බොලිවියාවේ එක්සත් ජනපද පිටුබලය ලත් කුමන්ත්‍රනය

The US-backed coup in Bolivia

2019 නොවැම්බර් 13

ජනාධිපති ඉවෝ මොරාලෙස්, උප ජනාධිපති ඇල්වාරෝ ගාර්ෂියා ලීනෙරා සහ විවිධ අමාත්‍යවරුන්, ප්‍රාන්ත ආන්ඩුකාරවරුන් සහ රජයේ නිලධාරීන් ඉල්ලා අස්වීමට හේතු වූ එක්සත් ජනපදයේ පිටුබලය ලත් කුමන්ත්‍රනයකින් පසු, දකුනු ඇමරිකාවේ වඩාත්ම දුප්පත් රට වන බොලිවියාව, සිවිල් යුද්ධයක අද්දරට පැමින ඇත.

මොරාලෙස්, ගාර්ෂියා ලීනෙරා සහ තවත් අය මෙක්සිකෝවේ රැකවරන පතා රටින් පලා ගොස් ඇති අතර, ඔවුන් නියෝජනය කරනවා යයි පැවසූ බොලිවියානු කම්කරුවන්, ගොවීන් සහ ආදිවාසීන් බහුතරයක් දැඩි ලෙස සන්නද්ධ හමුදා සහ ෆැසිස්ට් කල්ලිවලට මුහුන දෙමින් වීදිවල විරෝධතා දක්වති.

ලතින් ඇමරිකානු කම්කරු පන්තියට තම අභිලාෂයන් ඉදිරියට ගෙන යා හැක්කේ “වාම” ධනේශ්වර ජාතිකවාදී පාලන තන්ත්‍රයන් මගින් නොව, තමන්ගේම ස්වාධීන විප්ලවවාදී අරගලයක් හරහා පමනක් බව යලිත් වරක් ලේ වලින් ලියවී ඇත.

2019 නොවැම්බර් 12, අඟහරුවාදා, පොලිස් වාරන ආධාරකරුවන්ගේ සහායෙන් හිටපු ජනාධිපති ඊවෝ මොරාලෙස් බොලිවියාවේ ලා පාස් හි කොන්ග්‍රස් ප්‍රදේශයට ඇතුළු විය. (AP Photo/Natacha Pisarenko)

ලා පාස් සහ අසල්වැසි කම්කරු පන්ති දිස්ත්‍රික්කයක් වන එල් ඇල්ටෝහි දහස් ගනනක් කම්කරුවන් හා තරුනයින් වීදි බැස පොලිස් ස්ථාන ගිනිබත් කර ආරක්ෂක හමුදාවන්ට මුහුන දුන්නේය. කුමන්ත්‍රනයට කම්කරුවන් හා තරුනයින් ධෛර්ය සම්පන්නව ප්‍රතිචාර දක්වයි. වෙනත් තැන්වල පතල් කම්කරුවන් හා ගොවීන් මහාමාර්ග අවහිර කර ඇති අතර කුමන්ත්‍රන විරෝධී විරෝධතාකරුවන් සජීවී පතොරම් සහ කඳුලු ගෑස් හා අත්බෝම්බ ප්‍රහාර එල්ල කරමින් දැඩි ලෙස සන්නද්ධ හමුදා භටයින්ට මුහුන දේ. කොචබම්බාහිදී හමුදාව, හෙලිකොප්ටරයක සිට ජන සමූහයන්ට වෙඩි තැබූහ. මියගිය හා තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහල ගොස් තිබේ.

මතභේදයට ලක්ව ඇති ඔක්තෝබර් 20 ජනාධිපතිවරනය මුල්කරගෙන සති තුනක් තිස්සේ පැවති විරෝධතාවලින් පසුව 10දා කුමන්ත්‍රනය දියත් කෙරුනේ, ත්‍රිවිධ හමුදා ප්‍රධානී ජෙනරාල් විලියම්ස් කලිමන් විසින් කල රූපවාහිනී කථාවකිනි. “ජනාධිපතිවරයා ඉල්ලා අස්වී බොලිවියාවේ යහපත සඳහා ස්ථාවරත්වය නැවත ස්ථාපිත කිරීමට ඉඩ ලබා දිය යුතු යයි” හමුදා ප්‍රධානීන් වට කරගත් ඔහු කියා සිටියේය.

මොරාලෙස් සහ ගාර්ෂියා ලීනෙරා “යෝජනාව” පිලිගත් අතර “ලේ වැගිරීම් වැලැක්වීම” සහ “සාමය සහතික කිරීම” සඳහා පියර ගන්නා බව ඔවුන් පැවසීය. ඔවුන්ගේ පරමාර්ථය වුනේ එය නම්, හමුදාවට සහ බොලිවියානු දක්ෂිනාංශයට ඔවුන්ගේ දන ගැසීම අවාසනාවන්ත ලෙස අසාර්ථක වී තිබේ.

මිලිටරි-පොලිස් ප්‍රචන්ඩත්වය හමුවේ මොරාලෙස්ගේ ෆැසිස්ට් විරුද්ධවාදීන්, ආන්ඩුවට සම්බන්ධ අයගේ නිවාස ගිනි තබා, නිලධාරීන්ගේ පවුල්වල සාමාජිකයන් පැහැරගෙන ගිය අතර, සමාජවාදය සඳහා යයි පවසන මොරාලෙස්ගේ මාස් පක්ෂ ව්‍යාපාරයට සම්බන්ධ අයට එරෙහිව ප්‍රචන්ඩකාරී ප්‍රහාර එල්ල කර තිබේ. එසේම ආදිවාසීන්, විශේෂයෙන් කාන්තාවන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කර ඇත. පොදු සමාජ සංවිධානවල මූලස්ථානයට පහර දී ගුවන් විදුලි මධ්‍යස්ථාන ආක්‍රමනය කර ගුවන් ප්‍රචාර සියතට ගෙන ඇත.

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මොරාලෙස් බලයෙන් පහ කිරීම සමරනු ලැබුවේ, එය “බටහිර අර්ධගෝලයේ ප්‍රජාතන්ත්‍රවාදය පිලිබඳ වැදගත් අවස්ථාවක්” බව කියමිනි. වෙනිසියුලාව සහ නිකරගුවාව ඊලඟට සිටින බවට ඔහු අනතුරු ඇඟවීය.

නමුත් එය ට්‍රම්ප්ට පමනක් සීමා නොවීය. නිව්යෝක් ටයිම්ස් සහ වොෂිංටන් පෝස්ට් යන මාධ්‍ය ජාලයන් 12දා කුමන්ත්‍රනයට සහාය පල කරමින්, එය “ප්‍රජාතන්ත්‍රවාදයට” පහරක් බවත්, බලහත්කාරයෙන් මොරාලෙස් ඉවත් කිරීමට හමුදාව මැදිහත්වීම හුදෙක් අහම්බයක් ලෙසත් සඳහන් කලේය.

ඩිමොක්‍රටිකයින් මෙන්ම රිපබ්ලිකානුවන් යටතේ ලතින් ඇමරිකාව තුල වොෂින්ටනයේ අධිරාජ්‍යවාදී ප්‍රතිපත්තිය මූලිකව හා අඛන්ඩව ක්‍රියාත්මක වන බව මෙයින් ප්‍රකාශිතය. ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් යටතේ (ටයිම්ස් විසින් කල් ඉකුත්වීමට පෙරම සමරනු ලැබූ) වෙනිසියුලාවේ හියුගෝ චාවේස්ට එරෙහිව 2002 දී සිදුකරන ලද කුමන්ත්‍රනයේ සිට 2009 දී බරක් ඔබාමා යටතේ එක්සත් ජනපදය විසින් හොන්ඩුරාස් හි ජනාධිපති මැනුවෙල් සෙලායා බලයෙන් පහ කිරීම දක්වා ද අද ට්‍රම්ප් යටතේ මොරාලෙස් නෙරපා හැරීම දක්වා ද එය ක්‍රියාත්මක වේ..

මෙම අඛන්ඩතාවයට යටින් පවතින්නේ, එක්සත් ජනපද අධිරාජ්‍යවාදය මිලිටරි බලය සහ ප්‍රචන්ඩත්වය මගින් සිය ගෝලීය ආර්ථික ආධිපත්‍යයේ පරිහානිය ආපසු හැරවීමට ගෙන යන ව්‍යායාමයයි. විශේෂයෙන්ම තම “පිලිකන්න” ලෙස සලකනු ලැබූ කලාපය තුල. ලතින් ඇමරිකාවේ සම්පත් හා වෙලඳපල සඳහා නිර්බාධිත හිමිකම් පෑමට එක්සත් ජනපද අන්තර්ජාතික සමාගම්වල කෑදරකම ද - අවම වශයෙන් බොලිවියාවේ දැවැන්ත බලශක්ති හා ඛනිජ සංචිත, එනම් ලෝකයේ ලිතියම් වලින් 70% ක් ද ඇතුලුව - පසුගිය වසරේ කලාපයේ වෙලඳාම ඩොලර් බිලියන 306 ක් දක්වා නැඟු‍නු එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සහ චීනය අතර මූලෝපායික ගැටුම ද යන දෙකෙන්ම මෙම ධාවනය සිදුවේ.

1998 දී හියුගෝ චාවේස්ගේ පාලනයෙන් ආරම්භ වී ලතින් ඇමරිකාවේ බලයට පැමිනි වාම-මවාපෑමේ ධනේශ්වර ජාතිකවාදී ආන්ඩු වල ඊනියා “රෝස වඩදිය” මෙහෙයුමෙහි කොටසකි මොරාලෙස් ආන්ඩුව.

කෙසේවෙතත් මෙම ආන්ඩුව, ඉතා ඉක්මනින්ම එහි අරමුන, සැබවින්ම සමාජවාදය නොව “ඇන්ඩියන්-ඇමසෝනියානු ධනවාදය” වන බව පෙන්නුම් කලේය. එය “ජනසතු කිරීම්” වලින් සමන්විත වූ අතර බොලිවියාවේ ගෑස් සහ වෙනත් ස්වාභාවික සම්පත් සූරාකෑමෙහි නිරතව සිටි අන්තර්ජාතික සමාගම් මත නව බදු පැනවීය.

අන්තර්ජාතික ප්‍රාග්ධනය සමඟ ඇති සන්ධානයට අමතරව මොරාලෙස් ආන්ඩුව, කෘෂිකාර්මික කතිපයාධිකාරය සමඟ ද එකඟතාවෙන් කටයුතු කරන ලදී. ආදිවාසීන් ආරක්ෂා කිරීම සඳහා මීට පෙර ජාතික වනෝද්‍යාන ලෙස ප්‍රකාශයට පත් කර තිබූ භූමිභාගයන් සූරාකෑම සඳහා දෙගොල්ලන්ටම අයිතිවාසිකම් ලබා දී ඇත.

ආන්ඩුව “මිලිටරි-ගොවි සන්ධානය” ලෙස හැඳින්වූ දේ මත ද විශ්වාසය තැබූ අතර, එමඟින් මිලිටරියට ආර්ථිකයේ සමහර ක්ෂේත්‍රවල පාලනය, තමන්ගේ ම ව්‍යාපාර නිර්මානය කිරීම සඳහා වූ සම්පත් සහ ත්‍යාගශීලී ප්‍රතිලාභ පිරිනැමීමෙන් සහයෝගය ලබා ගැනීමට උත්සාහ කලේය. එය “අධිරාජ්‍ය විරෝධී මිලිටරි පාසලක්” නිර්මානය කල අතර සොල්දාදුවන් තම නිලධාරීන්ට “හස්ටා ලා වික්ටෝරියා සියෙම්ප්‍රේ” යන චේ ගුවේරාවාදී සටන් පාඨයෙන් ආචාර කලේය. අවසානයේදී, මොරාලෙස් කිසි විටෙකත් විසුරුවා නොහල ධනේශ්වර හමුදාව, තම මූලයන් සහිත ෆැසිස්ට්වාදයට සිය පක්ෂපාතීත්වය ඔප්පු කලේය. ජෙනරාල් හියුගෝ බන්සර් සහ ලු‍යිස් ගාර්ක් මීසාගේ හමුදා ආඥාදායකත්වයට හා පෙන්ටගනයේ ඇමරිකානු පාසලේ ජාතික ආරක්ෂක රාජ්‍ය ධර්මතාව කෙරෙහි සිය පක්ෂපාතිත්වය ප්‍රදර්ශනය කලේය.

මොරාලෙස් ආන්ඩුවේ දක්ෂිනාංශික ප්‍රතිපත්ති හේතුකොටගෙන කම්කරු පන්තිය හා ගොවි ජනතාව සමඟ අඛන්ඩව ගැටුම් ඇති වූ අතර එහි සහයෝගය ක්‍රමයෙන් ඛාදනය විය. ව්‍යවස්ථාව සහ 2016 ජනමත විචාරන ප්‍රතිපල උල්ලංඝනය කිරීම මඟින් ජනාධිපති ලෙස තවත් ධුර කාලයක් ලබා ගැනීමට මොරාලෙස් දැරූ උත්සාහය හමුවේ, බොලිවියාවේ සාම්ප්‍රදායික පාලක කතිපයාධිකාරයේ දක්ෂිනාංශික විරුද්ධවාදීන්ට, සිය ප්‍රති-විප්ලවවාදී අරමුනු සඳහා ජනප්‍රිය පදනමක් දිනා ගැනීමට හැකි විය.

චාවේස් මෙන්ම මොරාලෙස්ද තමා “බොලිවාරියානු විප්ලවයේ” සහ සමාජවාදයේ අනුගාමිකයෙකු බව ප්‍රකාශ කලේය. 2000 සිට 2005 දක්වා කාලය තුල ඊනියා ජල හා ගෑස් “යුද්ධ” - එනම් ජල පුද්ගලීකරනයට එරෙහිව සහ ගෑස් ජනසතු කිරීම ඉල්ලා සිටි- පැවති ආන්ඩු පෙරලා දැමූ, බොලිවියාව දෙදරුම් කමින් ඇතිවූ විප්ලවීය නැගිටීම් රැල්ල ඔහු සහ මාස් පක්ෂය බලයට ගෙන ආවේය.

කොකා (කොකේන් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කරන) වගාකරුවන්ගේ සංගමයේ නායකයා සහ රටේ දිගු කලක් තිස්සේ පීඩාවට ලක්කර තිබුන ආදිවාසී ජනගහනයේ පලමු බොලිවියානු ජනාධිපතිවරයා වන මොරාලෙස්, බොලිවියානු ජනතාවගේ විප්ලවීය අරගල අත්අඬංඟු‍වට ගැනීමේ සේවය ඉටුකල සිය පාලනය සඳහා පුලුල් මහජන සහයෝගයක් දිනා ගත්තේය.

මොරාලෙස් සහ මාස් නායකත්වය විසින් හෙලාදකිනු ලැබුව ද කුමන්ත්‍රනය සම්බන්ධයෙන් ඔවුන් සාපරාධී වගකීම දරයි. එහි ප්‍රධාන ගොදුරු වනු ඇත්තේ මොරාලෙස් සහ ඔහුගේ සෙසු දේශපාලඥයන් නොව බොලිවියානු කම්කරුවන්, ගොවීන් සහ පීඩිත ජනතාවයි.

මොරාලෙස් ආන්ඩුවේ බොලිවාරියානු විප්ලවවාදී මවාපෑම් ප්‍රවර්ධනය කල, කම්කරු පන්තිය ධනේශ්වර ජාතිකවාදී නායකත්වයට යටත් විය යුතු යයි කියාසිටි, විවිධ ව්‍යාජ වාම කන්ඩායම් ද බොලීවියාවේ කම්කරුවන් හා පීඩිත ජනතාව මුහුන දී සිටින උග්‍ර අන්තරායන් සම්බන්ධයෙන් වගකිව යුතුය. විප්ලවවාදී සමාජවාදී ක්‍රියාමාර්ගයක පදනමෙන්, කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය හා ජාත්‍යන්තර එකමුතුව සඳහා ජාත්‍යන්තර කමිටුව ගෙන ගිය අරගලය ප්‍රතික්ෂේප කරමින් ඔවුහු, ස්ටැලින්වාදයට හා විවිධාකාර ජාතිකවාදී රූපාකාරයන්ට, ඉන් ප්‍රධාන වන කැස්ට්‍රෝවාදයට, අනුවර්තනය වූහ.

ලතින් ඇමරිකාවේ පමනක් නොව ජාත්‍යන්තරව ද පන්ති අරගලය මැඩපැවැත්වීමට මෙම පක්ෂවලට හැකි වූ කාලය අවසන් වෙමින් තිබේ. බොලිවියාවේ සිදුවීම් ද චිලියේ සහ ලතින් ඇමරිකානු මහාද්වීපයේ වෙනත් තැන්වල කම්කරුවන්ගේ හා තරුනයින්ගේ සමූහ නැගිටීම්වලින් ද පෙන්නුම් කරන්නේ පාලක පන්තියට තවදුරටත් පැරනි ක්‍රමයට පාලනය කල නොහැකි බවත් කම්කරු පන්තියට විප්ලවීය නැගිටීම්වල නව කාල පරිච්ඡේදයක් සඳහා කොන්දේසි නිර්මානය නොකර පැරනි ආකාරයට පැවතිය නොහැකි බවත් ය.

වඩාත්ම හදිසි දේශපාලන කර්තව්‍යය වන්නේ සංශෝධනවාදයට එරෙහි ට්‍රොට්ස්කිවාදයේ දීර්ග අරගලයේ අත්දැකීම් උකහා ගැනීම මත පදනම්ව කම්කරු පන්තිය තුල නව විප්ලවවාදී නායකත්වයක් ගොඩ නැගීමයි. මෙයින් අදහස් කරන්නේ ලතින් ඇමරිකාව පුරා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශාඛා ගොඩනැගීමයි.

බිල් වැන් ඕකන්

Share this article: