ස්පාඤ්ඤ මැතිවරන අර්බුදය හා පොඩෙමොස් පක්ෂයේ පාවාදීම

The Spanish election crisis and the treachery of Podemos

2019 නොවැම්බර් 15

ඉරිදා ස්පාඤ්ඤ මහ මැතිවරනවරයේ දී, යුරෝපයේ යලි යලිත් දක්නට ලැබෙන භයානක රටාවක් එය විසින් ම පුනරාවර්තනය කෙරුනි. ප්‍රන්සයේ ජාතික පෙරමුන, ඔස්ට්‍රියාවේ නිදහස් පක්ෂය, පෝලන්තයේ නීතිය හා සාධාරන පක්ෂය සහ ජර්මනිය සඳහා විකල්පය වැනි අන්ත-දක්ෂිනාංශික පක්ෂ, අපකීර්තියට පත් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ විසිරී යෑමෙන් වාසි ලබන්නන් ලෙස මතුවෙමින් තිබේ.

පසුගිය වසරේදී සියයට 1 කටත් වඩා අඩු ඡන්ද සංඛ්‍යාවක් තිබූ හා පාර්ලිමේන්තු නියෝජිතයින් නො සිටි ස්පාඤ්ඤයේ ෆැසිස්ට් වොක්ස් පක්ෂය, පසු ගිය අප්‍රේල් මාසයෙන් පසු පැවති මැතිවරනවල සිට ඡන්ද සංඛ්‍යාව සියයට 15 දක්වා ඉහල නංවාගෙන තම පාර්ලිමේන්තු නියෝජිතයින්ගේ සංඛ්‍යාව 52 දක්වා දෙගුන කර ගෙන තිබේ. එහි නිලධාරීහූ 1936 කුමන්ත්‍රනයට ද එහි ප්‍රතිලයක් ලෙස 1939 සිට 1978 දක්වා තම තන්ත්‍රයේ බලය පවත්වා ගෙන ගිය ෆැසිස්ට් ඒකාධිපතියෙකු වූ ෆ්‍රැන්සිස්කෝ ෆ්‍රැන්කෝ විසින් සිදු කරන ලද සිවිල් යුද්ධයට මෙන් ම සමූහඝාතනවලට ද ප්‍රසිද්ධියේ ප්‍රශංසා කරති. කෙසේ වෙතත්, ෆ්‍රැන්කෝවාදයට කම්කරු පන්තිය තුල පවතින පුලුල් විරෝධය නො තකා, එය ඉදිරියට යමින් තිබේ. මෙය පැහැදිලි කල යුත්තේ කෙසේ ද?

එක්සත් ජනපදය තුල මෙන් ම යුරෝපයේ අන්ත දක්ෂිනාංශයේ වර්ධනයේ ප්‍රධාන සාධකය වන්නේ සමාජ අසමානතාවයේ උග්‍ර මට්ටම්වල වර්ධනය යි. ස්පාඤ්ඤය තුල, 2008 වෝල් වීදියේ කඩාවැටීමෙන් පසු, විරැකියාව ශ්‍රම බලකායෙන් හතරෙන් එකක් හා තරුනයින්ගෙන් අඩක් දක්වා ඉහල ගියේ, ස්පාඤ්ඤයේ බිලියනපතියන් 26 දෙනෙකු අති විශාල ධනයක් රැස් කර ගන්නා අතරතුර ය. කැටලානු නිදහස් ජනමත විචාරනයට එරෙහි පොලිස් රාජ්‍ය මර්දනයට විරුද්ධ මහජන විරෝධතා ඇතුලුව, රටවල් දුසිම් ගනනක මහජන විරෝධතා මෙහෙයවන මූලික පෙලඹුම් හේතුව වන්නේ සමාජ අසමානතාවය කෙරෙහි කෝපය වර්ධනය වීමයි. ධනවාදයට සමාජවාදී විකල්පයක් සෙවීමට කම්කරුවෝ හා තරුනයෝ විශාල පිරිසක් උත්සාහ කරමින් සිටිති.

කෙසේවෙතත්, ධනවාදයට එරෙහි මහජන විරෝධය හා සමාජවාදයට දක්වන සහයෝගය මධ්‍යයේ වුව ද, “වාම” යැයි කියා ගන්නා පක්ෂ ධනවාදයට විරුද්ධ නො වෙති. මෙම ව්‍යාජ වාම සංවිධාන කරන හිස් හා වාචාල පොරොන්දු වැඩ කරන ජනතාව කලකිරීමට හා කෝපයට පත් කරයි. මේ සම්බන්ධයෙන් මෑත මැතිවරනයට ස්පාඤ්ඤයේ “වාම ජනතාවාදී” පොඩෙමොස් (“අපට පුලුවන්”) පක්ෂය දැක්වූ ප්‍රතිචාරයට වඩා පැහැදිලි නිදර්ශනයක් තිබිය නො හැක.

මැතිවරනයෙන් පසු පැය 48 කටත් අඩු කාලයක දී, පොඩෙමොස් සභාග රජයක් පිහිටුවීම සඳහා ස්පාඤ්ඤ සමාජවාදී පක්ෂය (පීඑස්ඕඊ) සමඟ “පූර්ව එකඟතාවයකට” පැන ගත්තේය. විවිධ මාධ්‍ය ආයතන විසින් “ප්‍රගතිශීලී” හෝ “අන්ත වාමාංශික” ආන්ඩුවක් ලෙස හඳුන්වනු ලබන, පාර්ලිමේන්තු බහුතරයක් පිහිටුවීම සඳහා පීඑස්ඕඊ හා පොඩෙමොස් කැටලානු හෝ බාස්ක් ජාතිකවාදී පක්ෂ අතර තවදුරටත් සභාග හවුල්කරුවන් අපේක්ෂා කරමින් සිටිති. කෙසේ වෙතත්, පීඑස්ඕඊ - පොඩෙමොස් “පූර්ව ගිවිසුම” ඔවුන් යොදවනු ඇත්තේ යුරෝපීය සංගමයේ (යුස) කප්පාදුවලට මෙන් ම පීඑස්ඕඊ යේ මිලිටරි වියදම් වැඩි කිරීමට හා කැටලෝනියාවේ “සමාජ සාමය” පැටවීම සඳහා වන පොලිස් මර්දනය ඉදිරියට ගෙන යාමට යි.

අද උදෑසන පොඩෙමොස් ප්‍රධාන ලේකම් පැබ්ලෝ ඉග්ලේසියස් පෙනෙන පරිදි පොඩෙමොස් සාමාජිකත්වය අමතන ලද විවෘත ලිපියක් ප්‍රකාශයට පත් කලේ, පොඩෙමොස් දක්ෂිනාංශික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන බව නිවේදනය කරමිනි. ඔහු මෙසේ ලිවීය, “අප ගන්නා සෑම පියවරක දී ම දක්ෂිනාංශික පක්ෂ සහ සංගත පාලිත මාධ්‍ය නියෝජිතයන් අපට දැඩි ලෙස පහර දෙනු ඇත. පීඑස්ඕඊ සමග ඇති ආන්ඩුවක අප සුලුතරයක් වනු ඇති අතර එහි දී අපට බොහෝ සීමාවන් හා ප්‍රතිවිරෝධතාවලට මුහුන දීමට සිදුවනු ඇත. අපට බොහෝ දේ අත්හැරීමට සිදුවනු ඇත.”

දේශපාලන සංස්ථාපිතයේ කම්කරු විරෝධී ප්‍රතිපත්තිවලට ඇති එකම විරුද්ධත්වය ලෙස පෙනී සිටිමින් පොඩෙමොස් ඒ අනුසාරයෙන් වොක්ස් පක්ෂයට දිගටම වර්ධනය වීමට කොන්දේසි නිර්මානය කරමින් සිටී.

පොඩෙමොස්, ග්‍රීසියේ තම ප්‍ර‍ථම ඥාති සොහොයුරා වන සිරිසා (“රැඩිකල් වමේ සන්ධානය”) ආන්ඩුව මෙන් ම කම්කරු පන්තිය, පන්ති අරගලය, සමාජවාදය හා විප්ලවවාදී ප්‍රතිපත්ති ප්‍රතික්ෂේප කරන “වාම ජනතාවාදයේ” වංචනික න්‍යායන් මත පදනම් වේ. පශ්චාත් නූතනවාදී ලේඛිකාවක මෙන් ම සිරිසා සහ පොඩෙමොස් පක්ෂවල ප්‍රමුඛ සාමාජිකයින්ගේ සහායිකාවක වන චැන්ටල් මුෆ් මෙම තර්ක ඉතා පැහැදිලිව ඉදිරිපත් කර තිබේ.

පසුගිය වසරේ ප්‍රකාශයට පත් කරන ලද For a Left Populism (වාම ජනතාවාදයක් සඳහා) වූ සිය ප්‍ර‍කාශනයේ මුෆ් මෙසේ ප්‍රකාශ කරයි: “හදිසි අවශ්‍යතාවයක් වන්නේ, වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී හෙජමොනියක් (ආධිපත්‍යමය සැකස්මක්) ස්ථාපිත කරනු පිනිස, පශ්චාත් ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි විවිධාකාර ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිරෝධයන් ඒකාබද්ධ කරන්නාවූ, ‘ජනතාවක්’ ගොඩනැගීම අරමුනු කරගත් වාම ජනතාවාදී උපාය මාර්ගයකි... ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී තන්ත්‍රය සමග ‘විප්ලවීය’ බිඳීමක් එයට අවශ්‍ය නො වන බවට මම තර්ක කරමි.”

මූෆ්ගේ පොත පලවීමත් සමග ම පාහේ, ඇගේ දේශපාලනික මවාපෑම සිරිසා රජයේ වාර්තාවෙන් හෙලිදරව් කෙරී තිබුනි. සිරිසා යුරෝපා සංගමයේ කප්පාදු අවසන් කරන බවට ඡන්ද දායකයින්ට පොරොන්දු වූ අතර, එය විප්ලවීය පියවර ගැනීම මෙන් ම යුරෝපා සංගමයට එරෙහිව සහාය දෙන ලෙස යුරෝපීය කම්කරුවන්ගෙන් ඉල්ලා සිටීම ප්‍රතික්ෂේප කලේ ය; එහි “වඩා ප්‍රජාතන්ත්‍රවාදී හෙජමොනියේ සැකැස්ම” යනු 2015 දී අන්ත දක්ෂිනාංශික ස්වාධීන ග්‍රීක පක්ෂය සමග පිහිටුවන ලද සභාග ආන්ඩුවකි. අවසානයේදී, සිරිසා සිය මැතිවරන පොරොන්දු මුලුමනින්ම පාවා දුන්නේ, යුරෝපා සංගමයේ බිලියන ගනනක සමාජ ප්‍රතිලාභ කප්පාදු පටවමින් හා ග්‍රීක දූපත්වල රැඳවුම් කඳවුරු තුල සරනාගතයින් දහස් ගනනක් සිරගත කරමිනි.

සිරිසා ව්‍යසනයෙන් පසුව, මෙය “වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී හෙජමොනියේ සැකැස්මක්” එකතු කිරීමට පීඑස්ඕඊ පක්ෂයට උදව් කිරීමේ පොඩෙමොස් පක්ෂයේ වාරය යි. එවැනි සන්ධානයක් ග්‍රීසියේ මෙන් ස්පාඤ්ඤයේ කම්කරුවන්ට ද සතුරු බව ඔප්පු කරනු ඇත. එය 1978 දී ෆැසිස්ට් ෆ්‍රැන්කෝවාදී තන්ත්‍රය සමග පාර්ලිමේන්තු පාලනයට මාරුවීම පිලිබඳව සාකච්ඡා කල තැන් පටන්, පීඑස්ඕඊය යුරෝපා සංගම් කප්පාදු පැටවීමේ මෙන් ම ඇෆ්ගනිස්ථානයේ සිට ලිබියාව දක්වා අධිරාජ්‍යවාදී යුද්ධ ගෙනයාමේ දී ධනේශ්වරයේ මූලික මෙවලම විය. පොඩෙමොස් දැන් පීඑස්ඕඊ විසින් තහවුරු කර ඇති ප්‍රතිගාමී ප්‍රතිපත්ති අනුමත කරමින් සිටී.

අඩු ප්‍ර‍තිගමන ප්‍රතිපත්තියක් අනුගමනය කරන මෙන් පොඩෙමොස් සංවිධානය සමන්විත වන ධනවත් විශ්ව විද්‍යාල මහාචාර්යවරුන්, රාජ්‍ය නිලධාරීන්, හමුදා නිලධාරීන් හා වෘත්තීය සමිති නිලධරයන් වෙත ආයාචනා කිරීම වැඩකට නැති නිෂ්ඵල කටයුත්තකි. තම ධනවත් මධ්‍යම පන්තික පදනමේ ධනය, දේපල හා ද්‍රව්‍යමය අවශ්‍යතාවන්ට කිසියම් ආකාරයක හෝ බලපෑමක් ඇති කරනු ඇති කම්කරු පන්තියේ ඕනෑ ම මුලපිරීමකට පොඩෙමොස් විරුද්ධ වේ .. “වාම ජනතාවාදය” පිලිබඳ මූෆ්ගේ වංචනික න්‍යාය උත්සාහ කරන්නේ පොඩෙමොස් සහ සිරිසා වැනි සංවිධානවල සමාජවාද විරෝධී හා ධනවාදී ගැති ප්‍රතිගාමී වැඩසටහනට න්‍යායාත්මක සුජාතභාවයක් ලබා දීමට යි.

මුෆ්ගේ “වාම-ජනතාවාදය” ගඳ ගස්සන්නේ බුද්ධිමය චාටුකම් හා දේශපාලන නරුමත්වය යි. ඇය මෙසේ ලියයි, “ප්‍රාග්ධනයේ/ ශ්‍රමයේ පරස්පර විරෝධයට දේශපාලනය ලු‍හු කර තබන්නා වූ ද සමාජවාදී විප්ලවයේ වාහනය ලෙස ඉදිරිපත් කරන කම්කරු පන්තියට එය එහි ස්වාභාවයෙන්ම ලැබෙන වරප්‍ර‍සාදයක් ලෙස ආරෝපනය කරන්නා වූ ද වමේ කන්ඩායම් විසින් මෙම වාම ජනතාවාදී උපාය මාර්ගය හෙලා දකිනු ඇතැ යි අපේක්ෂා කල යුතු ය. ඇත්ත වශයෙන් ම ඔවුන් මෙය දකින්නේ ‘ධනේශ්වර දෘෂ්ටිවාදයට’ යටත් වීමක් ලෙස යි. මා තර්ක කරමින් සිටින්නේ එම දේශපාලන සංකල්පයන්ට එරෙහිව බැවින් එතැන් සිට ඉදිරියට යන මෙම විවේචනවලට පිලිතුරු දීමට කිසිදු හේතුවක් නැත.”

ෆැසිස්ට් පුනුරුත්තාපනය ව්‍යාජ වමේ බංකොලොත්භාවය හෙලිදරව් කර තිබේ. එය විසින් ධනවාදය ආරක්ෂා කිරීම හා ධනේශ්වර දේපල මෙන් ම ධනයේ පරමාධිපත්‍යයට බාධා පමුනුවන ඕනෑම ප්‍රතිපත්තියක් ප්‍රතික්ෂේප කිරීම මගින් කම්කරු පන්තියට කෙරෙන ඕනෑම ආයාචනයක් වලක්වනු ලබ යි. පොඩෙමොස් විසින් ඉටු කරමින් සිටින භූමිකාව සාරභූත ලෙස ම අනුයන්නේ 1930 ගනන්වල ස්පාඤ්ඤයේ ස්ටැලින්වාදීන් හා සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් විසින් ඉටු කරන ලද ද්‍රෝහී භූමිකාව යි. මහජන පෙරමුනක් ලෙස නම් කෙරුනු ස්පාඤ්ඤ ධනේශ්වරයේ කල්ලියක් සමග ඔවුන්ගේ සන්ධානය ජෙනරාල් ෆ්‍රැන්කෝ හා ඔහුගේ ෆැසිස්ට් සහචරයන්ට එරෙහි සටනේ විප්ලවවාදී ප්‍රතිපත්ති බැහැර කලේ ය. එහි ප්‍රතිඵලය වූයේ සමාජවාදී විප්ලවය තලා දැමීම හා ෆ්‍රැන්කෝගේ ජයග්‍රහනය යි.

1930ස් ගනන්වල පාඩම් උගත යුතු ය. අද ෆැසිස්ට්වාදයට එරෙහි අරගලය ඉල්ලා සිටින්නේ මූල්‍ය වංශාධිපතිත්වය අස්වාමික කිරීම අරමුනු ගර ගනිමින්, ධනේශ්වර දේපල මත කම්කරු පන්තිය විසින් එල්ල කෙරෙන ප්‍රහාරයකි.

ඇලෙක්ස් ලැන්ටියර්

Share this article: