ව්‍යාපාරයක් පදනම් විය යුත්තේ, යුද්ධයේ උල්පත වන ධනේශ්වර ලාභ පද්ධතියට එරෙහි අරගලයක් මත ය. ප්‍රතිවාදී බලවතුන් ලෝක වෙලඳපල පාලනය කිරීම සඳහා තරඟ වදින අතරතුර, පන නැගී ඇති බ්‍රෙක්සිට් අර්බුදය යනු අන්තර්-අධිරාජ්‍යවාදී සතුරුකම් ගෝලීයව පුපුරා යාමේ එක් ප්‍රකාශනයක් පමනි.

වෙලඳ යුද්ධය වෙත හැරීම, නොවැලැක්විය හැකි ලෙසම අදහස් කරන්නේ, මිලිටරිවාදයට හැරීම සහ ලෝකයේ සියලු අධිරාජ්‍යවාදී ආන්ඩු දකුනට තල්ලුවන බවයි. යෙලෝ හැමර් මෙහෙයුම ලෙස, බ්‍රෙක්සිට් වලින් පසුව හමුදාව සහ කැරලි මර්දන පොලිසිය පාරට බැස්සවීමේ සැලසුම් සනාථ කරන්නේ, අවශ්‍යව ඇති ම්ලේච්ඡ සමාජ ප්‍රහාර ක්‍රියාවට නැංවිය හැක්කේ තිරිසන් බලවේග මුදාහැරීමෙන් පමනක්‍ ය යන්නයි. කම්කරු පන්තියට එරෙහි කසයක් ලෙස ජර්මනියට විකල්පය වැනි අන්ත දක්ෂිනාංශික ව්‍යාපාරයන් වගා කිරීම ද ඒ ආකාරයෙන්ම සිදුවේ.

කෝබින් නේටෝවට සහ න්‍යෂ්ටික අවි දියත් කිරීමට විරුද්ධ බව ප්‍රකාශ කිරීම “කැරැල්ලක්” ඇති කල හැකිය යන ප්‍රමුඛ පෙලේ බ්‍රිතාන්‍ය ජෙනරාල්වරයකුගේ තර්ජනය මගින් ඇඟවුම් කර ඇත්තේ, රටේ “ආරක්ෂාවට” එල්ල වන තර්ජනයට එරෙහිව “හැකි, සාධාරන හෝ අශෝභන ඕනෑම මාධ්‍යයක් ඒ සඳහා භාවිතා කල හැකි බවයි .”

කෝබින් මෙම තර්ජනයට හෝ යුද අනතුරට එරෙහිව කම්කරු පන්තිය බලමුලු ගන්වන්නේ නැත. ඒ වෙනුවට තමා විශ්වාස කල හැකි අයෙක් බව පාලක පන්තියට ඒත්තු ගැන්වීමට උත්සාහ කරයි. බ්‍රිතාන්‍යය ආසන්න තර්ජනයට ලක්ව ඇති බවට අනතුරු ඇඟවීමේ “පාන්දර 3 ඇමතුම” සඳහා ඔහු සූදානම් දැයි ගාඩියන් පත්‍රය ඇසූ විට ඔහු පිලිතුරු දුන්නේ, “ඇත්ත වශයෙන්ම: නියත වශයෙන්ම. එවැනි අවස්ථාවලදී ඔබ තීරන ගත යුතුයි.” යනුවෙනි.

සමාජවාදී සමානතා පක්ෂය ගොඩනඟන්න!

කෝබින්ට ඡන්දය දීමෙන් “සියල්ල වෙනස් කල හැකි” බව අවධාරනය කරමින් සමාජවාදී කම්කරු පක්ෂය වැනි බ්‍රිතාන්‍යයේ ව්‍යාජ වාම කන්ඩායම් යලිත් ලේබර් පක්ෂය පිටුපස පෙල ගැසී ඇත. එහෙත් කෝබින්ගේ නායකත්වයේ වසර හතරක කාලය තුල ඔප්පු කර ඇත්තේ, කම්කරු හා වෘත්තීය සමිති නිලධරයට ද බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයට ද සැබවින්ම පක්ෂපාතී වන නාමික “වාම” නායකයෙකු ස්ථාපනය කිරීමෙන් බ්‍රිතාන්‍ය ධනවාදය කෙසේ වෙතත් ලේබර් පක්ෂය පවා ප්‍රතිසංස්කරනය කල නොහැකි බව ය.

වැඩ කරන ජනතාවගේ අනාගතය රඳා පවතින්නේ නව හා අව්‍යාජ සමාජවාදී නායකත්වයක් ගොඩනැගීම මත ය. ඒ සඳහා කම්කරු පන්තිය විසින් දේශපාලන බලය අත් කර ගැනීම සඳහා කැපවූ නව අරගල සංවිධාන පිහිටුවීම අවශ්‍ය වේ: කර්මාන්තශාලා, කාර්යාල, සේවා ස්ථාන සහ කම්කරු පන්තික නිවාස ප්‍රදේශවලින් තේරී පත් වූ, සැලසුම් සහගත නිෂ්පාදනය මත පදනම් වූ සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට කැපවූ කම්කරු ආන්ඩුවක් බලයට පත් කල යුතුය. ලාභය නොව සමාජ අවශ්‍යතා ක්‍රියාවට නැංවීම පිනිස ද සැමට යහපත් රැකියා, අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා, නිවාස හා විශ්‍රාම වැටුප් ලබා දීම සඳහා ද ප්‍රකෝටිපතියන්, බැංකු සහ ප්‍රධාන සමාගම්වල ධනය අත්පත් කර ගත යුතුය.

විප්ලවවාදී නායකත්වයක් නොමැතිව සමාජවාදය සාක්ෂාත් නොවන බව ඉතිහාසය සනාථ කරයි. සමාජවාදී අනාගතයක් සඳහා සටන් කිරීමට කැමති තරුන තරුනියන් හා කම්කරුවන් 20 වන සියවසේ සියලු මූලෝපායික දේශපාලන අත්දැකීම්, සියල්ලටත් වඩා 1917 ඔක්තෝබර් රුසියානු විප්ලවයේ අත්දැකීම්, උකහා ගත යුතුය. සමාජවාදී සමානතා පක්ෂය යනු හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ බ්‍රිතාන්‍ය ශාඛාවයි. ස්ටැලින්වාදයට එරෙහි අරගලය සහ ඔක්තෝබර් විප්ලවය සිදු කල ලෝක සමාජවාදී විප්ලවයේ ඉදිරිදර්ශනය ආරක්ෂා කිරීම සඳහා ලියොන් ට්‍රොට්ස්කි විසින් පිහිටුවන ලද වාම විපක්ෂයේ අරගලය අපේ පක්ෂය දිගටම කරගෙන යයි.

ජාත්‍යන්තර කම්කරු පන්තියේ විප්ලවවාදී නායකත්වයේ අර්බුදය විසඳීම සඳහා 1938 දී ට්‍රොට්ස්කි හතරවන ජාත්‍යන්තරය ආරම්භ කලේය. ස්ටැලින්වාදය, ලේබර්වාදය, පැබ්ලෝවාදය සහ සියලු ආකාරයේ ජාතික අවස්ථාවාදයට එරෙහි අරගලය හජාජාක විසින් අඛන්ඩව පවත්වා ගෙන යනු ලැබේ. මෙම මූලධර්මවාදී අරගලයන්ගේ ඉතිහාසය තුලින් උකහා ගත් දේශපාලන ප්‍රාග්ධනය, සමාජවාදය සඳහා නව ජාත්‍යන්තර ව්‍යාපාරයක් ගොඩනැගීමේ පදනම ලෙස, පන්ති විඥානයෙන් යුත් සියලු කම්කරුවන්ට සහ තරුනයින්ට දැන් හුරු කල යුතුය.

අපගේ උද්ඝෝෂනයට සහයෝගය දැක්වීමට කැමති සියලුම කම්කරුවන් හා තරුනයින්ගෙන් අප ඉල්ලා සිටින්නේ සසප අමතන ලෙසයි.

සමාජවාදී සමානතා පක්ෂය (එක්සත් රාජධානිය)

Share this article: