චුදිත රසායනික ප්‍රහාර පිලිබඳ එලිදරව් වූ විද්‍යුත් තැපෑල පෙන්වන්නේ 2018 සිරියාවට එරෙහි ප්‍රහාර බොරු මත පදනම් වූ බව යි

Leaked email on alleged chemical attack shows 2018 strikes against Syria based on lies

2019 නොවැම්බර් 25

රසායනික අවි තහනම් කිරීමේ සංවිධානයේ (ඕපීසීඩබ්ලිව්) සිරියාවේ සත්‍ය සෙවීමේ මෙහෙයුමේ සාමාජිකයෙකු විසින් ලියන ලදු ව, විකී ලීක්ස් විසින් ප්‍රකාශයට පත් කරන ලද අභ්‍යන්තර විද්‍යුත් ලිපියක්, 2018 අප්‍රියෙල් 7 වන දින එවකට සීඅයිඒ ගැත්තර “කැරලිකාර” හමුදා විසින් අල්ලා ගෙන සිටි, දමස්කස් හි උප නගරයක් වන ඩූමා හි ගෑස් ප්‍රහාරයට බෂාර් අල් අසාද්ගේ ආන්ඩුව වග කිව යුතු යැයි ප්‍රකාශ කිරීම සඳහා සාක්ෂි මර්දනය කිරීම හා විකෘති කිරීමේ පුලුල් උත්සාහයක් හෙලිදරව් කරයි.

හෙලිදරව්ව යලිත් වරක් පැහැදිලි කරන්නේ, රටේ විශාල කොටසක් මුඩු බිමක් බවට පත් කර ඇති අතර ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ඝාතනය කර තවත් මිලියන ගනනක් සරනාගතයින් බවට පත් කර තිබෙන, සිරියාව තුල පාලන තන්ත්‍ර වෙනස් කිරීමේ එක්සත් ජනපද මෙහෙයුම යුක්ති සහගත කිරීමේ උද්ඝෝෂනයේ ව්‍යාජ ස්වභාවය යි.

සතියකට පසුව සිරියානු රජයේ හමුදාවන්ට එරෙහිව ගුවන් හා මිසයිල ප්‍රහාර දියත් කිරීම යුක්ති සහගත කිරීම සඳහා එක්සත් ජනපද, බ්‍රිතාන්‍ය හ ප්‍රන්ස ආන්ඩු විසින් පුද්ගලයින් 49 දෙනෙකු ඝාතනය කරන ලදැ යි කියන එකී ප්‍රහාරය ඩැහ ගන්නා ලදී. විමර්ශනයක් ආරම්භ කිරීම සඳහා ඕපීසීඩබ්ලිව් කරුනු සෙවීමේ කන්ඩායමක් සිරියාවට පැමිනීමට පැය කිහිපයකට පෙර මෙම ප්‍රහාර සිදුවිය. මෙම ප්‍රහාරය එක්සත් ජනපදය සහ එහි සහචරයෝ සිරියාවට එරෙහිව පමනක් නො ව අසාද් ආන්ඩුවේ මිතුරන් වන ඉරානය හා රුසියාවට ද එරෙහි ව විවෘත යුද්ධයේ අද්දරට ගෙන එනු ලැබින.

ඩූමා හි ප්‍රහාරය එල්ල වූයේ අසාද් දමස්කස් අවට ප්‍රදේශවල පාලනය තහවුරු කරමින් සිටිය දී හා සිරියාවේ නැගෙනහිර අර්ධය පාලනය කිරීම සඳහා රැඳ වූ එක්සත් ජනපද හමුදා ඉක්මනින් ම ඉවත්ව යනවා ඇත යි ට්‍රම්ප් නිවේදනය කර තිබීමෙන් ක්ෂනික ඉක්බිත්තේ දී ය. ප්‍රබන්ධ කෙරුනු සිරියානු ආන්ඩුවේ ගෑස් ප්‍රහාරය යුද්ධ හේතුක සිද්ධියක් ලෙස ඩැහ ගැනුනි.

එක්සත් ජනපදය 2018 අප්‍රියෙල් 14 වන දින සිරියාවේ දමස්කස් වෙත ප්‍රහාරයක් දියත් කලේය. එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් රට තුල රසායනික අවි භාවිතා කල බවට පලිගැනීමක් ලෙස ගුවන් ප්‍රහාර ප්‍රකාශයට පත් කරන ලදී. (AP Photo/Hassan Ammar)

අප්‍රේල් මස 8 වන දින, රසායනික ප්‍රහාරයක් එල්ල වී දිනකට පසු ව මෙන් ම කිසිදු පරීක්ෂනයක් පැවැත්වීමට පෙර, ට්‍රම්ප් ට්වීට් කලේ රුසියාව හා ඉරානයේ පිටුබලය ඇති “තිරිසන් අසාද්” විසින් “අමනෝඥ රසායනික ප්‍රහාරයක්” සිදු කර ඇති බව, හා එය “ලොකු මිලක් ගෙවීමක්” වනු ඇති බව යි. අලුතින් පත් කරන ලද ට්‍රම්ප්ගේ ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන්ගේ මග පෙන්වීම යටතේ සිරියාවට පහර දීම සඳහා මිලිටරි විකල්ප සකස් කරන ලදී. එක්සත් ජනපද වේලාවෙන් අප්‍රේල් 13 වන දින ගුවන් හා මිසයිල ප්‍රහාර දියත් කරන ලදී.

සෙනසුරාදා විකිලීක්ස් නිකුත් කිරීම පැහැදිලි කරන්නේ 2018 ජූලි මාසයේ දී ප්‍රකාශයට පත් කරන ලද ඕපීසීඩබ්ලිව් වාර්තාව එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ ප්‍රන්සය විසින් කරන ලද ප්‍රසිද්ධ චෝදනාවලට අනුකූල වන පරිදි සකස් කර ඇති බව යි. බ්‍රිතාන්‍ය මේල් ඔන් සන්ඬේ නම් සතිපතා පත්‍රයේ තීරු රචක පීටර් හිචන්ස්, විකිලීක්ස් නිකුතුව පදනම් කරගත් ලිපියක සඳහන් කලේ, ඕපීසීඩබ්ලිව් කරුනු සෙවීමේ වාර්තාව ව්‍යාජ ලෙස වෙනස් කිරීම, “ඉරාකය ආක්‍රමනය හා ටෝනි බ්ලෙයාර්ගේ ව්‍යාජ තෝම්බුවලින් පසුව, යුද්ධයේ සහාය සඳහා ‘සූදානම් වීමේ’ නරක ම උදාහරනය ලෙස පෙනෙන” බව යි.

සටහන රචනා කල නිර්නාමික ව සිටින විමර්ශකයා විසින් ඕපීසීඩබ්ලිව් කැබිනට් මන්ඩල ප්‍රධානී රොබට් ෆෙයාර්වෙදර් සහ ඔහුගේ නියෝජ්‍ය අමීර් ෂවුකෙට් වෙත 2018 ජුනි 22 වන දින විද්‍යුත් තැපෑල යවා ඇත්තේ, චූදිත ගෑස් ප්‍රහාරය පිලිබඳ ඒජන්සියේ විමර්ශනය ගැන ඉක්මනින් ම ප්‍රසිද්ධ කිරීමට නියමිත සංශෝධිත වාර්තාවෙන් ඉවත් කෙරී හෝ වෙනස් කෙරී ඇති විස්තර ගැන ‘බරපතල උත්සුකය’ මතු කිරීමට ය. සංශෝධිත වාර්තාව බවට එකතු කරන ලද සාක්ෂි වලින් කෙතරම් ඈත්ව තිබේද කිවහොත් “කන්ඩායමේ ක්‍රියාකාරිත්වය තවදුරටත් පිලිබිඹු නො කරන” බව ඔහු ලිවී ය.

“ක්ලෝරීන් හෝ වෙනත් ප්‍රතික්‍රියාශීලී ක්ලෝරීන් අඩංගු රසායනික ද්‍රව්‍යයක් සිලින්ඩර වලින් මුදා හැර ඇති බව තීරන ය කිරීම සඳහා මේ අවස්ථාවේ දී ප්‍රමාන වත් සාක්ෂි” කන්ඩායම විසින් සොයාගෙන ඇති බව ප්‍රකාශ කිරීම ඇතුලුව, එතැන් සිට සිදුකරන ලද විමර්ශනයේ දී එකතු කරන ලද සාක්ෂි වැරදි ලෙස නිරූපනය කරන ප්‍රකාශයන් විද්‍යුත් තැපෑල මගින් ඉස්මතු කරයි. මෙය සරලව කාරනය නො වී ය. අකටයුතු හෙලිකරන්නා පැහැදිලි කල පරිදි, ප්‍රතික්‍රියාශීලී ක්ලෝරීන් පරමානුවක් අඩංගු රසායනික ද්‍රව්‍ය එකක් හෝ වැඩි ගනනක් සමග සම්බන්ධ වී ඇති සාම්පල සොයා ගත් අතර, ඒවා ගෘහස්ථ විරංජනය (වර්න වෙනස් කිරීම) ඇතුලු විවිධ ප්‍රභවයන්ගෙන් පැමිනිය හැකි ය. තවද, සිරියානු හෙලිකොප්ටර් මගින් ඩූමා වෙත ඇද දැමූවා යැයි කියනු ලබන සිලින්ඩර රසායනික නිකුතුවක ප්‍රභවය බව පෙන්වීමට ප්‍රමාන වත් සාක්ෂි නොමැත.

චෝදනාවට ලක්වූ ස්ථානයේ ක්ලෝරිනේට් කාබනික ව්‍යුත්පන්නයන්ගේ “ඉහල මට්ටම්” අනාවරන ය වී ඇති බවට නිල වාර්තාවේ වන තවත් ප්‍රකාශයක් සාවද්‍ය ය. විමර්ශකයාට අනුව, මෙම රසායනික ද්‍රව්‍ය අංශු බිලියනයකට කොටස් 1-2 ක් තරම් අඩු අගයක තිබී ඇත.

විකිලීක්ස් විසින් විද්‍යුත් තැපෑල නිකුත් කිරීම නිල වාර්තාව එලිදැක්වීමේ නවතම සිද්ධිය පමනක් වන අතර, පෙනෙන පරිදි රෝහලක දුක් විඳින දරුවන්ගේ තහවුරු නො කල වීඩියෝ දර්ශන සමග, ධනේශ්වර මාධ්‍ය තුල ගෑස් ප්‍රහාරය පිලිබඳ ඝෝෂා කල සැනින් ම පාහේ එය කඩා වැටීමට පටන් ගත්තේ ය.

2018 ඔක්තෝබර් මාසය වන විට සිරියාව ගැන ප්‍රචාරක හා මාධ්‍ය පිලිබඳ ක්‍රියාකාරී කන්ඩායම විසින් මෙම සිද්ධිය පිලිබඳ විමර්ශනයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරන ලද අතර, ඕපීසීඩබ්ලිව් විසින් ඉදිරිපත් කරන ලද සාක්ෂි අනුව, ඇත්ත වශයෙන්ම රසායනික ප්‍රහාරයක් සිදු වී ඇත් දැ යි නිශ්චය කල නො හැකි බව සොයා ගන්නා ලදී. ස්නායු ගෑස් භාවිතා කල බවට එක්සත් ජනපදය හා ප්‍රන්සය විසින් කරන ලද මුලික ප්‍රකාශ ඕපීසීඩබ්ලිව් විසින් අතහැර දමා ඇත.

පසුගිය මැයි මාසයේ දී, ඩූමා හි ඕපීසීඩබ්ලිව් හි ඉංජිනේරු උප කන්ඩායමට නායකත්වය දුන් බැලිස්ටික් විශේෂඥ ඉයන් හෙන්ඩර්සන් විසින් රචනා කෙරුනු ප්‍රකාශයට පත් නො කල වාර්තාවක් කාන්දු විය. එහි දී හෙන්ඩර්සන් බරපතල ප්‍රශ්න මතු කලේ, ප්‍රහාරය එල්ල කලේ අසාද්ගේ හමුදාවන් විසින් බව ගම්‍ය කෙරෙන ප්‍රකාශයක් වන, ගුවනින් හෙලන ලද ක්ලෝරීන් සිලින්ඩර මගින් ප්‍රහාරය ගෙන යන ලදැ යි යන ප්‍රකාශ ගැන යි. ඒ වෙනුවට, හෙන්ඩර්සන්ගේ වාර්තාව නිගමනය කලේ විමර්ශකයින් විසින් පරීක්ෂා කරන ලද සිලින්ඩර දෙක තමන්ගේ ම තැන්වල ස්ථානගත කර ඇති බව යි. එයින් ඇඟවෙන්නේ සිද්ධිය වූ අවස්ථාවේ ප්‍රදේශය පාලනය කල ඉස්ලාමීය හමුදා විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව යි.

පසුගිය සතියේ, ගාඩියන් පුවත්පතේ හිටපු ජ්‍යෙෂ්ට විදේශ වාර්තාකරුවෙකු වන ජොනතන් ස්ටීල්, කවුන්ටර්පන්ච් නම් වෙබ් අඩවිය තුල, 2018 ජූලි මාසයේදී සිදුවීමක් පිලිබඳව සඳහන් කල, ඇලෙක්ස් නමින් හැඳින්වෙන, ඕපීසීඩබ්ලිව් රහස් හෙලි කරන්නෙකු විසින් කරන ලද කෙටි සඳහන් කිරීමක් වාර්තා කලේ ය. මේ අනුව හඳුනා නො ගත් ඇමරිකානු නිලධාරීන් තිදෙනෙකු සමග පැවති රැස්වීමක දී, විසම්මුතික විශේෂඥයින්ට අවිනිශ්චිත වචනවලින් තොර ව පවසා ඇත්තේ ඩූමා හි චූදිත ක්ලෝරීන් ගෑස් ප්‍රහාරයට සිරියාව වග කිව යුතු බව යි.

මෙම වසරේ මාර්තු මාසයේදී ප්‍රකාශයට පත් කරන ලද අවසාන ඕපීසීඩබ්ලිව් වාර්තාව, පරීක්ෂකයින් විසින් අනාවරනය කර ගැනුනු ක්ලෝරිනීකෘත කාබනික රසායනික ද්‍රව්‍යවල අඩු මට්ටම් පිලිබඳ ප්‍රමානාත්මක විශ්ලේෂනයක් ඉවත දමන්නේ, රසායනික ගෑස් ප්‍රහාරයක් පිලිබඳ නිල ප්‍රකාශයේ යටින් හාරා දමමිනි.

ඕපීසීඩබ්ලිව් වාර්ෂික සමුලුව අද හේග් හිදී ආරම්භ වන අතර, ස්ටීල් සමග කතා කල රහස් හෙලි කරන්නා ඩූමා විමර්ශනය ගැන උත්සුකය පල කිරීමට බලාපොරොත්තු වන නමුත්, සංවිධායකයින් එවැනි සාකච්ඡාවකට ඉඩ දෙන බවට කිසිදු සාක්ෂියක් නොමැත.

එක්සත් ජනපදය සහ එහි සහචරයින් අල්කයිඩාවට සම්බන්ධ විවිධ ඉස්ලාමීය මිලීෂියාවන් ඔවුන්ගේ ගැත්තර බලකායන් ලෙස යොදාගෙන ඇති සිරියාවේ වසර අටකට වැඩි පාලන තන්ත්‍ර වෙනස් කිරීමේ මෙහෙයුමේ දී, යුද්ධය පිටිපස එක්සත් ජනපද ජනමතය කුලප්පු කිරීමේ (අසාර්ථක) උත්සාහයක් ලෙස, සීඅයිඒ අනුග්‍රහය දැක්වූ එක් ප්‍රකෝපකරනකට පසු තවත් එකක් ප්‍රයෝජනයට ගෙන ඇත. 2013 දී නැගෙනහිර ගූටා හි රසායනික ගෑස් ප්‍රහාරයකට අසාද්ට චෝදනා කර දැවැන්ත එක්සත් ජනපද ගුවන් ප්‍රහාර සූදානම් කිරීම යුක්ති සහගත කිරීමට භාවිතා කරන ලද නමුත්, ඔබාමා විසින් අවසාන මොහොතේ දී එය අත්හිටුවන ලදී. ගවේෂනාත්මක වාර්තාකරුවෙකු වන සෙමෝර් හර්ෂ් විසින් මෙම සිද්ධිය පසුව හෙලිදරව් කරන ලද්දේ තුර්කියේ සහාය ඇතිව ක්‍රියාත්මක වන්නා වූ ද එක්සත් ජනපදයේ පිටුබලය ලැබූ කැරලිකරුවන්ගේ වැඩක් ලෙස ය.

සිරියාවේ සාපරාධී එක්සත් ජනපද යුද්ධය පිටුපස පෙල ගැසී ඉඳ ඊටත් වඩා විශාල ලේ වැගිරීමක් සඳහා පෙලඹූ ව්‍යාජ වාම කන්ඩායම් හෙලිදරව් වී ඇත. මේ වසර මුලදී ඩිමොක්‍රටික් පක්ෂය තුලට විසුරුවා හරින ලදු ව, දැන් අක්‍රියව ඇති ජාත්‍යන්තර සමාජවාදී සංවිධානය, තම සෝෂලිස්ට් වර්කර් ප්‍රකාශනය යොදා ගත්තේ සීඅයිඒ පිටුබලය ලත් විපක්ෂය ප්‍රවර්ධනය කිරීමට හා එක්සත් ජනපද මැදිහත්වීමට විරුද්ධ වන ඕනෑම අයෙකු ධනේශ්වර අසාද් ආන්ඩුවේ මෙන් ම “අධිරාජ්‍යවාදී” රුසියාව හා ඉරානයේ පන්දමෙකු ලෙස හෙලා දැකීමට ය.

වරද තහවුරු කරන විමර්ශකයාගේ ඊමේල් පනිවුඩය එලියට ගෙන ඒම තුල විකිලීක්ස් හි තීරනාත්මක කාර්යභාරය නැවත වරක් පැහදිලි කරන්නේ, මැද පෙරදිග ඇමරිකානු යුද අපරාධ හෙලිදරව් කිරීම සම්බන්ධයෙන් එක්සත් ජනපදයට පිටුවහල් කිරීමට හා වසර 175 ක සිර දඬුවමකට මුහුන දෙමින්, එහි ආරම්භකයා මෙන් ම ප්‍රකාශකයා වන ජූලියන් අසාන්ජ්, එංගලන්තයේ උපරිම ආරක්ෂාව සහිත බෙල්මාර්ෂ් බන්ධනාගාරය තුල දිරා පත්වෙමින් සිටින්නේ මන්දැ යන්න යි. එක්සත් ජනපද ඔත්තුසේවා හා සමස්ත දේශපාලන සංස්ථාපිතය ම, වධහිංසා පැමිනවීම පිලිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු නීල්ස් මෙල්සර් විසින් වධහිංසා පැමින වීමක් ලෙස හෙලා දකින, අසාන්ජ්ට එරෙහි තම හිංසා පීඩා කිරීම් සැලැසුම් කරන්නේ, එක්සත් ජනපද අපරාධ පිලිබඳ තොරතුරු මත ස්ථිරසාර තිරිංගයක් ඇටවීමට ය.

අතිමහත් සම්පත් හා අතිවිශාල ඔත්තුසේවා සංවිධාන සහිත එක්සත් ජනපද ආන්ඩුව, එක්සත් ජනපද හා ලෝක අධිරාජ්‍යවාදයේ මෙහෙයුම් පිලිබඳ සත්‍යය ජනතාව අතරට ගෙන ඒමේ අතිශය තීරනාත්මක මූලාශ්‍රයන්ගෙන් එකක් වසා දැමීමට තවමත් සමත් වී නැත. තම ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ අරගලයේ වැදගත් කොටසක් ලෙස අසාන්ජ් මෙන් ම චෙල්සි මැනිං ද ආරක්ෂා කර ගැනීමට පෙරට පැමිනීම මෙන් ම, ඔවුන් වහාම සිරෙන් නිදහස් කරන ලෙස හා ඔවුන්ට එරෙහි සියලු චෝදනා ඉවත් කරන ලෙසත් ඉල්ලා සිටීම ජාත්‍යන්තර කම්කරු පන්තියට බාර ය.

නයිල්ස් නීමුත්

Share this article: