අබූ බකර් අල්-බග්ඩාඩි හා ඉරාකයේ අමතක කල අතීතය

Abu Bakr al-Baghdadi and the forgotten history of Iraq

2019 ඔක්තෝබර් 29

ඇමරිකානු ජනාධිපතිවරයෙකුගෙන් මින් පෙර කිසි දා නො ඇසූ ලේ පිපාසිත බවකින් හා ම්ලේච්ඡත්වයකින් යුතුව, ඔක්තෝබර් 27දා උදෑසන එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අබූ බකර් අල්-බග්ඩාඩි ඝාතනය කිරීම නිවේදනය කලේ ය.

“ඉකි බිඳිමින්, කෙඳිරිගාමින් හා අඬමින් ...ඔහු බල්ලෙකු සේ මිය ගියා” යි ට්‍රම්ප් ප්‍රකාශ කලේ ය. ඔහු සජීවී ව නැරඹූ එක්සත් ජනපද හමුදා ප්‍රහාරයේ අවස්ථා, “ඔබට චිත්‍රපටයක් නරඹන්නාක් වැනි හැඟීමක් ඇති කරන ...දැකීම මවිතකර වූ දෙයකි” යි ඔහු ඊට එකතු කලේ ය. ධවල මන්දිරය පවසන පරිදි මෙයට බැග්ඩාඩි ඔහුගේ දරුවන් තිදෙනෙකු ඉදිරියේ විනාශ වීම ඇතුලු විය යුතුව තිබුනි.

“ලෝකයේ නායකයා” යි උපකල්පිත ජනාධිපතිවරයා බග්ඩාඩිගේ මලමිනිය පිලිබඳ ව උදම් ඇනුවේ, ප්‍රතිප්‍රහාරයන් ඇවිලවීමට ම පාහේ ගනන් බලන ලද භාෂාවකින් කතා කල තුච්ඡ මැරයෙකු මෙනි.

අබූ බකර් අල්-බග්ඩාඩි අති දුෂ්ට අපරාධ කල බවට සැකයක් නැත. ඔහු නායකත්වය දුන් සංවිධානය දහස් ගනන් ජනයා ඝාතනය කර තිබේ. එහෙත් ඔහු ව නිර්මානය කල හේතූන් සම්බන්ධයෙන් මාධ්‍ය හා දේශපාලන සංස්ථාපිතය මුලු‍මනින් ම නිහඬ ය. සාමාන්‍ය ආස්ථානය වන්නේ, ට්‍රම්ප්ගේ ඝාතක මෙහෙයුම ප්‍රශංසාවට ලක්කල යුතු බවත්, එය හුදෙක් ම සිරියාවෙන් හා මැද පෙරදිගින් භටයන් ආපසු කැඳවීමේ දී හෝ එක්සත් ජනපද මිලිටරි-ඔත්තු සේවා යාන්ත්‍රනය විවේචනය කිරීමේ දී ට්‍රම්ප් පරිපාලනය වැරදි බව ප්‍රදර්ශනය කරන බවත් ය.

ප්‍රහාරය “ශක්තිමත් සන්ධාන, ඔත්තු සේවා ඒජන්සි කෙරෙහි වන විශ්වාසය හා ලොව පුරා මිලිටරි බලය ප්‍රක්ෂේපනය කිරීම යන සාම්ප්‍රදායික ඇමරිකානු ශක්තීන් තුනෙහි වටිනාකම සනාථ කල” බව ඔක්තෝබර් 28දා මුල් පිටුවේ ලියූ වාර්තාකාර ඬේවිඞ් සැන්ගර් අයත් නිව් යෝක් ටයිම්ස් පත්‍රය විසින් මෙම ආස්ථානය විදහා පානු ලැබී ය.

ප්‍රහාරයේ ප්‍රතිඵලය “සිරියාව තුල එක්සත් ජනපද මිලිටරියේ රැඳවීම් අඩුකිරීමට (ට්‍රම්ප් දරන) තල්ලු‍වේ ඥානාන්විත බව පිලිබඳ සැකයන් සමනය කිරීමට කලේ අල්ප මාත්‍ර දෙයක්” බව සැන්ගර් ලිවී ය.

ඉරාකය හා පලල් මැද පෙරදිග කලාපය තුල ඇමරිකානු අධිරාජ්‍යවාදී මෙහෙයුම්වල සැබෑ හා ලේවැකි ඉතිහාසය ලෝකය විසින් අමතක කරනු ලැබීමට කැමති වන, ඩිමොක්‍රටික් පක්ෂය වෙනුවෙන් කතාකරන ටයිම්ස් පත්‍රය, අයිඑස්අයිඑස් ඉස්මතු වූ “එක්සත් ජනපදයේ මිලිටරි බලය ප්‍රක්ෂේපනය කිරීම” ගැන උස් හඬින් සඳහන් කරයි. බැග්ඩාඩි ම ගත් කල, ඔහු එක්සත් ජනපදයේ හතුරෙකු හෝ සීඅයිඒ වත්කමක් හෝ දෙකම හෝ වේවා, එක් දෙයක් නිශ්චිත ය: එනම්, ඔහු වනාහි දශක හතරක් දිග හැරෙන එක්සත් ජනපද ආන්ඩුවේ අපරාධකාරී ක්‍රියාවන්හි අතුරු ඵලයක් බව යි.

බග්ඩාඩි 1971 දී ඉරාකයේ සමාරා අසල උපත ලැබී ය. ඔහුගේ ගැටවර වියේ, එක්සත් ජනපදයේ පිටුබලය ලත් ඉරාකය, රටවල් දෙක ම සන්ත්‍රාසයට පත්කරමින් ජීවිත මිලියන ගනනක් බිලිගත් යුද්ධයක් ඉරානයට එරෙහි ව දියත් කලේ ය.

පලමු බුෂ් පරිපාලනය යටතේ එක්සත් ජනපදය ඉරාකය ආක්‍රමනය කොට, 100,000කට අධික ඉරාක වැසියන් ඝාතනය කල මිලිටරි සංහාරයක් දියත් කරන විට ඔහු විසි හැවිරිදි විය. මින් පසුව පැමිනියේ, තක්සේරු කෙරී ඇති පරිදි ලමුන් 500,000ක් මරා දමමින් ක්ලින්ටන් පරිපාලනය යටතේ වෙලඳ හා ආර්ථික සම්බාධක පැනවූ දශකය යි.

එතැන් සිට දෙවන බුෂ් පරිපාලනය විසින් 2003 දී දෙවන ආක්‍රමනය දියත් කලේ ය. තෙල් සම්පත් හේතුවෙන් විශාල වසයෙන් අනාරක්ෂිත රටක් කෑදර ලෙස කොල්ල කෑම ඉලක්ක කරගත් මෙම යුද්ධය, මාධ්‍ය හා ඩිමොක්‍රටික් පක්ෂය විසින් මුලු‍මනින් ම ගිල දැමූ කුදුමහත් බොරු මත පදනම් විය. සමස්ත ලෝකයේ ඇස් ඉදිරියේ එක්සත් ජනපදය ආක්‍රමනකාරී යුද්ධයක් ගෙන ගිය අතර, එයට වගකිව යුත්තන් යුද අපරාධ අධිකරන ඉදිරියට කැඳවනු ලැබිය යුතු විය.

ඉරාකය ආක්‍රමනය කිරීම හා වාඩිලා ගැනීම ලෝක සමාජවාදී වෙබ් අඩවිය විසින් “සමාජයක් ඝාතනය කිරීම” යයි විස්තර කල පරිමානයේ මරන හා විනාශ ජනනය කලේ ය. වරක් මැද පෙරදිග වඩාත් ම දියුනු හා සංවර්ධිත රටක් වූ ඉරාකය, එක්සත් ජනපද ආක්‍රමනය විසින් පුපුරුවා හරිනු ලැබී ය. පුද්ගලයන් මිලියනයකට අධික සංඛ්‍යාවක් ඝාතනය කරන ලද අතර, තවත් මිලියන ගනනක් සරනාගතයන් බවට පත් විය.

ඇමරිකානු භටයන් විසින් රැඳවියන් බියකරු වධ බන්ධනයන්ට හා දූෂනයන්ට භාජනය කිරීම ගැන කුප්‍රකට අබූ ග්‍රයිබ් බන්ධනාගාර සංකීර්නයේ දී බග්ඩාඩි 2004 වසරේ රඳවනු ලැබී ය. එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් නිදහස් කරනු ලැබීමට පෙර, ඔහු දකුනු ඉරාකයේ කෑම්ප් බුකා බන්ධනාගාරයේ වසර පහකට ආසන්න කාලයක් සිරගත කරනු ලැබ සිටියේ ය.

2007 දී එක්සත් ජනපදයේ විදෙස් පිලිවෙතෙහි “යලිදිශාගත වීමක්” මාධ්‍යවේදී ‍සෙයිමුර් හර්ෂ් විසින් විස්තර කලේ ය. “බහුතරය ෂියායිට්වරුන් සිටින ඉරානයට වලකැපීම සඳහා, බුෂ් පරිපාලනය මැද පෙරදිග තුල එහි ප්‍රමුඛතාවන් යලි හැඩගැස්වීමට තීරනය කලේ ය ...ඉරානය හා එහි සගයා වන සිරියාව ඉලක්ක කරගත් රහසිගත මෙහෙයුම්වලට ද එක්සත් ජනපදය සහභාගි වී තිබුනි. මෙම ක්‍රියාකාරීත්වයන්ගේ අතුරු ඵලයක් වී ඇත්තේ අල්-කයිඩාවට හිතවත් සුන්නි අන්තවාදී කන්ඩායම් ශක්තිමත් වීම යි.”

බොහෝ කොට ඔබාමා විසින් දිශාගත කල ඉන් අනතුරු ව පැමිනි එක්සත් ජනපද පිටුබලය ලත් සිරියාවේ “විප්ලවය,” බොහෝ සෙයින් අල්-කයිඩාවට සමීප සබඳතා තිබූ ඉස්ලාමීය හමුදාවන්ට ආයුධ හා මුදල් එක්සත් ජනපදය විසින් පොම්ප කිරීම දැකගත් මෙම “යලි දිශාගත කිරීමේ” නිෂ්පාදිතය විය.

2013 දී “ඉරාකයේ හා නැගෙනහිර මධ්‍යධරනියේ ඉස්ලාමීය රාජ්‍යය” ගොඩනැගීම නිවේදනය කල බග්ඩාඩි, ජභාත් අල්-නුස්රාවේ (අල්-කයිඩා) විදෙස් සටන්කරුවන් බොහොමයක් දෙනාගේ පාලනය සියතට ගත් අතර අසාද් තන්ත්‍රය බලයෙන් පහකිරීමේ එක්සත් ජනපද ආන්ඩුවෙහි උත්සාහයන්හි දී “මූලික භූමිකාවක්” ඉටු කරමින් සිටින්නේ යයි ටයිම්ස් වාර්තා කලේය.

අල්-කයිඩාවට සම්බන්ධ කන්ඩායම එක්සත් ජනපදය විසින් එකහෙලා ප්‍රතික්ෂේප කිරීමට එරෙහි ව ටයිම්ස්අනතුරු ඇඟවූයේ, “එක්සත් ජනපදය සහාය දීමට ඉලක්ක කරන කැරලිකාරීත්වයේ හොඳ ම සටන්කරුවන්ට එරෙහි ව එය පිහිටුවනු ඇත” යි ලියමිනි. “බොහෝ සිරියානු කැරලිකරුවන්...එය සමග සමීප ව වැඩකරන අතර එයට ආකර්ශනය වේ” යි ටයිම්ස් සඳහන් කලේ ය.

නිව් යෝක් ටයිම්ස්, වොෂින්ටන් පෝස්ට් හෝ ගුවන් විදුලි ප්‍රවෘත්ති ජාලයන්හි වර්තමාන අදහස් දැක්වීම්වලට මෙම ඉතිහාසයෙන් කිසිවක් අඩංගු වන්නේ නැත.

ට්‍රම්ප් කෙරෙහි වන සකල විරුද්ධත්වය යුද්ධයට දෙන සහයෝගයක් බවට රාමුගත කිරීමේ ඔවුන්ගේ උත්සාහයන්ගේ කොටසක් ලෙස, මාධ්‍යවලට හා ඩිමොක්‍රටික් පක්ෂයට එක්සත් ජනපදය විසින් සිදු කරන බියකරු අපරාධ ගනන් ගැනීමක් අවශ්‍ය නො කරයි. මියගිය මිලියන ගනනක්, වධබන්ධන පැමිනවීමේ ඡායාරූප හා යුද අපරාධ පිලිබඳ සාක්ෂි මතකයෙන් අතුගා දැමීම ඔවුන්ට අවශ්‍ය ය.

වියට්නාමයේ දී ලද අන්ත පරාජයෙන් පසුව දශක ගනනක් පුරා පැවතුනු මහජන යුද-විරෝධී මනෝගතියට අනුගත වීමට ඩිමොක්‍රටික් පක්ෂයට තවමත් බලකෙරුනු 1990 දී, ඉරාකය ආක්‍රමනය කිරීමට බලය දෙන යෝජනාවකට (මෙය සම්මත වන බව ඩිමොක්‍රටිකයෝ දැන සිටිය හ) එරෙහි ව එහි සියලු‍ ම සෙනෙට් සභිකයෝ පාහේ ඡන්දය දුන් හ. ඉන් දශකයකට පසුව, එක්සත් ජනපදයේ හා ලොව පුරා මිලියන ගනන් ජනයා 2003 ඉරාක යුද්ධයට එරෙහි ව පෙලපාලිවල යෙදුනේ, ඉතිහාසයේ විශාලතම සම්බන්ධීකෘත ගෝලීය විරෝධතා පෙන්නුම් කරමිනි. එහෙත් මෙම පෙලපාලි ඩිමොක්‍රටික් පක්ෂයට යටත් කර තිබීම මගින් හුස්ම හිරකරවන ලද අතර, එම පක්ෂය අවුරුදු 16කට පසුව මැද පෙරදිග තුල එක්සත් ජනපද මිලිටරි ගැලී සිටීමේ වඩාත් ම අධිෂ්ටානවත් වක්තෘවරයා ලෙස ඉස්මතු වී තිබේ.

බින් ලාඩන් මරා දැමීම ගැන මෙන් ම බග්ඩාඩි මරා දැමීම ගැන ප්‍රතිචාර දැක්වීමේ දී, මාධ්‍ය ආමන්ත්‍රනය කරමින් සිටින්නේත් ඇවිලවීමට උත්සාහ කරන්නේත් වඩාත් ම ප්‍රාථමික හා ප්‍රතිගාමී සහජාසයන්ට ය. එහි දී ඔවුන් සාර්ථක වුවහොත්, එය වඩා වැඩි ලේහැලීම් හා ප්‍රචන්ඩත්වයට අවස්ථාව වනු ඇත.

ඉරාකය තුල එක්සත් ජනපද අධිරාජ්‍යවාදී ප්‍රචන්ඩත්වයේ සැබෑ ඉතිහාසය කම්කරු පන්තිය විසින් අමතර නො කරනු ඇති අතර, වර්තමාන හා අනාගත අපරාධ විරුද්ධත්වයට භාජනය නො වී නො තිබෙනු ඇත. යුද්ධය කෙරෙහි වන ගැඹුරු හා අචල හතුරුකම, අධිරාජ්‍යවාදී ම්ලේච්ඡත්වය පරාජය කොට එයට වගකිව යුතු අය නීතිය ඉදිරියට ගෙන ඒම සඳහා වන බලගතු ව්‍යාපාරයක් තුල පන්ති අරගලයේ වර්ධනයට සම්බන්ධ කරනු ලැබිය යුතු ය.

අන්ද්‍රේ ඩැමොන්

Share this article: