ආන්ඩුව “‍මහජන සාමය”‍ රැකීමේ කඩතුරාව යටතේ පොලීසිය සහ ආරක්ෂක අංශ සීරුවෙන් තබයි

ඩබ්ලිව්.ඒ. සුනිල් විසිනි, 2019 නොවැම්බර් 23

“සාමය”‍ කඩකරන්නන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස ආරක්ෂක ලේකම් කමල් ගුනරත්න පොලීසියට සහ ආරක්ෂා අංශවලට නියෝග කල බව ආරක්ෂක අමාත්‍යංශය විසින් නොවැම්බර් 20 වෙනිදා නිකුත් කල මාධ්‍ය නිවේදනයක දැක්වේ. “‍යම් හෙයකින් කිසියම් පුද්ගලයෙකු හෝ කන්ඩායමක් සාමය කඩවන පරිදි ක්‍රියා කලහොත් ඔවුන්ගේ තරාතිරම නොබලා දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසට ආරක්ෂක අංශ දැනුවත් කොට”‍ ඇති බව එහි සඳහන් වේ.

ආරක්ෂක අමාත්‍යංශය විසින් මෙම පියවර ගෙන ඇත්තේ “‍ජනාධිපතිවරනයෙන් පසුව රටේ ඇතිවූ දේශපාලන වෙනස්වීමත් සමග දේශපාලන පලිගැනීම්, පැහැරගැනීම් හා අනිසි කලබල ඇති විය හැකි බවට රටේ ජනතාව තුල අනිසි බියක්”‍ ඇතිවීම වැලැක්වීමට සහ “‍ජාති භේද, ආගම් භේද සහ පක්ෂ භේද වලින් තොරව සැමට සාමකාමීව ජීවත්විය හැකි වාතාවරනයක් රට තුල පවත්වා ගෙන යාමට”‍ බව නිවේදනයේ සඳහන් කර ඇතත් ආරක්ෂක අමාත්‍යංශයේ සහ ආන්ඩුවේ සැබෑ උත්සුකය වන්නේ ජීවන තත්වයන්ට සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එල්ල කෙරෙන ප්‍රහාරවලට එරෙහිව කම්කරු-පීඩිත මහජනතාව අතරින් පැන නගින අරගල රුදුරු ලෙස තලා දැමීම සඳහා රාජ්‍ය හස්තය ශක්තිමත් කිරීමය.

“‍දේශපාලන පලිගැනීම්, පැහැරගැනීම් හා අනිසි කලබල”‍ ඇති විය හැකි බවට රටේ ජනතාව තුල අනිසි බියක් ඇති වේ නම් එය සාධාරන බියකි. ගෝඨාභය ආරක්ෂක ලේකම් තනතුර දැරූ රාජපක්ෂ පවුලේ පාලන තන්ත්‍රයට ඇත්තේ ඊට එහා ගිය කුප්‍රකට වාර්තාවකි. බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට (එල්ටීටීඊ) විරුද්ධ වාර්ගික යුද්ධය තුල සිදුකල බරපතල යුද අපරාධ, මානවහිමිකම් උල්ලංඝනය, පැහැරගැනීම් සහ බලහත්කාර අතුරුදහන් කිරීම් ඒ අතරින් ප්‍රමුඛය.

දේශපාලන විරුද්ධවාදීන් ට, මාධ්‍ය ආයතනයන්ට හා මාධ්‍යවේදීන්ට එරෙහි ප්‍රහාර සම්බන්ධයෙන් ද රාජපක්ෂ තන්ත්‍රයට ඇත්තේ එවැනිම වාර්තාවකි. 2009 දී යුද්ධය නිමා වීමෙන් පසුව, හලාවත ධීවරයන්ගේ, නිදහස් වෙලඳ කලාප කම්කරුවන්ගේ සහ රතුපස්වල ගම්මුන්ගේ විරෝධතාවන්ට එරෙහිව එල්ල කල මිනීමරු ප්‍රහාර ඇතුලු කම්කරු පන්තියේ හා පීඩිත ජනයාගේ අරගල රුදුරු ලෙස මර්දනය කිරීම ද, මුස්ලිම් හා කතෝලික ආගමිකයන් ට සහ සරනාගතයන්ට ප්‍රහාර එල්ල කල බොදු බල සේනා සහ සිහල රාවය ඇතුලු අන්තවාදී සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදී සංවිධාන පෝෂනය කොට ආරක්ෂා කිරීම ද එම කුප්‍රකට වාර්තාවට අන්තර්ගත වෙයි.

ජනාධිපතිවරනය පැවැත්වුනේ ජීවන තත්වයන්ට හා ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව විසින් එල්ල කෙරුන ප්‍රහාරවලට එරෙහිව වර්ධනය වෙමින් පැවති පන්ති අරගලයන්ගේ පසුබිම තුලය. එම අරගල ධනපති ආන්ඩුවල ප්‍රහාරයන්ට එරෙහිව ඉහල නැගෙමින් පවතින ගෝලීය පන්ති අරගලයේ කොටසකි. ජනාධිපතිවරනය තුලත් ඉන් පෙරාතුවත් ශ්‍රී ලංකාවේ පාලක පන්තියේ කන්ඩායම් අතර කුලල් කා ගැනීම කෙරුනේ පන්ති අරගල තලා දමා ධනපති පන්ති පාලනය ස්ථාවර කර ගැනීමට හැකි හා ඒ සඳහා වඩාත්ම සුදුසු කන්ඩායම තමන් බව හුවා දැක්වීමටය.

“‍රටේ ආරක්ෂාව හා නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම සහ ස්ථාවර ආන්ඩුවක්”‍ යන්න, එක්සත් ජාතික පක්ෂය (එජාප), ජාතික ජන බලවේගය (ජාජබ) සහ ශ්‍රීලපොපෙ යන ප්‍රධාන පක්ෂ තුනේම මූලික පාඨය වූ අතර, යුද්ධය ජය ගැනීමෙන් ද ආරක්ෂක හමුදා සහ බුද්ධි අංශ ශක්තිමත් කිරීමෙන් ද ඒ සඳහා වඩාත් සුදුසු කන්ඩායම තමා බව ඔප්පුකොට ඇතැයි ශ්‍රීලපොපෙ සහ ගෝඨාභය රාජපක්ෂ තර්ක කලහ.

බලය අල්ලා ගැනීම සඳහා ජනාධිපතිවරන උද්ඝෝෂනය තුල දී මහජනයාගේ ඇස්වලට වැලි ගසා චන්ද කොල්ලකෑම සඳහා කවර ජනතාවාදී පොරොන්දු දුන්න ද දැන් රාජපක්ෂ ආන්ඩුව ක්‍රියාවට දැමිය යුත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමුඅ) විසින් නියෝග කොට ඇති පුද්ගලීකරනය, රැකියා කප්පාදුව, රාජ්‍ය වියදම් කැපීම ඇතුලු වැඩකරන ජනතාවගේ ජීවන තත්වයන්ට ඍජුව බලපාන ආර්ථික ප්‍රතිසංස්කරන හා ආයෝජකයන්ගේ සහ රටේ මහ ව්‍යාපාරිකයේ මනදොල සපුරන පිලිවෙත්ය. පාඩු ලබන රාජ්‍ය ආයතන ලාබ ලබන තත්වයට ගෙන ආයුතු බව 22 වෙනිදා නව ඇමති මන්ඩලය පත්කිරීමෙන් පසු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අවධාරනය කල මූලික කාරානාවකි. ඒවා වානිජ පදනමක ප්‍රතිව්‍යූහගත කිරීම එනම් වැඩ වේගවත්කිරීම, වැටුප් සහ රැකියා කප්පාදුව ආදී පියවරයන් මගින් රාජ්‍ය වියදම් කැපීම ක්‍රියාවට දැමෙනු ඇත. ඒ කිසිවක් සාමකාමීව කල නොහැකි බව රාජපක්ෂ ආන්ඩුව මැනවින් දනී.

සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව කෙරෙහි පැවති වෛරය හා පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය ගසා කා හැටනම ලක්ෂයක චන්ද ලබා ගැනීමට සමත් වුව ද, මහජනතාව, විශේෂයෙන් ම කම්කරු පන්තිය, වැඩිකල් නොගොස් තමන්ට එරෙහිව අභියෝගාත්මකව නැගී සිටින දැවැන්ත සමාජ බලයක් වන බව ද රාජපක්ෂ ආන්ඩුව දනී.

එහෙයින් වැඩකරන ජනතාවට එරෙහිව රුදුරු ම මර්දනකාරී යාන්ත්‍රනයක්, එනම් මිලිටරිය සහ පොලීසිය මත දෙපා රුවා ගත් ආඥාදායක පාලනයකට රාජපක්ෂ ආන්ඩුව කල් නොයවා මාරුවනු ඇත. ආරක්ෂක අමාත්‍යංශය විසින් පොලීසිය සහ ආරක්ෂක අංශ සීරුවෙන් තැබීම එහි කොටසකි. ආන්ඩුවේ මෙම පෙරසූදානම බරපතල අනතුරු ඇඟවුමක් ලෙස කම්කරු පන්තිය ගත යුතුය.

Share this article: