ස්වීඩනයේ “ලිංගික විෂමාචාර” බොරු නඩුව බිඳ වැටීම අසාන්ජ්ට එරෙහි දේශපාලන කුමන්ත්‍රනය හෙලි කරයි

Collapse of Swedish —sexual misconduct˜ frame-up exposes political conspiracy against Assange

2019 නොවැම්බර් 20

ආසන්න වශයෙන් වසර 10ට පසු, විකිලීක්ස් නිර්මාතෘ ජූලියන් අසාන්ජ්ට එරෙහි “ලිංගික විෂමාචාරය” පිලිබඳ චෝදනා සම්බන්ධයෙන් “මූලික පරීක්ෂනයක්” අත්හරින බව ස්වීඩන් නීතිඥයෝ ඊයේ නිවේදනය කලහ. ස්වීඩනයේ නියෝජ්‍ය ප්‍රධාන අභිචෝදක ඊවා-මාරි පර්සන් මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ ඉදිරියට යාමට “ප්‍රමානවත් සාක්ෂි නොමැති” බව යි.

දශකයක් තුල තුන් වතාවක් අතහැර දැමූ අතර කිසි විටෙකත් “මූලික” අවධියෙන් ඔබ්බට නොගිය, විමර්ශනයේ නින්දිත බිඳවැටීම, මගින් හංවඩු ගසන්නේ එය රාජ්‍ය බොරු නඩුවක් හා අධම ප්‍රයෝගකාරී මෙහෙයුමක් ලෙස ය. එය ප්‍රදර්ශනය කරන්නේ එක්සත් ජනපදය විසින් මෙහෙයවනු ලබන්නා වූ ද ස්වීඩනය, බි්‍රතාන්‍යය සහ ඕස්ට්‍රේලියාව ඇතුලු එහි සහචරයින්ගේ ආධාර හා අනුබල ලබන්නා වූ ද, පෙර නොවූ විරූ ජාත්‍යන්තර දේශපාලන කුමන්ත්‍රනයක අසාන්ජ් ගොදුරක් වී ඇති බව යි.

විමර්ශනය අවසන් කිරීම, ස්වීඩන් චෝදනාවල එකම අරමුන තම නම කැත කර ඇමරිකානු බන්ධනාගාරයකට යැවීම සඳහා විකල්ප මාර්ගයක් සැපයීම බවට 2010 සිට අසාන්ජ් විසින් කරන ලද අනතුරු ඇඟවීම්වල නිරපේක්ෂ සනාථ කිරීමකි.

ජූලියන් අසාන්ජ්

වසර 10 ක නින්දිත කූටෝපායන් සහ ජාත්‍යන්තර මෙන් ම දේශීය නීතිය උල්ලංඝනය කිරීම් වලින් පසුව, ස්වීඩන් විමර්ශනය කුඩුපට්ටම් වී ඇති අතර, යුද අපරාධ හා ගෝලීය රාජ්‍යතාන්ත්‍රික කුමන්ත්‍රන හෙලිදරව් කිරීම වෙනුවෙන්, වසර 175 ක සිර දඬුවමකට මුහන දීමට සිදුවනු ඇති, එක්සත් ජනපදයට පිටුවහල් කිරීමේ නඩු විභාගයක් බලාපොරොත්තුවෙන් ඔහුව උපරිම ආරක්ෂා සහිත බ්‍රිතාන්‍ය බන්ධනාගාරයක රඳවා සිටී.

අසාන්ජ් “ලිංගික අපරාධකරුවෙකු” හෝ “ස්ත්‍රී දූෂකයෙකු” බවට ඔප්පු කිරීම් ලෙස සංගත මාධ්‍ය විසින් නිමක් නැතිව දෙසා බෑ සියලු ම කටකතා හෙලිදරව් ව තිබෙන්නේ, ධෛර්යසම්පන්න මාධ්‍යවේදියෙකු මෙන් ම ප්‍රකාශකයෙකු බිල්ලට ගැනීමට, චරිතය කෙලසීමට හා නඩු පැවරීමට ප්‍රබන්ධ කෙරුනු, බොරු හා මවාපෑම් ලෙස යි.

එක්සත් ජනපදය නායකත්වය දුන් බද්ධ වෛරය පෙරදැරි කර ගත් වැඩ පිලිවෙල තුල, එවැනි කඩඇනයක කාර්යභාරයක් ඉටු කල ස්වීඩන් විමර්ශනය සම්පූර්නයෙන් අපකීර්තියට පත් වීම හෙලිදරව් කරන්නේ අසාන්ජ්ට එරෙහි සමස්ත මෙහෙයුමේ මුලුමනින් ම නීති විරෝධී ස්වභාවය යි.

වධහිංසා පිලිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු නිල්ස් මෙල්සර් පසුගිය සතියේ ප්‍රසිද්ධ කල ස්වීඩන් රජයට නිකුත් කල නිල ලිපියක සඳහන් කර ඇති පරිදි, විමර්ශනය “පසුකාලීන ව බොහෝ රටවල අසාන්ජ් මහතාට එරෙහි තිරසාර හා එක්ව සැලැසුම් කෙරුනු ප්‍රසිද්ධ රංචුගැසීම් මෙන් ම අධිකරන පීඩා පිලිබඳ උද්ඝෝෂනයට මුල පිරූ, සක්‍රීය කල හා ධෛර්යමත් කල මූලික සාධකය යි. එහි සමුච්චිත බලපෑම් විස්තර කල හැක්කේ මානසික වධහිංසා ලෙස පමනි. ”

සාපරාධී චෝදනා නිකුත් කිරීම කිසි විටෙකත් අසලකටවත් නොපැමිනියත්, ස්වීඩන් විමර්ශනය අසාන්ජ්ව නීති පද්ධතිය තුල ආරවුලකට පැටලීමට යොදා ගත් අතර ඔහුගේ අත්තනෝමතික රඳවා ගැනීම බලාත්මක කිරීමේ ප්‍රධාන යාන්ත්‍රනය එය විය.

2012 දී ඉක්වදෝරයේ ලන්ඩන් තානාපති කාර්යාලයේ දේශපාලන රැකවරන පැතීමට ඔහුට බල කරන ලද්දේ හුදෙක් “ප්‍රශ්නවලට පිලිතුරු සැපයීම” සඳහා අසාන්ජ් පිටුවහල් කරන ලෙස ස්වීඩනය විසින් කරන ලද පෙර නොවූ විරූ ඉල්ලීමට බි්‍රතාන්‍ය දුන් පිටුබලය යි. බ්‍රිතාන්‍ය විසින් තානාපති කාර්යාලය වටලෑම හා ඔහු ගොඩනැගිල්ලෙන් පිටතට අඩිය තැබුවහොත් තමන් අසාන්ජ් අත්අඩංගුවට ගන්නා බවට එය කල තර්ජනයන්ට ස්වීඩන් නඩුව ව්‍යාජ තර්කයක් සැපයුවේ ය.

මෙම විමර්ශනය කුරිරු ලෙස යොදා ගැනුනේ අසාන්ජ්ට අපහාස කිරීමට සහ ඔහුට ඇති අතිමහත් මහජන සහයෝගය අඩපන කිරීම මෙන් ම යටපත් කිරීමේ උත්සාහයකට ය. මේ වසරේ අප්‍රේල් මාසයේ දී, බ්‍රිතාන්‍ය පොලිසිය විසින් විකිලීක්ස් නිර්මාතෘවරයා ඉක්වදෝරයේ ලන්ඩන් තානාපති කාර්යාලයෙන් ඇදගෙන යා හැකි වීමට මෙන් ම නීත්‍යානුකූල ව ආරක්‍ෂා කෙරුනු ඔහුගේ ප්‍රකාශන කටයුතු සම්බන්ධයෙන් එක්සත් ජනපදයට ඔහුට එරෙහිව නඩු පැවරීමට විවෘතව උත්සාහ කල හැකි දේශපාලන වාතාවරනයක් එය නිර්මානය කලේ ය.

එපමනක් නොව, ස්වීඩන් චෝදනා, ලේ තැවරුනු ඇමරිකානු බුද්ධි අංශවල සිට එක්සත් ජනපදය, බ්‍රිතාන්‍ය හා ඕස්ට්‍රේලියාවේ නිල දේශපාලන පක්ෂ, සංගත මාධ්‍ය, ව්‍යාජ වම්මුන් හා අනන්‍යතා දේශපාලනයේ ගනන් කල නොහැකි වෘත්තිකයන් දක්වා විහිදෙන්නා වූ, අසාන්ජ්ට එරෙහිව එක්රැස් වූ අශුද්ධ සන්ධානය සඳහා දෘෂ්ටිවාදාත්මක හා දේශපාලන සිමෙන්ති සපයන ලදී.

ඔවුන් ආරක්ෂා කරන සමාජ හා දේශපාලන පර්යාය හෙලි කල හෙයින්, අසාන්ජ්ට එරෙහි වන මෙම සංවිධාන සියල්ල ම, ස්වීඩන් චෝදනා යොදා ගත්තේ, මෙල්සර් නිවැරදිව විස්තර කල පරිදි, අසාන්ජ්ට එරෙහි කුරිරු “ප්‍රසිද්ධ රංචු ගැසීමක්” හැසිරවීමට හා ඔහුගේ නෛතික හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් පගා දැමීම සඳහා වන තම අනුබල දීම යුක්තිසහගත කිරීමටය.

දහස් ගනනක් උදාහරනවලින් අතලොස්සක් පමනක් උපුටා දැක්වූ:

■ 2017 දී අවසන් වරට විමර්ශනය අතහැර දැමූ විට, ගාඩියන් පුවත්පත “අසාන්ජ් කතාවේ සදාචාරය? බොහෝ කාලයක් ඇති තරම් බලා සිටියා, නරක ලටපට ඉවතට යයි” නම් අශිෂ්ට අදහස් දැක්වීමක් ප්‍රසිද්ධ කලේ ය. තවත් ගාඩියන් අදහස් දැක්වීමක් අසාන්ජ් විස්තර කලේ “ශිෂ්ටසම්පන්න සමාජයට අනතුරක් වන ආත්මරාගී පුදග්ලයෙකු” ලෙස යි. මැයි මාසයේ දී විමර්ශනය නැවත විවෘත කල විට, ගාඩියන් කතුවැකිය ඔහු ව ස්වීඩනයට පිටුවහල් කරන ලෙස ඉල්ලා සිටියේය.

නිව් යෝක් ටයිම්ස් පුවත්පත අසාන්ජ්ව “ව්‍යාකූල පුද්ගලයෙකු” ලෙස පුන පුනා විස්තර කලේ ය.

■ වාම-ලිබරල් නේෂන් පත්‍රයේ කතා පොලිට් නම් තැනත්තිය විසින් පල කරන ලද 2010 ලිපියක් මෙසේ ප්‍රකාශ කලේ ය: “ජූලියන් අසාන්ජ්ට එරෙහි ස්ත්‍රී දූෂන චෝදනා සම්බන්ධයෙන් ඇති වූ කෝපයෙන් මා මෙතෙක් ඉගෙන ගත් දේ මෙන්න: ස්ත්‍රී දූෂනය සම්බන්ධයෙන් ගත් විට, වම තවමත් එය බාර ගන්නේ නැත.” ස්වීඩනය අසාන්ජ් පසුපස ලු‍හුබඳින්නේ, “ලෝක මට්ටමේ කීර්තිමත් පුද්ගලයින් රටින් පලා ගොස් තමන් දෙස අවමානයෙන් බලන විට නඩු පවරන්නන්ට පිස්සු වැටෙන” නිසා බව පොලිට් ප්‍රකාශ කලා ය.

■ අසාන්ජ් හට චෝදනා ගොනුකර නොතිබුනද බ්‍රිතාන්‍ය සමාජවාදී කම්කරු පක්ෂයේ 2012 ප්‍රකාශයක මාතෘකාව වූයේ “ජූලියන් අසාන්ජ් මුහුන දිය යුත්තේ ස්ත්‍රී දූෂන චෝදනාවලට මිස, එක්සත් ජනපදයේ පලිගැනීමට නො වේ” යනුවෙනි. ලොව පුරා ව්‍යාජ වාම සංවිධාන විසින් ද එම මාවත ම ගනු ලැබින.

■ අසාන්ජ් ආරක්ෂා කිරීම ප්‍රතික්ෂේප කර ඇති, බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂ නායක ජෙරමි කෝබින්, මැයි මාසයේදී චෝදනාවලට “පිලිතුරු” දීමට අසාන්ජ්ව ස්වීඩනයට පිටුවහල් කරන ලෙස ඉල්ලා සිටියේ ය.

එවැනි ප්‍රකාශ කල සියලු‍ම සංවිධාන හා පුද්ගලයෝ තමන් බොරු පවසන බව දැන සිටියහ. චෝදනාවල ව්‍යාජ ස්වභාවය ප්‍රසිද්ධියේ සටහන් විය.

මෙයට 2010 අගෝස්තු මාසයේදී ආරම්භක අභිචෝදිකා ඊවා ෆින්ගේ නිගමන ඇතුලත් විය. “ඔහු දූෂනය කර ඇති බව සැක කිරීමට හේතුවක් ඇතැ යි මම නොසිතමි.” “චෝදනාවට ලක්වූ හැසිරීම කිසිදු අපරාධයක් හෙලි නො කල බව” ඇය සඳහන් කලා ය. එක් පැමිනිලිකරුවෙකුගේ කෙටි පනිවුඩවල සඳහන් වූයේ “චෝදනා ඉදිරිපත් කලේ පොලිසිය විසින්” බව ය.

මෙම නඩුවේ “අක්‍රමිකතා” පිලිබඳ අවස්ථාවල දීර්ග ලැයිස්තුවට, පොලිස් නිලධාරීන් පැමිනිලි කරුවන්ගෙන් එක් අයෙකුගේ ප්‍රකාශය දැනුම්දීමකින් තොර ව නැවත ලිවීම, එක්සත් ජනපද ආන්ඩුව සමග සමීප සබඳතා ඇති නීතිඥයෙකු හා දේශපාලනඥයෙකු වන ක්ලේස් බොර්ග්ස්ට්‍රෝම්ගේ සමීප සම්බන්ධය හා ඔවුන් අනෙකුත් නඩු සිය ගනනක දී කර තිබූ ආකාරයට අසාන්ජ්ව වීඩියෝ සබැඳියකින් හෝ ලන්ඩනයේ දී හමුවීමක් මගින් සම්මුඛ සාකච්ඡා කිරීමට ස්වීඩන් නඩු පවරන්නන් විසින් ප්‍රතික්ෂේප කිරීම ඇතුලත් වුනි.

වඩාත් නරුම ලෙස, ස්වීඩන් බොරු නඩුව ප්‍රචාරය කල අය ඇමරිකාව විසින් අසාන්ජ් ලු‍හුබැඳීම සමග එයට යම් සම්බන්ධයක් ඇති බවට වූ යෝජනාව ඉවත හෙලු‍වේ, අසාන්ජ් තම අත්අඩංගුවට පැමිනියහොත් තමන් ඔහුව එක්සත් ජනපදයට උදර්පනය නො කරන බව සහතික කිරීමට ස්වීඩන බලධාරීන් ඉදිරිපත් නොවූයේ ඇයිද යන්න පැහැදිලි කිරීමට අන් මගක් නොතිබි බව නොතකමිනි.

එපමනක් නොව, එක්සත් ජනපද ජ්‍යෙෂ්ට දේශපාලනඥයන් ඔවුන්ගේ යුද අපරාධ හෙලිදරව් කිරීම හේතුවෙන් ප්‍රසිද්ධියේ අසාන්ජ්ගේ ඝාතනය ඉල්ලා සිටි තතු යටතේ, 2010 අගෝස්තු මාසයේ දී පොලීසිය විසින් මෙම චෝදනා ප්‍රථම වරට ගොතන ලදී. එක්සත් ජනපද ආන්ඩුව “පෙර නොවූ විරූ පරිමානයෙන් හා ස්වභාවයෙන්” පරීක්ෂනයක් දියත් කර තිබූ අතර, එයට පැහදිලිව ම විකී ලීක්ස් විනාස කිරීමේ කර්තව්‍යය පැවරුනු, එෆ්බීඅයි සහ සීඅයිඒ නියෝජිතයින් විසින් දවසේ පැය 24 පුරාම කාර්යයේ නියුතු “යුද කුටියක්” පිහිටුවීම ද ඇතුලත් විය.

“සීඅයිඒ සෙවනැල්ල” ලෙස විස්තර කෙරුනු, පෞද්ගලික සමාගමක් වන ස්ට්‍රැට්ෆෝර් හි හිටපු එක්සත් ජනපද බුද්ධි අංශ නිලධාරියෙකු සහ ප්‍රධාන ආරක්ෂක නිලධාරියෙකු වන ෆ්‍රෙඞ් බර්ටන් විසින් නිකුත් කරන ලද ඊමේල් පනිවුඩයකින් පසු ව මෙම රාමුව සකස් කිරීම පිලිබඳ සැලැස්ම අනාවරනය විය. 2010 දෙසැම්බර් මාසයේ දී ඔහු තම සගයෙකුට යැවූ ලිපියක අසාන්ජ්ට එරෙහි එක්සත් ජනපද මූලෝපාය වූයේ: “අයුක්ති සහගත ලෙස බුරුතු පිටින් ඔහුව නින්දාවට පත් කිරීම හා ඉදිරි වසර 25 සඳහා විවිධ චෝදනාවලට මුහුන දීමට ඔහු ව රටින් රටට ගෙන යාමයි” යන්නයි.

ස්වීඩන් විමර්ශනය නීත්‍යානුකූල කල සියලු‍ දෙනා මෙම සීඅයිඒ උද්ඝෝෂනයේ පාබල සෙබලුන් ලෙස ක්‍රියා කලහ.

කෙසේවෙතත්, අසාන්ජ්ගේ බොරු නඩුව, සුප්‍රසිද්ධ ගවේෂනාත්මක මාධ්‍යවේදියෙකු වන ජෝන් පිල්ගර්ගේ සිට රොජර් වෝටර්ස්, පමෙලා ඇන්ඩර්සන් සහ එම්.අයි.ඒ. වැනි සංගීතඥයන් හා විනෝදාස්වාදය සපයනන් දක්වා වන, වඩාත් ප්‍රතිපත්ති ගරුක කලාකරුවන් හා ප්‍රසිද්ධ බුද්ධිමතුන්ගේ විරුද්ධත්වයට මුහන දී ඇත.

අසාන්ජ්ට එරෙහි දේශපාලන කුමන්ත්‍රනය හෙලිදරව් කිරීම ඔහු එක්සත් ජනපදයට උදර්පනය කිරීම වැලැක්වීමට මෙන් ම ඔහුගේ පූර්න හා කොන්දේසි විරහිත නිදහස සුරක්ෂිත කිරීම සඳහා ගෙන යා යුතු සටනට කේන්ද්‍රීය වේ.

අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහිව හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පුලුල් ව්‍යාපාරයක පෙරමුනේ තිබිය යුතු මෙම අරගලයේ දැවෙන හදිසි අවශ්‍යතාව පෙන්නුම් කෙරෙන්නේ අසාන්ජ්ගේ පියා හා එක්සත් ජාතීන්ගේ නිලධාරියෙකු වන නිල්ස් මෙල්සර් බ්‍රිතාන්‍ය අධිකරනයේ නීති විරෝධී හැසිරීම හේතුවෙන්, ඔහු බෙල්මාර්ෂ් බන්ධනාගාරයේ දී මිය යා හැකි බවට කල අනතුරු ඇඟවීම්වලිනි.

ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා කම්කරු පන්තිය බලමුලු‍ ගැන්වීමේ අරගලයේ කොටසක් ලෙස, ලෝක සමාජවාදී වෙබ් අඩවිය හා සමාජවාදී සමානාත්මතා පක්ෂය අසාන්ජ්ගේ හිංසනයට එරෙහිව ලොව පුරා ප්‍රතිරෝධය සංවිධානය කිරීමට සටන් වදිති. මෙම සටනට සහභාගී වීමට අද ම අප හා සම්බන්ධ වන්න.

ඔස්කාර් ග්‍රෙන්ෆෙල්

Share this article: