ජනාධිපතිවරනයට ඉදිපත් වී සිටින ධනපති අපේක්ෂකයන් ගැන වතු කම්කරුවෝ පිලිකුල පලකරති

එම්. දේවරාජා විසිනි, 2019 නොවැම්බර් 2

සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) ජනාධිපතිවරන උද්ඝෝෂනයේ කොටසක් ලෙස නොවැම්බර් 3 වෙනිදා හැටන්-දික්ඔය නගර ශාලාවේ පැවෙත්වෙන රැස්වීම ගොඩ නැගීම පිනිස එහි සාමාජිකයන් සහ හිතවතුන් කන්ඩායමක් පසුගිය දින කිහිපයක් තුල බොගවන්තලාව, හැටන්-දික්ඔය සහ ආගරපතන ප්‍රදේශවල උද්ඝෝෂනයක නිරත විය.

බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනය යටතේ වසර 150 පෙර සිට ඉන්දියාවෙන් ඔවුන් ලංකාවට ගෙන එන ලද්දේ බ්‍රිතාන්‍ය සමාගම් විසින් පාලනය කල වතුවල කුලී ශ්‍රමිකයන් ලෙසිනි. දෙලක්ෂයක් පමන වන කම්කරුවන් සහ ඔවුන්ගේ පවුල් වල 10 ලක්ෂයක් පමන වන සාමාජිකයන්ගෙන් බහුතරය තවමත් ජීවත් වන්නේ බ්‍රිතාන්‍ය පාලන සමයේ ඉදිකල ඉපැරනි ලයින් කාමරවල ය.

වතු කම්කරුවන් ශ්‍රී ලංකාවේ කම්කරු පන්තිය අතර අවම වැටුප්, දුෂ්කර සේවා කොන්දේසි, නිවාස, සෞඛ්‍ය හා අධ්‍යාපනය ඇතුලු‍ අවම මුලික සමාජ පහසුකම් පවා ප්‍රමානවත් ලෙස නොමැති කොටසකි. ධනේශ්වර ආන්ඩු, වතු සමාගම් සහ ධනපති දේශපාලන පක්ෂවල උපකරන ලෙස ක්‍රියාත්මක වන වතු වෘත්තීය සමිති කම්කරුවන් දරුනු ශ්‍රම සූරාකෑමකට යටත් කොට ඇත.

දෛනික වැටුප රුපියල් 1000 කරන ලෙස ඉල්ලා වතු කම්කරුවන් දෙසැම්බර්- ජනවාරි මාසවල ගෙන ගිය අරගලය පාවාදුන් සමිති නායකයෝ ආන්ඩුවේ උදව් ඇතිව සමාගම් තීන්දු කල වැටුපක් කම්කරුවන් මත පැටවුහ. ඒ අනුව කම්කරුවන්ට ලැබුනේ රුපියල් 20 ක සොච්චම් වැටුප් වැඩිවීමක් පමනි. රුපියල් 50 ක අතිරේක දීමනාවක් දීමට ආන්ඩුව පොරොන්දු වූ නමුත් පසුව එය ප්‍රතික්ෂේප කෙරුනි. වෘත්තීය සමිති වල පාවාදීම මගින් අත ශක්තිමත් කර ගත් වතු සමාගම් දැන් කම්කරුවන් මත ශ්‍රම සූරාකෑම තීව්‍ර කරන ආදායම් බෙදීමේ ක්‍රමය සහ වැඩ ඉලක්කයන් ඉහල දැමීම ක්‍රියාවට දැමීම ආරම්භ කර ඇත.

එමෙන් ම, ලංකා කම්කරු කොංග්‍රසය (සීඩබ්ලිව්සි) ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ (ශ්‍රීලපොපෙ) අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂටත්, ජාතික කම්කරු සංගමය (එන්යූඩබ්ලිව්), ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු කොංග්‍රසය (ඩීඩබ්ලිව්සී) කඳුරට ජනතා පෙරමුන (යුපීඑෆ්) සහ ජාතික වතු කම්කකරු සංගමය (ජේඒඩබ්ලිව්යූ) එජාප අපේෂක සජිත් ප්‍රේමදාස ටත් සහාය දෙති.

ජවිපෙ නායකත්වය දරන සමස්ත ලංකා වතු කම්කරු සංගමය (ඕසීඩබ්ලිව්යූ) ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායකට සහාය දෙයි.

ගෝඨාභය සහ දිසානායක රුපියල් 1000 දෛනික වැටුප කම්කරුවන්ට දිය යුතු බව පවසන අතර ප්‍රේමදාස එය රුපියල් 1,500 ක් කරන බව කියා ඇත. මේ සියල්ල කම්කරුවන් රැවටීමේ බොරු මැතිවරන පොරොන්දු පමනි.

සසප වතුකම්කරුවන් අතර කල උද්ඝෝෂනයේ දී එහි අපේක්ෂක පානි විජේසිරිවර්ධන ජාත්‍යන්තර සමාජවාදී පිලිවෙතක් මත ජනාධිපතිවරනයට ඉදිරිපත්වීම පිලිබඳ නිවේදනයේ පිටපත් සිය ගනනක් සහ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පල කෙරුන ලිපි කම්කරුවන් අතර බෙදා හරිනු ලැබුනි.

සසප උද්ඝෝෂකයන් සමග කතාකල කම්කරුවෝ ඔවුන් මුහුන දී සිටින දුෂ්කර සමාජ සහ සේවා කොන්දේසි පිලිබඳව විස්තර කල අතර ධනපති පක්ෂ සහ වෘත්තීය සමිති කෙරෙහි කෝපය ප්‍රකාශ කලහ.

සසප ජනාධිපතිවරන උද්ඝෝෂනය ෆෝඩයිස් වත්තේ යෙදුනු අවස්තා

පී. ආනන්දරාජා බොගවන්තලාව මෝරා වත්තේ කම්කරුවෙකි. පාලක පන්තියේ සියලු‍ම පක්ෂ සහ ඔවුන්ට සහයෝගය දෙන වෘත්තීය සමිති කෙරෙහි වතු කම්කරුවන් තුල බරපතල කෝපයක් පවතින බව ඔහු පැවසීය. ”‍ඔවුන් වතු කම්කරුවන්ට කිසිවක් දෙන්නේ නැහැ. වැටුප වැඩිකරන ලෙස ඉල්ලා අප දින 11 ක් වර්ජනය කලා. නමුත් කිසිම දෙයක් ලැබුනේ නැහැ. අපි බොහොම දුක් විඳිනවා. වැසි දවස් වලට මේ ගෙවල් වල ඉන්න බැහැ. වහලෙන් වතුර කාන්දු වෙනවා. එක නිවසක පවුල් දෙක තුනක් ඉන්නවා. වැසිකිලි නැහැ. ලැබෙන වැටුප් කෑමටත් මදි. ඉතින් අපි නිවාස අලු‍ත්වැඩියා කිරීම හෝ නිවසක් හදාගැනීම කරන්නේ කොහොමද? ආන්ඩු වෙනස් වෙනවා නමුත් අපේ ජීවිත වෙනස් වෙන්නේ නැහැ”‍.

“‍හැමදාම අපව රවට්ටන්න බැහැ”‍ යි කී ඔහු සජිත් ප්‍රේමදාස සහ නවීන් දිසානායක ආන්ඩුවේ ඇමතිවරුන් නමුත් කම්පැනි දුවන්නේ පාඩුවට බව කියමින් පොරොන්දු වූ රුපියල් 50 ක දිනක වැටුප් දීමනාව හෝ නොදුන් බව මතක් කලේය. “මේ හැම කෙනාම කියන්නේ බොරු”‍ යි චෝදනා කල ඔහු මෙසේ සඳහන් කලේය: “නමුත් ඔබ වෙනස් වැඩ පිලිවෙලක් ඉදිරිපත් කරන්නේ. ඒ ගැන අපි හිතලා බලන්න ඕන.”‍

විසිහය හැවිරිදි එන්. සුදාහරන් හැටන්-දික්ඔය ෆෝඩයිස් වත්තේ තේ කම්හලේ කම්කරුවෙකි. ජනාධිපතිවරන උද්ඝෝෂනයේ යෙදී සිටින අපේක්ෂකයන්ගෙන් වැඩි දෙනෙක් බොරු කියන බව ඔහු පැවසීය. “වතු කම්කරුවන්ගේ වැටුප් රුපියල් 1000 කරනවා. තරුනයන්ට රැකියා දෙනවා, ගොවීන්ට උපකාර කරනවා කියලා ගෝඨාභය කියනවා. සජිත් ඤප්‍රේමදාස% සහ අනුර කුමාර දිසානායක කියන්නෙත් ඊට සමාන දේවල්. දිසානායක කියනවා පිරිසිදු පාලනයක් ඇති කරනවා කියල. එහෙම වෙයි කියල මා නම් විශ්වාස කරන්නේ නැහැ”‍.

ඔහු තව දුරටත් මෙසේ කීවේය: “‍[සීඩබ්ලිව්සීනායක] ආරුමුගම් තොන්ඩමන් ගෝඨාභයට උද්ඝෝෂනය කරන්න වත්තට ආවහම මම ඇහැව්වා ඇයි චන්දෙ කාලෙට විතරක් එන්නේ කියල. ඔබ අපේ කිසිම අයිතියක් වෙනුවෙන් සටන් කරන්නේ නැහැ කිව්වා. නමුත් ඔහු ඒකට කිසිම උත්තරයක් දුන්නේ නැහැ. බලයට පත්වෙන ඕනෑම ධනපති පක්ෂයක් මිලිටරි ආන්ඩුවක් සඳහා සූදානම් වෙනවා සහ වෘත්තීය සමිති වලින් ප්‍රයෝජනයක් නැහැ කියන එකට මා එකඟයි.

“‍ඔවුන් අපේ අයිතීන් වෙනුවෙන් සටන් කරන්නේ නැහැ. වෘත්තීය සමිති වලින් කැඩිලා ක්‍රියාකාරී කමිටු හැදීමේ යෝජනාවට මා එකඟයි. කම්කරුවෝ වෘත්තීය සමිති වලට තදින් බැඳීඉන්න නිසා ඒක දුෂ්කර වැඩක්. ඔවුන් ව දැනුවත් කිරීම සඳහා ඔබ බරපතල වෙහෙසක් දැරිය යුතුයි. වැඩිදුර එම කරුනු පැහැදිලි කර ගැනීමට තුන්වෙනිදා හැටන් රැස්වීමට මම එනවා”‍ යි ඔහු පැවසීය.

වතු කම්කරුවන් මෙන් වෙනත් කිසිදු කම්කරුවෙක් අවදානම සහ දුෂ්කරතා දරාගන වැඩ කරන බවක් ඇය නොසිතන බව ෆෝඩයිස් වත්තේ කම්කරු කාන්තාවක් පැවසීය. “අපි වැස්සට තෙමෙමින්, සර්පයන්, කූඩැල්ලන්ගේ සහ දිවියන් අතර වැඩ කරන්න ඕන. නමුත් අපට දවසක ලැබෙන්නේ රුපියල් 700 යි. කලින් රුපියල් 750 ක් ගෙව්වා. ගිය මාසේ පඩියෙන් රුපියල් 50 ක් කැපුව. හේතුව දන්නේ නැහැ. බඩුමිල දිනපතා ඉහල යනවා. අපි ජීවත් වෙන්නේ කොහොම ද, දරුවන් හදා වඩා ගන්නේ කොහොම ද? වෘත්තීය සමිති කාට සහයෝගය දුන්නත් අපි ඒ අය කාටවත් චන්දෙ දෙන්නේ නැහැ. ඔබ කම්කරුවන්ගේ ආන්ඩුවක් ගැන කතා කරනවා. එහෙම ආන්ඩුවක් බලයට පත් කරන්න හැකිනම් ඉතා හොඳයි. අපේ ආන්ඩුවක් බලයට පත් වුනොත් අපේ ප්‍රශ්න අපට ම විසඳ ගන්න පුලුවන්.”‍

පී. කෝමදී

පී. කෝමදී ආගරපතන පෙරියනාග වත්තේ කම්කරු කාන්තාවකි. සියලු‍ම දේශපාලන පක්ෂ සහ වෘත්තීය සමිති කම්කරුවන් මුන ගැහෙන්න එන්නේ චන්දේ කාලෙට පමනක් බවට ඇය චෝදනා කලාය. “‍අපි ජීවත් වෙන්නේ අපායක. ඔවුන් කිසි කෙනෙක් අපි ගැන හිතන්නේ නැහැ. අපි කාටවත් චන්දෙ දෙන්නේ නැහැ.”‍

සියලු‍ම වෘත්තීය සමිති විසින් රුපියල් 1000 වැටුප් ඉල්ලීම පාවා දුන් බව සිහිපත් කල ඇය දීපවාලි උත්සවයට රුපියල් 15,000 ක අත්තිකාරමක් දෙන බව කීවත් අවසානයේ රුපියල් 10,000ක් ලබා ගත්තේ ඔක්තොබර් 23 වෙනිදා වර්ජනය කිරීමෙන් පසුබව සඳහන් කලාය.

“‍වෘත්තීය සමිති නායකයෝ බොරු කාරයෝ”‍ යයි ඇය චෝදනා කලාය: “අපි අමාරුවෙන් ජීවත් වෙද්දී ඔවුන් බොහොම සැපපහසු ජීවිත ගත කරනවා. ලැබෙන සොච්චම් වැටුපෙන් උත්සව කාලෙට ලමයෙකුට අපි ඇඳුමක් ගන්නෙත් බොහොම අමාරුවෙන්.”‍ කෝමදී ගේ දුවට සහ ඇගේ සැමියාට කතා කල නොහැක. නමුත් ඔවුන්ට සමෘධි සහනාධාරය හෝ නොලැබෙයි. ඔවුහු රුපියල් 2000ක මාසික කුලියට නිවසක පදිංචි වී සිටිති. පවුල් තුනක් කෝමදී ගේ ගෙදර පදිංචිව සිටිති.

Share this article: