අධ්‍යාපන කප්පාදුවට හා ශිෂ්‍ය මර්දනයට එරෙහිව මොරටුව විශ්වවිද්‍යාලයේ සිසුහු උද්ඝෝෂනයේ යෙදෙති

දේහින් වසන්ත විසිනි, 2019 නොවැම්බර් 27

විශ්වවිද්‍යාලය තුල සිදු කෙරෙන අධ්‍යාපන, සුබසාධන කප්පාදුවට හා ශිෂ්‍ය මර්දනයට එරෙහිව පසුගිය සති අන්තයේ (21 දා) මොරටුව විශ්වවිද්‍යාලයේ හයසියයක් පමන ශිෂ්‍යයෝ දිවා විවේක කාලයේ දී විශ්වවිද්‍යාල මධ්‍යයේ සිට පරිපාලන ගොඩනැගිල්ල දක්වා පාගමනක් පවත්වා උද්ඝෝෂනයක නිරත වූහ.

නේවාසිකාගාර, දේශන ශාලා හා ආපනශාලා පුලු‍ල් කිරීම, ක්‍රිඩාගාර ඉදිකොට ක්‍රිඩා පහසුකම් වැඩිදියුනු කිරීම, විශ්වවිද්‍යාලය තුල නොමිලයේ අන්තර්ජාලයට පිවිසීමට වයි-ෆයි පහසුකම් ලබා දීම හා සීසීටිවී කැමරා සවි කොට ගෙනයන ශිෂ්‍ය මර්දනය නතර කිරීම ශිෂ්‍යන්ගේ මූලික ඉල්ලීම් විය.

බලයට පත් සෑම ආන්ඩුවක් විසින්ම සිදු කරමින් යන අඛන්ඩ අධ්‍යාපන කප්පාදුව හේතුවෙන් මොරටුව විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන් ද රටපුරා අනෙකුත් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් මෙන්ම දරුනු සුභසාධන හා අධ්‍යාපන ගැටලු‍වලට මුහුන දී සිටී.

8000 ක් පමන වන මොරටුව විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන් අතරින් නේවාසිකාගාර පහසුකම් හිමි වන්නේ 1500 ක් පමන සුලු‍ පිරිසකටය. ශිෂ්‍යාධාර මුදල රුපියල් 5000 ක් වන අතර එය ද නිසි කලට නොලැබේ. නේවාසිකාගාර හිමි නොවන බොහොමයක් සිසුන් රුපියල් 4000-6000 අතර මාසික කුලියකට පෞද්ගලික කාමරවල නවාතැන් ගෙන සිටි. අධ්‍යාපන ලිපි ද්‍රව්‍යය, ආහාර, ගමන් වියදම් සහ නේවාසික වියදම් සඳහා එක් ශිෂ්‍යයෙක් හට මාසිකව රුපියල් 15,000 ක් පමන වැය වේ.

එවැනි අවම වියදමකින් මාසික වියදම් පිරිමසා ගන්නේ විශ්වවිද්‍යාලයේ සුභසාධන ආපනශාලාවලින් රුපියල් 40 ට ලබා දෙන ප්‍රමිතියෙන් හා පෝෂනයෙන් ඌන ආහාර හා අවම පහසුකම් ඇති කාමර මිලදී ගැනීමෙනි. විශ්වවිද්‍යාලයේ පවතින සුපිරි ආපන ශාලාවක කෑම වේලක් සාමාන්‍ය ආහාර වේලක් මෙන් හය ගුනයක් මිල අධිකය. සුභසාධන ආපනශාලාවල උදෑසන හා දිවා ආහාර ලබා ගැනීම සඳහා ඉතා දිගු පෝලිම් පවතී. එය ශිෂ්‍යයන්ගේ අධ්‍යාපනික කාලය අපතේ යවයි.

අවසන් වසර ශිෂ්‍යයන්ට ව්‍යාපෘති සඳහා ලබා දී තිබු දීමනාව ද මේ වනවිට සැලකිය යුතු අන්දමින් කප්පාදු කර තිබේ. උපාධිය ලබා ගැනීම සඳහා අනිවාර්යයෙන් සම්පූර්න කල යුතු මෙම ව්‍යාපෘතිය සඳහා සිසුන්ට රුපියල් දහස් ගනනක් වැය වේ. කලින් වසරවල මේ සඳහා රුපියල් ලක්ෂයක උපරිමයකට යටත්ව මුදල් ලබා දී තිබුනත් මේ වසරේ එය රුපියල් පනස්දහස දක්වා කප්පාදු කොට තිබේ.

මේ හැරුන විට පාඨමාලා කප්පාදුවට දැනටමත් සැලසුම් සකස් කරමින් පවතී. ඒ යටතේ විදුලි ඉංජිනේරු අංශයේ රොබෝ විද්‍යාවට අදාල කොටස් ඉවත් කිරීමට නියමිත ය. එවැනි වැදගත් බොහෝ අංශ පාඨමාලාවලින් ඉවත් වනු ඇති බවට එය පෙර ඇගවුමකි.

අධ්‍යාපන හා සුභසාධන කප්පාදුවට එරෙහිව වැඩෙන ශිෂ්‍ය විරෝධතා මැඩීමට පැවති සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව හා විශ්වවිද්‍යාල පරිපාලනය රුදුරු පියවර මාලාවක් ගෙන තිබුනි. විශ්වවිද්‍යාලයේ සෑම ප්‍රදේශයක්ම ආවරනය වන පරිදි සීසීටීවි කැමරා පද්ධතියක් සවි කිරීම, විශ්වවිද්‍යාලය ඉදිරිපිට පොලිස් මුරපොලක් ස්ථාපිත කිරීම සහ ඊට අදාල අනපනත් සම්මත කිරීම පරිපාලනය ඉතා දැනුවත්ව ක්‍රියාවට දැමූ ශිෂ්‍ය මර්දනයේ දීර්ඝකාලීන පියවරයන් ය. ජාතික තාක්ෂන ඩිප්ලෝමා (එන්ඩීටී) සහ උපාධි ශිෂ්‍යයන් (බීඑස්සී) අතර 2013 දී ඇති වූ ගැටුමකින් පසු ගැටුම් අවම කිරීමේ නාමයෙන් පරිපාලනය සීසීටීවි කැමරා සවි කිරීමට පියවර ගත් අතර ඊට ඉන්ජිනේරු පීඨ ශිෂ්‍ය සංගමය සහයෝගය දැක්වී ය.

ශිෂ්‍ය මර්දනය තවත් උග්‍ර කිරීම සඳහා පරිපාලනය යහමින් ගසාකෑවේ අප්‍රේල් 21 දා සිදු වූ ත්‍රස්ත බෝම්බ ප්‍රහාරයන් ය. ත්‍රස්ත ප්‍රහාරය එල්ලවන බව දැන සිටි සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව, ආරක්ෂක අංශ ඇතුලු‍ පාලක පන්තියේ සියලු‍ කොටස් එම ප්‍රහාරය එල්ලවීමට ඉඩ හැරියේ, එය ගසා කමින්, පැන නැගී ඇති පන්ති සටන් මැඩීම සඳහා පොලිස්-මිලිටරි රාජ්‍ය සැලසුම් දිගේලි කිරීම සඳහා ය. සති කිහිපයක් විශ්වවිද්‍යාල සියල්ලම වසා දැමූ ආන්ඩුව විශ්වවිද්‍යාල තුලට හමුදා භට කන්ඩායම් කැඳවන ලදී. රාත්‍රී 9 න් පසු විශ්වවිද්‍යාලවල රැඳී සිටීම ශිෂ්‍යයන්ට තහනම් විය. මුස්ලිම් ශිෂ්‍යාවන්ගේ හිජාබ් ඇදුම තහනම් කෙරින.

මොරටුව සරසවියේ වාස්තු විද්‍යා පීඨයේ සිසුන් දොලොස් දෙනෙකුට මේ වනවිටත් පන්ති තහනමක් පනවා ඇති අතර ඉන් සිසුන් දෙදෙනෙකුට වසර දෙකක පන්ති තහනමක් පනවා තිබේ. සිසුන්ට නිදහසට කරුනු දැක්වීමට පවා අවස්ථාවක් ලබා නොදී “නවකවදය“ පැමිනවූයේ යන චෝදනා යටතේ එම සිසුන් දඩයමට ලක්කර තිබේ. අනුප්‍රාප්තික ආන්ඩු සහ විශ්ව විද්‍යාල පරිපාලනයන් විසින් ශිෂ්‍ය මර්දනය දිගේලි කිරීමට “නවකවදය“ යහමින් ගසා කති.

ශිෂ්‍යයන්ගේ අධ්‍යාපනයට එරෙහි ප්‍රහාරය සමස්ත කම්කරු පන්තියට එරෙහි ප්‍රහාරයේ කොටසකි. ලෝක ධනේශ්වර ක්‍රමයේ පද්ධතිගත බිඳ වැටීමේ කොටසක් ලෙස ලංකාවේ ආර්ථික අර්බූදය ගැඹුරු වී ආන්ඩුවේ නය බර දිනෙන් දින උග්‍ර වෙමින් තිබේ. පසුගිය ජුනි සහ ඔක්තෝබර් මාසවල දී රාජ්‍ය අමාත්‍යාංශවල වියදම් පිලිවෙලින් සියයට 15 කින් හා 10 කින් කප්පාදු කිරීමට මහා භාන්ඩාගාරය පියවර ගත්තේ ය.

මේ වන විට දල ජාතික නිෂ්පාදිතයෙන් සියයට 5.6 ක් වන අයවැය හිඟය 2020 වනවිට සියයට 3.5 ක් දක්වා අඩු කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) විසින් නියෝග කර තිබේ. මෙය සිදු කෙරෙනු ඇත්තේ, රාජ්‍ය ආයතන පෞද්ගලීකරනය, අධ්‍යාපනය ඇතුලු‍ සුභසාධන වියදම් දැවැන්තව කපා දැමීම හා මහජනයා මත බදු බර පැටවීම ඇතුලු‍ පියවර මගිනි. මෙම පියවරයන්ට එරෙහිව සෑම අංශයකම පන්ති සටන් පුපුරා යනු ඇත.

කෙසේ නමුත්, මොරටුව විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය හා ස්වාධීන යැයි කියාගන්නා ඉංජිනේරු පීඨ ශිෂ්‍ය සංගමය යන දෙකම මෙම ප්‍රහාරවල මූලයන් යට ගසමින් ශිෂ්‍යයන් හුදකලා විරෝධතා තුල අවමංගත කිරීමේ යෙදී සිටී. මහා ශිෂ්‍ය සංගමය, ව්‍යාජ-වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ (පෙසප) දේශපාලනය ඉදිරිදර්ශනය මත ක්‍රියාත්මක වන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලයේ (අවිශිබමය) කොටසකි.

උද්ඝෝෂනය මෙහෙය වූ මොරටුව විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමය බෙදා හැරි අත් පත්‍රිකාවකට අනුව මෙම උද්ඝෝෂනයේ ද අරමුන වූයේ උපකුලපති සමග සාකච්ඡාවක් ලබා ගැනීමයි.

උපකුලපති සමග සාකච්ඡාවකින් සිදු වන්නේ, ශිෂ්‍යයන් මුහුන දෙන ගැටලු‍ විසඳීමක් නොව, තවත් රුදුරු ප්‍රහාර සඳහා කල් ගැනීම සඳහා ශිෂ්‍ය විරෝධය සමහන් කිරීම පමනි.

අනෙක් අතට මෙම ශිෂ්‍ය සංගම්, ශිෂ්‍යයන් කම්කරු පන්තිය වෙතට හැරීම වලකනුවස්, ශිෂ්‍යයන්ට වෙනම විසඳුම් ඇතැයි යන මිත්‍යාව වගාදිගා කරති. මෙම සංගම්, කම්කරු පන්තියේ අරගලවලින් ශිෂ්‍ය සටන් හුදකලා කිරීමට කටයුතු කරනවා පමනක් නොව පීඨ වශයෙන්, අධ්‍යයන වර්ෂ වශයෙන් ශිෂ්‍යන් බෙදීමට කටයුතු කරයි. සිසුන් දොලොස් දෙනාගේ පන්ති තහනම් පිලිබඳව වාස්තුවිද්‍යා පීඨ ශිෂ්‍ය සංගමයෙන් විමසූ විට ඔවුන් කියා සිටියේ එය එම වසරේ සිසුන්ගේ ප්‍රශ්නයක් බැවින් ඊට තමන් සහභාගි වීම අවශ්‍ය නැති බවයි.

ශිෂ්‍යයන්ගේ ඉල්ලීම් දිනා ගැනීමට අවශ්‍ය කෙරෙන අවශේෂ කම්කරු පීඩිත මහජනතාව සමඟ ඒකාබද්ධව ධනපති ආන්ඩුවට එරෙහිව පොදු අරගලයක් දියත් කිරීමට මෙම ශිෂ්‍ය සංගම් මුලු‍මනින්ම සතුරු ය. ඒ බව යලි සනාථ කෙරුනේ ලියුම්කරු පසුගිය ඔක්තෝබර් 31 දා පැවැත් වූ පන්ති තහනම ඉවත් කිරීමේ රැස්වීමට සහභාගි වූ අවස්ථාවේ තමා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) වාර්තාකරුවකු බවත් විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයෙකු බවත් පවසද්දී ටෙලිෆෝනය උදුරාගෙන එහි පටිගත කල දේ මකා දමා රැස්වීමෙන් ඉවත් කිරීමට ශිෂ්‍ය සංගම් නායකයින් කටයුතු කිරීමෙනි. එම ප්‍රජාතන්ත්‍ර විරෝධී මැදිහත් වීම ශිෂ්‍ය සංගමය සිදු කලේ “මේ ප්‍රශ්නවලට ඇඟිලි ගහන්න එන්න එපා” යනුවෙන් පවසමිනි.

පසුගිය සතියේ පැවති විරෝධතාවය වාර්තා කිරීමට ගිය ලියුම්කරුට එවැනිම අඩම්තේට්ටම්වලට ලක් වීමට සිදු විය. පෙලපාලියේ ගත් ඡායාරූප මකා දමන ලෙස ඔවුහු ලියුම්කරුට බල කලේ ය. ලියුම්කරු තම ප්‍රජාතන්ත්‍ර අයිතීන් වෙනුවෙන් පෙනී සිටීමේ දී ශිෂ්‍ය සංගම් ක්‍රියාකාරීන්ගේ වැඩ වැලකී ගියේ අවශේෂ ශිෂ්‍යයන්ගේ මැදිහත්වීම නිසාය.

නිදහස් අධ්‍යාපන කප්පාදුවේ කොටසක් ලෙස විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයන් ද රුදුරු ප්‍රහාරයකට මුහුන දී සිටී. වැටුප් වැඩි කිරීම ඇතුලු‍ ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් අනධ්‍යන සේවකයන් මසකටත් වැඩි කලක් පවත්වාගෙන ගිය වැඩ වර්ජනය වෘත්තීය සමිතිය එකමුතුව විසින් පාවා දීමේ වාසිය ඩැහැ ගනිමින් සේවකයන්ට එරෙහි තවත් ප්‍රහාර එල්ල කිරීම අරඹා තිබේ. අතිකාල දීමනා කප්පාදු සහ තාවකාලික කොන්ත්‍රාත් කම්කරුවන් සේවයෙන් ඉවත් කිරීම සිදුවෙමින් පවතී.

ශිෂ්‍යයන්ට හා කම්කරුවන්ට තම අයිතීන් දිනා ගත හැක්කේ ශිෂ්‍ය සංගම්වලින් සහ වෘත්තීය සමිතිවල යකඩ සැට්ටයෙන් කැඩී ගනිමින් සමස්ත ධනපති ක්‍රමයට එරෙහිව සමාජවාදී වැඩපිලිවෙල යටතේ පොදු අරගලයක් සංවිධානය කිරීම සඳහා ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගැනීමට පෙරට ඒමෙන් පමනි.

Share this article: