වොෂින්ටන් පෝස්ට් හා නිව්යෝර්ක් ටයිම්ස්චීන-ඇමරිකානුවන්ට එරෙහි වර්ගවාදී උද්ඝෝෂනය අවුලුවයි

Washington Post and New York Times incite racist campaign against Chinese-Americans

2019 නොවැම්බර් 5

ඩි‍මොක්‍රටික් පක්ෂය හා එක්සත් ජනපද ඔත්තු සේවා ඒජන්සීන් සමග වඩාත් ම සමීප පුවත්පත් වන වොෂින්ටන් පෝස්ට් හා නිව් යෝක් ටයිම්ස්, චීන සම්භවයක් සහිත ඇමරිකානුවන්ට එරෙහි ව වාර්ගික ව ප්‍රේරිත සැකසංකාවන් ඇවිලවීමට උත්සාහ දරමින් සිටී.

2016 මැතිවරනයේ පටන්, මුල දී ඇමරිකානු දේශපාලනයට අතපෙවීමේ රුසියානු උත්සාහයන් මත කේන්ද්‍රගත වූ “විදෙස් අතපෙවීම්” පිලිබඳ තහවුරු නො කල චෝදනා වටා වූ උන්මාදනීය උද්ඝෝෂනයක් ඩිමොක්‍රටිකයන් විසින් දියත් කර ඇත.

මෙම උද්ඝෝෂනයේ කොටසක් ලෙස, ට්‍රම්ප්ගේ ධවල මන්දිරය අරක් ගත් වාර්ගික චින්තනයේ මූලිකාංග ඩිමොක්‍රටික් පක්ෂයට හා එහි තථ්‍ය මාධ්‍ය ද්වාරයන්ට මග සොයා ගනිමින් සිටී.

රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති සම්පාදක ප්‍රධානියා වන කිරොන් ස්කිනර්, චීනය සමග එක්සත් ජනපදයේ ගැටීම “කොකේසියානු නො වන මහා බල තරඟකරුවෙකු සමග අපගේ ගැටීමේ පලමු අවස්ථාව” වේ යයි මැයි මාසයේ දී ප්‍රකාශ කලේ ය.

ඩිප්ලෝමැට් පුවත්පත මෙසේ සඳහන් කලේ ය: “එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන මූලෝපායික නිලධාරියා වාර්ගිකත්වය විශ්ලේෂනයේ ඒකකයක් ලෙස ගැනීම කම්පාකාරී විය.” එම ප්‍රකාශය “ශාස්ත්‍රාලිකයන්ගේ හා විශ්ලේෂකයන්ගේ විවේචන” වර්ෂාවක් වැස්සවීමට හේතු වී යයි එය සඳහන් කලේ ය.

ෆොරීන් පොලිසි සඟරාවේ අදහස් දැක්වූ පෝල් මුස්ග්‍රේව් “වර්ගවාදය නව එක්සත් රාජ්‍ය තන්ත්‍රයේ අනතුරුදායක කාචය” යි හෙලාදුටුවේ ය.

“ට්‍රම්ප් පරිපාලනයේ පලමු දිනයේ පටන් මෙම අදහස් දියත් කරනු ලැබ ඇත” යි සටහන් කල කැටෝ ආයතනයේ සාමාජික එමා ඈෂ්ෆෝඩ් ව සවුත් චයිනා මෝනිං පෝස්ට්හි උපුටා දක්වනු ලැබී ය.

“ට්‍රම්ප් හා ඔහුගේ පරිපාලනයේ ජ්‍යෙෂ්ට නිලධාරීන්, මෙක්සිකානුවන්, මුස්ලිම්වරුන් හා සංක්‍රමනය පිලිබඳ ව තුනී ලෙස ආවරනය කරන වාර්ගික හා ශිෂ්ටාචාරමය අදහස් දැක්වීම් යලි යලිත් කර ඇත” යි නිරීක්ෂනය කරන ඈෂ්ෆෝඩ්ව පුවත්පත විසින් අර්ථෝධාර කොට දැක්වී ය.

“පරිපාලනයේ දෘඪ සංක්‍රමන පිලිවෙත් වර්ධනය කිරීමේ දී මූලික වී ඇති ධවල මන්දිර ආධාරකාර ස්ටීවන් මිලර්, චීන පුරවැසියන්ට එක්සත් ජනපදය තුල ඉගෙන ගැනීම නො හැකි කරන තැනට ජනාධිපතිවරයා හා අනෙකුත් නිලධාරීන් තල්ලු කර දැමී ය” යි ෆයිනෑන්ෂල් ටයිම්ස් පසුගිය වසරේ වාර්තා කලේ ය.

ඒ සමයේ මිලර්ගේ යෝජනාව රැඩිකල් වැඩි යයි ප්‍රතික්ෂේප කරනු ලැබී ය. ශිෂ්‍ය වීසාවල කාලසීමාව වසර පහේ සිට එක් වසරක් දක්වා කපා දමමින් ධවල මන්දිරය වඩා ක්‍රමවත් ප්‍රවේශයක් අනුගමනය කලේ, චීන ශිෂ්‍යයන් හා ශාස්ත්‍රාලිකයන් භව්‍ය ඔත්තු බලන්නන් ලෙස හෙලා දකිමිනි.

එහෙත් මෙම වර්ගවාදී තර්කයන් අලුත් ශක්තියකින් යුතු ව වොෂින්ටන් පෝස්ට් හා නිව් යෝක් ටයිම්ස් විසින් ඩැහැගනු ලැබ ඇත්තේ, ඩිමොක්‍රටිකයන් වඩ වඩා ට්‍රම්ප්ගේ චීන-විරෝධී පිලිවෙතේ අවයවයන් අනුමත කරද්දී ය.

නොවැම්බර් 2දා පලකල කතුවැකියක වොෂින්ටන් පෝස්ට් මෙසේ ප්‍රකාශ කලේ ය: “ලෝකය සිසාරා තම තන්ත්‍රය කෙරෙහි සිත් දිනාගැනීමේ (චීන ජනාධිපති) ෂී ජිංපිංගේ අවශ්‍යතාව, එක්සත් ජනපදයේ විශ්ව විද්‍යාලවල ඉගෙන ගන්නා චීන ශිෂ්‍යයන් පිලිබඳ සිද්ධියේ දී තරම් වෙන කොතැනක වත් පැහැදිලි නැත; ඔවුහු අපගේ භෞතික අවකාශයේ මෙන් ම චීන සයිබර් අවකාශයේ ද ජීවත් වෙති.”

“චීන මහජන සමූහාන්ඩුවෙන් පැමිනෙන ශාස්ත්‍රාලිකයන්, ජනමාධ්‍යවේදීන්, රාජ්‍යතාන්ත්‍රිකයන් හා රාජ්‍ය නිලධාරීන් නිර්බාධිත ව ඇමරිකානු සමාජයට ප්‍රවේශ වීම තව දුරටත් පිලි නො ගත යුතු ය” යි තර්ක කල දක්ෂිනාංශික චින්තන තටාකයක් වන හූවර් ආයතනයේ වාර්තාවකට අනුමැතිය දෙමින් සැප්තැම්බර් මාසයේ පෝස්ට් පත්‍රය කතුවැකියක් පලකලේ ය.

චීන ආන්ඩුව, “ලෝකය පුරා සිටින සමස්ත චීන ඩයස්පෝරාව, කහ අධිරාජයාගේ දූපුතුන්” ලෙස “චීන මාතෘභූමියට” ගැති ව සිටින “විදෙස්ගත ස්වදේශිකයන්” යයි දැකගන්නා බව හූවර් ආයතනයේ වාර්තාව ප්‍රකාශ කලේ ය. චීන ආන්ඩුව “වාර්ගික ඉලක්ක කිරීම්වල” නිරත ව සිටින බවට එය චෝදනා කලේ ය.

“රාජ්‍ය හා රාජ්‍ය නො වන සියලු ඇමරිකානු ආයතන චීන ක්‍රියාකාරිකයන් සමග ගනුදෙනුවල දී අධීක්ෂනය හා ආන්ඩුකරන භාවිතාවන් විමර්ශනය කොට, භාවිතාවේ හා නිසි අනලස් බවේ හොඳ ම තත්ත්වයන් සකස් කිරීම හා ආදර්ශනය කිරීම කල යුතු” යි හූවර් වාර්තාව අනවා සිටියේ ය.

“එක්සත් ජනපදයේ සිටින චීන ජනමාධ්‍යවේදීන්ට දෙන වීසා හා ප්‍රවේශය සීමාකිරීම මගින් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව නිසි පරිදි ප්‍රතිචාර දැක්විය යුතු” යි අවධාරනය කරමින්, පෝස්ට් කතුවැකිය හූවර් ආයතනයේ ඇනවීම වැලඳගත්තේ ය.

මෙම පෙලඹවීම, ඇමරිකානු විශ්ව විද්‍යාල හා පර්යේෂන ආයතනවල විදෙස් භීතිකාව යයි හොඳින් ම විස්තර කල හැකි දෙයකට හේතු වී ඇත.

“චීනයට සම්බන්ධකම් ඇති විද්‍යාඥයන් ජෛව-වෛද්‍ය පර්යේෂන සොරකම් කරමින් සිටිනවා විය හැකි යි එක්සත් ජනපදය කියයි” යන කුපිත කරවනසුලු උද්ධෘතය සහිත මුල් පිටු ලිපියක් නොවැම්බර් 4දා නිව් යෝක් ටයිම්ස් පත්‍රයේ පලකලේ ය. විස්තර කිරීමකින් තොර ව උද්ධෘතය “යෝධ ජාලය චීනය වෙනුවෙන් ජෛව-වෛද්‍ය රහස් සොරකම් කිරීම ඉලක්ක කරගනී” යනුවෙන් වෙනස් කරනු ලැබී ය.

“එක්සත් ජනපදය පුරා පිහිටි ආයතනවලින් අනෙක් රටවල් සඳහා ජෛව-වෛද්‍ය පර්යේෂන සොරකම් කරමින් සිටිනවා යයි එන්අයිඑච් හා එෆ්බීඅයි ප්‍රකාශ කරන විද්‍යාඥයන්ගේ මුල් සොයා එම ආයතන දෙක යෝධ උත්සාහයක් අරඹා ඇත” යි ලිපිය වාර්තා කලේ ය. විමර්ශනයේ ඉලක්කයන් වූයේ “ඇමරිකාවේ පුරවැසිභාවය දරන්නන් ද ඇතුලු චීන සම්භවයකින් පැවත එන විද්‍යාඥයන් ය.”

ටයිම්ස් මෙසේ ලිවී ය: “ජාලයේ පරිමානය ජෛව-වෛද්‍ය පර්යේෂකයන් හරහා කම්පන ධාරා යවා ඇත ... එම පර්යේෂකයන්ගෙන් සමහරක්, බෙයිජිනය සමග වොෂින්ටනයේ භූ-දේශපාලනික තරඟය තීව්‍ර වෙද්දී චීන විද්‍යාඥයන්ව අසාධාරන ලෙස ඉලක්ක කරගනු ලබන බව කියති.”

කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ හැස්ටිංස් නීති විද්‍යාලයේ නීතිය පිලිබඳ මහාචාර්ය වරයෙක් වන ෆ්‍රෑන්ක් වූ ටයිම්ස් වෙත කීවේ: “ජනයා ජීවත් වන්නේ බියෙන් ...එක්සත් ජනපද පුරවැසියන් වන අය ද ඇතුලු තර්ජනයට ලක් වී යයි හඟින චීන වාර්ගිකයන්ගෙන් මට දුරකථන ඇමතුම් හා ඊ-මේල් පනිවුඩ ලැබෙනවා.” යනුවෙනි.

නිව් යෝක් ටයිම්ස් වාර්තාව මෙම ජාලය කෙරෙහි දෙබිඩි ලෙස අසීරු ආකල්පයක් ගනිද්දී පවා, චීන-විරෝධී උන්මාදයක් ඇවිලවීමට අනවරත හා විවෘත ලෙස පුවත්පත උත්සාහ දරා ඇත්තේ, 19වන ශතවර්ෂයේ ආසියාව තුල අධිරාජ්‍යවාදී ආධිපත්‍යය සාධාරනීකරනය කිරීමට යොදාගත් “කහ උපද්‍රවයේ” මිථ්‍යාමය තේමාවන් පුනරුච්ඡාරනය කරමිනි. පසුගිය මාසයේ, “ආක්‍රමනශීලී ...කොමියුනිස්ට් රාජ්‍යය” ඇමරිකානු ස්වාධීනතාවන් වෙත ගෙන එන “අනතුරුදායක හා වැඩෙන තර්ජනය” ගැන ටයිම්ස්අනතුරු ඇඟවී ය.

ෆයිනෑන්ෂල් ටයිම්ස් සමග සම්මුඛ සාකච්ඡාවක නිරත වූ ට්‍රම්ප්ගේ 2016 මැතිවරන උද්ඝෝෂනයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී ස්ටීව් බැනන්, විදෙස් පිලිවෙත අරබයා වොෂින්ටනය තුල පවතින රුදුරු අරගලය නො තකා “දෘඪ චීන පිලිවෙතක් පවත්වාගෙන යාමේ” ඔහුගේ උත්සාහයන් සාර්ථක වෙමින් පවතින බව ප්‍රකාශ කලේ ය.

සුදු අධිපතිවාදී සංවිධාන සමග සබඳතා පවතින අන්ත-දක්ෂිනාංශික දෘෂ්ටිවාදියා “අපි ජයග්‍රහනය කරමින් සිටිනවා” යි ප්‍රකාශ කලේ ය. ෆයිනෑන්ෂල් ටයිම්ස් මෙසේ අදහස් දැක්වී ය: “සාක්ෂි පවතින පරිදි, වෙලඳ පිලිවෙතේ දී එලිසබත් වොරන් හා අනෙකුත් ප්‍රධාන ඩිමොක්‍රටිකයන් ට්‍රම්ප් මහතාටත් වඩා දකුනට චලනය වෙමින් සිටින බව ඔහු (බැනන්) සඳහන් කලේ ය.

“මෙතරම් බෙදී ඇති රටක එය එකට බැඳීමට තල්ලු කරන්නේ චීනය යි” යි බැනන් උදම් ඇනී ය. මෙය ප්‍රකාශ කිරීම මගින්, බැනන් ප්‍රතිරාවය කලේ, මේ වසර මුල දී “නව චීන අභියෝගය දේශපාලන බෙදීම් පසෙකලා අපට එකමුතු වීමට අවස්ථාවක් සම්පාදනය කරනවා” යි කී ඩිමොක්‍රටික් ජනාධිපති අපේක්ෂක පීට් බටිගීග්ගේ සාකච්ඡා මාතෘකාවන් ය.

“අවම වසයෙන් සටනින් අර්ධයක් පවතින්නේ රට තුල” යි බටිගීග් එයට එකතු කලේ ය.

බැනන් හා බටිගීග්ගේ ප්‍රකාශයන් විසින් ඉඟි කරන පරිදි, ධවල මන්දිරයේ සිට නිව් යෝක් ටයිම්ස් දක්වා ඇමරිකානු විදෙස් පිලිවෙත් සංස්ථාපිතයේ සියලු කන්ඩායම් විසින් වර්ගවාදී ඇවිලවීම් සමග ඒකාබද්ධිත ව එක්සත් ජනපද-චීන ගැටුමෙහි පුපුරා යාමක් අවසානයේ රට තුල මර්දනයට හේතු වනු ඇත.

එක් අවසන් කරුනක් සඳහන් කල යුතු ය. ප්‍රාථමික ව අනන්‍යතා දේශපාලනය දිරිමත් කිරීමේ රාමුව තුල වසර ගනනක් තිස්සේ නිව් යෝක් ටයිම්ස් පත්‍රය වර්ගවාදී චින්තන මාදිලියන් ඉදිරියට දමා සුජාතකරනය කොට ඇත.

“වර්තමාන බටහිර අර්බුදය යටින් බොහෝ සෙයින් පවතින්නේ සුදු අනන්‍යතාවේ අර්බුදයක් යයි විශේෂඥයන් දැකගනී” යි තර්ක කල “2016 අර්බුදය පිටුපසින්, සුදු අනන්‍යතාවේ අර්බුදයක්” නමැති අදහස් දැක්වීමේ තීරු ලිපියක් 2016 දී ටයිම්ස් පලකලේ ය.

“දශක ගනනක් තිස්සේ, සුදු අනන්‍යතාවේ භාෂාව පැවතී ඇත්තේ සුදු ආධිපත්‍යයේ සන්දර්භය තුල පමනි” යි ටයිම්ස්අවධාරනය කලේ ය. “එය නිෂේධ වූ විට, එය සුදු අනන්‍යතා දේශපාලනය වාග් කෝෂයක් රහිත එකක් බවට පත් කරනවා.” එම “නිෂේධනය” කැඩීමට ව්‍යංඝයෙන් දැරූ උත්සාහයක් තුල ටයිම්ස් මෙසේ ප්‍රකාශ කලේ ය: “බටහිර සුදු ජාතිකයන්ට ඔවුන්ගේ ජාතීන්ගේ නව, පලල් ජාතික අනන්‍යතාවන් තුල ස්ථානයක් තිබෙනවා.”

“සුදු අනන්‍යතාව” පිලිබඳ නව-නාසි මිථ්‍යාව පිලිගැනීමේ සිට, එක්සත් ජනපදය යනු “කොකේසියානු” ශිෂ්ටාචාරයක් යයි ට්‍රම්ප් පරිපාලනයේ ආවෘත ප්‍රකාශය හා සියලු චීන වැසියන් “කහ අධිරාජයාගේ දූපුතුන්” යයි හූවර් ආයතනය කරන වර්ගවාදී වර්ගීකරනය අනුමත කිරීම දක්වා යාම ඉදිරි පියවරක් නො වේ.

19 වන ශතවර්ෂය සමයේ ලෝකයේ අධිරාජ්‍යවාදී බෙදාගැනීම සමග බැඳී තිබුනා වූ ද නාසි තන්ත්‍රයේ බියකරු හා වාර්ගික ව ප්‍රේරිත අපරාධයන් තුල අවසන් ප්‍රකාශනය සොයාගත්තා වූ ද වාර්ගික හා විදෙස් භීතික දෘෂ්ටිවාදය, චීනයට එරෙහි එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ “මහා බල ගැටුමට” හැරීම හා එමගින් ගෙන එන යුද්ධයේ තර්ජනය මධ්‍යයේ යලි ඉස්මතු වෙමින් තිබේ.

ආන්ද්‍රෙ ඩේමන්

Share this article: