මිලිටරි කඩා පැනීම් නොතකා චිලියේ අඛන්ඩ මහජන විරෝධතා

Mass protests continue in defiance of military crackdown in Chile

2019 ඔක්තෝබර් 23

සීඅයිඒ අනුග්‍රහ ලත් ඔගස්ටෝ පිනෝෂේගේ ෆැසිස්ට් කුමන්ත්‍රනයෙන් වසර හතලිස් හයක් ගත වී තිබි ය දී, චිලී කතිපයාධිකාරය සිය දහස් ගනන් කම්කරුවන් හා තරුනයින්ගේ වැඩෙන විරෝධතා මැඩපැවැත්වීම සඳහා ආඥායක පාලන රූපාකාරකට නැවත හැරෙමින් සිටී.

පුද්ගලීකරනය කරන ලද විශ්‍රාම වැටුප් හා උපයෝගිතා, දරිද්‍රතා වැටුප් සහ කුරිරු කම්කරු රෙගුලාසි ඇතුළු දශක ගනනාවක් තිස්සේ පැවති සමාජ ප්‍රතිවිප්ලවය සම්බන්ධයෙන් ඇති වූ දැඩි කෝපය විසින් මෙම විරෝධතා පොලඹවා ඇත. ඊට ප්‍රතිචාර වශයෙන්, සෙබස්තියන් පිනෙරා පාලනාධිකාරිය වහ වහා, පිනෝෂේ යටතේ පිහිටුවන ලද 1980 ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පිහිට පතා ඇති අතර, එදා පැවති අයුරින් මෙන්ම ෆැසිස්ට් නිලධාරීන්ගේ පාලනය යටතේ පවතින පොලිස් රාජ්‍ය උපකරන වල බලය ක්‍රියාත්මක කර ඇත.

සෙනසුරාදා, පිනෙරා හදිසි නීතිය පනවා, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් අත්හිටුවා, හමුදාව යෙදවා, සන්තියාගෝ හා අනෙකුත් ප්‍රධාන නගර හරහා රාත්‍රී කාලයේ ඇඳිරි නීතිය පැනවී ය.

ප්‍රහාරක රයිෆල් තුවක්කු සහිත යුද ටැංකි හා මිලිටරි භට කන්ඩායම් ප්‍රධාන චතුරශ්‍ර හා පාලම්වල උද්ඝෝෂකයින්ට පහර දී ඇත්තේ, චිලී ජාතික පොලිස් හමුදාව (කැරබිනෙරෝ පොලිසිය), ජල කාලතුවක්කු සහ හෙලිකොප්ටර් යානා ද සමගිනි. සමාජ මාධ්‍යවල වීඩියෝ පට මගින් පෙන්වා ඇත්තේ සාමාන්‍ය ඇඳුම් පවා ලා ගත්, සොල්දාදුවන්, දිවා කාලයේ සහ රාත්‍රියේ ජීව උන්ඩ විදිමින්, විරෝධතාකරුවන්ගේ පින්තූර ගනිමින් හා ඔවුන් තම නිවහන් ප්‍රදේශවලින් පැහර ගනිමින් සිටින බව යි.

අඟහරුවාදා චිලියේ මොනේඩා ජනාධිපති මන්දිරය සිවිල් වැසියන් 15 දෙනෙකු මියගොස් ඇති බව තහවුරු කලේ ය. සන්තියාගෝ නගරයේ ප්‍රවාහන ගාස්තු ඉහල දැමීම නිසා ඇවිලුනු පෙලපාලි, සමාජ අසමානතාවයට එරෙහි පුළුල් ඉල්ලීම් අන්තර්ගත කරගනිමින්, රට පුරා ව්‍යාප්ත වූ සිකුරාදා සිට විරෝධතාකරුවන් 2,600 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගත් බව එය කියා සිටී.

ජාතික මානව හිමිකම් ආයතනයට අනුව, අවම වශයෙන් පුද්ගලයින් 88 දෙනෙකු වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇති අතර, මිලිටරිය ඉරිදා ලා සෙරොනා හි ද සඳුදා කොරිකෝ හි ද අවම වශයෙන් පෙලපාලිකරුවන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ. දෙවන සිද්ධිය ගැන සඳහන් කරමින්, අභ්‍යන්තර උප ලේකම් රොඩ්රිගෝ උබිල්ලා අඟහරුවාදා අනතුරු ඇඟවූයේ, “5 වන මාර්ගයේ ඊයේ රාත්‍රියේ සිදුවූ මරනය වාර්තා කල නො හැකි පුද්ගලයෙකුගේ ය. රාජ්‍ය අමාත්‍යාංශය යමක් දැනුම් දීම තහනම් කල විට එය තහනමකි” යනුවෙන් පවසමිනි.

චිලී කම්කරු පන්තිය පැහැදිලි කර ඇත්තේ ඒකාධිපතිත්වය නැවත පැමිනීමට තමන් දැඩි ලෙස විරුද්ධ වන බව යි. මිලිටරි කඩාපැනීම් හා හදිසි තත්වය අවසන් කිරීම සඳහා මහා වැඩ වර්ජනයක් ඉල්ලා සිටීමෙන් පසු, නැව් තටාක කම්කරුවන් ප්‍රධාන වරායන් වසා දැමූ අතර, රටේ විශාලතම එස්කොන්ඩිඩා පතලේ තඹ පතල් කම්කරුවෝ සඳුදා වැඩවර්ජනය කලහ.

චිලියේ වර්ධනයන් ජාත්‍යන්තර ව කම්කරු පංතියේ සටන්කාමීත්වයේ නැගීමක කොටසකි. ලතින් ඇමරිකාව තුල ඉක්වදෝරය හ හොන්ඩුරාස් හි කප්පාදුවලට එරෙහි මහා වැඩවර්ජන හා උද්ඝෝෂන පවත්වා ඇත. ගෝලීය ධනවාදයේ කේන්ද්‍රය වන එක්සත් ජනපදය තුල මෝටර් රථ කම්කරුවන්, පතල් කම්කරුවන් හා ගුරුවරුන්ගේ වැඩවර්ජන, ප්‍රංශයේ දුම්රිය කම්කරුවන්ගේ දහස් ගනනකගේ හදිසි වැඩවර්ජනය, මෙන් ම එක්සත් රාජධානියේ තැපැල් කම්කරුවන් 110,000 ක ඉතා ප්‍රබල ලෙස විශාල වැඩ වර්ජන ඡන්දයකට අනුමැතිය දීම ඇතුලත් වැඩවර්ජන රැල්ලක් ඉදිරියට පෙරට යමින් තබේ.

කම්කරු පන්තියේ කොටස් වඩ වඩා උද්ඝෝෂනවලට හා වැඩවර්ජනවලට මැදිහත් වීම වැලැක්වීමට නොහැකි ව, චිලියේ ප්‍රධාන වෘත්තීය සමිති සම්මේලනය වන ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂය (සීපී) විසින් පාලනය කරනු ලබන කම්කරුවන්ගේ එක්සත් කේන්ද්‍රයට (සීඅයිටී), එය පවසන පරිදි “අප ආන්ඩුවේ ප්‍රතිචාරය ද ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවල වත්මන් අර්බුදය ද ඉක්මනින් බේරුම් කරන තෙක්” මහා වඩවර්ජනයක් කැඳවීමට ඔවුන්ට බල කෙරුනි.

පාලක පන්තිය තුල නාමික විපක්ෂය වෙනුවෙන් කතා කරමින්, සෙනෙට් සභාවේ සභාපති ජෙයිම් ක්වින්ටනා අඟහරුවාදා මෙසේ ප්‍රකාශ කලේය. “ඒකාන්ත ලෙස, විපක්ෂය වශයෙන්, අපි පිනෙරා රජය අස්ථාවර කිරීමට උත්සාහ නො කරන්නෙමු. එය වහා ම ක්ෂනික ප්‍රතිලාභ සහිත සමාජ වැඩසටහනකට අනුබල දීම හා නිවේදනය කිරීමට තමන් ම ම ඉඩ දිය යුතු ය.” ක්වින්ටනා නායකත්වය දෙනු ලබන්නේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා පක්ෂයට යි, එය 1990 දී පිනෝෂේ බලයෙන් ඉවත්වීමෙන් පසු ගත වූ වසර 30 ක කාලය තුල වසර 25ක් සමාජවාදී පක්ෂය, ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂය හා ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදීන් සමග රට පාලනය කල හවුල් ආන්ඩුවට නායකත්වය දුන්නේ ය.

පෙර පැවති පාලක සභාගවලටද ප්‍ර‍ධාන පක්ෂ හවුල්වූ ව්‍යාජ වාම පුලුල් පෙරමුනු සභාගය, විරෝධතාවරුවන් “පිලිගත නො හැකි අතර සාධාරනය කල නො හැකි ලෙස විනාශකාරී” යැයි හෙලා දකිමින් මර්දනය යුක්තිසහගත කර තිබේ.

මෙම ප්‍රකාශ ප්‍රදර්ශනය කරන්නේ, වර්ධනය වන සමාජ විරෝධය පන්ති සතුරා හා එහි මර්දනකාරී සංවිධාන පිටුපස බැඳ දමා තබමින්,වෘත්තීය සමිති, ස්ටැලින්වාදීන් හා සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්, චිලී කම්කරු පන්තිය සම්බන්ධ තම ඓතිහාසික පාවාදීම් නැවත නැවතත් ක්‍රියාත්මක කරමින් සිටින බව යි.

පිනෝෂේගේ කුමන්ත්‍රනයට පෙර, එක්සත් ජනපද පිටුබලය ලත් එඩ්වාඩෝ ෆ්‍රෙයිගේ ව්‍යාපාරික ගැති ප්‍රතිපත්තිවලට එරෙහිව විප්ලවීය නැගිටීමක්, මෙම බලවේග විසින් හරවා යවන ලද්දේ සැල්වඩොර් ඇලන්ඩේ විසින් නායකත්වය දෙන ලද “යුනිඩෑඩ් පොපයුලර්” නම් මහජන පෙරමුන සඳහා සහාය පසුපස ය. 1969 සිට 1973 දක්වා කාලය අතරතුර කම්කරු පන්තියේ නැගිටීම් කර්මාන්තශාලා හා ඉඩම් වාඩිලා ගැනීම් සහ කම්කරුවන් විසින් පාලනය කෙරුනු කම්හල්වල කාර්මික ජාල (cordones industriales) ගොඩනැගීමත් සමග උච්ච අවස්ථාවට පැමිනියේ ය.

වොෂින්ටන් සහ චිලී මිලිටරියේ හා පාලක පන්තියේ ෆැසිස්ට් කන්ඩායම් විසින් සැලසුම් කරන ලද ලඹ දෙන හමුදා කුමන්ත්‍රනයක් ගැන දැන සිටිය ද, යුනිඩෑඩ් පොප්‍යුලර් නායකයින්ගේ හමුදාව “නිල ඇඳුමින් සැරසුනු පුද්ගලයන්” ලෙස ප්‍රචාරය කලේ, ඉදිරියේ දී සිදුවීමට නියමිත කුමන්ත්‍රනයට එරෙහිව සටන් කිරීමට කම්කරුවන් සන්නද්ධ කරන ලෙස කාර්මික ජාල විසින් කරන ලද ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන අතර ය . ඔවුහු ඒ වෙනුවට වැඩ වර්ජන හා වාඩිලා ගැනීම් මර්දනය කිරීම සඳහා සොල්දාදුවන් යෙදවූහ. තම විප්ලවවාදී අභිලාෂයන් වෙනුවෙන් ස්වාධීන ව සටන් කිරීමට තමන්ගේම පක්ෂයක් නො තිබීම හේතුවෙන්, 1973 හමුදා කුමන්ත්‍රනය හා පිනෝෂේචේ යටතේ ෆැසිස්ට් මර්දනය හමුවේ කම්කරුවන් පාවා දී ශාරීරිකව හා දේශපාලනිකව නිරායුධ කෙරුනි.

චිලියේ පිනොෂේ රූපාකාරයේ මර්දනය පුනරුත්ථාපනය කිරීම ජාත්‍යන්තර ක්‍රියාවලියක කොටසකි. කැටලෝනියාවේ පොලිස් රාජ්‍ය මර්දනය, ඉක්වදෝරයේ මිලිටරි මර්දනය සහ ජර්මනිය, බ්‍රසීලය හා එක්සත් ජනපදයේ ෆැසිස්ට්වාදයේ වර්ධනය දශක තුනකට පමන පෙර සෝවියට් සංගමය විසුරුවා හැරීම ඉතිහාසයේ අවසානය සලකුන කලේ යැයි ධනේශ්වර දෘෂ්ටිවාදීන් කල ප්‍රකාශ පුපුරැවා හරි යි. සමාජ විරෝධය හා පන්ති අරගලයේ වර්ධනයට ප්‍රතිචාර වශයෙන් පාලක ප්‍රභූහු 20 වන සියවසේ සියලු දේශපාලන කැලිකසල හා ප්‍රතික්‍රියා පුනුරුත්ථාපනය කරමින් සිටිති.

පාලක පන්තිය ඒකාධිපතිවාදයට හැරීම පිටුපස ඇති මූලික සාධකය වන්නේ සමාජ අසමානතාවයේ අසීමිත වර්ධනය යි, එය ප්‍රජාතන්ත්‍රවාදී පාලන රූපාකාර සමඟ නො ගැලපේ. චිලී හි, අසමානතාවය 1882 මට්ටමට ආපසු ගොස් ඇත, එවක කතිපයාධිකාරී එඩ්වර්ඩ්ස් පවුලේ පතල් හා බැංකුවල ධනය චිලියේ දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට හතකට සමාන විය.

අද වන විට ඩොලර් බිලියන 17.4 ක් වන ලුස්සික් පවුලේ ධනය දල වශයෙන් දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට හයකට සමාන වේ. එක්සත් ජනපද හා යුරෝපීය අධිරාජ්‍යවාදයට සමීපතම සම්බන්ධතා ඇති කතිපයාධිකාරීහු අතලොස්සක් ආන්ඩුවේ සෑම මට්ටමක්ම පාලනය කරති. මෙයට කෝටිපති ජනාධිපති සෙබස්තියන් පිනෙරා ද ඇතුල ත් ය. වෘත්තීය සමිති, කොමියුනිස්ට් පක්ෂය, පුලුල් පෙරමුන හා ඔවුන්ගේ ක්ෂමාලාපකයින් විසින් නියෝජනය කෙරෙන ඉහල මධ්‍යම පංතියේ ස්ථර සමාජ අසමානතාවයට හා ධනවාදයට එරෙහි ඕනෑ ම විරෝධතාවකට සතුරු ය.

1973 චිලී හි ලේවැකි පාවාදීමේ පාඩම් චිලී හා ජාත්‍යන්තර ව ධනවාදයට එරෙහිව පන්ති අරගලයට අවතීර්න වෙමින් සිටින කම්කරුවන්ට මූලෝපායික ව වැදගත් ය.

කම්කරු පන්තිය විසින් අනතුරු ඇඟවීමක් ලෙස ගත යුතු දේ ගැන බ්ලූම්බර්ග් තීරු රචක ජෝන් ඕතර්ස් අඟහරුවාදා මෙසේ ලිවී ය, “එය සන්තියාගෝහි සිදුවිය හැකි නම්, එය ඕනෑම තැනක සිදුවිය හැකි ය. එය චිලියේ සිවිල් පර්යාය හදිසියේ බිඳවැටීමෙන් සෙසු ලෝකය ගත යුතු අපහසු පනිවිඩයකි. ”

ගෝලීය ආර්ථිකයේ “සම්පතන මන්දගාමිත්වයක්” හා භූදේශපාලනික ගැටුම් උත්සන්න වන බවට ජාමූඅ අනතුරු අඟවා ඇති පරිදි, සෑම තැනකම පාලක පන්තිය පෙන්නුම් කරමින් සිටින්නේ තම ධන සම්පත්වලට ඇති ඕනෑ ම බාධාවකට තමන් කුරිරු ලෙස විරුද්ධ වන බවයි.

චිලියේ සිදුවීම්වලින් පෙනී යන්නේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට හා අසමානතාවයට එරෙහි වීමට කම්කරු පන්තිය මූලිකත්වය ගත යුතු බව යි. කෙසේ වෙතත්, මහජන පෙරමුනේ ව්‍යසනකාරී පාවාදීම් වලක්වා ගැනීම සඳහා, ගෝලීය වශයෙන් පන්ති අරගලවල ස්වයංසිද්ධ රැල්ල සවිඥානික ව සමාජවාදී හා ජාත්‍යන්තරවාදී ක්‍රිමාර්ගයකින් සන්නද්ධ කල යුතු ය. මෙයින් අදහස් කරන්නේ චිලි හා ලතින් ඇමරිකාව පුරා හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශාඛා ගොඩනැගීම යි.

ඇන්ඩ්‍රියා ලොබෝ

බිල් වෑන් ඕකන්

Share this article: