වෝල් ස්ට්‍රීට් ජර්නල්විමර්ශනය ගූගල් වාරන අසාදු ලේඛනය ක්‍රියාත්මක කරන බව සනාථ කරයි

Wall Street Journal investigation confirms Google operates censorship blacklist

2019 නොවැම්බර් 18

වෝල් ස්ට්‍රීට් ජර්නල් විසින් කරන ලද විමර්ශනයක් ගූගල් විසින් අන්තර්ජාලය වාරනය කිරීම සම්බන්ධයෙන් 2017 දී ලෝක සමාජවාදී වෙබ් අඩවිය විසින් කරන ලද ප්‍රධාන චෝදනා බොහොමයක් සනාථ කර තිබේ.

සිකුරාදා ප්‍රකාශයට පත් කරන ලද පුලුල් ලිපියක, ජර්නලය නිගමනය කරන්නේ, ගූගල් නැවත නැවතත් කරන ප්‍රකාශයන්ට පටහැනි ව, සමාගම තනි වෙබ් අඩවි වල අසාදු ලේඛන පවත්වා ගෙන යන අතර තනි සෙවුම් ප්‍රතිඵල හැසිරවීමට සෘජුව ම මැදිහත් වන බව යි.

2017 ජුලි 27 වන දින ලෝක සමාජවාදී වෙබ් අඩවිය වාර්තා කලේ අභ්‍යන්තර ව “බකමූන ව්‍යාපෘතිය” (Project Owl) යැයි පටබැඳුනු ගූගල් හි සෙවුම් ඇල්ගොරිතමයේ වෙනස්කම් වාමාංශික, යුද විරෝධී සහ ප්‍රගතිශීලී වෙබ් අඩවි වෙත සෙවුම් පිවිසුම් විශාල ලෙස අඩු කර ඇති බව යි.

ලෝසවෙඅ තම ප්‍රකාශයන් පදනම් කලේ “වඩාත් බලයලත් අන්තර්ගතයන් මතුපිටට ගෙන ඒමට” සහ “විකල්ප දෘෂ්ටිකෝනයන්” පහල දැමීමට උත්සාහ කරන බවට ගූගල් කල ප්‍රසිද්ධ ප්‍රකාශයන් මෙන්ම ලෝසවෙඅ විශ්ලේෂන පද්ධතිවල විස්තරාත්මක දත්ත මෙන් ම වෙනත් වෙබ් අඩවි මෙන් ම ප්‍රසිද්ධියේ ලබා ගත හැකි වෙබ් අඩවි හා සෙවුම් පිවිසුම් ඇස්තමේන්තු කරුවන් විසින් සපයන ලද දත්ත මත ය.

මෙම දත්ත කරුනු මත පදනම් ව, ලෝසවෙඅ නිගමනය කලේ ගූගල් විසින් විපක්ෂ ප්‍රවෘත්ති පත්‍රවල අසාදු ලේඛනයක් ක්‍රියාත්මක කරමින් සිටින බවත්, එහි මූලික බලපෑම වන්නේ වාමාංශික සහ යුද විරෝධී වෙබ් අඩවිවලට ප්‍රවේශ වීම සීමා කිරීම බවත් ය.

ලෝසවෙඅ මෙම ආරම්භකත්වයේ කේන්ද්‍රීය ඉලක්කයක් විය. අප පැහැදිලි කල පරිදි: “ගූගල් විසින් ලෝක සමාජවාදී වෙබ් අඩවිය හා මීට පෙර පාඨකයන් ලෝසවෙඅ වෙත යොමු කල වඩාත් ජනප්‍රිය සෙවුම් පද 45 අතර සම්බන්ධතා බිඳ දමා ඇත. ගූගල් විසින් ක්‍රියාවට නංවන ලද භෞතික වාරනය කොතරම් පුලුල් ද යත්, 2017 අප්‍රේල් වන විට ලෝසවෙඅ පාඨකයන් සමඟ සම්බන්ධ කල ඉහල ම සෙවුම් පද 150 න් 145 තවදුරටත් එසේ නො කරයි.”

2017 අගෝස්තු 25 වන දින ලෝසවෙඅ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සභාපති ඬේවිඞ් නෝර්ත් ගූගල් වෙත විවෘත ලිපියක් ප්‍රකාශයට පත් කලේය:

මේ සා පරිමානයේ වාරනයක් දේශපාලන අපලේඛනගත කිරීමකි. ගූගල්හි වාරන රෙගුලාසිවල පැහැදිලි අරමුන වී ඇත්තේ, වාර්තා කිරීමට ඔබගේ සමාගමට අවශ්‍ය නො වන ප්‍රවෘත්ති අවහිර කිරීම හා ඔබ එකඟ නො වන අදහස් යටපත් කිරීම යි. දේශපාලන අපලේඛනගත කිරීම, වානිජ්‍ය ව්‍යවසායක් ලෙස ගූගල් සතුවන වරප්‍රසාද කවරක් වුව ද නීත්‍යානුකූල ව්‍යායාමයක් නො වේ. එය වනාහි ඒකාධිකාරී බලය අමු අමුවේ අවභාවිත කිරීමකි. ඔබ කරමින් සිටින්නේ භාෂනයේ නිදහසට පහර දීම ය.

වෝල් ස්ට්‍රීට් ජර්නල්විමර්ශනය මගින් මෙම ප්‍රකාශයන් නාටකාකාර ලෙස සනාථ කර තිබේ. එහි වාර්තාව අවසන් වන්නේ මෙලෙස ය:

එසේ කිරීම ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කල ද, ඇතැම් වෙබ් අඩවි ඉවත් කිරීමට හෝ වෙනත් ආකාරයේ ප්‍රතිඵලවල මතු වීම වැලැක්වීමට ගූගල් අසාදු ලේඛන තබා ගනී. එක්සත් ජනපද හෝ විදේශීය නීතිවලින් ඉල්ලන පරිදි, ලමා අපයෝජන විදහා දක්වන හෝ ප්‍රකාශන හිමිකම් උල්ලංඝනය කිරීම සහිත වෙබ් අඩවි අවහිර කිරීමට මෙන් ම ඉහල ප්‍රතිඵල පෙන්වීමට පද්ධතිය මෙහෙය වීමට උත්සාහ කරන, අන්තර්ජාල වෙලඳ දැන්වීම් ප්‍රචාරක ආයාචික (spam) අඩවි පහල දැමීමට සැලැසුම් කෙරුනු වෙනස්කම්වලට වඩා මෙම පියවර ගැනීම් වෙනස් ය.

සමාගමේ ක්‍රියාමාර්ග එහි ප්‍රසිද්ධ ප්‍රකාශයන්ට පටහැනි බවට වූ ප්‍රකාශය සනාථ කිරීම සඳහා වාර්තාව ඉදිරියට ගියේ ය:

කොංග්‍රස් මන්ඩල සාක්කි දීමේ දී ගූගල් කියා සිටියේ තමන් අසාදු ලේඛන භාවිතා නො කරන බව යි. ගූගල් විසින් “සමාගමක්, කන්ඩායමක්, පුද්ගලයෙක් හෝ අලෙවිසැලක්... දේශපාලන හේතූන් මත අසාදු ලේඛනගත කර තිබේ දැ යි” 2018 විමර්ශනයක දී ඇසූ විට, වාර්තාවට අනුව, ගූගල්හි රාජ්‍ය ප්‍රතිපත්ති පිලිබඳ උප සභාපති කරන් භාතියා ප්‍රතිචාර දැක්වූයේ “නැත, මැඩම්, අපගේ සෙවුම් ප්‍රතිඵලවලට බලපෑම් කිරීමට අපි අසාදු ලේඛන/ධවල ලේඛන භාවිතා කරන්නේ නෑ” කියා ය.

නමුත් ගූගල් සමාගම “විශේෂිත වෙබ් අඩවි වලට එරෙහිව සමාගම ‘කායික ක්‍රියා’ ලෙස හඳුන්වන පියවර ගන්නා” බව පුවත්පතේ විමර්ශනය නිගමනය කලේ, “සමාගමට වෙබ් අඩවියක් අසාදු ලේඛනගත කිරීමට හෝ එය සම්පූර්නයෙන්ම ඉවත් කිරීමට හැකි” බව ද පවසමිනි.

“ගූගල් හි මුල් සෙවුම් විධායකයින්ගෙන් කෙනෙකු” වන බෙන් ගෝමස් සෙවුම් පදවලට සෘජු, කායික මැදිහත් වීම් සම්බන්ධ මුල් කාලීන උපදේශකයෙකු බව ජර්නල් වාර්තාව තර්ක කරයි. “සෙවුම් සඳහා අපගේ නවතම තත්ත්ව වැඩිදියුනු කිරීම්” යන මාතෘකාව යටතේ 2017 අප්‍රේල් 25 වන දින බ්ලොග් සටහනක, පසුව “බකමූනු ව්‍යාපෘතිය” ලෙස හඳුන්වනු ලැබු දේ නිවේදනය කලේ ගෝමස් විසිනි.

එම බ්ලොග් සටහනේ ගූගල් කියා සිටියේ “බලය ඇති” ප්‍රවෘත්ති ප්‍රභවයන් ප්‍රවර්ධනය කිරීමේ තම උත්සාහයන් සෙවුම් ප්‍රතිඵල ඉහල මට්ටමක පවතින බව පෙනෙන්නට අපගේ පද්ධති වලට ‘වංචා’ කිරීමට දරන උත්සාහයන්ට එරෙහි ව සටන් කිරීමේ උත්සාහයේ දිගුවක්” වන බව යි.නමුත් වෝල් ස්ට්‍රීට් ජර්නල් විමර්ශනය මෙය සම්පූර්න ප්‍රෝඩාවක් බව හෙලි කරයි.

“සෙවුම් ඇල්ගොරිතම සියල්ලම මධ්‍යස්ථ වන අතර, පිටතට ගොස් වෙබ් අඩවිය පීරමින් ආපසු පැමින එය සොයාගත් දේ පෙන්වන බවට අදහසක් ඇත, එය මුලුමනින් ම පක්ෂපාතී ප්‍රකාශයකි” යැයි නම් නො කල හිටපු විධායක නිලධාරියෙක් සඳහන් කරයි. “ගූගල් සෑම විටම විශේෂ අවස්ථා සමග කටයුතු කරයි.”

සමාගම එහි අසාදු ලේඛන පවත්වාගෙන යන ආකාරය වාර්තාව ලේඛනගත කරයි:

>අසාදු ලේඛනවල වෙනස්කම් කිරීමට හා අනුමත කිරීමට “නඩත්තු කරන්නන්” ලෙස හැඳින්වෙන ඉංජිනේරුවන්ට බලය ඇත. කාරනය පිලිබඳ හුරුපුරුදු පුද්ගලයෙකුට අනුව, මෙය කිරීමට අවම වශයෙන් දෙදෙනෙකු අවශ්‍ය වේ; එක් පුද්ගලයෙකු වෙනස සිදු කරන අතර දෙවැන්නා එය අනුමත කරයි.

ගූගල් ප්‍රවෘත්ති සහ වෙනත් සෙවුම් ප්‍රතිඵලවල ඇතැම් ප්‍රකාශකයින් පෙනී සිටීම වැලක්වීම අරමුනු කරගනිමින් ගූගල් සේවකයින් “වැරදි තොරතුරු විරෝධී” අසාදු ලේඛනයක් ක්‍රියාත්මක කල යුත්තේ කෙසේ දැයි සාරාංශ කර දැක්වෙන කෙටුම්පත් ප්‍රතිපත්ති ලේඛනයක්, ජර්නලය විසින් 2018 අගෝස්තු මාසයේ සිට සමාලෝචනය කරන ලදී.

එහි වාර්තාව දිගටම යයි:

ප්‍රතිඵල වෙනස් කිරීම සඳහා වන ඉල්ලීම් ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කිරීමේ ගූගල් සංස්කෘතිය හීන වී ඇති බව වර්තමාන හා හිටපු සේවකයෝ පැවසූහ. වෙනසට හුරුපුරුදු පුද්ගලයෙකුට අනුව, මීට වසර කිහිපයකට පෙර, සමාගම නිදහස් කථන ගැටලු පිලිබඳ අවධානය යොමු කලා වූ ද, එය අනෙකුත් ඒවා අතර, සෙවුම් ප්‍රතිඵලවල වෙනස්කම් කිරිමේ සමාගමේ නීතිමය අරගල ප්‍රසිද්ධ කලා වූ ද ගෝලීය කන්ඩායමක් විසුරුවා හරින ලද්දේ, තරමක් දුරට ගූගල් සමාගම උසාවියේ දී එම සටන් කීපයක් ම පරාජය වූ බැවිනි... “නිදහස් ප්‍රකාශනය තවදුරටත් ජයග්‍රාහකයෙකු නො වී ය,” එම පුද්ගලයා පැවසී ය.

නිව් යෝක් ටයිම්ස් පත්‍රය තුල ගූගල් වාරනය පිලිබඳ ආවරනය ගැන වෝල් ස්ට්‍රීට් ජර්නල් විමර්ශනය බරපතල ප්‍රශ්න මතු කරයි. ඩේවිඩ් නෝර්ත් සමඟ සම්මුඛ සාකච්ඡාවක් ඇතුලුව, ගූගල් වාරනයට විරුද්ධ ලෝසවෙඅ හි විවෘත ලිපිය සම්බන්ධයෙන් 2017 සැප්තැම්බර් 27 වන දින එහි ව්‍යාපාර අංශයේ මුල් පිටුවේ වාර්තාවක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව, ටයිම්ස් පුවත්පත ගූගල් දේශපාලන වාරනය සිදු කරමින් සිටින බවට එල්ල වන චෝදනා අපකීර්තියට පත් කිරීමට උත්සාහ කලේය.

පසු විපරම් ලිපියක, නෝර්ත් සමඟ සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වූ ඩේසුකේ වකාබයාෂි, ගූගල් වාරනය කිරීමේ පාලනයට සුදු හුනු ගෑමට උත්සාහ කලේ, කරුනු පිලිබඳ කිසිදු බැරෑරුම් පරීක්‍ෂනයකින් තොර ව, සමාගමේ ස්වාර්ථකාමී ප්‍රතික්ෂේප කිරීම් ප්‍රතිරාවය කරමිනි. වකාබයාෂි මෙසේ ලිවී ය: “දේශපාලන දෘෂ්ටිවාදය එහි සෙවුම් ප්‍රතිඵලවල කිසිදු අංශයක සාධකයක් නො වන බව ගූගල් පැවසුවේ ය. ගූගල් කියා සිටියේ පරිශීලකයෙකු ගතානුගතික හෝ ලිබරල් ද යන්න සමාගම විසින් රැස් කරන ලද තොරතුරු වල කොටසක් නො වන බවත්, එය දේශපාලන නැඹුරුව අනුව වෙබ් පිටු වර්ගීකරනය නො කල බවත් ය.

මෙයද වංචාවකි. “බලයලත්” අඩවි මොනවාද යන්න සම්බන්ධයෙන් ගූගල් ගත් තීරනය පැහැදිලිව ම දේශපාලන ස්වභාවයක එකක් විය.

නිව් යෝක් ටයිම්ස් වාර්තා කල පරිදි, 2018 දී ගූගල් විසින් “ව්‍යාජ ප්‍රවෘත්ති පිරිසිදු කිරීම” සඳහා “ප්‍රවෘත්ති මුලපිරීමක්” ආරම්භ කරන ලදී. එහි හවුල්කරුවන් අතර වන නිව්යෝර්ක් ටයිම්ස්, වොෂිංටන් පෝස්ට් සහ ගාඩියන් යන සියල්ලම බුෂ් පාලනාධිකාරියේ, ගිනිය නො හැකි අනෙකුත් බොරු අතර, ඉරාකයේ ඊනියා “ජනඝාතක අවි” සම්බන්ධයෙන් කරන ලද අසත්‍ය ප්‍රකාශ බෙදා හැරියෝ ය.

“බලයලත්” ප්‍රවෘත්ති හොරනෑ ප්‍රචාරය කිරීම පිලිබඳ ගූගල් ප්‍රකාශයන් එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්තිය හා ඊට පාදක වන බොරු වලට අනුබල දෙන ප්‍රවෘත්ති ආයතන ප්‍රවර්ධනය කිරීමේ කේතයකි, මන්ද ජර්නලය ලියන පරිදි, “සෙවීම ශුන්‍ය එකතුවක ක්‍රීඩාවකි: එක් ප්‍රතිඵලයක් එසවීමට උපකාරී වන වෙනසක් නො වැලැක්විය හැකි ලෙස තවත් එකක් පහලට ඇද දමයි. ”

නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ ආරම්භක වාර්තාව හා රෝලිං ස්ටෝන් මාසික සඟරාවේ මැට් තායිබිගේ වාර්තාව හැරුනු විට, සංගත ප්‍රවෘත්ති හොරනෑවලින් බහුතරයක් ලෝසවෙඅවාර්තා කිරීම නො සලකා හැර තිබේ.

එහෙත්, ඔහු නිහඬ කොට අත්අඩංගුවට ගැනීමට පෙර, විකිලීක්ස් නිර්මාතෘ ජූලියන් අසාන්ජ්, ලෝසවෙඅ විසින් සංවිධානය කරන ලද ඔන්ලයින් ඉසව්වකට ලිපියක් ලිව්වේ, අන්තර්ජාල වාරනයක ඇති අන්තරායන් ගැන අනතුරු අඟවමිනි. එහි මෙසේ සඳහන් විය:

අන්තර්ජාලය විසින් තමන් මෙන් ම අන් අය දැනුවත් කිරීමේ ජනතාවගේ හැකියාවෙහි විප්ලවයක් ඇති කර ඇති අතර, එහි ප්‍රතිඵලයක් වශයෙන් ඇති වන ප්‍රජාතන්ත්‍රවාදී සංසිද්ධීන් විසින් පවත්නා ආයතන ඒවායේ හරයට ම සොලවා දමා ඇත. ජීවමාන ප්‍රභූන් සමග සමාජීය, කාර්ය සංවිධානය හා මූල්‍යමය වශයෙන් ඒකාබද්ධ ගූගල්, ෆෙස්බුක් සහ ඒවායේ චීන සගයන්, කතිකා පාලනය නැවත ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබේ... මෙම සංසිද්ධිය කෙරෙහි අවධානය යොමු කිරීම ගැන මම ලෝසවෙඅ ට ප්‍රශංසා කරමි

ගූගල් විසින් “විකල්ප දෘෂ්ටි කෝනයන්” භූමදාන කිරීමේ උත්සාහයන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ගත වූ තෙවසර තුල, ප්‍රධාන තාක්‍ෂන සමාගම්වල වාරනය තීව්‍ර වී තිබේ. බොහෝ සමූහ මකාදැමීම් වල දී, ෆෙස්බුක් සහ ට්විටර් මිලියන ගනනක් අනුගාමිකයන් සිටින වාමාංශික ගිනුම් සහ පිටු ඉවත් කර ඇත.

පසුගිය මාසයේ ට්විටර් සිය වේදිකාවේ සියලු‍ම දේශපාලන දැන්වීම් තහනම් කරන බව නිවේදනය කල අතර ෆෙස්බුක්, දේශපාලන වාරනයක් සිදු නො කරන බවට මාර්ක් සකර්බර්ග් ප්‍රකාශ කල ද, ට්‍රම්ප්ගේ දෝෂාභියෝග විමර්ශනයේ දී, චූදිත සීඅයිඒ තොරතුරු හෙලිකරන්නාගේ නම ඇතුලත් ඕනෑ ම පල කිරීමක් ඉවත් කරන බව නිවේදනය කලේ ය.

දේශපාලන සංස්ථාපිතයේ සියලු‍ කන්ඩායම් විසින් ප්‍රචාරය කරනු ලබන දේශපාලන වාරනය සඳහා වන නිර්දය උත්සාහයන් සඳහා ප්‍රේරකය වන්නේ සමාජවාදය සඳහා වැඩෙන ශ්‍රාවකය සමඟ බැඳී ඇති, ලොව පුරා කම්කරු පන්තියේ විරුද්ධත්වය වර්ධනය වීම පිලිබඳ ඔවුන්ගේ බියයි.

ආන්ද්‍රේ ඩමොන්

Share this article: