සිංහල වර්ගවාදී කොටස් ප්‍රකෝපකාරී ක්‍රියාවල

ඩබ්ලිව්. ඒ. සුනිල් විසිනි, 2019 නොවැම්බර් 28

ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහනයෙන් උද්දාමයට පත් වී සිටින සිංහල බෞද්ධ අන්තවාදීන් ජනාධිපතිවරනය නිම වී සතියක් ඉක්මීමටත් පෙරාතුව දෙමල හා මුස්ලිම් ජනයාට එරෙහිව වර්ගවාදී ක්‍රියා ආරම්භ කර ඇත.

දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාර්ග සඳහා යොදා ඇති නාම පුවරුවල දෙමල භාෂාවෙන් ලියා ඇති පුවරු ගලවා දැමීම හෝ එම කොටස විකෘති කිරීම් සිදුකර තිබේ. සමාජ මාධ්‍ය වල ප්‍රචාරය වූ ආකාරයට පානදුරේ සුසන්ත මාවතේ, වත්තල කෙරවලපිටිය මාවතේ සහ කොහුවල වුඞ්ලන්ඞ් මාවතේ නාම පුවරුවලට එලෙස හානි කර ඇත.

එක්සත් ජාතික පක්ෂ (එජාප) ආන්ඩුවේ හිටපු ඇමතිවරයෙකු වන රිෂාඞ් බද්යුද්දීන් ගමන් කල වාහනයට පුත්තලම මදුරන්කුලිය ප්‍රදේශයේ දී ඉරිදා සවස ගල් ප්‍රහාරයක් එල්ල කිරීම එවන් තවත් සිද්ධියකි.

එවන් සිද්ධි වැලැක්වීමට සහ ඒවාට සම්බන්ධ පුද්ගලයින් “‍වහාම අත්අඩංගුවට”‍ ගෙන ඔවුන්ට එරෙහිව “නීතිමය පියවර”‍ ගැනීමට ක්‍රියා කරන ලෙස අගමැති මහින්ද රාජපක්ෂ පොලීසියට නියෝග කොට ඇතැයි මාධ්‍යවල වාර්තාවිය. රාජපක්ෂ කුහක ලෙස උත්සාහ දරා ඇත්තේ වර්ගවාදීන්ගේ ප්‍රකෝපකාරී ක්‍රියා වලින් දුරස්ථ වීමට හා මහජනයාගේ අප්‍රසාදය ආන්ඩුව කෙරෙහි එල්ල වීම වලක්වා ගැනීමටයි.

එහෙත් මෙම සිංහල වර්ගවාදී නඩ හදාවඩා පෝෂනය කලේ ධනපති පාලක පන්තියේ සියලු‍ දේශපාලන පක්ෂ විසිනි. විශේෂයෙන් ම මෑත කාලය තුල අගමැති රාජපක්ෂ නායකත්වය දෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුන (ශ්‍රීලපොපෙ) මෙම නඩ තමන් වටා පෙල ගස්වා ගත්තේය.

ශ්‍රීලපොපෙ ආන්ඩු බලය යලි අල්ලා ගැනීම සඳහා ගෙනගිය ව්‍යාපාරයේදී හා ඊට පෙරාතුවත් බොදු බල සේනා, සිහල රාවය සහ සිංහලේ ඇතුලු‍ අන්තවාදී සංවිධාන එලෙස පෝෂනය කෙරුනු කන්ඩායම් වෙති. ඒවා දෙමල සහ මුස්ලිම් ජනයාට එරෙහිව වර්ගවාදය උසිගැන්වීමේ ප්‍රතිගාමී උද්ඝෝෂනයක යෙදුනි. බොදු බල සේනා සංවිධානයේ නායක ගලගොඩ අත්තේ ඥානසාර, මන්ත්‍රියෙකු වන අතුරලියේ රතනසාර, පිවිතුරු හෙල උරුමයේ කල්ලි රාජපක්ෂ දිනවීමට පැල් බැඳගෙන වැඩකල එවැන්නන්ගෙන් කොටසකි. “‍රට, ජාතිය හා සිංහල බෞද්ධකම රැකීම”‍ මෙම ප්‍රතිගාමී උද්ඝෝෂනයේ මූලික තේමාව විය.

“ආන්ඩු විරෝධී කන්ඩායම්”‍ විසින් ආන්ඩුව “අපකීර්තියට”‍ පත් කිරීම පිනිස මෙම ක්‍රියාවන් සිදුකරන බව සඳහන් කරමින් රාජපක්ෂ ආන්ඩුවේ ධීවර සහ ජලජ සම්පත් ඇමති ඊලම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ (ඊපීඩීපී) නායක ඩග්ලස් දේවානන්ද සිංහල වර්ගවාදීන්ට හා රාජපක්ෂ ආන්ඩුවට සුදුහුනු ගාන ප්‍රකාශයක් කර ඇත. තමන්ගේ පක්කලි සේවයට ඇමතිකමකින් සංග්‍රහ ලැබුනත් දෙමල ජනයාගේ පමනක් නොව වර්ගවාදයට එරෙහි සියලු‍ දෙනාගේ විරෝධය තමන්ට සහ ආන්ඩුවට එල්ල වෙතැයි දේවානන්ද බියවී සිටියි.

වර්ගවාදී යුද්ධයේ දී ඊපීඩීපී ක්‍රියාත්මක වූයේ ධනේශ්වර රාජ්‍යයේ අත් ගෙඩියක් ලෙසය. එහි සාමාජිකයන් ධනපති ආන්ඩුවේ හමුදා සමග අර්ධ මිලිටරි බලකායක් ලෙස ක්‍රියාත්මක වෙමින් ඔත්තු සැපයීමට සහ ජනඝාතන වලට සම්බන්ධ විය.

ජනාධිපති තනතුරේ දිව්රුම්දීමෙන් පසු කතාවේ දී උතුරු නැගෙනහිරින් තමන්ට අපේක්ෂාකල ආකාරයේ සහයෝගයක් නොලැබුන බව සඳහන් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දෙමල හා මුස්ලිම් ජනයාට චෝදනාවක් මෙන්ම සියුම් තර්ජනයක් ද කලේ ය. දෙමල-මුස්ලිම් චන්ද නැතිව සිංහල බෞද්ධ චන්දවලින් ආන්ඩු තැනිය හැකි බව ගෝඨාභය ගේ ජයග්‍රහනයෙන් සනාත වී ඇතැයි බෞද්ධ ප්‍රභුව සහ ඇතැම් ධනපති ජනමාධ්‍ය උදම්ඇනීය.

දෙමල නම් වෙනස් කිරීම ගැන අගමැති රාජපක්ෂ ‘විරුද්ධත්වයක්’ මවා පෙන්නුවත් කොලඹ පාලක පන්තියට හා ශ්‍රීලංපොපෙ, එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුන ඇතුලු‍ ධනපති පක්ෂ දෙමල හා මුස්ලිම් විරෝධි වර්ගවාදී දෘෂ්ටියෙන් විෂකවා ගත් පක්ෂවෙති.

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් 1948 ඊනියා නිදහස ප්‍රදානය කර සිංහල ධනපති පාලක පන්තිය අතට බලය මාරු කල තැන් පටන් බෙදා වෙන්කර පාලනය කිරීමේ ප්‍රතිගාමී දේශපාලන මූලෝපාය යටතේ වාර්ගික භේදකරනය මෙරට පාලක පන්තියේ මූලික දේශපාලන අවියක් විය. පන්ති අරගලයන්ගේ වර්ධනය හා පාලක පන්තියේ දේශපාලන හා ආර්ථික අර්බුදය උග්‍ර වූ හැමවිට ම සිංහල, දෙමල සහ මුස්ලිම් කම්කරුවන් වාර්ගිකව බෙදීම සඳහා ඔවුන් මෙම දුෂ්ට අවිය ලෙලවීය.

1948 ව්‍යාජ නිදහස හා මෙරට ධනේශ්වරය අතට බලය මාරු කිරීම සිදු කෙරුනේ බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයට හා වතු සමාගම් වලට එරෙහිව සිංහල සහ දෙමල කම්කරුවන්ගේ දැවැන්ත ඒකාබද්ධ අරගල 1940 දසකය පුරා පැනනැගුන කොන්දේසි තුලය. බලය තමන් අතට මාරු කිරීමෙන් පසු කොලඹ ආන්ඩුව පලමුවෙන්ම කලේ කම්කරු පන්තියේ මෙම එකමුතුව බිඳීම සඳහා ඉන්දියානු සම්භවයක් සහිත වතු කම්කරුවන්ගේ පුරවැසි අයිතිය අහිමි කිරීම ය.

ඉක්බිතිව මෙම වාර්ගික භේදකරනය තවත් පෘථුල කරමින් බෞද්ධ ආගම රාජ්‍ය ආගම හා සිංහල භාෂාව රාජ්‍ය භාෂාව ලෙස ව්‍යවස්ථාගත කිරීම සහ විශ්ව විද්‍යාල අධ්‍යාපනය සහ රැකියා දීමේ දී අනුපාත ක්‍රමයකට දෙමල සහ මුස්ලිම් ජනයා යටත් කලේ ය. ජේ. ආර්. ජයවර්ධනගේ එජාප ආන්ඩුව විසින් බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට (එල්ටීටීඊ) එරෙහිව 1983 මුදාහල හා දසක තුනකට ආසන්න කාලයක් පැවති ලේවැකි යුද්ධය එකී වාර්ගික වෙනස්කම් වල කුලු‍ගැන්වීමකි.

මෙම සියලු‍ කාල පරිච්චේදයන්ට වඩා රටතුල දැන් ආර්ථික සහ දේශපාලන අර්බුදය තීව්‍ර වී ඇත. පන්ති අරගලයේ ගෝලීය නැගීමේ කොටසක් ලෙස ශ්‍රී ලංකාවේ පන්ති අරගලයේ නව වර්ධනයන් පාලක පන්තියේ දේශපාලන අර්බුදය තවදුරටත් ගැඹුරු කර තිබේ. ජනාධිපතිවරනයට ආසන්න දිනවල පැන නැගුන ගුරු, විශ්ව විද්‍යාල අනධ්‍යයන හා දුම්රිය කම්කරුවන්ගේ අරගල වලදී සිංහල, දෙමල හා මුස්ලිම් කම්කරුවන් අතර පැවති එකමුතුව ජීවන තත්වයන්ට සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට ධනපති ආන්ඩුව එල්ලකරන ප්‍රහාරවලට එරෙහිව ඒකාබද්ධ අරගලයකට යාමට කම්කරු පන්තිය අතර පවතින උවමනාව සහ අධිෂ්ටානය පෙන්නුම් කලේ ය.

ඩොලර් බිලියන 15 ක් වන දැවැන්ත විදේශ නය කන්දරාව ගෙවීම සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් නියෝග කර තිබෙන ආර්ථික කප්පාදු පිලිවෙත් ක්‍රියාවට දැමීමේ දී රාජපක්ෂ ආන්ඩුව වැඩකරන ජනයාගේ පෙර නොවූවිරු විරුද්ධත්වයකට සහ අරගලවලට මුහුන දෙනු ඇත. එවන් තතු තුල කම්කරු පන්තිය භේද කොට දුර්වල කිරීමටත් ඊට එරෙහිව රාජ්‍ය මර්දනය දිගේලි කිරීමටත් වාර්ගික භේදකරනයන් උසිගැන්වීම ධනපති පාලක පන්තියට අත්‍යාවශ්‍ය වේ.

ගැඹුරුවන ආර්ථික අර්බුදයකට සහ පන්ති අරගලවල ජාත්‍යන්තර උද්ගමනයකට මුහුන දෙන සෑම රටකම පාහේ පාලක පන්තීන් සංක්‍රමනිකයින්ට සහ සුලු‍ ජන කන්ඩායම් වලට එරෙහි වර්ගවාදී ප්‍රකෝපකාරිත්වයන් අවුස්සමින් ෆැසිස්ට් ව්‍යාපාර තර කරන්නට පටන්ගෙන ඇත. ලංකාවේ කම්කරු පන්තියට වර්ගවාදී භේදකරනයේ ප්‍රතිගාමී දේශපාලනය පිලිබඳව ලේවැකි පාඩම් ඇත.

කම්කරු පන්තිය තමන්ට මර උගුලක් වන මෙම වාර්ගික, ආගමික හා භාෂාමය භේදයන් මුලු‍මනින් ම ප්‍රතික්ෂේප කල යුතුය. රාජපක්ෂ ආන්ඩුව විසින් ජීවන තත්වයන්ට හා ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එල්ල කරනු ලබන ප්‍රහාරයන්ට එරෙහි සටන සඳහා ඔවුහු සියලු‍ භේදකරනයන් කපාගෙන සිංහල, දෙමල හා මුස්ලිම් කම්කරුවන්ගේ ඒකාබද්ධ සමාජවාදී දේශපාලන ව්‍යාපාරයක් සඳහා සටන් කල යුත්තාහ.

Share this article: