දෝෂාභියෝග දෙකක් සංසන්දනය කිරීම

Comparing two impeachments

2019 නොවැම්බර් 2

ඩොනල්ඞ් ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝග පරීක්ෂනය විධිමත් කිරීම සඳහා බ්‍රහස්පතින්දා එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මන්ඩලයේ ඡන්ද විමසීමේ ආලෝකය තුල, වොෂිංටනයේ දැන් දිග හැරෙමින් පවතින සිදුවීම් මීට වසර 45 කට පෙර රිචඞ් නික්සන් ට ඉල්ලා අස්වීමට හේතු වූ සිදුවීම් හා සැසඳීම වටී.

1974 ජූලි මාසයේ දී නික්සන්ට එරෙහිව දෝෂාභියෝගයේ දී ව්‍යවස්ථාමය පදනම් තුනක් කොංග්‍රස් අධිකරන කමිටුව විසින් අනුමත කරන ලදී. දෝෂාභියෝගයට සෘජු හේතුව වූයේ නික්සන් “ධවල මන්දිර කොල්ලකරුවන්” නමින් හැඳින්වෙන චෞරයන් රංචුවකට ඩිමොක්‍රටික් ජාතික කමිටුවේ කාර්යාලවලට කඩා වැද සවන් දීමේ උපකරන සවි කිරීමට නියම කල වෝටර්ගේට් සෝලිය යි.

1973 මැයි 17 වන දින වොෂිංටන් ඩී.සී. හි සෙනෙට් වෝටර්ගේට් විමර්ශන කමිටුවේ සාමාජිකයින් [අනුග්‍රහය: ඒපී ඡායාරූපය]

කෙසේ වෙතත්, දෝෂාභියෝග පරීක්ෂනයෙන් පරිපාලනය විසින් කරනු ලැබූ වඩා පුලුල් පරාසයක අපරාධ අනාවරනය කරන ලදී. කමිටුවේ විවාදයට ලක් වූ දෝෂාභියෝග චෝදනා පහ අතර එකක් වූයේ වියට්නාම් යුද්ධයට සම්බන්ධව “කාම්බෝජයේ ඇමරිකානු බෝම්බ හෙලීමේ මෙහෙයුම් පැවතීම, ඒවා පැතිර තිබූ පරිමානය සහ ස්වභාවය පිලිබඳව ව්‍යාජ හා නොමග යවන සුලු ප්‍රකාශයන්” නික්සන් විසින් “කොංග්‍රසයට ඉදිරිපත් කිරීම” ය.

වෝටර්ගේට් වලට පෙරාතුව ම නික්සන්ගේ “කොල්ලකාරයන්ගේ” පලමු කටයුත්ත වූයේ ඩැනියෙල් එල්ස්බර්ග්ගේ මනෝචිකිත්සකයාගේ කාර්යාලයට සොරෙන් ඇතුලු‍ වීමයි. පෙන්ටගන් ලේඛන එලි කල පුද්ගලයා අපකීර්තියට පත් කිරීම මෙහි අරමුන විය. ධවල මන්දිරය යුද්ධය කරගෙන ගිය ආකාරය පිලිබඳව “මහජනයාට පමනක් නොව කොංග්‍රසයට ද ක්‍රමානුකූලව බොරු කීවේය”.

එක් විචාරකයෙකු සඳහන් කල පරිදි මෙම සොරකම මගින් “වියට්නාමය සහ වෝටර්ගේට් 1961 සිට 1975 දක්වා දිව යන එකම වෘත්තාන්තයක් ලෙස එකිනෙක සම්බන්ධ කරයි.”

එක්සත් ජනපද සෙනෙට් සභාවේ නිල ඉතිහාසයේ සඳහන් වන්නේ “1973 දී සෙනෙට් වෝටර්ගේට් කමිටු පරීක්ෂනයෙන් විධායකය ව්‍යවස්ථානුකූලව ප්‍රශ්නකාරී දේශීය ආරක්ෂක මෙහෙයුම් සිදු කරන ලෙස ජාතික බුද්ධි අංශවලට උපදෙස් දී ඇති බව අනාවරනය විය” යනුවෙනි. “1974 දී පුලිට්සර් ත්‍යාගලාභී මාධ්‍යවේදියෙකු වූ සෙමෝර් හර්ෂ් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ මුල් පිටුවේ ලිපියක් පල කරමින් කියා සිටියේ සීඅයිඒ සංවිධානය ඒජන්සියේ ප්‍රඥප්තිය උල්ලංඝනය කරමින් දශකයකට වැඩි කාලයක් තිස්සේ යුද විරෝධී ක්‍රියාකාරීන් ගැන ඔත්තු බැලූ බවය.”

සීඅයිඒ, එන්එස්ඒ සහ එෆ්බීඅයි හි අපයෝජනයන් පිලිබඳව විමර්ශනය කල චර්ච් කමිටුව පිහිටුවීමට හේතු වූයේ මෙම සිදුවීම්ය. කමිටුවේ සොයාගැනීම් පිලිබඳව අදහස් දක්වමින් සෙනෙට් සභික ෆ්‍රෑන්ක් චර්ච් අනතුරු ඇඟවූයේ “ඇමරිකාව පූර්න ව කෘරත්වයට පත් කිරීමේ හැකියාව එන්එස්ඒ සතුව ඇති හෙයින් කවදාවත් ඒ අගාධය ට නොවැටෙන ලෙස මෙම ආයතනය නීතියේ රාමුව තුල සහ නිසි අධීක්ෂනය යටතේ ක්‍රියාත්මක වන බවට අප වග බලා ගත යුතුය.”

අවුරුදු දොලහකට පසු, වොෂිංටනයේ තවත් අර්බුදයක් පැන නැගි අතර, එය රොනල්ඞ් රේගන් ව දෝෂාභියෝගයට ලක්වීමේ ආසන්නයට පැමිනියේය. ඔහු බේරුනේ ඩිමොක්‍රැටිකයින් ඔහුව ඉවත් කිරීමට අකමැති වීම නිසා පමනි.

නිකරගුවාවේ සැන්ඩිනිස්ටා තන්ත්‍රයට එරෙහි නීතිවිරෝධී යුද්ධයකට ආයුධ මිලදී ගැනීම සඳහා මුදල් යෙදවීම පිනිස රේගන් පරිපාලනය ඉරානයට ආයුධ විකිනීමේ කූටෝපායයක් අටවාගෙන ඇති බවට හෙලිදරව් වීමෙන් මෙම අර්බුදය ඇති විය. රහසිගත යුද්ධය භාරව සිටි සීඅයිඒ නිලධාරියාට අනුව, කොන්ට්‍රාවරු නිරන්තරයෙන් “පලාත්බදව සිවිල් වැසියන් සහ සැන්ඩිනිස්ටා නිලධාරීන් මෙන්ම සමුපකාර ප්‍රධානීන්, හෙදියන්, වෛද්‍යවරුන් සහ විනිසුරුවන්” ඝාතනය කලේය.

කොන්ට්‍රාවරු වෙත එක්සත් ජනපද රජයේ ආධාර තහනම් කරමින් කොංග්‍රසය විසින් සම්මත කරන ලද බොලන්ඞ් සංශෝධනය රේගන් පරිපාලනය විසින් අමු අමුවේ උල්ලංඝනය කර ඇති බව පරීක්ෂනයෙන් හෙලි විය.

නික්සන් දෝෂාභියෝග විමර්ශනය සහ ඉරාන-කොන්ට්‍රා මගඩිය, මූලික වශයෙන් කොල්ලකාරී එක්සත් ජනපද ප්‍රතිපත්තිමය අවශ්‍යතා සපුරාලීම සඳහා නීති විරෝධී යුද්ධවල නිරත වීම තුල මුල් බැසගත් අති විශාල අපරාධවලට සම්බන්ධ විය. චර්ච් කමිටුව විසින් හෙලිදරව් කරන ලද කොයින්ටල්ප්‍රෝ මෙහෙයුමේ සිට ඉරාන-කොන්ට්‍රා නඩු විභාගය මගින් ලේඛනගත කර ඇති “කඩාකප්පල්කාරී” කොටස් සමූහ වශයෙන් රඳවා තබා ගැනීමේ රෙක්ස් 84 සැලැස්ම හෙලිදරව් කිරීම දක්වා දුරදිග ගිය ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් දූෂනය කිරීම් මේ මගින් හෙලිදරව් කරන ලදී.

වර්තමාන දෝෂාභියෝග නඩු විභාගය වෝටර්ගේට් සහ ඉරාන-කොන්ට්‍රා විමර්ශනයේ නියම ප්‍රතිවිරුද්ධය බව දැකීමට කෙනෙකුට අවශ්‍ය වන්නේ මෙම ඉතිහාසය සමාලෝචනය කිරීම පමනකි. එක්සත් ජනපද බුද්ධි අංශවල සහ හමුදාවේ සාපරාධී ක්‍රියාකාරකම් හෙලිදරව් කිරීම හා මැඩලීම වෙනුවට ඒවා පුලුල් කිරීම හා බලගැන්වීම මෙහි දී අරමුන කර ගෙන ඇත.

කථානායක නැන්සි පෙලෝසි දෝෂාභියෝග පරීක්ෂනයේ පදනම පහත පරිදි සංපින්ඩනය කලාය: “එක් දුරකථන සංවාදයකදී ඔහු [ට්‍රම්ප්] රුසියාවට වාසි ගෙන දෙනු වස් එක්සත් ජනපද කොංග්‍රසය විසින් අනුමැතිය දී ඡන්දය ප්‍රකාශ කර තිබූ රටකට [යුක්රේනයට] මිලිටරි ආධාර ලබා නොදීමෙන් අපේ ජාතික ආරක්ෂාව අඩපන කලේය.

හිටපු සීඅයිඒ අධ්‍යක්ෂ ඬේවිඞ් පෙට්‍රවුස් මෑතක දී පැවසූ පරිදි ට්‍රම්ප්, රුසියාව සමග පෙලගැසී සිටින හමුදාවන්ට එරෙහිව එක්සත් ජනපදයේ පිටුබලය ලබන යුක්‍රේන රජය විසින් දියත් කරන ලද යුද්ධයක “පෙරමුනේ සිටි අයට අතිශයින් ම අවශ්‍ය ආධාර ලබා දීම වලක්වා දැමීම” සම්බන්ධයෙන් චෝදනා කරයි. පෙට්‍රවුස් මෙසේ ද කීය, “‍මෙය පලමුවන ලෝක සංග්‍රාමයයි... එය තවමත් කෙරීගෙන යන උනුසුම් යුද්ධයක්.”‍

විදේශයන්හි යුද්ධයන් ගැන ඇති පුලුල් මහජන නොරිස්සීම ඩිමොක්‍රටිකයන්ගේ දෝෂාභියෝග මෙහෙයුමේ සුජාත භාවය පිලිබඳව අර්බුදයක් නිර්මානය කර තිබේ. ඩිමොක්‍රටිකයින් මෙම පදනම මත අපේක්ෂා කල තරම් සැලකිය යුතු මහජන සහයෝගයක් ලබාගෙන නොමැත. ටයිම්ස් තීරු රචක ඬේවිඞ් බෲක්ස් ලියා ඇති පරිදි, “බොහෝ [ඇමරිකානුවන්ට] දෝෂාභියෝගය ප්‍රමුඛතාවයක් නොවේ. එය නීරස පසුබිම් ශබ්දයකි... මූලික යථාර්ථය නම් බොහෝ ඇමරිකානුවන් උකටලී වීමයි. ”

ඇත්ත වශයෙන්ම, ඩිමොක්‍රටිකයන්ගේ දෝෂාභියෝග පරීක්ෂනය රිපබ්ලිකානුවන් විසින් බිල් ක්ලින්ටන්ට ගෙනා දෝෂාභියෝගයට සමාන බවක් පෙන්වයි. එහි දී දක්ෂිනාංශික න්‍යාය පත්‍රයක ආවරනයක් ලෙස කූටව සැකසූ ලිංගික සෝලියක් භාවිතා කරන ලදී.

ආරම්භයේ සිට ම, ලෝක සමාජවාදී වෙබ් අඩවිය පැහැදිලි කල පරිදි, ට්‍රම්ප්ට එරෙහි ඩිමොක්‍රටිකයන්ගේ විරුද්ධත්වය ඔහුගේ ෆැසිස්ට් පරිපාලනයට එරෙහි මහජන විරෝධය සමග පෑහෙන දෙයක් නොවේ. එය මූලික වශයෙන් විදේශ ප්‍රතිපත්ති ප්‍රශ්න සම්බන්ධයෙන් ධනේශ්වර පාලක පන්තිය සහ රජය ඇතුලත ගැටුමක එක් පැති කඩකි.

රට පුරා මිලියන සංඛ්‍යාත ජනතාවක් විරෝධතා දැක්වූ ට්‍රම්ප්ගේ දිව්රුම් දීමේ දිනයේ සිට ඩිමොක්‍රටික් පක්ෂය මහජන කෝපය පාලනය කිරීමට සහ යුද්ධයට පක්ෂ න්‍යාය පත්‍රයක් පිටුපස එය දැක්කීමට කටයුතු කර තිබේ. ට්‍රම්ප් ගේ සංක්‍රමනිකයින්ට එරෙහි ෆැසිස්ට් ප්‍රහාරය, ආඥාදායකත්වය කරා ඔහු යන ගමන, නව නාසිවාදීන්ට ප්‍රශංසා කිරීම, ධනවතුන් සඳහා ඔහු විසින් කරන ලද බදු කප්පාදුව සහ කම්කරුවන් සහ දුප්පතුන් සඳහා වන සමාජ වැඩ සටහන් වලට එරෙහි ප්‍රහාර වලට එන විරෝධතා මැඩලීමට ඔවුහු මාන බැලූහ.

ට්‍රම්ප් කෙරෙහි ඇති ජනතා වෛරයට කිසිදු ප්‍රජාතන්ත්‍රවාදී ආයාචනයක් ඉදිරිපත් කිරීමට ඩිමොක්‍රටිකයන්ට හැකියාවක් හෝ උවමනාවක් නැත. බොහෝ කලකට පෙර කම්කරු පන්තිය දෙසට යොමු වූ සියලු‍ සමාජ ප්‍රතිසංස්කරන වැඩපිලිවෙලවල් අතහැර දමා ඇති ඩිමොක්‍රටික් පක්ෂය ඔත්තු අංශ වල, මූල්‍ය අංශ වල සහ ධනවත් ඉහල මධ්‍යම පන්තියේ සන්ධානයක් මත පදනම් වූ සංවිධානයක් බවට පරිනාමය වී තිබේ.

වර්තමාන දෝෂාභියෝග මෙහෙයුමෙහි ප්‍රගතිශීලී හෝ ප්‍රජාතන්ත්‍රවාදී අන්තර්ගතයක් නොමැත. ඩිමොක්‍රටිකයින් උත්සාහ කරන්නේ ඔවුන්ගේ සැබෑ අරමුනු වසන් කරමින් ව්‍යාජ බොරු මවාපෑම් වලින් ට්‍රම්ප්ට දෝෂාභියෝගයක් ගෙන ඒමට වන අතර වෙනත් වචන වලින් එය මාලිගා කුමන්ත්‍රනයකි.

සමාජවාදී සමානතා පක්ෂ දේශපාලන කමිටුව ඔක්තෝබර් 14 වන දින, “ඇමරිකානු ෆැසිස්ට්වාදයට එපා! ට්‍රම්ප්ව බලෙන් පහ කිරීම සඳහා මහජන ව්‍යාපාරයක් ගොඩනඟනු!! ” ප්‍රකාශනයේ ලියූ පරිදි:

ගැටුම පාලක පන්තිය තුල ඇති කන්ඩායම් වලට පමනක් සීමා වී ඇති තාක් කල් ප්‍රජාතන්ත්‍රවාදී හෝ ප්‍රගතිශීලී ප්‍රතිඵලයක් ලබා ගත නො හැකිය. ඩිමොක්‍රටිකයන්ගේ දෝෂාභියෝගය අසාර්ථක වුවහොත් එය ට්‍රම්ප්ගේ දේශපාලන ස්ථාවරය ශක්තිමත් කරනු ඇත. එය සාර්ථක වුවහොත්, එය ට්‍රම්ප්ගේ අන්තේවාසිකයා වන මයික් පෙන්ස් ජනාධිපති ධුරයට උසස් කරනු ඇත. එපමනක් නොව, දෝෂාභියෝගය ඇත්ත වශයෙන් ම ධවල මන්දිරය මත සීඅයිඒ සහ එෆ්බීඅයි හි දේශපාලන ආනුභාවය ශක්තිමත් කරනු ඇත. එය න්‍යෂ්ටික ව සන්නද්ධ බලවතෙකු සමඟ භයානක ගැටුමක් සාධාරනීකරනය කරන රුසියානු විරෝධී උමතුවක් මත පදනම් වූ විදේශ ප්‍රතිපත්තියක් නීත්‍යානුකූල කරනු ඇත. ප්‍රතිඵලය දෙකින් කුමක් වුව ද එය කම්කරු පන්තියට ඉමහත් අනතුරක් ගෙන එයි.

ට්‍රම්ප්ට එරෙහි සටනට ප්‍රගතිශීලී ස්වභාවයක් ගත හැක්කේ ඔත්තු අංශ සහ මිලිටරිය වෙනුවෙන් ඩිමොක්‍රටිකයින් විසින් මෙහෙයවනු ලබන මාලිගා කුමන්ත්‍රනයෙන් සම්පූර්නයෙන්ම වෙන්ව ඊට සතුරු වන දුරකට පමනි.

යුද්ධය, ආඥාදායකත්වය සහ සමාජ අසමානතාවයට එරෙහි පන්ති අරගලය පුලුල් කිරීම තුලින් කම්කරු පන්තිය විසින් එය මෙහෙයවිය යුතු ය. යුද්ධයේ හා අසමානතාවයේ උල්පත වන ධනවාදය අවසන් කොට සමාජවාදී සමාජයක් ස්ථාපිත කිරීමේ සවිඥානික අරගලයක් තුලින් එය ප්‍රකාශයට පත්විය යුතුය.

බැරී ග්‍රේ සහ ආන්ද්‍රේ ඬේමන්

Share this article: