චිලිහි සිට ලෙබනනය දක්වා: කම්කරු පන්තියේ ප්‍රහාර ලෝකය සිසාරයි

From Chile to Lebanon: Working class offensive sweeps the globe

2019 ඔක්තෝබර් 25

පසුගිය සතියේ ගෝලීය පන්ති අරගලය පුපුරා යාමේ නව අවධියක් අත්දුටුවේ, ගෝලීය ධනේශ්වර පද්ධතියේ ඓතිහාසික හා පද්ධතිමය අර්බුදය තුල මුල් බැස ගැනුනු අවිවාදිත ලෙස සමාන දුක්ගැනවිලි මත අසමාන ලෙස පෙනෙන රටවල් දෙකක් නැවතීමකට ගෙන ආ මහජන විරෝධතා සමගිනි.

පොදු ප්‍රවාහන ගාස්තු සියයට 4 කින් ඉහල දමන බවට ජනාධිපති සෙබස්තියන් පිනේරාගේ දක්ෂිනාංශික ආන්ඩුව විසින් කරන ලද නිවේදනය, ධනේශ්වර පාලනයේ අර්බුදයක් නිර්මානය කර ඇති, පාලනය කල නොහැකි මහජන විරෝධතා රැල්ලක් අවුලුවා තිබේ. චිලී ධනේශ්වරයේ භීතිය පිලිබිඹු කරමින් ආන්ඩුවේ ප්‍රතිචාරය වී ඇත්තේ හදිසි තත්වයක් සහ ඇඳිරි නීතිය පනවමින්, සන්තියාගෝ නගරයේ වීදිවල හමුදා භටයින් 20,000ක් හා රට පුරා තවත් දහස් ගනනක් රැඳවීමයි. නිල සංඛ්‍යාවලට අනුව, විරෝධතා ආරම්භ වූ දින සිට පුද්ගලයින් 18 දෙනෙකු ඝාතනය කර, සිය ගනනකකට තුවාල සිදුකොට, අවම වශයෙන් 5,000ක් අත්අඩංගුවට ගෙන තිබේ. අතුරුදහන් වීම්, සිරකරුවන්ට වධහිංසා පැමිනවීම සහ විරෝධතාවල දී රඳවාගෙන සිටින කාන්තාවන්ට එරෙහි ලිංගික අතවර පිලිබඳ වාර්තා සමඟ එක්සත් ජනපදයේ පිටුබලය ලැබූ පිනෝෂේ ආඥාදායකත්වයේ සාපරාධී ක්‍රමවේද පුනරුත්ථාපනය කෙරී ඇත.

මෙම නග්න මර්දනය සමත් වී ඇත්තේ හුදෙක් විරෝධතා විශාල කිරීමට පමනී. චිලී අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ සංඛ්‍යාලේඛනවලට අනුව, බදාදා රට පුරා වෙන වෙන ම පෙලපාලි සහ විරෝධතා 68 කට 424,000 ක් සහභාගී වූහ. නිසැකව ම, සැබෑ සංඛ්‍යාව ඊට වඩා වැඩි ය. මහා වැඩවර්ජනයක් බ්‍රහස්පතින්දා එහි දෙවන දිනය දක්වා ඉදිරියට ගියේ තවත් සිය දහස් ගනනක් වීදි බැසීම සමගිනි.

2019 ඔක්තෝබර් 20 සඳුදා බෙයිරූට් සහ ලෙබනන් හි ආන්ඩුවට එරෙහි විරෝධතාකරුවෝ සටන් පාඨ හඬ නගති. දහස් ගනන් ජනයා බෙයිරූට් නුවර මධ්‍යයට රැස්වෙමින් සිටින අතර ආන්ඩු විරෝධී පෙලපාලි වල හතරවන දිනයේදී ලෙබනනය තුල විශාලතම විරෝධතා පැනනගිනු ඇතැයි අපේක්ෂා කෙරේ. (ඒපී ඡායාරූප/හසන් අමර්)(AP Photo/Hassan Ammar)

මේ අතර, පසුගිය සතිය තුල මහජන විරෝධතාවලින් ලෙබනනය ද දෙදරුම් කා ඇත්තේ, රටේ මිලියන 6 ක ජනගහනයෙන් හතරෙන් එකක් වීදි බැසීම සමගිනි. ක්ෂනික ප්‍රේරකය වූයේ තම ගැඹුරු ආර්ථික අර්බුදය සඳහා රටේ කම්කරු පන්තිය ගෙවන්නන් කිරීම අරමුනු කරගත් අසාධාරන කප්පාදු පියවරක්, එනම් වට්ස්ඇප් පනිවිඩ සඳහා මසකට ඩොලර් 6 ක බද්දක් පැනවීමට ආන්ඩුව ගත් උත්සාහය යි. චිලියේ මෙන්, විරෝධතා බිඳ දැමීම සඳහා හමුදාව යොදා ගැනීමට උත්සාහ කිරීම මහජන කෝපය ගිනිඅවුලුවා ඇතිවා පමනි.

චිලියේ පිනේරා සහ ඔහුගේ ලෙබනන් සගයන් වන අග්‍රාමාත්‍ය සාද් හරිරි යන දෙදෙනා මෙන් ම ජනාධිපති මයිකල් අවුන්, පශ්චාත්තාප ප්‍රකාශන හා අවම ආර්ථික සහන පියවර ඉදිරිපත් කිරීම මගින් මහජන නැගිටීම් සමනය කිරීමට උත්සාහ කලහ. දෙරටේ ම, වීදිවල සිටින ජනතාව මෙම නරුම හැසිරීම් ඉතා සුලු, බොහෝ ප්‍රමාද යයි ප්‍රතික්ෂේප කර, පාලන තන්ත්‍රයන් බිඳ වැට්ටීම ඉල්ලා සිටිති.

දෙරටේ ම, මහජන විරෝධතා පිටුපස ඇති ගාමක බලය වන්නේ සමාජ අසමානතාවයේ නිමක් නැති හා උග්‍ර වර්ධනය යි. ධනවත්ම සියයට 1 ධනයෙන් සියයට 58 ක ඒකාධිකාරීත්වය දරන අතර දුප්පත්ම සියයට 50 ට සියයට 1 ට අඩු සංඛ්‍යාවක් අයත් වන, ලෙබනනය දිගු කලක් තිස්සේ සලකනු ලැබ ඇත්තේ, ධනේශ්වර ආයෝජන සඳහා කලාපයේ “නිදහස් ව්‍යවසාය” ක්ෂේමභූමියක් ලෙස ය. 2017 වසරේ ලෝක බැංකු දත්තවලට අනුව, මූල්‍ය ප්‍රාග්ධනය සඳහා කලාපීය “ක්ෂේම භූමියක්” ලෙස මෑතක දී පිනේරා විසින් හඳුන්වනු ලැබූ චිලියේ, ධනවත්ම සියයට 1 ජාතික ආදායමෙන් සියයට 33 ක් ගිල දමති.

එක්සත් ජනපද පාලක ප්‍රභූවේ ප්‍රධාන හඬ වන නිව් යෝර්ක් ටයිම්ස්පත්‍රය, චිලී, ලෙබනනය සහ වෙනත් රටවල මහජන විරෝධතා පුපුරා යාම සැලකිල්ලට ගෙන ඇත්තේ, මුල් පිටුවේ ලිපියක මෙසේ අදහස් දක්වමිනි: “විශේෂඥයින් යම් රටාවක් වටහාගෙන ඇත; ප්‍රභූන්ට එරෙහිව සාමාන්‍ය තත්වයට වඩා ඝෝෂාකාරී කෑ මොර ගැසීමක් ඇති රටවල ප්‍රජාතන්ත්‍රවාදය කල කිරීමේ මූලාශ්‍රයක්ද, දූෂනය විලි ලැජ්ජාවෙන් තොරද වන අතර තරුන පරම්පරාව ජීවත් වීමට පොර බදද්දී අතිශය සුලුතර දේශපාලන පන්තියක් සුපිරි ජීවිත ගත කරති.”

ලිපියේ සිරස්තලය “ලොව පුරා මහජන කෝපය” ලෙස විස්තර කර ඇති මෙම සමාලෝචනයෙන් එක්සත් ජනපදය තුල ම සිදුවෙමින් පවතින දේ පුදුම ලෙස අතුරුදහන් වී ඇත. එය ජෝන්ස් හොප්කින්ස් උසස් ජාත්‍යන්තර අධ්‍යයන පීඨයේ සිය පීඨාධිපති ධුරයෙන් මෑතක දී ඉවත්ව ගිය “විශේෂඥයෙක්” වන වලි නස්ර් මෙසේ උපුටා දක්වයි: “එක්සත් ජනපදය හා බ්‍රිතාන්‍යය වැනි මැතිවරන තීරනාත්මක වන රටවල, පැරනි දේශපාලන පර්යාය පිලිබඳ සැක සංකා ඡන්ද විමසීමේ දී ජනතාවාදී, ජාතිකවාදී සහ සංක්‍රමන විරෝධී ප්‍රතිඵල ඇති කර ඇත. මිනිසුන්ට හඬක් නැති වෙනත් රටවල, ඔබට ඇත්තේ පුපුරා යමින් තිබෙන දැවැන්ත විරෝධතා යි. ”

ටයිම්ස් කතුවරුන් එක්සත් ජනපදයේ සිදුවෙමින් පවතින දේ ගැන අව්‍යාජ ව මතක නැතිවනසුලු ද? නැතහොත් ඔවුන් දුෂ්කර අවස්ථාවක දී හුදෙක් සතුටින් සිටීමට උත්සාහ ගනිමින් සිටී ද? ඔවුන් මෙය ප්‍රකාශයට පත් කරන්නේ දින 40 ක් තිස්සේ මෝටර් රථ කම්කරුවන් 46,000 ක් ජෙනරල් මෝටර්ස් සමාගමට එරෙහිව වැඩ වර්ජනයක යෙදී සිටින අතර රටේ දෙවන විශාලතම පාසල් දිස්ත්‍රික්කය වසා දමා ඇති, චිකාගෝවේ ගුරුවරුන් සහ පාසල් කම්කරුවන් 32,000ගේ වැඩවර්ජනය දෙවන සතියට පිවිසෙමින් සිටින අතරතුර ය. පසුගිය වසරේ එක්සත් ජනපදය තුල වැඩවර්ජනයේ යෙදී සිටි, මිලියන භාගයකට වඩා වැඩි කම්කරුවන්ගේ සංඛ්‍යාව, දශක තුනකට වැඩි කාලයක් තුල වාර්තා වූ ඉහලම අගය යි.

ටයිම්ස් වෙනත් රටවල විස්තර කර ඇති සියලු ම කොන්දේසි, එනම්, ගැඹුරු සමාජ අසමානතාවය, දූෂනය සහ වැඩකරන ජනතාවගේ අවශ්‍යතා ගැන මුලුමනින් ම නො සැලකිලිමත් වන දේශපාලන පද්ධතිය, ලෝක ධනවාදයේ කේන්ද්‍රය වන එක්සත් ජනපදය තුල ඉහල ම ප්‍රකාශනය සොයා ගනී. එහි ඉහල සියයට 1 මුලු ධනයෙන් දල වශයෙන් සියයට 40 ක් රැස්කර ගන්නා අතර සමාජ පිපිරීමක් ද න්‍යාය පත්‍රයේ ඇත.

බ්‍රහස්පතින්දා ටයිම්ස් පුවත්පත “චිලී ආර්ථික අසමානතාවයේ ප්‍රතිඵලය ඉගෙන ගනී” යන මාතෘකාව යටතේ කතුවැකියක් ද පල කලේ ය. චිලියේ “විරෝධතාකරුවන්ගේ කෝපය එදිනෙදා ජීවිතයේ කලකිරීම් වලින් උපත ලබා ඇති” බව සඳහන් කරමින් එය තවදුරටත් මෙසේ කියයි: “චිලී ජාතිකයන් ජීවත් වන්නේ අසාමාන්‍ය ආර්ථික විෂමතාවන්ගෙන් යුත් සමාජයක ය ... සන්තියාගෝවේ සමෘද්ධිය අවිවාදිත ය. ‘සැන්හැටන්’ නම් මූල්‍ය දිස්ත්‍රික්කයක් මධ්‍යයේ පිහිටා ඇති, දකුනු ඇමරිකාවේ උසම ගොඩනැගිල්ලේ ඉහල සිට බැලූ විට සුඛෝපභෝගී මහල් නිවාස, පෞද්ගලික රෝහල් සහ පෞද්ගලික පාසල් ඇති අසල්වැසි ප්‍රදේශ ඇසට පෙනෙන දුර දක්වා විහිදේ.”

“නමුත් සන්තියාගෝගේ දරිද්‍රතාවය ද කැපී පෙනේ: අගනගරයේ පිටත මායිමේ පිහිටි බිඳ වැටෙන රජයේ රෝහල්, ජනාකීර්න පාසල්, පැල්පත් නගර දැකිය හැක.”

“සන්තියාගෝවෙන් දුර බැහැර නගර මෑත කාලීන උත්පාතයට හසු නො වූ නගර වේ.”

චිලී වෙනුවට එක්සත් ජනපදය ද “සැන්හැටන්” වෙනුවට මැන්හැටන් ද ආදේශ කරන්න, එවිට සමාජ අසමානතාවය මගින් ආධිපත්‍යය දරන රටක් පිලිබඳ මෙම නිරූපනයේ වෙනස් කල යුතු දෙයක් නො තිබෙනු ඇත.

ආදායම් අසමානතාවය පිලිබඳ ව වඩාත් බහුල ව භාවිතා වන සංඛ්‍යානමය මිනුම වන ගිනි සංගුනකය, 41.5 වන එක්සත් ජනපදය 47.7 වන චිලීයට වඩා යන්තම් පහල තැනක තබ යි.

ටයිම්ස් කතුවැකිය චිලී අර්බුදය ආරෝපනය කරන්නේ ආන්ඩුවේ “පුරවැසියන්ට ඇති බැඳීම් පිලිබඳ තිරසාර නොවන පටු සංකල්පයට” ය. එය අනෙක් අතට 1973 සිට 1990 දක්වා රට පාලනය කල පිනෝෂේගේ ආඥාදායකත්වයට දොස් පවරන්නේ, “නිදහස් වෙලඳපොල තරඟය ”මත පදනම් ප්‍රතිපත්ති නියෝග කිරීම වෙනුවෙනි. එය සඳහන් කිරීමට නො සලකා හරින දෙය නම්, මෙම ප්‍රතිපත්ති කෙටුම්පත් කරන ලද්දේ චිකාගෝ විශ්ව විද්‍යාලයේ “නිදහස් වෙලඳපොලේ” කැපකරු පියා වන මිල්ටන් ෆ්‍රීඩ්මන් විසින් පුහුනු කරන ලද, ඊනියා “චිකාගෝ කොලුවන්” යැයි පටබැඳි ධනේශ්වර ආර්ථික විද්‍යාඥයින් විසින් යන්න යි.

සෞඛ්‍ය රැකවරනයේ සිට ආහාර සලාක හා විශ්‍රාමික ආදායම දක්වා අත්‍යවශ්‍ය සමාජ සේවාවන් මිලියන ගනනාවකට අහිමි කරමින්, ඩිමොක්‍රටික් මෙන් ම රිපබ්ලිකානු අනුප්‍රාප්තික එක්සත් ජනපද ආන්ඩු විසින් ද එම අත්‍යවශ්‍ය ප්‍රතිපත්ති හඳුන්වා දී ඇත්තේ, හතර දෙනෙකුගෙන් යුත් පවුලක් සඳහා ඩොලර් 25,000ක රුදුරු ලෙස පහල නිල දරිද්‍රතා අනුපාතයට වඩා පහල මට්ටමක ජීවත් වීමට පුද්ගලයන් මිලියන 40ක් ඇද දමමිනි.

චිලි හා ලෙබනනයේ උද්ඝෝෂනවල කැපී පෙනෙන ලක්ෂනය වන්නේ, නවතම කප්පාදු පියවර, ප්‍රහාර මාලාවක තවත් එක් ප්‍රහාරයක් පමනක් වන බවත්, ගෙවී ගිය වසර 30පුරා ගොඩනගා ඇති අසමාන සමාජ පිලිවෙලතට එරෙහිව තමන් සටන් කරන බවටත් දෙරටේ ම උද්ඝෝෂකයින් විසින් කර ඇති ප්‍රකාශ යි. චිලියේ, මෙම දශක තුන ආරම්භ වූයේ මිලිටරි ආඥාදායකත්වයේ අවසානය සමග වන අතර, ලෙබනනයේ සිවිල් යුද්ධයේ අවසානයත් සමග ය.

මෙය ද ගෝලීය මාරුවක ප්‍රකාශනයකි. පසුගිය වසර 30 තුල නිර්මානය කරන ලද සමාජ සම්බන්ධතා ආරම්භ වූයේ ස්ටැලින්වාදී නිලධරය විසින් සෝවියට් සංගමය තුල ධනවාදය පුනස්ථාපනය කිරීමත් සමග ය. ඒවා පදනම් වී ඇත්තේ පන්ති අරගලය මර්දනය කිරීම, සමාජ අසමානතාවයේ හා මූල්‍ය පරපුටුකමේ අඛන්ඩ වර්ධනය හා ලොව පුරා කම්කරු පන්තියෙන් ධනය විශාල ලෙස ධනවත් ප්‍රභූ පැලැන්තියකට මාරු කිරීම මත ය. අද වන විට මෙම සමාජ පර්යාය ජාත්‍යන්තර කම්කරු පන්තියේ යලි පිබිදීමක බර යටතේ වේගයෙන් ලිහෙමින් පවතී.

වෛෂයික සිදුවීම් හෙලිදරව් කරමින් තිබෙන්නේ කම්කරු පන්තිය ද සමාජවාදය සඳහා අරගලය ද කටු ගා දැමූ ව්‍යාජ වාම සංවිධානවල හා ඊනියා “වාම” ශාස්ත්‍රාලිකයන්ගේ සම්පූර්න දේශපාලන බංකොලොත්භාවය යි. ජාතිකවාදය සහ අනන්‍යතා දේශපාලනය මත පදනම් වූ ඔවුන්ගේ ඉදිරිදර්ශන තුල කිසිවෙක්, පන්ති අරගලයේ නැගී එන ගෝලීය පිපිරීම පෙර දුටුවේ නැත.

කෙසේ වෙතත්, මෙම සිදුවීම් ලෝක සමාජවාදී වෙබ් අඩවිය හා හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් තම න්‍යායාත්මක විශ්ලේෂනය හා භාවිතය යන දෙකෙහි දී ම සාරභූත ලෙස අපේක්ෂා කරන ලදී.

ලෝක ධනවාදී අර්බුදය සහ හතරවැනි ජාත්‍යන්තරයේ කර්තව්‍යයෝ යන තම 1988 ඉදිරිදර්ශන ලිපියේ දී, “අන්තර්ජාතික සංගතවල දැවැන්ත වර්ධනයත් එහි ප්‍රතිඵල වන ධනවාදී නිෂ්පාදනයේ පෘථිවිගෝලීය සංකේද්‍රනයත් විසින් ලෝකයේ කම්කරුවන් මුහුන දී සිටින කොන්දේසි වල පෙර නුවූ විරූ සමතාවයක් ඇති කර තිබේ.” යන්න මත පදනම් ව, පන්ති අරගලය අනිවාර්යයෙන්ම ගෝලීය ස්වභාවයක් අත්පත් කර ගන්නේ මන්දැ යි ජාත්‍යන්තර කමිටුව පැහැදිලි කලේ ය.

එම ලිපියේ මෙසේ සඳහන් විය: “හරයාත්මකව ජාත්‍යන්තර වන පන්ති අරගලය ජාතික වන්නේ එහි රූපයෙන් පමනකැයි යන්න මාක්ස්වාදයේ චිරකාලීන ප්‍රස්තුතයකි. කෙසේ වතුදු, ධනවාදී වර්ධනයේ අංග ලක්ෂන අනුව පන්ති අරගලයේ රූපය පවා ජාත්‍යන්තර ස්වභාවයක් ගත යුතු වේ. කම්කරු පන්තියේ අතිමූලික අරගලයන් පවා ඒවායේ කටයුකු ජාත්‍යන්තර පරිමාවකින් සම්බන්ධීකරනය කිරීමේ අවශ්‍යතාව මතු කරයි. ”

මෙය දැන් වඩාත්ම හදිසි හා සංයුක්ත දේශපාලන ප්‍රශ්නය බවට පත්ව ඇත. වත්මන් දැවන්ත සමාජ විරෝධතා හා වැඩ වර්ජන යනු ධනවාදය අහෝසි කිරීමට හා පුද්ගලික ලාභය නොව සමාජ අවශ්‍යතා සපුරාලීම සඳහා ලෝක ආර්ථිකය ප්‍රතිසංවිධානය කිරීම සඳහා ජාත්‍යන්තර කම්කරු පන්තියේ වැඩෙන විප්ලවවාදී අරගලයක ආරම්භක ප්‍රකාශනය යි.

බිල් වෑන් ඕකන්

Share this article: